Sunday, February 21, 2016

පොදු පුරුෂ ප්‍රේමය

ඉර මුදුන් වෙලා ආපහු හැරිලත් පැය දෙක තුනක් ගෙවිලා තිබ්බා..සහන්‍යා ඒක පරක්කුවක් විදියට දැක්කේ නෑ..කොයියම්ම වෙලාවක වුණත් සුපුරුදු ආපන ශාලාවේ සුපුරුදු තැන ඈ වෙනුවෙන් තිබුණා..බෝඩ් ගහල වෙන් නොකලට..

කොළඹ දාහය මැද්දේ, කෘතිම නුවර එළියක වැඩ කරනවට වඩා සහන්‍යා ආසම වුණේ මෙතැනට..වාර්නිෂ් පාට බොකුටු සැප පුටු හබල පෙති පාට කුෂන්වලින් පුරෝලා ලස්සන මුහුදු නිලක් ගත්ත හුරුබුහුටි කුෂන් කොට්ට විසුරුවලා තිබ්බ මේ ආපනශාලාව පැයක් දෙකක් උදුරගත්තට පාඩු නැතිවෙන තරම්...කොහොමත් ලොකු වීදුරු ජනේලවලින් පේන අහසයි මුහුදයි අතරේ ඉඳන් කෑම කන අතරේ වැඩ කරන්න සහන්‍යා කැමතියි..හැමදාම එන නිසා කවුරුවත් වධ කරන්න ආවෙත් නැහැ..

සහන්‍යාට ඕන වුණේ අහසයි මුහුදයි අතරේ හිටි බැල්ම ආයෙමත් පරිගණක තිරයට ගේන්න..ඒත් ඒ ගේන අතරේ වීදුරුවෙන් තමන්ට මොකක් හරි පුරුදු ඡායාවක් පෙනුණද කියලා හිතිච්ච නිසා ඈ ආයෙමත් හැරිලා බැලුවා..

හුරු පුරුදු ඡායාවක් තමයි..හුඟක් හුරු පුරුදු ඡායාවක්..හැබැයි නුහුරු ඡායාවක් එක්ක...
වේගයෙන් ආව මුහුදු රැල්ලක් කළුගල් පරයේ වැදුණේ නෑහෙන දුරකදි වුණත් ඒ සද්දේ සහන්‍යාගේ කන්වලට දැනුණා..

-----------------------------------------------------

සහන්‍යාට වලාකුළ මුණ ගැහුණේ අහම්බයකින්..ඒත් නිකන්ම නිකන් වලාකුළකට වඩා එතන හිටියේ සෙල්ලක්කාර වලාකුළක්..වලාකුළු කොච්චර දැකලා තිබ්බත් සහන්‍යා දැකලා තිබ්බේ නැති ජාතියේ දඟ වලාකුළක්..වලාකුළු කියන්නේ පාවෙන්නම උපන් ජාතියක් කියලා දන්න නිසා සහන්‍යාට ඕන වුණේ නැහැ අත් දික් කරලා ඉල්ලන්න, අඬන්න..ඒත් එයාට බය හිතුණා...එහෙම ඉල්ලන තත්වෙට පත්වෙන්න...

ඒක නිසා ඈ වලාකුළ නොදැක්ක ගාණට හිටියා..වලාකුළත් පරණ තරහක් පිරිමහන්න වගේ සහන්‍යාගේ ඇස්වලට උඩින් අරහෙට මෙහෙට පාවුණේ එතන කෙල්ලෙක් නොහිටි ගාණට...පාවෙවි වැදුණේ සහන්‍යට වඩා උස ගස් මුදුන්වලවත්, කඳු තුඩුවලවත් නෙවෙයි..සහන්‍යා හිටගෙන උන්නු තැන වටේ විසිරිච්ච මල් පඳුරුවල...

හැබැයි හුළඟත්, හුළඟ එක්ක වැනෙන ගස් කොළනුත් සහන්‍යාට රහස් කිව්වා.."දඟ වලාකුළට ඕන ඔයාගේ ඇඟේ හැප්පෙන්න..අපි නම් කියන්නේ ඔයයි වලාකුළ කැමතිම කෙනා.." සහන්‍යා බයවෙච්ච පාර දුවන්න පටන් ගත්තා..ඒවුණාට සහන්‍යාගේ හිත කිව්වා "එහෙම බයවෙලා දුවන්න තරම් දුර්වල වෙන්න නරකයි" කියලා..සහන්‍යා වලාකුළ ලංවෙච්ච වෙලාවක වචන උණ්ඩ විද්දා වලාකුළ හිල්වෙන්න..ඊටපස්සේ සුලිසුළඟක් වගේ වලාකුළ සහන්‍යා වටේ එතෙන්න ගත්තා..යන්න නොදෙන්න කිටිකිටියේ හිර කරලා අල්ලගත්තේ ආදරේකට නෙවෙයි වෙඩි තිව්ව තරහ පිරිමහගන්නයි කියලා හුස්ම හිරවෙන අස්සෙත් සහන්‍යාට නොතේරුණා නෙවෙයි..ඕන දෙයක් වෙද්දෙන් කියලා සහන්‍යා කතා කෙරුවා..වලාකුළට ඕන වුණේ නෑ පරාද වෙන්න..ඒක නිසා හිරකරන්න බැරි දුරක ඉන්නකොට පාන්දර කෝල් කරලා ඇහැරවන්න වගේ නපුරුකම් කරන්න වලාකුළට ඕන වුණා..ඒත් සහන්‍යා ඒවා භාරගත්තේ හුරතල් දඟක් විදියටයි..කොච්චර වෙඩි තිබ්බත් ඈ හිත යටින් ඒවාට හිනා වුණා..වලාකුළ ඇත්තට දැක්කම රැව්වා..

