Friday, November 13, 2015

තනියා සහ සංගීත උණ

අපි හැමෝටම එක එක වර්ගයේ උණ තියෙන බව මම මුල් කාලෙත් කතා කරලා තියෙන දෙයක්නේ..දැන් ඔය උණෙත් එක එක වර්ග අපේ ජීවිත වැලඳගන්නේ විවිධාකාර විදියටයි..තනියාටත් ඔය කියමන එහෙම් පිටින්ම වලංගුයි මොකද ඒකාත් පෘථග්ජනයි.ඉතින් ඔහොම තිබුණු/තියෙන එක උණක් තමයි සංගීත උණ.

ඔය සංගීත උණට මූලිකම හේතුව තනියාගේ මව් පාර්ශවයෙන් ආව සංගීත ආභාෂය.තනියාගේ තියෙන නාහෙට නාහන හිතුවක්කාරකම කොච්චර තද වුණත් සංගීතය විඳින සංවේදී එකෙකුත් ඔය හිතුවක්කාර සරීර කූඩුව අස්සෙම කොහේහරි ඉන්නවා..තනියාගේ සීයා තමයි ඔය සංගීත පිස්සුවේ මුදුන් මුල.වෘත්තීයෙන් ඉන්ජෙක් වුණාට මොකද සංගීත හා ලේඛන කලා පිස්සුව තදටම තිබ්බ කෙනෙක් තනියගේ සීයා.පුංචි කාලේ ඉඳන්ම මව් පාර්ශවයේ පවුලේ කට්ටිය එකතුවුණහම සීයා ඕගන් එක ගහමින් සිංදු කියන එකත් අනික් කට්ටියත් බොහොම උද්‍යෝගයෙන් යුතුව ඕකට එකතුවීමත් මගේ පුංචි කාලේ බොහොම මිහිරිම මතකවලින් එකක්..ඒ වගේම සීයාගේ මල්ලිත් අපූරු වගේම බොහොම දක්ෂ කලාකාමියෙක් (ඔහු ගැන වෙනමම දවසක ලියන්නට ඕනා)..ඉතින් ඔය සංගීත සාගරේ ආභාෂය නිසාම තනියාත් පුංචි කාලේ හිතුවා ගායිකාවක් වෙන්න..සීයලා ගයන්නේ ක්ලැසික්ස්, සීටීගේ, සුනිල් ශාන්තලාගේ සිංදු වුණාට තනියා ඒවත් කියන අතරේ උපරිමේටම රස වින්දේ රූකාන්තගේ සිංදු..දැන් කාලේ ස්ටාර්ලටත් වඩා මම හිතන්නේ රූකාන්ත ජනප්‍රිය තලේක හිටි කාලයක්නෙ 90 දශකය කියන්නේ..එතකොට ඉතින් අර උඩ පැන පැන ගිටාර් එක ගගහා අරහෙට මෙහෙට ඇඹරිලා සිංදු කියන අතිශය ප්‍රාසාංගික කලාව තනියාගේ බොක්කට, අග්න්‍යාශයට හිටං ජීර්ණය වෙලා තිබ්බ නිසා ඉස්ඉස්සෙල්ලාම රූකාගේ සිංදු වගයක් පත්තරේක දැකලා ඒ ටික ලියලා දෙන්න කියලා අම්මට කනිපින්දම් කියනකොට තනියා නර්සරියේ..! ආයේ මොනවද ඒ ටික දිහා බලන් වචනවල තේරුම්වත් නොදැන තමයි රූකා වගේම ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කළේ..! :D



ඉතින් ඊටපස්සේ කාලෙක තනියාගේ ලෝකෙට උල්කාපාතයක් කඩන් වැටුණා.ඒ උල්කාපාතෙත් අනේ ඉතින් සංගීතයයි නැටුමයි දෝතින්ම අරන් තමා ඇවිත් තිබ්බේ..ඒක නිසා තනියයි උල්කායි එකතුවෙලා පුංචි කාලේ කලේම සභාවල් තියන එක..ඔය සභාවේ ඕඩියන්ස් එක විදියට කිසිම බලකිරීමක් නැතුවම එකතු වෙච්ච එකම ජෝඩුව අත්තම්මයි සීයයි තමයි ඉතින්..ඒ ඇරෙන්න ගෙදර බව්වා එහෙමත් එනවා..අම්මලා තාත්තලාට වැඩ නැති වෙලාවට එයාලත් එනවා..ඔය සභාව දැන් නම් මතක් වෙද්දි හිනා..මොකද දැන් උල්කා තනියාටත් වඩා උස වුණාට පුංචි කාලේ ඔය ඩබල නිකං හතරරියන් සහ දෙරියන් වගේ..තනියා කිව්වොත් "උල්කා කරණමක් ගහපන් කියලා" උල්කා එහෙමයි අක්කණ්ඩි කියලා කරණමක් ගහයි..අන්න එහෙමයි ඒ කාලේ අපේ ප්‍රජාචංච්‍රවාදෙ ක්‍රියාත්මක වුණේ..ඉතින් අපි එකෙක් කියනවා ඕඩියන්ස් එකේ ඉස්සරහට ඇවිත් "සභාවෙන් අවසරයි, මා මෙතැනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි" කියලා ඉතින් ඌ කියන ගීතය අමාරුවෙන් අහන් ඉඳලා හුස්මක් හෙලද්දිම ඊලඟට වේදිකාවෙන් බහින එකාම අනිකා එක්ක ආයේ එනවා නැටුමකට..ඉතින් ඔහොම පැයක් දෙකක්වත් ඔය සෙල්ලම කෙරුණා..තනියා වගේ නෙවෙයි හැබැයි උල්කා අණ්ඩයා නේ..ඉතින් එයා තනියා වගේ ඇඹරෙන්නෙ නැතුව ඕන සභාවක නැටුමක් වුණත් කරයි..ඒ හින්දම පුංචි කාලේ ඉඳන් උල්කා කථික තරඟවලට පවා ගිහින් දිනලා සහතික මිටි උස්සන් එන එක තමා කළේ..(ඒක කියන්නේ ඉතින් හෙන ආඩම්බරෙන් හරියට මම පුහුණු කෙරෙව්වා වගේ :D සහෝදර ප්‍රේමයනෙ නැද්ද? :)) 

ඉතින් ඔය සංගීත උණ නිසා උල්කා තරමටම නැතිවුණාට (කෙහෙම්මල් සබකෝලයක් නිසා) තනියාත් ඉතින් ඉක්කෝලේ යමක් කමක් කෙරුවා..සිංදු කියන්නයි රඟපාන්නයි නාට්ටි කරන්නයි තනියා හිටි හින්දා ඉක්කෝලේ සමහරුන්ට ටීචර්ලට එහෙම නම අමතක වුණාම කිව්වේ අර රජ කුමාරිට ඉන්න ළමයා කියලා තමා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යැව්වේ..ඉතින් ඔය සිංදු කණ්ඩායමේ එහෙමත් හිටියා නෙව..ළමාසාරි ඇඳන් ගිහින් භක්ති ගීත කියන්න තමා වැඩිපුරම තිබ්බේ..ඊලඟට එහා පැත්තේ කොල්ලන්ගේ ඉක්කෝලේට ගායිකාවෝ ඕන වුණාමත් යන්න වුණා..ඒ කාලේ ඉතින් සෝයි, සබකෝලේ නිසා මක්කවත් කරගන්න බැරිවුණාට..;) ඒ ඇරුණම කට්ට අව්වේ පිච්චි පිච්චි බෑන්ඩ් එකෙත් හිටියා..

