Monday, December 29, 2014

රතු..

උඹ දිහා හොරැහින් බලනකොට...
හෙමි හෙමින් හිනාවක් එබෙනකොට...
රතුපාට කුඩ හෙවණක රතු ලවන් සිඹිනකොට...
ආදරේ පාට...මට ඕන සුන්දරම පාට....

උඹ අහක බලනකොට...
මතක හේදිලා යනකොට...
හිත රිදි රිදී අඬනකොට..
කැපුණු හිත පතුලේ පිරුණු...
මට රිදෙව්ව පාට...උකුම උකු පාට...

උඹේ කාලය ඉවරවෙනකොට..
වෙන අතක එල්ලී යනු දකිනකොට...
හුස්ම හිර කළ පාට...
රතුම රතු විරහවේ පාට....

දෙණ ලඟ වැටී උඹ ඉකිබිඳිනකොට..
හුස්ම පිඹ පණ දෙන්න බැරිකොට...
චිතකයේ දළු දෙස බලා සිටි
නියඟලාවේ පාට...මගේ මරණයේ පාට....




Saturday, December 27, 2014

පරාල ඇණ කවි - 3 : හිරුට

මගේ කවි හිත ගල්වෙලා
සීතලට ලේ නහර ඇකිලිලා
කවි සිතුම් මියෙනවා හිතහිතා
සිත හිඳී හිරුට මග බලබලා


Thursday, December 25, 2014

අඳුරට උපන්නෙමු!

මං උපන්නේ 80 දශකයේ මැද.එතකොටත් කළු ජූලිය පටන් අරන් ඉවරත්වෙලා ඒත් ඒකේ හොල්මන් එක්ක ජවිපෙ භීෂණෙත් එකතුවෙලා තිබ්බේ.කළු ජූලිය කාලේ පිටකොටුවෙදි මිනිහෙක් අමුඅමුවේ පිච්චෙනවා දැකලා බොහොම හිත හයිය අපේ තාත්තාට කෑමවත් නොකෑවා කියලා අම්මා කියනවා..ඒ ඇරුණම මගේ එක මාමෙක්ගේ පුතා, එතකොට ඌට අවුරුදු 2ක් විතර ඇතිලු, බස් ගිනි තියලා කියලා වැඩිහිටියෝ කතාවෙනවා අහලා ඒකගේ සෙල්ලම් කාර් බස්වලට ගිනි තියන්න හැදුවලු..එතකොට මම ඉපදුණා විතර වෙන්නැති මම හිතන්නේ...

මං ඉපදෙන්න මාසෙකට කලින් මගේ තාත්තගේ එක ඥාති සහෝදරයෙක් (අතුල ප්‍රසන්ජිත් පෙරේරා -ශ්‍රී ලංකා පොලීසිය)උතුරේ ත්‍රස්තවාදයෙන් මිය ගිහින් තිබුණේ කඳවුරට වතුර ගේන්න යන වාහනේට ආරක්ෂාව සපයන්න ගිහින් ක්ලේමෝ එකකට බිලිවෙලා...අදටත් ඒ මාමාගේ අම්මා සහ නංගී විඳවනවා පවුලේ එකම පිරිමි දරුවගේ මරණයෙන්..ඥාති සහෝදරයා වුණාට තාත්තාගෙයි අතුල මාමාගෙයි තිබිලා තියෙන්නේ දැඩි යාළුකමක් ඉස්කෝලේ ඉඳන්ම පැවතිච්ච...ඒ මිත්‍රත්වයේ සහෝදරත්වයේ අහිමිවීම හිඩැසක් ඇති කරලා තිබුණා පියවන්න බැරි...පුංචි කාලේ අම්මා ලඟ ගුලිවෙලා උන්නු පුංචි පුතා නැතිවීමේ වේදනාව ඒ ආත්තම්මා තවමත් විඳිනවා..



මට අවුරුදු 1 1/2ක් වෙද්දි මුළු පළාතම වහගෙන හිටියේ භීෂණය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්චි මගේ සීයා ජිනදාස වීරසිංහ (තාත්තගේ තාත්තා) ඝාතනය වුණේ 1987 ජූලි 31වෙනිදට එළිවෙන්න..ඒ තමන්ගේ ආසනේ මිනිස්සුන්ට කරදර වෙනවද බලන්න ගිය ගමනකදි.. පාහර ජවිපේ එවුන් සීයා යන මග හරහට කාණුවක් කපලා මග හරස්කරලා සීයාට වෙඩි තියලා තිබුණා..සීයා වෙඩි පහර කාගෙනම වාහනේ තව මීටර් ගණනාවක් පසුපසට අරන් තිබුණේ චූටි බාප්පාත් එදා ඔහු එක්ක හිටි හින්දා..මිනීමරුවෝ වෙඩි තියලා මදිවට අලවංගුවලින් සීයාගේ කණ්වලට පවා කොටලා තිබුණලු.චූටි බාප්පගේ බඩ පලලා තිබිලා තියෙන්නේ අලවංගුවලින් (අදටත් ඔහුගේ බඩේ ඒ කැළල තියෙනවා).සීයා මරුවිකල්ලෙනුත් තමන්ගේ දරුවා බේරගන්න පොරකාලා චූටි බාප්පව කාර් එකේ පිටිපස්සට උස්සලා දාලා.පහුවෙනිදා අපේ අම්මයි තාත්තායි අළුත හදන්න ගිය ගෙදරට අත්තිවාරම් දානකොට හෙලිකොප්ටරයක් (ඒ කාලේ හෙලිකොප්ටර් ගිහින් තියෙන්නේ කලාතුරකින් ලු) ගිය එකෙන් තමයි අනතුරක් කියල සැකේට මහගෙදරට ඇවිත් තියෙන්නේ.එතකොටත් සීයා නැතිවෙලා කියලා පණිවිඩේ ලැබිලා..

Wednesday, December 24, 2014

පරාල ඇණ කවි - 2 : අවනඩුව

තමා විසින් තමා මරණ ලද වරදට
ජීවිතාන්තය තෙක්....
යුෂ්මතා වැරදිකරු ද? නිවැරදිකරු ද?
වැරදිකරු ස්වාමීනී..
මම මාවම මැරුවමවත්
මිනිස්සු රිද්දවන්නේ නැතුව
ඉඳී කියලා හිතුව එකට
වැරදිකරු ස්වාමීනී..
මගේ අතින්ම මා මැරුවම
මරණය පහසුයි කියල හිතුව එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
අනුන් වයන්න දන්න පදයට
මට නටාගන්න බැරිවුණ එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
මූණේ සකුරා මල් අලෝගෙන
හිතේ ගිනිකන්දක් නොතිබ්බට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..!



Friday, December 19, 2014

පරාල ඇණ කවි - 1 : ඇතැරුණු හීන

මේ අපේ බස්සි නගා මූණු පොතෙන් මට දුන්නු තෑග්ගක්..:) ඔන්න පළවෙනි එක ලිව්වා..හැබැයි කවි කීයක් ලියන්න ඕනද දන්නේ නෑ...කාටද චැලේන්ජ් කරන්නත් ඕනලු...:)




තැරුණු හීන

මාවතක් අද්දර වැටී
නුඹයි මමයි පෙර දිනෙක ඇහිලුව
නුඹෙයි මගෙයි හීන..

රන් හුයක අමුණාන 
එකතු කළ පොකුර
නුඹෙයි මගෙයි හීන..

කුහක කන්ටේනරයක 
හැපී සුණු විසුණු වුණ
නුඹෙයි මගෙයි හීන..

එකතු කර අලවන්ට
වෙර නොදා අතැර ගිය
නුඹෙයි මගෙයි හීන...

Friday, December 12, 2014

ටුක්-ටුක් සීට්

වර්ථමාන කතාව
-------------------
එදා මහ වැහි දවසක්. මමයි හබී මෑන්සුයි ටුකු ටුකුවකට නැග ගත්තා ඔන්න බස් ස්ටෑන්ඩ් එකකට යාගන්න..මොකෝ එදා හබී මෑන්ස්ගේ කපු කුඩේ ගෙනල්ලා නැති හින්දා පොඩි පහේ නෑමක් සෙට් වෙලා තිබ්බේ..නැත්නම් අපි දෙන්න අත්වැල් පටලාගෙන පැද්දි පැද්දි කයියක් ගහන් සරීර සෞඛ්‍යයට කියලා ඔය කිලෝමීටරේ පයින් යනවා..:)

ඉතින් ඔහේලා දන්නවා නෙව ඔය වැහි දවසට ටුක් ටුක්වල රෙදි පෙරවන්නේ යන්නේ..මං දැකලා තියෙනවා සමහර ටුක්ටුක් නම් මහ ගිනි කාස්ටක අව්වෙත් ඔය රෙදි පොරවන් පාරවල් අයිනේ නවත්තන් ඉන්නවා..සහලෝලා උණ වෙන්ටැ..:D

ඉතින් දැන් ඔය අපි නැග්ග ටුකුටුකුවත් එහෙම තිර දාගෙන හිටියේ වැස්ස නිසා..හැබැයි මට ඕක දිරවන්නෙම නැති වැඩක්..මොකද ඔය ආත්මෙකට හෝදන්නේ නැති තිරේ අතින් අල්ලන්න වෙනවට, කොණ්ඩේ ගෑවෙනවට මං හරි අකමැතියි.කොහොමහරි ඔය තිරේ උස්සලා නැගගත්තා කියමුකෝ..කළුවරේ පේන්නෙත් නෑ..ඇතුල්වුණා විතරයි ආවා මාර ගඳක්! යන්තම් ලඟ බිල්ඩිමේ ලයිට් එළියෙන් මම දැක්කා සීට් එකේ කොණක මොනාද ගුලි වගයක් තියෙනවා..මම ඉතින් එහෙමම ගල් ගැහිල හිටි තැනම ඒ කිව්වේ සීට් එක මැද්දට වෙන්න වාඩිවෙලා නහය අකුලන් ඉන්නවා..ඒ අස්සේ මේ ගඳයි ගුලියි ගැන කියන්න කලින් හබී මෑන්ස් ඇතුළට පැනලා මගේ ඇඟ උඩ වාඩිවෙලා කියනවා එහාට යන්නලු! මම කසුකුසුවෙන් කිව්වා මේක ඇතුළ ගඳයි කියලා..ඔන්න ඒ ගමන උන්දැටත් ගඳ දැනුණා..දැන් මම මගේ නයි මල්ලේ බැහැගෙන ජංගමය හොයනවා ටෝච් එක ගහලා මේ ගඳ ගුලි අධ්‍යයනය කරන්න.

Wednesday, December 10, 2014

සෝමේ මාමයි රේණුකා නැන්දයි..

අපි ළමයි කාලේ 
ඇගේ වෛරය බලන්න 
බැරිවුණ හින්දා
මාමායි නැන්දයි හදන්න ගත්තා
ළමා චිත්‍රපටි..
අනික උන් හැදුවා 5වෙනි මණ්ඩලේ එව්වා!

"සරෝජා" ආවම
ඉස්කෝලෙන් එක්කන් ගියා
අපි අඬ අඬා බැලුවේ..

"පුංචි සුරංගනාවී" ආවම
දෙමව්පියෝ එක්කන් ගියා
කාටුන් එකක් බලන්
කටවල් පූට්ටු කරගත්ත එක
තේරුණේ නෑ ඉතින් එදා...

පස්සේ ආවා "සූරිය අරණ"
අප්පෙකුයි පුතෙකුයි
වැදි කොණ්ඩ වවන්
ගස් ගල් උඩ දුව දුවා නැටුවා..
ඒකත් බැලුවා..

අපි ලොකු උණාම 
මාමයි නැන්දයි
"සිරි පැරකුම්" හැදුවා..
ලංසි පාට කොල්ලෙක්
ලන්දේසි තාලෙට
සිංහල මැරුවා
මම ටීවී එකේ දැක්කා..
ඒක බැලුවේ නෑ
ඌ ගමේ කොල්ලෙක් කිව් නිසා..
ගමේ කොල්ලොත් දැන් හරි පොෂ් කියල
බලන්න බය හිතුණා..

මාමලා එකම තැන හිටියට
අපි වයසින් වැඩිලා
යෞවනේට ආවා..
දැන් හරි කේස්!
වැඩිහිටි එව්වා බලන්න වයස මදි
ළමා එව්වා බලන්න වයස වැඩී!
ඉතින් අපි බැලුවා
අල්ලපු රටේ එව්වයි බටහිර එව්වයි
මාමලාට මල පැන්නා!
අපේ ඒවා නොබලා
හෙළුවැලි ඒවා බලනවා කිව්වා...

ඉතිං මාමේ,
ඉඳලා හිටලා
යාලුවෝ සෙට් වුණාම
ගෙදරට හොරා රවුමක් ගැහුවම
යන්නම තැනක් නැති උණාම
පොෂ් හෝල්වල
එච්චරනේ පෙන්නුවේ..!

මාමා අපි එක්ක තරහට
සිරි පැරකුම් 50ක් පෙන්නුවා
'35යි යකෝ පුළුවන්" කියලා
මිනිස්සු මාමට නොසෑහෙන්න බැන්නා..
අපිත් ඉතින් බැන්නා!
මොකෝ ඉතින් අපිට ඒවා හැදුවයැ!!
මාමා නිසා මිනිස්සු
මහින්ද මාමා එක්කත් තරහ වුණා..
අනික් අයට 35යි මාමාට 50යි
එතකොට මාමාට සප් කරලා
මහින්දා මාමත් නෝණ්ඩි වුණා..!

මෙන්න බොලේ ඊයේ උදේ
මාමත් මෛත්‍රී කරන්න ගිහින්!
දෙයියන්ගේ ආප්ප කැවිලද
කියලා මට හිතුණා..
ඒවුණාට මාමේ වැඩේ කැතයි
මොනාවුණත්..
පිටපත් 50ක් එක්ක
ආප්ප හරි කන්න දීපු අත නේ හැපුවේ!
ඒ මදිවට..
මහින්ද මාමාට 
කෝචෝක් එකකුත් දැම්මේ
වීණා වාදන තේරෙන්නේ නෑ කියලා..
මට තියෙන ප්‍රශ්නේ
මාමා වැයුවට වැඩ නොකලේ
කොයි වගේ පදයක්ද?

නිකමට වගේ ඇහුවේ
ෆයිල් කරලා තියාගන්න 
මතු ප්‍රයෝජනේට ! :D



සුදු නංගිත් ගියා...

කර ලඟට පියවුණ හැට්ටෙට
හිනාවට හැඩරුවට
කුඩු දුමීගේ වයිරෙට
තාත්තා මළ දුකට..
නුඹට මනාපේ පෑව
139034ක්
ආං අරහේ පෝලිමක
රෑට බතට කන්න
පුන්නක්කු ගන්න..!

කමක් නෑ නගේ
එහෙදිවත්..
නොනිසි දේ නොනිසි තැන කියන්න
ටීවී චැට් ෂෝවල සාටර් වෙන්න
අනී කියලා උඩ පනින්න
නැතුව දැන්වත් හැදෙන්න..



Friday, November 28, 2014

රතු සහ අළු..

හවස 4යි..
ඒත් මගේ හිතටයි ඔර්ලෝසුවටයි විතරයි..
අපි වටේම තියෙන මන්දාරම..ඒක මූසල පාටයි තමයි...ඒත් මම ඒකට ආසයි..
මට හිතෙන්නේ මම මම නොවෙයි කියලා..මන්දාරමත් එක්ක එක්කහුවෙලා, දහසකුත් එකක් හීනවල පැටලිලා ඔහේ ඇවිදන් යන කොල්ලෙක් දිහා බලා ඉන්න වෙනමම එකෙක්...
ඉඳලා හිටලා එහෙම මම නොවී මම දිහා බැලුවම ඉස්සර මට පෙනුණා නුඹවත්...
මම දැක්කා ඒ කොල්ලා කෝල කොමළ බැල්මෙන් නෑවිලා යන හැටි...එක බාහුවක රිදෙන තරම් තදින් එල්ලිලා මග දිගට හිනා වපුරමින් හුරතලේට කතා කරන හැටි..මම ආසම කළ කැරළි කොණ්ඩයක් හිනා මුවක් වටේ පෙරැළි කරමින් උන්නු හැටි..ඔව් මට හුඟක් දේ පෙනුණා..පස්සේ කාලෙක හීනෙන් විතරක් පෙනුණ...
හැබෑ වෙන්න උදේ හවා පතපු, හීන මගෙන් උදුරගත්ත හීන...

Tuesday, November 25, 2014

කඳුළකට...

ඇස්වලින් අල්ලාගෙන
ගිලගත්තු නුඹම
හිත් පතුලේ හිරවෙලා හැබැයි..
හිත පලාගෙන 
මතුවෙන්න හදනකොට
දැන් නම් හිතට හරි බයයි..
හිත පලන් ආවත් කමක් නැහැ
ඇහෙන් පැන්නොත් නම් හරි දුකයි..


Monday, November 24, 2014

තටු සහ හාදු...

රස හාදුවක 
හීන බිංදුවක් තවරා
පිරිනමද්දි නුදුටුවෙමි
සැබෑවටම නුඹේ හිත..

කපාගත් තටුමතින්
රජවෙද්දි අද නුඹ
සිහි වුණේ නැතිද
පෙර දිනේ ප්‍රේමය...

මුදු මොලොක් හදවත
කාස්ටක කෙරූ වියරුව
වෙහෙසුණෙමි සොයන්නට
දිවා රෑ කාරණය..

නුඹේ රස හාදුව
දමා ගසා නුඹ වෙතම
ලැබූ සැනසුමක් නැතිය
තටු කැපූ රිදුම මිස...

කාස්ටක හිත යට
හැඬුව තටු අහිමි මම
දුටුවෙමි තරු නෙතේ
සැඟවගත් නුඹේ රුව..
මට අහිමි නුඹේ ලෙය..

නුඹට රිදවන්නට 
විසි කෙරූ හාදුව
සැඟවගත් මොලොක් හද
සොයාගත් අරුම...

ප්‍රේමය නොකල්හී
නුදුටුවත් නුඹ සකී
ඒ සඟවනු හැකී
කෙනෙක් මේ ලොව නැතී...


Thursday, November 20, 2014

අකුරු..

වැලිපිල්ලෑවෙන් ගල්ලෑල්ලට
ගල්ලෑල්ලෙන් පත් ඉරුවට..
එතනින් කඩදහියට
දැන් ජංගමයගේ මූණ උඩ
හැඩට ලියැවෙන
සිංහල අකුර,
මම කැමතිම මගෙ මව්බස...


Wednesday, November 12, 2014

ගැහැණු

අහිමි තාක් ලස්සන,
ලංවුණාම...
high maintenance!


Tuesday, November 11, 2014

මම දකුණේ!!

හෙඩිම දැක්කම කට්ටිය කලබල වෙන්න කාරි නෑ..පළවෙනි සිතුවිල්ල වැරදෙන්න පුළුවන් නේ ඔය කොච්චරවත් කිව්වට first impression is the best කියලා..:P

මම මේ කියන්න ගියේ අපේ මනසේ වම දකුණ ගැන..ඒ කියන්නේ මනුස්සයෙක්ගේ සිතුම් පැතුම්, ආකල්ප, චර්යා රටා, ප්‍රතික්‍රියා, තීරණ හැමදේම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ පෞර්ෂත්වය මත..ඒකට බලපාන්නේ අපේ මොළය..මොකද ඒවා ක්‍රියාත්මක වෙන්නේ එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යටතේ..ඉතින්, ඔයයි මමයි, මමයි ඔයයි වෙනස් වෙන්නේ අපේ වැඩිපුර බලවත් වමද දකුණද කියන කාරණය මත..

ඔය ටැපලිල්ල ලිහන්න අම්මෙකුයි දුවෙකුයි හොයාගත්ත නැතිනම් වැඩි දියුණු කළ ක්‍රමයක් තියෙනවා Myres-Briggs Type Indicator (MBTI) කියලා..ඔය නම වැටිලා තියෙන්නේ අම්මගෙයි දුවගේ නම්වල එකතුවෙන්..වැඩි විස්තර ඕන ඇත්තන්ට ඇහැකි විකිපීඩියාවට රිංගලා බලන්න නැතිනම් ගූග්ල් දෙයියොන්ගෙන් අහන්න..

ඉතිං ලෝකේ සාමාන්‍ය පිළිගැනීම තමා දකුණේ උන් ලෝකය හැඩි කරනවාය, වමේ උන් දකුණේ උන් කාබාසිනියා කරන ලෝකය පිළිවෙල කරනවාය කියන එක..එච්චර දුරකට ප්‍රායෝගික නැතිවුණත් මට හිතෙනවා දේශපාලනයටත් ඒක බලපාලා තියෙනවදෝ කියලත්..හැබැයි දැන් නම් වම දකුණ කියා වෙනසක් නැතිවම ලෝකය කාබාසිනියා කරන තත්වයක් තියෙන නිසා ඒ තියරිය මම මගේ හිතේම මරා දානවා..ඒ හින්දා ඕං ඔහේලා කලබල වෙන්ට කාරි නෑ..ගත්ත කඩුපොලු මුගුරු කිණිසි ගල්කටස් බිම තියන්න..

හැබැයි මේ වම දකුණ නැත්නම් left brainy/right brainy කියලා පෞර්ෂත්ව බෙදුවට අපිට කියන්න බෑ මට වඩා අරූ නරකයි කියලාවත් ඌට වඩා මූ හොඳයි කියලවත්..මේක ඇවිත් සාත්තර සීන් එකක් වගේ හැබැයි ඊට වඩා සාර්ථකව තමන් ගැන දැනගන්න පුළුවන් අවංකවම උත්තර දුන්නොත්..මේ ලින්කුව උඩ කෙටුවොත් ඔය විස්තරේ දැනගත හැකි..හැබැයි තමන්ගේ හර්ද සාක්ෂියට එකඟව (තාම ඒක තියෙනවා නම්) කළොත් ප්‍රතිපලේ සහතික ඇත්ත වෙයි...නැත්නම් ඔන්න මගේ පතුරු අරිනවා එහෙම නෙවෙයි ඕං..!

ටෙස්ට් එක කරන්න කම්මැලි ඈයොන්ට මෙන්න මෙහෙම කියතැහැකි..

සමහරු ඉන්නවා පොඩි පොඩි දේවල් නිතර අමතක වෙන..වෙලාවට වැඩ කරන්න එහෙම ටිකක් අමාරු..ඊලඟට කලින් predict කරන්න බැරි...කොයිවෙලේ මක්කා කොරගනීද කියලා හිතෙන ඩයල්..හැබැයි එයාල වලිබර වගේම කලාබර, පෙම්බර, සිනාබර, දයාබර ,සුන්දර හැඟුම් හිතේ නලියන අමුතුම සෙට් එකක් වෙන්නත් පුළුවන්..එයාලට කලින් සැලසුම් නෑ..දැන් හිතුණද කෑවා අයිස්ක්‍රීම්..හිතුණද ගියා ෂොපිං...සල්ලි නැත්ත හිතුණද ගත්තා සපත්තුවක් හරි පොතක් හරි..නැත්නම් මේ හිතුණා මේ ගියා ෆිල්ම් එකක් නාට්‍යයක් බලන්න..ඒ වගේම පාටවලට රටාවලට කැමති වෙන්නත් පුළුවන්..හුඟක් නිර්මාණශීලි ඩයල් මෙන්න මේ වගේ..සමහරවිට අපේ බ්ලොග් ලෝකේත් බහුතරයක් මේ වගේ වෙන්න පුළුවන්..එයාලා දකුණේ...:)

තව කට්ටියක් ඉන්නවා එයාලා පුළුවන් දේ ගැන තමයි හිතන්නේ...සමහරවිට මේ ඩයල් නිහඬ තැන්පත් විනයගරුක යුක්තිගරුක සාධාරණ ශාන්ත දාන්ත තීන්ත කූඩූ වෙන්නත් පුළුවන්...ඒ කියන්නේ තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා වැඩක් පලක් කරන් ඉන්න සමාජයට වැඩිපුර විවෘත නැති කට්ටිය..මෙයාලා logical කට්ටිය...ඒ වගේම හිතන්නකෝ පාඩම් කරනවා කියලා, එහෙම වුණොත් මේගොල්ලන්ව හොයාගන්න පුළුවන් සද්ද බද්ද නැති, කුප්පි,බකට්,මරියා කඩ නැති, නිශ්ශබ්ද කොණක ඉඳගෙන ඉන්නවා...මෙයාල වාමංශිකයෝ..:)

ඔන්න ඔය වගේ අනේකවිධ වෙනස්කම් තියෙනවා...හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..කොච්චර ඔහොම වම දකුණ කියලා අර්ථ දැක්වුවත් ඕක 100%ක් නෑ..අපි බහුතරයකට තියෙන්නේ mix එකක්..ඒ mix එක සමහරවිට වමට හෝ දකුණට ටිකක් බර වැඩිවෙන්න පුළුවන්...

ඉතිං බලන්නකෝ ට්‍රයි එකක් දීලා...මම කලින් කිව්වා වගේ මම දකුණේ...ඔහේ? ;)


Tuesday, November 4, 2014

බස් ගමන

ඔප දැමූ කොපුලක
සැතපෙන්ට වලිකන
පුරුෂ නිමිති දෙකක්'තර..
වකුටුකරවා අඬු ටික
ඉන්න හැටි 
නොදකිත්ය ලොව..
දුටුගැමුණු කුමරාට 
කරන්නට රීමේක්
කෙලෙස හිඳගන්ට පහසුවෙන්,
උතුරිනුත් කුඩයකි
දකුණිනුත් කුඩයකි
එසවෙන්ට වෙර දරන..



Saturday, November 1, 2014

මඟුල් කෑම!

ඕං අද කියන්න යන්නේ මඟුල් කෑමක් ගැන! වෙන කාගේද ඉතින් අපේ තමයි..:D

දැන් ඔය කසාද බඳින්න බලං ඉන්න ඈයෝ එහෙම හොඳට හරිබරි ගැහිල වාඩිවෙලා එහෙම මම කියන දේ සාවධානව අහං ඉන්ට ඕන..නැත්නං තොපිට තේරෙයි මඟුල් කෑමේ රඟේ...! 

අද කාලේ මංගල්ල මහ කෝලම් මඩු නෙව..දන්නවනේ...ඔය කෝලම් මඩුවත් ඉතින් ඒ ඉට්ටැයිල් එකට තියෙන්ට ඕන..නොට් අප් ටු ද ස්ටැන්ඩර්ඩ් නම් ඉතින් රටේ ලෝකේ ඈයොන්ට නෙව ලැජ්ජාව!

ඕං ඉතිං අපි බඳින්ට කියලා හිතාන පටන් ගත්තා කියමුකෝ ඔය ප්‍රදර්ශන වන්දනාව...අවුරුද්දකට විසි තිස් සැරයක් තියෙනවා නෙව ඕවා...අපි ඉතිං ඕවායේ රිංගලා බෝතල් පත්තරේට විකුණන්න ඇහැකි තරම් කඩදාසි මිටි කරගහං ගෙදර එනවා..ඊටපස්සේ ගුලිෆයි ඇන්ඩ් විසිෆයි තමයි වැඩිමනක්, මොකෝ මෙලෝ රහක් නෑ ඔය බහුතරයක්...කඩදාසි තියෙන්නං වාලේ ගහලා...පිටි උලපු මූණු පුරෝලා....වස ලස්සනයි...! :D

කොහොමින් කොහොමහරි ඕවා බලලා, ජංජාලේ කරණම් ගහලා, අමාරුවේ වැටිච්ච උන්දැලගෙන් දැනමුතුකම් අරගෙන, බජට් කොරලා අන්තිමට තෝරගත්තානේ බාසුන්නැහැලා ටික...ඊටපස්සේ තමයි ඇත්තටම නියමම මඟුල් කෑම...නරි කුකුලාගමු ගියා නම් මොකෑ කිව්වලු!

දැන් ඔය මනමාලි, ඒ කිව්වේ මම ..හරිය? අන්ඳවන්න සැට් කොරගත්තනේ දැන් මහ ගෙයක් කොරන සුප්‍රසිද්ධ කෙනෙක්..එයැයි ඉතින් හොඳට ඇන්ඳුව එදා නම් අපරදේ කියන්ට බෑ...හැබැයි ඉතින් ගාණත් ඒ වගේමයි ඉස්තරං ඇන්ඳිල්ල! ඔය කවුරුත් කියන කතාවනේ 'ඕගොල්ලොන්ට ඕන විදිය කියන්නකෝ මම ඒ විදියට තමයි කරන්නේ' කියලා...ඕව හෙන බයිලා ඉතිං..මොකද එහෙම කිය කියා එයාලට ඕන විදියට තමයි වැඩේ වෙන්න බොහෝ වෙලාවට...හැබැයි ලේසියෙන් අන්ඳගන්න බෑ කියලා හිතෙනවා නම් එයාල සද්ද වහලා 'තොට ඕන නම් ඇඳගනිය' කියල ඉන්න වෙලාවලුත් තියෙනවා...වැඩේ ඉතින් බොහොම ටැක්ට්ෆුලි කොරගන්ට ඔය වෙන්ට මනමාල මහත්මියලා දැනගන්ට ඕනි...

Friday, October 24, 2014

තුවාල..

තුවාල...
අපි හැමෝටම තියෙන තුවාල...
සමහර ඒවා තාම සීරුම්..සමහර ඒවා සුවවුණ කැළැල්..තවත් සමහර ඒවා උඩින් හොඳවුණ යටින් තාම අමු ගැඹුරු ඒවා...තව සමහරක් සදාතනික කැපුම්...

ඔව් ඔබටත් ඇති..මටත් තිබුණා..තවම තියෙනවා..

මගේ හිත හීරිලා තිබ්බා..හීරුමක් තිබ්බට මක්වෙනවද?..මම එහෙම හිතුවා..
හීරුම පස්සේ කාලෙක ලොකු කැපුමක් වුණා..අඩියට ටිකක් උඩට වෙනකල් ගැඹුරට හෑරිච්ච...
ඔසුවක් කියලා කෙනෙක් ඇසිඩ් වක්කලා ඒකට...
වේදනාව ගැන කොහොම කියන්නද?..
තුවාලේ එක්කම හදවතේ පැත්තක් කරකුට්ටන්වෙලා ගියා..ඇඹරිලා විරූපී වුණා..
කාලෙකට පස්සේ කෙනෙක් අයිස් ගෙනාවා..අයිස්වලට සුවයක් දැනෙන බවක් හිතුණා...
නෑ...අයිස් ඇසිඩ්වලටත් වඩා විසයි...අයිස්වලට පිච්චෙනවා කියලා තේරෙද්දි තුවාලේ තවත් ටිකක් පිච්චිලා ඉවරයි...

හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...



රිදුම් දෙන 
ඇදුම් කන
හදවත මගේ...

Saturday, October 18, 2014

ඒ කාලේ ටෙලි!

සාමාන්‍යයෙන් සෙනසුරාදා තමයි අපේ පැරණි රසාංග දවස..ඒ කිව්වේ අතීතාවර්ජන, පැරණි ඕපාදූප, අලගිය මුලගිය වැලගිය තැන් කතා වෙන දවස..එදාට එක එක මාතෘකා එහෙම මතුවෙනවා..ඒ වගේ අද ඇදිලා ආවේ ඉස්සරකාලේ ගිය ටෙලි නාට්‍ය ගැන...දැන් එව්වා නම් නාට්ටි..ඉස්සර එව්වා නාට්‍ය කියලා හිතෙන්න ගත්තේ ඒවා ගැන හොයලා බලන්න ගත්තුවම...බලමුකෝ මෙව්වා ඔහේලටත් මතකද කියලා...

ඕං ඔය ලින්කුවෙන් බැලුවම මතක් කොරගන්න ඕනෑ අය..මට මතක හැටියට මේක විකාශය වුණේ 90 දශකයේ මුල භාගේ වගේ..ඒ කාලේ බට්ටියෙක් වුණාට මට ඕක හොඳට මතක කතාවක්..කොටින්ම කිව්වොත් මම ඕකේ විස්තර කථනය දුන්නු හැටි අහං හිටි අපේ අම්මා මට හෙණ නෝණ්ඩියකුත් දාපි! "ඒ කාලේ චූටි ලු, ඒ වුණාට ඔව්වා නම් හොඳට මතකයිනේ??මටවත් මතක නෑ!" O_o

ඔය කතාව තියෙන්නේ වලව්වක ජීවත්වෙන අම්මයි දුවල තුන්දෙනායි ගැන..දුවල තුන්දෙනායි සෙට්වෙන්නේ හෙණ සිරා සල්ලිකාර කොල්ලෝ තුන්දෙනෙක්ට...ඔන්න ඒකයි කතාවේ සාරාංශය...ඉතින් ඔහේලට හිතාගතහැකිනේ ඇයි අම්මා මාව නෝණ්ඩි කළේ කියලා..අපි පුංචි දවසේ ඉඳන් ප්‍රේමයට සංවේදී නෙව! ;)

ඒ විතරයැ ඕකේ රඟපානවා නෙව අපේ මාමා...කවුද ඉතින් මහින්ද මාමා...ඕකෙ ඔය වලව්වේ කෙල්ලෝ තුන්දෙනාගේ ඇමති මාමා තමයි එයා..ඇමති මාමා ආව දුරක් ඈ! :D

තව ඔය පටන්ගැන්මේ බලන්ටකෝ දමිත් ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, අජිත් ජිනදාස වගේ අයගේ හැඩ..! එයාලා තමයි ඔය වලව්වේ දූලා තුන්දෙනාට දැල දාන්නේ..:D

Wednesday, October 8, 2014

බන්දු අයියා

බෙලිඅත්ත ගැටමාන්නේ සිට කොළඹට පැමිණි බන්දු අයියාගේ ගරාජය තිබුණේ නුගේගොඩ හංදියට නුදුරිනි.හරියටම කිවහොත් නුගේගොඩ මැක් ඩොනල්ඩ් අවන්හල ඉදිරිපිටය.90 දශකයේ මුල ලංකාවේ මැක්ඩොනල්ඩ් හිටියේ නැත.උන්නේ කාටූන්වල ඩොනල්ඩ් ඩක් පමණය.මැක් ඩොනල්ඩ් හැදෙන්නට පෙර එතැන තිබුණේ වසරින් වැඩි කාලයක් වසා තැබුණු පත්තර කඩයකි.තනි තරුව බබා කාලයේ පුංචි, බිංදු, චූටි තරු ආදී අනේකවිධ නම්වලින් තිබූ සිඟිති පත්තර ගත්තේ එතැනින්ය.අවංකවම කිවහොත් ඒ කඩය ඇර තිබුණොත් ඔය තරු බබාට පත්තරයක් නිකංම ඕනෑ වෙනවාය.ඒවාට පොඩි එකාගේ තිබූ පෙරේතකම කෙතරම්ද යත් මේ ලඟකදී වේපස්වී යනතුරුමත් පුංචි කාලයේ ගත් පත්තර ඔක්කෝම ගෙදර තිබුණේය.විසි කරන්නට නොදී කුම්මැහිකමට බදාගන්නා නිසා ඒවා ආදාහනය කොට තිබුණේ මට හොරෙනි.:'(





Saturday, September 20, 2014

සකායි

ඈත ඔරලෝසු කණුවේ අළුයම දෙකේ කණිසම වදිනවා ඇහුණේ හීනෙන් වගේ..මංවත් නොදැන ගලාගිය කඳුළක තෙත මුහුණ මත...මාව මේ තරම් ප්‍රබල කම්පනයකට පත්කරවන්න සමත්වුණ "සකායි" සීතල අඟිලිතුඩුවලට හිරවෙලා හිටියා..මං කියවමින් උන්නේ අවසාන පිටු කීපය...වෙලාව කොතරම් ඉක්මණින් ගතවෙනවාද කියලවත් නිච්චියක් නොවෙන තරමට මං ජොසුයි සකායිගේ පුදුමාකර ප්‍රේමය තුළ හිරවෙලා හිටියේ...

මං තේරුම් ගන්න උත්සහ ගත්තා, අහඹුවක් වගේ ලැබුණ එක බැල්මක් දිගේ ගමන් ගත්ත ජොසුයි සකායිට ඇලන් කෙනඩිගෙන් ලැබුණේ ඇත්තටම ප්‍රේමයක්ද නැත්නම් ඇගේ සුකොමළකමට, ඇගෙන් පළවුණ පෙරදිග ලාලිත්‍යවත් ගැහැණුකමට ඇතිවුණ නොනිම් ආසාවක්ද කියලා..තමන් දැඩිව ආදරය කළ සාම්ප්‍රදායික ජපන් දෙමව්පියනුත්, තමාට දැඩිව ලෙංගතුවුණ යහපත් තරුණයෙකුත් හැර දමා ඇය ගිය ගමන නැවතුණේ කොතැනද?..

මේ 'ප්‍රේමය' කියන සංවේදනය නැතිනම් හැඟීම මහ පුදුමාකාර දෙයක්...මිනිස් ප්‍රාණියෙක් කොතරම් ශක්තිමත්වුණත් බලගතුවුණත් මේ ප්‍රේමයෙන් බිඳුවක් ඇති ඔහුට දුර්වලවන්නට..ඒත්, ඒ ප්‍රේමයේ සියළුම මුහුණුවර හමුවේ ජොසුයි සකායි හිතාගන්නටත් බැරිතරම් ශක්තිමත්....

Friday, August 22, 2014

වාරියපොළ සහ අතවර

මේ දිනවල මාධ්‍යවල, බුකියේ, ගොසිපන්ගේ ප්‍රියතම මාතෘකාව වාරියපොළ සිදුවීමය.කෙල්ලක කොල්ලෙකුට අත පුරවා කණට ගසන බැණ වදින ආන්දෝලනාත්මක වීඩියෝව බැලු බැලු හතර අතය.ඊට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටුවිට මෙය ලියැවෙන්නට හිතට ආවේය.

සැලකිය යුතු: : මම සිද්ධිය ඇසින් දුටුවෙක් හෝ කණින් ඇසුවෙක් නොවෙමිය.

ප්‍රවෘත්ති කියා ලැබෙන ඕපාදූපවල ආකරයට නම් ඇය හැඳ සිටි ඇඳුමට මොනවාදෝ කියූ නිසා ඌට අම්බානකට කන්නට වී ඇත්තේය.ඔය වීඩියෝව දුටු ඕනෑම කෙනෙකුට හැඟෙන දෙය නම් ඈ කෙසඟ කළු කෙල්ලක බවත් (අපහාසයක් නොවේ) ඇඳ සිටින ටීෂර්ටයේ උරිස් පේන්නට කපා ඇති බවත් ඩෙනිම ටයිට් බවත්ය.දැන් පෙරලෙන පැත්තේ හැටියට සියල්ලටම මුල ඔය කී ඇඳුම හා ඇගේ සිරුරය.

Saturday, August 9, 2014

ප්‍රේම කළලය...

ලුහුබැඳ එකිනෙකා අවසන 
යටත් විය,
එකෙක් අනිකාට...
ඉඳින් පොදි කෑ සිතුම්වැල්  අතර
යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක...
බිඳින් බිඳ ලේ නහර දළු ලා
වැඩිණි කළලය පපු කුහර තුළ..
දත්තෙමු ප්‍රේමයේ කළලය
පාරමී පුරන වග..
එක් සැණෙන් බිඳ වැටිණි
සිහිනයෙන් පොළොවට..
නොදැනීම ගබ්සා විය
ප්‍රේමයේ කළලය...



Friday, August 8, 2014

දිල් පීචං ක්‍යා හේ - අවසාන කොටස

4වන කොටසට

20වෙනි රූප රාමුව:
රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...

"පුතා.."

"පපාජී.."

"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."

රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..

"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..

පපා ඔළුව වනනවා...

"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග ඇරලා කතා කරනවා..

රාජ් ටිකක් වෙලා පපා දිහා බලා ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...

"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...

පපා කලබල වෙනවා..

"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"

"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ් මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...

පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින් හිටගන්නවා...

පපා  තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...

"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."

"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...

"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."

රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...

පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...


Thursday, August 7, 2014

මගේ දෝතට නෑවිත් නුඹ...

විද්‍යාල මාවතේ මහ රූස්ස ගස් අතරෙන් ඇවිදන් යන්න මම පුදුම තරම් ආසයි.මැයි මල් පිපෙන කාලෙට මල් පාවඩ එලාගෙන මං එනතුරු බලං ඉන්නේ ඒ යෝධ ගස් පෙළ..

මගේ හිතේ ඒ හා සමානව මල් පිපිලා..ඒත් බලං හිටියට මගේ හිතේ මල් වැස්සක් වැටෙන්න හේතුවක් නෑ...තාම කවුරුවත් ඒ පාරෙන් ඇවිල්ලා නැති නිසා...

අද ඒ ගස් මල් වරලා..ඒත් මගේ හිතේ මල් පිපිලා..
පොදයක් වැටුණා වුණත් තෙමුණා කියලා අවුලක් නෑ...බය තියෙන්නේ අළුතෙන් ලියලා බෑග් මල්ලට ඔබාගත්තු නාට්‍ය අත්පිටපත ගැන විතරයි...ඒත් කමක් නෑ...අළුතෙන් ලියන්න මට සේරම මතකයි...

ඒ යෝධ හෙවණේ වැස්සේ සීතල සුවඳ එක්ක කැලතුණු තව මොකද්දෝ මහ අමුතු සුවඳක් තියෙනවා..මම නැවතිලා ලොකූ හුස්මකින් ඒ සුවඳ මට අයිති කරගන්නවා...ඒත් සුවඳ රැඳෙන්නේ නෑ...

Sunday, August 3, 2014

කැරපොතු සංහාරය

කැරපොත්තා ලෝකයේ පිරිසිදුම සත්වයායැයි මොකෙද්දෝ එකෙක් කියා ඇත්තේය.ෂුවර් එකටම ඌ නම් නොම්මර එකේ හපුට්ටෙක් විය යුතුය.මට ඔය කියූ එකා අසුවුණානම් අර පීතර මල්ලීගේ (Pied Piper)මීයන් වශී කරන නලාව වාගෙ මොකක් හෝ අටමගලයක් අටවා දී ලෝකයේ සිටින කැරපොත්තන් සේරෝම උගේ පස්සෙන් යන්නට සලස්වනවාය.එතකොට බලන්නට බැරුවාය රඟේ!



කැරපොත්තා කෙතරම් අප්‍රසන්න සතෙක්ද යත් මට උගේ අඬු ටික දකින විට ඔක්කාරයට එන්නේය.එසේ වුවද අවිහිංසාවාදී මම උන් පස්සෙන් පන්නා ගොස් මරන්නේ නම් නැත.ඌ උගේ පාඩුවේ ඉන්නා තුරු මට අවුලක් නැති නිසාය.එසේ වුවද කැරපොත්තා වුවත් මට ඇණයක් වන්නට ආවොතින් නම් පිරුවට යටින් ක්ලේමෝ මතුවන්නේය!

මේ ලියන්නේ එවන්වූ කැරපොතු සංහාරයකින් පසුය.

අද නම් මහා අප්සෙට් දවසක්ය.මහා පාන්දර 2ට මම කුස්සියට යනවිට කැරපොතු පාටියකි.මුනුත් රෑ ජාමේ නයිට් ක්ලබ් යන ඇමති පුතුන් වාගේය.මම නිදාගන්නට ගිය පැය 2ට උන් කුස්සියේ බජව් දමන්නට පටන්ගෙනය.මට ඉතින් මලෙත් හොඳම එක පැනගෙන ආවේය.මම පිරිසිදු දේශපාලනය පසෙකට දමා කොස්ස අතට ගත්තේ අවංකවම ඌ එළවා දමන්නටය.

Saturday, July 26, 2014

දිල් පීචං ක්‍යා හේ - 4වෙනි කොටස

3වෙනි කොටසට

16වෙනි රූප රාමුව:
ශිම්ලාවල දුරකථන කුටියක්..රාජ් වෙව්ලන ඇඟිලිවලින් නොම්මරයක් ඩයල් කරනවා..එයා ඉන්නේ බොහොම කලබලෙන්...කුටියට පිට පැත්තෙ පවුලූෂා හේත්තුවෙලා චුයිංගම් එකක් හප හපා කෙවිටක් වනවන වටේ පිටේ යන කෙල්ලොන්ට පැණි හලහලා ඉන්නවා...රාජ් වරද්ද වරද්ද ඩයල් කරනවා..ඇතුළෙන් කිසිම සද්දයක් නැති නිසා පවුලූෂා දුරකථන කුටියේ දොර ඇරලා ඇතුළට එබෙනවා..

"අරේ යාර් මොකද වෙන්නේ?"

"මං මේ ඩයල් කරනවා..උඹ පලයංකෝ..ආවා මෙතන එබෙන්න..චුප්.." රාජ් පවුලූෂාගේ ඇඟට කඩං පනිනවා..ඒකා නෙවෙයි වගකටවත් ගන්නේ..මොකද එයා දන්නවා අපේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා වෙන වෙලාවට වීරයා වුණාට දැන් නම් අම්බානෙක බයවෙලා ඉන්නේ කියලා...ඉතිං එයා කරුණාව ඉතිරි පැතිරී ගිය හදවතින් යුතුව ටෙලිෆෝන් එක උදුරලා ගන්නවා..

Thursday, July 24, 2014

දිල් පීචං ක්‍යා හේ - 3වෙනි කොටස

2වෙනි කොටසට

12වෙනි රූප රාමුව:
සප්නාගේ ජීප් එක නොපෙනී යනකම්ම කඳු මුදුනට වෙලා ඉන්න රාජ් එහෙමම බිම වාඩිවෙනවා..ඒ එක්කම ප්‍රේක්ෂකයාව අඬවන ජාතියේ විරහ ගීයක් පටන් ගන්නවා...රාජ්ගේ ඇස් වලින් උල්පතක් වගේ කඳුළු බේරෙනවා..."උඹ මගේ අහසය පොළොවය - ඉරය හඳය - හඳ පලුවය තනි තරුවය..ඕයි ප්‍රියා ප්‍රියා - ඈ දාලා ගියා" කිය කියා එයා ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා...එයාගේ ඇට්ටර පොඩි යාළුවා දුකෙන් බලන් ඉන්නවා...ඒ දෙන්නත් එක්ක නටපු පොඩි උන් "අක්කා කෝ?" කියල දුවන් ඇවිත් අහනවා..රාජ් උත්තර නොදී උන්ගේ ඔළු අතගාලා යමින් ගමන් කඳුළු පිහිදගන්නවා...

ඒ අතර ආපහු යන කට්ටියව පෙන්නනවා..විරහ ගීයේ ගායිකාවගේ කොටස ගැයෙනවා..ඔක්කෝම පිස්සු නට නට යන අතරේ සප්නා විතරක් දොරට ඔළුව තියන් පහුවෙන ශිම්ලා දිහා බලන් ඉන්නවා..එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු කැට රත්වෙච්ච තාර පාරට වැටිල වාෂ්ප වෙනවා..ඩ්‍රයිවර් ලොල්ලා සප්නාව අනික් අයට පෙන්නලා උරහිස් අකුළනවා..එයාලත් අනික් අතට මොනා කරන්නද මන්දා කියලා සංඥා බාසාවෙන් උත්තර දීලා උරිස් අකුළනවා...

අඬ අඬා ඉන්න රාජ්ට පේනවා සප්නා ආයෙත් හැරිල ඇවිත් ඉන්නවා..රාජ් 'සප්නා' කියලා පුදුමෙන් කියාගෙන ඉස්සරහට දුවලා ගිහින් එයාව බදාගන්නවා...ඒත් එක්කම එයා දකිනවා ඒ සප්නා නෙවෙයි තමන්ගේ ඇට්ටර යාළුවා - පවුලූෂා කියලා..එයා දුකෙන් අත් ගසා දාලා අත් දෙක සාක්කුවල ඔබාගෙන තොල හපන් ඇඬුම් වාවගෙන කඳුළු බිමට වැටෙයි කියලා උඩ බලාගෙන දේව්දාස්ගෙ මල්ලි වගේ වැනි වැනි ඈතට ඇවිදන් යනවා...

Wednesday, July 23, 2014

දිල් පීචං ක්‍යා හේ - 2වෙනි කොටස


1වෙනි කොටසට

6වෙනි රූප රාමුව:
තාර පාර උඩ හැටට හැටේ යන වාහනේක රෝදයක්..ඒක එන්න ඕන පාරේ ඉඳන් රෝදේ දිහා බලන විදියටයි...
ඒ එක්කම 'ක්ක් රී....ස්ස්ස්ස්...' ගාල බ්‍රේක් පාරක් වදින්න ඕන...

දැන් කැමරාව උඩට යනවා..වාහනේ පොඩි පරණ ජීප් එකක්..බ්‍රේක් එකක ගහපු පාරට ඒකේ ගිය කොල්ලෝ කෙල්ලෝ නඩේ ඉස්සරහට විසිවෙලා ආයෙත් පස්සට විසිවෙන්න ඕන..සප්නාගෙ ඔළුව ජීප් එකේ හරස් පොල්ලක වැදිලා 'අයියූ මොනවා කරනවද මන්දා" කියලා බනින්න ඕන..ඩ්‍රයිව් කරන්නේ අර ට්‍රිපේ අදහස දැම්ම ලොල්ලෙක් වගේ කොල්ලා...එයා ඒ බැණුම ටෝටලි ඉග්නෝ කරලා ඈත පේන කඳු යාය දිහා බලන් 'ආහ්හ්...වට් අ වියුව් සප්නා' කියලා කෙඳිරි ගාන්න ඕන...ඊටපස්සේ කට්ටියම ජීප් එක පාර මැද්දේ නවත්තලා ඈත පේන කඳු යාය දිහා බලන් වශීකෘත වෙලා ඉන්න ඕන..කඳු මුදුන්වල රැඳුණු සුදුපාට අයිස් දිහා බලන් හූල්ලන්න ඕන...

මගේ කුළුඳුල් බොලිවුඩ් අධ්‍යක්ෂණය - 1වෙනි කොටස

දිල් පීචං ක්‍යා හේ...

1වෙනි රූප රාමුව:
කකුලක්..
නෑ නෑ එහෙම කොරළ පිපිච්ච මයිල් බාගෙට ගලවපු කකුලක් නෙවෙයි..හයියූ..
මේක ඇවිල්ලා සිරා ෂයිනින් කකුලක්...ෆුල්ල් වැක්ස් එකක් දාලා බ්ලීච් කරලා ශිමරින් ලෝෂන් ගාපු සිරා කකුලක්...
කෙල්ල අබ්බගාත නෑ තේරෙනවනේ...ඒ නිසා කකුල කකුල් දෙකකට මාරුවෙන්න ඕන...
රායිටෝ..

දැන් දර්ශනය වළලුකරේ සිට ඉහළට ප්‍රේක්ෂකයාගේ කුතුහලය වැඩිකරමින් දණිහෙන් ඉහළට..
ඉහළට ඉහළට ගිහින්...
තව ඉහළට ගොසින් පුංචි කාලෙ ඇන්ඳටත් වඩා චූටිත්තං කොට කලිසමක් පේන්න ඕන..ඒකට සුකුරුත්තං බෙල්ටෙකක් දාලා...ඊලඟට සයිඩ් බෑග් එකක් පෙන්නන්නත් ඕන...අතක පොත් මිටියක් තියෙන්නත් ඕන..කෙල්ල තාම කොලීජි යනවා...අර කලිසම පිටින් තමයි...හරිය? 

Saturday, July 19, 2014

පෙමක හැඩ..

ඔහුගේ අතේ කිළුටු පාට ට්‍රැවලින් බෑගයක්.අසුන් ඇන්දකට හේත්තු වූ සැණින් එතෙක් වේලා නිරපරාදේ කියවමින් උන්නු නිවේදිකාවගේ හඬත් සමග ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත වුණා..

තවත් මොහොතකිත් නිහඬ බවේ දැහැන් බිඳුණා, ඒ ස්වරයෙන්..

"සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දුන මැනවි තව දුක නොදීලා
වැදූ මව්නි පියතුමනි කරුණාව පාලා.."

ඔහුට තිබුණේ අපූර්ව හඬක්..සෝමතිලක ජයමහ මහතා ගයන ගීයක් ඔහුත් ඊට නොදෙවෙනි ප්‍රතිභාවකින් ගයනවා..ඒ මුහුණ සන්සුන්..දෙනෙත් පියාගෙන ඔහු ගීතය තුළ දැහැන්ගත වෙලා.

"මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.."

ඒ හඬ ඔහු හසුරවන්නේ පරිස්සමින්, හරියට බිඳෙන සුළු දෙයක් පරිස්සම් කරනවා වාගේ..හඬේ උස්පහත්වීම්, අලංකාර ඔහු මෙතරම් මිහිරිව ගයන්නේ කොහොමද..

Monday, July 14, 2014

රැග් එක

මේ සිද්ධිය වුණේ ඉතින් තනි තරුව උපෙළ කොරලා ගෙදර හිටි කාලේ..මේ කියන්නේ දැනට දශකයකට කලින් හරිය..දැන් වගේම ඉතින් ඒ කාලෙත් කට්ටිය එක එක එව්වා කොරනවනේ ඔය උපෙළින් පස්සේ..සිමා දොන් සිමා කියකියා ඔව්වා කොලාට තනි තරුවට ඒක ගැන එච්චර උවමනාවක් තිබ්බේ නෑ...ඒත් ඉතින් දෙයියනේ කියලා පොතක් පතක් කියවාගෙන කවියක් දෙකක් ලියාගෙන උන්නු මාව ගෙදර තියාගන්න අපේ කස්ටිය කැමති වුණේ නෑ...හැමදාම වටමේස සාකච්ඡාව ඊලඟට ඉගෙන ගන්න පටන් ගන්න දේ ගැන...ඔන්න බලමුකො ඔය ප්‍රජතන්ත්‍රවාදෙක හැටි...

අහන අහන හැම මඟුලටම (මංයෝ නෙවෙයි මම මේ කිව්වේ) මගේ උදාසීන ප්‍රතිචාරය නිසා අපේ සීයා යෝජනා කළා මාව දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට දාන්න..ඔන්න ඉතිං ඔය අටමගලෙට මාව එක්කං ගියා...ඒක ඔය කැම්පස් එකක් නොවුණට එකේ අයියලා එක නිලනොලත් කැම්පස් එකක් කොරගෙනයි හිටියේ..මම ගියේ කළමණාකරණ මොකද්දෝ එකකට..ඉතිං පළවෙනි දවසේ පාවඩ දාල පිළිගෙන අපිට සීනියර්ලා ඇවිත් දුන්නා නෙතින් කඳුළු කැට වැටෙන හර්දයාංගම මෙව්වා එකක්..එයාලා කිව්වා අපිව ආරක්සා කොරන එක එයාලගේ වගකීමක්ය ඒ නිසා අපට තනියම විද්‍යාල භූමිය ඇතුළේ අරහෙට මෙහෙට යන්න එපාය කියලා..සහෝදර ප්‍රේමය කියන්නේ විවේකයේ අත් සෝදන්න යද්දිත් අපිව එක්ක ගියේ පෝළිම් හදවලා ප්‍රභූ ආරක්ෂාව මැද්දේ...අපි ඉතින් හෙණ වී අයි පී හරිය...ඒ අස්සේ අපිට ඇහෙනවා එහා සෙක්ෂන්වල වීදුරු කැඩෙනවා, දොර ජනෙල් දෙදරනවා, තුවාලකාරයෝ ගෙනියනවා, සීන් ගොඩයි..ඉතිං අපේ දයාබර අක්කලා අයියලා ඇවිත් කියනවා 'පේනවා නේද නංගී මල්ලී, උඹලා අපේ පොඩි උන් අපි උඹලට එහෙම කරන්නේ නෑ' ආදී වූ නොයෙකුත් වැල් බයිලා..අපි ඉතින් හරි සන්තෝසෙන් හිටියා...

ඔහොම සතියක් ගතවුණා පිංවතුනි..
ඊලඟ දවසේ එක සැරේම සැට් එකක් අපේ පංතියට කඩා පාත්වුණා..දොර ජනේල් සේරෝම වැහුවා...ආවේ ඒ මෙච්චර දවස් ආදරේ පෑව සීනියර්ලා ටිකම තමයි..ඇලුතෙන් ඇඩ් වෙලා හිටියා කොණ්ඩේ වවාගත්තු, රිදී දම්වැල් බෙල්ල වටේ දිලිසෙන, 'වයි' ජෙනරේෂන් පශ්චිම භාගයෙන් පෙන්නන් කලිසම් ඇඳගත්තු අමුතු ඩයල් කීපෙකුත්...අපි ඉතින් කොහොමත් කෝල කොමළ කෙල්ලෝනේ...දැන් වගේ ප්‍රචණ්ඩ නෑ ඒ කාලෙ...ඉතින් ඇකිළිලා ගුලිවෙලා අපි 45ක් විතර ගැහි ගැහි ඉන්නවා..උන් ඇඳ පොලු වගේ පොලුවලින් ගුරු මේසෙට ජනේල් දොරවල්වලට ගගහා අපිට අමු තිත්ත කුණුහරුපෙන් දෙසනවා..වැල්ලේ වගේ ඩයල් එකක් තමයි ලීඩ් කරේ..මිනිහාගේ දේශනාව මාරයි ඉතිං මොකද එයැයි කියනවා උන් රෑ එළිවෙනකල් පෝස්ටර් අඳිනකොට කවන්නේ පොවන්නේ උන්ගේ බැච් එකේ කෙල්ලෝ ලු..උන්දැලගේ යට ඇඳුම් පවා හෝදලා දුන්නේ කෙල්ලෝ ලු...අරවලු මේවලු..අපිත් එව්වා කොරන්න ඕනලු..ඉතින් ඔය මේ වගේ කාලේක නම් වොශිං ප්ලාන්ට් එකක් දාගන්න තිබ්බ ඕක ඇතුළේ.මොකෝ ඉතිං මේ කොහෙවත් ඉන්න උන්ගේ යට ඇඳුම් හෝදන්න ඕකට යන්න ඕනැයි! අනික ඉතින් උන්ගේ තිබ්බ හපුටු පාටට මට නම් හිතුණා ඒව නෙවේ මූණක් කටක්වත් හරියකට හෝදගන්නවද මන්දා කියලා..



Friday, July 4, 2014

ප්‍රත්‍යස්ථතා මාපාංකය

හිත ඇදිලා...නෑ කැඩිලා බිඳිලා විසිරිලා...

හැමදාම අලවනවා..ආයෙත් බිඳෙනවා..බිඳුණු හාවුණු සලකුණු කොයිතරම්ද...දැක්කද?..

උසස් පෙළට ඉගැන්නුවා ප්‍රත්‍යස්ථතා මාපාංකය...හැබැයි රබර්වල...එයිනුත් අවුරුදු කීපෙකට පස්සේ කවුද හිතුවේ හිතටත් එහෙම එකක් තියේවි කියලා...

හ්ම්ම්...හිතටත් තියෙනවා...ආතතිය වැඩිවෙල වැඩිවෙලා දරාගන්නම බැරි තැනකට ආවම හිතේ ප්‍රත්‍යස්ථතාව නැතිවෙනවා..හිත තිබ්බ තැන ඔහේ ඉන්නවා..ආයෙ මුලට යන්න බෑ...අන්තර් බල උත්සහ කරනවා..ම්ම්හු...බෑ කියලා හිතූ තැනම ඉන්නවා..

අන්න ඒ වගේ...අවුරුදු ගාණක් හිත එක්ක සෙල්ලම් කරලා හිත දැන් නැවතිලා...
මුලින්ම නුඹට ලැබුණේ බොහොම මටසිළුටු හිතක්..කට්ට කාල තිබ්බෙ නැති...ලේසියෙන් රිදවුණා..තැවුණා..දැවුණා..නුඹට විනෝදයක් වුණා ඒ හිත කෙනිත්තුවම නිදිකුම්බාවක් වගේ ඇකිලෙන හැටි..ඊටපස්සෙ නුඹට ඕන වුණා පාගලා බලන්න...හිත මලානික වෙලා යන හැටි...ටිකෙන් ටික නුඹ දරුණු වුණා...
හිත ඉවසුවා...හෙට නවත්තයි කියලා අළුත් බලාපොරොත්තුවක් හැමදාම හිතේ ඇතිවුණා..ඒ හෙට ටිකෙන් ටික ඈතට ගියා...බිංගෙයක් ඇතුළට ගියාම එළිය දොරටුව ඈත් වෙලා ඈත් වෙලා නොපෙනී යනවා වාගේ...මගේ ඒ හෙට ඈතකටම ගියා...නුඹ හිත පාගන එක නැවැත්තුවා...ඒවෙනුවට හිත විසි කරා අරහෙන් මෙහෙට, මෙහෙන් අරහෙට..හිත බිත්තිවල වැදි වැදී දෝංකාර දුන්නා...මගේ හිත පෑගුවට නුඹ තව සමහර හිත් ලස්සන කෙරෙව්වා..ආදරේ පෑවා..ආරක්ෂා කරා...මගේ හිතට විතරක් ඔය ඔක්කෝම අරියාදු...හිත ඔහේ වැටිලා උන්නා..ඒක තේරුම් ගත්තා මෙහෙම ඉඳලා බැරි බව...


Monday, June 30, 2014

ආවෝ ගියෝ..

අඳුරු වීදියේ කොණක,
ඈ හිඳී..
දුහුල් සළුපට,
පාට  වත්සුණු නැතුවාට..
ගිනිගත් මද්දහනේ
සිත පුරා ඔඩු දිවූ
ගිනිගත් හැඟීම්
දරාගෙන ඇදී එයි
හැඩිදැඩි පුරුෂාත්ම...
නිරුවත් කය උරා බී
නිල්කොළ කිහිපයට
සතොසින් නික්මයන දන...
වෙහෙසුණු දැවුණු ඉඳුරන්
කරපින්නාගත් ආත්මය
නුරා හැඟුමන් මුසුවුණු
අඳුරටම එක්වෙයි යළිත්,
නොහෙලූ සුසුමක් 
ළයේ ඉතිරිකර..
ඇයට නුදුරින් 
පහන් කණුව මුල,
වියරුව පහන් එළිය හඹාගොස්
මියැදුණු ජීවිතය..
"ආවෝ ගියෝ"...



Friday, June 27, 2014

බම්බුවේ බොග් රෝල්

මම කලින් වැඩ කල ඔෆීසිය තියෙන්නේ කොළඹ ප්‍රසිද්ධ බම්බුවක ලු ඉතින්.මේ කියන්න යන්නේ බම්බුවේ වැසිකිළි කැසිකිළි ජීවිතේ ගැන....

දැන් ඔය අපේ බම්බුවේ ඔෆීසි තොගයක් තියෙනවා.ඒවා එකිනෙකට වෙනස් නිකන් හරියට කුලියට ගත්තු කඩ කාමර වාගේ තමයි.ඔය හැමෝටම පොදු සිස්ටම් එකක් තියෙනවා.ඒ බම්බුවේ වැසිකිළි සිස්ටම් එක.

කොටින්ම කිව්වොත් ඒවා නම් බම්බුවේ වැසිකිළිම තම්යිලු ඕං.මොකද ඒවායේ සේදීමට වතුර නැත, පිහදගන්නට කඩදහි පමණය.දැන් ඉතින් ඔය වෙන්ට සුද්දෙක් හරි ජෙනුයින් සුද්දෙක් හරි එහෙමත් නැතිනම් වැසිකිළියාමෙන් පසුවවත් සෝදා නොගන්න හපුට්ටෙක් හරි මිසක් තේරෙනවනේ ඔහෙලට අපේ වගෙ පිරිසිදු රටකට ඕක හරිම අශික්ෂිත, අශීලාචාර, අවලක්සණ, ගන්දස්සාර වැඩක් බව.

Wednesday, June 18, 2014

ජාතිවාදියෝ සහ බුකියේ වීරයෝ!

අම්මට සිරිය! බුකියේ බැලු බැලු අත අතක් සහිත කහපාට ප්‍රොෆයිල් පික්ය.දශක තුනක යුද්ධයක් අවසන් කල මොහොතේ මෙහෙම සිංහ කොඩිවත් පෙනුණේ නැත.දැන් බලන කල බුකියේ සිංහල බෞද්ධ බල්ලෙක්වත් නැත.ඔක්කෝම ඇත්තේ සර්වාගමික සර්ව සාධාරණ නපුංසකයින්ය.සමහර මේ කහපාට පින්තූරය එල්ලාගත් උන්ගේ සැබෑ පැටිකිරිය දකිනා විට සිනහසෙන්නට වෙන්නේ පුටුවෙන් නැගිටලාය.ඒ තරමට උන් සර්ව සාධාරණය.සමහරුන්ගේ දෙමව්පියන් උප්පැන්නයට උවමනා නිසා දුන් ආගම මිසක ඇත්තටම උන්ට ජාතියක් ජම්මයක් කියා දෙයක් ඇත්තේම නැත.

පෝස්ටරයට හේතුව පහල වූ සිවිල් යුද්ධයක ලකුණුය.දැන් හැමෝම තොත්ත බබාලාය.ගැසූ එකෙක් නැත, සෙරෝම වැටෙන්නට කාලාය.දැන් මේ සියලු දේට හේතුව බොදු බල සේනාවය.ඒ රැස්වීම පැවැත්වෙන තෙක් එක මුසල්මානුවෙක්වත් වෙන ජාතියක එකෙකු දිහා රවලාවත් බලා නැත.උන් මල් දුන්නෙන් වැඩි අහිංසක බබ්බුය!

ඥානසාර හාමුදුරුවන්ගේ කතාවේ සමහර කොටස් සැර වැඩි බව හැබෑය.නමුත් එහෙම නොකියාත් බැරි අවස්ථා ඇත්තේ අපේ වසලයින්ට තම ඔළුවේ පහරා ගියත් වගේ වගක් නැති නිසාය.උන්වහන්සේ ඕවා කිව්වේ එළිපිටය.රහසේ කෙරෙන ඉගැන්නුම් ඊටවඩා බරපතලය.දැන් කෙලින් කියනා එකා නරක මිනිහාය, නොකියා යටින් ගේම දෙන එකා හොඳ එකාය.ඔය අපේ සමාජයේ ආකල්පමය ප්‍රශ්නයකි.මේ ජාති ආගම් ප්‍රශ්නවලට පමණක් නොව කොයි දේට ගියත් එහෙමය.හිනාවෙවි දෙකට නැවී ඇඟට මුත්‍රා කර ගියත් ඌ රත්තරංය.එසේ නැතිව මුත්‍රා බර බව කෙලින් කියූ එකා ජාතිවාදීය, ආගම්වාදීය, අප්සෙට්ය අරකය මේකය ලොවෙත් නැති එව්වාය.

Monday, May 26, 2014

ගල් මිනිසා

තවත් උදෑසනක් එළඹිලාය.තමාගේ පිරිවර සියොත් කැල ද පිබිද තටු ගසා මුව දෝවා දවස පටන් ගන්නට සැරසෙනු ඇයට පෙනිණි.පහළ මංමාවත් සංකීර්ණ අරමුණු කරා දිවයන ජනයාගෙනුත් දුම්දමමින් හඬ තලමින් ඇදෙන යකඩ යකුන්ගෙනුත් පිරෙන්නට පෙර දවස ඇරඹිය යුතුය.නැතිනම් දහවල වද්දී තටු ගසන්නට නොව සෙලවෙන්නට පවා නොහෙන තරම් අලසකමක් දැනෙයි.

ඇය අතු අගකට පැමිණ තටු සලා සූදානම් වූවාය.ඊයේ සවසත් හරි හැටි කෑමක් වැටී නැති කුස පුළුන් රොදක් වාගේ දැනෙයි.සියල්ලටම පෙර ඔහු බලන්නට යා යුතුය.ගතවූ රැයපුරා ඈ තම සිහින ඔහුගේ රුවින් පුරවාලූවාය.ඒත් හැබෑව වාගේම ඇගේ සිහිනද අවසානයේදී සිත රිදවූ බව මතකයට නැගී ඇගේ පියාසර වේගය මදක් බාලවිය.

"කමක් නෑ අදත් යනවා"

Friday, May 23, 2014

නුඹ..

නොගැයූ ගීයට පදවැල සැපයූ
අහිමි විජිතයයි නුඹ...
හදේ ස්වර තත් කඩා බිඳලූ
සොඳුරු වීණාව නුඹ...

පිපෙන්නට අරඇන්ඳ'මුත්
හදවිල නොපිපුණේ කිම?..
සිත පාරවා මල් මිලිනකොට
නෙත් කඳුළු උල්පත පිපුණේ නුඹ..

අඳුරු හදගැබ ඇඳුනු දේදුනු
දකින්නට නෙත් අන්ධවූ 'මුත්..
නොඇඳි සිතුවම කඳුළු බිඳු ගෙන
ඇඳෙන්නට පෙර බොඳකළේ නුඹ..



පසු සටහන:
හරියටම දශකයකට කලින් ලියූවක්.දශකයක් තුළ බොහෝ දේ වෙනස්වී තිබෙන බව අහම්බෙන් වාගේ මේ කවිය හමුවූවිට සිතුණා.සිතුම් පැතුම්, ආකල්ප, වචන... ඒ සේරටම වඩා හැඟීම් කොයිතරම්නම් ඉක්මණින් වෙනස්වෙනවද?..

නිර්මාණය සාර්ථකද කියලා දැන් නම් පොඩි කුකුසක් ඇතිවුණත් ඒ මොහොතේදී නම් ඒ වචනවල පෑරෙන රිදෙන ලොකු හැඟීමක් තිබුණ බව මතකයි.අතීත රිදුමක් නිකමට වාගේ ආවර්ජනය කෙරුණා..:)




Wednesday, May 21, 2014

සැලෝන් කතා - 2

සැලෝන් කතා ගොඩාක් මල්ලේ තිබුණට මොකෝ කියන්න වෙලාවක් ලැබුණේ නෑ නොවැ.. මම මේ කියන්න යන්නේ සැලෝන්වලත් ඉන්නේ නානාප්‍රකාර උදවිය කියලා හිතමිනුයි.

මගේ අද කතා නායිකාව, ප්‍රසිද්ධ සැලෝනයක හිටි ගෝලියක්.මෙයා හිටි තැන ලොක්කටත් පොඩ්ඩක් ගිනිපුක්ගාය තිබ්බ නිසා මෙයා වලියක් දාගෙන වගේ එතැනින් අහක්වෙලා තනියම සැලෝන් එකක් දාගත්තා.ලොක්කගේ තැන ඉන්ද්දෙදිත් මෙයාගේ වැඩ හොඳ නිසා ඔන්න දැන් මාත් ගියා මෙයාගේ අළුත් සැලෝන් එකට ඉතින්.

පළවෙනි දවසේ වැඩ ගොඩායි, කතා ගොඩායි, දුක ගොඩායි, සල්ලි එහෙම්මමයි.පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් ගතවුණේ ලොක්කගේ පතුරු අරින්න.දන්නේ නැද්ද ඉතින් ගෑණු උදවිය බහුතරයක් කතා කියන්න ගියාම හරි රසවත්නේ, නැද්ද මං අහන්නෙ? (බැඳපු උදවියට නම් ගෙදර ගෑණිගේ ඇර ඕන කෙනෙකුගේ කතා රසවත් ඇති මම හිතන්නේ)

Saturday, April 19, 2014

බලු පිස්සෝ

අපේ පවුලේ ඉන්නේ බලු පිස්සෝය.බල්ලන්ට බලවත් විරෝධතාවක් තිබුණේ තාත්තාගෙන් විතරක්ම වුවත් දැන් ඔහුටත් එහි වගේ වගක් නැත.එහෙම වුවත් ඔහු අප මෙන් බල්ලන් කරට ගන්නේ නැත.බල්ලන්ට බල්ලන්ගේ තැනත් කොල්ලන්ට කොල්ලන්ගේ තැනත් දී අපේ මහ රජ බලු පිස්සන් මැද විරාජමානව සිටී.

අපටත් වඩා බල්ලන්ට ලැදි අපේ අම්මාය.ඈ සිටින්නේ උන් කරේ තබාගෙනය.බල්ලන්ගේ සියළු ආවතේව කරමින් උන්ට පාන ස්නේහය වෙලාවකට අපටවත් නැතුවාය.මා හිතන හැටියට නම් ඔය ස්නේහය ගැන අපේ තාත්තාට ලාවට ඉරිසියාවක් වාගේ එකක් තියේය.ඒ බව දන්නා අම්මාත් ඔලොක්කුවට මෙන් ඒ ස්නේහය වැඩියෙන් පෙන්වන්නීය.



Saturday, April 5, 2014

මහා භාරතය

යටත්විජිතයක්ව හිටියා?? මේ අපි??
නැහැ වෙන්ට බැහැ...
අපි අධිරාජ්‍යවාදීන්!

කෝ ඉතින් උඹලාගේ අධිරාජ්‍යය??

ඇයි ඒ උඹලාගේ රට! ශ්‍රී ලංකාව!!
අපි කලාපීය ප්‍රබලයා!!

පල ඩෝ යන්න!

ඇයි මොකද?
අපි උඹලාගේ ලොකු අයියා!
අපි මහා භාරතය!

මොක කිව්වා??

මහා භාරතය!
භාරත පුත්‍රයෝ!
ඇයි අහල නැතුවද?
ලොව පුරා ඉන්නේ අපේ කස්ටිය!
ඉහිරිලා පැතිරිලා බැබළෙමින් ඉන්නේ!
අපිට උන් සලකන්නේ දෙයියන්ට වාගෙ..
සලකපියව් තොපිත් අපි උත්තම ඉන්දියානුවෝ!

ආච්චිගේ රෙද්ද!
තොපි නිසා අපිට වසන්ටත් නෑ!
හැබෑවටම ඇයි තොපි ඔය තරම් උද්දච්ච??

අපේ මුල් උතුම්!
අපි අති උත්තම රාමගේ දරුවෝ!
තොපේ මහ රාවණ වගේ නොවෙයි!
අපි රත්තරං තොපි තබක්ක!!
සුද්දොත් අපිට වඳින්නේ!


හා හා!! තොපේ මුග්ධකම!
රාමායණේත් හොරකම් කරපු තොපේ කට කයිවාරු!
නිදහස් සටනේ වැරදුණු තැන අන්න!
තොපි මහ මග එළි බැස්සවූ 
උන්දැලාට වැරදුණේ ඔන්න ඔතැනය!
දැන් තොපි ලෝ පුරා මහ මග පහරවා
ආසියාවේ ගරුත්වයත් කාණු පල්ලට යවන හැටි!!
තොපේ මහ භාරතය!!
තුඃ විතරක්! කටේ කෙළත් නැහැ!!

තමන්ගේ රටේ වැසිකිළියක් හදන්නට බැරි තොපි
බටහිරට ගොහින් කෙරුමෝය!
කසාගන්නට නියපොත්ත නැතුවත් කයිවාරුව ඇත!

අනේ යකුනේ තොපේ ඉදිමුණු ඔළු කටු!
ඇහැරිලා බලාපන්
උඹලා සුදු වෙලා!!

සහෝදරයා! නැගිටපන්!
හරි! උඹලා සෙලෝලයිඩ් ලෝකයේ වීරයෝ!
ඒත් ඇත්ත ජීවිතේ දුරයි..
රැජිණි කාන්ත් තිරයේ වීරයෙක් වෙන්න ඇති "උඹලට"
ඒත් හැබෑවට නම් වීරයෙක් නොවෙයි ලෝකෙට!
හරි! උඹලා කටු කන්න දස්සයි
ඒත් උඹලාට බෑ අපිට කටු විසිකරන්න!
උඹලාට ඇති ආත්මාභිමානයක්
ඇයි ඒක අනික් උන්ට අකැපද??
උඹලා ලොකු ඇති
ඒත් උඹලාගේ රටට!

ඉගෙන ගනින් සමානාත්මතාවයෙන් ජීවත්වෙන්ට!
උද්දච්ච ඔළුවලට දමාපන් සැනසීම
අපටත් උඹලාගේ පව් බිල් කරන්නේ නැතුව!



කළු සුදු

ඉවසන්ට බැරි 
සුද්දෝ නොවේ..
උන්ගේ පශ්චිම භාග ලොවිනා
අපේ කළු සුද්දෝය! 



Thursday, February 13, 2014

කල්ප කාලයකට පස්සේ..

කාලාන්තරේකට පස්සේ ඕං තනි තරුව පායන්නේ..

තනි තරුවට පහුගිය කාලේ පායන්න කාල වේලාවක් තිබුණේම නැති තරම්..මොකද තරුවක් උනත් හැමදාම දෙමාපියන්ගේ අහසෙම පායලා ඉන්ට බැහැ නෙව. ඉතින් තනි තරුව තව තරුවක් එක්ක දීග ගොහින් දැන් ඉන්නේ වෙන අහසක..:D

ඔය මංගල්ලෙ වැඩ කටයුතු නිසා බ්ලොග් අඩවියට ගොඩ වැදෙන්න තියා ඒ ගැන මතකක්වත් නොවෙන තරම, නහය ලඟටම වැඩ ගොඩක ගිලිලායි උන්නේ..මඟුල් කෑමේ විස්තර පසුව කියන්නට ඉඩ තියාගෙන මේ ලියන්නේ "ඕං මං ආවෝ" කියන්ටයි..:)