Tuesday, November 8, 2016

රණවිරුවන්ට සැලකීම යනු..!

15 පැයකට පෙර පළ කරන ලද ප්‍රකාශය වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් යුතුව නැවත පළ කර සිටිමි. "මේ අපේ එකෙක් වන්නේ යුධයක් ඇති කල පමණම නම්, සුණුව ගිය ඔවුන්ගේ අත් පා මතින් අපගේ සතර පා රැකුණු කල පමණම නම්, බිඳී ගිය ඔවුන්ගේ හීන මත අපේ සිහින මාලිගා වූ කල පමණම නම් අප ලැජ්ජා විය යුත්තේ ඇයිදැයි ඔබට තේරුම් ගත නොහැකිවීමම අරුමයක් නොවනු ඇත." 

මෙවන් නිවට නියාලු කාලකණ්ණීන් පාලකයන් ලෙස පත්කරගන්නට සතර දොරටුවෙන් දුන්නා වූද තවමත් උන්ගේ කල්කිරියාවන්ට සුදු හුණු ගාන්නට බුරුසු සොයන්නා වූ ද යහපාලන කැඳ හැලියකට සහල් මිටි දමන්නට ගියා වූ ද මුග්ධ රැල අද කතිර සලකුණු කළ උන්ගේ අත් මොනවා කළ යුතුදැයි සදාචාරාත්මක හේතු මත මම ප්‍රසිද්ධියේ නොකියමි! මේ සියල්ල මේ ලෙසම වන බව වසර දෙකකට පෙරාතුව සපථ කරමින් කියද්දීත් උඩුගං බලා ගිය අමන රැල වෙත මෙතෙක් කල මගේ අනුකම්පාව අද අවසන් වූයේය. ලැජ්ජාව දැනෙන තැනකට දැනෙන්නට අද ඔබේ අමන තීරණය ජාතියක් ලෙස අප ඇද දැමූ තැන ඇතිය. රටක් ලෙස, සමාජයක් ලෙස අපි අද කෑ පතේ පැහැරූ හැටිය ඔබගේ හර්ද සාක්ෂිය තවමත් පීඩාවට පත් නොකළේ නම් දන්ත වෛද්‍ය රාජිත හා එක්ව වැසිකිළියක මුණින් තලාව වැතිර දෙකොණ බලය විමධ්‍යගත කරන මෙන් මම ඔබට කියමි. දේශපාලනමය වශයෙන් කොටළුවකු ලෙස ක්‍රියා කරන්නට පෙර ඔබ යම්කිසි දවසකදී මනුෂ්‍යයෙකු වී සිටින්නට ඇතියැයි මම සිතමි.එසේ වී නම් අද ඔබේම වර්ගයාගේ චිර ජීවනය පිණිස ඇස්-ඉස්-මස් දන් දී, සියළු ආයාචනා-ඉල්ලීම් පලක් නොවූ තැන මහ වැසි මැද බළලුන් බල්ලන් මෙන් ලැග සිට ඉල්ලාගන්නට නොහැකි වූ දේ දිනන්නට ගිය උන්ට කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර වදින කල කොටළුවන් තුළ සැඟව ගිය මිනිස්කම උඹලාගේ හදවත්වලට මිට මොළවා නොගැසුවේ මන්දැයි අසනු කැමැත්තෙමි. වායුසමනය කළ වීදුරු කුටි තුළද සැප පහසු රිය තුළ ද දෙපා පටලාගෙන රාත්‍රී ප්‍රවෘත්ති නරඹන නිවාස තුළ ද සිටින උඹලාගේ දෙනෙත් ඉදිරියේ උන් දෙපා කොට, අත් කොට වනමින්, අතට අසුවන අසංවේදී බොරු කකුල්, කිහිලිකරු රැකගන්නට තැත් කරමින්, පනිමින්, වැටෙමින්, පෑගෙමින් පිළිසරණ පතා දුවන කල උඹලා වැන්නවුන් වෙනුවෙන් කළ දෑ කෙරෙහි ඔවුන් කළ කිරෙන්නට ද තමන්ටම සාප කරගන්නට නැතැයි උඹලාගේ හදවත් නොසිතනු ඇතැයි මම සිතමි. බෙදුණා හෝ නැතා හෝ සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් අපි අද කළ පවෙහි දෝංකාරය අනාදිමත් කාලයක් යනතුරුත්, මේ රටෙහි අවසන් පස් පිඩත් ඉන්දියන් සාගරයේ ගිලී නොපෙනී යනතුරුත් රැව් දෙනු ඇත්තේය.

Wednesday, November 2, 2016

සළු - 1වෙනි කොටස

නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්‍රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පි‍යෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...

හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..
ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන සරාගී ආරාධනාවක් මැනගන්න තරම් දැන් මගේ ඉඳුරන් ප්‍රවීණයි..මට තියෙන්නේ බන්දේසියක පාවෙන ෂැම්පේන් බඳුනක නටුවෙන් අල්ලා නෙලාගන්න ගමන් අතිශය සාමාන්‍ය ආකාරයට ඒ පැත්තට හැරෙන්න විතරයි..සමහරවිට ආරාධනාව තිගැස්සෙන්නත් පුළුවන්...ඒත් නැත්නම්, සුවපහසු යහනක උඩ හෙට උදේ රවී මුණගැහෙන්නත් පුළුවන්..

අද එහෙම ආරාධනාවක සංඥාවක් ආවේ හරිම කලබලේකින්..තාම සාදය පටන් ගත්තා විතරයි...එහෙම කියන්න පුළුවන් පාවෙන බන්දේසි එක්ක සුදු කළු ඇඳි ඡායාවල් මට තාම පේන හින්දා...සාමාන්‍යයෙන් ඒවා අපිට පෙනිය යුතු නැහැ..

"හායි" ඇගේ රළු නමුත් සරාගි හඬ මට පිටුපසින් ඇහෙන්නේ රහසක් වගේ..බෙල්ලේ පිටුපස රෝම රොද කෙළින් සිටුවන්න ඒ රහසට පුළුවන් බව ලොවෙන් වසන් කරන කබායට මම ස්තූතිවන්ත වෙන්න ඕන..දිගටි ඇඟිලි සහිත රවුම් අත්ලක් රතු වයින් බඳුනක බඳ මගෙ තරම් තදින් බදාගෙන ඉන්න බව නොහැරීම වුණත් මට දැනෙනවා..ඈ එක්ක දොඩමළු වෙන කෙස් පැහි හිසේ කණ්ණාඩියෙන් පිටිපස තියෙන ගිලිච්චි ඇස් මේ දැන් ගැඹුරු ගවුම් කරෙන් ඇතුළට පැන්න සද්දේ මට ඇහුණේ වෙඩිල්ලක් වගේ...දිගටි අතැඟිලි අල්ලා සොලවන ගමන් දුඹුරු පැහැ කැරළි කොණ්ඩයක් ඇගේ කළු කැරළි කොණ්ඩය යටින් යන්තමින් පේන සියුම් කන්පෙත්තට මෙරූන් පාට තොල් පෙති තියද්දි ඇගෙන් පනිනා රළු මන්ද්‍ර ස්වරයේ හිනාවට තිගැස්සෙන කලින් පැන්න ඇස් දෙක තව ටිකක් පහළට රූටලා යන්නැති කියලා හිතෙනකොට නම් මට හිතෙන්නෙම ෂැම්පේන් නටුව කඩලා ඒ ඇස් ගෙඩි දෙක නටුවේ අමුණන්න...



"ඔයා මහා ඉරිසියාකර රෝමියෝ කෙනෙක්" අර රහස් හඬ මගෙ ඝන කණ්පෙතිවල ඇතිල්ලි ඇතිල්ලි ඔච්චම් කරනකොට මට ඉවසන්න පුළුවන්ද? 
ඉවසන්න..? 
තවත්?..