Sunday, March 22, 2020

Amunhotep සහ කොරෝනා

ක්‍රිස්තු පූර්ව 13වන සියවසේදී ඊජිප්තුවේ රාජ්‍යත්වයට පත්වන Amunhotep (Amunhotep IV), Amunhotep the Magnificent (Amunhotep III) සහ ඔහුගේ අග මෙහෙසිය වූ Tiyeගේ  පුත්‍රයෙක්. පිය රජතුමා මහත් වෑයමක් දරා අසල්වැසි රාජ්‍යයන්ද ඊජිප්තුවට ඈඳා ගත්තාට මේ Amunhotep කුමාරයා සේනා සංවිධානයේවත් යුධ ශිල්පයේවත් උනන්දුවක් නැති, අවුරුදු 2000ක් ඊජිප්තු වැසියන් ඇදහූ Amun නම් ප්‍රධාන දෙවියා ප්‍රමුඛ දේව මණ්ඩලයම වළලා දමා Aten හෙවත් සූර්යයා නැමදීමේ නව ආගමක් ප්‍රචලිත කිරීමේ උවමනාවකින් පෙලුණු, Amunhotep the Builder ලෙස ඉතිහාසගතවීමේ තණ්හාවකින් පෙලුණෙක්. උද්ධච්ච, මුරණ්ඩු කලබලකාරයෙක් ලෙස සැලකෙන ඔහු පාලනය කරගැනීමට මව් බිසව Tiye තම සහෝදරයාගේ දියණියක වූ Nefertiti එවිටත් විවාහකව සිටි Amunhotep කුමාරයාට සරණ පාවා දෙනවා. නමුත් සිදුවන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දෙය නෙවෙයි. අතිශය රූමත් නමුත් Amunhotepහට නොදෙවැනි අහංකාරකමකින් සහ කපටිකමින් පිරුණු Nefertiti තම බලය තහවුරු කරගන්නේ Amunhotepගේ සෑම මුග්ධ ක්‍රියාවකටම අනුබල දීමෙන්. ඔවුන් දෙදෙනාගේ අනුග්‍රහයෙන් Aten දෙවියන්ට වෙන්වූ Amran නම් නගරය නිර්මාණය වෙන අතර Amun නම් පැරණි දේවියාට වෙන්වූ දේවාල කඩාබිඳ දමා එහි වස්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එනවා. තම රටවැසියා නම්මාගන්න ඔවුන් කරන්නේ Nefertitiගේ පෞර්ෂත්වය නිසා ඇය දෙවියන් හා සමාන බවට ඒත්තු ගැන්වීම සහ මුදල් සහ නොමිලේ ආහාරපාන බෙදා දීම. ෆාරාවෝවරුන් දෙවියන්ගේ මෙලොව නියෝජිතයින් ලෙස සැලකුණ නිසා එය එතරම් අපහසු කටයුත්තක් වන්නේ නැහැ.

Amunhotep the Magnificent විසින් ඊජිප්තුවට එක් කරගත් අසල්වැසි රාජ්‍යයන් සතුරන් විසින් ආක්‍රමණය කෙරෙන විටත් උදව් දීම වෙනුවට Amunhotep කරන්නේ තමන්ගේ යුධ සේනාවත් Amran නගරය ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීම. අවසානයේ එක් එක් රාජ්‍යයන් සතුරා (Hittites) විසින් යටත් කරගත්විට ඔහු කරන්නේ ඔවුන් සමග ගිවිසුමකට එළඹීම සහ උපදේශකයන්ගේ බලවත් විරෝධය මැදත් ඔවුන්ට තම නගරයට ආරාධනා කිරීම. මේ වනවිට කිරුළ හිමි කුමාරයෙක් වෙනුවට කුමාරිකාවන් හය දෙනෙකු Nefertiti විසින් ඔහුට ලබාදී තිබුණු අතරපුත් කුමාරයකු ලබාදී තිබුණේ දෙවැනි බිසව පමණයි (ඇය ඒ වනවිට පසුව Thutankaman ලෙස ප්‍රසිද්ධ වන කුමාරයාට උපත දෙන්නට සූදානමින් සිටින්නේ) . තමා පියාට කළ දෙය නිසා කොහොමත් පුත් කුමාරයාට බියවූ Amunhotep ලෙහෙසියෙන්ම තම මතයට නම්මාගෙන ෆාරාවෝවරයෙක් ලෙස අභිෂේකවන්නට Nefertiti ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් පැවති උත්සවයටයි Amunhotep සතුරාට ආරාධනා කරන්නේ.

හැබැයි සතුරා එන්නේ නිකම්ම නෙවෙයි. උතුරේ ඒ වනවිටත් ලැව්ගින්නක් වාගේ පැතිරෙමින් තිබූ වසංගත රෝගයකුත් අරං තමයි ඔවුන් Amran නගරයට සැපත් වෙන්නේ. කිහිලි ඉකිලි ඇතුළු වසා ග්‍රන්ථි සියල්ල ඉදිමී කලුගැන්වී පුපුරා ඕජස් ගලන්නට පටන්ගෙන දින කිහිපයක් ඇතුළත මිනිසුන් මියෑදෙනවා. Nebnefer නම් Amunhotep සහ Kiyaගේ පුත් කුමරාත් Amunhotep සහ Nefertitiගේ දියණියන් සිව්දෙනකුත් රෝගයට ගොදුරු වී මිය යනවා. විවිධාකාර මූලාශ්‍රවල විවිධ අදහස් සඳහන් වුවත් මේ පොතේ (ඵෙතිහාසික ප්‍රබන්ධයක් නේ!) කියැවෙන්නේ තම දරුවන් පස්දෙනෙකු එකම සෑයක දැවෙනු දැක වියරුවැටෙන Amunhotep වසංගතයට හේතුව මිනිසුන් Aten දෙවියා ඇදහීම වෙනුවට පැරණි දෙවිවරු ඇදහීම රහසින් පටන්ගෙන තිබීම විය යුතුයි කියා එවන් ගම්දනව් ගිනි තැබීමට පිටත්වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුත් එම වසංගත රෝගයට ගොදුරුව මිය යනවා.

මේ කතාව අපිට සමාන වෙන්නේ මෙහෙමයි:
*අපිත් Amunhotep වගේ අහළ පහළ වසංගත රෝගයක් පැතිරෙන බව දැන දැන උන්දැ සැණකෙළි පැවැත්වුවා වගේ හෙණ ෆන් එකේ ඉන්නවා.

*Amanraව වසංගතයට ගොදුරු වෙලා මාළිගයට එනතුරුම කිසිවෙක් ඒ ගැන කලබල වන්නේ නෑ. ඔවුන් හිතන්නේ මාළිගාව ආරක්ෂිත බව.

*දවස් 14ක ස්වයං නිරෝධායනයට ලක්වෙන්න කිව්වත් බයිලා ගැහුව මිනිස්සු Amranවලත් ඉඳලා තියෙනවා.

*එච්චර හරියක් වෙලත් පණ ඇද ඇද ඇවිත් කැරළි ගැහුව සාප කරපු මිනිස්සුත් ඉඳලා තියෙනවා.

ඉතින් ඒ මෙහෙනේ.
ඒ අතර සමාන්තර විශ්වයකත් කොරෝනා නම් වසංගතයක් පැතිරෙන්නට පටන් අරන් ලු!
 ලෝක පූජිත කොරෝනා රාජ්‍යය කියන එකේ පුත්‍රයාණෝ කියන පාලකයත් Amunhotepගේම කපාපු පලුවක්ලු. පිය රජතුමා හෙවත් පියාණෝ කුමාරයා (Piano the Magnificent) ටයර් සෑයවල් මතින්, පාතාලය හරහා දිනාගත් රාජ්‍යය ගැන පුත්‍රයාණෝ කුමාරයට එච්චර උවමනාවක් තිබුණේ නෑලු. Amunhotep වාගේම උද්ධච්ච කතා කියකියා මෝඩ කතාකියකියා කරකරා ඔහුටත් ඕනවුණේ Puthano the Builder කියලා ඉතිහාසගත වෙන්නලු. ඉතින් රාජ්‍ය විචෑරීම බිසවගේ කරේ තියලා එතුමා කළේ තට්ටු ගෙවල් වෙනුවට රාජ්‍ය පුරාම පෙට්ටි ගෙවල් අටෝ අටෝ යන එකලු. Nefertitiගේම අච්චුවෙ අග මෙහෙසියත් ඊට නොදෙවෙනි වෙන්න රාජ්‍යය විචාරගෙන විචාරගෙන යනවලු. ඔය Nefertiti බිසවටත් තිබිලා තියෙනවා අමරණීය වීමේ උණක්. ඉතින් මේ ලෝ. පූ. කො. රාජ්‍යයෙත් බැලූ බැලූ අත රජ පවුල අමරණීය වෙන විදියට දේවල් ගොඩ නගලා තිබ්බලු. කොටින්ම ඔය Nefertitiගේ පින්තූරවල ඈ පළඳන ඔටුන්න විශේෂයෙන්ම ඇයට හැදවූ එකක් කියලා කියන නිසා ලෝ. පූ. කො අග මෙහෙසියත් එහෙම එකක් පැළැන්ඳලු. ඉතින් මෙහෙම වසංගතය අනෙක් රටවල්වල සීඝ්‍රයෙන් පැතිරෙද්දි රටවැසියා බයවෙලා ඇහුවලු "පස්වාන් දාසකට බුදුවෙන්ඩ අවසර දේවයිනි, අපි දැන් මක්කැයි ඉතින් කොරන්නේ?" කියලා. පෙට්ටි ගෙයක් අධීක්ෂණය කරකර හිටිය උතුමාණෝ කිව්වලු "මගේ පියාගේ ආනුභාවයෙන් ඔය කිසිම වසංගතයක් මගේ රාජ්‍යයට ඇතුල්වෙන්නේ නං නෑ. මාව විශ්වාස කරන්න. මේ පුත්‍රයාණෝ එහෙනං ගමක් ගමක් නගරයක් නගරයක් පාරක් පාරක් ගානේ ඇවිදලා මට ඔක්සිජන් දුන්න තමුන්නාන්සේලා එක්කම හුස්ම ගන්න බැරිවෙනකල් ඉඳලා වැටිලා මැරිලා යනවා" කියලා. රටවැසියාත් හො හොඳා කියලා කරේ තිබ්බ අමුඩ ලේන්සුවෙන් නාහෙ කට ආවරණය කරන් හිටියලු.

ටික දවසක් ගියාලු. වසංගත රෝගය රට පුරා පැතිරුණාලු! මිනිස්සු තැන තැන ලෙඩ වෙවී වැටුණලු." අනේ දේවයන්වහන්ස අප බේරාගන්න"කියලා අඬා වැටි වැටී මරු තුරුලට ගියාලු. පුත්‍රයාණෝ කුමාරයා තමන්ගේ දරු පවුල විතරක් මාළිගාවට දාගෙන ස්වයං නිරෝධායනය වුණාලු. නිරෝධායනය ඉවරවෙලා එළියට බැහැලා බලද්දී......

මං හිතන්නේ මේක ලිය ලිය හිටි අතරේ මට නින්ද ගිහින්..😳

මොනා වුණත් මෙච්චරයි අදූරදර්ශී, අමන, උද්ධච්ච පාලකයෙක් ඇති රටකට සාපයක් වෙන්න. 

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න🙏

No comments:

Post a Comment