Monday, February 27, 2023

සයිබර් ආරක්ෂණය දේශපාලනීය ද?

 සයිබර් ආරක්ෂණය නැත්නම් cyber security වලදි ශ්‍රී ලංකාව ඉන්නේ අවබෝධය සහ භාවිතාව අතින් පහළ තැනක. Global Cyber Security index එක ගත්තම 2020 අපි ඉඳලා තියෙන්නේ  58.65ක සාමාන්‍යයක් එක්ක 83වෙනි ස්ථානයේ. මේ index එක මැනෙන්නේ රටක සයිබර් ආරක්ෂණය වෙනුවෙන් කරන වැඩ කොටස, ඒ ගැන අවබෝධය, නීති සම්පාදනය, තාක්ෂණික භාවිතාව, ධාරිතාවය, දැක්ම වගේ කාරණා කීපයක එකතුවකින්.

        අවධානමේ බරපතලකම සරලව මෙහෙම කිව්වොත් 2023 අවුරුද්ද වෙද්දී ගෝලීය සයිබර් අපරාධකරුවන් විසින් දත්ත වාර්තා බිලියන 33ක් සොරාගෙන තියෙනවා. ඒක 2018 වසරට සාපේක්ෂව 175%ක වර්ධනයක්. දත්ත සොරකමේ(data breach) වාර්ෂික හානිය 2024 අවුරුද්ද වෙද්දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5කට වඩා වැඩිවිය හැකිබවට ඇස්තමේන්තු කෙරෙනවා, දැනට පවතින්නේ වාර්ෂිකව ඇ. ඩොලර් ට්‍රිලියන 3ක හානියක්.

        ලංකාවේ තවම සයිබර් ආරක්ෂණ පනත නිල වශයෙන් සම්මත වෙලා නැහැ. නමුත් සෑම රටකටම සයිබර් ආරක්ෂණ පනත් සහ කෙටුම්පත් කළ ක්‍රියාමාර්ග තිබීම ජාතික, ආර්ථික, සමාජීය සෑම අංශයකම ආරක්ෂාවේ අනිවාර්ය කොටසක්.

        යුධ කාල සීමාවේ ආරක්ෂක අංශ සයිබර් ආරක්ෂණය පිළිබඳ යම් වැඩ කොටසක් කරලා තියෙනවා. නමුත් සයිබර් ආරක්ෂණය එතනින් එළියට ඇවිත් තාම ලංකාවේ සිස්ටම් එකට කාවැදිලා නැත්නම් පත්තියං වෙලා නෑ.

        මේ කතාව ලියන්න හේතුව වුණේ අද ඩේලිමිරර් පළ කළ අවන්ත ආටිගලගෙ කාටූනයක්. කණගාටුදායක විදිහට අවන්ත සයිබර් ආරක්ෂණ පනත සමාජ මාධ්‍ය වාරණ උත්සහයක් හැටියට ලඝුකරලා දක්වලා තියෙනවා. ඒකේ සංවාදය දිහා බැලුවම සුපුරුදු පරිදි ලාංකිකයා ජනප්‍රිය මතයේ එල්ලීම නිසා දේශපාලනීකරණය කරන ලද අදහසකම එල්ලී ඉන්න බව පේනවා. කණගාටුව මේ බහුතරය පනත කියවා නැහැ!

        සයිබර් ආරක්ෂණ පනතක වැදගත්කම ශ්‍රී ලංකා සිවිල් සමාජයට නොතේරීමට එක හේතුවක් සමාජ සහ අනෙකුත් මාධ්‍ය මගින් සෑම සියලු දෙයම දේශපාලනීකරණය කරන්නට දරන උත්සහය. අනෙක කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි යන්න අමතක කරන මහජනතාව. සාමාන්‍ය සමාජය වගේම ව්‍යාපාරික, වෘත්තීයවේදී සමාජයන්ටත් මේ කාලීන අවශ්‍යතාවය සහ වැදගත්කම තවම හරියටම අවබෝධ වෙලා නැහැ කියන එක කියන්නේ අත්දැකීමෙන්. ඒ වගේම මොකද්දෝ හේතුවකට සයිබර් ආරක්ෂණයට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ තියෙන නිශ්ශබ්දතාවය. නිසි අවබෝධයක් සහිත කොටස නිහඬ නම්, දැනුවත් කිරීමක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, නොදැනුවත් කොටසට වැරදි තොරතුරු පතුරවන්න පහසුයි!

        සයිබර් ආරක්ෂණය එක්ක එහි දිගුවන් ලෙස සයිබර් ත්‍රස්තවාදය වැළැක්වීම (cyber terrorism prevention) සහ සයිබර් අපරාධ වැළැක්වීම (cyber crime prevention) ක්‍රියාත්මක විය යුතුයි. නමුත්, ඒවා අනු අංශ. ලංකාවේ පදනමවත් හරිහැටි ක්‍රියාත්මක නොවී අනුඅංශ ගැන කතා කරන්න තවම වේලාසන වැඩියි.

        සුපුරුදු ලෙස බහුතර ලාංකිකයා පරිභ්‍රමණය වන්නේ සමාජ මාධ්‍ය වටා නිසා, සයිබර් ආරක්ෂණයට පියවර කියූ සැණින් ඔවුන් එය ආදේශ කරගන්නේ තමන්ගේ කේන්ද්‍රීය ස්ථානයට. සමාජ මාධ්‍ය අවධානමට වඩා තමන්ගේ බැංකු ගිණුම්, වෛද්‍ය තොරතුරු, පෞද්ගලික තොරතුරුවලට තියෙන අවධානම ගැන ඔවුන්ට අවබෝධය අඩුයි. ඒවායෙන් විය හැකි හානිය සමාජ මාධ්‍ය ඇහිරීමකට, hack වීමකට වඩා දරුණුයි. "මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන් දියුණු රටවලට, ලංකාව නොදියුණු රටක්" වගේ තර්ක සයිබර් අවකාශයට අදාළ නෑ. අනෙක සමාජ මාධ්‍යවල පවා පෞද්ගලිකත්වය තර්ජනයකට ලක්වීම ලඝුකරලා සැලකිය හැකි කාරණාවක් නෙවෙයි. කොයිතරම් සයිබර් අපරාධ ප්‍රමාණයක් සමාජයේ අවධානමට ලක්නොවී සිද්ධවෙනවාද කියන එක සංවාද කළයුතුම මාතෘකාවක්.

        කෙටියෙන් කියනවා නම් සයිබර් ආරක්ෂණය කියන්නේ සමාජ මාධ්‍ය වාරණයක් නෙවෙයි! සමාජ මාධ්‍යවල ප්‍රධාන අරමුණ ඉෂ්ඨ වෙන්නත් සයිබර් ආරක්ෂණය පදනමක් හැටියට අත්‍යාවශ්‍යයි.

        කරුණු හරිහැටි හොයා නොබලා, නොදැනුවත්ව හරි සිතාමතාම හරි වැරදි තොරතුරු සමාජ ගතකිරීම රටටම, අපටම කරන හානියක්.

        විශේෂයෙන්ම, උගත් බුද්ධිමත් ජනතාවක් හැටියට අවම වශයෙන් නීති සම්පාදනයකට විරුද්ධ වෙන්න කලින් ඊට අදාළ තොරතුරු කියවා බලන්න.

  කොරහෙ කිඹුල්ලු ඉන්න පුළුවන්, හැබැයි හැම කොරහෙම නෙවෙයි!

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #cybersecurity #cybersecurityawareness

Sunday, February 26, 2023

අක්ෂි

(2023 පෙබරවාරි 26 දින සිනමාවේදීන් සමූහයට) 

ස්වර්ණවාහිනියේ අලුත් නාට්‍යයක් යනවා. අමුතු චිත්‍රපට පාටක් තියෙන නිසා බලන්න ගත්තා. ඇත්තටම දෙමළ චිත්‍රපට රසිකයන්ගෙ කැමැත්ත දිනාගන්න පුළුවන් මට්ටමක වැඩක්. අඩුපාඩු නැත්තේ නෑ හැබැයි වෙනසක්.

මේකේ කැපී පෙනෙනම දේවල් ටික තමයි සංගීතය, කැමරාව සහ සංස්කරණය. 👌 සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන විහඟ මුතුතන්ත්‍රීගේ හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලායි මගේ අදහස. එක එක චරිතවල themes වගේම සිද්ධිවලට දෙන සංගීත කොටස්වලිනුත් හොඳ සහයක් කතාවට ලැබිලා තියෙනවා. උදාහරණයකට මාන්නප්පෙරුම වගේ චරිතයකට අදාළ jingle එක එහෙම චිත්‍රපටයකට ගැලපෙන මට්ටමට තියෙනවා.

චානක සංජීවගේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රශස්තයි. හොඳ angles ටිකක් වගේම නාට්‍යයක කලාතුරකින් දකින cinematic ගතියක් නිර්මාණය පුරාම පේනවා. වර්ණ සංයෝජනය කළ වජිර පෙරේරා සහ සංස්කරණය කළ ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන්ගේ මහන්සියත් අනිවාර්යයෙන්ම ඊට ඇතුළත්. 

කුලුඳුල් අධ්‍යක්ෂණයක් හැටියට  ශාන් ජයරත්න හොඳ මට්ටමක වැඩක් කරලා තියෙනවා. 

ඒ වගේම මේකේ තේමා ගීතය ලස්සනයි. ගිරිය යටින් කෑ නොගහා ලස්සනට කියලා ඉවර කරනවා.

මං කැමතියි මේ කතාවේ පළවෙනි කොටසේ චරිත හඳුන්වාදෙන විදිහට. නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටයක් කියලා තමා හිතෙන්නේ. 

අඩුපාඩුත් තියෙනවා. ඉන්දියානු ඌරුවකට තමා පිටපත, රඟපෑම, චරිත, අධ්‍යක්ෂණය ළග. විශේෂයෙන්ම ජනාගෙ චරිතය නම් තනිකරම ධනුෂ්ගේ කොපියක් වගේ. හැබැයි ඉතින් ඔහුව අනුකරණය කරන රසිකයො ලංකාවේ නැත්තේම නැති නිසා සාධාරණීකරණය කරන්න කොටසක් ඉඳීවි.

එක එක චරිතවල විශේෂ ලක්ෂණ ඉස්මතු කරලා තියෙන එකත් ඉන්දීය ආභාෂයක් හැටියට දැනෙනවා. සමහර ඒවා සරලයි, සමහර ඒවා ටිකක් මෝඩ පාටයි. ජනා බ්‍රේස්ලට් එක කරකවන එක, අයි පී කුෂාන් මහපටැඟිල්ලෙන් නළල පිහින එක එහෙම නම් දෙවැනි ගනයට වැටෙන්නේ. ඊට සාපේක්‍ෂව මාන්නප්පෙරුම තරහට ඇස් කණ්ණාඩිය ගලවලා නැවත දාගන්න එක subtle. ලොකු හානියක් කරලා නෑ ඒ චරිතෙට. හැබැයි අනෙක් අතට ජනාගෙ චරිතෙ ගොඩනගලා තියෙන්නෙම ධනුෂ්ට හඳුන්කූරු පත්තු කරන ඒ රටාව අනුකරණය කරන කෙනෙක් හැටියට නිසා අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වුණ බොළඳ ගතියක් ඒ චරිතෙට දෙන්න ඒ බ්‍රේස්ලට් කැරකැවීම යොදාගත්තා වෙන්නත් පුළුවන්. 

කතාව ගත්තොත් නම් සාම්ප්‍රදායිකයි. වත්තක මිනිස්සු, බලපුලුවන්කාරයෝ, ඒ අස්සෙ ගලන ආදර කතා, මවාපෑම් වගේ සුපුරුදු මසාලා වට්ටෝරුවම ලස්සනට ගලපනවා වගේ පේනවා. 
දැනට විකාශය වෙලා  තියෙන්නේ කොටස් පහළවයි. ඉස්සරහට බලං ඉමු මොකක් වේවිද කියලා. 

~✍️ Aash Weerasinghe

Tuesday, February 7, 2023

තර්කන වීල්

ලාංකිකයාගෙ තර්කන හැකියාවට වඩා තර්කනයට තියෙන ආසාව ඉහළයි. බහුතරයකට ඒක එන්නේ මහන්තත්ත හැඟීමකින් (egoistic) හින්දා වාද-විවාද, සංවාද-විසංවාදවලට පැහැදිලි මගක් නෑ. විවෘත මනසින් කිව්වට විවෘතමත්ම නෑ.
හදිසියේවත් තමන්ගෙ මහන්තත්වයට පහරක් වැදීගෙන එද්දී ටක්ගාලා ලේබල් ගියරෙට මාරුවෙනවා. 

ඉතින් මොකක් හරි මාතෘකාවක් දීලා කව්රුහරි මෙයාලව නැවතීමක් නැති hamster wheel එකක නැග්ගුවම, කට්ටියම "ආ... පාගලා යමුකෝ හැටේ.. 🎶" කියලා තාලෙට හැල්මේ දුවන්න ගන්නවා. හැම්ස්ටර් වීල් එකෙන් බැස්සට පස්සෙ ගිය ගමනාන්තයක් නෑ, ගිය වේගෙට අතුල්-පතුල් සීතලවෙන තරමට ආව ඇඩ්‍රිනලීන් ගැල්මක් විතරයි ඉතුරු!

ඔහොම "වීල්" පාක් පිටින් සමාජ මාධ්‍යවලත් තියෙන හින්දා ලාංකිකයා තාම මහන්තත්වයට සීතල හුළං වද්දාගනිමින් හැල්මේ දුවනවා. තාම විවෘත මනස හීනයක්, යන ගමනාන්ත හීනයක්, සර්ව සාධාරණ සමාජයක් හීනයක්, ඔක්කොටම වඩා අවම මානව ගරුත්වය අනෙකාට දීමට හුරුවීම හීනයක්. ධනාත්මක චින්තනය සහ ආකල්ප වෙනස හීනවලත් හීනයක්. 

ඒ වුණාට, කතා කරන්න හදන්නේ ලොකු බරසාර දේවල්. 😁

(පාගලා යමුකෝ හැටේ කියන්නේ 1960දි තිරගත වුණ 'සුන්ද බිරිඳ' චිත්‍රපටයේ ගීතයක්) 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #socialdiscussion

Saturday, February 4, 2023

කොඩි කතා 🇱🇰

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය නිදහස් දිනය සමරන එක ඇතැම් කොටසකට දරාගන්න බැරි අමාරුව තියෙන්නේ අදක ඊයෙක ඉඳන් නෙවෙයි.

අවුරුදු තිහක් ලංකාව විනාශ කරපු "ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක්" ඔතැනට ගාවගත්තු පිරිසක් ඉන්නවා. ඒක කොටි ඩයස්පෝරාව සහ ඔවුන් කෙරෙහි සානුකම්පිතව ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ගේ සංගමය හැටියට කෙටියෙන් හැඳින්වීම ලේසියි.

නමුත් නිදහසේ අපි සමරන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විතරක් නෙවෙයි. ඊට කලින් යටත්විජිතවාදයට එරෙහිව නැගී සිටි කැප්පෙටිපොළ, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, කඩහපොල හිමි,  මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, S. මහින්ද හිමි, වලිසිංහ හරිස්චන්ද්‍ර, හෙන්රි පේද්‍රිස්, අනගාරික ධර්මපාල, ජේම්ස් පීරිස්, E. W. පෙරේරා, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, C. W. W. කන්නන්ගර, D. R. විජේවර්ධන, විවියන් ගුණවර්ධන, D. S. සේනානායක, (තව සෑහෙන්න පිරිසක් ඉන්නවා) වගේ 'මහජාතියේ' නියෝජනයට අමතරව පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, M C සිද්දි ලෙබ්බේ, තුවාන් බුර්හානුදීන් ජයා (T B ජයා) යන සෙසු ශ්‍රී ලාංකීය ජාතීන්ගේ නියෝජනයටත් නිදහස් දවසේ ගෞරව බුහුමන් පිදෙනවා. ඒ හැම කෙනෙක්ම ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා කරගැනීමට හා නිදහස් කරගැනීමට කළ මෙහෙවර සැමරෙන එකට එක ලෙන්සයකින් විතරක් බලාගෙන ගරහන එක මේ කාගෙන යන ලණුවල තව එක විශාල ලණුවක්!

(ඔය තියරියෙ හැටියට මියපරලොව ගියාම දෙමාපිය, දරු,ඥාති, හිතමිත්‍රාදීන් ගැනත් දානමාන තියා කතා කරන්නවත් වටින්නෙ නෑ. එහෙමනෙ? 🤔) 

එතකොට දැන් කියයි එයාලට ගරු කළාට කමක් නෑ රනිල්ට සැලියුට් කරන එකනේ අවුල කියලා. මනුස්සයෝ, රනිල් නෙවෙයි ඔතන ට්‍රම්ප් හිටියත් ප්‍රබාකරන් හිටියත් ඒ වෙලාවේ ලංකාවේ වර්තමාන රාජ්‍ය නායකත්වයේ නියෝජනයක් තමයි පෙන්නන්නේ. නැතුව ඔය සැලියුට් එක පුද්ගලයානුබද්ධ නෑ! 
ඒකවත් තේරුම් ගන්න බැරි ඔස්තාද්ලා තමයි ක්‍රමය වෙනස් කරන්න පිටපොට ගහන්නේ. හැබැයි වැටත් ඇමිණිලා ඇවිල්ලා 😂

අනෙක කලු කොඩි උස්සන එකයි ජාතික කොඩි නොඋස්සන කතාවයි. බයිලාවල හොඳම ටික!
මේ ලියන මම පවා කොවිඩ් අවුරුද්දේ, ඒ කියන්නේ 2019 ඉඳන් පෙබරවාරි 4 ජාතික කොඩිය ඔසවලා නැහැ. ඒක මගේ කම්මැලිකම! ඒකෙන් කියන්නේ නෑ මම නිදහස් දිනය වර්ජනය කරන බවක්! මම නිදහස් දිනයට ගෞරව කරනවා, ඒක කළයුතු සැමරුමක් බව විශ්වාස කරනවා.

කට්ටියක් මේ සැරේ ජාතික කොඩි නොඋස්සපු එක ලොකුවට කතා කරනවා. ඒ හැම මිනිහෙක්ම එක කුලකයකට ලඝු කරගන්න උත්සාහ කරනවා! 😂
ගොබෙල්ස් න්‍යාය හොඳයි. ඒක ගොබිලාස් න්‍යායක් කරගත්තම විහිළු සහගතයි😂

අනෙක අර උඩ කිව්ව ජාතික වීරයොන්ට පින් දීලා සමරනවලා, කොඩියෙන් බැරිනම් හිතෙන් හරි. මොකද මේ ඔක්කොම කරණං ගහන්නේ ඒ මිනිස්සු කැපකිරීම් කළ නිසා. නැත්නම් කොරයි!😏

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #independenceday2023 #trendingnow

Friday, February 3, 2023

කැකුළාට මයිත්‍රීයෙන්

කැකුළා කියන හැටියට එයැයි දැන් විජය කුමාරතුංග, රෝහණ විජේවීර මට්ටමට නිතරඟයෙන්ම ඇවිත්. එතකොට කැකුළා හිරේ මංගජ්ජද්දි කිසි ගානක් නැතුව ෆන් එකේ එළියෙ හිටිය, අරගලයෙ සහෝදර සහෝදරියො නිකම්ම නිකම්මු.

දැන් කියාගෙන යන හැටියට කට්ටිය තමන් කරපුවා කැකුළට පාපොච්චාරණය කරලා මිසක් කැකුළා කිසිම පාපොච්චාරණයක් කරලා නෑ. ඉතින් එතකොට එතන මානව හිමිකම් කඩවීම්, එන්ජීඕකාරයන්ට කිරි එරවීම් වගේ එව්වට හේතු නෑ. මොකද එයැයි නීතියට නීතිය ක්‍රියාත්මක කරන්නයි හිරේ මංගජ්ජලා තියෙන්නේ.

දැන් ආයෙ කැකුළා කට්ටිය 'මන්ද' කොරාන්ට යන එකේ ඔහෙලා එයැයිට සහයෝගෙ දෙන්ට ඕනි. එව්ව යුතුකං!

මයිත්‍රී නං පව්. එයැයි දන්නව දෙයියන්වහන්සෙ කියන්නේ කතෝලික සභාව නොවන වග. ඒත් මිනිස්සු දන්නෙ නෑ. ඇත්ත ඉතින් එයැයි බෝම්බ ගැහුවෙ නෑනෙ. අසමත්භාවය කියලා හණ ගහන්න එපා ඒ අහිංසක මනුස්සයට. ඕවා හෙන පව් වැඩ.

එක දවසයි, ජෝකර්ලා දෙන්නයි! 🤡🤡
නිදහසට හැත්තෑ පහයි!

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #SLPolitics

Wednesday, February 1, 2023

ප්‍රාර්ථනා

 පහන් පත්තු කරන අතර සමහරු ප්‍රාර්ථනා මුමුණනවා, සමහරු හිතෙන් හිතනවා, සමහරු මහ හඬින් කියනවා. පෞද්ගලිකව මම කැමතියි කෙනෙක් තව කෙනෙකුට අවහිරයක්, බාධාවක් නොවෙන විදිහට ආගමික වතාවත් කරනවට. 

පහන්වැට එහා පැත්තෙ සුදුම ඇඳගත්ත, උස ගෑණු කෙනෙක් හයියෙන් හයියෙන් කතා කරනවා. මං මුලින්ම හිතුවේ ප්‍රාර්ථනාවක් කියලා. ඊටපස්සේ හිතුවේ handsfree එකක් ගහගෙන දුරකථන ඇමතුමක වෙන්නැති කියලා. අංකයක් කියනවා, වෙල්ලප්පුලි කියලා නමක් කියනවා. කාටද වැඩට කෙනෙක් හොයන විස්තරයක් කියනවා,ඒ කෙනාට යට ඇඳුම් හෝදන්න වෙන කතාවක් කියලා අසාමාන්‍ය විදිහට හිනාවෙනවා. හරිම කලබලෙන් පහන් වැටෙන් පහන් වැටට මාරුවෙනවා. මං හිටි පහන් වැට එහා පැත්තෙ හිටගෙන මට මුහුණ ලාගෙනත් අර ඒක පුද්ගල සංවාදය දිගටම කරන නිසා පහන්වැට අතරෙන් මාත් විමසුම් බැල්මක් පා කළා. දැඩි මූණක තියෙන ලාවට සුද මතුවේගෙන ආ ඇස්වලින් දැක්කත් නොදැක්කා සේ හිටගෙන හරිම වේගයෙන් පහන් පිළිවෙල වෙනස් කරනවා. එතකොට තමයි මං දැක්කේ ඈ පහන් දල්වලා නෑ, හැබැයි වේගයෙන් එහාමෙහා ඇවිදිමින් පහන් එහෙන් මෙහාට ගේනවා, මෙහෙන් එහාට ගෙනියනවා.

සමහරු ඈත ඉඳන් බලං ඉන්නවා. සමහරු නොදැක්කා සේ මග හරිනවා.
අත් කකුල් කපා දැම්මට මිනීනොමරා ඉඳීද කියලා ආයෙත් මගේ ඉස්සරහින් හිටගෙන ඈ හිනාවෙනවා. එහා පහන් වැටට දුවමින් ඇත්තටම ආදරේ කළේ කියලත් කියනවා. කාවද මරන්න ඕනේ කියලත් අහනවා.

ටික වෙලාවකට පස්සෙ අත් දෙකෙන් පැන් කළ දෙකක් එල්ලගෙන බෝධීන් වහන්සේ ඉදිරිපිට හිටගෙනත් ඒ සංවාදයම කරගෙන යනවා මං දැක්කා.

ජීවිත දිහා ඈත ඉඳන් බැලුවම හරි පුදුමයි නේද? නොමැරෙන මිනිස්සු හැටියට ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවද?

මිනිස්සු ඇත්තටම හරි දුර්වලයි. ඒත් ඒවා එක එක ජාතියේ යකඩ ආවරණ දාලා වහගන්න හදනවා. යකඩ හිල්වෙච්ච, දිරාගිය දවසක අන්ත අසරණ වෙනවා. 

වෙන මොනව කියන්නද තේරෙන්නේ නෑ. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #mentalhealthmatters