Saturday, January 25, 2025

අසල්වැසියා සහ අපි

අපේ අසල්වැසියා ලෝකෙ සිව්වෙනි බලවතා. හැබැයි අලුත් ලංකාණ්ඩුව තාම ඉන්නෙ අසල්වැසි මානසිකත්වයෙ නෙවෙයි, ඉන්දියානු යටත් විජිත මානසිකත්වයෙ!
ඔව් ඉතින් අර ඒ කාලේ වේදිකාවල කරපු චණ්ඩි කතා කතාම තමයි ලංකා ඡන්දදායකයා රැවටුණාට.

අසල්වැසි මානසිකත්වයෙ හිටියා නම් අනුර ප්‍රමුඛ ජාජබෙ මේ වෙද්දි බලන්න ඕන ඉන්දියාවට දෙන්නම විතරක් නෙවෙයි, එහෙන් ගන්න තියෙන්නෙ මොනවද, ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. තරුණ ව්‍යවසායකත්ව නියෝජ්‍ය ආමාත්‍යවරයා වුණත් පොල් මිරිකන වෙලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන ටිකක් අවධානය යොමු කළා නම් වටිනවා. 

2000 දශකයේදි ජාත්‍යන්තරයට යන්න ගත්ත Infosys, Tata Consultancy Services (TCA), HCL, Wipro වගේ ඉන්දියානු ආයතනවල අද ජාත්‍යන්තර ව්‍යාප්තිය බලන්න. ඉන්දියානු දළ දේශීය නිෂ්පාදනයෙන් 8-10%ක් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්. ඒක වාර්ෂිකව ඩොලර් බිලියන 250කට ආසන්න ආදායමක්, ඒ සම්පූර්ණ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමින් 18%ක් වගේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ආදායම 2022 වාර්තාවලට අනුව ඩොලර් බිලියන 1.5යි. මේ අගයෙ සැලකිය යුතු වැඩිවීමක් නම් වෙලා නැති බව සහතිකයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විතරක් ගෝලීයව ඉන්දියානු ශ්‍රම සම්පත් දායකත්වය මිලියන 5කට වැඩියි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය 175,000ක් පමණ.
ජාත්‍යන්තරව අපි ඉන්නෙ කොතනද කියලා පැහැදිලියි නේද?

Gartner පුරෝකථනවලට අනුව මේ වසරේ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා, විශේෂයෙන්ම Cyber Security, Business Intelligence සහ Data Analytics කියන අංශ මූලික කරගෙන. ට්‍රම්ප් රජයේ AI ව්‍යාපෘති ආරම්භයත් මේ එක්ක සමපාත වෙනවා. නමුත් ට්‍රම්ප්ගේ විදේශ සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්තිවලින් අනිවාර්‍යෙන්ම ඇමරිකාවේ සිටින ඉන්දියානු තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන්ට බලපෑමක් සිද්ධ වෙනවා. 'අනේ ඔයාලා කැමැත්තක් කරන්න එහෙනම්, අපේ අයව අපි ගෙන්න ගන්නම්' කියනවා වෙනුවට කටකාර ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ක්‍රියාකාරීව නැගී සිටිනවා, සාකච්ඡා කරනවා තමන්ගේ රටට ලැබුණ සහ ලැබෙන්නට තියෙන අවස්ථා, තමන්ගෙ රටේ ව්‍යාපාරිකයන් රැකගන්න. ඒ සටනට ඔවුන්ගේ ප්‍රධානම පාරිභෝගිකයා වෙන ඇමරිකාවද මේ හිච්චි ශ්‍රී ලංකා දූපතද කියන එක අදාල නෑ.