කොහොමෙන් කොහොමහරි ඉතින් සාමාන්‍ය පෙළ ආවාම සෞන්දර්ය විෂයක් කරන්න තිබ්බ නෙව..තනියට චිත්‍ර නම් අඳින්න බෑ..මිනිස් මූණක් ඇන්දොත් ඒ මිනිහගේ එක්කෝ එක හක්කක දතක් ගලවලා ඉදිමිලා නැත්නම් කම්මුල්ගාය හැදිලා..ඇස් විතරයි අඳින්න දන්නේ..හැබැයි පාට ගලපාල පාට කරන්න නම් පුළුවන්..ඒක හින්දම ඉස්සර ලොකු තාත්තගේ දුවත් එක්ක පින්තූර පොත් පාට කරන්න ගියහම කවුරුහරිම කිව්වොත් තනියා ලස්සනට පාට කරලා කියලා එයාට වෙන සෙල්ලමක් කරන්න පාට කිරිල්ල නවත්තන්න සිද්ධ වෙනවා..:D
ඉතින් තනියාට නටන්නත් ආසාවක් තිබ්බට මොකද ඒකට වඩා සංගීතේ හොඳා කියලා ඔන්න පෙරදිග සංගීතේ පටන් ගත්තා..තනියාගේ අම්මට හොඳටම පුළුවන් බටහිර හින්දා අම්මා බලාපොරොත්තුවුණේ ඒක කරාවි කියලා..එව්වා කොහෙද මම ගියා පෙරදිග කරන්න..ඉතින් අපේ ඉක්කෝලේ පෙරදිග සංගීත ගුරුවරියෝ දෙන්නෙක් හිටියට එයාල හරි ජනප්‍රිය නිසාත් බාහිර වැඩ වැඩි නිසාත් 11 වසරට එද්දිත් අපේ විෂය නිර්දේශය සම්පූර්ණ වෙලා නැහැ..පරණ පේපර් බැලුවම යමන්, භෛරවී කියලා පටන් ගන්න රාග ටික දන්නෙත් නැහැ..ඒ සැරේ වාර විභාගේ සංගීත පේපර් එක වෙලාවේ තනියා කවි ලිව්වා, රචනා ලිව්වා වගේ බාහිර ක්‍රියාකාරකම්වල නිරත වුණා..ඒ ගමන අම්මයි තාත්තයි තීරණය කළා දැන් දූ බැඳගත්ත බෙරේ ගහන්න උදව් කරන්න කියලා සංගීත පංතියකට දාන්න...



ඔන්න ඉතින් තනියව එක්ක ගියා දීපිකා මිස්ගේ පංතියට..ඒ කාලේ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයට වාදනයත් තියෙනවයි කිව්ව නිසා තනියාට ඕන වුණා වයලීන් ඉගෙන ගන්න..ඒ ගමන සීයා තකහනියක් දුවලා ගිහින් වයලීනයක් අරන් දුන්නා..ඉතින් දැන් පංතිය පටන් ගත්තා කියමුකෝ.. දීපිකා මිස්ව දැක්කේ දවස් කීපයයි...ඒ දවස්වල ජනප්‍රියත්වයේ උපරිම හිටි හින්දමද කොහෙද..ඊටපස්සේ පංතිය භාර දුන්නේ ශශිකා නිසංසලා අක්කට..එයත් ටික දවසක් ඉඳලා ආයෙත් සර් කෙනෙක්ට භාරදුන්නා..කොහොමහරි ඔය ගායන පංතිය අස්සේ තනියාගේ හැටි නොදැනද මන්දා කොල්ලෙක්ට රොමාන්තික ඔපෙරාවක් ගයන්න හිතක් පහළ වෙලා තිබ්බා...ඉතින් උදේ ගායන පංතිය ඉවර වෙලා ටිකක් ඉන්න ඕන වයලීන් පංතියට..ඒ ඉන්න ටිකට ඔය ගිලිච්ච ඇස් ඇති ඉඳිකට්ටක් වැනිවූ ඔපෙරා හාදයටයි ඒකගේ සපෝටර් වැඩේ කළ ජබ්බටයි අහු නොවෙන්න අර පුංචි ඉඩේ ගස් මාරු වීම තමා තනියාගේ රාජකාරිය වුණේ..හැබැයි ඉතින් මේ ඩබල ටික දවසක් ගිහින් ගායන පංතිය වෙලාවෙදි ගායන අවස්ථාවන් සඳහා තනියගේ නම යෝජනා කිරීම වගේ ක්‍රියාවල යෙදීමෙන් ඔපෙරා තත්වය ටිංකරින් වැඩපලක් තත්වෙට පත්කරගත්තා..:D

දැන් ඔය කිව්ව වයලීන් පංතිය තියෙනවනේ..ඒකත් මරු පංතිය ඈ..මොකද ඔය වයලීන් සර් මාර සැරයි..සැරක්මත්ම නෙවෙයි මහ අවඥාසහගත වචනවලින් දමලා ගහන අමුතුම ඩයල් එකක්..ඉතින් අනේ පාන්දර නැගිටලා, වයලීනෙත් තුරුල් කරන්, හෙන ඇඩ් එකක් කියලා හිතන්, දාහක් බලාපොරොත්තු පොදි බැඳගෙන ගිහින් තනියාත් වයලීන් කේස් එක ඩ්‍රැකියුලාගේ මිනී පෙට්ටිය වගේ ඇරගෙන ඒ ඉස්සරහා එරමිණිය ගොතන් වාඩිවෙලා බලාඉන්නවා..ඉතින් සර් තනියව දකිනවද? අනේ නැහැ මිත්‍රවරුනි..තනියාගේ අළුත්ම වයලීන් එකට මැස්සෝ නොවහන ටික විතරයි..කට්ටිය එනවා, සෑහෙන්න බර සාර මූණුවලින් වයලීන් හරිම බුහුටි තාලෙට එළියට ඇදලා ගන්නවා..වයාගෙන වයාගෙන යනවා..කා දිහාවත් නොබලා වයලීන් අකුලගෙන නැගිටලා යනවා..එතකොට තනියා කන්න වගේ කටත් ඇරන් විස්මිතව උන් දිහා බලන් ඉන්නවා..ඔන්න ඕක තමයි පළවෙනිම දවස්වල වුණේ..ඉතින් කට්ටිය අඩු දවසක ඔන්න සර්ගේ නේත්‍රා යුග්මය තනියා දෙසට එල්ල වෙනවා...

"ආ, ඔය ළමයා අළුතෙන්ද?" 

"ඔව් සර්" ගුරු භක්තිය එන්නේ බොක්කෙන්මයි..

