Saturday, November 1, 2014

මඟුල් කෑම!

ඕං අද කියන්න යන්නේ මඟුල් කෑමක් ගැන! වෙන කාගේද ඉතින් අපේ තමයි..:D

දැන් ඔය කසාද බඳින්න බලං ඉන්න ඈයෝ එහෙම හොඳට හරිබරි ගැහිල වාඩිවෙලා එහෙම මම කියන දේ සාවධානව අහං ඉන්ට ඕන..නැත්නං තොපිට තේරෙයි මඟුල් කෑමේ රඟේ...! 

අද කාලේ මංගල්ල මහ කෝලම් මඩු නෙව..දන්නවනේ...ඔය කෝලම් මඩුවත් ඉතින් ඒ ඉට්ටැයිල් එකට තියෙන්ට ඕන..නොට් අප් ටු ද ස්ටැන්ඩර්ඩ් නම් ඉතින් රටේ ලෝකේ ඈයොන්ට නෙව ලැජ්ජාව!

ඕං ඉතිං අපි බඳින්ට කියලා හිතාන පටන් ගත්තා කියමුකෝ ඔය ප්‍රදර්ශන වන්දනාව...අවුරුද්දකට විසි තිස් සැරයක් තියෙනවා නෙව ඕවා...අපි ඉතිං ඕවායේ රිංගලා බෝතල් පත්තරේට විකුණන්න ඇහැකි තරම් කඩදාසි මිටි කරගහං ගෙදර එනවා..ඊටපස්සේ ගුලිෆයි ඇන්ඩ් විසිෆයි තමයි වැඩිමනක්, මොකෝ මෙලෝ රහක් නෑ ඔය බහුතරයක්...කඩදාසි තියෙන්නං වාලේ ගහලා...පිටි උලපු මූණු පුරෝලා....වස ලස්සනයි...! :D

කොහොමින් කොහොමහරි ඕවා බලලා, ජංජාලේ කරණම් ගහලා, අමාරුවේ වැටිච්ච උන්දැලගෙන් දැනමුතුකම් අරගෙන, බජට් කොරලා අන්තිමට තෝරගත්තානේ බාසුන්නැහැලා ටික...ඊටපස්සේ තමයි ඇත්තටම නියමම මඟුල් කෑම...නරි කුකුලාගමු ගියා නම් මොකෑ කිව්වලු!

දැන් ඔය මනමාලි, ඒ කිව්වේ මම ..හරිය? අන්ඳවන්න සැට් කොරගත්තනේ දැන් මහ ගෙයක් කොරන සුප්‍රසිද්ධ කෙනෙක්..එයැයි ඉතින් හොඳට ඇන්ඳුව එදා නම් අපරදේ කියන්ට බෑ...හැබැයි ඉතින් ගාණත් ඒ වගේමයි ඉස්තරං ඇන්ඳිල්ල! ඔය කවුරුත් කියන කතාවනේ 'ඕගොල්ලොන්ට ඕන විදිය කියන්නකෝ මම ඒ විදියට තමයි කරන්නේ' කියලා...ඕව හෙන බයිලා ඉතිං..මොකද එහෙම කිය කියා එයාලට ඕන විදියට තමයි වැඩේ වෙන්න බොහෝ වෙලාවට...හැබැයි ලේසියෙන් අන්ඳගන්න බෑ කියලා හිතෙනවා නම් එයාල සද්ද වහලා 'තොට ඕන නම් ඇඳගනිය' කියල ඉන්න වෙලාවලුත් තියෙනවා...වැඩේ ඉතින් බොහොම ටැක්ට්ෆුලි කොරගන්ට ඔය වෙන්ට මනමාල මහත්මියලා දැනගන්ට ඕනි...


දැන් ඒක හරි කියමුකෝ...මනමාලයත් ඉතිං එදාට ඇඳුමක් අඳින්ට එපැයි..! අපේ උන්දැට නම් මෙලෝ වගක් තිබ්බේ නෑ ඒක ගැන..මොකෝ මන්දා...ඊටපස්සේ ඉතිං මඟුල් සාරි එහෙම අරං මැච් කොරලා එව්වා මහන්න දුන්න කියමුකෝ...

ඊලඟට ගියා මල් මාමෙක් හොයන්ට..ඔන්න ඕක තමයි මිත්‍රවරුනි එපාම වෙන වැඩේ හොඳෙයි...මොකෝ ඔය එක මකාගේ යලෙක්වත් එදාට ඔය ටික අටෝලාදෙනකල් ෂුවර් නෑ...සමහරු කියනවා ඉතිං අර ෆ්ලෝරා මේ ෆ්ලෝරා එහෙම නෑ, බුදු ෂුවර් අරකයි මේකයි කියලා...හැබැයි මගේ නම් අත්දැකීම ඔය කවුරුත් කොරන්නේ මල්..මල් හොයාගන්න බැරිවුනොත් එදාට වැඩේ දෙල්..ඒ හින්ඳා ඉතිං ඔය ලොකු රෙකමොන්ඩේෂන් නම් වැඩිය ගණං ගන්ට දේවල් නෙවෙයි..තමන්ට හිතට සැටිස් වෙන එකක් තමයි ඉතිං බලලා සැට් කරගන්ට ඕන...:)

ඉතිං කොහොමහරි අපිට මල් අටවන්න සැට් වුණ එළකිරි මලෙක්...අපේ වෙන්ට මෑන්ගෙ පරම්පරාවේ කීපදෙනෙක්ටම මල් අටෝපු අන්කල් කෙනෙක්...වැඩ හොඳයි..කයිය තමයි අස්පට් එකකට තියෙන්නේ...කොහොමහරි අපේ මල් රංජාත් ඉතිං දැනැඳුනුම්කම් කියලා නෑ දුන්නා ඒකටත් සික්ස් ඩිජිට් මිලක් හරිය....

දෛවයේ සරදම් කියන්නේ ඔය අන්කල් අපේ වෙඩිම තිබ්බ හෝටලේදිම ඔයිට කලින් වැටිලා ඔළුව වැදිලා පැලිලා මැහුමුත් දැම්මාලු...ඒ හින්දද මංදා චුට්ටක් ඉතින් සර්කිට් ෂෝට් වෙවී තමයි ඉන්නේ...ඉතිං ඔය මල් ඇටවීම ගැන කතා කරන්න ගියාම වෙන්ට මෑන් පළවෙනි දවසේ අහං හිටියා ඔය එක තැන දුවන පටිය....දෙවෙනි දවසෙත් ඉතින් ඒකම කියපි! එදා නම් වෙන්ට මෑන්ට වෙන මොකද්දෝ එහෙකටත් මළ පැනලා උන්නද මංදා...කිසි අණක් ගුණක් නැතිව මේකා කිව්වනේ "ආ ඔව් ඔව් අන්කල් ඒක එදා කිව්වනේ" කියලා..අනේ ඉතිං මල් රංජාගේ මූණ නාලු වෙලා ගිහිං අසරණ ලීලාවෙන් කිව්වා "ආහ් මං කිව්වද" කියලා..එවෙලේ නම් මට හිතුණා අනේ අසරණයා "කමක් නෑ අන්කල් ඔන්නොහේ කියලා දාන්න" කියන්න...ආයේ ඉතිං මොකටදැයි කියලා කටවහං හිටියා...:D

කොහොමහරි ඉතිං අන්කල් සිරාවට මල් ඇටවීම කොරල තිබ්බා එදා...අපි බයෙන් උන්නට කැවිලි මේසෙත් පිළිවෙල කොරලා දුන්න නෙව ලස්සනට...සුපිරි රංජා :)

අනික් ඇඬෙන කාරණේ පින්තූරු කට්ටිය නෙව..අම්මෝ මල් මාමලා හොඳයි අප්පා!අන්තිමට හොයලා හොයලා හොයලා පින්තූරු කඩ වන්දනා කොරලා කොරලා කොරලා හොයාගත්තා ඇල්බම් එක කොරන්න දැන් බොහොම ප්‍රසිද්ධ වගේම වැඩත් හොඳ මහරගම පැත්තේ ස්ටුඩියෝවක්...අන්න මිනිස්සු! ෆොටෝ කෑලි ටික තේරුව පරක්කුව විතරයි ආයෙ පස්සෙන් පන්න පන්න හරිද අහන්න ඕන වුණේ නෑ...වැඩත් හොඳයි :)

ඒක හරි කියමුකෝ, එතකොට ඔය සේරෝම වීඩියෝ කොරන්නත් එපැයි අපේ මතු පරම්පරාවලට දැක බලාගන්න, මෙහෙමයි බොලාගේ අම්මා තාත්තා, නැන්දා මාමා, බාප්පා පුංචම්මා, ආච්චි සීයා කසාද බැන්ඳේ කියලා...අදටත් මම පසුතැවෙන එකම තේරීම ඔන්න ඔය වීඩියෝ වහන්තරාව තමයි සහතිකෙන්ම...මොකද සයිට් බලලා බලලා මීගමුවෙන් තේරුවනේ වීඩියෝ කඩයක්...ඒක නම් ඇත්තට කඩයක්ම තමයි...
විශ්වාස කරන්න මිත්‍රවරුනි, ප්‍රීෂූට් එකක්ය කියලා එකක් කොළා, එක කොලේ නොවැම්බර් මාසේ, අපිට වීඩියෝව ලැබුණේ අප්‍රේල් මාසේ..ඒකත් කෝල් කොරල කොරලා එපා වෙනකල්...පුදුම දස වධයක් විඳලා...කොටින්ම වෙඩිම දවසේ ඒක පෙන්නන්නත් බැරිවුණා...! මල් උයන්වතු එමටයි!

දැන් කසාද බැඳලා මාස10ක් වෙනවා පිංවතුනි..තවම වෙඩිමේ ට්‍රේලර් එකවත් ෆුල් වීඩියෝවවත් නෑ...අපි කෝල් කරනවා, එහෙන් බිසී වෙනවා...අපි කෝල් කරනවා, එහේ ෆෝන් ඕෆ් වෙනවා..අපි කෝල් කරනවා ඔෆීසියට, ඔෆීසියේ කෙල්ලෝ ෆුල් මඤ්ඤං උත්තර දෙනවා..දැන් නිවාඩුවක් දාලා ගිහිං මීගමුව සිතියමෙන් අතුගාන්න වෙන තත්වෙකුයි ඕං තියෙන්නේ!

අනික් පිස්සුව තමයි ෆිටෝන් එක...මනමාලියි උපමාලිලායි මල් මාලියි දැන් ගියා කියමුකෝ ෆස්ට් ෆිටෝන් එකට...ඔය මහගෙයි අස්සේම තමයි ඇඳුම් මැහිල්ලත් වෙන්නේ...කොටින්ම අන්තිමට වස්තරයක් නැතුව ඉන්න තරම් හිතලා තිබ්බේ ඒ තරමට ෆිටෝන් කරන වාර ගණන...ඒ අස්සේ, පොතේ ඇඳලා ලියලා තියෙන ඩිසයින් එක බලාගෙන උපමාලිලාගේ හැට්ට උඩු යටිකුරු කරලා..දෙන්නට පාට දෙකකින් මහන්න තිබ්බේ...පාට දෙක නම් මාරු කරං මහලා...එක අතක් මහන්න ඕන එක අත් දෙකම මහලා...ඔබතුමන්ලා හිතලා බලන්ට ඕන මගුලක් කටේ තියං ඔය වගේ බහුරූ කෝලම් වහා ගිලි ඇවිලෙන සුළු මනුස්සයෙක් දරන්නේ කොහොමද කියලා...ඒත් ඉතිං ඕක නැති බංගස්ථාන කලොත් එහෙම තරහට කියලා වැඩිය සද්ද දාන්නත් බෑ නේ..මම අපේ අම්මගේ ඉවසීම සිහි කරගෙන, ආචාරශීලීව ඒ මහන සැට් එකෙන් ඇහුවා 'මොකද්ද දැන් මේ කොරලා තියෙන්නේ' කියලා...මුං අර පොත පෙරලං මට කියපි 'ඇයි අනේ එහෙමනේ මහන්න කියලා තියෙන්නේ' කියලා...හනුමා රූමස්සල අරං එන්ට කලින් මං කිව්වා උන්දැලට, පින්තූරේ හොඳට බලන්නයි කියලා..එදා ඇතුළේ ඒ කට්ටියගේ දඩ වලියක්...කට්ටිය නිකං බළලෙක් දැක්ක දෙමලිච්චෝ රංචුවක් වගේ සද්දේ..ඒ තරහ ආවේගවල තරමට අපිට හැට්ට අන්ඳෝලා සරස බරස් ගාලා අදිනවා..අනේ ඉතින් මායි මගේ අහිංසක උපමාලිලා දෙන්නයි කටුසු සරීර තියෙන එව්වෝ වෙච්චි, අපි නිකං දෙපානම රූකඩ සංගමයේ විශේෂ දර්ශනයක් වාගේ ඒ ඇන්ටිලාගේ අත්විසිවෙන විසිවෙන පැත්තට හෝල්සේල් එකේ විසිවෙනවා...
මම ඉතිං ඔය අව් අස්සේ ඔහේ ගොබ්බ තාලෙට කියලා දැම්මා "දැන් මොකද ඇන්ටි කරන්නේ, අක්කට කෝල් එකක් දෙන්න වෙයිද කියල" ඒක ඇහුවම කට්ටියගේ ඇහි බෝල අතුරුදහන් වුණා..ඔය එදා දඩ වලිය කොණකත් තිබිලා තියෙන්නේ ඇහිච්ච ඒවයේ හැටියට මුන්දැලා කාගේද හැට්ටයක් වරද්දලා මැහුව සීන් එකක් තමයි...ඉතිං ඇස් පිටිං අතුරුදහන් වුණත් පුදුමයක්යැ! :D

අන්තිමට උන්දැල පිළිගත්තා වැරැද්දක් වෙලා තියෙන විත්තිය..පිළිනොගත්තානම් නේ ඉතිං! හහ්! 

ඊට හපං පොඩි කෙලීගේ ඇඳුම..! ඒකට ෆිටෝන් කරන්න එන්න කියලා කෙල්ලගේ මමායි ඩැඩායි දෙන්නම ඔෆීසි යන නිසා අත්තම්මා එක්ක එව්වා තකහනියක්! ඇවිත් පැය ගාණක් මදුරුවෝ තල තලා ඈනුම් ඇර ඇර හිටියයින් පස්සේ කියපි ඒ ගවුම තාම ලෑස්ති නැහැය, ඒක මීගමුවේ මහන තැන ඉඳන් ගේන්ට ඕනය, වෙන දවසක එන්ටය කියලා..ඒ අත්තම්මා මගේ හොඳම යාළුවාගේ අම්මා වෙච්චි නිසා හොඳට ගියා..නැත්නං මට ගවුමක් මස්සවං ඇඳන් එන්නට වෙන්නේ එදා...:D

ඇයි ඔය ගේ අස්සේම තව කොරනවා මනමාලියොන්ට ෆේෂල්..!
මම ගියා පළවෙනි දවසේ...අපොයින්ට්මන්ට් දාලා...
මාව පිළිගත්තා ගුටිකන මූණක් තිබ්බ කෙසඟ කෙල්ලෙක්...මම මේ මිනිස්සුන්ට අවලාද කියනවා නෙවෙයි හරිය...ඇත්තටම ඒ වගේ ගුටිකන ඩයල් එකකින් මූණේ ලේ කඳුලක් නැතුව තමයි මාව පොටි ගහන්න එක්ක ගියේ...මම ඉතිං වහා ගිනිඇවිලෙනසුළු වුනත් පාරේ හම්බුවෙන බල්ලා පූසා එක්ක වුණත් හිනා වෙලා ඉන්න එකී වෙච්චි, මට ඇහැක්ද ඔයි වගේ ගෙම්බර් ඉවසන්න! :@

ගිහිං දැම්මා ඇඳට...දැන් මෙයා මට දෙනවා නිකං බොසාට වඩා පොර මම වගේ හෙණ ලොකු ටෝක් එකක්. ඔය හංවල (ඒ කිව්වේ හමේ) තියෙනවානෙ නොයෙකුත් වර්ග...වියළි, තෙල් සහිත, සාමාන්‍ය,මිශ්‍ර කියලා..දැන් මට තියෙන්නේ මිශ්‍ර ටිකක් තෙලේ වැඩි හමක්...මේකි කියපි මම මූණට මොනාවත්ම කොරල නෑ ලු! ඇයි දෙයියනේ, කරන්නේත් අඩු පාඩුවක් නැතුව ඒ ටික විතරයි..මේ කොහෙවත් යන ගොබ්බියෙක් කියනවා කරලා නෑ ලු! ඒක කියන්නේ නිකං "මම තමයි පොර උඹ දන්න ඉටිගෙඩිය" වගේ ටෝන් එකකින්...ඔහෙලට හිතගත්තැකිනේ ඒ ටෝන් එක මොකද්ද කියලා...කොටින්ම කියනවානම් මට ඒ ටෝන් එක තමයි එපාම කරපු ටෝන් එක...! මගේ මාරයා අවදිවේගෙන වේගෙන ආවා සුපින්වතුනි, ඒත් පොටි ගැහිල්ලා අප්සට් කරලා මගේ වතකමල ඒකාලෝක කරාවි කියන සැකය නිසා මම ඉවසීමෙන් උත්තර දුන්න වචනයයි දෙකයි...ඒකත් ඉතින් රිටර්න් අර ටෝන් එකෙන්ම තමයි! ආයෙ නැතුව! :D 
ඊටපස්සේ කෙල්ල කතා බහ නවතා වැඩේ ඉවර කොට ආව උස්සාගෙන අලි තඩි ඩයරියක් ඊලඟ පොටි ගැහිල්ලට දවසක් දාගන්ට...මම කණ්ණාඩිය ඉස්සරහට වී මූණේ ඇද කුද බලමින් උන්නා වුණත් මට ඒ මූණ පෙණුනා වුණත් විනාඩි ගාණක් නොදැක්කා සේ ඉඳ මම කීවේ මෙච්චරයි."මගේ ෂෙඩියුල් එක චෙක් කරලා දවසක් කියන්නම්"..අර ටෝන් එකෙන්ම තමයි! කෙල්ලගේ කම්මුල් පිම්බුණා, නෙත බිමට බරවුණා, එතනින් තොලොංචි වුණා...

දැන් බොලා කියන්ට එපා මම මහ රූඩ්ය අරකය මේකය! කරන්න ගියාම ඔහේලට තේරෙයි ඔය බාසුන්නැහැලා එක්ක ඩීල් කොරද්දි තියෙන ස්ට්‍රෙස් එක..ඇත්තටම වෙන්ට මනමාලියන්ගේ පෙනුම වැඩිපුරම නාස්තිවෙන්නේ ඔය මංගල්ලෙට සූදානම් වෙන කාලෙදි මම හිතන්නේ..මොකෝ සුළුපටු ආතතියක්ද තියෙන්නේ ඒ කාලේ...අනික එකෙක්වත් ඒ ගැන හිතන්නෙත් නෑ නේ..."ඇයි තෝ බඳින්නේ..අපි කිව්වද බඳින්න කියලා! ආහ් බඳිනවද? දෙන්නම් ජම්බු!" ඔන්න ඔය වගේ ආකල්පෙකින් තමයි ඔය මගුල් බාස්ලායි උන්ගේ ගොලයෝයි බහුතරයක් හැසිරෙන්නේ...

දැන් ඔය ඔක්කෝම කෝලම් ලෑස්ති කරං එදා වැඩසටහනට හැරෙමුකෝ...

මට ගෙදරින් පිටත් වෙන්න තිබුණේ මහ රෑ 12:50ට...අන්ඳන්න පටන් ගන්නවා කිව්වේ 1ට...! කලින් දවසේ රෑ නින්දක් ඇත්තෙම නෑ නින්ද යාවි කියලා බයට! :D

1වෙද්දි එතනට ගියා කියමුකෝ ඉතිං..ඒ වුණාට ලොක්කි නෑ...එයාගේ ඇසිස්ටන්ට්ලා නම් අම්මපා මඟුල්කන්නමයි හොඳ..! .මට සාරිය ඇන්ඳුවා නෙවෙයි පෙරෙව්වා...අන්තිමට මට පෙනුණේ පෝයදාට සිල් ගන්ට යන්න ලෑස්තිවෙච්චි චූචි ආච්චියෙක් වගේ....දැන් අසූහාරදාහක් මල් පිපීගෙන එන මාව පුටුවක ඉන්ඳෝලා මෙයාලා උපමාලිලාව අන්ඳෝනවා..මම ඒ අස්සේ අර හැට්ට අතේ ගැලවිච්ච තැන්, කැටයම් කෑලි, බාගෙට අලෝපු ගල් කෑලි දිහා බල බලා මගේ දවස මුස්පේන්තු කරගන්නවා...අන්තිමට වෙන්ට මනමාලි පට්ටම පැත්තකින් තියලා මම එකෙක්ට පොඩි තගක් දාලා කිව්වා මේ හරියට මහපු නැතිවා මහන්න කියලා..ඒ ටෝන් එක ඇහුණම අපේ උපමාලිලා දෙන්න හිතලා මඟුල හබක් වෙන්නට යනවයි කියල...හික් හික්...
ඒ වුණාට මං අහන්නේ ඔය වගෙ මනුස්සයෙක්ගේ වැදගත් දවසකට ඔය තරම් වගකීම් රහිත විදියට වැඩ කරනවා ඉවසතහැකිද?අනික මොකෝ පිනට කරවගන්නවයැ!පිටුවක් පුරෝලා ලියලා ලියලා දුන්නේ දැක්කම පස්සෙන් දුං දාන තරමේ බිලක්!

ඊටපස්සේ ඕං ලොක්කි එනකොට 3ත් පහුයි...අර මුල් පිටි තට්ටුව එහෙම දාලා මං මිනිය වගේ වාඩිවෙලා ඉන්නවා පුටුවේ...ලොක්කිගේ මූණ දෙල් වුණා මං පෙරවං හිටි සිල් රෙදි දැක්කම..එයා ඉතිං මාර බටර් එකෙන් තමයි ඉන්නේ ගෝලයොන්ට..ඉතිං බොහොම කාරුණිකව එක්කෙනෙකුට කිව්වා මගේ ඔසරිය ආයෙත් ගලවන්ට කියලා..ඊටපස්සේ මෙන්න බොලේ මෙයාම ඔසරිය අන්ඳවලා තව කෑලි වගයක් මහන්න ගත්තනේ ඇඟේම තියලා...! මම ඩමිය වගේ හිටං ඉන්නවා,නපුරු පාට ගෝල ගෑණියෙක් මගේ ඇඟේ තියං කෑලි මහනවා...මහන වේගෙට මාව පරඬලාවක් වගේ වැනෙනවා...වැනිලම මහන්සි! කොටින්ම කොණ්ඩේ දාලාවත් නෑ, හරිය? මට පිටත් වෙන්න තිබ්බෙත් පැය 2යි..දැන් මට තරු විසිතුරු පංති පංති කියමුකෝ...!

ඊටපස්සේ ඉතිං ඔය ඔක්කෝම කරලා මාව ලෑස්ති කොලා කියමුකෝ...මට කලින් දීග දෙන්ට ලෑස්ති කරපු උපමාලිලා දෙන්නා මොණරු වගේ ඇඳන් 'හෑව්' ගගා ඈනුම් ඇර ඇර මුල්ලකට වෙලා වාඩිවෙලා 'සෙල්ෆි' ගන්නවා ඕං...ඒක දැකලා මට හිනා! :D

කොහොමහරි, අර මාව ඇන්ඳුව මහ ගෙයින් මට පිටත් වෙන්නේ තිබ්බේ 6ට..ඒ වුණාට පිටත් වෙන්න සිද්ධ වුණේ 7ත් පහුවෙලා....

බඳින්ට යන අපි ඩබලයි, උපමාලිලා ඩබලයි,උප මාලකලා ඩබලයි, මල් මාලියි මල් මාලයි..අපි කට්ටිය ගියේ එකට.. පින්තූරු ගන්නමත් පැය 3ක් ඕන නෙව...

දැන් ඔය අපි පාන්දර 1 ඉඳන් ඇන්ඳට මනමාලයයි, උප මාලකල දෙන්නයි අඳින්න ගියේ 4ට...4ට ඇඳලා කොණ්ඩ හදලා (එයාල මේක් අප් කොලේ නෑ) වාහනේ ඇවිත් මහ ගේ ලඟට උදේ 6 ටත් කලින්...දැන් අපි ප්‍රමාදයිනේ...එක මල් මාලක කෙනෙක්ට මලක් මැවිලා කියනවලු "අපි යං බං වෙන එකක එන්න කියමු" කියලා...මනමාලයා නෑසුකන්ව ඉන්නවලු...
හහ්! උන්දැලා විතරක් ගිහිං කා එක්ක පින්තූරු ගන්න හිටියද දන් නෑ! 

ඊටපස්සේ අපි එද්දි ඉතිං එක උප මාලකයෙක් බෙල්ල කඩං දොයි...අනිකා, ඔව් අර මල් මැවිච්ච හාදයා මා එක්කත් තරහටද මංදා පුම්බං උඩ බලං හොටු හූර හූර ඉන්නවා...පස්සේ ඉතිං මනමාලයටත් නෑ කිසිම මෙව්වා එකක් අනේ මේ යෝදි අඳුනන්ටත් බෑ නේ කියලාවත්...මූණත් බුකවං නහයට කෙලිං බලං ගියා කියමුකෝ...දුකේ බෑ ඇයි ඉතිං මුං එකෙක්වත් මට බොරුවටවත් ලස්සනයි කිව්වෙත් නෑ නේ..මැටි වලස්සු ටික! :/

දැන් අපි යන අතරේ මගේ එහා පැත්තේ හිටි උපමාලිලා දෙන්නත් බෙලි කඩං දොයි...උන්ගේ මල් පොකුරු උකුල් තලාවල දොයි...මට කරටි කැඩෙන්න දොයිමතයි ඒත් ඉහේ ගැහුව මල් පොඩිවෙන හිංදා දොයියන්න බෑ...පිටිම පස්සේ මල්මාලිත් දොයි, මල් මාලිගේ අත්තම්මත් දොයි...මගේ පිටිපස්සේ මල් මාලකලගේ එකෙක් බෙල්ලට බ්‍රේක් ඩාන්ස් දාං දොයි...අනිකා නහය බ්ලොක් වෙලා හූස් හූස් ගාන සද්දේට මගේ දොයි කැලේ...හික් හික්...

ඔන්න ඉතිං ඔය සවාරිය අහවර වෙලා හෝටලේට යද්දි පින්තූරු අයියා ඉන්නවා මූණ කුණ්ඩහට්ටිය කරං..අපි පරක්කුයි කියලා...අපි ඉතිං එයාට පනාවක් දාල ෂේප් කොරන් පින්තූරු ටික ගත්තා...ඒ අස්සේ අපි බලනවා කෝ අපේ අම්මලා තාත්තලා කියලා..මොකෝ ඔය ජෝඩු දෙක අහසට පොළොව වගේ...අපේ ඩැඩායි වෙන්ට මෑන්ගේ මමායි දෙන්නම කෝච්චි ඉට්ටැයිල් කට්ටිය...ඔරලෝසුවේ පැය කටු වුනාඩි කටු තප්පර කටුවලින් එයාලට වැඩක් ඇත්තෙම නෑ...ඒ වුණාට අපේ මමායි වෙන්ට මෑන්ගේ ඩැඩායි ඒකට..මරු ඩබල! උදේ 7ට යන ගමනට උදේ 5ට ඇඳන් ඊටපස්සේ අරහෙට මෙහෙට දුව දුවා කෙළපෙරන් තාම දොයි කට්ටියට බැණ බැණ වේලාව දක්වන එක තමයි එයාලගේ වැඩේ...කොටින්ම මම එයාලට කියන්නේ "ජාතියට වේලාව දක්වන්නෝ" කියලා...
...ඉතිං මං හිතුවා දූ පුතා දීග යන දුකට කියලා මෙයාල වැටිල නිදාගත්තදෝ කියලා...මොන පිස්සුද කට්ටිය වෙලාවට එතන..:) :)

අපරාදේ කියන්ට බෑ ඉතින් කාපු කට්ටේ හැටියට හිතුවටත් වඩා බොහෝම හොඳින් සියළු කටයුතු ඉෂ්ට සිද්ධ කෙරුණා..ඒකට අපේ නෑදෑ හිතවතුන් වගේම වෙන්ට මෑන්ගේ යාළුවෝ සෑහෙන්න මහන්සිවුණා...එදා දවස තුළ අම්මලා තාත්තලාට වැඩ කටයුතුවල බර නොදී කෝඩිනේෂන් පාර්ට් එක උපරිමයෙන්ම ඉටුකලේ යාළුවෝ..ඒකට උඹලාට අපගේ හද පිරි කෘතඥතාවය! 

22 comments:

  1. හැක් හැක්.. ඔහොම තමයි බොලේ.. කොච්චර හොදට සැලසුම් කලත්.. හිතේ හැටියට වැඩේ වෙන් නෑ.. කොහෙන් හරි කොනක් ඉතිරි වෙනවා... ආයේ නං බදින්න හිතන්නවත් එපා හොඳේ...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ..ආයෙත් අහලා! හැබැයි හොඳ වෙලාවට අපේ මඟුලේ සේරම කටු සහ කොණ් සෙට්වුණේ මඟුල් දවසට කලින්..ඒ නිසා එදා වැඩ ටික අඩුපාඩුවක් නැතුව සිද්ධ වුණා..ආයෙත් නම් බඳින්න තියා හිතන්නෙවත් නෑ..හී හී!

      Delete
  2. හප්පේ බඳින එකෙත් තියන අමාරුව! ඔන්න අපිත් සුබ පැතුව ලු :-)

    ReplyDelete
    Replies
    1. දිය සැලියේ කකුළුවා වාගේ තමා කුගැගීපො..සුභ පැතුමට ස්තූතියි..:D

      Delete
  3. උඹට හිතුන නේද ආයෙනම් ජීවිතේට කසාද බඳින්නේ නෑ කියලා. මං මේ බැලුවේ මේ දඩිබිඩිස් උඹව සිල් ගන්න යන ආචිචි කෙනෙක් තරම් සාන්තව පේන්න අන්දන්න උන්ට මොන හැකියාවක්ල් තියෙන්න ඕනෙද කියලා , නිකන් ඉන්න ඇති අස්පයෙක්ට සිල් රෙද්ද පෙරෙව්වා වගේ :P

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං?? වනේ වන සතුරෙකුටවත් මේ වගේ වින්නැහියක් වෙන්ට හොඳ නෑ..:D :D
      //මං මේ බැලුවේ මේ දඩිබිඩිස් උඹව සිල් ගන්න යන ආචිචි කෙනෙක් තරම් සාන්තව පේන්න අන්දන්න උන්ට මොන හැකියාවක්ල් තියෙන්න ඕනෙද කියලා , නිකන් ඉන්න ඇති අස්පයෙක්ට සිල් රෙද්ද පෙරෙව්වා වගේ :ඵ්?? හැක හැක..ආයෙත් අහලා..ඒත් මම උඹ හිතා ඉන්න තරම්ම දඩිබිඩිසුත් නෑ...හික් හික්...:P අස්සයොන්ට රෙදි පෙරෙව්ව හැකියැ බං..රෙදි කැලේ තියෙයි..:D

      Delete
  4. "ජාතියට වේලාව දක්වන්නෝ" කියල ප්‍රසිද්ධ ඇඩ් එකක් ගියා ඉස්සර ගුවන් විදුලියේ. ඒ තමයි එවකට ලංකාවේ තිබුනු ප්‍රසිද්ධම ඔරලෝසු ව්‍යාපාරයවූ කොටුවේ විමලධර්ම බ්‍රදර්ස්. ගුවන් විදුලියේ වෙලාව කියලා ඔය ඇඩ් එක යනවා. මගේ මතකය නිවැරදි නම් ඉස්සර වෙලාව කිව්වේ හැම පැයකට විතරයි. ඔය කියන විශාල කඩේට එහා පැත්තේ තිබුනේ ඒ හා සමාණ ව්‍යාපාරයක් කෙරූ විජේරත්න එක. ඒ අපේ පොහොසත් ඥාතියෝ.



