Thursday, August 7, 2014

මගේ දෝතට නෑවිත් නුඹ...

විද්‍යාල මාවතේ මහ රූස්ස ගස් අතරෙන් ඇවිදන් යන්න මම පුදුම තරම් ආසයි.මැයි මල් පිපෙන කාලෙට මල් පාවඩ එලාගෙන මං එනතුරු බලං ඉන්නේ ඒ යෝධ ගස් පෙළ..

මගේ හිතේ ඒ හා සමානව මල් පිපිලා..ඒත් බලං හිටියට මගේ හිතේ මල් වැස්සක් වැටෙන්න හේතුවක් නෑ...තාම කවුරුවත් ඒ පාරෙන් ඇවිල්ලා නැති නිසා...

අද ඒ ගස් මල් වරලා..ඒත් මගේ හිතේ මල් පිපිලා..
පොදයක් වැටුණා වුණත් තෙමුණා කියලා අවුලක් නෑ...බය තියෙන්නේ අළුතෙන් ලියලා බෑග් මල්ලට ඔබාගත්තු නාට්‍ය අත්පිටපත ගැන විතරයි...ඒත් කමක් නෑ...අළුතෙන් ලියන්න මට සේරම මතකයි...

ඒ යෝධ හෙවණේ වැස්සේ සීතල සුවඳ එක්ක කැලතුණු තව මොකද්දෝ මහ අමුතු සුවඳක් තියෙනවා..මම නැවතිලා ලොකූ හුස්මකින් ඒ සුවඳ මට අයිති කරගන්නවා...ඒත් සුවඳ රැඳෙන්නේ නෑ...

මම ඔය ඇස් දැක්කේ ඉස්සෙල්ලාම ඒ සුවඳ අයිතිකරගන්න උත්සහකරමින් ඉන්නකොට..
මට තියාගන්න ඕන වුණ සුවඳ වෙනුවට වෙන සුවඳක් මගේ ලඟ රැඳුණු බව මට දැනුණා..

"වසන්තයේ මල් සුපිපුණ
සුන්දරතාවය ඉහිරුණ
හද මඬලට - කවුදෝ ආවා.."

*************

ඒ ඇස් දෙවෙනි වතාවට මම දැක්කා...එවෙලේ නම් හීන් හිනාවකුත් එක්ක...
නාට්‍යයට නළු නිලියෝ තෝරන වෙලාව...සමහරුන්ට දෙබස් කියන්න බෑ, අභින හොඳයි...අභින නරක නම් දෙබස් හොඳයි...

මගේ ඔළුව විඩාවෙන් බරවෙද්දි ඡායාවක් වගේ මම ඒ ඇස් දැක්කා...ආයෙමත්...අර සුවඳත් එක්ක...

****************

මම වේදිකාවේ පහළ පුටුවකට වෙලා බලා ඉන්නවා..ඒ ඇස් තියෙන්නේ වෙනමම සමාධියක...මගේ හිතේ මැවුණ චරිතේ කොහොමද ඒ ඇස් වල ඔච්චර තදේට සටහන් වුණේ කියලා මම හිතමින් උන්නා...ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෑ...
ඔව් අහන්න බෑ...ඒ ඇස් ඉස්සරහ මම ගොළුවෙන හින්දා..

******************

ඇය දැනගෙන උන්නා...මට ඒ ඇස්වල බලාපොරොත්තු පෙනුණා...
මට විතරද? නෑ හැමෝම දැනන් හිටියා..
මගේ ඇස්වලින් මොනවා පෙනුණද කියලා ඒ කවුරුවත්ම කිව්වේ නෑ...

සුපුරුදු ගොළු හදවත ඈ නැති මොහොතට දොඩමළු වුණා..මාත් එක්ක අර යෝධ ගස් හෙවණේ ඇවිදන් යද්දි..ඒත් ඒ ඇස්වල පේන හීනේ මගේ කරගන්න ඕන කියලා කියන්න ගොළු හදවත නිර්භීත වුණේ නෑ...

උත්සහ කළේ නැද්ද..? දන්නේ නෑ..මට තේරෙන්නේ නෑ..

යාළුවෝ කිව්වා "මචං පරක්කු වෙන්න එපා" 
ඒ ඇස් අභින පෑවා "ඇයි පරක්කු?"

කොච්චර ඕන වුණත් මට කියාගන්න බැරිවුණා...ඒත් මම ආදරේ කළා..දිගක් පළලක් හයක් හතරක් නොදැන නොකියා හිතේ හිරකරන් හුඟක් ආදරේ කළා...නොකිව්වට කුරුටු ගී ලිව්වා ඈ වෙනුවෙන්...ඒත් හැඟීම් වචන කරන්න මම දැනන් උන්නේ නෑ...
පිපුණු මල් දවසින් දවස මැලවෙන හැටි දැක දැකත් මගේ මුරණ්ඩු ගොළු හිත...ඇයි උඹ මට මෙහෙම කළේ...

නාට්‍යයේ අවසාන දවසේ ඈ රඟපෑවේ නෑ..
කොපුල් තල කපාගෙන කඳුළු වැටෙද්දි අපි දැනන් හිටියා ඒ අඬන්නේ චරිතය නෙවෙයි කියලා..අනික් උන් අසරණව බැලුවා...ඇයි උඹ තාමත් පරක්කු...ඒ ඇස්වල වේදනාව හැමෝටම බෝ වුණා...

මං ඒත් බලං හිටියා...වේදිකාවේ නෙවෙයි ඈ උන්නේ මගේ හිතේ...අර මල් පිපිච්ච හිත් පාරේ ඈ ඇවිද්දා හිනාවෙවි...මගේ හීන ඒ ඇස්වල රැඳිල ඇඟිලිතුඩුවලින් තොල්පෙතිවලට සුවඳ කාන්දු වුණා..

හීන...හීන... 


********************

අවසාන දවස මාව පිස්සු වැට්ටෙව්වා...මගේ ගොළු හිතට සාප කර කරා බොඳවෙච්ච බැල්මෙන් මම යැව්වා පණිවිඩයක්...
"ඔබ දකින විට ගොළුවන'මුත් දිවඟ
ගොළු නැත ඔබ කෙරෙහි ප්‍රේමය.."

පිළිතුරක් ලැබුණේ නෑ....මම දැනන් හිටියා ඒ ඉවසීම කොමාවන් බොහෝමයක් පහුකරලා උන්නු වග...

ඒත් ඈ දැනන් හිටියා නම් එදා..
නෑ...ඈ දන්නෙ නෑ...
හිත ඈ ගැන හිතූ හැටි..

කාලය වෙනස් වුණා..මං වටා හැමදේම පාට අඩු වැඩි වුණා..ඒත් මට තනිකම දැනුණා..මගේ හිත කළු සුදු වෙලා..
පාට දකින්න ඉඩ නුදුන්න මගේ ගොළු හදවතට මම වෛර කරනවා..ඇයි උඹ මට මෙහෙම කලේ...

"මට මැරෙන්න ඕන"..ඔව් මම එහෙම කිව්වා...සිහිය විකල්වනතුරු මම ඈ ගැන පිපාසය නිවන්න ගත්තා...මිත්‍රයෝ ආයෙමත් කිව්වා "බීලා ප්‍රශ්න විසඳන්න බෑ...උඹ පරක්කු වෙන්න එපා.."
ඒත් මම දැනන් හිටියා මම පරක්කු බව...හුඟාක් පරක්කු බව...

මැයි ගස් මල් පුරාගෙන බලා උන්නා..ඒත් මගේ හිත මල් වරලා...

"හස අංගනාවන් සේ සඳ දිය වැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා කොහෙදෝ බැඳුනේ"

*********************

අවුරුදු 5ක් තිස්සේ..ඔබ විශ්වාස කරනවද?
ඔව්..අවුරුදු 5ක් තිස්සේ මම ඇගේ පිළිතුර බලා උන්නා...
හිත කොච්චර විඳෙව්වද මට කියන්න තිබුණු දේවල් ගැන..කරන්න තිබුණු දේවල් ගැන..පසුතැවෙනවා හිත..

ඒ අවුරුදු 5 පුරාවටම විද්‍යාල මාවතේ මල් පිපුණා..හේතුවක් නැතුවත් මම ඒ මල් පාවඩ පිට ඇවිද්දා...ඒත් මගේ හිතේ ආයෙත් මල් පිපුණේ නෑ..ඒ සේරම ඒ ඇස් එක්කම නැතිවෙලා ගියා...නැත්තටම....

"මගේ දෝතට නෑවිත් නුඹ 
කොහෙදෝ බැඳුනේ.."

***********************

මුහුදට ඉර පාත්වෙද්දි අවසාන දවසේ වේදිකාව උඩින් මගේ ඇස්වලට පාත්වුණු කඳුළු පිරිච්ච ඔය බැල්ම මතක් වෙනවා...
ඒ මතක අළුත් කර කර මම විකල්බව වැලඳගන්නවා..
ඔව් ප්‍රේමය තරම් සැප පාවෙන හිත....

ඒත් මට දැන් ඒ දුක දියකරන්න පුළුවන්...ඔව් මම හැමදාම කළේ ඒකයි..
දුක දියකලා ලෝදියක..ගල්වුණ විරහව දියවුණා.. ආයෙත් සිහි ලැබෙද්දි ගල් ගැහුණා හිතේ...

එහෙම දවසක මම දැක්ක..ඒ ඇස් ආයෙමත්...

ඉර මුහුදට පාත්වෙන්න මොහොතකට කලින්..සිහි විකල්වෙන්න තත්පර ගාණකට කලින්...

ඔව් මම පරක්කුයි...

"හිරු මැලවුණ සැන්ඳෑවේ
අඳුරට ගුලිවී
මධු බඳුනට හාදු දිදී
හිඳිනා යාමේ
නෙතු කඳුළින් බොඳ කළ ඒ
අතීතයේ හීන පැලට
මා කැඳවා යන්නට නුඹ
ඇයිදෝ ආවේ..."




නිමිත්ත:
ඉමාන් පෙරේරාගේ මේ ගීතය මම මුලින්ම ඇහුවේ 2002 අවුරුද්දේ.එදා ඉඳන් අද වනතුරුත් මම මේ ගීතයට ආදරෙයි..සුදර්මන් රංජිත්ගේ ගී තනුව සහ ඉමාන්ගේ හඬ ඒ වචන පෙළට ගැලපිලා තියෙන හැටිය අපූරුයි...
ඔව් ඇත්තම කියනවා නම් ඒ වචන පෙළට තියෙන්නේ ආදරයක්..ලියලා තියෙන්නේ තිලිණ මලලසේකර ජ'පුර විශ්ව විද්‍යාලයේ නලමුදු සුවඳ වෙනුවෙන්...
එදා මේ ගීතය අහද්දි ආදරයක්වත් විරහවක්වත් හිත අහලකවත් තිබුණේ නෑ..ඒත් ඒ දැනුනු හැඟීම අදටත් නොවෙනස්...හෙටටත් එහෙමයි කියලා මම දන්නවා..
ආදරය කියාගන්න බැරිවෙච්ච ගොළු හදවත් ලෝකේ තියෙනවා..තාම පසුතැවෙන..ඇසු දුටු ගොළු හදවත් වලට ලිව්වේ ඒ විරහව මට දැනෙන හින්දා...

8 comments:

  1. ගීතයකට ලිව් කතාවක් වුණත් හරි අපූරුවට වචන කරල තියෙනව...
    ඇත්තටම ආදරේ ගැන දුක හිතෙන නිර්මාණයක්...
    අපූරුයි...
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්..:)
      හොඳ පද පෙළක් සහිත ගීතයකට පුළුවන් සමහර හැඟීම් රිදෙන්න දනවන්න..

      ජය වේවා!

      Delete
  2. පිස්සු තරුවා අද සීරියස් ලියලා මගෙ ඇහැට කඳුළක් ගෙනාවා.
    මේක පුදුම තරම් සංවේදියි....

    ReplyDelete
    Replies
    1. සීරියස් සමහර දේවල් හිනාවෙන් අමතක කරන්න පුළුවන් සුළු වෙලාවකටයි බස්සි..
      වැඩියෙන්ම හිනාවෙන්නේ වැඩියෙන්ම හිත රිදුණු මිනිස්සු කියලා කියන්නේ මක්සිම් ගෝර්කිගේ "අම්මා" කතාවේ..මතකද?

      Delete
  3. මහ ඇදුරු සරත්චන්ද්‍ර මැතිතුමා ගේ අසූ වෙනි ජන්ම දින සමරුම් වල නාට්‍ය උත්සවය........1991 දී වගේ....

    "නැත ලොවේ අන් රසඳුනා.... ආදරේ සේ සුව දෙනා....."

    අතීත ආවර්ජන...

    ReplyDelete
    Replies
    1. "නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුව දෙනා" සුප්පා දේවියගේ හඬින් ගැයෙද්දි ඒ සංවේදනය දැනෙනවා නේද?
      අතීත ආවර්ජන ඔබටත් ඇති හැඩයි..:)

      Delete
  4. මම මේ සිංදුව අහලා නැහැනේ බං.. කෝම වුනත් කතාව නම් එක.. මං ඉන්න මූඩ් එක හන්දද මන්දා සිරාවටම දැනුනා.. එල..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව් සමහර දේවල් දැනෙන්න ඉන්න මූඩ් එකත් බලපානවා තමයි මචං..ඒත් මූඩ් ෆික්ස් වුණාට පස්සේ පුළුවන් නම් අහල බලන්න...සමහරවිට ඒත් දැනෙයි..:) මේක එච්චර ප්‍රසිද්ධ වුනේ නෑ මම හිතන්නේ...රේඩියෝවේ නම් මට ඇහිලම නෑ...ඒක වෙන්න ඇති...

      Delete