බිලියන 1.4ක ජනගහණයක් ඉන්න ඉන්දියාවෙ මොන ක්ෂේත්‍රයෙන් අවස්ථාවක් ලබාගන්නත් යම යුද්ධයක් කරන්න ඕන. ඒක නිසාම ජාතියක් හැටියට ඉන්දියානුවො හොඳින් හරි නරකින් හරි තමන්ට ඕන දේ දිනාගන්න උත්සහ කරන, බැරියර් කඩාගෙන යන වීර්‍යවන්ත කොටසක්. වර්ග කිලෝමීටර් මිලියන 3.2ක වතුරවත් නැති, ජාතික දේශපාලනයෙ වෙන දෙයක් ගැන කිසිම අදහසක් නැති අන්ත දුෂ්කර ගම්මාන තියාගෙන, අටෝරාසියක් සංකීර්ණ අභ්‍යන්තර ප්‍රශ්න තියාගෙනත් ඉන්දියාව රටක් හැටියට යන ගමනෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා; රජයටත් ජනතාවටත් දෙගොල්ලොන්ටම.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #srilanka #informationtechnology #Global #nppsrilanka

Wednesday, January 22, 2025

ලංකා හකුර

"ඈ අන්දරේ.. මේ හකුරු හෙන රහයිනෙ බොල! කොහෙද කොහොමද මේවා හදන්නෙ හැබෑටම?"

"පස්වාන් දහසකට බුදුවන්ඩ අවසර දේවයන්වහන්ස, ඔව්වා හදන්නෙ අපේ ගමේ. බොහොම පිරිසිදුවට, ආටෝපයට. පිරුවට ඇඳලා, පිරුවටෙන් වටකරල, මුඛවාඩම් පැලඳගෙන කෙල බිඳුවක් දාඩිය බිඳුවක්වත් නොවැටෙන හැටියට. කිතුල පවා පිරුවටෙන් වටකරලා පාවඩ එලලා මඟුල් බෙර වයලා ගෞරව පූර්වකව මුට්ටිය බිමට වඩවන්නෙ..."

"හැබෑටම!..එහෙම නම් ඉතින් රස වෙන එක අහන්නත් දෙයැක්‍ යෑ. අන්දරේ, මට ඔය හකුරු හදන හැටි බලන්ට ඕන.."

රජතුමා වඩිද්දි කිතුලට ගිය දාඩියෙන් පෙඟිච්ච කලු කෙසඟ හීන්දෑරි මිනිහෙක් රූටලා ගහ පල්ලෙ පලච්චි ලු!
ගොමස්කඩ සරං කෑල්ලකින් යන්තම් විලිවහගත්තු කොණ්ඩා රැවුල් හැඩපලු ගෙතිච්චි තව මිනිස්සු කීපදෙනෙක් ගිනිරස්නෙට තුම්මුණින් දාඩිය වගුරුවමින් පැණි පත්ගානවලු!

අන්දරේ කිව්ව හැටියට මේ මොකද්දෑ මේ කියලා යක්ෂාරූඨ වෙච්ච රජතුමා අන්දරේ කැඳවලා ඇහුවලු 'මොකද්ද යකෝ මේ?? කෝ තෝ කිව්ව පිරුවට, මුඛවාඩම්, මගුල් බෙර, පාවඩ..??"

අන්දරෙත් ටිකක් ඈතින් ඉඳන් අහිංසකව හිනාවෙලා කිව්වලු "අනේ පස්වාන් දහසකට අවසර මතු බුදුවන රජතුමනි, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" කියලා.

ලංකාවට වුණෙත් ඒක නෙව.
අපි නම් මෙහෙමයි කියලා පිරුවට මවලා පෙන්නුවම 'අනෙ දෙවියනේ මෙව්වයැ රහ, ලස්සන, පිරිසිදුකම' කියලා 2/3ක්ම දුන්නා නෙව. 
දැන් ඉතින් හිල් ඇඳුම් ඇඳගෙන, යකා නටාගෙන, පත් හැඳිවලින් හතර වටේ නෙලාගෙන, පැණි තාච්චුවට කෙළ ගහගෙන හදන හකුර දැක්කම විලම්භීතවන ඡන්දදායක රජ වැසියාටත් කියන්න තියෙන්නෙත් ඔච්චරයි!

"කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!"

