Tuesday, October 20, 2015

වසන්ත කොටුවැල්ල, විරහි ප්‍රේමය සහ ගීතය

කාලෙකින් ගොඩ වදින්නට නොහැකිවුණු තැනක් තමයි චන්දන ගුණසේකර සහෝදරයාගේ සඳුන් සෙවණ..ඒකට හේතුව කාර්යබහුලකම වුණත් අද මට අවස්ථාවක් ලැබුණා ඒ පැත්තේ ගිහින් එන්න.ඇත්තටම කියනවා නම් මාව ඒ ගමනට පෙළඹූ කාරණාව තමයි, කාලය සමඟ සැඟව ගිය, මම කුඩා කාලයේ සිට බොහොම ප්‍රිය කළ රංගධරයෙක් සම්බන්ධව ලිපියක් පළව තිබීම..ඒ වසන්ත කොටුවැල්ල මහත්මයා සම්බන්ධව..සාමාන්‍යයෙන් පිදිය යුත්තන් පුදන්නට හුරුව සිටියත්, මේ අවස්ථාවේ ඔහුව මහත්මයෙක් ලෙස හඳුන්වන ප්‍රධානතම හේතුව තමයි චන්දන සහෝදරයා විසින් සඳහන් කොට තිබෙන "සිහිනයකි රෑ" වැඩසටහන නැරඹීමෙන් පසුව ප්‍රේක්ෂකයෙකු ලෙස මා හඳුනාගත් වසන්ත කොටුවැල්ල තුළින් ප්‍රකටවන, තවත් මනුෂ්‍යයෙකු වශයෙන් මා අගය කරණ ගුණාංගයන් කිහිපය..එකක් ඔහුගේ කෙළින් කතාව..ඒ හැරුණුවිට නිහතමානීත්වය, පරිණතභාවය සහ මනුෂ්‍ය චෛතසිකයේ ස්වභාවය පිළිබඳව ඔහුට ඇති අවබෝධය..ඒ ගුණාංග මා ප්‍රිය කළ රංගධරයා යටපත් කරගෙන නැගිසිටි බව නොකියාම බැහැ..



හිස් කළ හඬ නගන, විපරීතයන්ගෙන් ගහණ කලා ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රවීණයන් සැඟව යෑම අවංකවම කණගාටුවට කරුණක්..අනික් අතට එවන්නන් සොයායෑම ගැන වැඩසටහන් නිෂ්පාදකවරයා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලයට ස්තූති කළ යුතුමයි..ඒ හා සමානවම මෙවන් වටිනා ලිපි සම්පාදනය කරන චන්දන ගුණසේකර සොයුරාටත් අපේ ප්‍රශංසාව නිබඳවම හිමිවිය යුතුයි..

Monday, October 19, 2015

හැපී මැරී නොමැරී - 3 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට
2වෙනි කොටසට


6වෙනි දර්ශනය
------------------
කැමරාව තද නිල් පාට අහසේ ඉඳන් හිමීට පාත්වෙන්නේ පාට පාට සෙල්ලම් කූඩූ, ස්විමින් පූල්, ඉලෙක්ට්‍රික් කාර්, මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා ආදී එකී මෙකී නොකී දෑ ඇති තීම් පාක් එකකට..ඊටපස්සේ කැමරාව පස්සට ඇවිල්ලා තීම් පාක් එකේ දොරකඩ, අව්වේ සැරට ඇස් හීනි කරන් ඒත් ෆුල් සූට් එක ගහන් ටයි පොල්ලකුත් එල්ලන් බලන් ඉන්න ගුර්ව පෙන්නන්නේ ඔහුගේ පිටිපස්සෙ ඉඳන් බලන විදියටයි..ගුර් වහාම ස්මාට් ෆෝන් එක ඇදලා අරන් නෝට් එකක් චෙක් කරගන්නව නම හරිද කියලා..ඊටපස්සේ කඩන් බිඳන් ඇතුලට ඇවිදගෙන යනවා..කොච්චර කතුරු ඔන්චිල්ල කැරකුණත් කිසිම වගකිවයුත්තෙක් නම් නෑ වගේ නිසා කර දික් කරකර වේගෙන් ඇවිදගෙන යද්දි එක සැරේටම පොලිස් සයිරන් එකක් ඇහෙනවා..ගුර් නිකන් හොරෙන් කෂිය පෙරපු එකෙක් වගේ බලද්දි පොඩි ළමයි පදින ජාතියේ පොඩි පොලිස් බයිසිකලයකින් සයිරන් දාගෙන එන වයස පාට අස්පට් ඩයල් එකක් 'සර්-රෙන්ඩ සර්-රෙන්ඩ' කිය කියා කෑ ගහගෙන ගුර් පස්සෙන් පන්නන්න ගන්නවා..ගුර් පිටිපස්ස බල බල දුවගෙන ගිහින් ලොකු පත කුළුණක හැප්පෙනවා..නහයෙනුත් පහළට වැටිච්ච ලොකු අටපට්ටම් කණ්ණාඩි දෙක හදාගෙන උඩ බලද්දි ගුර් දකිනවා ඒ කුළුණක් නෙවෙයි නීල මහා යෝධයා වගේ සයිස් මිනිහෙක් බව..තමන්ගේ ඇඟේ මිනිහෙක් හැප්පිච්ච බවක වගක්වත් නැතුව මේ යෝධයා අර පිස්සු සයිරන් කාරයට බැණලා එලෝනවා..සයිරන් කාරයා යන දිහා බලන් ඉන්න යෝධයට ගුර් කකුලේ ඇඟිලිවලින් ඉස්සිලා කට අතින් බාගෙට මුවාකරන් හයියෙන් 'හලෝ..; කියන්නේ හරියට පුංචි කාලේ යෝගට් කෝප්ප ෆෝන් වලින් කතා කළා වගෙමයි..මිනිහා නුරුස්නාවෙන් වගේ 'මොකද්ද කෙරෙන්න ඕන' කියලා අහන්නේ මූණේ හිනා කඳුළක්වත් නැතුවයි, හරියට ලංකාවේ දෙපාර්තුමේන්තුවල පියන් මහත්තයෙක් වගේම තමයි..