කතන්දරේ නැවතුණේ නැහැ..ටික කාලයක් යද්දි හුළඟ රහස් කියන්න ගත්තා..හැමෝටම.."සහන්‍යායි වලාකුළයි යාළුවෙලා..අපි නම් ඕක අනුමත කරන්නෙ නෑ..එයා හැමෝටම ආදර කතා කියන නොසණ්ඩාල වලාකුළක්" හුළඟයි ගස් කොළනුයි එක සැරේම වෙනස් වෙලා තිබ්බා..සහන්‍යා මිටියාවත මැද්දේ තනිවුණා..එයාට ඕන වුණේ නැහැ එහෙම වෙන්න..ඒක නිසා සහන්‍යා තීරණය කළා වලාකුළට කතා කරන්න..එයා නිසයි මේ ඔක්කොම...

වලාකුළ පාවි පාවි සහන්‍යා හිටි දිහාවෙන් යන්න ආවා..සහන්‍යා පාර හරස් කරලා හිටගත්තා.."මම ඔයත් එක්ක යාළු නැහැ..හුළඟ කියන ඒවාට මම කැමති නැහැ..මට අයිතිකාරයෙක් ඉන්නවා.." උණ්ඩ ඉවරවෙලා තිබ්බා..වලාකුළ මැලවුණා කියල සහන්‍යාට හිතුණා..පෙනුණද හිතුණද කියලා එයාට තේරුණේ නෑ..."සොරි මම දැනගෙන හිටියෙ නෑ.." ඒක බොරුවක් කියලා සහන්‍යා දැනගෙන හිටියා..රහස් කියන හුළඟ ඔය ටික වලාකුළට නොකියා ඉන්න විදියක් නැහැ..."මගේ යාළුවෝ තරහවෙනවා..මම කැමති නැහැ ඔයා නිසා ඒගොල්ලො මගෙන් ඈත්වෙනවට..ඒක නිසා ඈතින් ඉන්න.." 

වලාකුළ හැරිලා එහාට පාවෙලා ගියා...වෙන මල් පඳුරක් ලඟට..

------------------------------------------------------
පහුවදා වලාකුළෙන් ඇමතුමක් ආවා.."ඔයාට මම නිසා ඔහොම වුණාට සොරි..මම කැමති ඔයාට නෙවෙයි අර කන්ද පාමුල තියෙන මල් පඳුරට..මම ඒක එයාට කියන්නයි ඉන්නේ.." සහන්‍යාට දැනුණා ඒ මල් පඳුරේ දිග උල් කටුවක් විසිවෙලා ඇවිත් එයාගේ හදවතේ ඇනෙනවා..

ඒත් ඈ මොකටද ඒක පෙන්වන්නේ.."ඒක හුඟක් හොඳයි..මගේ සුභ පැතුම්..ඔව් ඉක්මණට කියන්න...පරක්කුවුණොත් කවුරුහරි නෙලාගනී.." 

"තැන්ක් යූ..මම දැන් කතා කරන්නයි යන්නේ.."
සහන්‍යා නැගිටලා වටපිට බැලුවේ හිනාවෙන්නත් අමතක වෙලා..එතකොටත් වලාකුළ මල් පඳුර ලඟට වෙලා හිනාවෙවී කතාව...

----------------------------------------------------------
"එයා කල්පනා කරල බලලා කියයි.." සහන්‍යා ගෙදර යන්න ලෑස්තිවෙද්දි වලාකුළ කතා කරන්න පටන් ගත්තා.."මට මොකටද ඕවා කියන්නේ?" ආයෙත් උණ්ඩ අළුත් වෙලා තිබ්බා..වලාකුළ හයියෙන් හිනා වුණා..දඟ හිනාවක්..සහන්‍යා හිතට තරවටු කළා.."හිනාවෙන්න එපා ඔය මෝඩයා කියන ඒවට.." 

"මම ඒත් මල් පඳුරට එච්චරම කැමතිත් නැහැ..මගේ යාළුවත් එයාට කැමතියි.."

"ඉතින්?"

"මම පාවි පාවි ඉන්න කෙනෙක්..මට බෑ මල් පඳුරක් ලඟට වෙලා පොළොව බදන් ඉන්න.." 

සහන්‍යා රැව්වා.."සෙල්ලමක්ද? දැන් උදේම ගිහින් මල් පඳුරට ආදරේ කිව්වා නේද? ලැජ්ජා නැද්ද? හුළඟ කියන කතා ඇත්ත තමයි..තමුසේ මහ නොසණ්ඩාල වලාකුළක්..මම කැමති නැහැ ඔය වගේ කැත වැඩ කරන වලාකුළුවලට.." 

"මම කැත වැඩ කළේ නෑ...වලාකුළු කොහොමත් පාවෙනවා..ඔයා වගේ පොළවෙ කකුල් ඔබන් ඉන්නෙ නෑ.."

"ඔව් දවසක් එයි ඔය පාවි පාවි ඉන්න වලාකුළුවලත් ගඩොල් එල්ලෙන..එතකල් නටන්නකෝ.."

"මගෙ නම් අකමැත්තක් නැහැ..ගඩොල් එල්ලනවට වඩා හොඳයි ගඩොලක් විතර බර කෙනෙක් මගේ පිටේ එල්ලෙන එක..එතකොට මම ආසයි.." 

"එහෙනම් ඉතින් මල් පඳුර ගලවලා පිටේ පැළ කරගන්න එකනේ තියෙන්නේ.." සහන්‍යා හිනාවුණා..වලාකුළ බලන් හිටිය නිසා හිනාව මග නැවතුණා..

"මම කැමති මුල් අදින මල් පඳුරට නෙවෙයි..පිටේ එල්ලිලා හිනාවෙවි යන්න පුළුවන් ගඩොලකට.." වලාකුළ සහන්‍යා වටේ රවුමක් කැරකිලා දුකෙන් කතා කළා.."ඒත් ඒ ගඩොලට අයිතිකාරයෙක් ඉන්නවලුනේ..ඒක නිසා මම තීරණය කළා දිගටම හැමදාම පාවෙන්න.." 

---------------------------------------------------------------------
වලාකුළ දිගින් දිගටම සහන්‍යාව කෙනිත්තුවා..හිටිගමන් යාළුවෙලා හොඳට හිටියා..සමහර වෙලාවට නොදැක්කා වගේ අහක බැලුවා..වලාකුළ නරක බව හැමෝම කතා වුණා..ඒත් සහන්‍යා අනුකම්පා කළා..ඒ දඟවැඩවලට හිත යටින් ආස කළා..වලාකුළ අරහෙ මෙහෙ හැපිලා ඇවිත් සහන්‍යට විස්තර කිව්වා..එයා ඒවා අහන් හිටියේ මොන්ටිසෝරි ගිහින් ඇවිත් දවසේ විස්තර කියන හුරතල් පොඩි එකෙක්ට ඇහුම්කන් දෙන අම්මෙක් වගේ සෙනෙහසකින්..
"මට ඔයා වගේ අම්මා වගේ ආදරේ කවුරුවත් කොහෙවත් නෑ.."වලාකුළ සමහර දවසට කිව්වා..සහන්‍යා ඒ කතාව හිතේ ලියාගත්තේ කඳුළු පෙර පෙර..සමහර දවසට වලාකුළ ඉකිගගහා ඇඬුවා.."මට ඔයාව ඕන.." සහන්‍යා ගොළුවෙලා බලන් හිටියා.."ඔයාගේ අයිතිකාරයා ආව දවසට ඔයා මාව දාල යයි..මට මගෙ හොඳම යාළුවා නැතිවෙයි.." වලාකුළ එහෙම කියකියා බබෙක් වගේ අඬනකොට සහන්‍යා උණු තේකක් හදලා දීල නලව ගත්තා..

වලාකුළ දිගින් දිගටම ඔහොම කතා කිව්වම සහන්‍යා අතරමං වෙන්න පටන් ගත්තා...සහන්‍යයි වලාකුළයි අහසට පොළොව වගේම තමයි..සහන්‍යට ඕන වුණේ වලාකුළට ගඩොලක් එල්ලන්න..අරමුණක් දෙන්න..ඒත් වලාකුළ ඒ කිසි දෙයක් අහන්නේ නැතුව වේගයෙන් පාවෙන්න ගත්තා..පිස්සුවෙන් වගේ..සහන්‍යා කන්දක් උඩට නැගලා කෑ ගැහුවා.."පිස්සු ළමයා, කියන දේ අහලා මෙහෙ එන්න.." 

"මට බැහැ!!" වලාකුළ මහ තද මුරණ්ඩු ගතියකින් කියලා වේගේ වැඩි කළා..

"කියන දේ අහන්න..එහෙනම් ඔයා ඔහොම ඉන්න..මම යනවා..."

"ඔව් යන්න..අයිතිකාරයා ඇවිල්ලා ඇතිනේ.."වලාකුළ වියරුවෙන් හිනා වුණා..

සහන්‍යා මොකුත් නොකියා ආපහු හැරුණා...

------------------------------------------------------------------
සහන්‍යා ගිය අතරේ වලාකුළ ප්‍රපාතයකට පැනලා තිබ්බා..සමහරු කිව්වා වලාකුළ එතනට තල්ලු කළේ සහන්‍යා කියලා..වලාකුළක් වුණාට එයා පැනලා තිබ්බේ මායාකාරියෙක්ගේ සාපයක් තිබ්බ පාළු ප්‍රපාතෙකට..ඒක නිසා පොළවට වැටිච්ච ගමන් වලාකුළ පුරුෂයෙක් වෙලා තිබ්බා...

සහන්‍යා අඬ අඬා දුවගෙන ආවා.."මම නැති අතරේ මොනවද ඔයා මේ කරගත්තේ.." ප්‍රපාතෙට වැටිච්ච හරි පැන්න හරි වලාකුළු පුරුෂයා වෙන කවදාකටවත් වැඩිය මුරණ්ඩු වෙලා හිටියා..

"මම කරන්නෙ මට ඕන දේ..තමුසෙ මොකටද මං ගැන වධ වෙන්නේ..?" ඒ සැර වචන ප්‍රපාත බිත්තිවල වැදිලා දෝංකාර දුන්න...

"මේ අහන්න මෝඩයෝ..මම ඔයාව කොහොමහරි ගොඩ ගන්නවා..දැන් ඉතින් කොච්චර බැන්නත් මට ඇහෙන්නේ නෑ" කියල සහන්‍යා රපුන්සලී වගේ දිග කොණ්ඩයක් වවන්න ගත්තා...ඒ අතරේ එයා ප්‍රපාතේ පහළ ඉන්න වලාකුළු පුරුෂයට කතා කරා.."දන්නවද මම මේ කොණ්ඩේ ප්‍රපාතෙන් පහළට දැම්මම ඔයාට පුළුවනි ඒකේ එල්ලිලා ගොඩට එන්න" 

පිළිතුරක් නැති හින්දා සහන්‍යා ප්‍රපාතෙට එබිලා බැලුවා..වලාකුළු පුරුෂයා මායාකාරි එක්ක අතිනත් පටලවාගෙන ආදර කතා කියමින් උන්නා...

"මේ අහන්න..ඔයා ලඟ ඉන්න මායාකාරිගෙන් පරිස්සම් වෙන්න..ඔයාට පේන්නේ නැද්ද? එයා දිරපු ඇට සැකිල්ලක් වගේ..ඔයා ඔච්චරටම මෝඩ ද? ඔයා කොහොමද ඔච්චර සන්තෝසෙන් ඔය මිනී පිට්ටනියේ ඇවිදින්නේ එයාගේ අත අල්ලන්.."

"උඹ කට වහගනිං..උඹ තමයි මායාකාරි..මේ අහිංසක කෙල්ලගේ තාත්තත් නැතිවෙලා තට්ට තනියම පැලක ඉන්නේ..එහෙව් කෙල්ලට උඹ වගේ ගෑණියෙක් මායාකාරියෙක් කියන්නෙ කොහොමද..පලයං උඹේ ඔය මඟුල් කොණ්ඩෙත් අරන් පලයන්..මට ආයෙත් උඹ ඉන්න පළාතකටවත් එන්න ඕනකමක් නෑ.." වලාකුළු පුරුෂයගේ කෑ ගැහිල්ලට බයවෙච්ච කුරුල්ලෝ සී සී කඩ විසිරුණා..

සහන්‍යාගේ කඳුළු ප්‍රපාතෙට වැටිලා වාෂ්ප වුණා..

"නෑ..මම ඔයාව කොහොමහරි බේරගන්නවා..පැනලා හරි..." සහන්‍යා හොඳ හුස්මක් අරන් වටපිට බැලුවා..

ආයෙත් ප්‍රපාතේ දිහා බලද්දි වලාකුළු පුරුෂයා හනිහනිකට කන්ද උඩට නගිමින් හිටියා..පහළ හිටි මායාකාරි දත් විලිස්සන් සාප කරමින් හිටියා...සහන්‍යා රපුංසල් කොණ්ඩෙ ප්‍රපාතෙට දැම්මා වලාකුළු පුරුෂයාට එල්ලිලා ගොඩවෙන්න..

"ඇයි මාව බේරගත්තේ?" වලාකුළු පුරුෂයා හඬේ නුරුස්නාව ඒත් නැතිවෙලා තිබ්බෙ නැහැ..

"මට අයිතිකාරයෙක් නැති හින්දා.."

වලාකුළු පුරුෂයා තිගැස්සිලා සහන්‍යා දිහා බැලුවා.."මොකද්ද ඒ කතාවේ තේරුම..?" 

"ඔයාට මම කිව්ව දේ ඇහුණා නේ..මට අයිතිකාරයෙක් නැති හින්දා.." 

වලාකුළු පුරුෂයා වේගයෙන් හිටි තැනින් නැගිට්ටා.."දැන් තමුසෙට අයිතිකාරයෙක් හිටියත් එකයි නැත්ත එකයි..තමුසෙ මාව දාලා ගියානේ..මම ඉන්න කියද්දි..දැන් එන්න එපා..වඳින්නම් යන දිහාවක යනවා.." ප්‍රපාතෙට දැම්ම කොණ්ඩෙ ගොඩට ඇදින්නවත් උදව්වක් නොදී ඔහු ගිහින් තිබ්බා...

සහන්‍යා රපුංසල් කොණ්ඩේ කර මුලින්ම කපලා දැම්මා..

--------------------------------------------------
වලාකුල් පුරුෂයා පොදු පුරුෂයෙක් බවට පත්වෙලා කියල දැනගත්තම සහන්‍යාට දැනුණේ තමන් මිනීමරුවෙක් වගෙයි..සමහරු සහන්‍යාව වරදකාරයෙක් කෙරුවා..සමහරු සහන්‍යාට අනුකම්පා කළා..

ඔය හැමදේම අතරේ පොදු පුරුෂයා ඉතාම තදබල විදියට සහන්‍යාව රිදවමින් හිටියා..සහන්‍යා තුවාලවලට පැලැස්තර දාගෙනත් හෙවණැල්ලක් වගේ රහසින් පොදු පුරුෂයා ගැන හොයා බැලුවා..හැබැයි ඒ බව පොදු පුරුෂයත් දැනගෙන හිටියා..වෙනදා වගේම කතා කරන්න පටන් අරන් අන්තිමට රණ්ඩුවකින් කතාව කෙළවර වුණා..

"හරි මම මීටපස්සේ ඔයා ගැන හොයන්නෙ නැහැ.." සහන්‍යා එපාම වුණ වෙලාවක කිව්වා..

"එහෙම කරන්න එපා..!මං ගැන බලන්න" පොදු පුරුෂයා තුළ ආදරේට පෙරේත බබාගේ අංශුමාත්‍රයක් හැංගිලා තිබ්බ බව දැනුණම සහන්‍යා ට සැනසීමක් දැනුණා..

ඒත් රැයක් එළිවෙනකොට සේරම කණපිට හැරිලා තිබ්බා...

"තමුසෙට මොකද්ද තියෙන අයිතිය මං ගැන හොයන්න.." පොදු පුරුෂයා මෘගයෙක් වගේ සහන්‍යාට කඩා පැන්නා...

"අයිතියක් නැහැ තමයි.." 

"එහෙනම් මොන බම්බුවටද ඕයි මට වධ දෙන්නේ?" සහන්‍යා හිතුවේ තමන් අහිංසකව මරලා අංගුලිමාලයෙක් ඉපැද්දුවා කියලා..ඒ බර ඔළුවේ පුරෝගෙන සහන්‍යා නිශ්ශබ්ද වුණා...තමන් නිසා මියගියයි කියලා හිතුව අහිංසක වෙනුවෙන් සහන්‍යා විඳෙව්වා..

එන්න එන්නම කෙනිත්තිල්ල දරුණු වුණා..

"ඔය පොදු පුරුෂයා මත්තෙ නැහිලා නිකන් මෝඩ වෙන්න එපා..ඔයාට මොකද්ද ඔච්චරටම තියෙන අහේනිය? ඔය මිනිහෙක් නෙවෙයි බල්ලෙක්..! ඔයා දන්නවද ඌ ලඟදි කියලා තියෙන කතාව..?" ගස්වැල්වලට හොඳටෝම තරහ ගිහිං තිබ්බා...

"මොකද්ද?" 

"ඌ කියනවලු ඔයාව දැක්කම කිසිම හැඟීමක් ඇතිවෙන්නෙ නැහැ කියලා..ඌට ඕන දේවල් දෙන්න ඔයාට බැහැ කියලා..ඔයාට ඇත්තටම පිස්සුද ඔය වගේ ජරා මිනිහෙක්ට අනුකම්පා කරන්න.."

සහන්‍යා ඇස් විසල් කරන් බලන් හිටියා.."මාව දැක්කහම හැඟීමක් ඇතිවෙන්නෙ නැහැ කියලා?"..සහන්‍යාට ඇඬුණේ නැහැ..සහන්‍යා වලාකුළට ආදරේ කලේ එහෙම මිනුමක් තියන් නෙවෙයිනේ..ඒත් තමන්ව ඉතාම නින්දිත විදියට ප්‍රතික්ෂේපවීමක් වුණහම දැනෙන විදියේ රිදුමක් සහන්‍යාට දැනුණා.. එක පාර ප්‍රපාතෙකට වැටීගෙන වැටීගෙන යනවා වගේ හිස් ගතියක් දැනුණා..ඒ හිස් ගතියේ කෙළවර ඈ සබන් බුබුළක් ඇතුළට වැටුණා..සබන් බුබුළ බිඳුණේ නැති නිසා තුනී බිත්තියකට කම්මුලක් තෙරපගෙන ඈ පේන ඇස්වලින් නොදකිමින් හිටියා..

-----------------------------------------------------
"ඔයා ඒ වගේ කතාවක් කියන්න තරම් පහත් තත්වෙට වැටුණේ කොහොමද?"

"අපෝ ඔන්න පටන් ගත්තා..ඔන්න පටන් ගත්තා අඳෝනාව..මේ මට වැඩ තියෙනවා..ඕවා කියන්න නම් මට ගන්න එපා ආයිත්.." සහන්‍යා උත්තරයක් දෙන්න හිතන්නවත් කලින් ඇමතුම විසන්ධිවෙලා තිබ්බා..සහන්‍යා පිස්සුවෙන් වගේ රිසීවරය කණේ තියන් බලන් හිටියා තවත් ටික වෙලාවක්..

"හරි මම අහන්නෙ නෑ.." කියන්න බලන් ආයෙත් ඇමතුමක් ගත්තට පොදු පුරුෂයා හිටියේ වෙන ඇමතුමක..පැයකට විතර පස්සේ පොදු පුරුෂයගෙන් ඇමතුමක් ආවා.."මම ගෙදර යනවා.."

"දැන්මම? ඉතින් මම එනකල් ඉන්නෙ නැද්ද?" 

"හ්ම්ම්..තව කොච්චර වෙලා යනවද? මට බැහැ දැනටත් පරක්කුයි.." 

"තව ටිකකින්.." 

"හරි එන්නකෝ.හැබැයි මට කතා කරන්න එපා..හිනා වුණා ගියා හරිද?" කවුරුහරි දකින්න ඉන්නවද කියලා අහන්න හිතුණත් සහන්‍යාට ඕන වුණේ නෑ විහින් වෙඩි තියාගන්න...

"හරි.." 

බෑග් එකකුත් කරේ දාගෙන මූණත් රකුසු කරන් පොදු පුරුෂයා පාර අයිනේ බලන් හිටියා..සහන්‍යා හිනා වුණා..පිළිතුරු හිනාවක් නැතුවම එක සැරේ මෝටාර් එකක් වැදුණා.."මට කරදර කරන්න එපා..ඔව් මම ඔයා ගැන එහෙම කිව්වා තමයි..ඔයා ගැන මගේ හිතේ කිසිම දෙයක් නැහැ..ඒක නිසා මට කතා කරන්න එපා.." සහන්‍යා පාෂාණිභූත වුණා..පාන්දර වැඩට එන ලස්සන මූණු අතරේ සහන්‍යාගේ මූණ විතරක් හේදිලා ගිහින්..දැන් මොහොතකට කලින් කතා කරනකොටත් හිටිය මනුස්සයා නෙවෙයිද මේ කියලා ඈට හිතාගන්න බැරිවුණා..

පොදු පුරුෂයා සහන්‍යාව මහ මග තනිකරලා යන්න ගියා..

--------------------------------------------------------------------
සහන්‍යාට තව දුවාගන්න තියා අඩියක් උස්සලා අඩියක් තියාගන්නවත් හයියක් නැතිවුණා..ෆාමසියකට වැදුණෙත් ලෙඩෙක් වගේ ඉදිමිච්ච මූණකිනුත් පරඬැලක් වගේ වැනෙමිනුත් හින්දා පැනඩෝල් කාඩ් 3කුයි කැහි පැණියකුයි ඉල්ලුවට සැකක් හිතුණේ නැතුව ඇති..ඒ ටිකත් කලබලෙන් ගමන් මල්ලේ ඔබාගෙන කාර්යාලෙට යනකොට පොදු පුරුෂයාගෙන් කෙටි පණිවිඩයක් ඇවිත් තිබ්බා.."මං ඔයාට ආදරෙයි..ඒත් මට ඒක පෙන්නන්න තේරෙන්නෙ නැහැ.දාලා ආවට නම් දුකයි.තරහ වෙන්න එපා.පරිස්සමින් යන්න" සහන්‍යා ඔහේ අකුරු ගොඩ දිහා බලන් හිටියා..ඒවා තවදුරටත් එකට වෙලිච්ච අකුරු ගොඩක් මිස වචන විදියට සහන්‍යට දැනුණේ නැහැ..

"මේ සේරම මගේ වැරදි..මින් පස්සේ මගෙන් කරදරයක් වෙන්නෙ නැහැ.." පිළිතුර යැව්වට පස්සෙ සහන්‍යාට ඕන වුණේ නිවී සැනසිල්ලේ තමන්ගේ ගමන යන්න..කාටවත් වරදක් නොවැටෙන විදිහට..අන්තිම වතාවට සහන්‍යා ගස්වැල්වලට කතා කළා..එක්කෙනෙකුට විතරක් කිව්වා "කිසිම දේක වැරැද්ද පොදු පුරුෂයගේ නෙවෙයි මගේ.." කියලා..

"සහන්‍යා..ඔයා මොකද්ද කරන්න හදන්නේ..?" ගස්වැල් හොඳටම කලබල වුණා..

"මොකුත් නැහැ..බයවෙන්න එපා.."

"සහන්‍යා ඔයා මගේ යාළුවා..මුකුත් මෝඩ වැඩක් කරන්න නම් එපා..මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා.." යාළුවාව අඬවලා සහන්‍යා ඇමතුම විසන්ධි කළා..එයාට ඕන වෙලා තිබ්බේ පොදු පුරුෂයාගේ ගැලවීමට එක සාක්ෂියක් හරිම ඉතුරු කරන්න විතරයි..ඒත් සහන්‍යා හිතුව තරම් සාර්ථක වෙලා තිබ්බෙ නෑ...

පොදු පුරුෂයගෙන් ඇමතුමක් ආව ඒ සැණින්.."තමුසෙ මොනවද කරන්න හදන්නෙ ඒ ගමන?මට එක එකා කතා කරලා බණිනවා මං තමුසෙව මරාගන්න හදනවද කියලා..තමුසේ ඕන මඟුලක් කරගන්නවා මේ මාව පැත්තකින් තියලා.." ඒ ඇමතුම කොහොමත්ම උත්තර බලන් ගත්තු එකක් නෙවෙයි නේ..එයාට ඕන වෙලා තිබ්බේ විත්ති කූඩුවට නොනැඟ ඉන්න..

පොදු පුරුෂයා සහන්‍යාගේ අන්තිම ජීවිත ආසාවත් උදුරලා අරන් කළේම කොච්චර ලොකු උදව්වක්ද? සහන්‍යා සතුටු කඳුළු පෙර පෙරා බෙහෙත් බෝතලේ එක උගුරට බීලා දැම්මා..දෙවෙනි පෙති අහුර කටට හලාගන්නකොටමයි හුළං පාරක් "සහන්‍යා..!!" කියල කෑ ගහගෙන කාමරේට වැදුණේ..

විසිවෙලා ගිය පෙති අහුර සී සී කඩ විසිරෙනවා විතරයි සහන්‍යාට මතක තිබ්බේ..






31 comments:

  1. හුරේ ඔන්න මං අද කලින්ම ඇවිත් . කතාව සුපිරියි තනියො. හදවත පත්ලටම දැනුණා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ..:)

      Delete
  2. ඉස්රං කතන්දරේ ඈ...
    සහන්‍යා කිව්වම චතුරංග ප්‍රියසාද් ව මතක් උනා.. ඒ සීන් එකෙන් පස්සේ ප්‍රියාත් ලෝකෙට මූණ දෙන්න බැරිව පැනඩෝල් කාඩ් තුනක් කැහි පැණයත් එක්ක බීලා මලා කියලා තමයි ආරන්චිය..

    ජ ය වේ වා !!!

    (මෙච්චර ලියන්න ඇහැක් තම තියෙන ඔහේ නොලියා වහුං වෙලා ඉන්නේ මොකෝ???)

    ReplyDelete
    Replies
    1. http://rscpriyashad.blogspot.com/2014/10/blog-post.html

      අරකට ලිංකුව මෙන්න

      Delete
    2. තැන්කූ මචං විදානේ..ප්‍රියාගේ සීන් එක බැලුවා..ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක අවස්ථාවක් නෙව! දැන් ඌ මැරිලයි? :P

      වහුං වෙලා ඉන්ට වෙලා අයියණ්ඩි..ඒත් ඉතින් උඹත් මක්කවත් ලිව්වනම්? අර සමපෝෂ සීන් එකෙන් පස්සේ මොනවත්ම ලිව්වේ නෑ නේද??:@

      Delete
    3. ඇත්තට ම විදානේ ප්‍රියා ගැන නැද්ද ආරංචියක්....... සද්ද නැතුවම ගියා නේද????????

      Delete
  3. මේකට මම මොනවද බං කියන්නේ? කොහොමත් ආදරේ කියන්නේ පුදුම දෙයක්.ලඟ ඉන්නකොට අගයක් නෑ.නැතිවෙන කොට මැරෙන්න හිතෙනවා.සහන්‍යාටනම් අන්තිම මොහොතේ හුළඟක් හරි උදවුවට ආවා.ඒත් ඒ හුළඟ හැමෝටම එන්නේ නෑනේ.ඔය බරසාර ආදරේ තියනවා නේද?මෙලෝ රහක් නෑ.විඳවිල්ලක්ම විතරයි.ආවොත් ආවා, ගියොත් ගියා ආදරේ තමා හරි.නෝ පොළී-නෝ වලී.

