Saturday, April 19, 2014

බලු පිස්සෝ

අපේ පවුලේ ඉන්නේ බලු පිස්සෝය.බල්ලන්ට බලවත් විරෝධතාවක් තිබුණේ තාත්තාගෙන් විතරක්ම වුවත් දැන් ඔහුටත් එහි වගේ වගක් නැත.එහෙම වුවත් ඔහු අප මෙන් බල්ලන් කරට ගන්නේ නැත.බල්ලන්ට බල්ලන්ගේ තැනත් කොල්ලන්ට කොල්ලන්ගේ තැනත් දී අපේ මහ රජ බලු පිස්සන් මැද විරාජමානව සිටී.

අපටත් වඩා බල්ලන්ට ලැදි අපේ අම්මාය.ඈ සිටින්නේ උන් කරේ තබාගෙනය.බල්ලන්ගේ සියළු ආවතේව කරමින් උන්ට පාන ස්නේහය වෙලාවකට අපටවත් නැතුවාය.මා හිතන හැටියට නම් ඔය ස්නේහය ගැන අපේ තාත්තාට ලාවට ඉරිසියාවක් වාගේ එකක් තියේය.ඒ බව දන්නා අම්මාත් ඔලොක්කුවට මෙන් ඒ ස්නේහය වැඩියෙන් පෙන්වන්නීය.




මෙයට දශක දෙකකට පමණ පෙර අපේ නිවස ආසන්නයේ කුණුගොඩක ජීවත්වූ බැල්ලක කෑම සොයා ඇවිදිමින් උන්නාය.අපේ අම්මා ඌ නහවා පිරිසිදු කොට 'ගාබේජ්' යැයි නමකුත් දමා ගෙදර නවත්වාගත්තාය.Garbage කීවේ කුණුගොඩේ සිටි නිසා වුව උගේ ඇඟත් වයිවාරණ පාට මුසුවුණ අමුතුම පාටක්වූ නිසා ඒ නම ලියාපදිංචි විය. ගෙදර නවත්වාගත්තා කීවාට ඇයට හිතුණුවිටෙක හතරවටේ කරක් ගසන්නට නිදහස තිබිණි.කොහොමින් කොහොම හෝ ඇගේ පැටවුන් පරම්පරා දෙකක් හැදුණේ වැඩුණේ අපේ ගෙදරය.තුන්වෙනි පරම්පරාව මෙලොව එළිය දකින්නටත් කලියෙන් 'ගාබේජ්' අපෙන් සමුගත්තේ හදිසි හෘදයාබාධයකින්ය.කුණුගොඩක ජීවත්ව පසුව සැපසම්පත් ලැබුවාවුවත් ගාබේජ් කිසිදිනෙක කන්නට දුන් අත සපා කෑවේ නැත, අහංකාරයෙන් හිස උදුම්මවාගතේත් නැත.අහිංසක සුන්දර නිවෙසට ලැදි සත්වයෙකු වූ ඇගේ මරණය සැබැවින්ම විශාල කම්පනයක් ඇතිකරන්නට සමත් විය.

ඇගේ පළමු දරුවා "ටෝබි"ය.ටෝබි මියගියේ ගොළු පිස්සුවෙනි.වල්සේෂන් වුවද හොඳ උසක් තිබූ ටෝබි අතිශය කඩවසම් බලු කොල්ලෙක්ව සිටියේය.

දෙවන පරම්පරාවේ උන්නේ 'වයිටා, බ්‍රවුනි සහ බ්ලැකි'ය. උන්ගෙන් ගැහැණු සතෙක් වූයේ වයිටා පමණකි.

වයිටා කීවේ ලංසි පාට නිසාය.වයිටාගේ පුත්‍රයාවූ ඩිංකිටද ඒ ලංසි පෙනුම එහෙමම උරුම වී තිබුණේ ශක්තිමත් පෙනුමකුත් සමගය.

