Sunday, December 24, 2023

ගස්

මගෙ පින්තූර ගොන්නෙ අහසයි මුහුදයි බව්වොයි ඇරුණම වැඩිපුර තියෙන්නේ ගස්! සමහර ගස් පින්තූර නොගත්තත් ඇහෙන් උරාගෙන හිතේ ඇඳගන්න ඒවා. මේක මහ මෝඩ කතාවක් වගේ සමහරුන්ට දැනෙන්න පුළුවන්, ඒත් ගස් කියන්නේ මට "මහ පුදුමයක්" දනවන එක දෙයක් (අහසයි මුහුදයි ඇරුණම). එක එක හැඩේට එක එක රටාවට අතුපතර විහිදපු මහා පතාක යෝධයෝ වගේ ගස් යට මිනිස්සු කියන්නේ කොච්චර නං අඟුටුමිට්ටොද කියලා පුදුම නොවී ඉන්න මට අමාරුයි.

මුහුද ගැන කිව්වම මේ කතාවත් මතක්වුණා. ව්‍යාපාරික හමුවකට ශැන්ග්‍රීලාවේ උඩක ඉන්න වෙලාවක අනෙක් පාර්ශවයේ ප්‍රමාදය ප්‍රයෝජනයට අරගනිමින් මං මුහුදේ පින්තූර ගත්තා. ගැඹුරු නිල්පාට තලාවක් වගේ ඇහේ උපරිම වපසරිය පුරා පැතිරිච්ච මහ මුහුද එක්ක බලද්දී ලංකාවේ ලොකුම බිල්ඩිමක් වුණත් කොයිතරම් නම් ශූන්‍යත්වයට ආසන්නද, ඒක මනුෂ්‍යයන්ව කොයිතරම් නිරහංකාර කරවන අත්දැකීමක්ද (Truly how humbling is this view) කියලා කිව්වම මගේ ප්‍රධානියා අවඥාවෙන් මා දිහා බැලුවා. 😁

ඉස්සර අපේ ආත්තම්මා කියනවා සමහර ගස් දැක්කම 'අනේ මට චිත්‍ර අඳින්න පුළුවන් වුණා නං' කියලා හිතෙනවලු. ඒක ඇත්තක් කියලා තේරුණේ මට ඉන් සෑහෙන්න කාලයකට පස්සෙ. සමහර කලාපීය ලක්ෂණ පෙන්වන ලස්සන ගස් තියෙනවා. අතුපතර විහිදපු යෝධ ගස් ලෝකෙන්ම හැංගිලා ඒත් අවුරුදු ගාණක ලෝක විපර්යාස බලාගෙන ඉන්න ඇති. එකම වර්ගයේ ගස් වුණත් වැවෙන හැදෙන හැඩ වෙනස්.

එහෙම ගහක් යට වාඩිවෙලා නිහඬ සංවාදයක් කරන්න තරම් ඉවසීමක්වත් ඉසිඹුවක්වත් අපිට ලැබෙයිද? මං හිතන්නේ එහෙම මිනිස් සංවාද අහන්න ලැබෙන, ඇත්තටම කිව්වොත් මිනිස් සංවාදයි සිතුවිලි තරංගවලිනුයි වැඩිපුරම පීඩාවට පත්වෙනවා ඇත්තේ බෝ ගස්! බෝගස් කොයිතරම් නම් මනුෂ්‍ය සිතුවිලි කන්දරාවක් දරාගන්නවා ඇතිද කියලා හිතෙන්න නං බෝගහක් ළග තනියම ඉඳලා බලන්න ඕන. මිනිස්සු කතා කරන වචන, ඒ මදිවාට ඒ වචන කතා කරන අස්සේ පසුබිමේ දුවන අන්නත අපරිමාණ දයාපරවශ, ඊර්ෂ්‍යාපරවශ, කරුණාපරවශ, ක්‍රෝධපරවශ, වේදනාපරවශ සංකීර්ණ සිතුවිලි ගංගාව දරාගන්න එකම බෝ ගහකට මහ බරක් වගේ දැනෙන්නේ නැතුව ඇතිද. තමන්ගෙන් කරන ඉල්ලීම්, කන්නලව්, ප්‍රාර්ථනා, දුක් අඳෝනා දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉඳීමම වෙහෙසකර නැති වෙන්න බැහැනෙ. මොහොතකට මට හිතුණා දැන හෝ නොදැන ගහක් වුණත් එහෙම පීඩාවට පත් කරන එක වරදක් කියලා. අනෙක් අතට අපි අපේ දුක්ඛ දෝමනස්ස ඔහේ විශ්වයට අතෑරලා සැහැල්ලු වෙන්න කරන උත්සාහයන් විනිශ්චය කරන්න පුළුවන් තැනක පෘථග්ජන මං නැහැ නේද කියන සිහි කැඳවීමත් ඒ එක්කම ආවා. ඒ මොකවුණත්, මනුෂ්‍යයෙක් හැටියට මගේ සිතුවිලි කන්දරාවෙන් කිසිම ගහක් පීඩාවට පත් නොකරන්න මං හිතුවා. පුළුවන් තරම් නිශ්ශබ්ද නිශ්චල සංවාදයක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක කොයිතරම් කාලෙකටද කියලා මම තාම දන්නේ නෑ. 
බලමු 😊

~ තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, November 26, 2023

බෝල කතා

මූණෙ හිනාවක්වත් නැති අවුරුදු 14ක 15ක විතර ළමයෙක් අලුත් පාට ටෙනිස් බෝලයක් පාරේ බම්ප් කරකර යනවා. ඒ සද්දෙයි කණාමැදිරියට වඩා දිලිසෙන ලුමිනස් කොළපාටයි මගෙ ඇස් කණ් වලින් රිංගලා, දීර්ඝ (මං දන්න සිසිරෙකුයි තාරකේකුයි නෑ!) නිද්‍රාවක හිටිය ළාමකයව අවදි කළා. ඒ වෙලාවේ ඉඳන් ළාමකයට ඕන ටෙනිස් බෝලයක් ගන්න! (විකාර!)

ළාමකයට මොකහරි ඕනවුණාම ගේම අතාරින්නේ නෑ ලේසියකට. දන්න හින්දා තමා නිද්‍රාවක තියලා තියෙන්නේ.
හවස එද්දි ළාමකයා පැනලා මාව අතින් ඇදගෙන ආපිකෝ කඩේට ගොඩවුණා. ට්‍රැක් රෙකෝඩ්වල හැටියට ඔය ළාමකයා සෙල්ලම් බඩු, පාට පෑන් පැන්සල් පැත්තට ගියොත් දඩයක් වදිනවාම තමයි. ළාමකයාට ළමයෙක් හිටියා නං එතන ළාමකයෝ දෙන්නයි!

මෙන්න තියෙනවා ඉතින් ඇස් කඩාගෙන යන ලුමිනස් කොළ පාටට දිලිසි දිලිසි අලුත්ම අලුත් ටෙනිස් බෝල කූඩයක්ම! ළාමකයා පැනපු ගමන් එකක් ගත්තට ඒකෙ මිල නැති හන්දා මං මිල ගහපු බෝලයක් අතට ගත්තා, දැන් ඉතින් කොහොමත් මේක අරං දෙන්න එපාය! මිල 945යි!! දැන් ටෙනිස් බෝල හදන්න ප්ලැටිනම්වලින්ද කියලා අහන්න යද්දී තමයි බෝල තුනක බම්බු පැක් එක 4800යි කියලා ගහලා තියෙනවා දැක්කේ. 945 ඒවා තුනක් 4800ක් වෙනවද? සමහරවිට බම්බුවටත් එක්ක වෙන්නැතිනේ. 🤔
(grade එක අනුව වෙනස්වෙනවා ඇති සමහරවිට)

උද්ධමනය ටෙනිස් බෝලවලට කොච්චර බලපාලාද කියලා මං තේරුම් ගත්තා මිත්‍රවරුනි. ළාමකයත් පුදුමෙකට වගේ මූණ බෙරි කරං හරි බෝල අදහස අතෑරලා මා එක්ක යන්න ආවා!

අලුත්ම හරි හම ගියපු හරි එක ටෙනිස් බෝලයක්වත් නොතිබ්බ ගෙදරක් අපේ ළමා කාලයෙ තිබ්බේ නැතුව ඇති සමහරවිට. අහළ පහළ නසරානියො ටික එකතුවෙලා පාරෙ ක්‍රිකට් ගහලා ජනෙල් බිඳින නිසා, වත්තට ආව බෝල හොයන්න ක්‍රිකට් පිතිවලින් මල් පැල පොඩි කරන නිසා රාජසන්තක වෙච්ච ටෙනිස් බෝලම කොච්චර තියෙන්න ඇද්ද? එහෙම එක ගෙයක්වත් නැති අසල්වාසියක් තියෙන්න බෑ මං හිතන්නේ.
සමහරවිට ඊටපස්සේ පරම්පරාවල බහුතරේකට වන් බම්ප් ගහන්න, ක්‍රිකට් ගහන්න, අඩුම තරමේ වහලෙ එල්ලුව මේස් එකකට දාලා ප්‍රැක්ටිස් කරන්නවත් ටෙනිස් බෝල අනවශ්‍ය වෙච්චි නිසාද දන්නෙ නෑ ඔච්චර අගේ!. එක්කො උන්ට එව්වා කරන්න වෙලාවක් නෑ, එක්කෝ physical බෝල සෙල්ලම්වලට වඩා virtual සෙල්ලම් කරන එකට ඇබ්බැහි වෙලා වෙන්නත් ඇති.

ඔය කිව්වට ළාමකයා තාම ගේම අතෑරලා නෑ. හෙට අනිද්දට කීය දීලා හරි ඕක අරන් දෙන්නම වෙනවා ඉතින්🙄
ගත්තම කියන්නංකො ඈ.

~✏️ තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka


Tuesday, November 7, 2023

වැහිදා මනරං - 2

ඒ පටන් ගත් වැස්ස නැවතුණේ නැත. ලයිලා කෝපි කෝප්පයේ අන්තිම මන්ඩිය උගුරට හලාගෙන හිස් කෝප්පය පසෙකින් තැබුවාය. ඈතින් පෙළට ඇදෙන රතු කූඹි පෙළ තව මොහොතකින් ඊට අරක් ගනු ඇති බව මතක් වී ඇයට සිනා නැගිණි. දෂ්ට කළවිට අංශභාගය හැදුණාක් සේ දැනෙන රතු කූඹි දෙස පවා ඈ බැලුවේ අනුපමේය කරුණාවකිනි. 'එහෙව් මටනෙ මෙහෙම වුණේ' පපුව කඩාගෙන යන සුසුමක් නැගුණෙ මොහොතකින්ය. ඈ ගවුම හදාගෙන ක්‍රීම් පාට ටයිල් පොළවේ වැතිර තිබූ දිගු සුදු දෙපා ළං කර දණිස් වටා දෑත් යවා වඩා ආරක්ෂිතව ගුලිවූවාය. දැන් වැහි දෙකකි. කොළම දියකරවන වැහි දෙවියන්ගේ වැස්සය, කාත් කවුරුවත් නැති අඩ අඳුරු බැල්කනියේ ලයිලාගේ ආත්මය දියකරවමින් ඇදහැලෙන වරුසාවය. ඉන් කොයික වඩා වියරුදැයි දෙවියන් පවා වික්ෂිප්තව බලා ඉන්නට ඇතිය.

අහන් ඉන්නට කිසිවෙකුත් නැතත් ඈ නැගෙන්නට එන ඉකි ආයාසයෙන් වළක්වා ගත්තාය. ඒ ආයාසයටම ඇගේ දෙවුර ගැස්සේ. හදවත ගලක් එල්ලා ඇත්තාක් මෙන් බරය.

.... " ආකාශ්, අනේ ආකාශ්... මේ වැස්ස අරන් යන්න ආ..කාශ්.."

...."කොහෙ යන්නද ගෑණියේ... මේ මගෙ වැස්ස.. මම ආවේ.. මෙතන වහින්න.. උඹ තෙමෙනවා නං තෙමියං.. නැත්නං පලයං..!.."
හෙණ ගහන්නාක් වැනි ආකාශ්ගේ වචන තවමත් ඇගේ කණ්වල දෝංකාර දෙයි. මල් තුහිනයක් යැයි ඈ හිතූ ආකාශ්.. පිනි බිඳකටත් වඩා මුදු මොළොක් වූ ආකාශ්... රිදෙන්නට සිඹින්නවත් නොහැකිවූ ආකාශ්... අහිංසක අංගුලිමාල වූයේ කවදාද... දෙවියනේ කොහොමද...

හවස නේල් ආර්ට් දැමූ නියපොත්තක් ලාවට සපමින් ඈ කල්පනා කළාය. ගෙවූ ගණන සිහිපත්ව ඒ සැණෙකින් දතින් නිය ඇතැර දසැඟිලි විහිදුවා ඈතට කරමින් ඈ එහි හැඩ බැලුවේ කෙටි කොණ්ඩය දිගු මුදු ගෙලෙන් එක් පසෙකට දමාගෙනය. ලා රෝස පැහැය අහිංසකය, අහිංසක කිවූ සැණින් තමාට මජ්නු සිහිවන්නේ ඇයිදැයි ඈ ඊළගට කල්පනා කරන්නට ගත්තාය..

මේ මහ වරුසාවේ මජ්නු මොනවා කරනවා වන්නට ඇතිද..

මොහොතකට පෙර කොටුවේ පාරවල් යටකළ ජල කඳ මතක් වී ඇගේ ඇඟේ හීගඩු පවා පිපිණි. සෙම් කැහි කොටු මළ මූත්‍රා පවා සෝදාගෙන එන ඒ ජලකඳ ඇයට ගෙනාවේ කියාගත නොහැකි අපුලකි. ආකාශ්ගේ ජීවිතයේ සිටීම ඒ කුණු ජලකඳේ පාර සොයා යාමක් නම් තමා අනෝරා වැස්සේ මහා නගර මැදක සිටගෙන මජ්නු නැමැති පිරිත් පැන් කළය දෙසට දෝත දිගු කරනවාක් වැනියැයි ලයිලාට සිතුණේ හීන් සුසුමක්ද හෙළන ගමන්ය.

එයින් පැන් දෝතක් හරි ලැබෙනවා නම්...

#වෙන්ටසුජී

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #adverseweather

කතු සටහන:
වැස්සට තෙමීම නිසා මගේ සර්කිට්-ෂෝට් වේ. හෙටත් වැස්සොත් ඔබ සියලු දෙනා මට වයිර කරනු ඇත. කාන්ට් හෙල්ප් පින්වත්නි. ඉවසන්ට.

කාණු සහ කුණු කාණු

ඊයේ හවස පැය එකහමාරක් නොසෙල්වී එකම තැන. කොටින්ම මම පැය බාගයක නින්දක් දාලත් ඇහැරුණා! අදත් එහෙමයි, කිසි වෙනසක් නෑ.

හේතුව කොළඹට ගංවතුර. ගං කිව්වාට ගංම නෙවෙයිලු, කාණු අවහිර වීම හන්දා වැහි වතුර පාරෙන් ගලනවලු! මිනිස්සු කාණුවලට කුණු දාලලු!

ඒක වෙන්න බෑ!
මේ අපේ මිනිස්සු? ඉන්න තැන පාන් රොඩ්ඩක්වත් නොදාන අපේ රත්තරන් මිනිස්සු? ස්වයංවිනයක් හදපු සිස්ටම් චේන්ජ් කරපු අපේ සුන්දර මිනිස්සු කාණුවලට කුණු දානවා කියලා මට නං විශ්වාස කරන්න බෑ!!

පහුගිය දවස්වල බේරේ ළගින් යද්දි නිල් කැටේට වතුර ටික. ඒක දැක්කා නං බයියෝ නෙවෙයි ජෙපි කුරුටු නිරාගමික ඒ සේරමලා පැනලා නානවා ඇතිවෙනකල්! එහෙව් කොළඹ කොහෙද අප්පා කුණු? අනික කාණුවල දාන්න තරං! 😏

මේවා බොරු කතා!
රනිල් වික්‍රමසිංහ කොහෙහරි කාණුවකට පොරොප්පයක් ගහලා වෙන්නැති!
ඉන්න බෑනෙ එයාටත් ඉතින් මිනිස්සුන්ට වින නොකර.

ජනාධිපති මාමේ, ප්ලීස් ඔය පොරොප්පෙ ගලවන්ට.

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

වැහිදා මනරං

කොළඹ යට කරන මහා මුරුගසන් වරුසාවක් වහී. දේව පූජාවකට කහ දියර ඉසීමෙන්වත් පිරිසිදු කරන්නට බැරි, පව් පිරි නගරය උපන් දා පටන් කළ පව් සෝදවන්නට වැහි දෙවියෝ අදිටන් කරගත්තාක් වාගේ මහ වැහි හතක් වසී. ඒ වැහි හා හා පුරා කියා ප්‍රේමයෙන් මුසපත් වූ ප්‍රේමවන්තයකුට හෝ ප්‍රේමවන්තියකට රෝමාන්තික හීන අහුරු මුකුළු කරන වැස්සක් නොවේ. සතුටකට තෙමිය, නැටිය හැකි වැස්සක්ද නොවේ. ඒ වියරු වැටෙන විරහවක් වාගේ වැස්සකි. ඇගේ ඇහින් වැටෙන කඳුළු තරම් විශාල වැහි කඳුළු හලන වැස්සකි. කාස්ටක හිත්පිත් නැති මෘග කොළඹ විසින් වියරු වැට්ටවූ පිටගම්කාර අහිංසකයෙකුගේ පිවිතුරු ප්‍රේමයෙන් කොළඹ දියකරවන වැස්සකි. හිල් ටකරං වහලක් යට, හීතලට බෙලෙක් කෝප්පයේ හරිස්චන්ද්‍ර කෝපි උගුරක් බොන මජ්නුටද රන් පැහැ මැණික් කැටැති චැන්ඩ්ලියර යට රසමසවුළු ගන්නා පවුල මගහැර බැල්කනියේ ටයිල් පොළව මත ඉඳ සෙරමික් කෝප්පයක නෙස්කැෆෙ බොන ලයිලාටද එකසේ දැනෙන වැස්සකි. රොටියක් තනා ලුණු මිරිසක් අඹරන්නට අතේ පිච්චිය නැති මජ්නුට ද පොදි ගහන්නට සල්ලි ඇතත් රොටියක් තනන්නට නොදන්නා ලයිලාටද මේ වැහි වියරුව තම ආත්මයන් දෙදරවාගෙන ඇස් වේලි කඩාගෙන එන්නාවූ කඳුළු තරම් තදින් දැනෙන රාත්‍රියක දෙවියන් ද සරදම් කරනා හැටියක්දෝයි සිතේ.

ඉතින්, හෙටත් වැස්සොත්...

#වෙන්ටසුජී

~✏️ Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka  #adverseweather #trafficincolombo

Saturday, October 21, 2023

කාන්තා විමුක්තිය කෝකටත් තෛලයක්ද?

මම කාන්තා විමුක්තියේ හෝ ස්ත්‍රීවාදීත්වයේ අන්තවාදිනියක් නෙවෙයි. හැබැයි බොහොමයක් සංකල්ප වගේ කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම් කියන මේ දෙකම සම්පූර්ණයෙන්ම බැහැර කරලා ජීවත් වෙන්නත් බැරි විවිධාකාර කෝණවලින් සිදුවීම් දිහා බලන්න සිද්ධ වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඔව්, පීඩිත කොටසක් වෙනුවෙන් හඬ නඟන සමහරු මී කඩන්නේ අත ලොවින්නටම නෙවෙයි තමයි, හැබැයි ඒකෙන් කියන්නේ නෑ පීඩිත කාන්තාවන් අප අතර නැහැ සහ ඔවුන්ට සමාජයේ ආරක්ෂාව, උපකාරය අවශ්‍ය නැහැ කියලා. 
මේක අපි එක සිදුවීමක් දෙකක් හින්දා අල්ලගෙන පට්ට ගහන සංකල්පයට වඩා ප්‍රායෝගිකව හරිම සංකීර්ණයි. 

කාන්තාවන්ටත් ගෞරාවින්තව සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ඉඩ, මානව අයිතිවාසිකමක්. ඒක ගැහැණු හෝ පිරිමි හෝ සංක්‍රාන්තික හෝ වෙන මොකක් හෝ වේවා හැමටම පොදු, සමාන අයිතියක්! මොනවමහරි හේතු මත කොටසකට ඒ ඉඩ ඇහිරෙනවා නම් ඒ වෙනුවෙන් කතිකාවන් විතරක්ම ඇතිවෙලා මදි, ඩොලරයෙන් එහා ගිය ඇත්ත උවමනාවක් කැපවීමක් ඇතිවෙන්නත් ඕන. 

කාන්තා අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය වේදිකාවට එන්නේ රටම කම්පා කරවමින් ගෘහස්ථ හෝ වෙනත් හිංසනයක ශෝඛාන්තයක් එළිදැක්වුණාම හරි දූෂණයක්, බලහත්කාරයක් සමාජය සසල කළාම හරි විතරක් නම් අපි ඒ දේ ග්‍රහණය කරගන්නා විදියෙ ලුහුඬුකමක් තියෙනවා. 
ඒ වගේම මට පැහැදිලි නැති පොදු ප්‍රකාශ තියෙනවා "ගෑණියෙක් හින්දා ඉවසනවා, ගෑණුනේ, ගෑණු කියලා ඇයි විශේෂ සැලකිලි ඕනද" වගේ. ඒ ප්‍රකාශ ඇතුලෙම මොකද්ද පැරඩොක්සමය අවිනිශ්චිතත්වයක් තියෙනවා නේද? හරියට ගෑණු නිසා වෙනස් කරන්න ඕන නමුත් මම ඒක කරන්න ලෑස්ති නැහැ වගේ. 