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka

Monday, January 20, 2025

විශ්‍රාම හටන

හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආරක්ෂාව සහ පහසුකම් සැපයීම ලෝකය පුරා දේශපාලනයට පොදු භාවිතාවක්. එක්සත් ජනපදයෙන් පටන් ගත්තොත් එහි හිටපු ජනාධිපතිවරයෙක්ට එරට වත්මන් කැබිනට් ලේකම්වරයෙක්ට සමාන වූ වාර්ෂික වැටුපක් (ආසන්න වශයෙන් වාර්ෂිකව ඩොලර් 220,000ක් පමණ) ජීවිතාන්තය තෙක්ම හිමිවෙනවා. හිටපු ජනපතිවරයාට, ඔහුගේ බිරිඳට ජීවිතාන්තය තෙක්මත් වයස අවුරුදු 16 වනතුරු දරුවන්ටත්  Secret Service ආරක්ෂාව හිමිවෙනවා. මේ හැරුණම ඔවුන්ට අවශ්‍ය කාර්‍යාලීය පහසුකම්, ආරක්ෂක සේවා මූල්ස්ථාන හරහා සෞඛ්‍ය සේවා, නිල ගමන් පහසුකම් සහ ගාස්තු පියවීම් ආදිය Former Presidents Act යටතේ ලැබෙනවා.

එකසත් ජනපදයේ රජ පවුල නඩත්තු වන්නේ රජයේ බදු මුදලින් බව ලෝකයම දන්නා කාරණාවක්. ඒ හැරුණු විට බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ සියලු මහජන සම්බන්ධතා කටයුතුවල වියදම Public Duties Cosa Allowance (PDCA) යටතේ ඔවුන්ට හිමිවෙනවා. 

අපේ අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආසන්න වශයෙන් මාසිකව ඉන්දියන් රුපියල් 150,000ක පමණ විශ්‍රාම වැටුපක් හිමියි. ඒ හැරුනු විට ගෘහභාණ්ඩ සමග නිවසක්, නිල කාර්‍ය මණ්ඩලයක්, Z+ ආරක්ෂක (ඉහළම ආරක්ෂක සේවය - highest category of personal security) ආවරණයක්, ඔහුට/ඇයට සහ තව එක් පවුලේ සමාජිකයෙක්ට නොමිලේ දුම්‍ රිය සහ ගුවන් සේවා, රජයේ පූර්ණ සෞඛ්‍ය සේවා පහසුකම් හිමිවෙනවා.

ප්‍රංශය නිල කාර්‍ය මණ්ඩල, ජීවිතාන්තය තෙක් පොලිස් ආරක්ෂාව, නිල කාර්‍යාල, නොමිලේ දුම් රිය සේවා සහ නිල ගමන් ගාස්තු සැපයීම කරන්නේ අවසානයට ඔහු හෝ ඇය ලද වැටුපේ යම් කොටසක් විශ්‍රාම වැටුපක් ලෙස ජීවිතාන්තය තෙක්ම ගෙවන අතරයි.

ජර්මනිය හිටපු ජනාධිපතිවරයෙක්ට ක්‍රියාකාරී ෆෙඩරල් ඇමතිවරයෙක්ට ලැබෙන වැටුප හා සමාන විශ්‍රාම වැටුපක් ජීවිතාන්තය තෙක්ම ගෙවන අතර නිල කාර්‍යාල, කාර්‍ය මණ්ඩල, නිල වාහන සහ ආරක්ෂක අංශවල තක්සේරුව අනුව ආරක්ෂාව සපයනවා.

රුසියාව හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක්ම විශ්‍රාම වැටුප්, වෙනත් පහසුකම්, ආරක්ෂාව සහ නිල් කාර්‍ය මණ්ඩල ලබා දෙන එකෙන් තවත් පියවරක් ඉදිරියට ගිහින් ධූර කාලයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තීරණවලට legal immunity එකකුත් ලබා දෙනවා.

දකුණු අප්‍රිකාවත් ඒ ආකාරයෙන්ම ජීවිතාන්තය තෙක් විශ්‍රාම වැටුප්, නිල කාර්‍යාල, නිල කාර්‍ය මණ්ඩල, නිල වාහන, ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සහ ගමන් පහසුකම් සලසනවා.