    මගේ විවාහයට වියදම් වුන ගානයි, වුන හැටියි මම වෙලාවක ලියන්නම්. ඒක වුනේ 1988. වැඩි ඈතක නොවේ.
    අදනම් තියෙන්නේ මගුල් නෙමේ...වියදම් කරන එකාගේ අවමගුල.. එහෙම නැත්නම් කසාද බඳින එවුන්ගේ දික්කසාද. බැඳලා පහුවෙනිදා ඉඳන් ණය ගෙවන්න ලෑස්තිවෙන්න ඕන ජෝගි මඩුවේ සංවිධායකයින්ගේ. රන් කෙන්දෙන්ම නොබැඳුනත් විවාහය කියන්නේ හදවතින් බැඳුණු ආදරණීය බැඳීමක්. ඒ බැම්ම , ඔය හැම බැම්මකට වඩා ශක්තිමත් විය යුතු බව බඳින දෙදෙනා දන්නවා නම්, ඒක තමයි මගුල. ඒක තමයි කසාදය. මගේ ගොන් ටෝක් සීරියස් ගන්න එපා. All the best!!!

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා අරූ අයියේ ඕක..විමලධර්ම ඇඩ් එකෙන් තමයි මාත් ඔය කෑල්ල අහුලගත්තේ..:)

      ගොන් ටෝක්ස් නෙවෙයි අරූ අයියගේ අදහසට මම 100ට 200ක් එකඟයි..ඒත් වැඩේ තියෙන්නේ අපේ සමාජයේ මුල්බැසගත්තු අදහස් හා ආකල්ප..මඟුලක් නොකෑවොත් ඒක අහක ඉන්න උන්ට හෙණ ඉහේ කැක්කුමක් නේ..ඕං ඊටපස්සේ කට්ටිය පෙළ ගැහෙයි ආඩපාලි කියන්න, හේතු හොයන්න, උපදෙස් දෙන්න, තරහවෙන්න, චරිත සහතික දෙන්න ඔය ආදී වූ අනේකවිධ බහුරූ කෝළම් නෙව! :D
      Thank you anyway :)
      අයියගේ මඟුල් කෑමේ විස්තරේ කියවන්න ලකලෑස්තිවෙලා ඉන්නවා ඔන්න..:)

      Delete
  5. අම්මෝ....වෙලාවට, කසාදෙට කලින් කටුස්සි යන්න ගියේ වෙන කටුස්සෙක් ගාවට.හොදම වැඩේ ඕකට.දැන් කාපන්කො මගුල් ඒකිත් එක්කම...
    හඳපානේ ගමන් යාමට කැමති යුවතියකට (හෝ කිහිපයකට ) ඇබෑර්තු ඇත....

    ReplyDelete
    Replies
    1. ඈ බං...කටුස්සියෝ ඉන්නේ එච්චරයැ ලෝකේ...:O

      "මේක කටුසු ලෝකයක් -කටුසු (ඉ)-ලව් පිරුණු ලෝකයක්..!
      (අර රේණුකා නැන්දලගේ ෆිල්ම් එකක සිංදුවක් තිවුණා ඔය තාලේට) :D
      ඒ කටුස්සා බලං ඉන්නවද දන්නේ නෑ කවදා ඒ ණයෙන් ගැලවෙන්නද කියලා..:P
      මොනා වුණත් ඇබෑර්තු වැඩි කරගන්නෙපා...;)

      Delete
  6. අනෙ අම්මේ තරුවො... මේ ටික ඇහැව්වම හීන් දාඩිය දානවනෙ බඳිනවයි කියල මෙච්චර දුකක් විඳින්න ඕනද. මේවා ඇහැව්වම බඳින්නැතිව පැනල යන එක හොඳයි කියල හිතෙනවනෙ එහෙම ගියානම් ඔය වියදම් කිසි එකක් නෑනේ හික්ස් .. :D

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ හංසි..ඕවා අපිත් කලින් දැනන් උන්නා නම් මොන බැඳිලිද..! කෝ ඉතින් සේරෝම උන් ගුරු මුෂ්ටි තියන් නෙව ශිල්ප දීලා තියෙන්නෙ..:D

      Delete
  7. මදැයි මගුල් කෑමක් දැක්ක ගමන් හති හලාගෙන දුවගෙන ඇවිත් කියවන්න සැට් උනා. හරි. ඔන්න තීරණේ කොලා. අපි නං බඳින් නෑ, හඳපානේ පැනල යනව.

    මට ඔය මගුල් කෑමේ කට්ට සෑහෙන්න දැනුන අපේ කසින් අක්කියෙක්ගෙ මගුලකින්. බඳින දවසෙ ඒකිට හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තරමට කුපිත කුජීත වෙලා හිටියෙ අන්තිමේ ඔය මහගෙදර ඇත්තිලා හින්දම තමයි. මම නං ඕක පැත්තවත් බලන්නෑ කියල හිතා ගත්ත.

    ඔය මූණෙ පොටි ගාල නෑ කියන අවලාදෙ ඕනෙ සැලුනිච්චියෙක් කරනව. උන් ඒකෙන් අදහස් කරන්නෙ "මීට කලින් අපේ සැලුන් එකෙන් පොටි ගාන්න ඇවිත් නෑ" කියන නෝක්කාඩුව බන්. මටත් ඔය වෙලාවටනම් දෙන්න හිතෙනව මූණ සම්බෝල වෙන්න.
    මගෙන් දවසක් කැම්පොස් එක ළඟ සැලුනිච්චියෙක් අහපි ' නංගි තලාව, කැකිරාව පැත්තෙද?' (ෆුල් කින්ඩි ටෝන්.)
    'නෑ. ඇයි?'
    'කොණ්ඩෙ වවාගෙන ගොතාගෙන ගමේ ගොඩේ පාටට ඉන්න නිසා ඇහුවෙ. නංගි කලින් සැලුන් එකකට ගිහින්ම නැද්ද?'
    මම ඒකිට ඉතාම සීරු මාරුවට පැහැදිලි සිංහලෙන් මාකටින් සහ කස්ටමර් කෙයා ගැන ලෙක්චර් එකක් දීල එන්න ආව.

    ReplyDelete
    Replies
    1. //බඳින දවසෙ ඒකිට හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තරමට කුපිත කුජීත වෙලා හිටියෙ අන්තිමේ ඔය මහගෙදර ඇත්තිලා හින්දම තමයි. මම නං ඕක පැත්තවත් බලන්නෑ කියල හිතා ගත්ත.//
      එයාගේ වැඩ හොඳයි..ස්ටාෆ් එක නම් අජූතයි..!

      ආයෙත් අහලා! ඔය හැම සැලුනිච්චියෙක්ම ඉන්නේ උන්ට වඩා පොරක් නෑ කියලා හිතං..මට මේ ජීවිතේටම එකම එක තැනයි හම්බවෙලා තියෙන්නේ එහෙම නැති..එතනට ගියාම ඇඟේ ලේ වතුර කර නොගෙන, එක එකාගේ කුප්ප කතා, නෝක්කාඩු, අවමන් අපහාස නොවිඳ වැඩේ කරන් එන්න පුළුවන්.. :)

      //මගෙන් දවසක් කැම්පොස් එක ළඟ සැලුනිච්චියෙක් අහපි ' නංගි තලාව, කැකිරාව පැත්තෙද?' (ෆුල් කින්ඩි ටෝන්.)
      'නෑ. ඇයි?'
      'කොණ්ඩෙ වවාගෙන ගොතාගෙන ගමේ ගොඩේ පාටට ඉන්න නිසා ඇහුවෙ. නංගි කලින් සැලුන් එකකට ගිහින්ම නැද්ද?//
      මොකා??? සිරාවටම මෙහෙම කිව්වද??? :O
      ඒ මොන විකාරයක්ද!!
      මට කිව්වා නම් ආයේ තනි අලියා ගැහුවා වාගේ තමයි! ෆ්ලැට් කරන්න තිබ්බේ සැලෝන් කබල! :@

      Delete
    2. මහගෙදර වැඩ හොඳයි සිරාවටම නැත්තම් මගෙ කැවුම් මූණත් හැදුවා කියන්නකො නිකම් මලක් වගේ. අර ඇච්චං කෙල්ලො යන්නෙ පොළවට අඩි තුනහතරක් උඩින් නෙ ඒකයි පුරස්නෙ. අපේ අක්කට එන්න කිවුවෙ දොළහයි කාලට. එයැයිගෙ කොණ්ඩෙ තැලිච්ච කිඹුල් බනිස් එකක් වගේ කරලා මල් මාලියන්ට අන්දනවා හිටු කියලා. අක්කා තව පොඩ්ඩෙන් බෝම්බයක් ගහලා සැලුම ෆ්ලැට් කරානම් තනියාටත් වෙන සැලුමක් හොයාගන්න වෙලා.

      සිරාවටම කිවුවා යකූ.... මට මල් යායක් විකසිත වුනා කියන්නෙ දුන්නා ලෙක්චර් එකක් ආය සැලුන් ඇන්ටිට ඇඩ්ඩ්‍රස් නැතිවෙලා යන්න.

      Delete
    3. උඹේ මූණ කොහෙද බං කැවුමක් වගේ වෙන්නේ?:O
      හහහා...තැලිච්ච කිඹුල් බනිසක් වගේ කොණ්ඩ දාලා..හැක හැක..
      මගේ නම් කොණ්ඩේ අවුලක් කලේ නෑ...කොටින්ම කියනවා නම් එයාගේ මාකටිං පාරකටත් අපේ පින්තූරු ගත්තා..(ලැජ්ජාවෙන්) හී හී...:D

      ඒ සැලෝන් එකටනම් බිස්නස් නැතුව ඇති ඔය ඇනිකට් කටේ හැටියට එහෙනම්..කොයි දූපතෙන් ඇවිල්ලද දන්නේ නෑ ඔය සැලූනේ දාගත්තේ නේ? :/

      Delete
  8. කලින් ඉඳන්ම තිරණය කරන්න ඕනේ ජාති 3යි.
    මනමාලිට අන්දන්නේ කවුද?
    ෆොටෝ ගන්නේ කවුද?
    අනික් ඒවා අම්මලාට කරන්ඩ කියලා පැත්තකට වෙන එක තමා හොද ;) 
    අන්න එහෙමයි ;;;;;;) හොද ළමයි

    ReplyDelete
    Replies
    1. මේකා නම් වස කම්මැලියෙක් හෝ කම්මැලිච්චියෙක් වෙන්න ඕන! :P
      අවුරුදු ගාණක් අපිව ගෙදර තියන් දෙමව්පියෝ වින්ඳ දුක මදිද? :D

      Delete
    2. ඉතින් බං ඒ දුකට හිලව් වෙන්න අපිව බඳින්න කැමති වෙන්න එකෙක්ව අපිම එයාලට හොයලා දෙන එකම මදිද? :D :P

      Delete
    3. ඒ කතාවත් ඇත්ත තමා නේ!!

      බස්සිගේ ටිකිරි මොළේ!
      දාලා ගමු බොලේ ඇළේ! :P :P

      Delete