අනෙක් අතට ඕනෑම පීඩිත කොටසකට පොදු පරපෝෂිත න්‍යාය පත්‍ර, ස්ත්‍රීවාදීත්වය තුළත් දකින්න පුළුවන්. ඔබගේ තුවාලය තවකෙනෙකුගේ ගතමනාව සරි කරනවා විතරක් නෙවෙයි සමහරවිට සතුට ඇතිකරවනවා වෙන්නත් පුළුවන්. ස්ත්‍රීවාදීත්වයේ කෙළ පැමිණි නමුත් තව ගැහැණියකට අනේකවිධ පීඩාවන් කෲරකම් කරන, යටිකූට්ටු වැඩ කරන, නොහිතන කරදරවලට පත් කරවන, අපහාසයට ලක් කරන ගැහැණුන් මම ළංළංව දැකලා තියෙනවා. එතකොට ගැහැණු පීඩාවට පත්වෙන්නේ විරුද්ධ පාර්ශවයෙන් "විතරක්ම" නෙවෙයි. 
අනෙක් අතට තමන්ට සම්බන්ධ කාන්තාවකට අසාධාරණයක්, කරදයක්, පීඩාවක් සිදුනොවන තාක් මතුපිට හිටගෙන විවේචන දෙන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ වගේම, විවේචන එල්ලවන්නෙ, ඒ හැටියට වැඩ කටයුතු කරන ලෝකයා දකින සුලුතරයක් නිසා වෙන්නත් පුළුවන්. හැබයි ස්ත්‍රීවාදීත්වය බාල්දු කරවීමෙන්, හෙලා දැකීමෙන්, පහර ගැසීමෙන් සමාජයේ තාම මුල්බැසගත්ත හැබැයි යටපත් කරන් ඉන්න උත්සහ ගන්න පුරුෂමූලික අධිමානය සහ අහංකාරය නොහිතන ඉක්මණින් එළියට පනිනවා. 

නිකමට මාධ්‍ය සහ සාමාන්‍ය සමාජය දිහා බලන් ඉන්න තමන්ගේ ස්ත්‍රී/පුරුෂ/නොවන මනෝභාවයෙන් බැහැර වෙලා. ගැහැණුන් කීදෙනෙක් ඔවුන් ගැහැණුන් වීම නිසාම විතරක් අපහාසයට ලක් වෙනවද? ඔටාරා වගේ සාර්ථක ව්‍යවසායකයන්ගෙ ඉඳන් නිළියන්, දේශපාලඥයින්, වෘත්තීයවේදීන්, ගුරුවරියන්, සනීපාරක්ෂක සේවා සපයන්නන් විතරක් නෙවෙයි ගෘහස්ථ පවුල් සංස්ථා (රැකියාමය පවුල් සංස්ථාත් ඇති නිසා) වගේ හැමතැනකම දිනපතා වාචිකව විතරක් කොයිතරම් අපහාසයට, පීඩනයට ලක්වෙනවද? ගීතා කුමාරසිංහ හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කරන දේම පුරුෂ දේශපාලකයෙක් කළාට සමාජයේ ඇතිවෙන සංවාදය සමාන වෙනවද? පියුමි හංසමාලි සහ ස්ත්‍රීලෝලී නලුවෙකු ගැන ඇතිවන සංවාද සමානද? ඕනෑම සුන්දර තරුණියක සහ සුන්දර තරුණයෙකු දිහා සමාජය බලන හැටිය සහ ඇතිවන සංවාදය සමානද? වෘත්තීයවේදිනියකගේ පුරුෂ සගයෙක් සහ ඇය ගැන ඇතිවන වෘත්තීයමය සංවාද සමානද? 

එහෙම නෙවෙයි නං ස්ත්‍රීවාදීත්වය, කාන්තා විමුක්තිය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා හිංසනය වගේ තෛල කෝකටත් කියන චෝදනාව සදාකාලිකයි! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #feminism

Tuesday, October 10, 2023

හමාස් ත්‍රස්තයෝ සහ කොටි බබ්බු

ඊශ්‍රායලය සහ හමාස් අතර බුර බුරා නැගෙන ගිනිදැල් අස්සෙ නිදාහිටි හිස්බුල්ලා නයිත් ඇහැරවාගන්නා මොහොතක මේ හිච්චි දූපතේද ත්‍රස්තවාදීන් (සමහරුන්ට දරුවන්ය, බබාලාය!) ගිනි තැබූ හැටිය මතක් කරදීමට හිතෙනවාය!

යුරෝපා කොණක අවුරුද්දකට වඩා ඇවිලෙන යුද්ධයක් මදිවාට තවත් එකක් මෙහා ආසන්න කොණකින් ඇවිලෙනවිට ජාත්‍යන්තරයද ඇවිලීමට පටන්ගැනීම පුදුමයක් නොවේ. මන්ද යත්, යුධයට සම්බන්ධ වෙන දෙපාර්ශ්වය සමග කාගේ වත්තෙ මල් කඩන්නේ කීමට අහළ පහළ ඈයෝද බෙදීගොස් ද්විපාර්ශවික යුද්ධයක් කලාපීය ගෝලීය යුද්ධයක් බවට පත්වීමට ඇති හැකියාව නිසාය, අද ඊශ්‍රායලය  වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ත්‍රස්තවාදීන් වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ශ්‍රී ලංකාව යන හිච්චි පිච්චි වැලි ඇටේ ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක් ඇතිවෙද්දි කොහේවත් ඇවිලිලි හදාගත් අවස්ථා ඇති නමුත් ඒ ශ්‍රී ලංකා රජය පැත්තේ සිටගෙන නොවේය!

නෙතන්යාහු සමග මරාගත් මහජනයාද හමාස් ඉවර කළයුතුයැයි කියන්නේ ඊශ්‍රායලයේය, සිරි ලංකාවේ විපක්ෂය නං මෙලහකටත් කොටි බබ්බුන්ට කළා වාගේ හමාස් පැටියන්ට කිරි පොවා නලවනවාය, ජිනීවා යනවාය, මානව හිමිකම් යනවාය, උසාවි යනවාය, වේදිකා දෙවනත් කරනවාය, අරගල කරනවාය, පාර්ලිමේන්තුවෙ හූ කියනවාය!
අනෙක නෙතන්යාහුගෙ "හැට නම ලක්ෂය" විතරක් හොය හොයා නොවේය හමාස් පහරදෙන්නේ! ලංකාවේ නං වෙන්නට තිබුණේ එහෙමය! එහෙම බැලුවාම පණ්ඩිත ඊශ්‍රායලයට ද හමාස්ලාට ද ශ්‍රී ලංකාවෙන් ඉගෙනගන්නට තිබූ දේවල් බොහොමය! සෙනසුරාදාට කලින් කීවා නං අපේ ඈයෝ ඕවා උගන්නා හදාගන්නවාය!

ලංකාවේ මායිම් ගම්මාන, ප්‍රධාන නගර, කොළඹ එක හා සමානව භීෂණයට ලක් කළ ත්‍රස්තවාදීන්, ඊළමක් ඉල්ලන එල්ටීටීඊය පමණක් නොවේය! න්‍යායාත්මක හීන රාජ්‍ය පෙන්වා නොමග යැවූ තරුණ පරම්පරාවන් අතකොලු කරගත් ජනතා "විමුක්ති" පෙරමුණ හෙවත් ජවිපෙ හෙවත් වෙස් පෙරලූ ජාතික ජන (ජඩ?) බලවේගය හෙවත් ජාජබ (ජයනු සංඛ්‍යාව ජල්බරි සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකය!) ද ඒ ලැයිස්තුවේ සිටී! කොටි පැටව් දරුවන්ද හමාස් බබාලා ලෙසද මේ ඇත්තන්ට පෙනුණොත් පුදුම විය යුතු නැත.

මෙහෙ භීෂණය ඇවිලෙන කාලයේ තාක්ෂණය නොදියුණු නිසා කොටින්ගෙත් ජවිපාවුන්ගෙත් ම්ලේච්ඡත්වය හරිහැටි දැක බලාගන්නට ඊළග පරම්පරාවලට පමණක් නොව ජාත්‍යන්තරයටද අවස්ථාවක් නොලැබීම අවාසනාවක්ය. ඒත් තියෙන වාර්තා ටිකවත් නොබැලූ වහුපැටියන්ය විටින්විට අර ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා පහන් පත්තු කරන්නට යන්නේ!
යුද්ධ කතා එහෙමය! දැන් අපේ විශාරදයෝ හමාස්ලාද මනුෂ්‍යයෝය කියා කොළඹ වටරවුං ගානේ පහන් පත්තු කරනු බලන්නට මට පුදුමාකාර ආසාවක් ඇතිවේගෙන එනවාය!
කරයිනේ? 😉

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, September 10, 2023

Haddi (2023)

(2023 සැප්තැම්බර් 10දා සිනමාවේදීන් සමූහයට) 

Haddi (2023) 
IMDb: 5.7/10
Genre: Crime, Drama

මගේ ඉරිදාවේ පැය දෙකක් හඩ්ඩිට දුන්නා.

හඩ්ඩි කියන්නේ හිජ්රාවෙක් හෙවත් සංක්‍රාන්තික ලිංගිකයෙක් (transgender). 

2018දී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවලට අනුව ඉන්දියාවේ විතරක් ඇස්තමේන්තුගත හිජ්රා ජනගහනය මිලියන 4.9ක්! ඇතැම් වාර්තාවලට අනුව මේ වනවිට එම අගය මිලියන දහයකට ආසන්නයි. කියැවෙන ආකාරයට පකිස්ථානයේ මේ ගණන 250,000ක් පමණත් බංග්ලාදේශයේ 12,000ක් පමණත් නමුත් නිශ්චිත නැහැ. අනෙක් අතට ඉන්දියාවේ තරම් මේ උප සංස්කෘතිය අනෙක් සමාජවල මතුනොවෙනවා වෙන්නත් පුළුවන්. 

හිජ්රාවන් ඉන්දීය සිනමාව හුරු කෙනෙකුට නුහුරු නෑ. කෝවිල් ආශ්‍රිතව උප සංස්කෘතියක් හැටියට හිජ්රාවන් වැඩිවශයෙන් ජීවත්වුණත් විවිධාකාර අඩු ආදායම්ලාභී, අවම සමාජීය තලවල සහ ගණිකා වෘත්තිය සමග අනුබද්ධවත් මේ උප සංස්කෘතිය දැන් දකින්න පුළුවන්. 

සමාජයක් හැටියට හිජ්රාවන් සුවිශේෂී වෙන්නේ වැඩියත්ම දේව ඇදහිල්ල මත ගොඩ නැගුණ ඉන්දියාවේ ඔවුන්ට ලබාදෙන අර්ථයන් මත. මතක නම්, මායා/කාංචනා වගේ හිජ්රාවන් ප්‍රධාන කරගත් ඉන්දීය නිර්මාණ සෑහෙන්න තියෙනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව සම්පූර්ණ ගැහැණුන්ටත් සම්පූර්ණ පුරුෂයන්ටත් වඩා මේ වර්ග දෙකේම ගතිලක්ෂණ සහිත හිජ්රාවන්ට ඒ වර්ග දෙකේම ශක්තීන් (සහ දුර්වලතා) තියෙනවා. හිජ්රාවන්ගේ ආරම්භය ගැනත් චිත්‍රපටයේ මැදක කියැවෙනවා. ඒක බලලම හොයාගන්න. 
මේකෙදි රංගනයෙන් දායකවන හිජ්රාවන්ට ස්තූතිය පළ කරලා තියෙන්නේ "To God's favourite special humans that contributed towards making this film possible" කියලා. 
විචිත්‍රවත් ඉන්දියාවේ ගැහැණුත් නොවන පිරිමිත් නොවන මේ ජීවීන් කොටසට ඇතැම් අය නින්දා කරන අතර ඇතැම් අය බිය මුසු ගෞරවයක් දක්වනවා ඒ ඔවුන් විශ්වාස කරන නිසා හිජ්රාවන්ගේ සාප දරුණු බව. 
චිත්‍රපටය ආරම්භයේම හඩ්ඩි ඒ ගැන මෙහෙම කියනවා:
"Do you know why people fear us, Hijras? Because our blessings are all-powerful and our curses are annhilating. But do you know what's worse? Our vengeance!". 

උපතින්ම ලබන ස්ත්‍රී පුරුෂ භාවයන් ස්වාභාවිකව වෙනස්වීම ගැන මගේ පෞද්ගලික විවේචන නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල මේ මානසිකත්වය කෘත්‍රිමව ඇතිකරවන්න උත්සාහ කිරීමට නම් මම විරුද්ධයි. ස්වාභාවිකත්වයට වඩා අස්වාභාවිකත්වය උලුප්පා දක්වන්න කරන උත්සාහයන් තුළ පිටතට නොපෙනෙන යටි අරමුණු, දේශපාලනික ව්‍යාපාරික සහ සමාජීය න්‍යාය පත්‍ර තියෙනවා. 
හැබැයි මේ චරිතත් කාලයක් තිස්සේ සමාජය තුළ ජීවත් වෙනවා. අගතියට පත්, අසාධාරණයට ලක්වූ කියන ලේබලයෙන් එන්න කලින් ඉඳන්ම. අනෙක් අතට ස්වාභාවික ගැහැණු තුළත් පුරුෂ පෞර්ෂත්ව තියෙනවා, ස්වාභාවික පිරිමි තුළත් ස්ත්‍රී පෞර්ෂත්ව තියෙනවා. ඒවා තමයි අපි දකින්නේ පුරුෂයා ඉන්දැද්දි පවුල් බර අදින ගැහැණුන්ගෙන්, ගැහැණුන්ට වඩා ලස්සනට ගැහැණු වැඩ කරන පුරුෂයන්ගෙන්. හැබැයි ඒ අයටත් සමාජය හිජ්රාවන්ට වගේම අපහාස උපහාස කරනවා. 

සංක්‍රාන්ති ලිංගිකයෙකුට පුළුවන් තමන්ගේ අභිමතය අනුව ශාරීරිකව වෙනස්වීම් කරගන්න. හැබැයි ඒ මාර්ගය කොහොම එකක්ද කියලා බහුතරයකට දැනුමක් නෑ, කුතුහලයක් තියෙනවා. මේ චිත්‍රපටයේ දී හඩ්ඩි ඒ ශල්‍යකර්මයේ අත්දැකීම පෙන්නනවා. බලලත් ඇඟ හිරිවැටෙන ඒ විස්තරය, වෙනස්වෙන්න හිතෙන කෙනෙක් ඉන්නවා නං බලන්න වටිනවා. 

දැන් කවිද මේ හඩ්ඩිව මවනවා ඇත්තේ? 
නවාසුඩීන් සිද්දික්! 
කව්රු? 
ඔව්, නවාසුඩීන්. 
වෙනස් වෙනස් චරිත තෝරාගන්න නවාසුඩීන් මේ වතාවේ ප්‍රේක්ෂකාගාරයට ගහලා තියෙන්නේ එසේ මෙසේ මිටියකින් නෙවෙයි! 

චිත්‍රපටයේ අභව්‍ය, අතාත්ත්වික තැන් තිබ්බත්, රංගනයේ ලුහුඬුකම් තිබුණත් සාමාන්‍ය පණිවිඩයක් සහ කතාවක් (Narration) හැටියට සාර්ථකයි කියලා මට හිතෙනවා. 

හැබැයි චිත්‍රපටය අන්තිමේදී කැරකිලා කැරකිලා එන්නේ දේවත්වයට ආසන්න ස්ත්‍රීවාදිත්වයකට කියලත් මට හිතෙනවා. මොකද අන්තිමට හඩ්ඩි කියනවා "you wouldn't know what it means to be a woman. You got to have guts to be one".

ඒ අවස්ථාවට දේව ඇදහිල්ල එකතු කරලා තියෙන්නවා ලස්සන වචන ටිකකින්. 
🎶My salutations to both Parvathi and Shiva
To Her whose body shines similar to molten gold, 
To Him whose body shines like the burning camphor, 
To Her who has a well made up hair, 
And to Him who has the matted lock. 
Om Namah Shivaya. 
My salutations to both Parvathi and Shiva
To Her whose dance marks the creation of the world, 
To Him whose dance destroys everything, 
To Her who is the mother of universe, 
To Him who ia the father of the universe. 
Om Namah Shivaya🎶

හඩ්ඩිව මුණගැහිලාම බලන්න. 
හැබැයි, හැම කතන්දරේකම හැංගුණු තව කතන්දර ගොඩක් තියෙනවා. 

~✏️ Aash Weerasinghe

"ණ" සම්මාන

මනුවර්ණ සම්මානයකට පාත්‍රවීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය යුතු නැහැ! ඒත් එහෙම වුණා. ඇයි?

මනුවර්ණ පිළිබඳ පිටස්තරයෙක් හැටියට මගේ කියැවීම දෙන්නම්. මං මනුවර්ණව අඳුනගත්තේ 2014දී යහපාලනය බලයට ගේන්න පටන්ගත්ත ෆේස්බුක් රැල්ල කාලයේ ඔහුගේ ලැම්බෝගිනි නාටකය නිසා. එතනදී ඔහු ජවිපෙ හෙවත් ජාජබ කඳවුරේ හිටගෙන (තවමත් එහෙමමයි - ප්‍රතිපත්ති ගරුකයි) කළ ඒ කතාව දේශපාලන පක්‍ෂ විපක්ෂබාවය පැත්තකින් තියලා බැලුවත් මට දැනුණේ ඕවර් ඇක්ටින් දඟලානා එකක් හැටියට. අන්තිමේදි ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය ඔප්පු වුණාද නැද්ද කියන එක තීරණය කිරීම ලාංකික සමාජයට භාරයි (තමතමාගේ නැණ සහ ආකල්ප අනුව).

ඉන් අවුරුදු දහයකට පස්සේ ඒ මනුවර්ණම හිටවපු කොඩි ගහ යට මාත් රසිකයෙක් වෙනවා (දෛවයේ සරදමක් නෙවෙයි). සාමාන්‍යයෙන් ජීවිතේ දශකයක් කියන්නේ මිනිස්සු පරිණතවීම සහ පරිණාමය පෙන්නන ලොකු කාලයක්, ඕකේ අවුරුද්දෙන් අවුරුද්ද ගත්තත් එක්කෝ නැග්මක් එක්කෝ බැස්මක් පෙන්නලා ලස්සනට ප්‍රස්තාරගත කරන්න පුළුවන් වෙනස්වීම් (භෞතික, කායික, මානසික, අධ්‍යාත්මික) ඕනෑම කෙනෙකුට තියෙනවා. මට දැනෙන හැටියට මනුවර්ණ තමන්ගේ නමේ නියම අර්ථය, කලාකාරයෙක් හැටියට තේරුම් අරං තියෙන්නේ දැන් කියලා. ඔහු සම්මානයට පාත්‍ර වුණ 'රහස් කියන කඳු' නම් මම තාම දැකලා නැහැ, දැකපු අය ඇති. ඒක නිසා කොඩිගහයට ගැන කෙටියෙන් කිව්වොත් ඒක පට්ට අමු (raw), විශාල වපසරියක විහිදිච්ච ජීවිතවල අංශු මාත්‍ර අල්ලන්න හදන කතාවක්. බහුතර රසිකයන් එක්ක මාත් ඒ හැම අංශුවක්ම දැඩි පෙරේතකමකින් අල්ලගනිමින් ඉන්නවා. තවම ඒ ගැන කතා නොකරන්නේ කොයි වෙලාවෙ හරි මනුවර්ණගේ දක්ෂ කලාකාරයා යටපත් කරන් අර ඕවර් ඇක්ටින් දඟලානා දේශපාලන හෙංචයියා මතුවෙලා, වමට ගහලා මේ නිර්මාණය විනාස කරයිද කියලා මට තියෙන සාධාරණ සැකයක් නිසා. 

කලාකරුවන් දේශපාලනීකරණය වීම තරම් අපරාධයක් තවත් නැහැ කියන එක මම හැමදාමත් කියනවා. මිනිස්සු හැමෝම දේශපාලනික සත්වයන්. කලාකාරයන්ටත් ඒක එසේමයි. හැබැයි ලේබල් වුණ ගමන් ලැබිය යුතු වටිනාකම ඒ කලාකාරයන්ට ලැබෙන්නේ නෑ. (ජැකාට නරකයි මනුවර්ණට හොඳයි වෙන්න සාධාරණ සමාජයකදි නම් බැහැ) 

හරි. දැන් එහෙම දේශපාලනික කියැවීමක් තියෙන මනුවර්ණගේ නාට්‍යය විකාශය කරන්නේ පවතින ඕනෑම රජයකට අනුගතව ක්‍රියාත්මක වෙන ස්වාධීන රූපවාහිනියේ. ITN වෙනුවට 'ස්වාධීන' රූපවාහිනිය කීම මෙතනදි වැදගත් කියලා මම හිතනවා. 
ඔවුන්ගේ නාට්‍ය තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය නම් ප්‍රශංසනීයයි.👏

මනුවර්ණගේ නිර්මාණයක් පහුගිය දෙරණ ලක්ස් සම්මාන උළෙලේදී සම්මානයකට පාත්‍ර වෙනවා. සුබ පැතුම්! 💐කලාකාරයෙක් හැටියට අගය කිරීමකට ලක්විය යුතු පුද්ගලයෙක් කියලා මම විශ්වාස කරනවා. 
නමුත් හැමදේම දේශපාලනිකයි. විපක්ෂයට පක්ෂග්‍රාහී හැටියට තවමත් ලේබල් වෙලා තියෙන, ජවිපෙ/ජාජබයේ දැඩි දෝෂ දර්ශනයට, විවේචනයට, මඩට ලක් වෙන 'නයි දෙරණ' දරණ ගහගෙන මනුවර්ණට සම්මාන පිරිනමනවා. මනුවර්ණට, කලාකාරයෙක් හැටියට හිත ඇතුලෙන් අප්‍රමාණ සන්තෝෂයක් දැනෙන්නෙ නැතුව ඇති කියලා පෘථග්ජන මනුස්සයො හැටියට අපිට කියන්න බෑ. දෙරණ මේ කළේ දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණකින්ද කියලා පටු විදිහට මේක නිර්වචනය කරන්න බැරි අමුතුම paradox එකකට හෙවත් 'ණ' paradox එකකට මේ සිද්ධිය නිසා දේශපාලන සහ  කලා ප්‍රේක්ෂකාගාර දෙකම තල්ලු වුණා කියලයි මගේ කියැවීම. 
මොකද දේශපාලනය පැත්තෙන් ගත්තත්  විරුද්ධ-දේශපාලනික-ලේබල්ගත-නාලිකාවකින් සම්මානයක් පිළිගත්තට දේශපාලනික මනුවර්ණට අපහාසයක් වෙනවා. කලාව අතින් ගත්තත් සම්මානය වැඩක් නැහැ කිව්වොත් කලාකාර මනුවර්ණගේ දක්ෂතාවයට අපහාසයක් වෙනවා. 

