Wednesday, October 8, 2014

බන්දු අයියා

බෙලිඅත්ත ගැටමාන්නේ සිට කොළඹට පැමිණි බන්දු අයියාගේ ගරාජය තිබුණේ නුගේගොඩ හංදියට නුදුරිනි.හරියටම කිවහොත් නුගේගොඩ මැක් ඩොනල්ඩ් අවන්හල ඉදිරිපිටය.90 දශකයේ මුල ලංකාවේ මැක්ඩොනල්ඩ් හිටියේ නැත.උන්නේ කාටූන්වල ඩොනල්ඩ් ඩක් පමණය.මැක් ඩොනල්ඩ් හැදෙන්නට පෙර එතැන තිබුණේ වසරින් වැඩි කාලයක් වසා තැබුණු පත්තර කඩයකි.තනි තරුව බබා කාලයේ පුංචි, බිංදු, චූටි තරු ආදී අනේකවිධ නම්වලින් තිබූ සිඟිති පත්තර ගත්තේ එතැනින්ය.අවංකවම කිවහොත් ඒ කඩය ඇර තිබුණොත් ඔය තරු බබාට පත්තරයක් නිකංම ඕනෑ වෙනවාය.ඒවාට පොඩි එකාගේ තිබූ පෙරේතකම කෙතරම්ද යත් මේ ලඟකදී වේපස්වී යනතුරුමත් පුංචි කාලයේ ගත් පත්තර ඔක්කෝම ගෙදර තිබුණේය.විසි කරන්නට නොදී කුම්මැහිකමට බදාගන්නා නිසා ඒවා ආදාහනය කොට තිබුණේ මට හොරෙනි.:'(





තාත්තා අයියා කීවාට අපි කීවේ බන්දු අන්කල් කියාය.එකල බන්දු අන්කල්ගේ ගරාජය අපට නෑදෑ ගෙයක් වාගේය.මක්නිසාදයත් තාත්තා මරණාසන්න ගමනක් යතත් ඔතැන නැවතී කයියක් ගසා 'හක හක' ගගා හිනාවී ඉන්නා නිසාය.සමාන්‍යයෙන් අඩු කතා බහ ඇති අපේ තාත්තා එතැන නවතන්නට හේතුවූයේ හුදෙක් ගමේකමත් මිතුරුකමත් මෙන්ම බන්දු අන්කල් මහ පොළොවේ පය ගසා සිටි නිහතමානී මිනිසෙකුවීම විය යුතුය.ජීවන් කුමාරතුංග, නිහාල් නෙල්සන්,කෝපි කඩේ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ඇතුළු තවත් බොහෝ ජනප්‍රිය චරිත ඔතැනටවිත් කයිවාරුවක් ගසාගෙන ටැක් ගැහෙමින් උන්නේ රළු පරිසරයක් වුවද එතැන නිරන්තරයෙන් රැඳුනු සුහදශීලී, මිනිසත්කම නිසායැයි සිතේ.90 දශකයේ මුල අද වගේ මිනිසුන්ට ගෙටවී එල්ලී ඉන්නට කොම්පියුටර් තිබුණේ නැත, දහසකුත් එකක් මොළේ සෙලවෙන බහුභූත රූප පෙට්ටියේ තිබුණේද නැත.මනුෂ්‍යයෝ මනුෂ්‍ය ආශ්‍රය ප්‍රිය කළ කාලයක, බන්දු අයියාගේ ගරාජයට සෙනඟ නිරන්තරයෙන් ඇදුණේ වාහන හදවාගන්නටම නොවීය.ඒ නිසාමදෝ මන්දා බන්දු අන්කල්ට නිවාඩුවකුත් තිබුණේම නැතුවා වාගේය.

තාත්තා නිසා අපි කෑ කට්ටම බන්දු අන්කල්ගේ දරු තිදෙනාද මදි නොකියන්න කෑවෝය.අන්කල් වාගේම ඇන්ටීත් දරුවනුත් නිහතමානීවූහ.බන්දු අන්කල් කොයිතරම් කාර්යබහුල වුවද තාත්තෙක්ගේ වගකීම උපරිමයෙන් ඉටු කළේය.ඔහුගේ දෙවන දුවත් එකම පුතාත් සංගීතයට අතිදක්ෂ වූහ.ගායනයෙහි හා සිතාරය පවා වාදනයෙහි අති දක්ෂ වූ ඔවුන් දෙදෙනාගේ ප්‍රසංගයක් පවා පැවැත්වුණේ ඒ නිසාය.යහළු මිත්‍රයන් කොතරම් පිරිවරා සිටියද ඔහු ඒ සියල්ල ගැන නිරන්තර අවධානයෙන් සිටියේය.

බන්දු අන්කල්ගේ ගරාජයේ අමතක නොවන චරිතය 'මහී'ය.අපි හැමදාම මහීව දැක ඇත්තේ මඡං සූට් එක පිටින්ය.මුහුණ පුරා වැවුණු රැවුල කිසි දවසක නොකැපූ මහීපාල අන්කල්ගේ කටේ බුලත් හපයක් නම් වැරදුණේම නැත.යමක් ඇසූ කල මඡං පාටම රැවුල අතරෙන් මතුවෙන බුලත් කහට හිනාවට වඩා යමක් ඔහුගෙන් නොලැබුණද බන්දු අන්කල්ට මෙන්ම එතැනට නිතර යන එන සියල්ලන්ටම ඔහු හිතවතෙක් විය.බන්දු අන්කල්ගේ කෝපරේට් ක්ලයන්ට්ස්ලාගේ වැඩ ඔක්කෝම හැන්ඩ්ල් කළ මහී අවුරුදු ගණනාවක් නොවෙනස්ව එතැන රැඳුණ පැරණිම ගෝලයන්ගෙන් කෙනෙකි.

බන්දු අන්කල්ගේ ගරාජය ඉස්සරහා තිබුණේ ඇල්බට් අන්කල්ගේ හෝටලයය.ඔතැනට නිතරම යන අයට වී අයි පී සැලකුම් ලැබුණේ නිරන්තරයෙනි.පොඩි එකාට නම් ඊට අමතරව ටොෆි චොකෝ ද බොහෝවිට ලැබුණේ කන කට්ට ගැන අනුකම්පාවෙන්ද මන්දාය.කොහොමින් කොහොමහරි ඇල්බට් අන්කල් පසුකලෙක මියගිය අතර කඩේ හිමිකාරත්වය හිමිවූයේ ඔහුගේ පුතාටය.ඉන්පසු අපි හැමගේම ජීවිත සංකීර්ණ කාර්යබහුල ලෝකයට පිවිසි නිසාවෙන් යාවත්කාලීනවීම් සිදුවූයේ ආවාට ගියාටය.

කාලය නුගේගොඩ උඩු යටිකුරු කළ තරම දැනුණේ පරණ පත්තර කඩේ මැකෝස් වුණාමය.බන්දු අන්කල්ගේ ගරාජය ඒත් අවුරුදු ගණනාවක් තිබුණේය.අවසානයේ අන්කල් ලෙඩ ඇඳට වැටුණි.පිළිකා මාරයා ඔහුගේ අහිංසක ජීවිතය ගිලගනිමින් ඉන්නා අතර සංවර්ධන මාරයාටය කියා ගරාජයේ ඉඩම රජයට පවරා ගැණුනේය.ඔහුගේ ජීවිතයේ වැඩිකලක් ඔහු හා රැඳුණු එහි අහිමිවීම තවතවත් ධෛර්යය දුරුකෙරෙව්වා වාගේ ටික කලකින්ම ඔහු සියල්ල හැරදා නිහඬ වූයේය.

හොඳින් ඉන්නා කාලයේ බොහෝ දෙනෙකු දෙඩූ, 'මිනිසුන්' රැඳුණු ගරාජය රජයට පවරා ගැණුනද අද ලයිසියම්හී රථ ගාලක් වෙන්නට යනවාය.එව්වා එහෙම වූයේ කොහොමදැයි පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඇත.

බන්දු අයියා හොඳින් ජීවත්වූ කාලයේ නොනෑයෝ නෑයෝ වන්නට පොර කෑවෝය.නන්නාඳුනන්නෝ හඳුනන්නෝ වන්නට පොර කෑවෝය.කලාකරුවෝ ගෙදර මීවිතට සැට් වූවෝය.

ඔහු මරණාසන්න වූ කළ...නෑයෝ නොනෑයෝවන්නට පොර කෑවෝය.හඳුනන්නෝ නන්නාඳුනන්නෝ වන්නට පොර කෑවෝය.අද ඔහුගේ මතක ඉතිරිකර සිටින්නේදරු පවුල හැරුණුකොට ඉතා සීමිත මිත්‍රයන් කිහිපදෙනෙක් පමණය.

"කුණුකය නිසරුයි නැත පවතින්නේ
කළ හොඳ පමණයි මෙලොව රැඳෙන්නේ.."

බන්දු අන්කල්, ඔබට නිවන් සුව!

30 comments:

  1. මට මේ සටහන කියවද්දී අරූ ගේ අඩවියේ " අවුල් වෙන්නට පෙර " ලිපි පෙළ මතක් වුනා. ඒ තරම් සංවේදී සටහනක්. බන්දු නම් වූ මනුසත් බව පිරි මිනිසාට සුභ ගමන් පතමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන්.අරූ අයියා තරමටම අත්දැකීම් තවම නැහැ..ඒත් කවදා හෝ දවසක අරූ අයියා වගේ අද තියෙන ලෝකය හෙට වෙනස් වූ හැටි ලියන්නට හැකිවේවි..:)

      Delete
  2. කාලය මැව් වෙනසක අරුමේ, එතුමාට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. කාලය ඉගිලෙනවා සොමියෝ..ආපහු හැරිල බලනතුරු දැනෙන්නේ නෑ..

      Delete
  3. බන්දු අයියා... සුභ ගමන්..

    ජීවිතේ අවබෝධ කර ගත් නිසා.. නිවනෙන්ම සැනසේවා...

    ReplyDelete
  4. //බන්දු අයියා හොඳින් ජීවත්වූ කාලයේ නොනෑයෝ නෑයෝ වන්නට පොර කෑවෝය.නන්නාඳුනන්නෝ හඳුනන්නෝ වන්නට පොර කෑවෝය.කලාකරුවෝ ගෙදර මීවිතට සැට් වූවෝය.

    ඔහු මරණාසන්න වූ කළ...නෑයෝ නොනෑයෝවන්නට පොර කෑවෝය.හඳුනන්නෝ නන්නාඳුනන්නෝ වන්නට පොර කෑවෝය.//

    සදාතනික දහමක් ඕක තරුවෝ.... ගොඩක් සංවේදී සටහනක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බස්සියෝ..කාටවුණත් අවසානයේ ඔය ටිකම තමයි..

      Delete
  5. බන්දු අයියා... සුභ ගමන්...

    මේක කියවන් යද්දී මටත් මතක් උනේ අරු අයියගේ සටහන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ..ඔව් ඉවාන්ටත් මතක් වුණේ..අරූ අයියා වගේ රසවත්ව වෙනස්වීම් ලියන්න තාම අත්දැකීම් මදිවුණත් බලමු කවදා හරි හැකිවේවි...

      Delete
  6. //බන්දු අයියා හොඳින් ජීවත්වූ කාලයේ නොනෑයෝ නෑයෝ වන්නට පොර කෑවෝය.නන්නාඳුනන්නෝ හඳුනන්නෝ වන්නට පොර කෑවෝය.කලාකරුවෝ ගෙදර මීවිතට සැට් වූවෝය.

    ඔහු මරණාසන්න වූ කළ...නෑයෝ නොනෑයෝවන්නට පොර කෑවෝය.හඳුනන්නෝ නන්නාඳුනන්නෝ වන්නට පොර කෑවෝය.//

    තනි තරුව.......මම මේ දේවල් හොඳට අත්විඳලා තියෙනවා. ඒ අපේ තාත්තාගේ ජීවිතය තුලින්. එපමනක් නොවේ. මමත් උඩ සහ යට ගිය කෙනෙක් නිසා යට ගිය කාලවලදී, අපේ මිනිසුන්ගේ හැසිරීම්, ආකල්ප හොඳින් අත්විඳ තියෙනවා. මේ තමයි අපේ සමාජයේ හැටි.

    නුගේගොඩ, දෙල්කඳ මගේ ගම. 1987 වෙනකම්ම ලඟ සබඳකම් තිබුනා. ඒ නිසා මම බන්දු අයියාව සමහර විට දැකලාත් ඇති.

    බන්දු.....උඹට නිවන් සුව!!

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ බොහොම ස්තූතියි..
      සමහරවිට 1987 වගේ කාලෙදි වෙන්න ඇති බන්දු අන්කල් ගරාජ් එක පටන් ගත්තේ..මම ඒ ගැන නම් හරියටම දන්නේ නෑ...දෙල්කඳ ඉස්සර තිබූ විදිය ගැන ඔබේ ලිපි පෙළ කියවමින් ඉන්නේ තාම..හරිම පුදුම හිතෙනවා සහ මහ දුකකුත් දැනෙනවා..සංවර්ධනය හොඳයි නමුත් සමහර සංවේදී මතකත් ඒ හා වැළලෙන එක ගැන ලොකු දුකකුත් තියෙනවා...දෙල්කඳ නුගේගොඩ දැන් එකම මිනිස් ගුලාවක්...ඒත් ඒ කාලේ හරිම සුන්දර ගැමිගතියක් තියෙන්නට ඇති..එහෙම හිතෙනකොට ඒ පරිසරය ගැන අහිංසක පෙරේතකමක් දැනෙනවා...ඒත් මිනිස්සු හැටියට අපිට හැම වෙනස්වීමක්ම දරාගන්නට සිද්ධවෙනවා නේද?

      අරූ අයියේ ඔබට කොයිතරම් නම් අත්දැකීම් ඇතිද දශක තුනකටත් ටිකක් අඩු මගේ ජීවිතකාලය තුළ ඇසු දුටු විඳි දේවල හැටියට...ඒ වගේ සිය දහස් ගුණයක් දේ ඔබ දැක ඇති බවට කිසිම සැකක් නැහැ..ඒවා තව තවත් ලියන්න, ගතහැකි දේ බොහෝමයි..

      Delete
  7. ඉසුරුන් කිත් යසසින් බබලනදා
    ලොව ඔබ පාමුල හඩා වැටෙයි
    ඉසිරින් කිත් යසසින් පිරිහුන දා
    ලොව ඔබ හිසමත කඩා වැටෙයි
    (නන්දා මාලනි )

    ReplyDelete
  8. දමිත් ඒක තමයි ගැළපෙනම වචන පෙළ..අවාසනාවකට මට මතක් වුණේ නෑ..බොහොම ස්තූතියි..:)

    ReplyDelete
  9. නිවන් සුව ලැබේවා..බන්දු අන්කල් ට...

    මොනවා කරන්නද..ජීවිත ගමනේ හමුවන වෙන්වන චරිත වලින් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභී..ඔව්..
      හමුවන වෙන්වන අය බෝමයි..
      මතකේ රැඳෙන්නේ අතලොස්සයි..

      Delete
  10. කාලය හරි පුදුමාකාරයි ...මතකය අපිට ඉතිරිකරලා අපිවත් පහුකරගෙන එයා දුවනවා.කාලයත් එක්ක ඔට්ටුවෙන්න අපිත් හතිවැටිගෙන දුවනවා අන්තිමට දුවා ගන්න බැරිව හෙම්බත්වෙනවා. මෙච්චරකාලයක් හෙමීට අපිත් එක්ක ආව මතකය ඉතිරිවෙනවා ගිමන්හැරල වට පිටාව බලද්දී ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.ඊට පස්සේ මතකය හාර හාර වෙනස් වෙච්ච දේවල් ගැන දුක් වෙනවා වෙනස් වීම දකිනවා .මහන්සිය නිවුනම ආයෙත් නැගිටිලා කලින් වගේම කාලය පස්සේ දුවනවා .... මරණය ලඟා වුනාම කාලයට යන්න දීල මතකයන් එක්ක අපි වැලලෙනවා........ජීවිතය ...කාලය සහ අපි ...........

    ReplyDelete
    Replies
    1. නියම කතාව හංසියෝ..//.ජීවිතය ...කාලය සහ අපි // නරකද ඔය මාතෘකාව ටිකක් දිගට පෝස්ටුවක් වගේ ලිව්වොත්? මට හිතෙනවා ඔයාට ඒ ගැන ලස්සනට ලියන්න පුළුවන් වේවි කියලා...:)

      Delete
    2. ස්තුතියි :D ..ම්ම්ම් බලමු බලමු ටිකක් සීරියස් මූඩ් එකක් ඔලුවට වැදුනම මේ වගේ දෙයක් ලියල දාන්නම් :D

      Delete
    3. ඔව් ඔව් හදිසියක් නෑ..හොඳට කල්වේලා අරන් හිතට වැදෙන එකක් ලියන්නකෝ..:)

      Delete
  11. මගේ ජීවිතයේ මුල් අවුරුදු 28 විතර ගෙවා දැමුවේ නුගේගොඩ අවට කලාපයේ තමයි. මැක් ඩොනල්ඩ් එක ඔතන නොතිබිච්ච කාලේ මතකේ තිබුනත්, එතන තිබුනු ගැරේජ් එකක් ගැන නම් මතකයක් ඇත්තෙම නෑ... තනි තරුව ගාව ගැරේජ් එකේ ෆොටෝ එකක් එහෙම තියෙනවද ?

    ඔය බන්දු අයියා වගේ සුන්දර ජීවිත තව කොච්චර නම් තියෙනවද ? ඒ සුන්දර මිනිස්සු ජීවිත කාලේ හම්බ කරන්නේ මිනිස්සුන්ව විතරයි. ඒත් ඒ මිනිස්සුත් කරදරයකදි කර අරින්නේ කොච්චර කුහක විදිහටද ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුමීත් හයිලෙවල් එකේ කොල්ලෙක්!
      මැක් එක තියෙන තැනට ඉස්සරහ තිබ්බේ බන්දු අන්කල්ගේ ගැරෙජ් එක.ෆොටෝ එකක් නම් නෑ මම ලඟ.මේ කියන්නේ 1989/1990 කාලේ ඉඳන් 2010/11 වගේ කාලේ වෙනකම් ගැරෙජ් එක තිබ්බා..

      අනිවාර්යෙන්ම..මිනිස්සු කොච්චර අවස්ථාවාදීද කුහකද දුර්ජනද කියලා දැනගන්න අපි අමාරුවක වැටෙන්නම ඕන.ධනය, බලය, හැකියාව, ලස්සන තියෙන කල් හැමෝම අපි ලඟින්ම හිටගන්න පොර කනවා..ඒවා නැතිවෙන මොහොතකින් ඒ අයම අපට පුළුවන් තරම් දුරින් හිටගන්න පොරකනවා..!

      Delete
    2. ඔව්, මම ඉපදුනේ සහ ජීවිතයේ වැඩි කාලයක් ගෙව්වේ කළුබෝවිල, නුගේගොඩ අතර තමයි. ඉස්කෝලේ හෝඩියේ ඉඳලා උසස් පෙළ වෙනකම් ගියේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට. ඒ ලෙවල් පන්ති ගියා රේල්වේ ඇවිනිව්, රොටරි සහ මෙන්කී නොකී හැම තැනම.....! අක්කයි නංගියි ඉස්කෝලේ ගියේ අනුලා එකට......මගේ ගම හාමිනේ සමුද්‍ර දේවී එකේ.....

      Delete
    3. එහෙනම් දුමීට අමතක වෙන්න බෑ..මතකද දැන් මැක් එක තියෙන තැන තිබ්බ පරණ කඩයක්..ඊට එහා පැත්තේ තිබ්බේ හෝටලයක්..ඒ හෝටලේ ඉස්සරහම පාරෙන් මෙහා පැත්තේ (හයිලෙවල් පාරේ නෙවෙයි අර අතුරු පාරේ මැක් එක ඉස්සරහින්ම ඇලේට වැටුනු ) තමයි බන්දු අන්කල්ගේ ගැරෙජ් එක තිබ්බේ..අන්කල්ගේ දුවලත් ගියේ අනුලා..

      Delete
    4. මට කමෙන්ට් කරන්න හරිම තැන මෙතන කියලා හිතෙනවා. නුගේගොඩ / කළුබෝවිල පදිංචියට ඇවිත් මමත් අවුරුදු 20ක් වෙනවා. මගෙත් ජීවිතේ වැඩි කාලයක් මේ අතරේ තමයි දිව්වේ. තනි තරුව මල්ලීගෙන් මේ තැන ගැන හරියට විස්තර නොවුණේ මේ අතරේ තියෙන පාර ගැන නොකී නිසා. මැක්ඩොනල්ඩ් එක තියෙන්නේ හයිලෙවල් පාරේම නෙවෙයි. එතනින් පහලට තියෙන වයි හන්දියෙන් කොහුවලට යන රේමන්ඩ් පාරේ මැක් එක තියෙන්නේ. ඒ පාරත් හයිලෙවල් පාරත් අතර පීසා කෑල්ලක් දෙකට කැපුවම වගේ කොටසේ තමයි ඔය ගැරේජ් එක තිබුණේ. මේකේ විශේෂය තමයි, හයිලෙවල් පාර තියෙන්නේ රේමන්ඩ් පාරට වඩා අඩි 12ක් විතර උඩින්. මේ තීරුවේ පොඩි ස්ලැබ් කෑල්ලක් දාලා උඩ (හයිලෙවල් පාරේ මට්ටමට) තමයි ගැරේජ් එක තිබුණේ. ඇත්තටම මේ වගේ ව්‍යාපාරික වටිනාකමක් තියෙන තැනක ගැරේජ් එකක් තියෙනවා කියන්නත් පුදුමයි. එතන වැඩි ලකයක් නෑ. වාහන නවත්වන්නත් ටිකක් අමාරුයි. ඔතනින් පාරේ යනවා කියන්නේ මහ භයානක වැඩක්. මට හොඳට මතකයි මෙතනින් පහලට බහින්න ස්පයිරල් පඩි පෙළක් තිබුණා යකඩ වලින් හදපු. නොදන්නා අයගේ වැඩි අවධානයක් තිබුණ තැනක් නෙවෙයි. මගේ අර බලා හිඳීම විනෝදාංශය නිසා තමයි මේක මතක. ඉස්සර කාලයක් මෙතනින් බස් වලට ගොඩ වෙන්නත් හිටියා.

      Delete
    5. මම අද මම දන්නා බන්දු අංකල් කෙනෙක් ගැන පොස්ට් එකක් දාන්න ලැස්ති වෙලා නිකමට සර්ච් එකක් දැම්මා. කවුරුවත් එයා ගැක දායි කියල හිතලා නෙවෙයි. නිකමට. ඒකෙන් මේක මතු වුණා. සමහර මිනිස්සු ව්‍යාපාර කරන්නේ සල්ලි වලටම නෙවෙයි සංතෘෂ්ඨියට. ඒ වගේ මිනිස්සු එලියට නොපෙන්වන කළකිරීමක ජීවත් වෙන්නේ. හැමෝගෙම සතුට වෙනුවෙන් කැප කිරීම කරනවා. අන්තිමෙදේ අකාලයේ මියපරලොව යනවා.

      දුමීවනම් මට මුණගැහිලා තියෙන්නම ඕනේ. වාහනයක එදිනෙදා නොගියානම්. ඒ වුණත් මට ස්ථාන ශා මිනිසුන් මතක තබා ගැනීමේ අමුතු හැකියාවක් තියෙනවා. අවුරුදු 20කින් වුණත් සමහර අයව මතකයි.

      Delete
  12. හොඳ මිනිස්සු ඉතුරු කරලා යන මතකයන් හරිම සංවේදියි..... බන්දු අන්කල් ඔබට නිවන් සුව ලැබේවා.........

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..නරක මිනිසුන්ට වඩා හොඳ මිනිසුන්ගේ නික්මයාම දුකක් සහ කල්පවතින තුවාලයක්..

      Delete
  13. ඔහු ජිවිතය ගත කලා, ඔහුටම රිසි ෙලස ජිවිතය වින්දා, කිසිම ෙදයක් ෙලාකුවට හිතුෙව නැ, ඒත් හැම ෙදයක්ම කලා, ෙලකු ෙපාඩි ෙභ්ද නැ, තවත් කියන්න ෙද තිබුනත් සිංහල typing වලට මම අළුත් නිසා ෙම අැති. අැති වන හැම ෙදයක්ම නැති වන බව අත්විදින්න කියන අනියත පාඩමත්, තමා හිසට තම අතම පමනක්ම බවත් කියලා නිහඪ වුනා. අමා නිවන නමි දුර අැති ඒත් මට ඒ මග යන්න අවැසි සියල්ල ෙපලගැස් විවම ඹබට ෙදවි සැප ලබන්නට හැකි පිනකි. තනි තරැවට තුති. සියල්ලන්ටම තුති. සියළු සත්වයන් සුවපත් ෙවත්වා. මිිට බන්දු අයියා ෙග පුතා

    ReplyDelete
    Replies
    1. කසුන් මල්ලී..බොහොම ස්තූතියි..අන්කල් වෙනුවෙන් කරන්න පුළුවන් නොගිණිය හැකි තරමේ සුළු දෙයක් මේ සටහන..ඒත් ඒ සටහන තැබීමෙන් මට ඇතිවුණ සැනසිල්ලේ අංශුමාත්‍රය ඔහුගේ මතකයක් ගැන කියන්නට පුළුවන් හැකියාවක් තිබ්බා කියන එකයි..අනිවාර්යෙන්ම ඔහුට නැවත මෙවන් අකල් වියෝවක් සසර කොතැනකදීවත් නොවේවා..!

      Delete