චීනයේ ඉහළම පුරවැසියන් ලෙස සලකන හිටපු ජනාධිපතිවරුන් සහ ලේකම්වරුන් බීජිංහි රජයේ ඉහළ නාගරික පහසුකම් සහිත නිවාස, සේවකයන්, ආරක්ෂාව, ගමන් පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් සපයමින් රජය විසින් ජීවිතාන්තය තෙක්ම ගෞරවනීයව රැකබලා ගැනෙනවා. 

දකුණු ආසියානු කලාපීය රටවල් හැම එකකම පාහේ පොදු භාවිතාව මීට සමානයි. හිටපු ජනාධිපතිවරුන්ට ඇති අවදානම් සලකා ආරක්ෂාව වැඩි කරන්නත් ඊට අදාළ පියවර ගන්නත් අපක්ෂපාතී භාවිතාවක් ලෝකයේ බහුතර රටවල පවතිනවා. 

ලංකාවේ මාස හතරේ ජනාධිපතිවරයාට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සපයා ඇති ආරක්ෂාව සහ සියලු පහසුකම් කප්පාදුකරන තුරු ඔහුට ඉස්පාසුවක් නෑ. 'තියෙන 60ත් ගලවනවා' යන තර්ජන ඝර්ජන ජනාධිපතිවරයෙක් හැටියට ඔහුගේ සැබෑ පංතිය (මාක්ස්වාදී පංති වර්ගීකරණය නොවේ) සහ ආකල්පයේ ඇති බුන්වත්කම බොහොම අපූරුවට පෙන්නා හිටිනවා (වන්දිභට්ටයන්ට නොවේ). 
මේ අනවශ්‍ය වියදම් කප්පාදුවෙන් එහා ගිය 'ඇරියස් පියවිල්ලක්' බව බහුතරය තේරුම් අරන් ඉවරයි.
රටේ ඕනෑ තරම් අභියෝග තියෙද්දී ඔහු තවමත් ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරන්නේ මේ ගැන. ගැලරියට ආතල් දීම විපක්ෂයේ ඉඳන් කළොත් පාලක පක්ෂයට ආවත් ඒ පුරුද්දෙන් ගැලවීමක් නැතිවෙනවා. වර්තමාන විපක්ෂයටත් මේක හොඳ පාඩමක්. අකුදිට අනුව ඔහු ලියුමක් ලියන්න 'හිතාගෙන ඉන්නවා' විශ්‍රාමයෙන් පසු තමන්ට ගෙයක් එපා කියලා. ඇයි තවම හිත හිතා ඉන්නේ, තමන් ජනාධිපති, රජය 2/3ක බලයක් ලැබිලා තියෙනවා, අනික එක පෑන් පහරක වැඩක්නෙ මෙතරම් පස්මහ බැලුම් මොකටද කරන්න ඕනම නම්? 

අකුදිගේ වෛරය ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා හෝ සිරිසේන සමග නොවන බව අතිශය පැහැදිලියි. තවමත් ක්‍රියාකාරී ප්‍රබල ව්‍යාපාරික ඩයස්පෝරාවක සහ ගෝලීය දේශපාලන ප්‍රභලයන්ගේ ආශිර්වාද ලත් ත්‍රස්තවාදයක් මුලිනුපුටා දමන්න මූලිකත්වය ගත්ත නායකත්වයක් හැටියට මහින්ද රාජපක්ෂට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන්න අවශ්‍යතාවයක් සහ අයිතියක් වගේම රටක් හැටියට ඔහුට ඒ ගෞරවය ලබාදෙන්න ලංකාවට යුතුකමක් තියෙනවා. වෛරය වපුරා දේශපාලන වාසි ලබාගන්න හීනමානයෙන් පෙලෙන කොටසකට ඒ සදාචාරාත්මක පරිචය නැතිවීම ගැන පුදුමයක් නොවුණත් අසාධාරණ, ඉලක්කගත පළිගැනීමක් බව මේ වනවිට අතිශය පැහැදිලියි.