    සහන්‍යා කැහි පැණිය බීලා නේද ඉන්නේ....ඔය ගැම්මටම මලකුත් ගැහුවනම් සහන්‍යා දැන් හඳේ......

    ReplyDelete
    Replies
    1. උඹ දන්නේ නෑනේ බං.කවුරුහරි ඊරිසියාකාරයෙක් පහුගුය දොහොක උඹේ ප්‍රොෆයිල් එක හැක් කරලා පෝස්ට් එකක් දාලා තිබුනානේ උඹ ආපහු ඉක්මනටම පෝස්ට් එකක් දානවා කියලා.උඹේ තුන් හිතකවත් නොතිබ්බ අදහසක් එහෙම පෝස්ට් එකකට දාලා උඹව අපහසුතාවයට පත්කරන්න කරපු ජාත්‍යන්තර කිමන්තණයක් ඒකනම්.මිකද අපි දන්නවනේ උඹ පොරොන්දු ඉශ්ඨකරන්න මෙච්චර කල් ගන්නේ නෑ කියලා.....

      Delete
    2. කටුස්සෝ උඹ කියන දේ ඇත්ත.ඒත් සමහරවෙලාවට අපි ඒ සිදුවීම දිහා හැරිලා බලනවා ඒ ආදරෙන් අංශුමාත්‍රයක්වත් හිතේ නැතුව..ඒ අපි පරිණත වුණාම, කාලයක් හිත තලපු පෙලපු ආදරයක් කිසිම තේරුමක් නැති දෙයක් කියල තේරුම් ගත්ත මොහොතක..සහන්‍යාත් ඒ වගේ අවස්ථාවකට පත්වෙන්න ඇති සමහරවිට, පස්සේ කාලෙක..

      උඹට කියන්න කටුස්සෝ, සිරාවටම කවුද එහෙම පෝස්ටුවක් දාලා ගිහින් තිබ්බනේ බං..අනික උඹ දන්නවනේ තනියා කියන්නේ පොරොන්දු ඉටුකරන සංවර්ධන වාසනාව වගේ තනි වචනේ පොරක් කියලා..;)

      Delete
  4. Replies
    1. ukrua fldfukagqjla ufpda '''
      fua jf.a fldfukaga ;uhs odkak Tak''

      fo ja ms ys g hs !!!

      Delete
    2. මොනවද උඹලා මේ කතා කොරලා තියන ඒලියන්ත බාසාව? :P

      Delete
  5. මම මේ මේක කියවලා ඉවර වෙලා සෑහෙන්න කල්පනා කරා මේකට මොකද්ද දාන කමෙන්ට් එක කියලා. ආදරේ නම් ඉතින් හුඟක් අවසානයන් ඔහොමද මන්දා.
    කතාව ඉස්තරම් බං. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මේ කතාව ලියලා ඩ්‍රාෆ්ට් කරන් දැන් මාස දෙකකටත් වැඩියි..දාන්දෝ නොදාන්දෝ කියලා හිතල හිතලා ඕන මඟුලක් කියලා පබ්ලිෂ් කළා..තැන්කූ මචෝ උඹට ඒක ලස්සනයි කියලා හිතුණා නම්..

      Delete
  6. පොදු පුරුෂයින්ට වගේම පොදු ස්ත්‍රීන්ටත් ප්‍රේම කරාම ඔය වගේ වෙනවා .

    ප්‍රේමය යනු ආත්මාර්ථ කාමී සිතුවිල්ලකි එය පොදු වන්නේ නැත .

    ReplyDelete
    Replies
    1. මදි මදි මදි හොඳටෝම මදි! උඹෙන් මම බලාපොරොත්තුවුණා කරටි කැඩිලා යන ජාතියේ විචාරයක්! කොහෙද මූ අලස වාක්‍ය දෙකක් දාලා මාරුවෙලා!

      Delete
    2. මී ගැන විචාරය මම කෙටියෙන්ම කියන්නම් , ඇත්තටම උඹේ හිතේ කතාවක් තිබුනා උඹට ඕන වුනා එක ආකෘතියකට දාන්න ,උඹ මේ ආකෘතියට ඒ කතාව රින්ගේව්වා . උඹ ඕන කතාව ආකෘතිය ඇතුලේ කියාගනන උඹ පට්ට සටනක් දෙනවා .

      මෙතනදී උඹ සාර්ථකයි වගේම අසාර්ථකයි . සාර්තක් වෙන්නේ උඹ තෝරාගත්ත ආකෘතිය ඇතුලේ , අසාර්ථක වෙන්නෙ උඹට කතාව ඉවර කරන්න තිබ්බ හදිසිය ඇතුලේ .

      වලාකුළු පුරුෂයා පොදු පුරුෂයෙක් බවට පත්වෙන්නේ කොහොමද කියන කාරණය උඹ අමතක කළා , ඒ වෙනුවට එක පාරටම පොදු පුරුෂයෙක් නිර්මාණය වුනා .
      කොහොම වුනත් මේ ආකෘතියට මම කැමතියි. උඹේ හදිස්සිය නොතිබ්බනම් කතාව මීටවඩා ගොඩක් සාර්ථක වෙනවා ෂුවර් .

      දැන් තරහ වෙන්න එපා . මට හිතෙන හැටි ලිව්වේ .