ඒ මොකවුණත්, මනුවර්ණට තමන්ගේ කලා හැකියාවන් තව පෙන්නන්න තියෙනවා. දේශපාලනික සහ NGO න්‍යාය පත්‍රවලින් තමන් තුළ ජීවත් වෙන ඒ දක්ෂ කලාකාරයා ම|රා|ගන්නේ නැතුව ඉන්න එක ඔහුටම භාරයි. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, September 3, 2023

මකුළුවා

 මකුළුවා කියන්නේ මොන වගේ සතෙක්ද කියලා කව්රු හරි මගෙන් අහල නෑ, ඇහුවොත්...
ඌ භයානක එකෙක්. හීනි දිග අට පය විහිදං සිටි සිටි ගාලා ඇවිදලා විතරක් මගේ කොඳු නාරටිය හිරි වට්ටවන්න විතරක් නෙවෙයි, ඌට පුළුවන් මගේ හීන දකින හැම රැයක්ම තත්පරයට කුඩුපට්ටං කරලා දාන්න! හරියට.. ඔව් ඒ වගේ..

මගේ බංගලාවේ දොර අරිද්දිම ඒ වගේ එකෙක් සිටිසිටි ගාලා දුවං ඇවිත් දොර උලුවස්ස දිගේ බිත්තියට නැග්ගා එදා හවස! ඊටපස්සේ ටික වෙලාවකින් ඌ ඇඳට උඩින් සීලීමේ එල්ලුණා උඩුයටිකුරු අතට.. ඌ එහෙම දකින්න උත්සාහ කළ ලෝකය මොනවගේ එකක්ද කියලා මම දන්නේ නෑ, හැබැයි ඌ දැක්ක ඒ ලෝකේ නොකඩවා ඌ දිහාම බලා හිටි නේත්‍රා යුග්මයක් තිබ්බ බව නං මට සහතිකයි. උන්ට නේත්‍රා යුග්මම හතරක්, සමහරුන්ට අඩුම හයක් තියෙනවලු. අපි දෙන්නට දෙන්නා එකට හතරේ අනුපාතේට උඩුයටිකුරු:යටිඋඩුකුරු අනුපානෙට අපි දිහා බලං හිටියා පැය ගාණක්. එතකොට තමයි අපේ ලයිට් අපිටම අරින්න තීරණය කරලා තිබ්බේ. කලුවරේ අතට අහුවුණ ෆෝන් එක තකහනියක් ඔබලා ෆ්ලෑෂ් ලයිට් ගහන් බලන් ඉන්න තරම් අපි අපිටම ආසක්ත වෙලා හිටියා පැය ගාණක්. හෙවණැල්ලත් එක්ක ඌ ඌට වඩා විශාල, මවාගත්ත පෞර්ෂයයක කිමිදිලා මෝහනය වෙලා වගේ හිටිපියෙන්ම හිටියා. 

මට ඇතිවුණා. 
කොහෙවත් ඉන්න ** මකුළුවෙක්ගේ ඊගෝවට ලයිට් ගහනවට වඩා වැඩ තියෙන බව මතක් වෙලා ජනේල් තිර අස්සෙන් අරහෙට මෙහෙට විපරම් කළාම දැක්කේ අහල පහල එළිය බව. වහාම ඉහළ ගිය ට්‍රිප් ස්විච් රාජය පහළට දාලා ආයෙත් එද්දිත් ඌ එතන එහෙමමයි! 

මගේ ඉවසීම පැන්නා. ඒක ඕනෑවට වඩා කෙනිත්තිලා පනින කොණේ තමයි තිබ්බෙ. ඌ දිහා බලාගෙනම නානකාමරේට රිංගලා නානකාමරේ බ්‍රෂ් තඩිය උරුක් කළා සීලිමට. 
ඌ මං බලාපොරොත්තු වුණ පාරේ යනවා වගේ හැරිලා මාව රැවැට්ටුවා.. ඔව් ඒ වගේ තමයි..
මාත් උද්‍යෝගයෙන් තව තට්ටුවක් දැම්මා සීලිමට. 
ඌ හිතන්න තප්පරයක්වත් නොගෙන සේද නූල් සූත්තර දියත් කරන් බිමට පැන්නා! මම පස්සට පැන්නා ඊට තප්පරයක ප්‍රමාදයෙන්.
ඔව්, මං පැරදුණා. ඌ පැනලා ගියා. කොහෙටද කොහොමද කියලා හිතන්නවත් වෙලාවක් වුණේ නෑ.

අමාරුවෙන් නැවිලා දණිපණි ගාගෙන මං ඌව හොයන්න පටන් ගත්තා. ආයෙමත් ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ගහගෙන. ඇඳ අස්සට ගිය බවට සැකය මගේ උදර කුහරය දෙදරවගෙන මොළේට නැග්ගා. 

මං හිතුවා හරි. ඌ හිටියා.
අඩුපඬු ටිකෙන් ගුලි කරන් බිත්තරයක්!
ඇඳ පහළ විට්ටමේ ඇතුල්පැත්තේ අස්සෙ හැංගිලා.
ටෝච් එළියට ඌගේ ඇස් කොණක ක්‍රෝධයක් දිලිසෙනවා. මට බය හිතුනා තමයි. බිත්තරයක් එක්ක ඌ මේ ඉන්න ගේම, මරාගෙන මැරෙන එකකට අන්තයි. ඌට පුළුවන් බිත්තරේ වෙනුවෙන් මේක ඌගේ එකම සහ අවසාන යුද්ධය කරගන්න. මම පසුබැස්සා.

ඇඳේ තට්ටු කරන්න ගසන්න පුළුවන් හැමතැනටම තට්ටු දාලාත් මට බැරිවුණා ඌව එළියට ගන්න. මහන්සිය අමාරුව මාව වෙලාගෙන හිටියේ පිඹුරෙක් වගේ. මකුළුවෙක් මදිවට පිඹුරෙක්!
එන දේකට මූණ දෙන්න බලාගෙන මම නිදාගත්තා. පුළුවන් තරම් වෙලාවක් ඇස් ඇරගෙන සිහිය අල්ලං හිටියේ. එතනින් පස්සෙ මොකක්වුණාද කියලා මං දන්නෑ. ඌ තාම බිත්තරේ අල්ලං ඉන්නවද නැද්ද කියලා මං දන්නෙත් නෑ.
බිත්තරේ බිඳුනොත් ඌට මොකද්ද වෙන්නේ කියලා මං දන්නෙත් නෑ. 
ඌ අද හෙට එළියට ඒවිද කියලා මං දන්නෙත් නෑ.
කොටින්ම ඌ ගැන මොකද කරන්නේ කියලත් මං දන්නෑ! 

~තනියා
✏️: Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka

Friday, August 11, 2023

දහතුනේ රනිල්


මහ බඹා රනිල් වික්‍රමසිංහගේ නළලේ කොටා ඇත්තේ මයිත්‍රී බව ඔබ කවදා හෝ දවසක සිතුවාද? නැත, ඔබට හිමි තුට්ටු දෙක රැගෙන හොට් සීටයෙන් බැස ආ ආතක් බලාගෙන යන්ට.

මහින්ද රාජපක්ෂට බුද්ධාගමද ජෙප්පන්ට කුහකත්වය ද ආකාරයටම රනිල් වික්‍රමසිංහ චරිතයට පත්තියම් වී ඇති එකක්ය, බලය විමධ්‍යගත කිරීමේ අමාරුව! දැන් එතැයි දැන් එතැයි රනිල් ආ දින සිට බලාපොරොත්තු වූ මාතෘකාව කල්යල් බලා දැන් වේදිකාවට සම්ප්‍රාප්තව තිබේ.

පසුගිය සතියේ නැකතට ජාතික ගීය අනුභව කිරීමේදි දේවානම්පියතිස්ස ප්‍රශ්න කළ ඇත්තෝද මේ සම්බන්ධයෙන් හාහූවක් නැත. සමහරක්විට රනිල් වාගේම එයාලාද කෑ පතේ පහරන්නට අකමැති ගුණගරුක මිනිසුන් වීම නිසා වෙන්නට හැකිය.

අරගල නාමයෙන් විවිධාකාර සාක්කුවල බැස සිටි ඇත්තෝ එක්කෝ නිහඬය, එක්කෝ සැර බාල කර ළදරු ප්‍රශ්න අසනු පෙනේ. පහුගිය සතියේ ජාතික ගීය හැර වෙනත් ප්‍රශ්න නැතිදැයි ඇසූ ඇත්තන්ටද දැන් ප්‍රශ්නයක් ලැබී ඇත. බොහෝ දුරට ඔවුන් ජාතික ගීයත් 13ත් හැර වෙනත් ප්‍රශ්න එනතුරු බලා සිටිනවා විය හැකිය. 
මේ තාක් උභතෝකෝටික ඇති ලංකාද්වීපයේ මට සහ තව සුලුතරයකට නැතුවාට රනිල් ඇතුළු බහුතරය දවන ගැටලුව බලය විමධ්‍යගත නොකිරීම වෙන්ටත් පුළුවන්ය! මන්දයත් උතුරු නැගෙනහිර පළාත් සභාවල බලතල වැඩිකරනතුරු ඔවුන්ට අතට ගත් බත් කට බඩට දාගන්නට බැරිය, අතට ගත් ඇඳුම ඇඟට දාගන්නට බැරිය, අතට ගත්... ආදී වශයෙන් ලැයිස්තුව දීර්ඝය. ඒ සා දුක්වේදනාවක් බලය විමධ්‍යගත කිරීමේ පියාට දරාගන්නට බැරිය.

උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත් සභා බලය ඉල්ලන්නේ නැත. ඔවුන් බලය ගන්නටද දෙන්නටද ගත්තත් නොගත්තා සේ සිටිමටද කලාව දනී. උතුර වාගේ ලේබල් ගසාගෙන බෙදාගෙන බදාගන්නට ඔවුන්ට අවශ්‍යතා නැත. කෙක්කෙන් පරාජය වූ දෙය කොක්කෙන් දිනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැත. තිස් අවූරුද්දක් ත්‍රස්තවාදයකට එරෙහිව සටන් කර, මහා ජීවිත සහ දේපල විනාශකට පසුත් නොහැකි වූ දෙය දේශපාලනිකව දිනාගැනීමට පාර කපා ඇත්තේ කෙසේදැයි තමතමන්ගෙ නැණ පමණින් ආපසු හැරී බැලීම වටී. 

TNA ලංකාව එංගලන්තයට සමාන කිරීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පිනා යාමට මුඩුම ලාංකිකයා අපොහොසත්ය! සමහරවිට බලය විමධ්‍යගත කළපසු ශ්‍රී ලංකාව ද එංගලන්තය මෙන් පෙනෙන්නට පටන් ගනු ඇතිය. 

රනිල් රැවුල ගිනිගනිද්දී සුරුට්ටු පත්තු කරන අතර තව කොටසක් රැවුලට පෙට්‍රල් දමා පිරිමැදීම, චාමර සැලීම වැනි සහයන් දෙනු පෙනේ. 

ඉතින් රනිල්, ஏன்ன பயித்தியமா? 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Wednesday, August 9, 2023

ගිනිගත් කඳාන

කඳානේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගිනිගත්තයින් පස්සේ තමයි අසල්වැසියන් හැර සෙසු මහජනතාව දැනගන්නේ ඒක තිබිලා තියෙන්නේ පුද්ගලික පදිංචිකරුවන්, පාසැල් සහිත ගමක කියලා. ඒ ගින්නෙන් අසල්වැසි නිවසක් පවා විනාශ වෙලා මාධ්‍යයට අනුව අවට පාසැල්වල දරුවන් 85කට වැඩි ප්‍රමාණයක් ශ්වසන අපහසුතාවලට ලක්වෙලා මහ විශාල කාලගෝට්ටියක් නිර්මාණය වෙනකම් එවැනි පරිසරයක ඒ කර්මාන්ත ශාලාව බොහොම නිරුපද්‍රිතව වැජඹුණේ කොහොමද?

සාමාන්‍ය ගෘහාශ්‍රිත පරිසරයක නැත්නම් residential area එකක කර්මාන්ත ශාලා, ගරාජ්, වෑල්ඩිං පොලවල්, සයිකල් වින්කල්, ආහාර නිෂ්පාදන, මොන්ටිසෝරි කිරීම නීතිවිරෝධීයි විතරක් නෙවෙයි ඒවා නිසා ගෘහස්ථ පරිසරයක තිබිය යුතු සෞඛ්‍යමය, පාරිසරික සහ මානසික සුවතාවයට සහ තුලනයට සිද්ධ වෙන හානිය අතිවිශාලයි. උදාහරණයකට ළං ළංව ගෙවල් පිහිටි පර්චස් 6-7-8-10 පරිසරයක එක ගෙදරක බ්ලෙන්ඩරයක් ගැහුවත් අනෙක් ගෙදරට ඇහෙනවා. නිකමට හිතන්න මුලු සතියක්ම මැරිලා මැරිලා ඇවිත් සති අන්තයේ දෙයියනේ කියලා නිදහසේ ඉඳලා පොතක් පතක් බලලා අඩුම ගානෙ දවල්ට කාලා පොඩි නින්දක් දාන්න හිතාගෙන හිටියම එහා ගෙදර මනුස්සයො ඒ සති අන්තයේම මහ පාන්දර ඉඳන් මොකක්හරි සද්ද බද්ද ගොඩක් එක්ක වැඩක් හරි බජව්වක් හරි කරන්න ගත්තම සනීපේ? ඒ වගේම හිතන්න අහළ පහළ ගෙදරක ගෘහාශ්‍රිත කර්මාන්තයක් හැටියට තුනපහ නිෂ්පාදනය කරනවා කියලා. අහළ පහළ මිනිස්සුන්ට මිරිස් බදින තුනපහ කුඩුකරන සද්ද අහගෙන දරාගෙන, විඳගෙන ඉන්නවෙන්නේ සුලුපටු වධයක්ද?ඒ අස්සේ ගරාජ් එකක් වගේ දාගත්තම කොහොමද සනීපේ? මුලු දවසම යකඩ තලන සද්ද, ස්ප්‍රේ පේන්ට් ගඳ, වාහන රේස්කරන සද්ද එක්ක අසල්වැසියන්ට මාර සනීපයක් සුවයක් ඇති නේද?

එක කාලයක අපේ ආත්තම්මලගෙ ගෙදර ඉස්සරහ ගෙදර මොන්ටිසෝරියක් දැම්මා. පර්චස් විස්සේ කොටස් වුණත් ඒක බොහොම නිශ්ශබ්ද, තාප්පවලින් වටවුණු, මිනිස්සු උන්නද මළාද දන්නේ නැති වැදගත් පළාතක්. එහෙම තැනක මහ කාලගෝට්ටියක් පටන්ගත්තම කොහොමට තියෙන්න ඇතිද. උදේ දවල් හවස පාර පුරා වාහන, හදිසියකට ගෙදරකින් වාහනයක් එළියට ගන්න තියා ගේට්ටුවකින් මනුස්සයෙක්ට එළියට බහින්න බැරි විදියට ඔක්කොම අවහිර කරලා. ආදායම් මාර්ග හොයාගන්න ආව ගණිකා වෘත්තියේ යෙදෙන මිනිස්සුත් සෙනග අස්සේ ගේට්ටු කුලුනු අස්සට මුවාවෙවී ගැණුම් කාරයෝ හොයනවා. දවල් මොන්ටිසෝරිය ඇරුණම ඩේකෙයාර් එකයි පංතියි පටන් ගන්නවා. බෑන්ඩ් ප්‍රැක්ටිස්, නර්සරි සිංදු අරක මේක නැති සතියක් නෑ. මොන තරම් ශබ්ද දූෂණයක්, මානසික පීඩාවක්ද ඒ අසල්වැසියන්ට? සති අන්තයෙත් පංති නිසා තත්ත්වය ඒලෙසමයි.
අවුරුදු ගාණකට පස්සෙ මොන්ටිසෝරිය වහලා ගෙවල් විකුණලා යනකල් ඒ පැත්තේ මිනිස්සුන්ට පුදුම කරදරයක් තිබ්බේ. ඒ පැත්තේ අසල්වැසියො ලියන්න පුළුවන් හැම බලධාරියෙක්ටම, ආයතනයකටම ලියලා, ගිහින් කතා කරලා, පැමිණිලි කරලත් වැඩක් වුණේ නෑ මොකද සල්ලිවලට විකිණෙන එකයි ගන්න එකයි ලංකාවේ පුරුද්දක්නෙ.

ඕක තමයි ලොවට බණ දෙසන ලංකාවේ තත්ත්වය. කිසිම මනුස්සයෙක් දෙයියනේ කියලා සැනසීමේ වැටිලා ඉන්න ගෙයක්දොරක් ගන්නේ හෝ හදන්නේ එකෙකාගේ ව්‍යාපාර නිසා ඒ සැනසීම නැතිකරගෙන, ලෙඩ්ඩු වෙන්නවත්, අහක යන කරදර දාගෙන තමන්ගේ ඇගේ ලේ පුච්චගන්නවත්, තමන්ගේ දේපල විනාශ කරගන්නවත් නෙවෙයි. හැබැයි ඉතින් තමන්ට ඒ කරදරය දැනෙනකල් විදග්ධ පිළිතුරු දෙන්න කට්ටිය ඉන්නවා. 'ටික කලක් යද්දී හුරුවෙනව' කියන එකත් අන්න එහෙම ගොං තකතිරු ගැලවිජ්ජා උත්තරයක්.

මට තියෙන ප්‍රශ්නේ මේ පරිසරයේ ඔහොම කර්මාන්ත ශාලාවක් තිබීමේ භයානකකම කිසිම මනුස්සයෙක්ට, වගකිවයුතු ආයතනයකට දැනුනේ නැද්ද? (ඒකත් කිකිළිද බිත්තරේද වගේ කතන්දරයක් ද දන්නෙත් නෑ) මේ වගේ බොහොමයක් ව්‍යාපාර නිසි ලියාපදිංචියක් නොකරයි ගෘහාශ්‍රිත පරිසරවල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් නැතුව පවතින්න නීතියේ කොච්චර හිල් තියෙන්න පුළුවන් ද? මේ මුළු කාලය තුළ අවට මිනිසුන්ට වුණු සෞඛ්‍යමය හානිය කොයිතරම් තරම් වෙන්න පුළුවන් ද? පඳුරකට ගැහුවම පිළිකා රෝගීන් සිය ගණනක් විසිවෙනකොට ඒකට පාරිසරික දූෂණය කොයිතරම් විශාල සාධකයක් වෙනවා ඇතිද?

මධ්‍යම පාරිසරික අධිකාරිය, ප්‍රාදේශීය සහ නගර සභා, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විතරක් නෙවෙයි ප්‍රදේශයේ පොලීසියටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීති සම්පාදනය කරලා තියෙනවා. ඇයි එහෙනම් ක්‍රියාත්මක නොවෙන්නේ?

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, August 6, 2023

ජාතික ගීය සහ දේවානම්පියතිස්ස

උමාරාගේ ජාතික ගීත නාටකයෙ මුල පටන් අගට (හදවතින්ම) ශ්‍රී ලාංකිකයන් ගියේ මිහිඳු හිමි වැඩි මගය. ඒ අන්ත දරුණු නිරාගමිකයන් (බෞද්ධ විරෝධී - අතිවිශේෂ; ශ්‍රී ලංකාවට ආවේණික සත්ව කොට්ඨාශයකි.) පවා ඒ මග යාම ස්වභාව ධර්මයේ කුරිරු සරදමක්ය!

මේ ප්‍රශ්නය හැර ලංකාවට වෙනත් ප්‍රශ්න නැතිද යන්න ඒ දනන්ගේ මුවග නිබඳ රැඳුනු අතර දුවන මුවන් දැක නෙලූ පලා විසිකළ දේවානම්පියතිස්සට දුරින් ඥාති වන පරම්පරාවේ අය එසේ නැතැයි කීහ. ඒ ප්‍රශ්නයත් ඔබ කියනා ඔය ප්‍රශ්නත් හැර වෙනත් ප්‍රශ්න නැතිද යන්න නොඇසූ හෙයින් හොට් සීටයේ අසුන්ගත් දනෝ කෝල්-එ-ෆ්‍රෙන්ඩ් අවස්ථාව ලබා නොගත් අතර ඊළග ප්‍රශ්නය නැගෙනතුරු දසැඟිලි සපමින් තවම බලා සිටී.

