Sunday, June 30, 2013

හැඟුම්












අතීතේ දවසක 
හෙමිහෙමින් පා නැඟුව
මල් තුහිනයක මතක
ගෙන ඇවිත් දොරකඩට,
අනෝරා වැස්සක් 
නොවෙනාබව කියයි..
සීතල මඳනලක 
දැවටෙන්ට අවැසිමුත්
මාරුතයකට බියෙන්
සිතුම්වැල් සසලවෙයි..



පටන් ගැන්ම..

බොහොම කාලයකට කලින් ලිව්ව නිසඳැස් කවි ටික නැතිවෙලා තදබල දුකකින් පෙළෙමින් ඉන්දෙද්දි තමා බ්ලොග් එකක් පටන් ගැනීමේ අදහස ආවේ.මුළු ගෙදරම පෙරළමින් හෙව්වත් හොයාගන්න බැරිවුණා තාමත් ඒ පොත් ටික. මමත් ඉතින් කපුටා හංගන්නා වාගේ මගේ අචේතනික දේපල හංඟන නිසා හොයාගන්න එකත් පුදුම ලේසි වැඩක්!

ප්‍රේමය හමුවීම

උසම උස තැනක්...ලී වේදිකාවක් උඩ මං මොනව කරනවද? පහළින් මිනිස් ගුලාවක් පේනවා..මොනවද මේ වෙන්නේ, කොතැනද ඉන්නෙ කියල හිතන්න මං උත්සහ ගත්තා. ඉන්න උසත් එක්ක බලද්දි මේ ලංකාව වෙන්න බැහැ වගේ..ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවේ අර ගිනි සිළුව වගේ කොටසෙද මංදා..ඕවා ඉතින් පැහැදිලි කරන්න මං ඔය දේශ දීපංකරවල ඇවිදලා තියෙන එකක්යැ ඉතිං..

ඔන්න එතකොටමයි මං හිටගෙන හිටි තැනම ලෑල්ලක් කඩා වැටුණේ. දැන් අඩිය තියන තියන හැමතැනම පොළොව කඩා වැටෙනවා..පහළ ඉන්න මිනිස්සු ඔල්වරසන් දෙනවා..ඇයි දෙවියනේ, මං මෙතනින් වැටෙන එකද මේ දහස් ගණනකගේ බලපොරොත්තුව? ලී කෑලි අතරින් මට පේනවා සෙනඟ පොදිකමින් බලා ඉන්නවා.. මට උඩින් එකම එක තරු තිතක්වත් නැති කලුවර අහසක්..

තව එහාට මෙහාට වෙන්න ඉඩක් නැතිවේගෙන ගිහිං අසරණව වටපිට බලද්දි එක සැරේටම මට පේනවා මගේ මිත්‍රයා..එයා මොනවද මේ කඩාවැටෙන වේදිකාවෙ කරන්නේ? මම කියන්න උත්සහ කරනවා මෙතනින් යන්න කියලා..ඒත් ඔහු අර සුපුරුදු හිනාවෙන් බලා ඉන්නවා..මුරණ්ඩුකම! අත දුන්නට වැඩක් නෑ, මම ආවොත් ඔයා ඉන්න තැනත් කඩාවැටෙනවා.ප්‍රතික්ෂේපකරන්න ඉඩක් නොලබාම මම එතැන..පුදුමෙකට වගේ ඒ ඉඩ කඩා වැටුණේ නැහැ..ඒත් මගේ හිත එළියට ඇහෙන තරම් තදින් ගැහෙනවා..