Sunday, July 17, 2022

Joker (2019) - ආතර්ලා ජෝකර්ලා නොකරමුද

2022 ජූලි 17දා සිනමාවේදීන් සමූහයට 

Joker (2019) - 8.4/10 IMDb

තිරගත වීමෙන් අවුරුදු තුනකට පස්සෙ ඇයි මම ජෝකර් බලන්නේ? අහේතුකයි. ඒ දවස්වල හැම සංවාදයකම තිබ්බට, බාගත කරගෙන හිටියට මට හිතෙන වෙලාව ආවේ පහුවෙලා.😊

"I just hope my death makes more cents (sense) than my life" 

ජෝකර් මාව සෑහෙන කම්පනයට පත් කරපු චිත්‍රපටවලින් එකක්. Joaquin Phoenix ආතර්ව ඇත්තටම ජීවත් කරවනවා. හැම ඉරියව්වකම, බැල්මකම, ශරීරයෙන් පවා ආතර්ව යථාර්ථයක් කිරීමේ පුදුමාකාර කැපකිරීමක් ඒක. අනිවාර්යයෙන්ම ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේ චරිතයක් තුළ ජීවත්වෙලා ආපහු පියවියට එන එක ගැන හිතාගන්නත් අමාරුයි. 

ආතර්ගේ නොනවතින හිනාව හරිම කම්පනාත්මකයි. හිනා හඬ ආවට ඒ මුහුණේ ඉරියව් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා. ඒත් එක්කම මක්සිම් ගෝර්කිගෙ ප්‍රසිද්ධ කතාවක් මතක් වෙනවා 'වැඩියෙන් හිනාවෙන්නෙ වැඩියෙන් අඬන මිනිස්සු'. කෑගහලා අඬන්න බැරිකමට මිනිස්සු කෑගහලා හිනාවෙනකොට ඒ මිනිස්සුන්ගේ හිතේ කොහොම තත්ත්වයක් තියෙන්න පුළුවන් ද? එහෙම මනුස්සයෙක්ට හැපී කියලා සුරතල් නාමයක් තිබීමම දෛවයේ කොයිතරම් නම් ලොකු සරදමක්ද? 

ආතර්ගේ standup comedian කෙනකුවීමේ ආශාවට ඔහුගේම අම්මාගේ ප්‍රතිචාරය මතකද. 
"But, Happy what makes you think you could do that?" 
"What do you mean?" 
"I mean, don't you have to be funny to be a comedian?" 
තමන්ගේ සමීපතමයන්ට තරම් කෙනෙකුව රිද්දන්න කාටවත් බෑ. විශේෂයෙන්ම, කෙනෙකුගේ අරමුණක් ගැන, හැකියාවක් ගැන ඔහුට සමීපතම අය සැකසංකාවෙන් කතා කිරීම හෝ බාල්දු කර කතා කිරීම ඒ මනුස්සයාගේ පෞර්ෂයයට දෙන දැඩි අතුල් පහරක්. ඒ තරම් අසරණ කිරීමක්, වේදනාවක් දරාගන්න එක ලේසි නැහැ. 

සමහරවෙලාවට, තවත් කෙනෙකුට තේරුම් ගන්නට බැරි දෙයක් පැහැදිලි නොකර නිශ්ශබ්දවීම පහසුයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වගේම ඒක ආතර්ලාටත් එහෙමයි. 

ආතතිය/විශාදය ලෝකෙටම පොදු මාතෘකාවක් වෙලා ඉවරයි. නමුත් එක සමාජයක්වත් තාම හණමිටි අදහස්වලින් බැහැර වෙලා නෑ. එවැන්නෙකුට සුවපත්වෙන්න උදව් කිරීම වෙනුවට තවතවත් අසරණ කිරීම තමයි හැම සමාජයකම පාහේ වෙන්නේ. ආතර්ට අවශ්‍ය වුණේ පිළිගැනීමක්, ආදරයක්, සමාජයේ තමනුත් ගෞරවනීය මනුස්සයෙක් කියලා හැඳින්වීමක්/ඉඩක්. ඔව්, ආතර්ගේ අතීතයෙන් ලොකු බලපෑමක් ඔහුගේ පෞර්ෂයයට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පිළිසකර කරන්න බැරිවුණත් යම්දුරකට කරන්න ඉඩක් තියෙන්නත් ඇති. ඒත් ලෝකේ එච්චරටම කාරුණික වෙන්නේ නෑ.

