Monday, March 6, 2023

නන්නත්තාර නන්නත්තාරේද?

(2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) 

අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.

ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.

නන්නත්තාරේ එක දිගට දුවන දේශපාලනමය යටි අරුතට මම කැමතියි. Drug cartle එකකයි දේශපාලනයෙයි සාම්ප්‍රදායික පදනමෙන් ගත්තොත් අහසට පොළව වගේ වෙනසක් තියෙන්න ඕන. නමුත් ප්‍රායෝගිකව ඒ සමූහ දෙකේ ව්‍යුහය සහ ක්‍රියාත්මක වීම සමානයි.

මිනිස්සු බලය ගන්න ගොඩක් දේවල් කරනවා. බලය රඳවාගෙන තියාගන්නත් ගොඩක් දේවල් කරනවා. (පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා✋) බලය තියෙන හැම මිනිහෙක්ම/ගෑණියෙක්ම වටා ප්‍රශස්ති ගයන පිරිසක් ඉන්නවා. මතකද ඕකේ ඩැඩී ඩේවිඩ්ගේ අගසව් ඩොක්ටර් ගලප්පත්ති, පළවෙනි කොටසෙදි කියනවා 'අපි හුස්ම ගන්නෙ අපේ පෙණහැල්ලෙන් නෙවෙයි, ඩැඩී බොස්ගේ පෙණහැල්ලෙන්'
ඊටපස්සේ මිනිහා අපභ්‍රංශ කවියක් කියනවා මතකද?
ඒක තමයි බලපුලුවන්කාරයෙක් වටේ එක්කහුවෙන වැඩිමනක් මිනිසුන්ගේ විදිය.

නන්නත්තාරේ ඇතුලේ තියෙන ව්‍යාංගාර්ථවලට මං කැමතියි.
බිරිඳ, දරුවො කියලා 'තනතුරු' දීලා පවුලක් හදාගෙන ඉන්න එකම අද කාලේට දුන්න කණේපාරක් වගේ දැනෙන්නේ නැද්ද? පවුලක තියෙන බැඳීම තනතුරුවලට දුන්න JD (job description) එකක් කළාම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක කරන්න වෙනවා, ඒ ව්‍යුහය තුළ රැඳෙන්න නං! (මෙතන ඒ ව්‍යුහයේ රැඳෙනවා මිසක් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ, ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් මරණයෙන් විතරයි. පොඩ්ඩක් සංසාර චක්‍ර සංකල්පයත් වගේ.)

අනෙක් අතට ඇයි ඩැඩී ඩේවිඩ් වගේ මිනිහෙකුට පවුලක් අවශ්‍ය වෙන්නේ? ශ්‍රී ලංකාව විතරක් ගත්තොත් හැබෑව මොකක්වුණත් පවුල කියන සම්ප්‍රදාය ඕනෑම කෙනෙකුට ශක්තිමත් පදනමක් පෙන්නනවා. පිතෘත්වය සහ මාතෘත්වය ඔය කොයි රැඩිකල් රැල්ලකටවත් ගහගෙන නොගිහින් තාම යම්තාක් දුරකට අඩුවැඩි වශයෙන් හැම සමාජ ස්ථරයකම රැකිලා තියෙනවා. හැම බලපුලුවන්කාරයෙක්ටම පවුල වැදගත්. එහෙම නොවුණු තැනක බලය රැඳුණත් පියවිය නොහැකි අඩුපාඩුවලට නිරන්තරයෙන් සමාජය ඇඟිලි දික්කරනවා.

අනිත් එක ඒ යටත් පිරිස ඇතුලේ තියෙන නොනවතින බල අරගලය. හැමෝටම ඕන cartle එකේ බොස්ගේ ඇස්වලයි හිතෙයි හොඳම එකා වෙන්න, පක්ෂපාතීම, කීකරුම එකා වෙන්න. හොඳම ගොට්ට වෙන්න!
මේක වෙනම කල්ට් එකක්. ඒ කල්ට් එක 'අදහන්නේ' බොස්ව. ඒ බොස් පිස්සෙක් වුණත්, උමතු ප්‍රේමවන්තයෙක් වුණත්, ඉක්මණ් කොටෙක් වුණත් යටත් පිරිස ඔහුට කීකරුවෙන්න ඕන.

අර වැරදි වැරදි සංගීතය සපයපු ටෙස්ට් මීයෝ ටික මතකද. ඇයි සංගීතය බෑ කියලා දැනදැනත් සංගීතය වාදනය කරන්න දෙන්නේ? තමන්ගේ යටත්වැසියාගෙන් පක්ෂපාතීත්වය ගන්න ගමන් උන්ටත් පොඩි එන්ටටේන්මන්ට් එකක්, හැකියාව පෙන්නන්න ඉඩක්, තව පොඩි දෙයක් ආපස්සට දෙනවා. හැබැයි විශේෂණ පද වෙනස්වුණාට උන්ගේ භූමිකාව වෙනස්වෙන්නේ නෑ (lab rats, musical rats)

කතා කරන්න ඕන අනෙක් කාරණේ දෙබස්!  අසාර්ථක වෙච්ච තැන් තිබ්බත් සමස්තයක් විදියට සාර්ථකයි කියලා මට හිතෙනවා. මේක බලන්න ඕන කියලා හිතුණේ ITN youtube channel එකේ දාන short එකක් හින්දා. කෑමට එන්න කියලා රම්බා එක්ක මාග්‍රට්ගෙ වෙන සංවාදය! 😂
සමහ වචන සංස්කරණය වුණාට නොකර තිබ්බා නං තමයි නියම නාට්‍යානුසාරය එන්නේ ඒකේ😂

අනිත් හොඳම දෙබස තමයි cartle එක වැටලුව වෙලාවේ ඩොක්ට ගලප්පත්ති කියන ටික "මොකද්ද මේ අසාධාරණේ? This is very inhumane. You all violate human rights. you gatecrashed our peaceful house." ඔක්කොම ජල්තරකාරයෝ, අපරාධකාරයෝ අන්තිමට එල්ලෙන පිදුරුගස් අවස්ථාවාදී ප්‍රකාශයක්නෙ ඔය!

දේශපාලන යටිඅරුත ගැන කිව්ව නිසා මේකත් ලස්සනට කියැවෙන බව නොකියම බෑ. හැමෝටම නායකයො වෙන්න බෑ. ඩොන්ලා හදන්නේ වෙන අය වුණාට, ඩොන්ලා 'වෙන්න' හැමෝටම බෑ. ඒක නායකත්ව විකසනය දිහා බලන ප්‍රේක්ෂකයාට දනවලා තියෙන්නේ ලාවට. ඩැඩී ඩේවිඩ් දිහා බලලා අන්තිම ඉක්මණ් කොටා දිහා බැලුවම අරම තිබ්බ කාට්ල් එක කොච්චර දියාරු වෙලාද කියලා පේනවා. ගමනක් යන්න තිබ්බ මනනන්ද හදවතට වහල්වෙච්ච නිසා මැරිලා යනවා. මානසික රෝගියෙක් වුණත් ඩැඩී ඩේවිඩ් අන්තිම වෙනකල් ගැලවිලා ඉන්නවා. නායකත්වය කියන එකට අර්ථ දෙන්නේ එන මිනිස්සු. සමහරුන්ට ඒක නිකන් තනතුරක්, සමහරු ඒ තනතුරු නැතිවුණත් 'චරිත' වෙනවා.
ඒ වගේම ඕනෑවට වඩා පක්ෂපාතීයි වගේ පෙන්නන සමහර අගසව්වන්ට පුළුවන් ලොකු ගේම් දෙන්න.

කතා සංකල්පය ගත්තම දියාරු වෙච්ච තැන් ඕනෑතරම් තියෙනවා. හැබැයි කතාව දුවන්න ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපෑමෙන් ලැබෙන ශක්තිය ගැන නොකියම බෑ. මෙල්වින් කියන්නෙත් ඩේවිඩ් කියන්නෙත් ශ්‍රියන්තම මිසක් වෙන කවුරුවත් නෙවෙයි කියලා හිතෙන තරමට සාධාරණයක් කරලා තියෙනවා.
ඒ වගේම මේඝ සහ වින්ද්‍යා හොඳ තේරීම් දෙකක්.කතාව සංස්කරණයෙනුත් මේඝ දායක වෙලා තියෙනවා.

කොයිතරම් අඩුපාඩු තිබ්බත් නිර්මාණකරුවෙක් හැටියට යාවත්කාලීන වීම ගැන ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රශංසාවක් ලැබෙන්න ඕන. ට්‍රෙන්ඩ් එක අඳුනගන්න එකත් හැකියාවක්. දිනන්න හරි පරදින්න හරි බලාගෙන ඒකට මූණ දෙන්නත් කෙනෙකුට ශක්තියක් තියෙන්න ඕන.

නමුත් මම විවේචන එක්ක එකඟයි. විශේෂයෙන්ම කතාව දියාරුවීම ගැන. එක අතකට අපි බලාපොරොත්තුවෙන්නේ දඬුබස්නාමානේ ජයන්ත.ඒත් ජයන්තට දැන් ඉන්න වෙලා තියෙන්නේ ඉරටුබස්නාමානේ වෙන්නත් පුළුවන්. ලෝකේ වෙනස්, ප්‍රේක්ෂකයා වෙනස්, තරඟකාරීත්වය වෙනස්, මිනිස්සුන්ගේ ජීවන රටාව හැඟීම් ප්‍රකාශන ආකල්ප වෙනස්.

අන්තිමට කිව්වත් මේකේ තේමා ගීතය ගැන නොකියා ඉවර කළොත් මගේ ලිවිල්ල අසම්පූර්ණයි. ජයන්තගේ පදවලට සංගීතයෙන් නවරත්න ගමගේ වගේම ගායනයෙන් රවී රොයිස්ටර්, කෙනන් ඩී සිල්වා, ට්‍රෙවින් ජෝශප්, රුවිනි අබේසේකර, නිපුනි සිරිවර්ධන සහ සචිනි පෙරේරා දුන්න හඬ දායකත්වය නියමයි.

උපන්නාට ඔහු වැනෙයි
උපන් නිසා ඔහු මැනෙයි
හපන්කමක්යැයි සිතා
වයසින් මෝරා වැඩෙයි
උගෙ හෙවණැල්ලෙම උඩ ඌ හිටගෙන
කළු කලෙ කවුදැයි අසයි...

ඉතින්, අපි ඔක්කොම ඇත්තටම නන්නත්තාරයි තමයි!

~✍️ Aash Weerasinghe

No comments:

Post a Comment