"අර බෝඩ් එකේ ඇඳලා තියෙන වයලීනේ ඇඳලා කොටස් ටික නම් කරන්න" කියලා බොහොම ගරු ගාම්භීර තාලෙට කියලා සර් දැන් එයාගෙ වැඩ..



ගහෙන් වැටි මිනිහට ගොනා ඇන්නද මන්දා..චිත්‍ර බැරි හින්ද නේ තනියා සංගීතේ කොරන්න ගත්තේ..සර්ගේ අමන කට ගැන දන්නත් නිසා දැන් තනියා ලාදළුවක් සේ සැලෙමින් පැටලෙමින් සෑහෙන්න වෙලාවක් අරන් වයලීනයක් වගේ එකක් ඇඳගත්තා කියමුකෝ.. ඔය කලින් කිව්ව මිනිස් මූණ ඇන්දා වගේ තමයි ඉතින් ආයෙ..වයලීනේ හරියට පැත්තක් තැලිච්ච දිගටි ගස් ලබුවක් වගේ..violin bow එක කඩුවක් වගේ..මක් කොරන්නෙයි ඉතින් නෙ මිනිස්සු පුළුවන් හැටියකට නෙව පින්තූරු අඳින්නේ..! 
ටික වෙලාවකින් සර්ට ආයෙම තනියව මතක් වුණා..

"ආහ්, කෝ ඔයා ඇන්දද වයලීනේ?"

"ඔව් සර්.." 

තනියා ඇඳපු පින්තූරේ කිසිම ලැජ්ජාවක් නැතුව සර්ට පෙන්නුවයි කියන්නකෝ..සර්ගේ ඇස් නලලෙනුත් පොඩ්ඩක් උඩට ගිහින් කට කඩා හැලුණා..

"මොකද්ද ළමයෝ මේ..??" 

ඔය ඉතින් ඒ කාලේ ඉඳන්ම තනියට අඩුපාඩුවක් නැතුව කරන්න පුළුවන් වැඩක් නේ හිනා වෙන එක..ඒක නිසා තනියා බිමට හිනා වෙනවා..සර්ටත් හිනා...ඒවුණාට ඉතින් අර ගස් ලබු වයලීනේයි කඩුවයි පංතියේ සේරෝටම පෙන්නුවම නේ කොහොමද ඉතින් තනියට තියෙන පිළිගැන්ම..! ඊටපස්සේ සෑහෙන බයිට් කිරීමකින් පස්සේ සර්ට ඕන වුණා වයලීනේ උගන්නන්න..ඉස්සෙල්ලම කියපි ඇඟිලි පෙන්නන්න කියලා..ඒ කාලේ ඉතින් ඉක්කෝලේ ලොකු අක්කලා වෙච්චි..කාගේ නියපොතු කැප්පුවත් අපි නියපොතු කැපුවෙ නැහැ නේ..එච්චරටම රාජකාරියට කැපවෙලයි උන්නේ..ආයෙ ඉතින් මොකදෑ කියලා තනියත් දසැඟිලි ටික විහිදුවලා පෙන්නුවයි කියමුකෝ..ඔව් ඉතින් ඒ ගමනත් සර්ගේ කට ඇරුණා..

"මගෙ අම්මෝ..මෙන්න කොටියෙක් වයලින් ගහන්න ඇවිල්ලා!! යනවා ගිහින් ඔය නියපොතු ටික කපන් එනවා, වයලින් ගහන්න..! හුහ්! ඔය ඇඟිලි ටිකෙන් තත් ඇල්ලුව ගමන් කැඩිලා යයි පට පට ගාල." 

කොහොමද නේ තනියාට ලැබිච්ච වර්ණනාව..

දැන් ඉතින් මූලිකවම උගන්නවනේ ස්වර හත වයන්න..තෙල් නොදැම්ම පරණ බොලොක්කයක් වගේ සද්දෙන් මම ස්වර හත වයනකොට සර් කඩා පනිනවා..
"මොකද ළමයෝ, තොල් හපන් හරි අමාරුවෙන් වයලීන් ගහන්නේ..? ඕක වාදන භාණ්ඩයක්..රස විඳිමින් වයනවා..! "
සර් එහෙම කිව්වට මටම ලැජ්ජයි ඒ එන සද්දෙට! රස විඳින්න නෙවෙයි ඒ වෙලාවට අර bow එක මදින ඇම්බර් කැටේ කාලා මැරෙන්න හිතෙන්නේ..:D
අහන් ඉන්න බැරිම තැනද කොහෙද සර් වයලින් පාඩම් පැත්තකින් තියලා ප්‍රශ්න අහන්න ගන්නවා..විවිධාකාර විකාර ප්‍රශ්න ඉතින්..

"දැන් ඔය ළමයට බටහිර පුළුවන්ද?" පෙරදිග සංගීතෙ කොටසක් තිබ්බ බටහිරත්..

"ටිකක් පුළුවන් කියල හිතනවා සර්"

"හිතනවා..?? හ්ම්ම්..දැන් ඔය ඉස්කෝලේ ඕවා උගන්නලද?"

"නෑ සර්, ඉගෙන ගනිමින් ඉන්නවා.." ඔන්න ඉතින් වචන මැෂිම ලොප් වෙච්ච තැන..සර් ටිකක් වෙලා බලන් ඉඳලා කියපි "මහා පණ්ඩිත කෙල්ලෙක් නේද?" කියලා..! අනේ ඉතින් උන්දැ දන්නවයි මම හිතේ තිබ්බ එක වචන කරගත්ත හැටි පොඩ්ඩක් අවුල් වුණයි කියලා..උන්දැ හිතන්න ඇති මම හරහට කිව්වයි කියලා..

කොහොමහරි ඔය සේරම නිග්‍රහ විඳගෙන පංති ගියත් අනේ තනියාට පිහිටලා තිබුණේ නැහැ ඔය සාස්තරේ..තනියා වයලීන් ගහනකොට ගෙදර බල්ලෝ පූසෝ ඇස් කණ් අයාගෙන බලන් ඉඳලා දුවන්න ගත්තා..ඒ තරමට සුමිහිරියි..ඒ වුණාට මොකද උල්කාට නම් ඒකට සහජ හැකියාවක් තිබ්බා..උල්කා වයලීන් ගහන්නෙත් ස්වර බලාගෙන නෙවෙයි අම්මයි සීයයි වගේම තාල ඥානයෙන්..ඉතින් වයලීනයෙන් වැඩක් ගැනුණා කොහොමහරි..

ඊටපස්සේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය තිබ්බට ගායනය කරනවා නම් වාදනය ඕන වුණේ නැහැ..චූලසිංහ මාස්ටර්ගෙන් හොඳත් අහගෙන ලකුණු 94ක්ද 96ක්ද කොහෙද අරන් තනියා ඒකත් පාස් වුණයි කියමුකෝ..:)

ඊටපස්සේ උසස් පෙළ කරද්දි කොහොමත් සංගීතය අතෑරුණට මොකද තනියා පාඩම් කරනවට වඩා කළේ සිංදු කියන එකම තමා..ඒ කාලේ අර ලයිට් කැපිල්ලකුත් තිබ්බ නිසා ලයිට් නැතිවෙලාවට සිංදු කියන එකේ අමුතුම ආතල් එකකුත් තිබ්බා..ඒ ඇරුණම ප්‍රේමණිය හැඟීම් එහෙන් මෙහෙන් ඉඟිබිඟි පාන කාලයක් වෙච්චි..ගීතයට නේන්නම් ප්‍රේමයත් ලැදි..;)

ඊටපස්සේ රස්සාවට ගියාටත් පස්සේ තනියට ඕන වුණා ආයෙමත් සංගීත පංති යන්න..අනේ ඉතින් තනියා ගියා නන්දා මාලිනි මිස්ගෙ සංගීත ආශ්‍රමයට..ඉන්ටවීව් එකේදි සුපර් ස්ටාර් විවේචනය කෙරුව නන්දා මිස් ඊලඟ සීසන් එකේදි ස්ටාර්ලට ගුරුහරුකම් දෙන්නත් ගොහින් තිබ්බනේ! මොනා වුණත් නන්දා මිස්ගේ පංතිය හරියට කෙරුණා..සැරම සැර නිසා ස්වර උගුරේ හිරවෙන වෙලාවලුත් තිබ්බෙ නැත්තේ නෑ..පංති නෑවිත් ඊලඟ දවසේ සටහන ලියන් නැත්නම් සක්කර දෙයියො වුණත් ඉතින් පංතියෙන් දොට්ට දානවා..එහෙම දොට්ට වැටිච්ච කොලුවෙක්ට ඌත් එක්කම එකම හේතුවට දොට්ට වැටිච්ච මගෙන් ඒ සටහන් ටික කොපි කරගන්න තිබ්බ උවමනාවකුත් මතක් වෙනවා..ඔන්න ඉතින් වැඩක් නොගෙන ගිලිහෙච්ච අවස්ථා..ආයෙ මොනවද සබකෝලෙ තමා හේතුව..

සංගීත් ආශ්‍රමයෙන් ඉගෙන ගත්තේ ප්‍රවේශිකාවලටයි..ඔය විභාගවල ආලාප් කරන්න, තීව්‍රතා වෙනස් කරන පුහුණුවීම්වලට සර්පිනාවක් ඕනමයි කියලා තකහනියක් දුවලා ගිහින් පුංචි සීයාගෙන් සර්පිනාවත් ඉල්ලන් ඇවිත් විභාගේ කලේ නෑ කියන්නකෝ ඉතින්..! 
එන්න එතනින්ම සංගීත පන්ති පිස්සුව නැවතුණා..දැන් නම් ඉතින් මට මහළු වයසේ කියලා කවුරුවත් අහලක පහලක නැතිවෙලාවක සිංදු කෑල්ලක් කියන් ආතල් එකේ ඉන්න එකයි..එලොවටත් වැඩක් වෙන්ට කියලා..:D 


51 comments:

  1. // තනියාත් පුංචි කාලේ හිතුවා ගායිකාවක් වෙන්න..// බොනිකර ස්ටාර් කියල තරඟයක් තියෙනවා.. ට්‍රයි කරහන්.... ආ.. ඉතුරු ටික කියෝලා ආයි එන්නම්.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. 'මහා පණ්ඩිත කෙල්ලක්' .. ඔහොම තමයි කොල්ලෝ හිතන්නත් ඇත්තේ.. උන් දන්නේ නෑනේ මුන්දට 'සබකෝලේ' කියල..
      සංගීත ගැන මගෙත් මතක ගොඩයි.. කට්ටිය සෙට් වෙච්චි දවසට අපේ ගෙදරත් පැදුරු සාජ්ජයක් ෂුවර්. අපේ පවුලේත් ඔක්කොම සංගීතකාරයෝ.. (මන් ඇර.. මටත් රෝල් එකක් තියෙනවා.. ඒ සින්දු වල වචන මතක් කරලා දෙන්න..) අපේ තාත්තා, ලොකු අයියා, පොඩි අක්කා, ලොකු අයියගේ දුව පුතා ඔක්කොම සංගීතෙන් කප් ගහපු අය.. සීයයි මිණිපිරියි 'අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා..' කියලා ගායනා කරනකොට ලොකු අයියා සර්පිනාවයි ලොකු අයියගේ පුතා තබ්ලාවයි ගහනවා මැවිලා පෙනුණා.. උදේ පාන්දර ආසාවෙන් කියෙව්වා.. එළ!

      Delete
    2. කමියෝ කොහෙද බං ඔය තරඟේ තියෙන්නේ? :P

      //'මහා පණ්ඩිත කෙල්ලක්' .. ඔහොම තමයි කොල්ලෝ හිතන්නත් ඇත්තේ.. උන් දන්නේ නෑනේ මුන්දට 'සබකෝලේ' කියල.. // කියලා වැඩක් නෑ බං..උඹ හරියටම හරි..හැක් හැක්..
      ෂා!! උඹත් එහෙනම් සංගීත පිස්සෙක්..ඒ මතක තමා බං අතිශයින්ම රසවත්..අපි ජීවිතේ විඳලා තියෙනවා කියලා කියන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඒ..:)
      'අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා..' කියන්නේ අපේ සාජ්ජවලත් ප්‍රසිද්ධම සිංදුවක්..ඒ ඇරෙන්න ලෝ අඩ නින්දේ, මිහිකත නලවාලා, බරබාගේ වගේ තව හුඟක් සිංදු තිබ්බා..උඹ ඔය කිව්ව සිද්ධිය මටත් මැවුණා..අපේ සාජ්ජත් එක්කම..

      Delete
  2. අඩේ..... තතා.. තැලිච්ච ගස්ලබ්බක් කිව්වා??? යකෝ දැං ගස්ලබු ඇට කිලෝ එකක්ම 20 00යි ලු හරිය??
    ගස්ලබ්බගෙ භාණ්ඩෙ උනේ බටනලාව.ගිරිය කඩාගෙන ඕක පිඹපු කාලෙ මතක් වෙනවා.සංගීත තරග වලදි අපේ ඉස්කෝලෙ ඔකෙස්ට්‍රා එක එක උන නිසා සහතික ගත්තට ගස්ලබ්බට වාදනය කරන්න ලැබෙන්නෙ තත්පර දෙක තුනයි.එච්චරකට හැකියාව..එකට හිටපු උන් දැන් නිතරම ටීවී එකේ පෙනෙන වාදකයොත් වෙච්චි. අපෝයි... උඹ පරණ කාලෙ මතක් කලා නියමෙට.දැං ගස්ලබ්බගෙ දැඩි තීරණය සංගීතය ආශ්‍රය කරන්නෙ ශ්‍රවණය සඳහා ම පමණයි කියලා..
    සිංදුවක් රැකෝඩ් කොරලා දාහංකො අපිට අහන්න බොගෙ ටකරං හඬ.. සිරාවටම කියන්නෙ.
    හෙහ් හෙහ් හේ....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තතා..? මොකාද යකෝ ඒ? :O
      //යකෝ දැං ගස්ලබු ඇට කිලෝ එකක්ම 20 00යි ලු // ඒ මොකෝ ගස්, උඹට සොරි වුණාද ඔච්චර ඉක්මණටම? :P
      බටනලාව..අන්න මගේ ලව් එක..ඔය ගැනත් කලින් ලිව්වා..ඒ මොකෝ උඹට බටනලාව ගහන්න බැරි?පාන්කිරිත්තෙක් වගේ නිසා පෙනහළුවට ධාරිතාවය මදි ඇති..:P :D මොනාවුණත් එහෙමවත් බටනලාවක් වයන්න පුළුවන් කියන්නේ උඹේ වාසනාව..:)
      ටකරං හඬ අධි ටකරං වෙලා දැන් නම් තියෙන්නේ පුහුණුවක් නැහැ නේ අවුරුදු ගාණකින්..:( ඒක නිසා ඕව දාලා බොලාට මක්කවත් උණොත් එහෙම මේ මගුල් කටේ..:P

      Delete
  3. හම්මේ... තරුවා කාලෙකින්... මම කාලෙකින් නිසා වෙන්ටැ ... උඹත් නාකිච්චියෙක්නේ බං.. රූකා කියන්නෙ මගෙත් වීරයා ඒ කාලෙ.. දිගන්තයේ බෙරිහන් දීල කියපු කොල්ලො තමා අපිත්.. සිරසෙ රස රිසි ගී වල මාස ගානක් හිට් උනා ඕක... සංගීතෙ සෞන්දර්ය විෂය විදියට හදාරන්න බැරි උනත් සංගීත උණ දරුණුවට තිබුන හංද ඕ ලෙවල් වලට පස්සෙ බට නලාව පුරුදු උනා බාප්පට පින්සිද්ද වෙන්ඩ.. ඊට පස්සෙ මාත් හිතාගත්ත මං තමයි පොර කියල.. ගත්ත සල්ලි සල්ලි කියල්ල බලන් නැතුව ගිටාර් එකක්. බොහොම දක්ෂ් ගුරු වරයෙක් කාරිය හොයාගෙන පන්තිත් යන්න පටන්ගත්ත.. දවස් තුනයි ගියෙ හතරවෙනි දවසෙ සර් මාව පන්තියෙන් පැන්නුව කට වැඩියි කියල.. සර්ල පැන්නුවට වැඩේ අතෑරියෙ නෑ.. ලාවට වනාගන්න තත්වෙට එනකල් ඩිවෙලොප් කරගත්ත... උඹ ලස්සනට ලියල.. සුපිරි ඉස්ටාර් තරඟෙකට ගියා නං අද එහෙනං බොනිකර තරුවක්..

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ඉක්මණට මල් මාලේ ගෙනෙල්ලා..අර රතිඤ්ඤා වැල පුපුරවපල්ලා..රබන් ගහපල්ලා...සජ්ජා ඇවිල්ලා..!! :P
      ඔව් ඉතින් උඹත් මගේ වයසෙම වෙන්ටෑ එතකොට උඹ නාකියෙක්..හැක් හැක්..
      අම්මෝ ඔව් ඒ කාලේ රූකා කිව්වම නේ? ;) අනේ ඇයි මට උඹලා ඉරිසියා හිතවන්නේ..බටනලාවටත් වුණේ වයලීනේට වෙච්චි දේමයි..පූහ් පූහ් ගාලා හුළං පිඹිනවා විතරයි හඬ එන්නේ නෑ..:D
      //දවස් තුනයි ගියෙ හතරවෙනි දවසෙ සර් මාව පන්තියෙන් පැන්නුව කට වැඩියි කියල// පැහැදිලියිනේ නේ? බොගෙ කට වැඩී කියලා ඉක්කෝලෙනුත් පැන්නුවෙ නැද්ද? හැක් හැක්..
      ස්ටාර් යන්නත් බෑ නේ බං සබකෝලේ නේ..සිංදු කියන්න වේදිකාවට නැගලා මැන්ඩරීන් ගහතැහැකියැ දණිස් දෙකෙන්..!

      Delete
    2. සැක හැබැයි තනියෝ උඹ ස්ටාර් ගියානම් සීසන් ටෙන් එකේදී හරි තරුවක් වෙන්න තිබ්බා , දැනුත් උඹ ස්ටාර් නේ , තනි ස්ටාර් ...:D

      Delete
    3. //රූකා කියන්නෙ මගෙත් වීරයා ඒ කාලෙ.. //

      මගෙත් එකෙන්ම..මනලෝලී මනමාලියේ / සඳේ ඔබ/ නුඹ ලඟ නැති මේ / වගේ සිංදු ටික බජව්වකදි අනිවාර්‍යයි !! ඕ යේස්

      Delete
    4. ඉවාන්: ඒකනේ මම ඔය අනුන්ගේ වේදිකාවල ස්ටාර් නොවී මගේම වේදිකාවක ස්ටාර් වෙලා ඉන්නේ ..හැක් හැක්..කට සෙලෙව්වොත් නෙව අත සෙලවෙන්නේ..:D

      පත්තරේ: රූකා ෆෑන් එහෙනම් ඈ..;)

      Delete
  4. අපිනං අහනවා විතරයි........... ගායන වාදන මොකුත් බැරි හින්දා.............. මේක නියමයි. එකදිගට කියවං ගියා..........

    ReplyDelete
    Replies
    1. උඹ අවංකයි කියන්නේ ඒකනේ..අහන එකත් හැමෝම කරන දෙයක් නෙවෙයි බං..ජීවිතේට සිංදුවක් අහන්නේ නැති මරුමුස් ඩයලුත් ඉන්නවා..;)

      Delete
  5. හෙහේ මරු මරු! තනියාගේ සංගීත ජීවිතේ!

    ReplyDelete
    Replies
    1. එහ් බස්සි නගෝ..තැන්කූ ඈ..:D

      Delete
    2. හෙක් රයිගමයයි ගම්පලයයි

      Delete
    3. උඹ එතකොට කටුගම්පලයද උඩුගම්පලයද? :P

      Delete
    4. ඕකා කටුගම්පලයා. වලියටමයි එන්නෙ.

      Delete
  6. නියමයි තනියෝ ....

    පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින්
    සංගීත සිංහලද්වීපේ
    මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපේ
    මහ මෝඩකමක් තව ඇද්ද රටේ
    මා ‍එක්ක අනේ ඇය් කෝපේ
    ඇන්නෑ ඊර්ෂ්‍යා
    මුන්ගේ මෝඩකම් පේනා

    සංගීතකාරයෝ බෝමයි
    පුප්පන්ට ඉතා සමතෝමැයි
    දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
    නොදකින් නරිවාදම්
    පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
    ඉලගෙයිරංගේ මාගෙන් තේරේ...

    නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම

    ReplyDelete
    Replies
    1. නියම සිංදුව.... මම ආසම එකක්

      Delete
    2. අන්න ඕකත් නැගලා ගිය සිංදුවක් නේද ආනන්ද පෙරේරලාත් කිව්වනේ කාලයක්..:)

      Delete
  7. උඹව රාජ කුමාරිට ගත්ත නාට්ටියේ අධ්‍යක්ෂක කවුද බං. ඇයි යකෝ වධකයාට ගන්න ඕන එකාව රාජ කුමාරිට ගත්තම මොන නාට්ටියක්ද ඒක.

    ඔය උඹ ගිය වයලින් පන්තියට මාත් ගියා , උඹ ඉන්නවා දැකලා මට සන්ගීතෙත් එපා වෙලා චිත්‍ර කළා ඕ ලෙවෙල් වලට . අම්මප . අර ඔපෙරාව කියන්න ආපු එකා ගේ දත් ටික යහතින් තියෙනවද බං.

    ReplyDelete
    Replies
    1. ඈ බොල ඒ මොන නාට්ටියක්ද අහන්නේ ඒවා රාජ නාට්ටි..! වධකයට ගන්න එකාව කුමාරිට ගන්න තරම් කොච්චර අහේනියක් තිබ්බද කියලා ඉතින් බොට හිතාගත්තැකිනේ? :D

      අඩේ උඹට චිත්‍ර අඳින්න පුළුවන්ද බං? එහෙනම් උඹ ඇඳලා දියන් මම පාට කොරඥ්ඥං..ඒ කාලේ අහිංසකයි බං..දන්ත වෛද්‍ය විභාගේ කොරලා හිටියේ නෑ..:P

      Delete
  8. සංගීතේ නේද? අම්මේ.... කියල නානවද කියල මම මේ කල්පනා කලේ. එක්කෝ ඕන් නෑ...

    අන්න එහෙමයි තනියෝ... කොහොම හරි කරගන්න ඕනේ ආස දේවල්. දැන් මේ මම ඔය නැටුම් පිස්සුව තාම හොඳ කරගත්තේ නැතුව දැන් නවනින්ගිරා විඳපු නැති තැනක් නැති තරම්!!

    කමෝන් තනියා... වන් මෝ... ( අම්මෝ!)

    ReplyDelete
    Replies
    1. හම්මේ ටින් කබලා සිංදු කියනවද? හිටින් මගේ ගානේ ඇබ බෙදන්න ලංකාවටම

      Delete
    2. //කොහොම හරි කරගන්න ඕනේ ආස දේවල්// එකෙන්ම!!
      ජීවත් වෙන ඩිංගෙ ආස දේවල් සේරම කරලා බලන්න ඕන..එක්කෝ හරි යයි එක්කො වරදියි..ඊට වඩා වැඩි යමක් වෙන්නෙ නැහැ නෙව?
      එහෙනම් ලියාන්කො උඹෙත් නැටිල්ල ගැන..:D

      Delete
    3. ඉවාන් : ඇයි දැන් උඹ ඇබ කර්මාන්තය ගෘහ කර්මාන්තයක් කොරගෙනද බොල? අනේ මේ මටත් කීපයක් එවාංකෝ..ඒ ටික ගෙදර කට්ටියට දීලා ආයෙත් සිංදු කියන්න ගන්න..

      Delete
    4. ආන්න දැක්කද? උඹල මාව දෙකේ කොලේට දාල කතා කරන්නේ නේද? හිටිං පෙන්නන්න..... හුහ්
      මගේ නැටුන් ජිවිතේ ගැන නම් බාගෙට වගේ ලියාගෙන ආව බ්ලොග් එකේ. ආයේ ලියන්න ඕනේ. චිත්‍ර ජිවිතේ තාම ලිව්වේ නැහැ. සංගීත ජිවිතේ... අම්මප ලියන්න ඕනේ ලොවි ගහෙන් වැටෙන්න.( දැන් මට අර මී පුරවැසියෝ එකේ 'පොත් දෙකක් තුනක් දැනටත් ලියා දාලා.. තියෙනවා.. තව දෙකක් තුනක් ලියනට හිතේ ඇඳිලා...' සින්දුව ඔලුවේ ප්ලේ වෙන්නේ ඇයිද මන්ද...) ඕන්න බලාපල්ල ඒකෙත් හැටි... නේද?

      නැටුන් ජිවිතේ ගැන බලන්න මෙතන කොටන්න.

      ඉවාන්: හුහ්.. මේවා එහෙම ඇබ ගැහුවත් නෑහෙන සින්දු නෙවෙයි හරිද? මෙව්වා චක්‍රාවාට වලට පවා විහිදෙන නාදයන්! කෙටි කතාවක් ලියහන්, නැත්තං මම ඔන්න සින්දු කියන්න පටන් ගන්නවා හරි?

      Delete
  9. අම්මෝ සංගීතේ !!!

    මටත් කන්න බොන්න නැතත් කාරි නෑ සිංදු තමා ඕනෑ . එකෙන්ම රෙෂ්පට් !!

    ReplyDelete
    Replies
    1. අන්න එළ කොල්ලෙක් පත්තරේ!
      රෙෂ්පට්! මේස් එකත් ගැලෙව්වා..:D

      Delete
    2. /මටත් කන්න බොන්න නැතත් කාරි නෑ සිංදු තමා ඕනෑ . එකෙන්ම රෙෂ්පට් !!/

      අඩෝව් මේකේ තියන බොන්න කියන වචනේ ඉවත් කරග නින්

      Delete
  10. ඕව ගැන කතන්දර කියල තියෙන කාඩ්ඩෙකත් කුඩු කර ගන්නෙ මක්කටෙයි.. ඒත් එකක් නං ලියන්නම වෙනව..හිහි හයේදි හතේදි සංගීත නැටුං චිත්තර තුනම කරන්න තිබ්බට අටේ ඉදංද කොහෙද ඒවැං එක සබ්ජෙට් එකක් තොරගන්න ඕන.. මං හෙන කැමැත්තෙං හිටිය මියුසික් කොරංඩ. ඒත් කාඩ් එක හොදයිනෙ ගහල නොපැන්නුව විතරයි.. එතනිං ගියා නැටුං නටන්න වත් කියල. නැට්ටුව ත් ඒ සෙතේමයි කලේ... ම්හූ..
    බැරි වුණත් චිත්‍රඅදින එක තමා විසදුම
    අම්මේ තනියො උඹට කියන්න චිත්‍ර මිසී මාව දැක්කම නොවැන්ද එක විතරයි. (මොකද චිත්‍ර කරන්න මං යද්දිත් 6ක් නැත්තං 7ක් විතර හිටියෙ.. ) හැක්..
    ඉතිං මචං ඒ ආදරේ අඩුවක් නැතිව 11ට එනකං තිබ්බ. මටත් අපෙ බට්ටටයි කීවෙ චූචි පුචාල කියල කියහංකො..
    ඇයි දන්නවද අපි චිත්‍ර ඇන්දම ඒව චිත්‍රද කටුබලිද කියල හෙයන්න බෑ.. පිකාසෝ කැලේ.. හැක් හැක්..

    අන්තිමට වුනේ සංගීත මැඩ්ඩෑම් හිංද සංගීතෙ එපා වුණ එක විතරයි. බැරි දෙයක් කරන්න වුණා.. ටිකක හරි පුලුවං දේට කෙලවුණා.. දැං මුකුත්ම බෑ...

