Sunday, March 29, 2020

Mafia Queens of Mumbai by S. Hussain Zaidi with Jane Borges


අපේ අසල්වැසි ඉන්දියාව, පාතාලය ආකර්ෂණීය තැනක් කරපු රටවල් අතරින් එකක්. බොලිවුඩ් නිර්මාණ බොහොමයක් තියෙන්නේ ඉන්දියානු පාතාලයේ විකසනය ගැන. අපි අහලා තියෙනවා හුගාක් පාතාල නායකයන් ගැන. ඒත් දන්නවද පාතාල නායිකාවන් ගැන?
මේ පොත මං කියෙව්වේ දැනට ටික කාලෙකට කලින්. නමුත් සමූහය එක්ක අදහසක් බෙදාගන්න බැරිවුණ නිසා නිරෝධායන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවා.
ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියෙක් වෙන Zaidi මේ පොත පළ කරලා තියෙන්නේ ඉන්දියානු පාතාලය සම්බන්ධයෙන් ඔහු කාලයක් තිස්සේ කළ පර්යේෂණ පදනම් කරගෙන. මෙහි පෙරවදන ලියා ඇත්තේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයකු වන Vishal Bhardwaj. 

ඔහු පෙරවදන පටන් අරන් තියෙන්නේ මෙහෙම "
Crime is juicier than spirituality. Guns are more attractive than roses. And thus—at least to me—the stories about the lives of gangsters are much more fascinating to share than that of saints."
ඒකෙන් පැහැදිලි වෙන්නේ high-context cultures හැටියට ගැනෙන අපේ කලාපයේ රසික ඉල්ලුමට අනුව සැපයුම ලැබෙන බව.😁

මේ පොත පටන් ගන්නේ ඉන්දීය පාතාලයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් හැටියට සැලකෙන නැත්නම් Godmother විදිහට හැඳින්වෙන Jenabai Daruwaliගේ කතාවෙන්. එවකට පාතාල නායකයෙක් වූ Haji Mastan සමග සමීපව කටයුතු කළ අයෙක් තමයි Jenabai. ඒ වගේම හිතුවක්කාරයෙක් වන Ibrahim Dawood කීකරු වූයේ Jenabaiට පමණක්ම බවයි කියවෙන්නේ. Dawood ගැන වෙනමම කතා කරන්න පුළුවන් නිසා මෙතන ඒ ගැන වැඩි විස්තර ලියන්නේ නැහැ (තව පොතක් තියෙනවා ඔහු ගැන වෙනමම)

1920දී උපන් Jenabai Godmother තත්ත්වය එනතුරු ආ ගමන ගැන මේ පොතේ පළමු පරිච්ඡේද වෙන්වෙලා තියෙන්නේ. අවුරුදු 14දී විවාහ කරදෙන Jenabaiට දරුවන් පස් දෙනෙක් සිටියා - Khadija, Iqbal, Salim, Kamaal සහ Shammi. මුල් කාලයේ සිටම නිදහස් අරගලයට සහය දැක්වූ ඇය විවාහයෙන් පසුවත් දේශපාලනයේ නිරත වීම නවතා නැහැ. 1947දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දීය අර්ධද්වීපයේ සිතියම වෙනස් කර ඉන්දියාව සහ පකිස්තානය වෙන් කරද්දී ඇගේ සැමියා දරු පවුල රැගෙන පකිස්ථානයට යන්නට උත්සාහ කළ නමුත් Jenabai ඊට විරුද්ධ වීම නිසා ඔහු සිය දරු පවුල හැරදමා තනිවම පකිස්ථානයේ පදිංචියට යනවා. තනිව ජීවිතයට මුහුණ දෙන්නට ක්‍රමයක් සොයමින් ඉන්න Jenabaiට අවස්ථාවක් ලැබෙනවා එවකට බොම්බායේ තිබූ ධාන්‍ය හිඟයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටි Masjid Bunderගේ කුඩා පරිමාණ කොන්ත්‍රාත්තුකාරිනියක් විදිහට කටයුතු කරන්න. දරුවන් පස් දෙනෙකු ලොකු මහත් කිරීමේ විශාල වගකීමත් කරපින්නාගෙන ඇය මේ ව්‍යාපාර බොහොම කාර්යශූරව කරගෙන යනවා. 1950 පමණ වනවිට ඇය Iqbal Gandhi සමග විවාහ වනවා නමුත් ඔහුගෙන් එතරම් සහයක් ඇයට ලැබෙන්නේ නැහැ. ඒ අතරදී ඇයට හමුවනවා දමිළ පාතාල නායක Vardharajan Muniswami Mudaliar. Vardha තමයි Jenabai හොර අරක්කු ජාවාරමට සම්බන්ධ කරගන්නෙ. ඉතා තියුණු ව්‍යාපාරික ඥානයක් තිබුණු Jenabai Godmother තත්වයට පත්වෙන්නේ එහෙමයි. ඇගේ සමකාලීන සහ නවක සියලුම පාතාල ක්‍රියාකාරීන් ඇයට දැඩි ගෞරවයක් සහ ආදරයක් දැක්වූ බව කියවෙනවා.

මේ හැරුණු විට
*කාමාතිපුරය පාලනය කළ Gangubhai Kathiawadi (මම දැක්කා ඉන්දීය සිනමා රසික සංසදයේ පෝස්ටුවක් ඇය ගැන කෙරුණු අලුත් චිත්‍රපටයක් ගැන ඒ නමින්ම, ආලියා භාත් ගංගුගේ චරිතය රඟපාන බව දැක්කා, ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම්)
*Dawood විසින් මරවන ලද Mehmoodගේ බිරිඳ Ashraf. ඇය තම ස්වාමියාගේ ඝාතනයේ පළිය ගන්නට Dawoodගේ විරුද්ධවාදියෙකු වූ Hussain Ustaraට එකතුවීම සහ පොලිස් ඔත්තුකාරියක ලෙස පාතාලයට හිසරදයක් වූ කතාව
*Jyoti Adiramalingam (Jyoti Amma). රැකියාවක් නොකළ ස්වාමි පුරුෂයෙකු සහ දරුවන් හය දෙනෙකු නඩත්තු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම තෝරා ගත් කෙනෙක් Jyoti. නමුත් මේ කතාව Mahalaxmi Papamaniගේ කතාව. ඇය 90 දශකයේ මධ්‍යම බොම්බායේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කළ රැජිණ හැටියටයි හැඳින්වෙන්නේ
*Aswin Naikගේ බිරිඳ Neeta Naik සහ ඇගේ දේශපාලනය
*Abu Salemගේ සුරූපී නිළි බිරිඳ Monica Bedi
*Arun Gawliගේ බිරිඳ Asha Gawli
*Chhota Shakeelගේ පෙම්වතියක වූ Moti (Rubina Siraj Sayyed)
*ක්‍රිකට් ඔට්ටුවල තැරැව්කාරයෙක් ලෙස සුප්‍රසිද්ධ වූ Tarannum Khan
*තව වැදගත්ම චරිතයක් තමයි Ibrahim Dawoodගේ නැගණිය Haseena Parkar. (ඒ නමින්ම චිත්‍රපටයකුත් තියෙනවා ඔබ නරඹා ඇති සමහරවිට)
මේ ආදී වූ සුවිශේෂී චරිත ගොඩක් ගැන විස්තර මේ පොතේ අඩංගුයි. මේ මාතෘකාව ගැන විස්තර හොයන්න කියවන්න ආස කෙනෙක් ඉන්නවා නම් පොත anybooksවල තියෙනවා. මෙහෙ විජිත යාපා හෝ සරසවියේ වගේත් ඇති කියලා හිතනවා.

මං කැමතියි මේ පෝස්ටුව අවසන් කරන්න පොතේම සඳහන් Rudyard Kiplingගේ වැකියකින්. ඒ තරම් සාධාරණ සාරංශයක් මේ පොතට නැහැ
"That the female of the species is deadlier than the male" ~ Rudyard Kipling



2 comments:

  1. ඒ වගේම සමහර ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන පිටුපසත් පාතාල මුදල් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්,හුඟක් බොලිවුඩ්වලට සම්බන්ධ අය පාතාලය සමග සමීප බව තමයි කියවෙන්නේ.අනිත් අතට කලු සල්ලි සුදු කරගන්නත් ලේසිම ක්‍රමය නේ බොලිවුඩ් නිෂ්පාදනයක් කියන්නේ, ලේසි පහසු පිරිවැයක් නෙවෙයිනෙ ඔවුන්ගේ නිර්මාණ දරන්නේ

      Delete