Thursday, October 31, 2013

හර්ද සූත්‍රය

අපේ නගා අද ගෙනාවා'හර්ද සූත්‍රය'.හවස ඉඳන් එක හුස්මට කියවලා දැන් ඉවරවුණා විතරයි.මුදිතත් පුන්සරාත් අතර දෝලනයවෙමින් පැයකීපයක් තිස්සේ හිතේ කැලඹෙන කම්පනයත් එක්කම මම ඇවිත් වාඩි වුණා බ්ලොග් පෝස්ටුවක් ලියන්න.


මම දිගටම මුදිතගේ කතාවේ පුන්සරාත් පුන්සරාගේ කතාවේ මුදිත ශූන්‍යවීමත් අතර සැරිසරමින් උන්නා.ඈ මේ මවන චරිත අතර මම, මම දන්නා ගැහැණු පිරිමි කොයිතරම් දෙනෙක්ගේ අංශුමාත්‍රයන් සටහන් වෙලාදා කියලා මම කියවමින්ම හිතන්නට ගත්තා. නමුත් මගේ සිතුවිලි යටපත් කරගෙන කතාව බලවත්ව නැගුණා.

මුදිතගේ සැහැල්ලු පාවෙන ජීවිතය තුළ මම පුන්සරා වෙච්චි කාලයක් මගේ මතකයට නැගුණා.වෙනසක් තිබුණා.මා දැන උන් මුදිත කතාවෙ මුදිත වාගේ ළාමක සුන්දර සිතුවිලි තිබූ කෙනෙකු නොවෙයි.පහසුවෙන් ස්ත්‍රීයකට ආකර්ෂණයවන නමුත් පුන්සරාට ගැඹුරු බැඳීමක් තිබුණු මුදිත කෙනෙක් මගේ කතාවේ හිටියේ නෑ.ඒක නිසා වෙනසක් තියෙනවා.ලොකු වෙනසක්..

Saturday, October 26, 2013

ඇගේ ගීතය

මේ දශකයකට විතර ඉහතදි වෙච්චි දෙයක්.මා ඈ දුටුවේ එදාම පමණයි.ආයෙ කොයිතරම් එතැනින් ගමන් ආරම්භ කලත් කවදාකවත් ඈව දකින්න ලැබුනේ නෑ.

බිම්කළුවර වැටි නගරේ කලබලය තුනීවෙමින් යන මොහොතක, බසය ගමන් අරඹන්න කලියෙන් තත්පර විනාඩිවෙමින් ගෙවී ගිය මොහොතක, මිහිරි හඬකින් ගීතයක් ගැයෙන්නට ගත්තා.හිස ඔසවා බලද්දි තමයි දුටුවේ ඒ සුන්දර යුවතියක් බව.ඈගේ හඬ ඒ පෙනුම පරදා නැගුණා.

"ඈත එපිට ගම්මානෙන් නැග එන 
බට ලී හඬ මැද්දේ
ඉතාම දුක්බර කවියක් නැග එයි
ඇය නිදි නොමැති පැලේ.."

සන්සුන්ව හැඟීම්බරව නැගෙන ඒ හඬට හැමදෙනාම වශීකෘත වෙලා බලා ඉන්නවා.ගීතය කීපවරක් අසා තිබුණත් ඇත්තෙන්ම හිතට වැදුනේ නෑ මේතරමට.ඒ හැම වචනයකම දැවටීලා ගැයෙන මොකද්දෝ දුක් ගතියක් තියෙනවා.

Thursday, October 24, 2013

ලොක්කිගේ ආණ්ඩු මට්ටුව

මේ කතන්දරේ කතා නායිකාව හෙවත් ප්‍රධාන චරිතය මගේ බොහොම පැරණි මිතුරියක්.ඒ කාලේ ජංජාලේ වැඩ කළේ අපි කට්ටිය.මෙයාට අපි කියන්නේ කුක්කා කියලා.ආරක්ෂක හේතු මත අපි සැබෑ නම් ගම් හෙළිකරන්නේ නැහැ ඔන්න.ඒත් ඉතින් දන්නෝ දනිති.

මේ කුක්කාට සෑහෙන්න දක්ෂකමක් තියෙනවා අනික් අයගේ කතාව, හැසිරීම, ගමන බිමන, හිනාව අපූරුවට අනුකරණය කරන්න.ඒ කාලේ ඉතින් විනෝද සමය වගේ තමයි.

ඔය ජංජාලේ රාත්‍රි සේවා මුරය කරද්දි අපිව පාලනයට හිටියා හිට්ලර් වගේ බොහොම සැරපරුෂ සීනියර් කෙනෙක්.එයා එක්ක සෙල්ලම් බෑ, නීතියට වැඩ.නීතියේ එක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් එහා මෙහා වෙන්න බෑ.හැබැයි ඉතින් පව් කියලත් හිතෙනවා.අපි ඉතින් පොඩි උන් නේ කියලා ආදරෙන් කතා කරන වෙලාවලුත් තියෙනවා.හැබැයි ඉතින් අපෙත් නාහෙට නාහන තරුණවයසත් එක්ක එයා කොකු නොදාගත්තු උන් මං හිතන්නේ හිටියේ කීපදෙනයි.

ඔය සීනියර් එළිවෙනකම් අත් දෙක පිටිපස්සට බැඳගෙන ඇවිදිනවා සෙක්ෂන් එක පුරාම.අපි පුටුවල ඉන්න ඉරියව්ව පවා ඉතින් නීතියට තියෙන්නෙ ඕන.දැන් ඔය ලේසියට අපි පුටුවල කකුලක් නවල වාඩිවෙලා, එහෙම නැත්නම් එරමිණිය ගොතන් වාඩිවෙලා වගේ හිටියොත් නම් "බඩු පැකට්" තමයි.

Tuesday, October 22, 2013

සමනළ සංධ්වනිය සහ ගල් බංකුව

සමනළ සංධ්වනිය එන්නත් කලින් ඉඳන් බැලීමේ විශාල පෙරේතකමකින් පෙළුණේ.තියෙන වැඩ රාජකාරි එක්ක අළුතෙන් බ්ලොග් පෝස්ටුවක් ලියන්නවත් ඉඩක් නොතිබ්බ එකේ ප්ලෑන් ගහන් කාල සටහන් හදන් ඕක බලන්න පුළුවන්කමක් තිවුණේ නෑ.යමින් එමින් ඉඩක් ලැබිච්ච වෙලාවක නුගේගොඩ පැත්තේ මණ්ඩලේකට ගොඩවෙලා ඕං ඒකත් බැලුවා කියමුකෝ. :)

ඒත් මොකද්දෝ හේතුවකට වාගේ සංවේදි තේමාවක් වුණත් ඒක මට එච්චර සංවේදි වුණේ නෑ.(සංවේදනයේ ප්‍රශ්නයක්දෝ මංදා කියලා සමහර විචාර දැක්කම හිතෙනවා)

චන්ද්‍රසිරි මහත්මයගේ තේමාව නම් මල් හතයි. පෙළ ගැස්ම නම් අසාර්ථකයි.ඔයිට වඩා ප්‍රේක්ෂකයාට දැනෙන්න තිබ්බා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය ඒක පාර්ශ්වික ප්‍රේමය, වසර ගණනක් හිත් රිදවමින් පාරමින් පෙළමින් ජීවිතේ වෙනස් කරන ප්‍රේමය වගේ මාතෘකාවක් එහෙම රිදුම් තියෙන හැමෝගෙම රිදුම් යම්තරමකට හෝ මතුපිටට ගේන්න සමත් සංවේදී දේවල්.එහෙව් එකේ, ඒකේ මුල කොමඩියකින් වහගත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා.ඒක එහෙම වුණේ වස්තු බීජය පතරංග සයිස් කරගන්න විදියක් නැති නිසාද නැත්නම් කොමඩි ගතියක් නැතුව චිත්‍රපටිය දුවන එකක් නැහැයි කියලා පූර්ව නිගමනේකට ආව නිසාද මංදා.