උමාරා හැරුණු විට ජාතිය අනුභව කළ වෙනත් අයවලුන් නැතිද වැනි ප්‍රශ්න මේ වැඩසටහනට ඇතුළත් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. මන්දයත්, ජාතිය රන්විමනක් නොවන නිසාය,ආගම මිණිපහනක් නොවන නිසාය. එය රැකගන්නට සමත් රැඩිකල් පුතුන් දැන් මුදලට විකිණෙන නිසාය.

එසේ හෙයින්, අපි ජාතික ගීය සිරස වොයිස් ජයග්‍රාහක රමියා ලවා ගායනා කරවීමට අත්සන් කෝටි විස්සක පෙත්සමක් සලකා බලමු.

ඒ අතර, ඒ ප්‍රශ්නයත් අර ප්‍රශ්නයත් හැර වෙනත් ප්‍රශ්න නැතිද යන්න විමසන ඔබට මාර්ග ඵල ලැබීමේ අවස්ථාව ඇති බව දැක අප්‍රමාණ චිත්ත ප්‍රීතියට පත්වෙමු.

ස්තූතියි,
මීට විශ්වාසී
තනියා!
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, July 31, 2023

මාතා මහතා කිරීම


රැල්ල උමාරාටය!
IPL posh කිරීමට නම් රැඩිකල් කලාකරුවන් අවශ්‍ය බව තීරණය කළ සංවිධායකයන් කව්දැයි අපි නොදනිමු.
උමාරා ද චිත්‍රාල් ද හැරුණු කොට ජාතික ගීය ගායනයට (ඝාතනයට?) සුදුසු වෙනත් ගායක ගායිකාවන් නොසිටියේදැයිද නොදනිමු.
උමාරා බොක්කෙන්ම ජාතිමාමකත්වය ආරෝපණය කරගන්නට හැදුවාද කියාත් නොදනිමු.
අල්පප්‍රාණ මහප්‍රාණ කිරීම සහ උච්චාරණය බොරු ඉංග්‍රීසි පන්නයට හැරවීම ගැන උමාරලා උමාරියාලා විනිශ්චයකරුවන් ලෙස අසුන්ගන්නා රියැලටි තරඟවලද නිරතුරුව ඇසෙන නමුත් උමාරාට තමා සම්මතෙහි පිහිටීම අමතකවූවාද කියාත් නොදනිමු.

මේ මොහොතේ අපි දන්නා එකම දෙය ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් කරන්නට බැරිවූ එකම දෙය උමාරා මාතාව මහතෙක් කිරීමෙන් කර ඇති බවය! එයම ප්‍රීතියක් නොවේ ද.
උමාරා කර ඇත්තේ එසේ මෙසේ අරගලයක් නොවේය. නැද්ද? 

~ ✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Wednesday, June 28, 2023

අස්වැසුමේ හිස්ගැසුම

අස්වැසුම් ප්‍රශ්නය දවසින් දවස උග්‍ර වෙනවද මාධ්‍ය එහෙම උලුප්පා දක්වනවද කියලා මාධ්‍යයෙන් දැනුවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැටියට නිශ්චිතවම කියන්න අමාරුයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සමීක්ෂණය සාධාරණව සිදුවෙලා නැතිබවත් ඇත්තටම ආධාර උපකාර ලැබිය යුතු කොටස මගහැරී ඇති බවත් පේනවා, ඇහෙනවා, කියවෙනවා.

අනාදිමත් කාලයක ඉඳන් ආධාර මත යැපෙන කොටසක් ඉන්න සමාජයක ඔය විෂමතාව අද ඊයේ ඇතිවුණ එකකුත් නෙවෙයි. අධ්‍යාපනය, වෙෙද්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ඉඳන් නොමිලේ ලැබීම හින්දම ඇතිවුණු යැපුම් මානසිකත්වයක් ලංකා සමාජයේ පැවතීම රහසක් නෙවෙයි. නොමිලේ ලැබෙන්න ලැබෙන්න ඒ ලැබෙන දේ අගය වගේම මහන්සිවී යමක් ඉපැයීමේ උවමනාවත් නැති වී යනවා. ඊළගට "උපකාරය" "අයිතියක් සහ අනිවාර්යයෙන්ම ලැබිය යුතු දෙයක්" බවට පත්වෙනවා.

පැහැදිලි නැත්නම් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තමයි මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය. නිදහස් අධ්‍යාපනය ලබා දුන්නේ සමාජයේ සැමට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කරන්න, සමාජීය සම්පත් විෂමතාව අවම කරන්න සහ රටේ/සමාජයේ/පුද්ගලයාගේ සාර්ථක අනාගතය වෙනුවෙන්. හැබැයි දැන් ඒකෙ අගය, වටිනාකම තියෙන්නේ කොතනද?
උදාහරණයකට කිව්වොත් කොළඹ විශ්ව විද්‍යාලයේ ලබාදෙන පහසුකම්, පුස්තකාල පහසුකම්, පංතිකාමර, ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය වගේ සෑහෙන්න වටිනා පහසුකම් රාශියක් නොමිලයේ ලැබිලත් ඒවායින් උපරිම ප්‍රයෝජනයක් නොගෙන, ඒ අවස්ථාව දේශපාලනීකරණය කරගෙන පක්ෂ දේශපාලනයට කඩේ යාමට කාලය සහ අවස්ථාව කාදැමීම නිසාම තවත් දරුවකුට ලැබෙන්නට තිබූ අවස්ථාව නැති කරදමා ඇති හැටිය ගන්නට පුළුවන්. ඒ කුලකයේ කුප්‍රකට හැඳින්වීමට අනුව "අ-මුතු ඇටෙත්" පුළුවන් උපරිම පහසුකම් දීලත් තත්වය එසේ නම් අනෙකුත් "නොමිලේ" ලබාදෙන දේ ගැන කවර කතාද? අමතක කරන්න එපා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අය ඒ වෙනුවෙන් පෙනී ඉන්නා මුවාවෙන් කරන්නෙත් නොමිලයේ ලැබුණු දේ වටිනාකම මොට කරවා දැමීමම බව.

අස්වැසුමේ කතන්දරෙත් ඒ වගේ කොටසක් ඉන්න පුළුවන්. නිකම් ලැබුණේ තාවකාලික ආධාරයක් වුණත් ඒක අනිවාර්යයෙන්ම ගෙවන්නට රජය බැඳී ඉන්නවා කියන තත්ත්වයට පත්කරගෙන වෙන්නත් පුළුවන්. සුදුස්සාට වඩා නුසුදුස්සාට නම් මේ ආධාර ලැබෙන්නේ බදු පිට බදු ගසමින් ව්‍යාපාරික සහ වෘත්තීයවේදී සමූහයන්ගෙන් අයකරගන්නා මුදල විනාශ වෙන්නේ "තනිකරම" දේශපාලකයා නිසා නොවන බව පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. නීති සහ විනය ඉල්ලා මොරදෙන සාමාන්‍ය සමාජයම එහෙම නම් වෙනස කොහෙන්ද කොහොමද පටන්ගන්න ඕනෙ? ඔය බණ දෙසන ධර්මිෂ්ඨ සමාජයට එහෙම කරන්න පුළුවන් ද? එතකොට "අපෙත්" ධර්මිෂ්ඨකම ප්‍රෝඩාවක්ද? 

අනෙක් කාරණය රජයක් හදන්නෙ පක්ෂයක් හෝ කීපයක් වුණාට ඊටපස්සේ ඒක "ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය". හැබැයි අර පක්ෂෙ එහෙම කළා මේගොල්ලො නොකළා කියලාවත්, ඒ රජය කරද්දී නරකයි දෑන් රජය කරද්දී හොඳයි කියලවත් සාධාරණීකරණය කිරීම් අපිම ගේනකල් යැපීම් මානසිකත්වයෙන් ශ්‍රී ලංකාවට ගැලවෙන්න බෑ! ඒක නිසා සමාජවාදී, සර්ව සාධාරණ ජාතික ජනබලවේගේ වුණත් ගඩොල, ෂර්ට් එක, ෆෝන් එක, ඉන්න ගෙදර නිකං දුන්නොත් භාරගන්නවා, එපා කියන්නෑ! 😎

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, June 26, 2023

තොණ්ඩමන් සතිය

ත්‍රස්තවාදයකට නායකත්වය දුන් ප්‍රබාකරන්ට විතරක් නෙවෙයි සහරාන්ටත් සුදුහුණු ගාපු ඇත්තෝ ඉන්න සිවිල් සමාජයක් ජීවන් තොණ්ඩමන්ව එතන්ටත් එහාට දානවා වගේ මාධ්‍ය ආවරණයක් කරන පාටක් පේනවා. කවි ගී හෑලි ලියන සංසදයත් විශාල ශ්‍රමදායකත්වයක් ලබා දෙනවා. සමහරවිට මේක තොණ්ඩමන් සතිය වෙන්නත් පුළුවන් 😂

ප්‍රාදේශීය නායකයන් කාටවත් තමන්ගේ ආසනවල යම් සිදුවීමක් වෙද්දී අඳගොලුබිහිරි භාවයෙන් ඉන්න බෑ, ඊට ඉඩක් පක්ෂ විපක්ෂ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන්නෙත් නෑ. අකමැත්තෙන් හරි මැදිහත් වෙන්නත් සිද්ධවෙනවා. මේ සිද්ධිය ගැන මෙහෙම මඩ කැම්පේන් කළාට තරුණ ජාතික නායකයෙක් හැටියට ආපදා අවස්ථාවල පවා ජීවන්ගේ ඉදිරිපත්වීම සහ ප්‍රශංසනීය ක්‍රියාකලාපය දැන් සමාජයට අමතකවෙලාද නැත්නම් ඒ ප්‍රශස්ති ගායනා අවස්ථාවාදීද? 

පාතාලයෙක්ට විරුද්ධවුණත් පොලීසියේ ක්‍රියාකලාපය හෙළා දකින සාධාරණ සමාජය මේ වෙලාවේ පොලීසිය වර්ණනා කරමින් තොණ්ඩමන්ව අපරාධකාරයා කිරීම ජාතිවාදී නැද්ද එතකොට? සමහර කතන්දර දැක්කම "කන්න ඕනෑ වුණාම කබරගොයි තලගොයි වෙනවදෝ" කියලත් හිතෙනවා.

සාධාරණීකරණය කිරීමට කතන්දර ගොඩක් තියෙයි. හැබැයි සාධාරණීකරණය කිරීමම හැමවෙලාවෙම සම්පූර්ණ සත්‍යයක් වෙන්නත් බෑ.

කන්ද උඩරට ද්‍රවිඩ ජනතාවගේ සිනමා රසය ඔවුන්ගේ දේශපාලන නියෝජනයට අලවලා ඒකට දේශපාලනයේ නැගී එන තරුණයෙක්ව ඉත්තා කරගැනීමෙන් අයසට පත්කිරීමෙන් ලාබ ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන් කාටද?

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Wednesday, June 14, 2023

චින්තන හටන

පක්ෂ දෙකකින් පෙනී හිටියත් රනිල්ටයි චන්ද්‍රිකාටයි පොදු සාධකයක් තියෙනවා. ඒ ඔවුන් නියෝජනය කරන පැළැන්තිය බිම් මට්ටමට එතරම් සංවේදී නොවීම. චන්ද්‍රිකා තමන්ගේ පැළැන්තිය නඩත්තු කරන්න බිම් මට්ටම යොදාගත්තට රනිල් ඇත්තටම තමන්ගේ පැළැන්තියටවත් සංවේදී නැති අමුතු මිනිහෙක්. හැබැයි මේ දෙන්නම ඊනියා සංවේදීත්වයක් දක්වනවා "අගතියට පත්" කියන බොරු ලේබලය ගහගෙන ඉන්න බෙදුම්වාදී කඳවුරුවලට. සමහර වෙලාවට මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවුණාමත් ප්‍රශ්න හොයාගෙන හරි ඒ වෙනුවෙන් පෙනී ඉන්න හිතෙන "රැඩිකලි ලිබරල්" චින්තනයන් ඇතිවෙනවනෙ. ඒක කොළඹ ඉහළ පැළැන්තිමය (Colombo Elite) ගෝත්‍රික ලක්ෂණයක්දෝ කියලත් හිතෙන තරමට උදාහරණ තියෙනවා. රනිල්ගේ ඒ ලක්ෂණය ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම මතුවෙන එක නවත්තන්න බෑ. ඔය පහුගිය දවසක පුරාවිද්‍යා කතන්දරෙනුත් බළලා මල්ලෙන් එළියට පනිනවා. මේ ලක්ෂණය වැළඳ ගත්ත තව කෙනෙක් තමයි මංගල. වැළඳ ගත්තා කියන්නේ  බලෙන් ඇති කරගන්නකොට. නූතන සමාජය දිහා බලාගෙන ඒකට වෙන්ට-පොෂ් කියලත් කියන්න පුළුවන්. (ඇත්තටම පොෂ් මිනිස්සු වඳවෙලා ටිකක් කල්. ඒ නිසා අද මේ පොෂ් කියන මිම්ම නිවැරදි නැහැ)

මේගොල්ලොන්ගේ මේ චින්තනය බටහිර හිතෛෂී ව්‍යාපාරවලට අනුගතයි. ඊට අදාළ ගොඩක් කතන්දරවලට පොදු පදනමක් හැටියට ක්‍රියාත්මක වෙන්න පහසු කරවන නිසා මේ දේශපාලන චරිත ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්න කොටසක් ගෝලීය දේශපාලනයේ අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ වගේ දේශපාලන චරිතවලට බිම් මට්ටමට ඇති සංවේදීත්වය අඩුවෙන තරමට ඇතැම් කඳවුරුවලට ක්‍රියාත්මක වෙන්න පහසුයි. මේ ඇටිකිත්තං දූපතේ බලය විමධ්‍යගත කිරීම වගේ සංකල්පනා හරහා අගතියට පත් කියන ලේබලය අලවා ගෙන ඉන්න ත්‍රස්තවාදයටත් මේ චරිත ආශිර්වාදයක්, උපකාරයක්. ඔවුන් මහජාතියෙන් මතුවෙන නමුත් මහජාතියට හිතවත් නොවන ඉත්තන්. ලංකාව ආක්‍රමණය කළ එහා රටේ ජාතීන්ගේ ඉඳන් සුදු ඇත්තන්ට වෙනකල් පනික්කිකම් කරපු කොටස බිහිවුණෙත් මහජාතිය අස්සෙන්ම නිසා මේක විශාල පුදුමයක් නෙවෙයි. හැබැයි මේ ඔක්කොටම මහජාතිය අස්සෙන් මහජාතියේ බිම්මට්ටමට සංවේදී උන් බිහිවෙන එක මහ හිසරදයක්. මේ කියවන අපි හිසරදේට කොට්ට අව්වට දානකොට මේගොල්ලො සැලසුම් කරන්නේ ඔලුව කපලා පැත්තකට කරන්න. 

බොරු නම් මේක කියවලා හිතෙන් බනින්න ගන්න ඔබෙන්ම අහන්න! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Mini මිනී කතා

මාත් හිතන් හිටියේ මැරුණම මිනිය වෙෙද්‍ය විද්‍යාලෙට භාරදෙන හැටියට ලියලා තියන්න.

හැමෝම සද්භාවයෙන් ද එහෙම කරන්නේ කියලා මං දන්නෙ නෑ. හැබැයි එක හේතුවක් සද්භාවය වෙන්න පුළුවන්. අනික  අවමංගල්‍ය පුහු ආටෝපයට ඇති අකමැත්ත සහ මුදල් නහස්තිය වෙන්නත් පුලුවන්. එහෙම මොක හින්දා හරි මිනිස්සු භාරදෙන මිනී අතිරික්තයක් තියෙනවා නම් ඒ බව නිසි කළමනාකරණයක් නොකර, දැනුවත් කිරීමක් නොකර ඉස්සරහ දොරෙන් භාරගෙන පස්සා දොරෙන් ගෙනිහින් කැලේ අතාරිනවා කිව්වහම...!
එහෙම නම් ඥාති හිතමිත්‍රාදීන්ටත් පුළුවන් නේ බල්ලන්ට කබරයන්ට දානයක් හැටියට තමන්ගේ මියගිය ඥාති මිත්‍රයාව "කැලේ ගහන්න!". ඔච්චර කැටයම් මොකටද ඒකට?

මේ පරිපාලනය බීලා ඉන්නවා ඇතිද නැත්නම් අපි බීපු වෙලාවක මිනී බාරදෙන්න අත්සන් කරනවා වෙන්න ඇතිද? අතිරික්තයක් තිබ්බත් නිසි ආකාරයෙන් බැහැර නොකර නිකම්ම කොතැනක හරි අතෑරලා දාලා යද්දි මූලික මිනිස් ගරුත්වයවත් මියගිය පුද්ගලයන්ට ලැබිලා නැහැනෙ. අඩුම තරමින් සමූහ මිනී වලක් හාරවන්න/වහන්න පියවරක් ගන්න බැරිතරම් මාන්නයකින් වැහිච්ච ඇත්තන්ටද අපි මිනී භාරදෙන්න යන්නේ? මිනී කාක්කෝ තව හොඳා! 
ඊයා! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka  #trendingnow

Monday, May 29, 2023

හනුමා වන්නම

රාමායණයේ කියැවෙන ආකාරයට හනුමා අත්අඩංගුවට ගෙන වල්ගයේ පාංකඩ ඔතා වානර පන්දමක් කළවිට උන්දෑ ශ්‍රී ලංකාද්වීපයම විනාශ කරවමින් ගි.නි. තබමින් යකා නටා වල්ගය මුහුදේ ඔබා නිවාගෙන ඉන්දියාවට පැනගන්නවාය.
වානර පන්දම කාගේ නුවණැති යෝජනාවක්දැයි නොදන්නා නමුත් වසර දහස් ගණනකට පසු තවමත් ලාංකිකයා වානර පන්දම් හදමින්, වානර පන්දම්වලට අනුබල දෙමින් සිටියි!

අලුත්ම වානර පන්දම නටාෂාය. කාගෙ හෝ න්‍යාය පත්‍රයක කොටස්කරුවන් වීමෙන් නොනැවතී තමන්ගේ මුග්ධභාවයේ වල්ගයෙන් රට ගි.නි. තබා මුන්දෑද රට පනින්නට ගියාය! පිම්ම වැරදුණු හෙයින් දැන් වල්ග කොණ සපමින් කූඩුවේ ලැග ඉන්නීය.
පපට් ජෙරොම් ද වානර වන්නමක් නටා රට පැන දැන් මූණිච්චාවට සමාව දාන්නට භාජන සොයයි! දෙයියෝ කතා කරන්නේ ඩොලර්වලටය.
අරගලයේ පෙරමුණ ගත් සමහරක් නලුබට්ටෝද අරගලයේ න්‍යාය පත්‍ර එළිදැක්වෙද්දි පැදුරටද නොකියා රට පැන්නෝය. නැන්දලා වැට පැන්නෝය.
හැකියාවකින් රැකියාවකින් අධ්‍යාපනයකට රට පැනගන්නට බැරි වානරයන්ට ඇති එකම පිහිට තම වල්ග ය! වල්ග දවාගෙන හෝ සරණාගත ලෙස පැනගත්තොත් ගොඩේ ගොඩය.
අරගලයේ රැඟූ ඇති-හැක්කෝ අරගලය කණපිට පෙරැළීගෙන එනවිටම රට පැන්නෝය, සමීපතමයන් දුවා දරුවන් රට පැටවූයෝය. රට පැනීමේ මූලික කටයුතු සිද්ධවන අතර, වීසා ටිකට් අතේ තබාගෙන අරගල පාංකඩ පන්දම්වලින් යකා නැටූ ඇත්තෝද සිටියෝය. 

ඇතැම් වානර පන්දම්වල ගාත් ඇත්තෙ එහිය, වල්ගා මෙහිය. ඒ වල්ගා දූපත පුරා ගෙනයන්නට, හසුරුවන්නට මෙහි (ගොම්)භට සේනා සිටිති. ඔව්හු ඒ නොපෙනෙන ගාත් අදහති! ඒ වානරයෝ දේශපාලනිකය, නැත්නම් අන්තවාදීය. 

සාමාන්‍ය දූපත් වැසියා චිරාත් කාලයක් තිස්සේ හනුමා වන්නම් නරඹමින් සිටියි. ඒ තාක් කාලයක් ගතවීත් හනුමා වන්නමේ පූර්ව ලක්ෂණ සහ ප්‍රතිපල අවබෝධ කරගන්නට තරම් ප්‍රඥාවක් ඔවුන්ට තවම පහළව නැති සෙයකි! 
මේ දූපතේ යකා නටන කිසිම වානර පන්දමක් මෙහි නැවතෙන්නට ඉන්නා උන් නොවන බව අපි කවදා තේරුම් ගමුද? 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Saturday, May 27, 2023

පට්ට පොරවල්

ලංකාවේ විවිධාකාර "වෙන්ට-පොෂ්" රැලි ඇතිවීම අතිශය සාමාන්‍යකරණීය වෙලාය! ඒත් ඒ අතර නොනවතින රැලිද ඇත. ඉන් එකකි, නිරාගමික රැල්ල! නමට එහෙම වෙතත්, මේ නිරාගමික නිකාය ඇත්තෙන්ම නිරාගමික නොවන නිසා මේ නමට සාධාරණයක් ඉෂ්ට නොවේ.