    නාට්‍ය හා රංග කලා කරන්න තිබ්බ කියල යැම එකාම කීව.. 10 වසරෙ නාට්‍ය රංග කලා පටං ගද්දි මට පැපොල හැදිල. ආයෙ ගන්න බෑ කීව. එතනිං මකෙ කලා ජීවිතේට කෙලවුණා...
    හැක්...

    උඹේ පෝස්ටුව නං මල් මසුරං බං

    ReplyDelete
    Replies
    1. අඩෝ මහියා ඒක හරිම දුක්බර කතාවක් බං..:(
      පොඩ්ඩක් ඕක ගැන ලියහන් පෝස්ටුවක් විස්තර ඇතුව රහට ගලපලා..මට තියෙන ප්‍රශ්නේ උඹේ කාඩ් එක ප්ලැටිනම් වෙන්ටැ ඒ කාලේ ඉඳන්ම? සංගීත මැඩම් මොනාවයි කළේ බොට? ;)
      නාට්‍ය හා රංග කලාවක් අපිට තිබ්බේ නෑ බං..අපරාදේ..ඒ කාලේ තිබ්බා නම් අනිවා කරනවා..එක අතකට ඉතින් ඒකත් එකක්..නාට්‍ය මත්තෙම හිටියා නම් අද තනියා බ්ලොග් ලියන එකකුත් නැතිවෙන්න තිබ්බද කවුද දන්නේ..;)

      //අම්මේ තනියො උඹට කියන්න චිත්‍ර මිසී මාව දැක්කම නොවැන්ද එක විතරයි. // මිස් පුටුවෙන් නැගිටලා සැලුට් ගැහුවා නේද? :P

      Delete
    2. මිස් පුටුවෙන් නැගිටලා සැලුට් ගැහුවා නේද? :P///
      ආයෙත් අහල
      මොකෝ අපේ පැටිකිරිය දැන ගන්ට තරං උන්දැ අලුත් වැඩී හිහි

      Delete
  11. රූකාන්ත මගෙත් වීරයෙක් තමා..... හැබැයි ඒකම කෙනා නෙමෙයි.....

    ReplyDelete
    Replies
    1. අනිවා..මගෙත් එහෙමයි..වීරයෙක්මමත් නෙවෙයි හැබැයි රූකාන්තගේ සිංදුවලට ලොකු කැමැත්තක් තිබ්බා..

      Delete
    2. මගෙත් වීරයෙක් නෙවෙයි බං

      Delete
  12. මගේ සංගීත ජීවිතේට කෙලඋනේ අට වසරෙදි...
    සංගීත මාස්ටර් ඒක පාර කොටු දෙකක් පනින්න ගිහිං..
    මාස්ටර් නිදිපැදුරෙම චකබ්ලාස්ට් කරලා..
    ඒදා ඉදං මගේ සංගීත ජීවිතේට කෙලඋනා..
    ඒහෙම නැත්තං මාත් ඒ් වගේ මාස්ටර් කෙනෙක් චැහ්...

    පට්ට සීන් ඒක..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. (උඹ ඔය ඇත්තටමද කිව්වේ? :O)

      අපරාදේ නේද විදානේ..සර් වැඩි තණ්හාවට කොටු දෙකම එක සැරේ පනින්නේ නැතුව එකක් ගෝලයෙක්ට දෙන්න තිබ්බනේ...:D

      එක අතකට මාස්ටර් දිවි පුදලා හරි උඹව මාස්ටර් කෙනෙක් නොකරන්න වග බලාගත්ත එකත් හොඳයිනෙ බං..මම කිව්වේ අර කතාවක් තියෙනවනේ ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුවදුවා කරනවයි කියලා...:P (බේරගනියෝ..!!)

      Delete
    2. සිරාම සිද්ධිය.. ඔය අකුරැස්ස පැත්තේ හිටිය ප්‍රසිද්ධ මාස්ටර් කෙනෙක්...
      ඊට පස්සේ ගෙදරින් කිව්වා "උඹට සංගීතෙ නැතුවට කමක් නෑ කියලා"
      අන්තිමට ඉස්කෝලේ උගන්නපු චීචර් ගේ (ශ්‍යාමා බෝගෝඩ රෝහන බෝගඩයන්ගේ ඥාති දියණියක්)
      පිහිටෙන් තමයි ඹ්එල් ගොඩදාගත්තේ...
      නැත්තං මං තාමත් ඕඑල් කරනවා..
      අඩෝ දුවදුවා කරන එකෙත් අමුතු ගතියක් ඇති නේද??? දුවල බලන්න ඕන.... හැක් හැක්..

      Delete
    3. හපොයි එහෙමද? මළගිය ඇත්තන්ට අපහසුතාවක් කණගාටුවක් ඇතිවුණා නම් සමාවෙන්න ඕන. බලන් යද්දි අපි හැමෝම වගේ ඔය වගේ කටු කාලා තියෙනවනේ..? උඹ තාම නර්සරි කියලයි අපි හිතන් ඉන්නේ! හැක් හැක්..:D
      දුව දුවා කරන්න අනේ අම්මේ උඹත්..! :P

      Delete
  13. ඔයා කරගතපු ලොකුම මෝඩකම තමයි ඉස්සෙල්ලම වයලින් එකක එල්ලිච්ච එක.. ගෙදර වටපිටාවේ ඔර්ගන්, සර්පිනා තිබිලත් එව්වගේ ආභාෂය ඉස්සෙල්ල නොගත්තු එක මෝඩකමක්..

    මට උනේ ඔකේ අනික් පැත්ත.. මම ඉගෙනගත්තේ චිත්‍ර.. එත් සංගීත පිස්සුව කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම තිබ්බ... එත් ඉස්කෝලේ සංගීත තෝරාගන්නේ නැතුව හිටියේ සාපෙළ විභාගෙට පාඩම් කරන්න තවත් විෂයක් වැඩිවෙන නිසයි.. එත් තිබ්බ උණට අහල පහල සංගීත ඉගෙනගන්න කෙල්ලන්ගේ සංගීත පොත් ඉල්ලගෙන ප්‍රස්තාර බලාගෙන නංගීගේ මෙලෝඩිකා එකකින් ස්වරෙන් ස්වරේ පුරුදු උනා.. උසස්පෙළ කරද්දී දන්නා කියන කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා බෑන්ඩ් එකක් හදන්න යද්දී මම තමයි එකේ කීබෝර්ඩ් වාදකයා උනේ... බෑන්ඩ් ලීඩර් වෙච්චි අයියත් ඒ වෙද්දී ගුරුවරයෙක්.. එත් සංගීත නෙවෙයි...එත් මිනිහට හොඳ සංගීත ඥානයක් තිබ්බ... ඒ අයිය තමා මට ස්වර 7 විදිමත් විදිහට වාදනය කරන්න කියලා දුන්නේ.. එයා තමා කෝර්ඩ් කියල ජාතියක් තියනවා කියලත් කියල දීල කෝර්ඩ් අල්ලන හැටි තියන මුද්‍රිත කොලයක් දුන්නේ ෆොටෝකොපි ගහගන්න කියල.. ඊට පස්සේ බෑන්ඩ් ගහන්න කීබෝර්ඩ් එකක් නැති නිසා මට ගෙදරින් අරන් දෙන්න පොරොන්දු වෙච්චි මෝටර් සයිකලේ එපා කියල කීබෝර්ඩ් එකක් ගෙන්න ගත්ත ... ඒ පටන්ගත්තු සංගීත ගමන අද මෙහෙ වෙස්ටර්න් බෑන්ඩ් එකක කීබෝර්ඩ් වාදකයා තරම් දුරකට එන්න තරම් දෙයක් උනා.. එත් මුලික සංගීත දැනුමක් නැතිවීම අදටත් මට ලොකු පසුබෑමක්.. ඔය කාලෙම ඔයා වගේම මගේ නංගිත් වයලින් එකක් අරන් සංගීත පන්ති යන්න ගත්ත.. එත් එයාගේ සංගීත කෙරුවාව මාසෙන් දෙකෙන් ඉවර උනා.. මම සෑහෙන්න උත්සාහයක් දැම්ම වයලින් එක ඉගෙනගන්න.. එත් අදටත් මට වයලින් එක ගහන්න බැහැ පොඩ්ඩක්වත්.. මුලින් ගතපු කීබෝර්ඩ් එක බෑන්ඩ් එකක් ගහන්න ලොකු එකක් නොවෙන නිසා මම කීබෝර්ඩ් එක ගිටාර් එකකට මාරු කරා යාලුවෙක් එක්ක.. ඒ ගිටාර් එකෙන් මම ගිටාර් ගහන්නත් ඉගෙනගත්තා. මම හිතන්නේ වයලින් එක හරියට පුරුදු වෙනකම් ඉවසාදරාගෙන ඉගෙනගන්න හරිම අමාරු සංගීත භාණ්ඩයක්.

    මේ මම බෑන්ඩ් ගහද්දි වෙච්ච සිද්දියක් ගැන ලියපු පොස්ට් එකක්..

    http://ambalangodakatha.blogspot.com/2014/12/blog-post_19.html

    උසස්පෙළ ඉවර වෙලා මම ගියා වෙස්ටර්න් මියුසික් ඉගෙනගන්න... ඒ වෙද්දීත් මම බෑන්ඩ් ගහන නිසා නොටේෂන් රීඩ් කරන්නේ නැතුව ඉයර් එකටම පියානෝ එක ගහන්න තමයි කොයි වෙලෙත් ක්ලාස් එකේදී ට්‍රයි එක.ටීචර්ට ඕන උනේ මාව වෙස්ටර්න් මියුසික් විභාගෙට තියල සහතික අරන් දෙන්න.. මට ඕන උනේ වෙස්ටර්න් මියුසික් ඉගෙනගන්න මිසක් විභාග ලියන්න නෙවෙයි.. තියරි පාඩම් කරන්නේ නැති නිසාත්, නොටේෂන් හොරට රීඩ් කරන නිසාත් අන්තිමේ ටීචර් මාව ක්ලාස් එකෙන් පැන්නුව..

    කමෙන්ට් එකක් ලියන්න ගිහින් හෙන ලොකු හෑල්ලක් ලියල අන්තිමට.. සංගීත උණ තියන එවුන් සෙට් උනාම එතන රස්තියාදුවක් ගහන්නමයි හිත.. සොරි වෙන්න ඕන බහුභූත ලිව්වට..

    ReplyDelete
    Replies
    1. හැක්..මට ඕගන් එකයි සර්පිනා එකයි හොඳට පුළුවන් බං..:) පොඩි කාලේ ඉඳන් ලොකු ලොකු වැඩ කරන්න ගිය හින්දා තමයි වයලීනේ එල්ලුණේ..;) ඔයින් ගියා මදෑ සිතාරේ ගැනත් හෙන ලව් එකක් තිබ්බකොට..

      ඒ කියන්නේ උඹ සිරා පොරක්නේ? බෑන්ඩ් එකක හිටියා කියන්නේ..මාත් ඉතින් ස්වර සටහන් මත තමා යැපෙන්නේ..ඉයර් එකට ප්ලේ කරන්න බෑ..ඒක මගේ මව් පාර්ශවයේ බොහෝ දෙනෙක්ට තියෙන හැකියාවක් වුණත් මට පිහිටලා නැහැ..ඒත් ඉතින් අවුලකුත් නැහැ බං..

      මට පියානෝ එක නම් බැහැ..වෙන මොකුත් නිසා නෙවේ අම්මා කියලා දෙන්න යනකොට කිසි දෙයක් ඔළුවට දාගත්තෙ/දාගන්නෙ නැති නිසා..ඒවුණාට කවුරුහරිම පියානෝ එකක් ගහනකොට මම ඉන්නෙත් අර වයලීන් පංතියේ හිටියා වගේම කටත් ඇරන් තමයි..

      අවුලක් නැහැ මචං රචනාවක් ලිව්වට..අයි නෝ ද ෆීලින්..;)

      Delete
  14. මාත් ඇවිල්ල චිත්‍ර බැරි කමට සංගීතය තෝර ගත්ත එකෙක් තමයි.. හෙහ් හෙහ්.. බලන් යද්දී මං වගේ එවුන් තව ඉදලා හියෙනවනේ..

    මගේ වයලීන් එක තාම අල්මාරිය උඩ තියෙනවා.. ලංකාවට ගියාම අරන් බලලා ආයෙම තියලා ඒ දවස් මතක් කරලා සතුටු වෙන්න තමයි වෙලා තියෙන්නේ දැන්නම්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බහුතරයකට චිත්‍ර බැරුව ඇති නේ? එහෙනම් දිනේෂ් මලයටත් මට වෙච්චි දේම වෙලාද නැතිනම් වයලීන් එක ගහන්න පුළුවන්කම තියාගෙනත් අල්මාරිය උඩ තියන් ඉන්නවද? ;)

      Delete
  15. අපි සලකනවා මදිනේ තනි අලියට.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්..ඇවිත් කියවලා බලලා ඔය කරන සැලකීමම මදෑ.. :)

      Delete
  16. ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම කැමැත්තෙන් කියෙව්වා.අනික සින්දු කියන්න පුළුවන් වීම ලොකු දක්ෂකමක්.හැමෝටම ගායනා කරන්න බැහැනෙ.

    ReplyDelete
    Replies
    1. අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ස්තූතියි..රස වින්දා කියන එක අහන්නට ලැබීම සතුටක්..අනේ ඉතින් එහෙමට ලොකු දක්ෂකමක් නැහැ..කොඤ්ඤං කොඤ්ඤං තමා ඉතින්..:D

      Delete
  17. ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම කැමැත්තෙන් කියෙව්වා.අනික සින්දු කියන්න පුළුවන් වීම ලොකු දක්ෂකමක්.හැමෝටම ගායනා කරන්න බැහැනෙ.

    ReplyDelete
    Replies
    1. අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ස්තූතියි..රස වින්දා කියන එක අහන්නට ලැබීම සතුටක්ක්..අනේ ඉතින් එහෙමට ලොකු දක්ෂකමක් නැහැ..කොඤ්ඤං කොඤ්ඤං තමා ඉතින්..:D

      Delete