මතකද මුලින්ම ආතර් බස් එකකදි පොඩි ළමයෙක්ව හිනස්සවන දර්ශනය. ඒකෙදි දරුවගෙ අම්මා කියන්නේ මගේ දරුවට ඉන්න දෙන්න කියලා. එක අතකට ඒකත් වැරදි නෑ. සමාජයෙ වෙන දේවල්වල හැටියට එහෙම වුණත් ඒ එක්කම අවශ්‍ය තැනදි නැති ආරක්ෂාවක් අනවශ්‍ය තැනකදි අනවශ්‍ය තරම් යෙදෙනවා නේද කියන එකත් නොකියා කියනවා. මොකද ඒ මොහොතේ ඉන්න ආතර් අහිංසකයෙක්. නමුත් සමාජය නිරායාසයෙන්ම ඔහුව කියවගන්නේ පිස්සෙක් හෝ විකෘතියක් හැටියට. මොහොතකට හිතන්න මෙහෙම ලියැවුණු කාඩ්පතක් ඔබට හෝ මට බස් රථයකදි කෙනෙක් දුන්නා නම්? මම නම් අනිවාර්යයෙන්ම කාඩ්පත අතට ගැනීම පවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ලංකාවේ නම් ඔවැනි කාඩ්පත්/ පත්‍රිකා බෙදමින් යන්නේ හිඟමන ව්‍යාපාරයක් කරගත්තවුන් වීම සහ ඒවයේ තිබෙන අපිරිසිදුබව නිසා. 

"Forgive my laughter: I have a condition. 
It's a medical condition causing sudden, frequent and uncontrollable laughter that doesn't match how you feel. It can happen in people with a brain injury or certain neurological conditions" 
 ආතර්ගේ මේ වචන ටික කියවද්දි ලොකු කණගාටුවක් දැනෙනවා. බසයේ සිටින කාන්තාව ඒ ගැන තැකීමක් නෑ. ඒකත් අර ඇතැම් මිනිසුන්ගේ ව්‍යාපාර නිසා සිද්ධවෙන, සත්‍යය තවදුරටත් සත්‍යයක්මද යන්න නොදන්නා විචිකිච්ඡාව වෙන්න පුළුවන්.

ආතර්ගේ උපදේශන සායනය වසා දමන්න යන බව කියද්දි ඒ කාන්තාව කියන්නේ "they don't give a shit about people like you" කියලා. තත්පර ගාණක නිහැඬියාවකින් පස්සෙ ඈ කියනවා "they don't give a shit about people like us either" කියලා. ඒක විවිධාකාර විදිහට කියවගන්න පුළුවන් කතාවක්. මේ සමාජයේ මානසික රෝගීන්ට පිහිටක් නැහැ කියන එක සහ සමාජය රෝගී නිරෝගී හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන් කියන එක. සමාජය දුවන්නේ උපකල්පන මත. මතක ඇතිනම් ආතර්ගේ දිනපොතේ ඔහු ලියන විහිලුවක් "The worst part of having a mental illness is, people expect you to behave as if you DON'T" ඒක හරිම තිත්ත ඇත්තක්. ආතර් වගේ මිනිස්සුන්ට ඒක විහිළුවක්, සාමාන්‍ය මිනිසුන්ට ඒක නිකංම නිකං කතාවක්.

රෝගී නිරෝගී හැමදෙනාටම ආදරය බෙහෙතක්. ආදරේ කරන්න විඳින්න ආතර්ලටත් හීන තියෙනවා. ඒත් සාමාන්‍ය මිනිස්සු ආතර්ලට බයයි. ඒ බයත් සාධාරණයි. ආතර් තමන්ගේ ප්‍රේමය මවාගෙන ජීවත්වෙන එක දකින්න දුකයි. එක තැනකට එනතුරුම අපිට හිතන්න ඉඩ ඇරලා තියෙන්නේ ආතර් එයාගෙම විදිහට හිතන පතන කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා කියලා. ඒකනෙ හැමෝටම ආදරේදි පොදු බලාපොරොත්තුව. තමන් වගේම තමන්ට ආදරේ කරන, තමන්ට සහ තමන්ගේ ආකල්පයට බයෙන් පැනලා යන හෝ තමන්ව අසාධාරණව ප්‍රතික්ෂේප නොකරන, ජීවිතේ මහන්සි දැනෙන දුක දැනෙන කළකිරෙන තැනකදි ලොකු දෙයක් කරන්න බැරිවුණත් තමන් ළග ඉන්න, වචනයකින් හරි තමන්ට ශක්තියක් වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන එක අපරාධයක් නෙවෙයිනේ. හැබැයි ඒක මායාවක් කියලා ආතර්ට තේරෙන්නේ පස්සේ,සාමාන්‍ය මිනිස්සුන්ට වෙලාවකට වෙනවා වගේම ඒක පොදු අත්දැකීමක්. නමුත්, ආතර්ලට ඒක දැනෙනවා ඇත්තේ තවත් පියවරකින් එයාලව 'let down කළා' වගේ වෙන්නැති. 

සංවේදී මිනිස්සු තමන් උපරිම ආදරය කරන අයව දේවත්වයෙන් සලකනවා. ආතර් තමන්ගේ අම්මව මේ ලෝකේ තමන්ට තියෙන එකම වස්තුව හැටියට සලකලා ආදරය කරනවා, විශ්වාස කරනවා, රැකබලා ගන්නවා. ඒ වගේ දේවත්වයෙන් අදහන අයගෙන් රැවටීමකට ලක්වෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ටවත් දරාගන්න බැරිකොට ආතර්ලා කොහොම දරාගන්නද? එතනදී ආතර්ගෙ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ භයංකාර එකක්. ඒකට දාර්ශනික උත්තර දීලා වැඩක් වේවිද කියලා මම දන්නේ නැහැ. 

තමන්ට පිස්තෝලයක් ළග තියාගන්න බැහැ කියද්දිත් පිස්තෝලයක් ලබාදුන්න මිත්‍රයා මතකද. සමහරවිට සද්භාවයෙන් කරන දේවල්වුණත් බූමරංගවෙලා තමන්ටම වන්දි ගෙවන්න වෙන්නත් පුළුවන්. Randallව මරා දැම්මත් ආතර් තමන් ගැන පොලීසියට දැනුම් දෙන්න පුළුවන් කියලා දැනදැනත් අර මිටි මනුස්සයට (Gary) යන්න ඉඩ දෙනවා. ඒ යද්දී කියන කතාව මෙතෙක් මට කාරුණික වුණේ ඔයා විතරයි කියන එක. 

"Is it just me, or is it getting crazier out there?" 
"It is certainly tense" 
"Hmm" 
"People are upset. They're struggling. Looking for work. These are tough times."
(Arthur smiles) 

ආතර්ට දේශපාලන කියැවීමක් නෑ. දේශපාලනය ගැන උනන්දුවකුත් නෑ. ඒත්,ආතර් නොදැනීම දේශපාලනයේ අතකොළුවක් බවට පත්වෙනවා. ආතර්ගේ පීඩනය වෙනස් එකක්. ආතර් ඉන්න සමාජයේ පීඩනය ඊටත් වෙනස් එකක්. නමුත්, ඒ පීඩනයන් දෙකම පුපුරායන්නේ එකම විදියට. ආතර් සමාජයේ පීඩනයට හේතුව ගණනකට ගන්නෙ නැහැ, ඔහුට තමන්ගේ පීඩනය ඊටවඩා බරයි. සමාජය ආතර්ගෙ පීඩනයක් ගැන දන්නෙවත් නැහැ. නමුත්, ආතර් පීඩනය පිටකළාම ඒක මානසික රෝගියෙක්ගේ පීඩනය පිටකිරීමක් හැටියට සමාජය තෝරමින් බේරමින් ඉන්නෙත් නැහැ. සමාජය ඒක පිළිගන්නේ වීරත්වයක් හැටියට. ඔවුනුත් ඒ මගම යමින් ආතර්ව අනුකරණය/ අනුගමනය කරනවා. ඒක නිකංම රැල්ලක්, කැරැල්ලක් බවට පත්වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මේ දිහා බලං ඉන්නකොට ඒක කොයිතරම් නම් භයානකද කියලා අපිට දැනෙනවා. 

අපිට ඕන නැහැ ආතර්ලා තව බිහිකරන්න. අපිට ඕන නැහැ අපි අතර ඉන්න ආතර්ලා ජෝකර්ලා ලෙස බෞතීස්ම කරලා කවදාවත් ආපසු හැරවිය නොහැකි තරමේ විනාශයන්ට පාර කපන්න. මනස රෝගීවීම කය රෝගීවීමට වඩා දහස් ගුණයක් භයංකාරයි. පැනඩෝල් පෙත්තකින් මනස සුවපත් කරන්න බැහැ. ඒකට ආදරය, කරුණාව, කාලය වගේම සමාජයේ සහකම්පනය සහ සහයෝගයත් තියෙන්න ඕන. අපි හැමෝම ඒ ටික තේරුම් ගත්ත දවසක ආතර්ලා තිඹිරිගෙයිම මරාදාන්න අපිට පුළුවන් වෙයි. 💐😇❤️

~✒️ Aash Weerasinghe

2 comments: