Friday, June 19, 2015

තණ්හා ආශා

කාස්ටකේට ඉර අව්ව..

ඉස්කෝලේ ඇරිලා වෙලේ පාරෙන් ආවේ අම්මාගෙන් කයි බත් කටක් කවෝගෙනම යන්න.බැත නැවිලා, හංසයොත් නැවිලා..රටාවට කපාගෙන කපාගෙන යන ගොයම් බරෙන් මිදුණම කෙතකට වුණත් නිස්කාංසුවක් ඇති නේද?

"ආ..මොකෝ පුතේ?" කොරටුවේ ගෙදර නැන්දා කාටත් කරුණාවයි.මම හිනාවෙලා කර දික් කරකර හෙව්වේ අම්මව..

"උඹ අම්මවද හොයන්නේ? අම්මා ගෙදර ගියා පුතේ..හිටිං ඒකිගේ කයි බත් පංගුව ඔතලා දෙන්න" නැන්දා දඩිබිඩියේ අනික් පැත්තේ නියරට ගොඩ උණා..

"ඇයි නැන්දේ අම්මා..හදිස්සියේම..ගෙදර?" මට අහේතුක බයක් දැනුණා.ගොයම් කැපිල්ලෙන් ලැබෙන වී මල්ල ගැන අම්මා හිටියේ සෑහෙන්න බලාපොරොත්තු පුරවන්..එහෙම එකේ ආ පයින් ගෙදර ගියේ..

"හදිස්සියක්ම නෙවෙයි කොලුවෝ..උඹලගේ ගහේ තව වැල වරක හැදෙන්න ඉඩ තියෙනවායි කියන්නේ" කොහොමත් බෝක්කු කටක් තිබ්බ හාමිනා නැන්දගේ කතාවට අනික් නැවිච්ච හංසයෝ සමහරක් නැවිලාමත් අනික් උන් ඉද්ද ගැහුවා හේ කෙලින් වෙලත් කැකිරි පලන්න තියාගත්ත හැටියට නම් මට හිතුණෙම උන්දැගේ බොල්ලෑව බඩට යන්න අනින්න..!

"මොනවද බං මේ කිරි සප්පයන්ට කියන නොසණ්ඩාල කතා..ආ පුතේ අරන් පලයන් මේක..අම්මට කියපන් ගොයම් කැපිල්ලට නාවට කමක් නෑ වී ඩිංගක් එවන්න ඇහැකියි කියලා" කොරටුවේ ගෙදර නැන්දා අන්තිමට ටික කිව්වේ නම් හඬ හොඳටම බාල කරලා..උන්දැ එහෙමයි..