      එක්කෝ තරහ වෙයං. මම කොහොමත් උඹ එක්ක තරහයි නේ

      Delete
    3. ඔව් මගේ හිතේ කතාවක් තිබ්බා..ඒක මම ලියන්න විදියක් දහ අතේ කල්පනා කරලා අතෑරලා දැම්මා..නින්ද යන්නේ නැති දවසක රෑක මෙහෙම හිතුණා ඉතින් ලිව්වා..ලියලා පුස්කකා ඩ්‍රරාෆ්ට් කරලා තියන් හිටියා මාස දෙකක් විතරම..ආයිත් කියවන්න කම්මැලිකමට උඩින් පල්ලෙන් එඩිට් පාරක් දාලා පබ්ලිෂ් කලා ඕන මඟුලක් හිටං කියලා..උඹේ චෝදනාව මම භාර ගන්නවා..ලිවිල්ල සාර්ථක නැතුව ඇති..ඒත් ඉතින් දැන් මැරෙන්නයැ බං..කොටියට පෙර හරකා ස්ටයිල් එකෙන් පබ්ලිෂුත් කල එකේ..!

      වලාකුළ ආතල් එකේ හැප්පි හැප්පි හිටියා..කෙල්ලෙක් දැක්කා..හැප්පුණා..වැඩක් වුණේ නෑ..එළ හරකයි මී හරකයි වගේ..අදහස් ගැලපීමක්වත් නැහැ..ඒත් ඇට්‍රක්ෂන් එකක් තිබ්බා ඉලාස්ටික් වගේ..දෙන්නම හිතුවා ආදරේ කෑදරේ කියලා..වැරදියි..වැරදුණ බව පිළිනොගෙන පළිගන්න ගියා වෙන්නත් පුළුවන්..එක්කෝ සහජ ගතිය වෙන්නත් පුළුවන්..ප්‍රපාතෙට පැන්නා පුරුෂයෙක් වුණා..ඇබ්බැහියක් නිසා පොදු වුණා..
      //"දැන් තමුසෙට අයිතිකාරයෙක් හිටියත් එකයි නැත්ත එකයි..තමුසෙ මාව දාලා ගියානේ..මම ඉන්න කියද්දි..දැන් එන්න එපා..වඳින්නම් යන දිහාවක යනවා.." ප්‍රපාතෙට දැම්ම කොණ්ඩෙ ගොඩට ඇදින්නවත් උදව්වක් නොදී ඔහු ගිහින් තිබ්බා...//
      //වලාකුල් පුරුෂයා පොදු පුරුෂයෙක් බවට පත්වෙලා කියල දැනගත්තම සහන්‍යාට දැනුණේ තමන් මිනීමරුවෙක් වගෙයි// ඔය වාක්‍ය දෙකෙන් මම හිතුවා පැහැදිලි වෙයි කියලා...වැඩක් නෑ ඕයි සහන්‍යාගේ කැහි පැණිය ඉල්ලන් බීලා ඩිෆෙන්ඩරේකට පනින්න හිතෙනවා දැන් නම්..! :@

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මහා පුරුෂයෙක් වල් බල්ලෙක් කරන්නත්, වල් බල්ලෙක්ව මහා පුරුෂයෙක් කරන්නත්, පුරුෂයෙක් ව පොදු කරන්නත් , පොදු පුරුෂයෙක්ව තමන්ගේ කරගන්නත් පුළුවන් ගැහැනියකටම පමණයි.

    කතාව ඇතුලේ ජිවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. ඒක තනියගේ ගොඩක් කතා වල මම විඳපු දෙයක්

    ReplyDelete
    Replies
    1. රොටියෝ..ඒකත් ඇත්ත..සමහර වල් බල්ලෝ කොච්චර කළත් මහ පුරුෂයෝ වෙන්නේ නෑ බං..එහෙම වෙනවා කියලා හිතන් කැරට් ගිලින කෙල්ලෝ/ගෑණු අපි අතරේම ඉන්නවා..
      මං ලියන දෙයක් විඳින එකෙක්, ඒවා ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් කීමම කමෙන්ට් දාහක් වගේ..තෑන්ක්ස් මචෝ.. :)

      Delete
  9. ලස්සන කතාවක්. අපිට විචාර කරන්න නම් බෑ.. කියන්න නම් ඕන දෙයක්..

    ReplyDelete
    Replies
    1. විචාර ඕන නෑ මචෝ..කියන්න තියෙන දෙයක් කියලා දාපන්..:)

      Delete
  10. පිස්සු හැදිලා හොඳවෙලා ආයෙම හැදෙනවා තනියෝ. මේ කතාව ඉස්තරම්. කියන්න වචනත් මදි!

    ReplyDelete
    Replies
    1. අඩේ බස්සි ඉස්තරම් කිව්වා නම් ඉතින් ආයේ අහන්න දෙයක් තියෙනවද..තැන්කූ මචෝ..;)

      Delete
  11. ඇත්තට ම සුපිරි ලියැවිල්ල............... මෙහෙම ඒවා ආයේ ආයෙත් ලියමු........ ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුට්ටෝ..:) ලියන්නම් ඉඩ ලැබිච්ච ගමන්ම..

      Delete
  12. කියෙව්වා.. වැදුනා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබු! ජය මංගලම් වේවා!! ඒ අව් අස්සෙත් බ්ලොග් බලන්න ආව එකම මදෑ...තැන්කු මචෝ..:)

      Delete
  13. තනිය මැරිලා , හම්මේ යන්තං ඇති , දාන්නොන පාටියක්

    ReplyDelete
    Replies
    1. මොකෝ බොල මම මැරෙනකල්ම බලා ඉන්නේ..හෝහපුට්ටා!!
      මේ මචෝ ඔය පාටිය මටත් කියපන්..මිනී ගවුම පිටින්ම එතහැකිනේ හර්ස් එකේම...:P

      Delete