Thursday, September 22, 2022

වයිර නැති මුත්තු

වයිරමුත්තු අන්කල් යාපනෙන් ඇවිත් දකුණේ පදිංචි වෙලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. වයිරමුත්තු අන්කල්ගේ අයියා තමයි ඉස්සර සීයාගේ කොණ්ඩේ කපන්නේ ගෙදරට ඇවිත්. එතකොට ඒ එක්කම තුන්වැනි පරම්පරාවෙ පළවෙනියටත් ඒ සැලකිල්ලම ලැබෙනවා. ඒත් මම පුංචි කාලේ කොණ්ඩේ කපන්න බයයි. ඒකට දැන් කොණ්ඩේ කපන්නේ බාබර්ලත් එපා කියද්දී😅 ඉතින් මාව පුටුවක වාඩි කරවලා ලොකු වයිරමුත්තු අන්කල් කොණ්ඩේ කපනකොට මම ගල් පිළිමයක් වගේ ඉන්නවා කටේ ටොෆියකුත් ඔබාගෙන ඒ කෙළ ටිකවත් ගිලින්න බයෙන් කතුර ඇනෙයි, කණ කැපෙයි වගේ පුංචි එවුන්ට තියෙන ප්‍රශ්න කෙළකෝටියකින් ඔලුව පුරෝගෙන.

පස්සේ කාලෙක ලොකු වයිරමුත්තු අන්කල් නැතිවුණා. පොඩි වයිරමුත්තු අන්කල් කොළඹ ආවා. අපිත් කොළඹ දී වයිරමුත්තු අන්කල්ගෙන් තමයි කොණ්ඩේ කැපුවේ. තාත්තා අනිවාර්යයෙන්ම ගියේ එයා ළගට. ලෝකේ හොඳම බාබර් ළගට ගියත් වයිරමුත්තු අන්කල් තරම් හිතට ඇල්ලුවේ නෑ තාත්තට කාවවත්.

වයිරමුත්තු අන්කල් එතකොට හිටියේ සොයිසාපුර. සොයිසාපුරේට ඇතුල්වෙන පාරේම හොඳ සැලෝන් එකක් කළේ. ගෝලයොත් සෑහෙන්න හිටියා. පදිංචි වෙලා හිටියෙත් සොයිසාපුර මහල් නිවාසෙකමයි. ඒ කාලේ දුවයි පුතයි පොඩියි. අන්කල් කොච්චර සෙනග පිරිලා හිටියත් කොච්චර වැඩ තිබ්බත් තාත්තා එක්ක ගියත් අපි තනියම ගියත් අපේ වැඩේ තමන්ම බාරගෙන කරනවා. ඒකත් උපරිමයෙන්. සාප්පුවට ඇතුල්වෙන සැණින් බීම ගෙන්නලා දීලා සෙනග වැඩිවෙලාවක වුණත් ළගට ඇවිත් කතාබහ කරලා හිටපු අහිංසක මනුස්සයෙක්. ඒ හින්දම වෙන්න ඇති භීෂණ දෙකකට එකසැරේ මූණ දුන්න දකුණේ පවා ඔහුගේ පවුල ආරක්ෂිතව කාගෙත් ආදර කරුණාවට ලක්වෙමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යෙදුණේ. සොයිසාපුර තත්ත්වයත් ඒකමයි. දන්නා තරමින් හැමෝම සමග සහයෝගයෙන් සාමයෙන් පාඩුවේ ජීවත් වෙච්චි මනුස්සයෙක් වයිරමුත්තු අන්කල්.
ඊටපස්සේ කාලෙක සෑහෙන්න දේවල් ලෝකේ වෙනස්වුණා. අපිටත් වයිරමුත්තු අන්කල් බලන්න යන්න බැරිවුණා. ගරාජ් එකේ තියාගත්ත පුටුවක වාඩිකරලා පරිස්සමින් කොණ්ඩේ කැප්පෙව්ව පොඩි වීරසිංහත් වයසින් වැඩිලා කොණ්ඩෙට එක එක විජ්ජාවල් කරන්න ගත්තම වයිරමුත්තු අන්කල්ගේ පරණ කතුරු නිකම්ම අතෑරුණා.

ඊයේ හවස අම්මලා ගෙට ගොඩවුණේම "අනේ අපිට වයිරමුත්තු හම්බුණානේ" කියාගෙන,ඒකත් හරිම දුක මූණුවලින්.
ඊටපස්සේ මට ඉස්පාසුවක් තිබ්බේ නෑ කොහෙදිද මොකද අරකද මේකද අහගන්න. මොකද අවුරුදු ගානකින්නේ මම වයිරමුත්තු අන්කල් ගැන ඇහුවේ.
ලස්සනට ව්‍යාපාරය කරගෙන හිටිය අහිංසක මනුස්සයා අද හරිම කරදර ගොඩකින් හෙම්බත්වෙලා කියලා ඇහුවම මට කඳුළුත් ආවා. හොඳ වෙලාවට විදුලි කප්පාදුව නිසා කව්රුවත් දැක්කේ නෑ. දෙයියනේ කියලා සරුවට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන හිටිය අන්කල් දැන් කොල්ලුපිටියේ පොඩි බාබර් සාප්පුවක වැඩ කරනවලු. තාත්තා හවස මතක්වෙලා කෝල් එකක් දීලා හොයාගෙන ගිහින් බලන්න. වයිරමුත්තු අන්කල්ගේ සුපුරුදු කොණ්ඩ කැපීමෙන් පස්සේ අපි පුංචි කාලේ හිටිය තාත්තා තමයි ගෙදර ආවේ❤️
අන්කල්ගේ එකම දුව කොරෝනා කාලේ නැතිවෙලා. දිවිනසාගැනීමක්. පුතාට අන්කල්ව පේන්න බැරිව ගිහින් ඇතිවුණු ප්‍රශ්න නිසා අන්කල්ට ගෙදර යන්න විදියක් නැතිව වැඩකරන තැනම නැවතිලා. කොහොමත් කෙට්ටු අන්කල් තවත් කෙට්ටු වෙලා ගිහින් කකුල් පවා තුවාලවෙලා වෙලාගෙන ඉන්න පිංතූර දැක්කම හරිම වේදනයි.

සාමාන්‍යයෙන් සිංහල දමිළ ප්‍රජාවන් දෙකටම අණවිණ කොඩිවින හදිහූනියම් ගැන විශ්වාසයන් තියෙනවනෙ. එක එක අයගේ විශ්වාසයන්ගේ මට්ටම් වෙනස්වුණාට. භක්තිමත් හින්දුවෙක් වෙන වයිරමුත්තු අන්කල්ගෙත් එහෙම කතාවක් තියෙනවා. සමහරවිට වෙන්නත් පුළුවන්. කර්ම ශක්තිය බලපානවා වගේම සමහර විනාශයන් තියෙනවා මිනිස්සු කරන. ඒවයේ බොරුව වගේම ඇත්තක් නැත්තේම නැතිබවට නම් අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. සමහරවෙලාවට මේවට ප්‍රසිද්ධියේ හිනාවෙන ඒවා විවේචනය කරන උගත් බුද්ධිමත් කියලා කියන මිනිස්සු පවා කොයිතරම් නම් මිථ්‍යාදෘෂ්ටික දේවල් තව කෙනෙක්ව විනාශ කරවීමේ අරමුණින් කරනවද කියලා (ප්‍රතිඵල කොහොම වුණත්) උදාහරණ දෙන්නත් පුළුවන් මට නම්😅 වචනයේ බලයෙන් විනාශයන් කරවන මිනිස්සුත් ඉන්නවා. ඔය මිථ්‍යාවන්ට එහා ගිය විනාශකාරී දේවල් තමා මිනිසුන්ගේ වචන සහ ක්‍රියාවන්. කෙනෙකුගේ හැම සර්ථකත්වයක්ම සතුටක්ම එක රැයින් විනාශ කරලා දාන්න පුළුවන් විසකුරු වචන සහ ක්‍රියාවන් ඇති මිනිස්සු අපි අතරම ඕනෑ තරම් ඉන්නවා, සමහරවිට අතිශය හෘදයාංගම, මිත්‍රශීලී, ආදරණීය වෙස්මූණු පැළඳගෙන!

මොකක් කොහොමවුණත් මේ ආරංචිය මට හරිම කණගාටුවක්. ඒ පැත්තේ යන වෙලාවක අනිවාර්යයෙන්ම ගිහින් මාත් අන්කල්ව බලලා එනවා. අන්කල්ට දැන්නම් මාව අඳුනගන්න පුළුවන් වේවිද දන්නේ නෑ. මිනිස් වර්ගයා බෙදිච්ච ලෝකේ වයිරමුත්තු අන්කල් වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් වෙච්ච එක මට දරාගන්න අමාරුයි, ඒක මගෙම කෙනෙකුට වුණා වගේ දැනෙනවා.

මනුස්සයෙක් ආදරෙන් සතුටෙන් සැනසීමෙන් දියුණුවෙමින් ඉන්නවා දකිද්දී තමන්ගේ ඇහේ කටු ඇනෙනවා නම් ඒ ලෙඩේ කොහොමහරි හොඳකරගන්න. දුර්ලභ මිනිස් ආත්ම ලබලා ඇවිත් අනුන්ට වින කරලා පව් පුරවගන්න එපා. මේ තියෙන කරදර මිනිස්සුන්ට හොඳටම ඇති, වැඩිත් එක්ක. ඒ අස්සට අහක යන කර්ම මිනීස්සුන්ගේ ඔලුවලටයි ජීවිතවලටයි හරවන්න එපා කොයි අරමුණෙන් කොයි හේතුවකටවත්. ඕවා විඳවනකොට විඳවන්න වෙන්නේ තමන්ටම විතරක් නෙවෙයි! තමන්ගේ වචන හරි ක්‍රියාවක් හරි මිථ්‍යාදෘෂ්ටික දෙයක් හරි හින්දා කෙනෙකුට හිත්වේදනාවක් දුකක් කරදරයක් වෙද්දී 'දැක්කද මම ෂොට් එක දුන්නා' කියලා සතුටු වෙනවා නං ඒ සතුට පිටිපස්සෙන් කරත්ත රෝදේ වගේ එන මහා දුක් ගැලකුත් තියෙන බව දැනගෙන ඉන්න.
කරුණාකරලා අනුන්ට වින කරන වෙලාව, මුදල්, ශ්‍රමය තමන්ට සෙතක් කරගන්න යොදාගන්න. ඒත් බැරිනම් ඒ කරන විනයක් තමන්ටම කරගන්න. තමන්ගේ ඇස්වල කටු ඇනිච්ච පළියට වෙන මිනිස්සුන්ට වල කපන්න නොයා!

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

7 comments:

  1. මිත්‍යාදෘෂ්ටිය කෙසේ වෙතත්... පොඩි කාලෙ ඉඳල අපිට කියල දෙන්නෙ, අධ්‍යාපනයෙන් පොවන්නෙ අනෙකා පාස් කර යෑමනෙ. ඒ නිසා ලොකු උනාම.. පිහියෙන් බැරිනම් පොරොවෙන් හරි තමන් ඉහලට යන්න බලන්නෙ. නැත්තං අනුන් ඉහලට යන එක නවත්තන්න හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක හින්දා හැමතිස්සෙම තියෙන්නේ තමන් ජයග්‍රහණයට වඩා මට බැරිනම් තොටත් බැරිවෙන්න ඕන කියන අරමුණ

      Delete
  2. ඉරිසියාව, ක්‍රෝධය වගේ දේවල් නිසා සසරම අනාථ වෙනවා. සමහර දේවල් වලට භව ගණනක් ගෙවන්න වෙනවා කියල තමයි බුදු දහමෙ තියෙන්නෙ. ඒ වගේම හොඳ කලත් භව ගණනක් ප්‍රතිඵල ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔය සරල ඇත්ත තේරුම් ගන්න බැරිව කොයිතරම් නම් භයානක දේවල් කරනවද. අනෙකාට විපතක් කරලා වෙන සතුටක පලක් තියෙනවාද

      Delete
  3. ආසාවෙන් කියෙව්වා. කෙටි කථා පොතකට කාලෙ හරි වගේ. හෙමිහිට කතා ටිකක් එකතු කරගෙන පටන් ගන්න.

    ReplyDelete