"මේ..මට කරුණාකරලා කියන්න පුළුවන්ද අන්ඩ-වර්ල්ඩ් එක කොහෙද කියල" ගුර් ඒ ගමන හඬ බාල කරලා අහන්නේ වට පිටත් බලලා ලේන්සුවෙන් නළලේ දාඩිය පොකුර පිහිදගන්න ගමන්...

යෝධයා සිද්ධාලේප වෙද මහත්තයා වගේ ගුර්ගේ හිස් මුදුනේ සිට දෙපතුල යනතෙක් උඩ පහළ බලලා හ්ම්ම් කියලා අතින් සංඥාවක් කරගෙන ඉස්සරහට යනවා..

Sunday, October 18, 2015

වෙඩි තබනු ලැබේ!

මුල් කාලේ
-----------------
සායමුත් එපා, කොට ඇඳුම් එපා
හිර ඇඳුම් එපා, හැඩ වෙන්න එපා
චාම් වෙන්න මම ආදරෙයි..

ඊට පස්සේ
---------------
කවුද අරූ තෝ එක්ක හිනාවෙන?
මොකද තමුසෙ ලයික් කළේ උගෙ එකට?
මොකාට පේන්නද තමුසෙ ඔය
හිර කරලා ඇඳගෙන වනවනා යන්නේ?
මොකද ඔය හැටි නහස්තිය සල්ලි
කඩනවද ගස්වලින් වැවෙනවද වැල්වල?

පහුපහුවෙද්දී
-----------------
කවුරු දන්නවද තෝ මොනවා කරනවද
එහා කෑල්ලේ එකෙක් පස්සේ වැටිලලු නේද?
නිකන් එනවද පිරිමි, අකමැතිම නම් ගෑණු
තමුසෙත් යන්න ඇති පැනලම දෙන්න ඕකුන්ට

එක ඉර පෑව්ව දවසක
-----------------------------------
ඔව් ඔව් මම අද පැය 8ම හිටියේ නිදි වැදි වැදි
ඇයි තමුසෙගේ කරේ තඹ පාට කෙස් ගහක්?
හිර කරලා ඇඳගෙන වන වනා ගියේ අද
මොකද තමුසෙගෙ ෆෝන් එක හංගගෙන
හෙට යනවා මම ෂොපිං හම්බුණා බෝනස්
බුරන්න අයිතියක් නෑනේ මේවා මම හම්බුකරපු මගෙ සල්ලි
ෆෝන් එක බිසී ඔව් මම මල් කැඩුවා
තමුසේ කාටද චැට්වල තොත්තු දුන්නේ දිගට හරහට?

                                      -අද වෙඩි තැබීම මෙතෙක් කල් වෙඩි කෑව එකීගෙන්



ඔව් සැර කයියක් නම් තමයි..ලියවුණේ නුවර කුමාරිගේ මෙන්න මේ කයිය හින්දා..


Friday, October 16, 2015

විරහි පෙම

නුඹ ගියත් නුඹ නොදැන
තවම නුඹ මම ලඟම
සඟවාන මුලු ලොවට
විඳිමි මම විරහි හිත
උණුහුමක් ගෙන එන
ප්‍රේමයකට නොවන
මිදුණු ලෙංගතුමක
මම දකිමි ප්‍රේමය..
නුඹ නමට ඉපැදුණු
නුඹගෙන්ම රිදවුණ
නුඹ ගොහින් කල් ගෙවීත්
තවම මා ලඟ රැඳෙන..
කලෙක ගෙත්තම් කළ
සිහින නුඹ හා දුටුව
වියැක කල්ගෙවී'මුත්
සෙනෙහෙ වියපත් නොවන
නුඹට නොව නුඹෙන් ලද
විරහවට පමණමය
මා හිතේ ප්‍රේමය
කිසිදාක නොමියෙන...


ප්‍රස්තුතය ආවේ මෙන්න මේ පෝස්ට් එකෙන් 

Friday, October 9, 2015

හැපී මැරී නොමැරී - 2 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට

4වෙනි දර්ශනය
------------------
දිලිසෙන කැට කැට වැල් තිරයක් දැම්ම දොරකින් කැමරාව ඇතුල් වෙනවා.හැබැයි වටේ රූප පේන්නේ බොඳවෙලා..බොඳ වුණත් ඒවයි තියෙන රත්තරන් පාට තමයි ප්‍රමුඛ වෙන්නේ..මිනිස්සු කඩිනමින් එහා මෙහා දුවනවා පේනවා..ඒ සෙනග පීරගෙන ගිහින් නවතින්නේ සංගීත් රාත්‍රියක..නටන වයන සෙනඟ පීරගෙන ගිහින් කැමරාව නවතිනවා සුදු සරුවාලයක් ඇඳගත්තු කොණ්ඩේ වැක්ස් කරලා පස්සට පීරපු උස පිරිමි රූපයක් ලඟ..නැවතුණහම හරියට පිටට තට්ටු කලා වගේ ඒ රූපේ හැරෙනවා...කවුද?




Friday, October 2, 2015

වීදුරු මාංචු

මට චිත්‍රපටි පිස්සුවක් තිබ්බා තමයි.හොලිවුඩ් බොලිවුඩ් ඔය කොයි වුඩ් බැලුවත් තිරයේ පතිතවෙන දැවැන්ත වීරයා දිහා අනික් උන් වගේම මමයි ඉලන්දාරියයි බලන් හිටියේ හක්ක බිම වදිද්දි.වීරයා හද්ද කළුවරකත් අව්කණ්ණාඩි දාගෙන ඉඳලා මතුවෙද්දි, ඇඟේ මයිල් කෙලින් වෙන මියුසික් කෑල්ලක් එක්ක හැප්පුණොත් විසිවෙන තරම් අයෝමය උරිස් වනාගෙන ඉස්සරහට එද්දි හැම කොල්ලෙක්ම වගේ මොහොතකට අන්න අරම වෙයන් කියලා හිතුණේ නෑ කියන්න බෑ.අපිට නම් මේ ජීවිතේට ඇඟිල්ලකින්වත් අල්ලන්න බැරිවෙයි කියලා හිතෙන තරම් පට්ට ලස්සන ඒත් බාගෙට වගේ ඇඳගත්තු සුරංගනාවියෙක් බේරගන්න කොල්ලා කන කට්ට දැක්කම ගමේ කාස්ටකේට පිච්චිච්ච කෙල්ලෝ අතරේ හරි එහෙම වීරයෙක් වෙන්න ඉලන්දාරි හිතේ ආසාවක් ඇතිවෙන්න බැරිද?ඕවා හැම කොල්ලටම හිතුණට අපි අපිවත් ප්‍රසිද්ධියේ කතා නොකළේ පොඩි හීනමානයක් වගේ ගතියකුත් නිසාය කියලා අපිට නොතේරුණාමත් නෙවෙයි..ඒත් මගේ හීනවලවත් ඉලන්දාරියගේ හීනවලවත්  හංසමාලි එක්ක වීරයෙක් වෙන දර්ශන තිබ්බේ නැත්තේ නෑ..

ටික කලක් යනකොට අහම්බෙන් සෙට් වෙච්ච වුඩ්වල වෙනමම වීරයෝ වීරවරියෝ සෙට් එකක් නිසා හීනවලින් එළියට බැහැලා ඇත්ත ලෝකේ විඳින්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා අපි දැනගෙන වැඩිකාලයක් නෑ..වීරවරියෝ නැතුවත් අපට වීරයෝ වෙන්න වෙනම මාර්ගයක් පෑදිලා තියෙද්දි ආයේ මොකට ගැලරිවල විසිල් ගහන්න යනවද කියලා හිතලා අපි 'වැල' වගේ බලන්න ගත්තේ එච්චරටම රහ නිසා..ඩොංගල් රීලෝඩ් කරන් බාගෙන වටේ හැමෝටමත් දීගෙන බැලුවට ඒවයෙන් ඉගෙන ගත්තුවා හංසමාලිටවත් කරන්න නම් හිතේ බයක් තිබ්බා..