සමහර බලු නකුටු ඇදයි. එව්වා ඉහළම උණ පුරුකේ දැම්මත් ඇද අරින්න අමාරුයි.
ලංකාව මේ අත්දකින්නෙත් අන්න එහෙම සංසිද්ධියක්.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka #JVPSrilanka

රක්ෂණ

රක්ෂණාවරණ ලංකාවේ නම් ඒ තරම් ගණන් ගැනෙන දෙයක් නෙවෙයි (බහුතර මතයට අනුව). වෛද්‍ය හෝ ජීවිත රක්ෂණ රැකියා කරන අයට නම් ඒ හරහා ලැබී තියෙනවා, සාමාන්‍යයෙන් සේවකයාගේ රක්ෂණාවරණයෙ දිගුවක් බිරිඳ/ස්වාමියා සහ දරුවන්ට ලැබෙනවා. ඒත් අවිවාහක සේවකයන්ගෙ දෙමව්පියන් ඒ දිගුවට ඇතුළත් කරන්නෙ ආයතන අතලොස්සක් විතරයි (මේක මානව සම්පත් කළමණාකරණ ප්‍රධානීන් සලකා බලන්න ඕන මානුෂීය කාරණාවක්).

ඒ ඇරුණම වාහන රක්ෂණ, දේපල රක්ෂණ හරි විදිහට අනුගමනය කරන පිරිස අඩුයි.
මාසිකව හෝ කාර්තු වශයෙන් කරන ගෙවීමට නිසි වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව රක්ෂණ සම්බන්ධයෙන් තියෙන සුලබ විචිකිච්ඡාවක්. ඒක නිසා බොහෝ දෙනෙක් තෙවැනි පාර්ශව රක්ෂණ වගේ 'ඇඟ බේරා ගන්නා' විසඳුම්වලට යනවා. ඒකට මේ රක්ෂණායතනවලින් ලැබෙන නරක අත්දැකීමුත් බලපානවා.
පරිස්සමින් බලාගන්නා තමන්ගේ සහ සමීපතමයන්ගෙ ජීවිත වගේම දේපල යාන වාහන ව්‍යාපාර නිසියාකාරව රක්ෂණය කිරීම වැදගත්. නමුත් මේ රක්ෂණ කොන්දේසිවලට හදිසි බලපෑම් කරන්න පුළුවන් හේතු ස්වාභාවිකව හරි කෘත්‍රිමව හරි ඇතිවෙන්න පුළුවන්. උදාහරණයකට 2004 දෙසැම්බර් 26 සුනාමි ආපදාව වෙද්දි වෙරළබඩ ව්‍යාපාර, දේපල සහ යාන වාහන සුනාමි තත්වයකට රක්ෂණය වෙලා තිබ්බෙ නැහැනෙ. ඒ නිසා රක්ෂණාවරණ තිබිලත් අගතියට පත්වූ පිරිසක් ඉන්නවා. 

ලොස් ඇන්ජලීස් නිතර ලැව්ගිනි හටගන්නා ප්‍රදේශයක්, ඒ අවදානම හොඳින් දන්නා කලාපයක් වෙලත් කිසිවෙක් දවස් 13ක් තිස්සෙ මේ තරම් විනාශයක් කරමින් ඇවිලෙන ගින්නක් බලාපොරොත්තු නොවූ බව පැහැදිලියි. ඇතැම් රක්ෂණ ආයතන මේ කලාපයෙන් ඉවත් වෙලා තියෙන්නෙ කාලයකට කලින්. හේතුව ඔවුන්ට මේ ප්‍රදේශයෙන් තියෙන ව්‍යාපාරික අවදානම වැඩිකම. වාර්තාවලට අනුව ඉහළම පෙලේ රක්ෂණායතන 12කින් 7ක්ම කැලිෆෝනියාවට නව රක්ෂණාවරණ නිකුත්කිරීම 2024දි නවත්තලා තියෙනවා. මේ වෙද්දි දේපල 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් පුළුස්සමින් පැතිරෙන මේ ගින්නෙ දේපල හානිය ඩොලර් බිලියන 250කට වඩා වැඩි බව දැනට ගණන් බලා තියෙනවා. වන්දි ගෙවීම් අවම වශයෙන් ඩොලර් බිලියන 30ක්වත් මෙයින් ඇතිවනු ඇති බවයි විද්වත් මතය. ලංකාවේ වගේම ඇමරිකාවෙත් රක්ෂණාවරන නොගෙවූ නමුත් මේ හදිසි විපත නිසා වන්දි ඉල්ලීමේදී ඇදෙන ප්‍රශ්න නිසා තවත් කලබගෑනියක් ඇතිවෙමින් තියෙනවා. 