ලංකාවේ බුජ්ජිමත් බහුතරයගේ බහුත මානසිකත්වය අනුව නිරාගමික වී හෝ නොවී බෞද්ධයා/බුද්ධ ධර්මය/බොදු පිළිවෙත විවේචනය කිරීම "පට්ට පොරක්" වීමට ඉහළම සුදුසුකමක්ය! පන්සිල් පද පහේ අනුපිළිවෙලවත් නොදන්නා ඇතැම් බෞද්ධ යැයි කියන්නෝද මෙව්වාට හුරේ දමා තමනුත් පොෂ්යැයි කියවාගන්නට පට්ට ගේමක් දෙති. 
නමුත් මේ "පට්ට පොරවල්" බෞද්ධ දර්ශනයට අභියෝග කරන්නට තරම් නිර්භීත නැත! ඊට ආසන්නතම හේතුව විය හැක්කේ බෞද්ධ දර්ශනය තේරුම් ගැනීමට තරම් මොළය වර්ධනය නොවීම විය හැකිය. නමුත්, අන්තවාදී නොවන අපි, ඔවුන් බෞද්ධ දර්ශනයේ ගැටපද ලිහනු ඇතැයි උදක් බලාපොරොත්තුව සිටිමු! 

ශ්‍රී ලංකාවේ පවත්නා එකම ආගම බෞද්ධාගම නොවේය කියන්නාවු (අධෝ?)මුඛයන්ම එලව එලවා පහර ගසන්නට බෞද්ධාගමම තෝරාගැනීම විපිළිසර විය යුතු කාරණයක්ය! නැති මංගල්‍යයක ඇද සොයන්නට මේ තරම් දත කන්නේ ඇයි? 🤷‍♀️
ක්‍රිස්තියානින් සහ කතෝලිකයන් එකම ශාස්තෘවරයෙක්/ශාස්තෘවරුන් අදහන නමුත්, ඒවා ගෝලීය ආගමික විශ්වාසයන් වන නමුත්, එව්වාට ලාංකීය රැඩිකල් නිරාගමිකයාගෙන් තර්ජනයක් නැත. 
පුරාතනයේ පටන් දේව ඇදහිලි මත පදනම්වන හින්දු ආගමික විශ්වාසයට මේ රැඩිකල් නිරාගමිකයා හොස්ස නොපොවයි. (වස් වැදීමට ඇති බය නිසාද නොදනිමු)
ක්‍රිස්තියානි/කතෝලික ප්‍රජාව සමග උරෙනුර ගැටෙන තරගකාරී ඉස්ලාම් ආගමික විශ්වාසය රැඩිකල් නිරාගමික න්‍යාය පත්‍රයට නොගැලපේ. (ශරියා නීතියට ඇති බයද නොදනිමු) 
එවැනි ගෝලීය ආගමික පද්ධතියක නොගිනිය හැකි තරම් සුළු පිරිසක් වන බෞද්ධයා මොවුන්ට මහ බරක්ය! 

සිංහල බෞද්ධයා ඉලක්ක කරගන්නා මේ පට්ට පොරවල්  චීවරධාරී ජෙපි/පෙරටු/එන්ජීඕ ඇත්තන් සමග යහන්ගතවී සිටිති! නිරාගමික "පට්ට පොරවල්" තම (අධෝ) මුඛයන්ගෙන් මේ ව්‍යාජ චීවරධාරීන් විවේචනය කරනු අප කිසිදිනක අසා නැත! ඔවුන්ට දේශපාලනය අකැප බව පවසනු කිසිදිනක අසා නැත! 
මෙතෙක් කිසිදු දේශපාලන කුමන්ත්‍රණයක/අරගල කියා සිතා හිටි ඒවාට නාමික චීවරධාරීන්/බෞද්ධ නියෝජන නොපෙන්වා මේ දූපත තුළ ක්‍රියාත්මක වන්නටද නොහැකිය! 
රැවුල ද කැඳ ද දෙකම බේරාගෙන හැරෙන හැරෙන පැත්තට රැඟෙන මේ ආටක නාටකවල යටි අරමුණු මොනවාද? 

අකුදි කියන්නා වාගේ "ඉතින් අපි තවත් රැවටෙමුද?"
කල්පනා කරල බලන්න! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, May 21, 2023

ඇඳුම් මැනුම්

පහුගිය දවස් ටිකේ ඇඳුම් සමාජ ජාලාව කළඹලා කියලා පේනවා. ලොකු විශ්ලේෂණ කරන්න තරම් කාලයක් ගත නොකර මගේ අදහස ලියනවා.

කෙනෙක් වැදගත් අවස්ථාවකට තව කෙනෙකුට ආරාධනාවක් කරන්නේ ඒ පුද්ගලයා ඒ අවස්ථාවට වැදගත් කියන අදහසින් බව මං විශ්වාස කරනවා. ඒ වැදගත්කම එක එක හේතුවලට එන්න පුළුවන් බව හරි. හැබැයි, ඒ ආරාධනාව පිළිගනිද්දි තමන්ට දුන්න වටිනාකම සහ විශේෂත්වය, අවස්ථාවේ වැදගත්කම සහ වටිනාකම, (තමන්ට නැතත් ආරාධනය කළ පාර්ශවයට) ඒ අවස්ථාවේ තිබෙන සුවිශේෂත්වය කියන කාරණා පිළිබඳව ඕනෑම අමුත්තෙක් සැලකිලිමත් වෙන්න ඕන. 
ඒක තමුන් රැඩිකල් කියලා පෙන්නන අවස්ථාවක් කරගත්තොත් එතනදි ඇත්තටම ආරාධිතයා කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලනය හරි මතවාදය හරි තමන්වම හරි උලුප්පා දක්වන්න අර අවස්ථාව අනවසර වේදිකාවක් කරගැනීමක්. 

නිකමට උදාහරණයක් කිව්වොත් කෙනෙකුට විවාහ මංගල්‍යයකට ආරාධනාවක් ලැබෙනවා කියමු. හරිම සරාගී සුන්දර සිරුරක් තියෙන හින්දා සහ ඈට හුරුපුරුදු නිසා, නිරන්තරයෙන්ම අඳින නිසා බිකිණියකින් විතරක් සැරසිලා අර මංගල්‍යයට සහභාගි වෙන්න තමයි ඇය තීරණය කරන්නේ (මොකද සහභාගීත්වයනෙ වැදගත්😉). අර සාම්ප්‍රදායික මංගල උත්සවයක, හරි, සිංහල බෞද්ධ මංගල්‍යයක් නෙවෙයි හින්දු හෝ මුස්ලිම් ආගමික වතාවත් සිදු කරන මංගල්‍යයක් කියලා හිතමුකො, එහෙම තැනකට කොයිතරම් සුන්දර වුණත් බිකිණියක් විතරක් ඇඳගත්ත කෙනෙක් ගියොත් ඒක සාමාන්‍ය සමාජය පිළිගන්නෙ කොහොමද? අපේ මේ වැදගත් අවස්ථාවට මේ මනුස්සයා ඇයි මෙහෙම ආවේ කියන හාහූව මතුවෙනවා වගේම බිකිණිය ඇඳන් ආව පුද්ගලයා තමන්වම යම්තරමක අපහසුතාවයකට, අඩුතක්සේරුවකට ලක් කරගන්නවා. සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විඳින්න ඕන තැන් තියෙනවා, සමාජෙට බම්බු ගහන්න කියලා තමන් තමන් විදිහට පවතින්න ඕන තැනුත් තියෙනවා. හැබැයි ඒක කරන නොකරන අවස්ථා ගැන අවබෝධයක් නැත්නම් මනුස්සයෙක් මොනතරම් ඉහළ තලයක හිටියත් 'දැනුවත්' නෑ කියලා මං විශ්වාස කරනවා. හැමදාම කියනවා වගේ 'උගත් බුද්ධිමත්' 'නූගත් බුද්ධිමත්' වගේම 'උගත් මෝඩ' 'නූගත් මෝඩ' කැටගරිවලට වැටෙන මිනිස්සු ඉන්නවනේ. 

යම් අවස්ථාවකට ඊට ගැලපෙන ආකාරයෙන් සහභාගී වීමත් යහපත් සිවිල් සමාජයක ලක්ෂණයක්! අනෙකා කෙරෙහි ගෞරවයක් දැක්වීමක්!

Overdress/underdress කතන්දරේට අනුව ඕනෑම අවස්ථාවකට යම්තාක් දුරකට overdress කරන්න පුළුවන්. Underdress වීමට වඩා overdress වීම කමක් නැහැ. ඒ කියන්නේ මගුල් ගෙදර යද්දි ලෝකේ තියෙන පාට සේරම උලාගෙන, හෙට්ටවීදියම ඇඳගෙන, මුලු ඉන්දියාවේම තියෙන තොරොම්බල් සාරි ඇඳගෙන යනවා කියන එක නෙවෙයි! මළ ගෙදරක යද්දී මිනියට වඩා ලස්සනට යන එකත් නෙවෙයි! මොන අවස්ථාවට සහභාගිවුණත් තමන් එතනට ගෙනියන්නේ තමන්ව සහ තමන්ගේ පෞර්ෂත්වය. ඒක ආරක්ෂා කරගන්න කෙනෙකුට පුළුවන් වෙන්න ඕන අර උඩ කිව්ව අන්‍යෝන්‍ය ගෞරවයවත් අඩුම තරමේ දෙන්න බැරි නම්. දැන් කියන්න එපා ඒක තමයි ඉතින් එයාගෙ පෞර්ෂත්වය කියලා. පෞර්ෂත්වය කියන්නේ හැම අවස්ථාවකම එකම විදියට තියෙන දෙයක් නෙවෙයි, ඒක ඇලෙව්වොත් ඇලෙව්වමයි මොඩ්ල් එකේ කාරණාවක් නෙවෙයි. ඒකට තමන්ගේ හැසිරීම, ආකල්ප, විශ්වාස, පැවැත්ම මේ ඔක්කොම එක්ක බාහිර ප්‍රතිරූපය ලොකු ඉඩක් ගන්නවා. එතකොට රැඩිකල්වීමයි නිසි දැනුවත්භාවයෙන් ජීවත්වීමයි යම් අවස්ථාවකට ගෞරව කිරීමයි තමන්ගේ පෞර්ෂත්වයේ උපරිමය නිසි ආකාරයෙන් හසුරුවා ගැනීමයි කියන කාරණා පටලවාගන්න එපා. එතකොට එන ප්‍රතිපලය මෝඩ පාටයි! 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Saturday, May 13, 2023

මාරක අපල

කාන්තා පාර්ශවයට මාරක අපල කාලයක්. එක දිගට විකල් කතන්දරම අහන්න ලැබෙද්දි ලියන්න හිතෙන දේවල් වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වේගයට මගේ කාලය සමපාත කරගන්න අපහසු හින්දා ටිකක් නිහඬයි.

අද මිත්‍රයන් කීපදෙනෙක් නිහඬකම ප්‍රශ්න කළ නිසා පොඩි ලියැවිල්ලක් හරි ලියලා තියන්න හිතුණා. (ඒ දුන්න තල්ලු-ස්ටාට් එකට ස්තූතියි 😇❤️)

අත්‍යවශ්‍ය කාරණයකට එළියට ගිහින් එද්දි පොඩි බයිට් එකකට ලක්වුණා. ඒත් ඒ එක්කම එක මිත්‍රයෙක් කිව්වා 'මේ දවස්වල ගැහැණුන්ට තියෙන තත්ත්වය නිසා යනෙන ගමන් ගැන  කව්රුහරි දැනගෙන ඉන්නත් ඕන' කියලා. ඒ හිතවත්කමේ වත්කමට🌼🌼
මේ සංවාදය ඈඳුණේ ඒකෙන් තමයි.

කතාව ඇත්ත. සාමාන්‍යකරණය වුණ කාන්තා හිංසනයට, පීඩාවන්ට එහා ගිය ඛේදවාචක ගණනාවකින් කම්පනයට පත්වෙලා ඉන්න වෙලාවක තමන් දන්නා අඳුනන විතරක් නෙවෙයි නන්නාඳුනන ගැහැණුන්ගේ ආරක්ෂාව ගැන පවා ගැහැණු පිරිමි භේදයකින් තොරව විචිකිච්ඡාවකින් අපි අද පෙළෙනවා (රෝගීන් කොටසක් ඇරුණම සාමාන්‍ය මානුෂික සමාජය).

මොනවද මේකට කියන්නේ, මොකද්ද මගේ කියැවීමේ සත දෙක කියලා දීර්ඝව ලියන්න අපහසු වෙලාවක කෙටියෙන් කිව්වොත් පරිස්සමින්! මොන මොන අපල විපල කැරකීගෙන ආවත් සිහි කල්පනාවෙන්, විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයි🙏
මොන මතය දැරුවත්, මොන සමාජ තලයේ හිටියත්, මොන කඳවුරේ හිටගත්තත් තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනාවෙන් වැඩ කරන්න. තමන්ගේ ජීවිත අයිතිය වෙන කාටවත් බලෙන් ගන්න ඉඩ තියන්න එපා.
දැනට ඒ ඇති නේද? ☺️

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Friday, May 5, 2023

තොරණ් කතා

අපි නරක්වෙලාද නැත්නම් වෙසක් තොරණ් නරක්වෙලාද කියලා මං දන්නෑ. හැබැයි සමහර තොරණ් කතා අහන් හිටියම... 🙉🙊🙈

එකක විතරයි මට ඇහුණේ සාමාන්‍ය පරණ පුරුදු තාලෙට කවියෙන් කතාවක් කියනව. තව එකක ඔන්න (කූඩු රාජයෙක්ගෙ) සුපුරුදු කතා ශෛලිය ඇහුණා.

අනෙක් ඒවයෙ...
තාපසයට දානෙ ගෙනියන බවලතී මහන්සියට තමන්ගෙ යහනෙ සැතපෙනව. තාපසයා (නිකං ඉන්න බැරුවට) ඒ බවලතීගෙ යහන්ගැබට පිවිසෙනව. කලබල වෙන බවලතී එකත්පස්ව නැගී සිටිනකොට උතුරු සලුව ලිහී වැටෙනව. අර තාපසයා මෙච්චර කල් රැක්ක සේරම ව්‍රත බිඳෙනව.
ඕක ඉතින් ඔහොම කියන්න බැරිද මන්දා දෙබස්වලින් කියන්න ගියහම... 🙉 කාන්තා රත්නයේ ස්වර උච්ඡාවචනයට බලන්න ආපු සෙනගෙත් ව්‍රත බිඳෙනවා!
කව්ද අප්පා නිල් චිත්‍රපටකාරයන්ට තොරණ් ඩබ් කරන්න භාර දුන්න පින්වතා? 😂😂😂

ජාතක කතා "ජාතක කතා" කරලා තියෙන්නේ! වෙසක් කලු කරගන්න බැරිවෙච්චි දුකටද නොදැනුවත්කමටද කපටිකමටද මන්දා අප්පා!

අදට තොරණ් ඇති😂

~🖋️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

දිවිනසාගැනීමේ විමුක්තිය

දිවිනසා ගැනීම විමුක්‌තියක්ද? එක්තරා විදිහකට ඔව්!

ධර්මයට අනුකූලව නම් දිවිනසා ගැනීම පාපයක්. එතැනින් එහා අපාගතවීමක් වෙනව කියලා කිව්වට ඒක ඔප්පු කරන්න අමාරු කාරණයක්. අමරාදේවී කිව්වා වගේ ගියොත් කෙනෙක් යළිත් නොඑන තැනක ඉඳන් ඒ පර්යේෂණය කරන්න තරම් මිනිස් තාක්ෂණය තවම දියුණු නෑ.
සමහරවිට හැමාකාරයකම ආගම් ධර්මයන්වල දිවිනසාගැනීම අධෛර්යමත් කරන්නේ ඉතා කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියමින්. වටිනා හැමදේම සුන්දර නොවන බව මග හැරුණද මග හැරියද නොදන්නා නමුත් හිත නිවන කතා හදලා දීලා තියෙනවා අභියෝග ජය ගන්නකොට ජීවිතය සුන්දර වෙනවා වගේ. ඒත් ඒක කොයිතරම් දුරකට ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

ඇයි මිනිස්සු දිවි නසා ගන්නවා ඇත්තේ?
විශාදය උණ හෙම්බිරිස්සාවට වඩා සුලබ ලෝකෙක පේන දේම ඇත්ත නොවන බව තේරුම් ගන්න තරම් සමාජය යථාර්ථවාදී නෑ. ඇයි අනේ එයාට නං මොන ප්‍රශ්න ද, යසට ඉන්න පුළුවන් නේද, අරකද මේකද කියනවට වඩා විශාදය සහ අවශ්‍ය ප්‍රතිචාර ගැන නිසි අවබෝධයක් සමාජයට නැහැ.

හැබැයි ඒ එක්කම තමන්ට තේරුම් ගන්න අමාරු දේවල්වලට විවිධාකාර දේශපාලනික, සමාජීය, සංස්කෘතික කෝණවලින් බලලා වීරත්වයක් ආරෝපණය කරන්නත් සමාජයට පුළුවන්. Depression කියන එකත් Diabetic, pressure, cholesterol වගෙ 'පොෂ් ලෙඩ' ලැයිස්තුවට එක් කරන දවසකුත් වැඩි ඈතක නෑ වගේ පේනවා. පොඩි පසුබෑමකට ඇත්තේ අනිත් ලෙඩ සුඛෝපභෝගී ජීවන රටාවක් ගැන ඉඟි හැටියට ගත්තට විශාදය "මානසික රෝගයක්නේ" කියන "මොනවා වුණත් වස ලැජ්ජාවක්නේ" කියන සාම්ප්‍රදායික ආකල්පය වෙන්න පුළුවන්.

ඇත්තටම විශාදය ඇතිවෙන්න හේතු පිටට පේන දේවල් නෙවෙයි. එක රැයකින් ඇතිවන දෙයකුත් නෙවෙයි. කාලයක් තිස්සේ සමහරවිට තමන්වත් හරිහැටි නොදන්නා හේතු, ඉච්ඡාභංගත්වය, වේදනාව, බලාපොරොත්තු කඩවීම්, ප්‍රශ්න ගැටලු, හිත් රිදීම් වගේ මානසික කාරණා වගේම භෞතික, ශාරීරික කාරණාත් ඒ ලැයිස්තුවට එකතුවෙලා තියෙන්න පුළුවන්. ඒ තත්ත්වය සමහරවිට විශාදයෙන් පෙළෙන කෙනාට පුළුවන් වෙනත් දේකට ආරෝපණය කරලා පෙන්නන්න. එක්තරා විදියක රැවටීමක් ලෝකයාට කරන්නේ තමන්ගේ අතිශය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමේ පියවරක් විදිහට. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට නොතේරෙන හරිම සංකීර්ණ සිතුවිලි ක්‍රියාවලියක්. ඒ නිසාම තමයි විශාද රෝගීන්ව හඳුනාගන්න අපහසු වගේම නිසි උපකාර වෛද්‍යවරුන්ටවත් දෙන්න අමාරු. විශාදය සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ. කළමනාකරණය කිරීමක් විතරයි කරන්න පුළුවන්. ඒකත් උග්‍ර අතට හැරිලා නැත්නම් වැඩි පාලනයක් තියෙන්නේ තමන්ගේ අතේ (හොඳට හෝ නරකට). තමන්ගේ සිතුවිලි, trigger points කාටත් වඩා හොඳින් දන්නේ තමන්. වෙනත් ලෙඩක් වගේ ලේ, මළමුත්‍රා පරීක්ෂා කිරීමෙන් විශාද තත්ත්වය අඳුනගන්න බෑ.

අනෙක් වැදගත්ම කාරණය විශාදයට ගොදුරු වෙන්නේ සමාජය නිරන්තරයෙන් වරදවා කියවාගන්න ආකාරයට පෞර්ෂත්වයෙ තියෙන අඩුපාඩුවක් නිසා විතරක්ම නෙවෙයි. බොහොම ශක්තිමත් මිනිස්සු පවා විශාදයට ගොදුරු වෙනවා. එතනදී  සමහරු අධිසංවේදී වෙන්න පුළුවන්, සමහරුන්ගේ සංවේදීතාවය ශූන්‍යයට ආසන්න වෙන්න පුළුවන් (අපි කියන්නේ ගලක් වගේ හිතේ තෙතමනයක් නැති මිනිස්සු කියලා)

කෙනෙක් දිවිනසාගත්තම රැල්ලක් වගේ නැගෙන විශාද සංවාදවල ලොකු පලප්‍රයෝජනයක් තියෙනවද කියන ගැටලුව තියෙනවා. මොකද දිවිනසාගැනීමකදි යම්තාක් දුරකට එළිවෙන්න පුළුවන් ඒ මනුස්සයාගේ පෞද්ගලිකත්වයක කුණුරසය විඳීමකට සහ ඊනියා මරණ පරීක්ෂණවලට අමතර දෙයක් මේ සංවාදවල දකින්න අමාරුයි. අනෙක් අතට අවධානය බලාපොරොත්තුවීම පුද්ගලයානුබද්ධයි. සමහරු ආදරය අවධානය පිළිගැනීම බලාපොරොත්තු වෙන්න පුළුවන්, සමහරු කිසිමාකාරයකින් කෙනෙකුට දැනෙන්න ළංවෙන්න නොදී තදබල බලකොටු/බංකර් හදාගෙන තමන්ගෙ පුද්ගලිකත්වය, හැඟීම්, සිතුවිලි ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ අන්ත දෙකම එක තැනකදී පුපුරායාමෙන් තමයි දිවිනසාගැනීම සිද්ධවෙන්නේ.

තමන්ගෙ ජීවිත කාලයෙදි එක මොහොතකවත් දිවිනසාගන්න නොහිතුණ පෘථග්ජන මිනිස්සු ඇත්තේ අතළොස්සක්. නමුත්, විශාදයෙදි මේක තමයි last resort එක. වෙනත් විදිහකට කිව්වොත් කලා වැවේ වතුර කාන්දුව නවත්තන් හිටිය කාලගේ කතාව වගේ. අනිවාර්යයෙන්ම කඩාගෙන යනවා ඒත් පුලුවන් තරම් කාලයක් උත්සාහ කරනවා නවත්තන්න.
හිටිහැටියේ ගත්ත තීරණයක් වගේ මේ ගොඩක් සිද්ධිවල දැනුණට ඇත්තටම නම් ඒක කාලයක් තිස්සේ ගොඩනැගෙන සංකීර්ණ සැලැස්මක්. ඒ සැලැස්මවල් ඇඳෙන්නේ අර last resort එකටම තමයි. කතාවට කියනවා වගේ කොහෙන් ගියත් කැරකිලා යන්නේ එතනට.

ඇයි එච්චර සැලැසුම් කරලා ඕක කරන්න ඕන? අර සුන්දර කියන මිනිස් ආත්මභාවයන් නිකම්ම ලැබිලා නෑ. මහ නූල් ගොඩක් එක්ක පටලලා තමයි දීලා තියෙන්නේ. සංසාරය සහ බැඳීම් කියලා බෞද්ධ දර්ශනයේ එන සංකල්පය අනුව එක දුෂ්කර විමුක්‌ති මාර්ගයක් ගැන කියනවා, ඒ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය අවබෝධ කරගෙන ඇලීම් බැඳීම් ගැටීම්වලින් වියුක්තව සංසාරයෙන් මිදෙන්න තියෙනවා කියන මාර්ගය. ඒක කියන තරම්ම පහසු නැති හින්දත් කාලයක් ගතවෙන හින්දත් විශාදයට ලොකු බලාපොරොත්තු දෙන්න පුළුවන් ද කියලා කියන්න අමාරුයි. ඒත් කළමනාකරණය කරගන්න යම් උපකාරයක් තියෙයි. ඉතින් එහෙම වුණාම විශාදයට පේන එකම ඉක්මණ් විමුක්‌තිය දිවිනසා ගැනීම නම් අපිට ඒකට දොස් කියන්න ඇත්තටම පුළුවන් ද?

~🖋️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #SuicideAwareness


Thursday, April 13, 2023

සර්වබලධාරී

ලෝකය සර්වබලධාරීන්ගෙන් පිරී ඉතිරී ගොසින්ය!
ඒ සර්වබලධාරීන්ට මිනිසුන්ගේද සත්වයන්ගේද ලෝකයේමද ඉරණම ගැන තීන්දු තීරණ ගැනීමේ මහ මෙහෙයුම් නිසාම තමා ගැන සිතන්නටවත් වෙලාවක් නැතිවන තරමට කාර්යබහුලය!

මේ ලෝකයේ ජීවත්විය යුත්තේ කව්ද කොතරම් කාලයක්ද ඒ කෙසේද යන්නෙන් නොනැවතී ඔවුන් ජීවත් විය යුත්තේ කා සමගද කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද වැනි සුළු කාරණා පවා සර්වබලධාරීන්ගෙ විෂයපථයට අදාළය. ඒ අතර මානව සහ සත්ත්ව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, පෞද්ගලිකත්වය ආදී විකාර කාරණාවලටද කාලය වැය කිරීමට ඔවුන්ට සිදුවෙනවාය.
මිනිස් වර්ගයාගෙන් නොනැවතී රිලවුන්ගෙ සිට අලි දක්වා සකල ජීවීන්ගේ පැවැත්ම තීරණය කිරීමටද සර්වබලධාරීන් නොපැකිලව ඉදිරිපත් වෙනවාය. ගහකට කොළයකට මලකට පවා ඔවුන්ගේ තීරණවලින් බැහැර වීමට නොහැකිය!

මෙතෙක් සර්වබලධාරීන් ලෙස පිළිගත් ආගම්වාදී සර්වබලධාරී දෙවිවරුන්ද මකුළු දැල් බැඳි පඬුපුල් ආසනයේ අසුන්ගත් ශක්‍ර දේවේන්ද්‍රයෝද සියලු ආකාරයේ අදෘශ්‍යමාන බලවේගයන්ද විශ්‍රාම ගැන්වීමට තරම් නව සර්වබලධාරී සංසදය ප්‍රබලය!
තවම ලෝකයේ පැවැතීම ගැන චිත්ත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ලියා තබමි!

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #Almighty

Wednesday, April 5, 2023

පෞද්ගලීකරණයෙන් ඔබ්බට..

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට මං එකඟ නැහැ!

හැබැයි... 
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට සිද්ධවෙන තැනට පත් කළාට වග කියන්න ඕන දේශපාලනඥයො විතරක්ම නෙවෙයි. වෘත්තීය සමිති තමයි ඒකට වග කියන්න ඕන ලොකුම පිළිලය! 

ඇයි..? 
ඕනෑම වෙලාවක පවත්නා රජයට විරුද්ධ වෘත්තීය සමිති බලා ඉන්නේම වර්ජනයක් කරන්න, අංචියක් අදින්න. සල්ලිවලට ඕනෑම යටිකූට්ටු වැඩක් කරන්න. වෘත්තීය සමිති කියන්නේ අතිශය සද්භාවයෙන් යුතුව, "වැඩකරන ජනතාව" වෙනුවෙන්  පටන්ගත් ක්‍රමවේදයක්. හැබැයි ඒක දැන් ලංකාවේ තියෙන්නේ අන්තවාදීත්වයෙත් අන්තවාදී තැනක! කොටින්ම ත්‍රස්තවාදයක. කව්රුහරිම හිතනවා නං එයාලා ඔයාලා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා කියලා, අං පීරිගාන්නයි වලිගෙ ට්‍රිම් කරන්නයි කාලෙ හරි ගිහින් ඇත්තේ. 
කිසිම වෘත්තීය සමිතියක කට සෙලවෙන්නේ නෑ, අත සෙලවුණේ නැත්නම්. අත සෙලවෙන්නෙත් සල්ලි මිටි සහ වෙනත් සැප සුඛවිහරණ දොළ පිදේනි භාරගන්න විතරයි. ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දෙන වෘත්තීය සමිති ඇතැම් ප්‍රසිද්ධ ව්‍යාපාරයන් බ්ලැක්මේල් කරන බවත් රහසක් නොවෙයි. ඒ ව්‍යාපාර තුළ වර්ජන, කරදර ඇති නොකර සිටීම වෙනුවෙන් මේ රිරී යක්ෂයො ගන්නේ එසේ මෙසේ දොළපිදේනිත් නෙවෙයි. අවශ්‍ය කෙනෙකුට හොයා බලන්න පුළුවන්. 

එතකොට මේ අන්තනෝමතික වෘත්තීය සමිති කාලකණ්නීන්ගෙන් රාජ්‍ය ආයතන ගලවාගන්නම බැරිද? 
පුළුවන්. හැබයි අමාරුයි. ඔඩුදුවා තියෙන පිළිකාවක්නේ සෑහෙන්න කපලා අයින් කරන්න වෙනවා. කව්ද ඒක කරන්න පුළුවන් ජගතා? 
ලංකාවේ එහෙම ජගතෙක් නෑ. මෙතෙක් හැම රජයක්ම කළේ තත්ත්වය කළමනාකරණය කිරීමක් විතරයි. ජේආර් හෝ ප්‍රේමදාස මේ තත්ත්වය ඇතුළත හිටියා නම් සමහරවිට මේ කකුලුවෝ මෙච්චර නටන්නේ නැතිවෙන්නත් තිබුණා. අමානුෂිකවුණත් සමහර දේවල් සාධාරණයි කියලා හිතෙන තැනට සමහරු සමහර අවස්ථාවල යනවා. ලංකාවේ වෘත්තීය සමිතිත් ඒ වගේ!

රනිල්ට ඕනෑ නම් ඔය පිළිකාව අයින් කරන්න පුලුවන්. නමුත්, රනිල් කියන්නේ පදම් වෙච්ච දේශපාලනඥයෙක්. ඕක තියෙන්න අරින එක අයින් කරනවට වඩා වටින අවස්ථා ඒ කපටි මොළේටත් පේන හින්දා එහෙම බලාපොරොත්තු තියාගන්න බෑ. 

හැබැයි, කවදමහරි දවසක ඔය වෘත්තීය සමිතිකාරයන් විසින් අනාචාරයේ යොදවන මානව අයිතිවාසිකම්, කම්කරු අයිතීන් වගේ රාමු යම්තරමකට නම්‍යශීලි කරවීම අත්‍යාවශ්‍යයි. මොකද මෙහෙම ගියොත් ලංකාවට ණය දහසක් ලැබිලා, සක්‌විති රජවරු පහළ වෙලා, රාවණා වලෙන් නැගිටලා ආවත් හිඟන්නො වගේ තමා ඉන්න වෙන්නෙ! 

අන්තිම රාජ්‍ය ආයතනයත් පෞද්ගලීකරණය කරන්න වෙන තැනට වැඩ සැලැස්සෙනකලුත් අපිත් අපේ දේශපාලන මතය සාධාරණීකරණය කරමින් මුන්ව හුරතල් කරාවි! ආයතන වලපල්ලට ගියාට එයාලා තමන්ගේ සුඛ විහරණය ලස්සනට හදාගෙන ඉඳීවි. එහෙම කරන්නේ දේශපාලනඥයෝ විතරයි කියනවා නම් මේ රීරී යක්කු මොක්කුද කියලා තමතමන්ටම හොයලා බලන්න පුළුවන් නම් හොඳයි! හැබැයි ප්‍රමාද නොවී, පක්ෂග්‍රාහී නොවී..! 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #tradeunion

Saturday, April 1, 2023

සදාකාලික ඉලන්දාරියා

කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️

කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. 
හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්!  චූටි මනුස්සයෙක් වුණාට මට දැනිච්ච ඔහුගේ පෞර්ෂත්වය මහ විශාලයි. ඔහුට තිබ්බේ පුයර බබෙක්ගෙ පෙනුමක් නෙවෙයි. වෙන මොකද්ද මහ ජේත්තුකාර කඩවසම් පෙනුමක්. දැන් වගේ මූණේ රැලි බොටොක්ස් නොකළ කාලෙක කලංගේ මූණේ රැල්ලක පවා මොකද්දෝ වෙනමාකාරයක ආකර්ෂණයක් තිබ්බා කියලා හිතෙනවා. අග්න්‍යාශය විකාගෙන දතකට පූට්ටු කරගෙන දෙන දෙබස් අභින නැතුව  හරිම සාමාන්‍ය තාත්විකබව මම දැකලා තියෙන සීමිත රංගන කීපයේ දැක්ක එක ලක්ෂණයක්. 

අද උදේ කලං ගියා කියලා දැක්කම මං ජංගමයා ඇහැට ළංකරලත් ආයෙ කියෙව්වා. මං හිතුවෙම වැරදීමක් කියලා. අවුරුදු 82ක් වෙලා යන්න ගියත් කලංගෙ මුණුපුරු පරම්පරාවක මටත් කලං මගේ පරම්පරාවේ එකෙක් වගේ. මෙයින් පස්සේ කොහේ ගියත් කලං කියන්නෙ අපේ සිනමාවේ සදාකාලික ඉලන්දාරියා❤️
සමහරවිට කොණ්ඩෙ අවුල් කරගෙන බෙල්බොටම් එකට යට කළ ස්ලිම්ෆිට් කමිසේ අත් නවාගෙන උඩ බොත්තම් දෙක තුනක් ඇරගෙන කලං එහෙත් ජේත්තුවට ඉන්නවා ඇති. 
සුබ ගමන් කලං අන්කල්💔💐

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, March 25, 2023

නිදහසේ ලන්සුව

මේ දවස්වල දවල් එළියට බැස්සම පුදුම සනීපයක් දැනෙනවා. කට්ට තාර පාරෙන් දුම් නොනගින එකයි පුදුම. නානාප්‍රකාර නානාහැඩයෙ වාහනවල, ගොඩනැඟිලිවල දිලිසෙන හැම පෘෂ්ඨයකම වැදිලා ඉරේ දරුණු රැවිලි ඇස්වලට පනිනවා. ඒකෙන් ඇහැරෙන්න දතකන මිග්‍රේන් දුෂ්ටයාට බයවෙන මං අව් කණ්ණාඩි අස්සෙනුත් තදින් ඇස්පියා ගන්නවා. 

හෙවණකට ඉන්න ගහක් නැති සාංකාවක පාටක්වත් නැතුව මිනිස්සු ගිනිගහන මහපාරවල්වල ඇවිදිනවා. කිලෝමීටර් ගාණකට පස්සෙ හම්බුවෙන එක ගහක් යට චූටි දැල් කූඩුවක වටුකුරුල්ලො ගොඩක් පුරෝගෙන නිල් ඉරි සරමකට සුදු අත්දිග කමිසයක් ඇඳගත්ත මනුස්සයෙක් ඇන තියාගෙන ගිමන් අරිනවා. කූඩුවේ ඉන්න වටුකුරුල්ලො එකා පිට එකා වැටෙමින් නලියනවා, රස්නෙ දරාගන්න බැරිකමට වෙන්න ඇති.

ගහකොළක් පේන තෙක් මානෙක නැති යකඩ තහඩු කඩ කාමර පේලියක සුරතල් සතුන් විකිණීමට කියලා බෝඩ් එකක් ගහගෙන දැල් කූඩු එකපිට එක අඩුක් කරන් ඉන්නවා. ඒවයෙ කුරුල්ලෝ, බලුපැටව් පිරිලා. උන් හරිම අසහනයෙන් දිවවල් ඇදගෙන පීඩාවෙන්, රස්නෙන්, සමහරවිට බඩගින්නෙන් වේදනා විඳිනවා.

සමහරවිට අර මනුස්සයගෙන් මිලදී අරන් අපි අපේ අපලවලට කුරුල්ලෝ නිදහස් කරනවා. බෙල්ලන්විලට නිදහස් කළොත් ආයෙත් ඒ කුරුල්ලොම තව කව්රුහරි අල්ලගෙන කූඩු කරලා ආයෙ විකුණනවා ඇති.

අර කඩෙන් බලු පැටව් මිලදී අරන් ගිහින් කොහෙහරි හිරකරගෙන වර්ගයා බෝ කරවමින් තව කෙනෙක් ව්‍යාපාරයක් කරනවා ඇති. ඒ පැටවුන්ගේ ඊළග පරම්පරාවත් තව කඩේක යකඩ කූඩුවක හිරවෙලා තමන්ට ගැණුම්කාරයෙක් එනකල් දුක් විඳිනවා ඇති. ඒ දුක ඒත් ඉවර නොවෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් ඒ අසරණයන්ට නැහැනෙ.

මහ තාප්පවලින් වටකරපු තැනක සුදු ජම්පර් ඇඳගත්ත මිනිස්සු මේ අව්කූටකේ නොයෙකුත් වැඩපල කරනවා. එක එක වැරදිවලට එක එක අච්චුවල මිනිස්සු එක පොදියට යකඩ කූඩුවලට ගාල්වෙනවා. වැරැදි කරන එකා යකඩ කූඩු දාහක් අස්සෙත් ඒ වැරැද්දම කරනවා. හැබැයි උන් කතා කරනවා. ඉල්ලීම් කරනවා. තර්ජන ගර්ජන කරනවා. තමන්ට ඕන දේ හොඳින් හරි නරකින් හරි දිනාගන්නවා. උන්ට කූඩුවෙන්නත් නිදහස්වෙන්නත් මිලක් තියෙනවා. 

නිදහස මටත් අර වටුකුරුල්ලටත් බලු පැටියටත් වැලිකඩ ගිය සුදාටත් එක වගේ. ඒත් අපි එක එක හිරකාරයට එක එක විදියට සලකනවා. එක එක හිරකාරයගෙ නිදහසට විවිධාකාර මිලක්, ක්‍රමවේදයක් හදනවා. අපි කව්ද? අපිට ඒ බලතල ලැබුණේ කොහොමද? කාගෙන්ද? 

මේ ආත්මාර්ථකාමී මිනිස්ගුලාවෙන් මිදුණු සැගවුණු නිදහස් දේශයක් ගැන ආරංචියක් ලැබෙන දවසක් ගැන මම ඇඟිලි ගනිමින් බලන් ඉන්නවා. 
එපා, එහෙ එන්න එපා🙏

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #freedomhasaprice

Wednesday, March 22, 2023

කඩ්ඩ කොපුගත කිරීම

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමේ අවස්ථාවට පක්ෂ එක මන්ත්‍රීවරයයි!

ලෝකය විශ්ව ගම්මානයක් වෙනවය, ඒකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වැදගත් වෙනවය කියන කතන්දර සේරම අමතක කරන්න පෙරමුණ ගන්නේ අනෙක් එව්වයිදී 'දූපත් මානසිකත්වයෙන් මිදෙන්න අනී' කියලා  නටන  ඇත්තොම වෙච්චි එක දෛවයේ සරදමක්ද මන්දා!

ඇත්තටම වෙන්න ඕනෙ සිංහල/දෙමළ දරුවන්ට ඉංග්‍රීසිය නිසියාකාරව, මුලපටන් ඉගැන්වීමට පියවර ගැනීම නෙවෙයිද? අවුරුදු 13ක්ම ඉස්කෝලවල සතියකට අවම කාල පරිච්ඡේද පහක් (මිනිත්තු 40*5= මිනිත්තු 200ක්) ගානේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් තවම ඉංග්‍රීසි "ඉගෙනගෙන" නැති පිරිස වැඩියි. ඒකට හේතුව මූලිකවම තමන්ගේ උවමනාවක් නැතිකමට අමතරව ඇත්තටම ඉංග්‍රීසි ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ හිඟය! ඉතාම හොඳින් ඉංග්‍රීසිය හසුරුවන ගුරුවරුන්ට පවා මූලික ව්‍යාකරණ සිද්ධාන්තයේ සිට ශිල්පය දෙන්න දන්නේ නෑ! මේ කියන්නේ අත්දැකීමෙන්.

ගෝඨාභය විසින් ගමටම ගිහින් අපහසුතාවයට පත්කරන ලද ඉංග්‍රීසි ගුරුවරිය ගැන සානුකම්පිතව හිතුවත් ඒ අපි දැක්කෙ රටේ බහුතර ඉංග්‍රීසි ගුරුවරුන්ගේ තත්ත්වය තමයි! තමන්ට බැරිනම් කොහොමද දරුවන්ට උගන්වන්නේ? එතකොට පරීක්ෂණවලදි ඔවුන්ගේ නොහැකියාව අහුවෙලා නැත්නම් යාන්ත්‍රණයේ ලොකු අඩුපාඩුවක් තියන්න ඕන නේද? ගුණාත්මක ගුරුවරයෙක් බිහිකරන්න බැරි යාන්ත්‍රණයක ඇති වැදගත්කම මොකද්ද කියලා ගුරු වෘත්තීය සමිතිවලින් තමා අහන්ට ඕනි!😏

වෙන වෙලාවට සිංහල භාෂාව ප්‍රධාන කරද්දී 'ජාතිවාදි' වෙන සමාජයක් අද? 🤷‍♀️ මේ වෙද්දී හදන්න ප්‍රමාද කොටසක් ඉන්නවා, හැබැයි ඒ කොටසට අසාධාරණයක් නොවන ආකාරයට යම් කාලයකට මාධ්‍ය තුනෙන් කැමති මාධ්‍යයක් කරන්න ඉඩ දීම හරි. නමුත් ඉංග්‍රීසිය එපාමයි කියන තැන ඉන්න එක මරි මෝඩකමක්. සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉගෙනගත්තත් නීති වෘත්තීයවේදියෙක් වූ පසු කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ වැඩිමනත් ඉංග්‍රීසි භාෂාව එක්ක. ඉංග්‍රීසිය දුර්වල නීතිවේදීන් උසාවිවල අපහසුතාවට පත්වෙන ආකාර බොහෝ අය දැකලා ඇති. මම නම් දැකලා තියෙනවා. ඇතැම් එවැන්නන් කොතරම් දක්ෂ කථිකයන් වුවත් අපහසුතාවට ලක්වෙනවා!

ඉතින් තමන් අපහසුතාවට පත්වෙන්න එච්චර කැමැති නම් අපිට මොකෝ නේ?🤷‍♀️
මොකෝ මෙතෙක් කල් ජාත්‍යන්තරේ ජයගත්තේ සේපාල්ගේ කඩ්ඩෙන්යැ! 😎

අවිදුර දෘෂ්ටිකත්වය තියෙන්නේ පාලකයට විතරක් නෙවෙයි, පාලිතයටත් ඒක එසේමයි. ඕවා බලන් ඉන්න මට හිතෙන්නේ අර අපි නොදන්න ලයිව් එකේ දෙයියා කිව්වා වගේ.. 
"දැන් ඔය කඩු කොපුවලට දමලා
දෙන්නාට දෙන්නා වැඳලා ඉඹලා
පලයව්!" වගේ කතාවක් තමයි.😂

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, March 19, 2023

ටුරී ජුලියානෝ (Turi Giuliano/ Salvatore Giuliano)

ටුරී රෝමාන්තිකරණය කරන ලද මැරයෙක්! ඒත් ඒ මැරයා Mario Puzo ගෙ වචනවල දැවටෙමින් ඇවිත් මගේ හදවත නතර කළා. 

කව්ද ටුරී? ඇයි ටුරීට එහෙම වුණේ? එච්චර කඩවසම්, බුද්ධිමත් මිනිහෙක්ට එහෙම වුණේ එයත් පවත්නා ක්‍රමයේ ගොදුරක් වෙච්ච නිසා නෙවෙයි ද (නෑ මෙහෙ නෙවෙයි, සිසිලියේ).

Mario Puzo ඒ කියන්නේ සුප්‍රකට Godfather රචකයා The Sicilian එළිදක්වලා තියෙන්නෙ 1984 නොවැම්බර් මාසෙදි. ටුරී හෙවත් සැල්වටෝර් ජුලියානෝව පාදක කරගෙන ලියලා තියෙන මේ නවකතාවට Godfatherහි චරිතත් ඈඳලා තියෙනවා. ඇත්ත ටුරී 1922 නොවැම්බර් 16 ඉපදිලා 1950 ජූලි 5දා මරණයට පත්වෙලා තියෙන්නේ අවුරුදු තිහක්වත් ආයුෂ නොවිඳ! රෝමාන්තිකරණය කරන ලද කලු (මට අනුව නං අලු) චරිතයක් වුණත් ටුරී තුළ ඉන්න මොකද්දෝ ඡායාවකට මගෙ හිත ඇදෙනවා. 
(මේ වාක්‍යය ලියද්දිම මට මගෙ හොඳම මිත්‍රයෙක්ගේ සුපුරුදු වචන ටික ඒ හඬෙන්ම ඇහෙනවා වගේ.😂 අපේ බහුතර සංවාදවල ඉතාලි සහ ආසියානු මාෆියා විකසනය ගැන කතන්දර වෙනකොට ඒ මිත්‍රයා ඔලුවෙ අත ගහගෙන මගේ මේ මාෆියා ආකර්ෂණය සහ නැඹුරුව ගැන වධවෙන්න ගන්නවා. ඊටපස්සේ පොහෝදා ධර්ම දේශනයක ස්වරූපයෙන් අපි දෙන්නාටම ඇති විවිධ ඉතිහාස කතා සහ අත්දැකීම් ගෙනහැර පාමින් ඒකෙ ආදීනව කියාපෑමෙන් තමයි මේ සංවාද අහවර වෙන්නේ 😁)
(වරදවා වටහාගන්න එපා. මේ කතා කරන්නේ කාඩ්බෝඩ් වීරයන් හෝ සිඟිති පාතාලයන් ගැන නෙවෙයි. මාෆියාවක් වුණත් ප්‍රතිපත්තිගරුක, යම් විනයක් සහිතව:Omerta, ක්‍රියාත්මක වෙච්ච සංවිධානයකට නිග්‍රහ කරමින් දකින දකින හැම මජර ජරාවකට මාෆියා කියන වචනය යෙදීම අපරාධයක් කියලා මං හිතනවා!) 

ජනතාවගේ වීරයෙක් හැටියට අවුරුදු විසි අටක් වගේ කෙටි කාලයකදී සිසිලියේ මාෆියාවට මාෆියාවක් වීමෙන් නොනැවතී, ෆැසිස්ට්වාදී මුසොලීනි බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයේ ඉත්තෙක් වෙන්න සිද්ධ වෙද්දි ටුරී දැනගෙන ඉන්නවා කවදාවත් එතැනින් ගැලවීමක් නැති බව. ඒත් අවාසනාවකට ටුරී මැරුම් කන්නෙ පෙනුණු සතුරන් අතින් නෙවෙයි. වැලි කෙලියෙ ඉඳන් හැම දේකදිම කිසිම විරුද්ධත්වයක් නැතුව ළගින්ම හිටිය මිත්‍රයා, Aspanu Pisciotta ගෙ වෙඩිල්ලෙන්. නවකතාව සහ ඇත්ත කතාවේ සිදුවීම් අතර යම් යම් වෙනස්‌කම් තිබෙනවා. නවකතාවේදී ටුරී අවසානය වෙද්දී තනිවුණත් තමන්ගෙ විශ්වාසවන්තම, ප්‍රාණසම මිත්‍රයා ගැන අවිශ්වාසයක් හිතන්නේ නෑ. නමුත්, වාර්තාවලට අනුව පිසියෝටාගේ (විවිධාකාරයෙන් උච්ඡාරණය වෙනවා) පාවාදීම ගැන ටුරී දැනුවත් වෙලා ඉන්දැද්දි සැකයෙ වාසිය දිනාගන්න මිත්‍රයාමයි නින්දෙ ඉන්න ටුරීව මරා දමන්නේ! 

නොවැම්බරයෙක් හැටියට මේ නොවැම්බරයා ගැන මට මහා කණගාටුවක් දැනෙනවා. 

ඉතාලි භාෂාවෙන් කැඩී ආව වචනයක්වුණත් අරාබි භාෂාවෙන් මාෆියා යන්නෙ තේරුම බලවතාට විරුද්ධව දුබලයා වෙනුවෙන් පෙනීසිටින ආරක්ෂකයා නැත්නම් ශුද්ධවූ ස්ථානයක් වගේ එකක්. එහෙම බැලුවොත් ටුරී මාෆියාවෙන් මාෆියාවට යන්නට ඇති කියලා විශ්වාස කරන්න මං කැමතියි! 😇

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #bookreview #SicilianMafia

Friday, March 17, 2023

වටවන්දනා සර්විස්

මේක සෑහෙන්න පරණ කතාවක්.
ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ මේ ආසන වෙන් කිරීම කරන්නෙත් එයාම තමයි). මාව ගෙදර ළගින් ගන්න හරි දාන්න හරි කොයිතරම් පුළුවන් වුණත් සාන්ත නෙවෙයි ඒකට කැමති. හැබැයි ඉඳලා හිටලා ආ මිස්ව මං ගෙදර ළගින් දාන්නංකො කියලා ඒ පාරේ යන දවසුත් තියෙනවා මොකද මං තමයි අන්තිමටම වෑන් එකෙන් බහින්නේ සමහර දවසට.

මිනිහ පොඩ්ඩක් අහිංසක වගේ පෙනුණට සමහරවෙලාවට හෙන භයානකයි! අපි ඔය එන අතුරු පාරවල් අස්සෙදි තියෙනවා රේල්පාරක් හරහා එන්න. ඒක කොහොමත් පාරට වඩා තරමක් උස කණ්ඩියක්. එතන රේල් ගේට්ටුවක්වත් සිග්නල් ලයිට් එකක්වත් නෑ. ඒ හරියේ තියෙන පොඩි ගෙවල් පේලිවල මිනිස්සු තමයි අත්දැකීම් මත කෝච්චි යන එන වෙලාව බලලා සිග්නල් එක දෙන්නේ, ඒකත් ඉතින් හැමෝමම නෙවෙයි. මොකෝ ඉතින් ඒ මිනිස්සුන්ටත් වෙන වැඩ නැතුවයැ!

සාන්ත කොච්චර ට්‍රැක්ද කියනවා නං හැමදාම අර ජරබර ගාන වෑන් එක හිමීට රේල්පාර තියෙන කණ්ඩිය උඩට නග්ගලා කිසීඊඊඊම කලබලයක් නැතිව හිමීඊඊට වටපිට බලලා හරීඊඊම හිමීඊඊඊට තමයි රේල්පාර හරහා එන්නේ. පළවෙනි දවස් කීපයේ මාත් බලං හිටියා ඉතින් මේ මරාගෙන මැරෙන මෙහෙයුම් සැලසුම දිහා. මළාට කමක් නෑ ඒත් කෝච්චියට වැදිලා ඇද්දිලා ගිහින් දහදුක් විඳලා මැරෙන්නේ මොකටද? අනික නොමැරී ඉතුරු උනොත් එහෙම!

සාන්ත ටික දවසක් යද්දී මාත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙලා හිටියේ. කොටින්ම ඉන්දියානු තාලෙට නැන්දම්මා දුං අල්ලලා තිලක තියලා ලේලිව ගෙට වඩම්මනවා වගේ තමා සාන්තත්. හෝ ගාලා කියෙව්වට මට එහෙම කියවන්න ආසාවක් නැති නිසා සමහර වෙලාවට අන්තිම සීට් එකේ කොණට වෙලා මං බොරුවට නිදි. මොන! මේ මනුස්සයා සෙනග ටිකක් අඩුවෙච්ච වෙලේ ඉඳන් අර ඉස්සරහ කොණේ ඉඳගෙන "මීඊඊඊඊඊස්ස්... මීඊඊඊඊඊඊඊස්ස්ස්..."කියලා කෑගගහ මොකක් හරි කතාවක් කියනවා. මට ඉතින් පුදුම දයාවක් ඇතිවෙනවා මේ පාන් කියාගන්න බැරි මහන්සියෙන් ගෙදර යන සිහියෙන් ඉන්දැද්දි ඔය බයිලා අහන්න වුණාම.

ඉතින් අර රේල්පාරේ මැද ඉඳන් කරන මරාගෙන මැරෙන සැලසුම ගැන මං ඔහොම කෑගහන සාන්තට කිව්වා මෙහෙම!
" (අහිංසක, බැරෑරුම් මූණකින්) සාන්ත, ඇයි ඔයා අර රේල්පාරේ නවත්තගෙන කල්පනා කරන්නේ? අපිව මරන හැටිද?"
"අනේඒඒ මීඊඊඊස්ස් මං කාට එහෙම කළත් මිස්ට එහෙම අනතුරක් වෙන්න දෙනවද? ඉතින් එහෙම තමා වාහනේ එලවන්නෙ කලබලයක් නෑනේ"
"හැබැයි කොයි වෙලාවක හරි කෝච්චියක් ඇවිල්ලා හැපිලා අපි මැරුණොත් සාන්තට තමයි අපේ දරුපවුල් බලාගන්න වෙන්නෙ ඔන්න. ඒක හරිම භයානකයි නේද" (මං මේ බොහොම කරුණාවෙන් යාප්පුවෙන් අහන්නේ මොකද මිනිහට ටිකක් ට්‍රැක් නිසා ආයෙ වාහනෙ හරවං ගිහින් මාත් එක්කම රේල්පාරේ නවත්තලා ආවොත් එහෙම!)
" දැන් මිස් වෑන් එකෙන් අයින් වෙනවද ඉතින්? අනේ මිස් එහෙම වුණොත් මං මිස්ට පේන්නම බේරේ වැවට පනිනවා! (හෑඈඈ! මොන මගුලක්ද මේ!!😳) 
"පිස්සුද! ඒ මොකටද ඒ!! අනේ සාන්ත පොඩ්ඩක් කල්පනාවෙන් ඔය රේල්පාර හරහා යන්න, අපිව මරන්නේ නැතුව. අන්න එච්චරයි ඕන" කියාගෙන මම දඩිබිඩියේ වාහනෙන් බැහැගත්තා.

ඊටපස්සේ දවසක උදෙයි හවසයි දෙකේම මෙන්න මේ මනුස්සයා මාව පෙනි පෙනි දාලා ගියානේ! මං කෝල් කළාම ආන්සර් කරන්නෙත් නැහැ. පස්සෙ යාලුවෙක්ගේ ෆෝන් එක දීලා ඇයි ඇහුවම කියනවා 'මිස් පහුගිය දවස් ටිකේම මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑනෙ. ඒක නිසා මගෙ හිත රිදුණා, මං දාලා ගියා!"ලු.🤦‍♀️🤷‍♀️

එතනින්ම ඒ වටවන්දනා ගමන නිමවුණා මිත්‍රවරුනි.
හැබැයි මං මාරක දෙකකින් බේරුණා මං හිතන්නේ😂

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, March 13, 2023

භූකම්පා

එක්තරා කාලෙක මං එයාට කවි ලිව්වා. මං කවි ලිව්ව පළවෙනි මිනිහා එයා නෙවෙයි තමයි. හැබැයි කවි කියලා මං මාවම ලිව්වේ එයාට විතරයි!

එච්චර තදබල ප්‍රේමයක් ඇතිවෙන්න තරම් මොකක්ද වුණේ කියලා මං අදටත් දන්නෙ නෑ. හැබැයි ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මට මහ දරුණුවටම දැනුණා. ලෝකේ ලොකුම භූකම්පනයවත් සුනාමියවත් එක්ක සසඳලා ලඝු කරන්න බෑ වගේ ඒ ප්‍රේමයත් මට දැනුණේ. මං අනේක වාරයක් ඒකෙන් පැනලා දිව්වා. හිතෙන් විතරක්. ඉන්පස්සෙ හැබෑවටමත්. ඒත් දුවාගන්න බැරිව පොලා පනින යෝයෝ එකක් වගේ ආයෙත් කැරකිලා එයා ඉස්සරහ හිටගත්තා. ඒ හැම වතාවකම එක එක විදියට කවි ලියැවුණා. ඊටපස්සේ දවසක මම කවි ලියන එක නතර කළා. මට තවදුරටත් මාවම ලියන්න බැරි තැනක ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මාව වලදැම්මා.

සාමාන්‍යයෙන් එහෙම වුණාම වගේ සුන්බුන් අස්සෙන් එළියට එන්න, උදව් ඉල්ලලා කෑගහන්න, අඩුම තරමේ කෙඳිරියක් නගන්නවත් උවමනාවක් නොකර මං සුන්බුන්වලට යටවෙන්න තීරණය කළා. ගොඩ ඇවිත් ආයෙත් කවි ලියන්න බලාපොරොත්තුවක් මට නැති හින්දා.. ආයෙත් කවදාවත් එහෙම අධිසංඛ්‍යාත ප්‍රේමයක් කෙසේ වෙතත් අල්පමාත්‍ර ප්‍රේමයක්වත් නොදැනෙන බව මම දැනගත්ත හින්දා..
ඒ ප්‍රේම භූකම්පනයට යටවීමෙන් මගෙ හෘදය කුඩුපට්ටම් වෙලා ගිහින් කියලා දැනගත්තේ (අවාසනාවකට) මාව කව්රුහරිම හොයාගත්ත හින්දා. ඒත් මට හම්බවෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. 'පණ තියෙනවා. ඒත් හෘද ස්පන්දනයක් නෑ' මහ කලබල ගොඩක් අස්සෙ කව්ද කියනවා මට ඇහුණා. 'තමුන් වෛද්‍යවරයෙක් නේද. මොන හතරබීරී බහුත කතාවක්ද අයිසේ ඒක' කියලා තව කව්ද මහ සද්දෙන් කියන්න ඇති, ඒත් මට ඇහුණේ ලාවට. ඉස්සර මං සීතල දරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් ඉන්න තැන සීතලයි වගේ පෙනුණා.

"හෘද ස්පන්දනයක් නැතුව පණ තියෙන්නෙ කොහොමද අනේ" නිල්පාට මුකවාඩම් මූණක් උඩින් ලස්සනට කාජල් තවරපු ඇස් දෙකක් විමසිල්ලෙන්ද බයෙන්ද කියලා හිතාගන්න බැරි බැල්මක් එක්ක මූණට එබුණා. 
'පුළුවන් ඇති. මේ ඉන්නෙ ඉතින්' මං කිව්වා. එයා ඇහුණේ නෑ වගේ යන්න ගියා.
~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Thursday, March 9, 2023

පෞද්ගලිකත්වයේ මරණය

කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.

එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ එහෙම වෙන එක (වේවා!) වෙස්වලාගත් ආශිර්වාදයක් වේවිද?

භෞතික ලෝකෙට අඬබෙර නොගහා එකසැරේ වාෂ්ප වෙලා වගේ චුතවෙන්න පුළුවන් බලයක් මිනිස්සුන්ට තිබ්බා නම්...

නිකමට හිතුවොත් කෙනෙක් එහෙම චුත වෙද්දී එයාට සම්බන්ධ හැම සලකුණක්ම සටහනක්ම ඒ එක්කම මැකිලා අතුරුදහන්වෙලා යනවා නම් ලෝකේ කොච්චර සැහැල්ලු වෙයිද. මිනිස්සු මතකවලට වැඩි වටිනාකමක් සහ ගෞරවයක් දෙන්න ගනීවී, සමහරවිට.

පහුගිය කාලේ පුරාම දිවිනසාගත්ත විතරක් නෙවෙයි වෙන වෙන හේතුවලින් මැරුණු මිනිස්සුන්ව පවා මාධ්‍ය ප්‍රධානව හැමෝම ආයෙ ආයෙ මරමරා දානකොට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අමුඅමුවේ කෙළෙසෙනකොට අපි හරි ඉහළින් කතාකරන සදාචාරේ කොහෙට චුතවෙලා ඉන්න ඇද්ද?

කව්ද අපේ චුත වීමේ අයිතිය අහුරගෙන ඉන්නේ? චුතවෙච්ච හැටියේ ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුස්සන්න අයිතියක් ලෝකයාට දෙන්නේ ඒ අහුරගෙන ඉන්න අයමද?

දවසක මේ ප්‍රොෆයිල් සේරම එක්ක චුතවෙන්න මට බැරිවුණොත් එහෙම කුණු හොයන්න ලෑස්ති නැති මිනිස්සු ඉඳීද?
පරණ ලිවිලිවලට මරණ පරීක්ෂකවරු කීදාහක් ඉදිරිපත් වෙයිද?
පරණ පිංතූර කිසිම අවසරයක් නැතුවම කීතැනක සංසරණය වෙන්න ගනීද?
මාත් නොදන්නා කතා කීදාහක් අලුතින් උපදීවිද?
අලු පාට මාව ඊටපස්සේ ඇස් නිලංකාර වෙන තරම් සුදු චරිතයක් කෙරෙයිද? නැත්නම් ජීවිතේට නොහිතන තරම් කට්ට-කලු චරිතයක් කෙරෙයිද?
ජීවත්වෙද්දි වෛර කරපු, වල කපපු, අංචි ඇදපු මිනිස්සු පවා කොහෙදෝ මන්දා හංගන් හිටි ආදර කරුණාවල් එළියට ඇදගෙන වැලපෙයිද?
කොටින්ම චුතවුණේ මංමද කියලා ඒ නාටක බලාගෙන හිටියොත් මටම හිතෙන තරමට අධිනාටක තත්ත්වයක් ඇතිවේවිද?

ජීවත් වෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි පෞද්ගලිකත්වයක් තියෙන්නේ. ඒ අයිතිය මැරෙන/මැරිච්ච මිනිසුන්ටත් තියෙනවා කියලා අමතක කරන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අසාධාරණ විදිහට විනිශ්චය වෙන්නේ ජීවත්වෙන මිනිස්සුන්වයි කියලා අපි හැමදාම තර්ක විතර්ක කළාට ඇත්තටම ඊට වඩා දහස්ගුණයක අමානුෂික, අසාධාරණ විනිශ්චයකට ලක්වෙන්නේ මියගිය මිනිස්සු. 'ඇත්ත ඕක නෙවෙයි යකුනේ' කියලවත් 'මට මැරිලවත් මගෙ පාඩුවෙ ඉන්න දීපල්ලා' කියලවත් 'උඹලට වෙන වැඩ නැද්ද යකුනේ' කියලවත් කියාගන්න බැරිතරම් ඈතකට ගිය මිනිස්සු. ආයෙ පණ ආවොත් දහස්වතාවක් පණ අතාරින්න හිතෙනවා ඇති මේ විකාර දැක්කොත් මැරිච්ච මිනිස්සුන්ට!

ජීවත් වෙන උන්ව මැනලා විනිශ්චය කරලම මහන්සි නැද්ද අප්පා උඹලට,
මැරිච්ච මිනිසුන්ටවත් සැනසීමේ ඉන්න නොදෙන්නේ?

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #PrivacyMatters #PrivacyProtection #HumanRightsViolations #humanrights #humanity

Wednesday, March 8, 2023

කාන්තා දින

කාන්තා දිනය බාගයක් ගෙවිලා යනකල් හිතමින් ඉඳලා ලියන කතා..!

සයිබර් අවකාශයේ නානාප්‍රකාර කාන්තා සැමරුම්, සුභාශිංසන, පින්තූර, උත්සව මහ ගොඩක් පහුකරගෙන යන අතර එක්තරා නිළියක්ව දැඩි අපහාසයට උපහාසයට ලක්වෙනවා යම් සමූහයක. කාන්තාව කියන රාමුවෙන් ගලවලා බැලුවොත් මගේ පෞද්ගලික කියවීම ඈ විශාදයෙන් පෙළෙනවාදෝ කියන එක. අවාසනාවකට සමහර අදහස් පළකිරීම් සාමාන්‍ය මිනිස් සංවේදීතා අබිබවා ගිහින්.

කාන්තා දිනයට සෑහෙන්න කතන්දර ලියවෙද්දි අමතක කරන්න එපා ඉතිරි දවස් 364දිම එක කාන්තාවකට වල කපන්නෙත් ගහන්න පළවෙනි ගල අතට ගන්නෙත් තවත් කාන්තාවක්ම බව. සමාජයේ කුඩාම ඒකකයෙන් පටන් ගත්තත් නැන්දම්මලා, ලේලිලා, නෑනලාගේ ඉඳන්ම මිතුරියන්ගේ ඉඳන්ම අනිකා කාන්තාවක් වීම කියන සහකම්පනය සහ අන්‍යෝන්‍ය ගෞරවය තියෙනවා ද කියන එකයි අපි කල්පනා කරන්න ඕන කාරණය. අසම්මත සම්බන්ධතාවක වින්දිතයත් කාන්තාවක්, චූදිතයත් කාන්තාවක්. කාන්තාවක් අපහසුතාවයට ලක්වන සිදුවීමක මුල ඉන්නෙත් බොහෝ විට තවත් කාන්තාවක්. කේලමක, චරිත ඝාතනයක, පවුල් විනාශයක මුල ඉන්නෙත් තවත් කාන්තාවක්. පිරිමියෙක්ට කාන්තාවක් ගැන ගතු කියන්නෙත් තවත් කාන්තාවක්මයි. 

කාන්තාවක් අවංකවම තවත් කාන්තාවකට හිතවත් නොවන තාක්, ශක්තියක් නොවන තාක්, ගෞරව නොකරන තාක් කාන්තා දින කාන්තා මාස, කාන්තා වර්ෂ බවට පත් කරලවත් ඒ අරමුණට යන්න අපහසුවෙයි. 

#womensday2021

අවුරුදු දෙකකට කලින් ලිව්වට තවම වලංගු කතන්දර!

~Aash Weerasinghe 

Monday, March 6, 2023

නන්නත්තාර නන්නත්තාරේද?

(2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) 

අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.

ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.

නන්නත්තාරේ එක දිගට දුවන දේශපාලනමය යටි අරුතට මම කැමතියි. Drug cartle එකකයි දේශපාලනයෙයි සාම්ප්‍රදායික පදනමෙන් ගත්තොත් අහසට පොළව වගේ වෙනසක් තියෙන්න ඕන. නමුත් ප්‍රායෝගිකව ඒ සමූහ දෙකේ ව්‍යුහය සහ ක්‍රියාත්මක වීම සමානයි.

මිනිස්සු බලය ගන්න ගොඩක් දේවල් කරනවා. බලය රඳවාගෙන තියාගන්නත් ගොඩක් දේවල් කරනවා. (පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා✋) බලය තියෙන හැම මිනිහෙක්ම/ගෑණියෙක්ම වටා ප්‍රශස්ති ගයන පිරිසක් ඉන්නවා. මතකද ඕකේ ඩැඩී ඩේවිඩ්ගේ අගසව් ඩොක්ටර් ගලප්පත්ති, පළවෙනි කොටසෙදි කියනවා 'අපි හුස්ම ගන්නෙ අපේ පෙණහැල්ලෙන් නෙවෙයි, ඩැඩී බොස්ගේ පෙණහැල්ලෙන්'
ඊටපස්සේ මිනිහා අපභ්‍රංශ කවියක් කියනවා මතකද?
ඒක තමයි බලපුලුවන්කාරයෙක් වටේ එක්කහුවෙන වැඩිමනක් මිනිසුන්ගේ විදිය.

නන්නත්තාරේ ඇතුලේ තියෙන ව්‍යාංගාර්ථවලට මං කැමතියි.
බිරිඳ, දරුවො කියලා 'තනතුරු' දීලා පවුලක් හදාගෙන ඉන්න එකම අද කාලේට දුන්න කණේපාරක් වගේ දැනෙන්නේ නැද්ද? පවුලක තියෙන බැඳීම තනතුරුවලට දුන්න JD (job description) එකක් කළාම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක කරන්න වෙනවා, ඒ ව්‍යුහය තුළ රැඳෙන්න නං! (මෙතන ඒ ව්‍යුහයේ රැඳෙනවා මිසක් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ, ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් මරණයෙන් විතරයි. පොඩ්ඩක් සංසාර චක්‍ර සංකල්පයත් වගේ.)

අනෙක් අතට ඇයි ඩැඩී ඩේවිඩ් වගේ මිනිහෙකුට පවුලක් අවශ්‍ය වෙන්නේ? ශ්‍රී ලංකාව විතරක් ගත්තොත් හැබෑව මොකක්වුණත් පවුල කියන සම්ප්‍රදාය ඕනෑම කෙනෙකුට ශක්තිමත් පදනමක් පෙන්නනවා. පිතෘත්වය සහ මාතෘත්වය ඔය කොයි රැඩිකල් රැල්ලකටවත් ගහගෙන නොගිහින් තාම යම්තාක් දුරකට අඩුවැඩි වශයෙන් හැම සමාජ ස්ථරයකම රැකිලා තියෙනවා. හැම බලපුලුවන්කාරයෙක්ටම පවුල වැදගත්. එහෙම නොවුණු තැනක බලය රැඳුණත් පියවිය නොහැකි අඩුපාඩුවලට නිරන්තරයෙන් සමාජය ඇඟිලි දික්කරනවා.

අනිත් එක ඒ යටත් පිරිස ඇතුලේ තියෙන නොනවතින බල අරගලය. හැමෝටම ඕන cartle එකේ බොස්ගේ ඇස්වලයි හිතෙයි හොඳම එකා වෙන්න, පක්ෂපාතීම, කීකරුම එකා වෙන්න. හොඳම ගොට්ට වෙන්න!
මේක වෙනම කල්ට් එකක්. ඒ කල්ට් එක 'අදහන්නේ' බොස්ව. ඒ බොස් පිස්සෙක් වුණත්, උමතු ප්‍රේමවන්තයෙක් වුණත්, ඉක්මණ් කොටෙක් වුණත් යටත් පිරිස ඔහුට කීකරුවෙන්න ඕන.

අර වැරදි වැරදි සංගීතය සපයපු ටෙස්ට් මීයෝ ටික මතකද. ඇයි සංගීතය බෑ කියලා දැනදැනත් සංගීතය වාදනය කරන්න දෙන්නේ? තමන්ගේ යටත්වැසියාගෙන් පක්ෂපාතීත්වය ගන්න ගමන් උන්ටත් පොඩි එන්ටටේන්මන්ට් එකක්, හැකියාව පෙන්නන්න ඉඩක්, තව පොඩි දෙයක් ආපස්සට දෙනවා. හැබැයි විශේෂණ පද වෙනස්වුණාට උන්ගේ භූමිකාව වෙනස්වෙන්නේ නෑ (lab rats, musical rats)

කතා කරන්න ඕන අනෙක් කාරණේ දෙබස්!  අසාර්ථක වෙච්ච තැන් තිබ්බත් සමස්තයක් විදියට සාර්ථකයි කියලා මට හිතෙනවා. මේක බලන්න ඕන කියලා හිතුණේ ITN youtube channel එකේ දාන short එකක් හින්දා. කෑමට එන්න කියලා රම්බා එක්ක මාග්‍රට්ගෙ වෙන සංවාදය! 😂
සමහ වචන සංස්කරණය වුණාට නොකර තිබ්බා නං තමයි නියම නාට්‍යානුසාරය එන්නේ ඒකේ😂

අනිත් හොඳම දෙබස තමයි cartle එක වැටලුව වෙලාවේ ඩොක්ට ගලප්පත්ති කියන ටික "මොකද්ද මේ අසාධාරණේ? This is very inhumane. You all violate human rights. you gatecrashed our peaceful house." ඔක්කොම ජල්තරකාරයෝ, අපරාධකාරයෝ අන්තිමට එල්ලෙන පිදුරුගස් අවස්ථාවාදී ප්‍රකාශයක්නෙ ඔය!

දේශපාලන යටිඅරුත ගැන කිව්ව නිසා මේකත් ලස්සනට කියැවෙන බව නොකියම බෑ. හැමෝටම නායකයො වෙන්න බෑ. ඩොන්ලා හදන්නේ වෙන අය වුණාට, ඩොන්ලා 'වෙන්න' හැමෝටම බෑ. ඒක නායකත්ව විකසනය දිහා බලන ප්‍රේක්ෂකයාට දනවලා තියෙන්නේ ලාවට. ඩැඩී ඩේවිඩ් දිහා බලලා අන්තිම ඉක්මණ් කොටා දිහා බැලුවම අරම තිබ්බ කාට්ල් එක කොච්චර දියාරු වෙලාද කියලා පේනවා. ගමනක් යන්න තිබ්බ මනනන්ද හදවතට වහල්වෙච්ච නිසා මැරිලා යනවා. මානසික රෝගියෙක් වුණත් ඩැඩී ඩේවිඩ් අන්තිම වෙනකල් ගැලවිලා ඉන්නවා. නායකත්වය කියන එකට අර්ථ දෙන්නේ එන මිනිස්සු. සමහරුන්ට ඒක නිකන් තනතුරක්, සමහරු ඒ තනතුරු නැතිවුණත් 'චරිත' වෙනවා.
ඒ වගේම ඕනෑවට වඩා පක්ෂපාතීයි වගේ පෙන්නන සමහර අගසව්වන්ට පුළුවන් ලොකු ගේම් දෙන්න.

කතා සංකල්පය ගත්තම දියාරු වෙච්ච තැන් ඕනෑතරම් තියෙනවා. හැබැයි කතාව දුවන්න ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපෑමෙන් ලැබෙන ශක්තිය ගැන නොකියම බෑ. මෙල්වින් කියන්නෙත් ඩේවිඩ් කියන්නෙත් ශ්‍රියන්තම මිසක් වෙන කවුරුවත් නෙවෙයි කියලා හිතෙන තරමට සාධාරණයක් කරලා තියෙනවා.
ඒ වගේම මේඝ සහ වින්ද්‍යා හොඳ තේරීම් දෙකක්.කතාව සංස්කරණයෙනුත් මේඝ දායක වෙලා තියෙනවා.

කොයිතරම් අඩුපාඩු තිබ්බත් නිර්මාණකරුවෙක් හැටියට යාවත්කාලීන වීම ගැන ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රශංසාවක් ලැබෙන්න ඕන. ට්‍රෙන්ඩ් එක අඳුනගන්න එකත් හැකියාවක්. දිනන්න හරි පරදින්න හරි බලාගෙන ඒකට මූණ දෙන්නත් කෙනෙකුට ශක්තියක් තියෙන්න ඕන.

නමුත් මම විවේචන එක්ක එකඟයි. විශේෂයෙන්ම කතාව දියාරුවීම ගැන. එක අතකට අපි බලාපොරොත්තුවෙන්නේ දඬුබස්නාමානේ ජයන්ත.ඒත් ජයන්තට දැන් ඉන්න වෙලා තියෙන්නේ ඉරටුබස්නාමානේ වෙන්නත් පුළුවන්. ලෝකේ වෙනස්, ප්‍රේක්ෂකයා වෙනස්, තරඟකාරීත්වය වෙනස්, මිනිස්සුන්ගේ ජීවන රටාව හැඟීම් ප්‍රකාශන ආකල්ප වෙනස්.

අන්තිමට කිව්වත් මේකේ තේමා ගීතය ගැන නොකියා ඉවර කළොත් මගේ ලිවිල්ල අසම්පූර්ණයි. ජයන්තගේ පදවලට සංගීතයෙන් නවරත්න ගමගේ වගේම ගායනයෙන් රවී රොයිස්ටර්, කෙනන් ඩී සිල්වා, ට්‍රෙවින් ජෝශප්, රුවිනි අබේසේකර, නිපුනි සිරිවර්ධන සහ සචිනි පෙරේරා දුන්න හඬ දායකත්වය නියමයි.

උපන්නාට ඔහු වැනෙයි
උපන් නිසා ඔහු මැනෙයි
හපන්කමක්යැයි සිතා
වයසින් මෝරා වැඩෙයි
උගෙ හෙවණැල්ලෙම උඩ ඌ හිටගෙන
කළු කලෙ කවුදැයි අසයි...

ඉතින්, අපි ඔක්කොම ඇත්තටම නන්නත්තාරයි තමයි!

~✍️ Aash Weerasinghe

Saturday, March 4, 2023

නොස්ටැල්ජික් ඉත්තෑකූරූ

ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.

එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ! 
එකක් දෙකක් නෙවෙයි, තොගයක්! 
එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර කතන්දරේ එවෙලේ අහන්න ලැබුණේ නෑ.

ඉත්තෑකූරක් හරි නිකං තියෙනවා බලන්න බැරි ඉත්තෑවෙක් හිටියා ඒ දවස්වල මට😂
ඉතින් මං මේ ඉත්තෑකූරූවලින් කරන්න ව්‍යාපෘතියක් ගැන හිතමින් චොක්ලට් එකකටමත් වග කිව්වා. ආයෙත් වටයක් ගහලා බලනකොට මෙන්න ඊට එහා ලාච්චුවක තියෙනවා ලස්සන පාට ලොකු ඉටිපන්දම් වගයක්. හරි, ඒ මහ දවාලේ කැටයම් ශිල්පයේ කෙල පැමිණි අපේ මුතුන් මිත්තන් ආවේශවීම නිසා මම තීරණය කළා ඊළග ව්‍යාපෘතිය ඉත්තෑ කූරුවලින් ඉටිපන්දම් කැටයම් කිරීම කියලා. 

දැන් හොඳට බරසාර මූණකින් සාලේ මැද්දේ වාඩිවෙලා මම කැටයම් වැඩේ පටන් ගත්තා. ඒත් වැඩිවෙලාවක් යන්න කලින් එදා ටොරින්ටන් චතුරස්‍රයේ තැඹිලි කරත්තකාරයෙක් විදිහට ආපු මරාගෙන මැරෙන කොටියෙක් බෝම්බයක් පුපුරුවගෙන කියලා ඔන්න ටීවි එකේ ඒ මගුල පෙන්නන්න ගත්තා කියන්නකො. ලංකාදීපේ මුල්පිටුවේ බාබුගේ ඔලු කෑල්ල දැක්ක දවසේ ඉඳන් මගෙ මිනී ඔලු භීතිකාව වැඩිවෙලා තිබ්බේ. භීතිකාව පටන් ගත්තේ නං භීෂණ කාලේ. ඉතින් අච්චර වැදගත් ව්‍යාපෘතියක හිටිය මං දඩස් ගාලා ඇස් වහගත්තත් ඒ වෙද්දීත් තැඹිලි කරත්ත කාරයාගේ කකුල් කෑල්ලක් දැකලා ඉවරයි! අතේ තිබ්බ ඉත්තෑකූර ඉටිපන්දම අස්සෙන් ලිස්සලා ගියා, ඇඟිල්ලක ඇනුණා, ලේ පැන්නා..
නෑ නෑ.. නින්දට වැටුණේ නෑ..
ඒ සැණින් චොක්ලට් පාටට වමනෙ ගියා.!
මං දන්නෑ ඒක ඉත්තෑකූරුවල විසක්ද නැත්නම් කොටියගෙ මස්කෑලි දැක්ක අපුලද කියලා.. ඉතින් එතැනින් ව්‍යාපෘතිය ඉවර වුණා..

ඉත්තෑවා කියන්නෙ අහිංසක සතෙක් වෙන්නැති. හැබැයි උන් කොළඹත් ඉන්නවා! කටු ගොඩ විහිදං  මහ පාන්දරවල අවතාර වගේ ඇවිද ඇවිද වලවල් හාරනවා, පොල් තැඹිලි එහෙම බිමක තිබ්බොත් ඒවත් හිල් කරනවා.

ඉත්තෑ කතන්දරේ මතක් වුණේ මේ දවස්වල මාකයියට මොකෙද්දෝ ඉත්තෑවෙක් වැහිලා දිගට හරහට ඉත්තෑ වීඩියෝ, පොස්ට් ෆේස්බුක් ෆීඩ් එකට එන නිසා.
කාටහරි පුළුවන් නං එයාව ඒ ඉත්තෑවගෙන් ගලවගන්න, ප්ලීස්🙏🤪

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Monday, February 27, 2023

සයිබර් ආරක්ෂණය දේශපාලනීය ද?

 සයිබර් ආරක්ෂණය නැත්නම් cyber security වලදි ශ්‍රී ලංකාව ඉන්නේ අවබෝධය සහ භාවිතාව අතින් පහළ තැනක. Global Cyber Security index එක ගත්තම 2020 අපි ඉඳලා තියෙන්නේ  58.65ක සාමාන්‍යයක් එක්ක 83වෙනි ස්ථානයේ. මේ index එක මැනෙන්නේ රටක සයිබර් ආරක්ෂණය වෙනුවෙන් කරන වැඩ කොටස, ඒ ගැන අවබෝධය, නීති සම්පාදනය, තාක්ෂණික භාවිතාව, ධාරිතාවය, දැක්ම වගේ කාරණා කීපයක එකතුවකින්.

        අවධානමේ බරපතලකම සරලව මෙහෙම කිව්වොත් 2023 අවුරුද්ද වෙද්දී ගෝලීය සයිබර් අපරාධකරුවන් විසින් දත්ත වාර්තා බිලියන 33ක් සොරාගෙන තියෙනවා. ඒක 2018 වසරට සාපේක්ෂව 175%ක වර්ධනයක්. දත්ත සොරකමේ(data breach) වාර්ෂික හානිය 2024 අවුරුද්ද වෙද්දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5කට වඩා වැඩිවිය හැකිබවට ඇස්තමේන්තු කෙරෙනවා, දැනට පවතින්නේ වාර්ෂිකව ඇ. ඩොලර් ට්‍රිලියන 3ක හානියක්.

        ලංකාවේ තවම සයිබර් ආරක්ෂණ පනත නිල වශයෙන් සම්මත වෙලා නැහැ. නමුත් සෑම රටකටම සයිබර් ආරක්ෂණ පනත් සහ කෙටුම්පත් කළ ක්‍රියාමාර්ග තිබීම ජාතික, ආර්ථික, සමාජීය සෑම අංශයකම ආරක්ෂාවේ අනිවාර්ය කොටසක්.

        යුධ කාල සීමාවේ ආරක්ෂක අංශ සයිබර් ආරක්ෂණය පිළිබඳ යම් වැඩ කොටසක් කරලා තියෙනවා. නමුත් සයිබර් ආරක්ෂණය එතනින් එළියට ඇවිත් තාම ලංකාවේ සිස්ටම් එකට කාවැදිලා නැත්නම් පත්තියං වෙලා නෑ.

        මේ කතාව ලියන්න හේතුව වුණේ අද ඩේලිමිරර් පළ කළ අවන්ත ආටිගලගෙ කාටූනයක්. කණගාටුදායක විදිහට අවන්ත සයිබර් ආරක්ෂණ පනත සමාජ මාධ්‍ය වාරණ උත්සහයක් හැටියට ලඝුකරලා දක්වලා තියෙනවා. ඒකේ සංවාදය දිහා බැලුවම සුපුරුදු පරිදි ලාංකිකයා ජනප්‍රිය මතයේ එල්ලීම නිසා දේශපාලනීකරණය කරන ලද අදහසකම එල්ලී ඉන්න බව පේනවා. කණගාටුව මේ බහුතරය පනත කියවා නැහැ!

        සයිබර් ආරක්ෂණ පනතක වැදගත්කම ශ්‍රී ලංකා සිවිල් සමාජයට නොතේරීමට එක හේතුවක් සමාජ සහ අනෙකුත් මාධ්‍ය මගින් සෑම සියලු දෙයම දේශපාලනීකරණය කරන්නට දරන උත්සහය. අනෙක කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි යන්න අමතක කරන මහජනතාව. සාමාන්‍ය සමාජය වගේම ව්‍යාපාරික, වෘත්තීයවේදී සමාජයන්ටත් මේ කාලීන අවශ්‍යතාවය සහ වැදගත්කම තවම හරියටම අවබෝධ වෙලා නැහැ කියන එක කියන්නේ අත්දැකීමෙන්. ඒ වගේම මොකද්දෝ හේතුවකට සයිබර් ආරක්ෂණයට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ තියෙන නිශ්ශබ්දතාවය. නිසි අවබෝධයක් සහිත කොටස නිහඬ නම්, දැනුවත් කිරීමක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, නොදැනුවත් කොටසට වැරදි තොරතුරු පතුරවන්න පහසුයි!

        සයිබර් ආරක්ෂණය එක්ක එහි දිගුවන් ලෙස සයිබර් ත්‍රස්තවාදය වැළැක්වීම (cyber terrorism prevention) සහ සයිබර් අපරාධ වැළැක්වීම (cyber crime prevention) ක්‍රියාත්මක විය යුතුයි. නමුත්, ඒවා අනු අංශ. ලංකාවේ පදනමවත් හරිහැටි ක්‍රියාත්මක නොවී අනුඅංශ ගැන කතා කරන්න තවම වේලාසන වැඩියි.

        සුපුරුදු ලෙස බහුතර ලාංකිකයා පරිභ්‍රමණය වන්නේ සමාජ මාධ්‍ය වටා නිසා, සයිබර් ආරක්ෂණයට පියවර කියූ සැණින් ඔවුන් එය ආදේශ කරගන්නේ තමන්ගේ කේන්ද්‍රීය ස්ථානයට. සමාජ මාධ්‍ය අවධානමට වඩා තමන්ගේ බැංකු ගිණුම්, වෛද්‍ය තොරතුරු, පෞද්ගලික තොරතුරුවලට තියෙන අවධානම ගැන ඔවුන්ට අවබෝධය අඩුයි. ඒවායෙන් විය හැකි හානිය සමාජ මාධ්‍ය ඇහිරීමකට, hack වීමකට වඩා දරුණුයි. "මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන් දියුණු රටවලට, ලංකාව නොදියුණු රටක්" වගේ තර්ක සයිබර් අවකාශයට අදාළ නෑ. අනෙක සමාජ මාධ්‍යවල පවා පෞද්ගලිකත්වය තර්ජනයකට ලක්වීම ලඝුකරලා සැලකිය හැකි කාරණාවක් නෙවෙයි. කොයිතරම් සයිබර් අපරාධ ප්‍රමාණයක් සමාජයේ අවධානමට ලක්නොවී සිද්ධවෙනවාද කියන එක සංවාද කළයුතුම මාතෘකාවක්.

        කෙටියෙන් කියනවා නම් සයිබර් ආරක්ෂණය කියන්නේ සමාජ මාධ්‍ය වාරණයක් නෙවෙයි! සමාජ මාධ්‍යවල ප්‍රධාන අරමුණ ඉෂ්ඨ වෙන්නත් සයිබර් ආරක්ෂණය පදනමක් හැටියට අත්‍යාවශ්‍යයි.

        කරුණු හරිහැටි හොයා නොබලා, නොදැනුවත්ව හරි සිතාමතාම හරි වැරදි තොරතුරු සමාජ ගතකිරීම රටටම, අපටම කරන හානියක්.

        විශේෂයෙන්ම, උගත් බුද්ධිමත් ජනතාවක් හැටියට අවම වශයෙන් නීති සම්පාදනයකට විරුද්ධ වෙන්න කලින් ඊට අදාළ තොරතුරු කියවා බලන්න.

  කොරහෙ කිඹුල්ලු ඉන්න පුළුවන්, හැබැයි හැම කොරහෙම නෙවෙයි!

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #cybersecurity #cybersecurityawareness