ඩිංකි කුඩා කලදීම නිට්ටඹුවට මාරුවක් ලද්දේ අපේ මම්මාගේ නෑනාගේ ගෙදරටය.සුදු කළු මිශ්‍ර, ටෝබිට දාව ඉපදුණු ඩිංකිද අතිශය කඩවසම් බලු කොල්ලෙකි.බොහොම ආලයෙන් ගෙන ගියද පසුකලෙක ගෙන ආ පොමනේරියන් බෙලිකටු මල්ලක් කරේ තබාගත් ඒ ගෙදර අමනයෝ ඩිංකිව දර මඩුවට තල්ලු කර දමා තිබිණි.කුඩාම කාලයේ ගෙනගියද ඩිංකිට අප ගැන ඉතා පැහැදිලි මතකයක් තිබිණි.අප එහි ගිය විට තමා ලිහන්නට ආයාචනා කරමින් ඌ දරමඩුව දෙවනත් කරන්නට ගනී.ඌ එසේ අඩු සැලකිලි ලබා පසෙකට විසිව තිබීම එකල මගේ ළමා හිතට මහත් දුකක් වුවද, දුන් බල්ලා වුවත් නැවත ඉල්ලීම නොහොබිනායැයි විශ්වාස කල අපේ  ගෙදර ඈයෝ ඌ ගෙන එන්නට කළ මගේ පොරකෑම ඉවතලූහ.පසුකලෙක දර මඩුවේ සිටිද්දි නයෙක් දෂ්ට කිරීමෙන්දෝ ඩිංකි මියගිය බව ආරංචිවූවිට මම හැඬුවේ ඌ නැවත ගෙන ආවානම් ඒ නොවෙන බව කියමිනි.දරමඩුවට දැම්මේ උන්ට එපා නිසානම්, අපට අවශ්‍යයි කියා ගෙනාවානම් මක්වෙනවාදැයි මම ගෙදර ඈයෝ සමගද උරණ වීමි.

ටෝබි, වයිටා, බ්‍රවුනි සහ බ්ලැකි මියගියේ එක පෙළටය.ඒ අපේ වෘෂභ ලග්නැති නගර සභාවෙන් අනිවාර්ය‍යැයි විදගෙන ගිය ජල භීතිකා එන්නත විෂ වීමෙන් වැලඳුණු විපරීත ජලභීතිකාවකිනි.

එක් රාත්‍රියක අප කොහේදෝ ගොස්'විත් ගෙට ගොඩව මොහොතක් යන්නට මත්තෙන් අම්මා කෑ ගසාගෙන ආවේ වයිටාට පිස්සු වාගේ කියමිනි.කොහොමත් උන් වඩාත් ලැදි අපේ අම්මාටත් චූටි මාමාටත්ය.අම්මා දුටුවනම පුරුද්දට මෙන් දුවගෙන ආවත්, ඒ වයිටාගේ පුරුදු සැහැල්ලු හැසිරීම නොවනා බවත් කටින් සෙම හලමින් ආ බවත් කීවිට කිසිදිනෙක පිස්සු බල්ලන් සම්බන්ධ අත්දැකීම් නොතිබූ මටත් නංගීටත් මහත් බයක් දැනිණි.එවකට අවුරුදු 9ක් පමණ වූ මාත් දැන් අඩි 6ක් වුව එවකට බටු ඇටයක් වූ නංගීත් ආරක්ෂාවට සෙටියකට නැගගෙන කඳුළුපෙරාගෙන උන් හැටි මතක් වී මට දැන් හිනාය.ඒ සෙටියෙ උස වයිටාගෙ උසම වාගේය.අපි පිස්සු හැදුණායැයි කියූ වයිටාගෙන් බේරෙන්නට නැග්ගේ එහෙව් එකකටය.පුංචි මොලේ තරම කියන්නේ ඒකටය.අපේ හැඬීමත් විලාපයත් නිසා තාත්තා කීවේ වයිටා කාවහෝ හපාකන්නට කලින් ඌට වෙඩි තැබිය යුතුය කියාය.එසේ කියා පිස්තෝලයකුත් ගෙන තාත්තා අපේ සුරතල් වයිටාට වෙඩි තියන්නට සැරසෙනු දුටු අප වයිටාව බේරාගන්නට තැබූ විලාපය බියවී තැබූ විලාපයට වඩා හපන් වීමෙන් වෙඩි තැබීම පසෙකලා අපව නළවාගන්නට තාත්තාටත් අම්මාටත් සිදුවිය.අවසානයේ වයිටා අප නොදැනම වත්ත කොණක අවසන් හුස්ම හෙළා තිබිණි.ඒ ලෙසම බ්‍රවුනිත් ටෝබිත් මියගියහ.බ්ලැකි මියගියේ සනීපයට ලැග උන් නමිනං ගසක් පාමුල සීතල සෙවණකය.ගසට හිස හේත්තු කරවාගෙන නිදි ඉරියව්වෙන්ම බ්ලැකි අපෙන් සමුගෙන තිබිණි.

මේ තරම් දිග බලු ඉතිහාසයක් ලියන්න සිහියට ආවේ මූණුපොතේ පළව තිබූ හිත දෙදරවන සිද්ධියක් දැකීම නිසාය.ඒ ජාඇල ප්‍රදේශයේ බල්ලෙකුගෙ මුහුණට රතිඤ්ඤා වැදීම නිසා මුහුණේ කොටසක් කඩාගෙන ගොස් ඇති විස්තරයක් දැකීමෙනි.ලින්කුව පහත දක්වා ඇත, පින් ඇති සත්වයෝ ගොසින් බලත්වා!
https://www.facebook.com/media/set/?set=a.620429134718665.1073741983.397995153628732&type=1

මිනිසුන් තරහා ගියකල බල්ලා, බැල්ලි, bitch කියා බණිති.එහෙත් සත්‍යවශයෙන්ම මිනිසාට මිනිසා කියා මිසක් බල්ලා කීම නොවටින්නේ බල්ලා මිනිසාට වඩා බොහෝ සෙයින්ම හොඳ නිසාය.මිනිසා තරම් අමන වදනක් තවත් නැතැයි සිතෙන්නේ ඉහත වාගේ කාලකණ්ණි වැඩ දුටුවිටය.මිනිසුන් ගහමරාගැන්මට අපට අනුකම්පා කළ නොහැක.උන්ට කතා කළ හැකිය,මොළයක් ඇතැයිද කියති.බල්ලන්ට කතා කළ නොහැක, හිතුණුවිට බඩගිනියි කියන්නට, රිදුමක් වේදනාවක් කියන්නට බැරිය.එසේවීත් උන්ට යහගුණ සහ බුද්ධියක් තිබේ.එහෙව් සතෙක්ට අනුකම්පාවක් නොමැති මේ වාගේ මිනිසුන්ට කියන්නට මා දන්නා සිංහල භාෂාවේ කුණුහරුප මදිය.

මීට පෙර මොරටුවේ බල්ලෙකුගේ හොම්බ වාහනයකට යටකර, මුහුණේ කෑලි අහිමිව හිටි බල්ලාට පාරවල් දිගේ ගල් ගසමින් ගිය තුප්පහි මිනිසුන් ගැන අසා ඇත්තෙමි.වැඩිමනත් අනවශ්‍යය.සති 2කට පමණ පෙර කතරගම ගොස් දුටු දේම ඇතිය.හවසට කිරිවෙහෙර සිට කතරගම දේවාලයට යන වැලි පාරේ තැනින් තැන වකුටුවී නිදන බල්ලන්ට කෝටු,පොලු මුගුරු ගෙන වැරෙන් පහර ගසමින් යන තිරිසන් කොළු රැලක් නිසා අපේ ඇඟේ ලේ රත්වී ශ්‍රද්ධාවද දියවිණි.එසේ බල්ලන්ට වධදී දේවාලයත් පහුකරවාගෙනවිත් රෙදි ඇඳගෙනදෝ මන්දා බැතිමතුන්ගෙන් පළතුරු, ආධාර ඉල්ලති.දෙවියෝ දඬුවම් නොදේ නම් එවන්නවුන් ඔය දේවාලයේ කිරි වෙහෙරේ පූජ්‍ය පක්ෂයන්ට නොපෙනේද?



බල්ලන්ට කඩේ යනවා කියා සමහරු සිනාසෙනු ඇත.දැන් කාලයේ එක එකාට කඩේ යනවාට වඩා බල්ලාට කඩේ යාම නම්බුකාරය.අඩුම ගණනේ උන්ට කෑ පතේ ගුණය ඇත.කෑ පතේ පහරන මිනිසුන් සිටින ලොවක බල්ලා මිනිසාට වඩා උතුම්ය.

සමහරු බල්ලන්ට ස්නේහය පපා කරන්නේත් තම ලොකුකම ප්‍රදර්ශනයකි.එවැනි මගේ ඥාතිවරියක සිටී.ඇගේ ගෙදර ඉන්නේ ලොකු සේෂන්ලාය.ඉතින් උන් තමයි බල්ලෝය!පාරක අයිනක කන්ට නැති දිරාගිය නකුටු බල්ලන්, වල්සේෂන්වීත් සුන්දරව සිටින සුරතලුන් ඇගේ පොතේ හැටියට නොගිණිය යුතු වාගේය.අග මුල දන්නේනම් ඕවාට බල්ලොත් සිනහසෙනු ඇතැයි මට සිතෙන්නෙ ඔය පූචානම් කතා අහගෙන ඉන්නා විටය.

ඇල්සේෂන්,වල්සේෂන්,පොමනේරියන්,අරටේරියන් මේටේරියන් යැයි බල්ලන්ට පෙළපත් කුලගොත් හදාගෙන ඇත්තේ මිනිසාය.කොයි ජාතිය, ජන්මය , කුලය, පෙළපත ගත්තත් බල්ලා යනු අතිශය සුන්දර සත්වයෙකි.මඟුලකට තුලාවකට වාගේ කුලගොත් හොයමින් ලතැවෙන්නට අවශ්‍ය නැත.සැබෑ මිනිසෙක්නම් සියළු සත්වයන්ට මෛත්‍රී කිරීමේ හැකියාවක් තිබිය යුතුවන්නේ නම්, මේ සුන්දර සත්වයාගේ හෙට දවස යහපත් කරන්නට මිස අඳුරුකරන්නට ක්‍රියා නොකරනු ඇත.

16 comments:

  1. ගොළු පිස්සුව කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ගොළු පිස්සුව හැදුනම බල්ලන්ට බුරන්න බැරිවෙනවා.හරියටම විද්‍යාත්මකව පහදන්න නම් දන්නේ නෑ.සමහරවිට ස්නායු අකර්මණ්‍යවීමක් වගේ වෙන්න ඇති කියා හිතනවා.

      Delete
  2. සත්තු වගේ මිනිස්සු ඉන්න ලෝකයක් මේක... නියම ලිපිය.හිතට දැනෙන්න ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කැස්පර්.බොහොම ස්තූතියි :)

      Delete
  3. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. පහතින් තියෙන්නේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  4. බලු සුරතලුන්ට මමත් ආසයි හැබැයි පූසන්ට තරම් නෑ :-))

    ReplyDelete
    Replies
    1. ඔව් නේ දිලිනි ඔහොම කතාවක් කිව් බව මතකයි :)

      Delete
  5. ඇත්ත තමා. සමහර මිනිස්සුන්ට බල්ලා, බැල්ලි කියල බනින ඒ සත්තුන්ටත් කරන අපහාසයක් !! good job as always

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා නගා! :)

      Delete
  6. එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීර කාන්තා..ඔන්න ආවා..:)

      Delete
  7. "අපේ හැඬීමත් විලාපයත් නිසා තාත්තා කීවේ වයිටා කාවහෝ හපාකන්නට කලින් ඌට වෙඩි තැබිය යුතුය කියාය.එසේ කියා පිස්තෝලයකුත් ගෙන තාත්තා අපේ සුරතල් වයිටාට වෙඩි තියන්නට සැරසෙනු......"
    මේක කියවන කොට මට මැවුනෙ තරූ ලවු කරන කොල්ල ගෙදරට එනකොට තාත්ත පිස්තෝලෙත් අරන් එනව.තරූයි,නන්ගියි පුටුව උඩට නැගල කෑ ගහනව.
    අඩේ මරු නේද?
    අපේ ගෙදරත් හිටිය එකෙක් වාහනේකට අහු වෙලා ඉන්න කොට ගෙනාපු කෙනෙක්.දැන් ඌට රථගාය.මම උදේ ඔපීසියට යන්න ඉස්සල්ල ඌ යනව එහේ.ඒ මම උදේට කන්න ගෙදර එනකොට වාහනේට නැගල එන්න.

    ReplyDelete
    Replies
    1. හික් හික්!!
      එහෙම වෙන්න ගියාද?? නෑ මම හිතන්නේ..හී හී හී!! ගෙදරට එන්න කලින් මම ඒව ෂේප් කරන් හිටියේ...ලොල්..!
      ඔව් ඔව් සමහර බව්වන්ට තියෙනව රථගාය..අපේ දෙන්නෙක් ඉන්නවා..එයාලටත් තියෙනවා...හැබැයි නගින්නේ නෑ..හැඩ බලන්න විතරයි...වෙට් ලඟට යද්දි නම් වටේම ඕප දූප බලාගෙන හරි ආසාවෙන් යනවා...:D

      Delete