අනෙක් අභියෝගය උකස් ණය (mortgage). ගින්න කොයිතරම් විශාල වුණත් ඒ ගත්තු උකස් ණය ආපහු ගෙවන්න දේපල හිමිකරුවන් බැඳිලා ඉන්නවා. සමහරවිට රජයෙ මැදිහත්වීමෙන් ඔවුන්ට අවම වසරකවත් සහන කාලයක් ලැබෙයි කියන කාරණාව සංවාදයට ලක්වෙමින් තිබ්බත් ඒ කාලයට අදාළ පොලිය සහ වාරික කවදහරිම සම්පූර්ණයෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා. 

ණය සහ බය සකල මනුෂ්‍ය සංහතියටම පොදු කාරණාවක් බව ආයෙ ආයෙත් පැහැදිලි වෙන සිද්ධි දාමයක් මේක. මිනිස්සුන්ට භෞතික දේපල අවශ්‍යයි. සමහරවිට අනවශ්‍ය තරමක දේපල නඩත්තු කරන්නට සිද්ධ වෙනවා සමාජ ප්‍රතිරූප නඩත්තුව හින්දා. ඒ මොන දෙයකින් හරි නිරන්තර සැක සංකාවෙන් බයෙන් පීඩාවෙන් ජීවත් වෙන තරමට මිනිස්සු ජීවිත සංකීර්ණ කරගෙන ඉවරයි. දැන් ඉතින් ඒ සංකීර්ණ ප්‍රශ්න ලිහාගන්න විධි හොයන එකයි තියෙන්නෙ. 

මේකෙන් ලංකාවටත් පාඩම් ඉගෙන ගන්න පාඩම් තියෙනවා. හැබැයි රක්ෂණ කියන්නෙත් ව්‍යාපාරයක් නිසා හරි දැනුවත් භාවයකින් තීරණ ගන්න එක වැදගත්. මොකද ආදරයෙන් පිලිගැන්නුවට වන්දියක් ගන්න ගියාම පටිපාටිය දීර්ඝයි. 

මනුෂ්‍ය තීරණ ආයෙ ආයෙ හිතා බලන්න තල්ලු කරවන න්‍යාය පත්‍රයක් ස්වභාව ධර්මයා ක්‍රියාත්මක කරනවා වගේ.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #trendingnow

Sunday, January 19, 2025

වික්ටර් සහ වික්ටර්

රාවය කතෘ, ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් 75වෙනි අවුරුද්දෙදි අද ලෝකයෙන් සමුගත්තා. ජවිපෙ ඉහළම ක්‍රියාකාරීත්වයක (පොඩි අතුල) ඉඳලා 1971 අප්‍රේල් කැරැල්ල නඩුවෙ 7වෙනි චූදිතයා විදියට අවුරුදු 5කට හිරේ ගිහින් ආව වික්ටර් පහුකලෙක ඒ විප්ලවය මෝඩ තීරණයක් හැටියට දැකලා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය දේශපාලන ප්‍රවාහයට එකතුවෙනවා. හැබැයි ඔහු තුළ හිටිය දේශපාලන විප්ලවවාදියා වෙනස් වුණා කියලා හිතන්න අමාරු තරම් සාක්ෂි අවුරුදු 75ක ඒ ජීවිත කාලය තුළ ඔහු එකතු කරලා ගියා. ඔහුව අදහපු, වීරයෙක් හැටියට දැක්ක කොටසක් වගේම ඔහුට අකැමැති, වෛර කළ කොටසකුත් ඇතිවුණා. වික්ටර් කොයි දේශපාලන පක්ෂය බලයට ආවත් 'සදාතනික විපක්ෂය' හැටියට ඉන්න හිතලා තිබ්බද දන්නෙ නෑ.
විප්ලවකාරී වික්ටර් මාධ්‍යවේදී වික්ටර් බවට පත්වෙන්නෙ 1986දි. මාධ්‍යකරණයේදිත් දේශපාලනයේදී පෙන්නන්නට ඇති හිතුවක්කාර මිනිහම පෙන්නපු වික්ටර්ට ඇලවිච්ච දේශපාලන ලේබලය නිසාම සමහර ඔහුගේ ඇගයීම් ලැබිය යුතු පර්‍යේෂණාත්මක ජනමාධ්‍ය කටයුතුත් යටපත් වුණා කියලා මට හිතෙනවා. ඔහුගෙ කෘතිවලින් ලංකාවම දැනගත්තෙ 'චෞර රැජිණ' විතරක් වුණාට ඔහු පළවෙනිම පොත් දෙක ලියන්නෙ හිරේ ඉන්න අතර (1972-77) කාලයෙදි. සමාජීය ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න බවට විකසනය වෙන හැටි ගැන ඔහුගෙ අත්දැකීමුත් මේ ලිවිලිවලදි විශාල කාර්‍යයක් ඉෂ්ට කරන්නට ඇති. 

අනෙකා වික්ටර් රත්නායක.
කලෙක ලංකාවටම උන්මාදයක් වුණ, 'ස' ප්‍රසංගයෙන් රටක් නලවපු ගාන්ධර්ව වික්ටර්. අදටත් තමන්ගෙ හඬින් සිංහල ගීත අසන්නන් නලවන වික්ටර්.
හිරු ප්‍රවෘත්තිවල දැක්කා වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක සහ ලතා වල්පොල කියන ප්‍රවීණයන්ට ගෞරව බුහුමාන දැක්වීමක්. සාපේක්ෂව තරුණ දෙවැනි පෙළ තමන්ගෙ ගීත ගායනා කරනවා බලාගෙන කඳුලු පුරවගත්ත ඇස්වලින් හැඟීම්බර වෙලා ඉන්න වයසට ගිය වික්ටර්. මතක ඇති කාලෙකත් ශක්තිමත්ව පෙනී හිටි වික්ටර්. ලෝ දහමට අපි හැමදෙනාම යට බව පෙනුණු විනාඩි කීපෙන් පස්සෙ ප්‍රවෘත්ති බලන අස්සෙත් හුඟක් දේවල් හිතුණා.

වික්ටර්ලා දෙන්නෙක්. එකම දවසෙ තැන් දෙකක, එක්කෙනෙක් නොකියම ගිහින්. 
අනිකා තමන්ගේ ජීවිත කාලය පුරා කළ දේවල්වල ස්මරණ රස විඳිමින් ගෞරවයට පාත්‍රවෙනවා. 

වික්ටර් අයිවන් මගේ ප්‍රිය ලැයිස්තුවේ තැනක් ලද කෙනෙක් නොවෙයි. ඒත් ඒ වික්ටර්ට මීට වඩා යම් ගෞරවයක් ලැබෙන්නෙ තිබුණේ නැද්ද අඩුම තරමින් ඔහු නියෝජනය කළ දේශපාලන කඳවුරුවලින්වත්. විශේෂයෙන්ම ඔහුගෙ මුල් දේශපාලන කඳවුර බලයට පත්වෙච්ච කාලයක. 

කලාවයි දේශපාලනයයි වෙනස් නෑ. දෙකේම ඉන්නෙ එකම මිනිස්සු. ඒ ක්ෂේත්‍රවල ඒ ඒ ආකාර බෙදීම් ගැටුම් කල්ලි කඳවුරු තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම යම්කිසි දවසක කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වයට යටත්වෙන්න ඕන. 
එහෙම දවසක වික්ටර්ලා දෙන්නෙක් ලෝකේ දෙයාකාරයක සැලකුම් ලබන එකක් නැතිවේවි.
පහර දියයුතු හෙලා දැකිය යුතු දේ වගේම අගය කළ යුතු වටිනාකම දියයුතු තැනදි ඒ නිර්භයත්වයම පළ කරන්න තරම් සමාජ ආකල්ප වෙනස්වේවි.

වික්ටර් අයිවන්ට සුභ ගමන්.
වික්ටර් රත්නායකට චිරං ජයතු.
දෙන්නම වටින මිනිස්සු.💐

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka