Tuesday, December 13, 2022

හීතල ගිනිකඳු

ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ හිටපු මායි මගෙ යාලුවයිත් ඔය අච්චාරු රැල්ලට නිතරඟයෙන්ම සෙට්වෙලා හිටියෙ. අමු දිවුල් එහෙම කඩාගන්න බැරි නිසා ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල් කෙනෙකුට හරි ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුට හරි තමයි උදව් කරන්න වුණේ. මට මතක විදියට රුපියලක් දෙකක් වගෙ ඔය කොයිකත් එතකොට.

ඉතින් ඔතන පෝලිමේ ඉඳලා ළමයි අස්සෙ පොරකාලා ගන්න කෑම අරන් වෑන් එකට දුවද්දී සාක්කුවල ඔබාගන්න නිසා ඒ දවස්වල යුනිෆෝම් එහෙම පුදුම ලස්සනයි, එක එක පාට කහට රටා එක්ක.

ඉස්කෝලෙ ඇතුලේ ඉන්න වෙලාවක නං ඉතින් කැන්ටිම තමයි එකම පිහිට. මොකෝ ඒ කාලේ මෝටර් බයිසිකල්වල කෑම ඇද්දෙ නැහැනෙ කොහෙටවත්. ඒත් ඉතින් එක එක කාලෙට එක එක රැලි ආවා. එක කාලෙකට හැලප රැල්ල. වැඩේ outsource කළත් කැන්ටිමේ අක්කා දන්නවා හැලප වැඩිපුරම කෑවෙ කව්ද කියලා😅 ඊළගට කාලයක් තිබ්බා එක පැත්තක් විතරක් කහ හරි රෝස හරි පාට කරපු චොක්ලට් එකක්. ඒ රැල්ලෙන් ගැලවෙන්න නං කාලයක් ගියා. පොරි රැල්ලට නං මං එච්චර සෙට්වුණේ නෑ මොකද එව්වා දැන් තියෙන සිනිඳු සුකොමල මැෂින් පොරි නෙවෙයි, තාච්චිවල (වෙන්නැති) බැදපු ගල්පොරි. රුපියලෙ පොඩි පොරි පැකට් එකක මල්වලට වඩා තිබ්බේ ගල් ගැහිච්ච ඇට! එව්වා හපලා දත් ටිකට අවැඩක් කරගන්න බෑ මොකද මම ඩෙන්ටල්-විරෝධී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු! 😎

මේ අච්චාරු කතන්දරේ කොහෙටද කැරකෙන්නෙ කියලා නේද හිතන්නෙ?
:
:
:
ඔබ හරි!

හෙඩිමක් දැක්කා මත්ද්‍රව්‍ය සොයා පොලීසිය පාසැල් පීරයි! කියලා. ඒ දවස්වල පාසැලක් පීරුවා නං වැඩිපුරම හම්බෙන්න පුළුවන් සෙනෙහෙකොළ, නලුනිලියන්ගෙ පිංතූර, ඉඳලාහිටලා "තමන්ට විතරක් නලුවෙක්/නිලියෙක් වගේ පේන පින්තූර", ජංගම දුරකථන, පස්වෙනි මණ්ඩලේ පත්තර, මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණ චිත්‍රපට, සිගරට්, වැඩිමවුණොත් ජොයින්ට් එකක් වගේ සාපේක්ෂව අහිංසක දේවල්. ඒත් ඉතින් විනය මණ්ඩලවලින් හායි හූයි ගාලා උඩ පැනලා නටපු, අහුවුණෙත් මුලු පාසැල් ජීවිතේටම හණ ගහන විත්ති භාණ්‌ඩ ඔව්වා.

විහිලු පැත්තක තියලා දැන් තියෙන තත්ත්වය දිහා බැලුවොත් මතුපිටින් සාමාන්‍යයි වගේ පෙනුණට මේක හරිම භයානක තත්ත්වයක්. අර අච්චාරු කරත්තෙට පුරුදු වෙච්ච අවුරුදු නමයෙ මායි යාලුවයි වගේ පුංචි උන් ඔය දෙන මත් ටොපියකට පුරුදුවුණොත් කව්ද මොකද්ද ඒකට කරන්න පුළුවන්? මොනා කරන්නත් දැනගන්නෙ කොහොමද?
ජීවිතේම රස්සාවලට කැප කරපු දෙමව්පියෝ ඉන්න තැන්වල පැය 13කට වඩා අවධානයෙන් ගිලිහෙන ළමයි මොනවා කරනවා ඇතිද? කව්ද දන්නෙ?

අනෙක් අතට ඉස්සර නාඳුනන මිනිස්සු දෙන දේවල් කන්න බොන්න එපා, නාඳුනන මිනිස්සු කතා කළාට කොහෙවත් යන්න එපා කියලා අපේ පරම්පරාවලට කරපු දැනුවත්කම අදට වලංගුද?
නාඳුනන කෙනෙක් හරි දෙන්නෙ සල්ලිවලට. ඒක සාමාන්‍ය ගනුදෙනුවක් හැටියට ගන්නෙ නැතිවෙන්න පුළුවන් ද දියුණු පරම්පරාවක ළමයි?
නාඳුනන අය එක්ක යන්න එපා කිව්වම GPS tracking ගැන විශ්වාසය නොතියා ඉඳීවිද තාක්ෂණිකව දියුණු ළමයි (ජංගම දුරකථන තියෙන ළමයි, බාටා දෙක දාගෙන ඉස්කෝලෙ යන ළමයි නෙවෙයි)?
තාක්ෂණික දියුණුව වල්බූරු නිදහසක් කරගත්ත පරම්පරාවක එක්ටැම්ගෙවල්වල හිරකරලා තියන්න පුළුවන් උන්මාද චිත්‍රලා ඉඳීවිද?

ලංකාව අරාජික වෙච්ච පහුගිය කාලයක අත්‍යාවශ්‍ය දේ පවා නිසියාකාරව නොලැබුණ කාලයක මත්ද්‍රව්‍ය විතරක් නිසියාකාරව සැපයුණේ කොහොමද?
පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, බෙහෙත් නැව් පහුකරගෙන මත්කුඩු නැව් නොපෙනීම ආවේ කොහොමද?
අන්න සැපයුම්කරුවො ආදර්ශයට ගන්න වටින!

දේශපාලනික අවුල්ජාලා අස්සෙ අවධානය වෙන අතක තියෙද්දි පිළිකාවක් ඔඩුදුවලා කියලා පැහැදිලියි. එතකොට ඒ අවුලුයි මේ පිළිකාවයි අතර අවස්ථා සම්බන්ධයක් තියෙන්න බැරිද?
අරගලවලට පිදුරුවුණේ දේශපාලනය විතරක්ම වෙන්නත් බෑ නේද?

නීතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම එක අරමුණක් බව ඊටපස්සේ සිවිල් සමාජයේ හැසිරීම එක්ක පැහැදිලි වෙන්න ඕන, මධ්‍යස්ථව 2022 අවුරුද්ද විශ්ලේෂණය කරන කෙනෙකුට. නීතිය සහ සාමය අවභාවිතවීම ගැන කතා කළ කොටසක්ම නීතිය සහ සාමයට කළ සැලකීම ගිය සතියෙත් අපි දැක්කා පාන්දරක. සම්මත නීතිය අවභාවිතයට එරෙහිව වෙන්න ඕන කැලෑ නීතිය වැළඳගැනීමෙන් නෙවෙයි. කැලෑ නීතිය අවශ්‍ය නම් අපිට පුළුවන් ආයෙත් දශක ගාණක් ආපස්සට ගිහින් ඉන්න!

හැබැයි මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. (අකුදි කියන විදියට)
සිවිල් සමාජය කියන කරත්තයෙ හරකාට පෙට්‍රල් ගහන්න දේශපාලනික බළල් (සහ කොටි) අත්වලට අමතරව එකතුවෙන ව්‍යාපාරික බළල් (සහ කොටි) අත් කැලෑ නීතිය අතට ගන්න ඔබව පෙළඹුවාට ඔරිජිනල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මකවෙන්නෙ නිහඬව. දේශපාලනික බලය ඒකෙ එක කොටසක් විතරයි.
එතකොට ඒ න්‍යාය පත්‍රයේ තව හුගාක් දේවල් තවම මතුනොවී තියෙන්න පුළුවන්. බැරි නැහැ. පාසැල්වලින් මතුවෙන්නේ එක කොටසයි, අයිස් කන්දේ මුදුනේ තියෙන කොඩිය තාම අපි දකින්නේ.

කමක් නෑ. සමහර ඔස්තාද්ලා කියනවනෙ "ලංකාවට එහෙම පට්ට ගේම් දෙන්න මොකද ලංකාව මහ එකක්ද" වගේ කතා.
නෑ මහත්මයා, ලංකාව 'මහ එකක්' නෙවේ තමා, ඒත් ඒකෙ 'මහ ඔයාලා වගේ අය' ඉන්නවනෙ. ඒකයි!

ඉතින් ඔයාලා දිගටම ඔය ගේම ගහං යන්න. පේන අපි බලං ඉන්නං.
නොපෙනෙන අය.. අනේ මන්දා..!


ප. ලි.

මතක තියාගන්න තමන්ගෙ දරුවෙක් හරි සමීපතමයෙක් හරි මතට හුරුවුණාම ඔය පෙනී ඉන්න සර්ව සාධාරණත්වය, දේශපාලන මත, අර කඳවුර මේ කඳවුර, එයා එහෙම නෑ, ආගමික මත, අරක මේක සේරම හිස් බයිලා විතරක් වෙන බව!

අන්න එතකොට තමයි සිසිල ගිනිගන්න පටන්ගන්නෙ. 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #drugaddiction #lka

6 comments:

  1. ලස්සන මතක තවරපු කාලෝචිත සටහනක් . ඔබේ කෙටිකථා වැඩි දෙනෙකුගේ කියැවීම පිණිස සිසිල සගරාවට යවන්න. කවි ලන්ඩන් කවියට යවන්න. කැමැති නම් විශාල පිරිසක් කියවන මුහුණු පොත් පිටු වන අඩයාලම සහ විදිල්ලේ පල කරන්න.sisila.sangarawa@gmail.com, https://londonkavi.com/contact/,https://www.facebook.com/groups/atampahiya

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ
      සිසිල සඟරාව ගැන ඔත්තුවට ස්තූතියි. මම ඊමේල් එකක් දාන්නම්. London කවියටත් එවන්නම්😇
      අඩයාලමට නම් ඉඳලා හිටලා ලියලා තියෙනවා නමුත් මගෙ ගොඩක් ලිපි ප්‍රතික්ෂේප වෙනවා "දේශපාලනික''යි කියලා😁 ඒක නිසා දැන්වි උත්සාහ කරන්නේ නැහැ 😁 විදිල්ල නම් දැනගෙන හිටියේ නෑ. ඒකත් බලන්නම්.

      Delete
  2. මගේ අදහස මත් ද්‍රව්‍ය කියන්නේ සැපයුම පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ලෝකේ දියුණු සහ නොදියුණු රටවල් ඔක්කොම කරන්නෙත් සැපයුම පාලනය කරන්න උත්සාහ කරන එකයි. අන්තිමට සැපයුම පාලනය කරන්න උත්සාහ කරන දේශපාලකයො, පොලිසිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ අංශ වල කොටසකුත් සැපයුමට දායක වෙනව එහෙම නැත්නම් කප්පම් වලින් යැපෙනවා. ඒක නිසා දශක ගාණක් ගිහිල්ලත් කිසිම රටක මත්ද්‍රව්‍ය සැපයුම විශාල ලෙස පාලනය කරන්න බැරි වෙලා තියෙනවා.

    මගේ අදහස මේක පාලනය කලයුත්තේ ඉල්ලුම පැත්තෙන් කියලයි. පාසැලේ පලමුවෙනි ශ්‍රේණියෙ ඉඳන්ම පැහැදිලි කරදීම, චිත්‍රපටි, වීඩියෝ ආදිය පෙන්වීම, ලමයින්ට ඒ ගැන කථා කරන්න විවාද කරන්න දීම ආදිය කලයුතුයි. ගෙවල් වලදිත් මව්පියන්, ආච්චි අම්මලා ආදිය යොදාගෙන කුඩා දරුවන්ට මේවා කියා දීම කලයුතුයි. පලමුවෙනි මත් පෙත්ත ගන්න පෙර ඒවාගේ ප්‍රතිඵල ගැන ලමයින්ට දැනීම දීම සහ විවෘතව කථා කිරීමට පාසැලේ සහ නිවසේ අවස්ථාව දීම මඟින් ලමයින් ඒවා පටන් ගැනීම අඩුවෙනවා. එහෙම ඉල්ලුම පාලනය කලොත් විතරමයි මේකෙන් දරුවන් ගලවා ගන්න පුළුවන්. මේක කිව්වෙ මගේ අත්දැකීම් වලින්. දක කීපෙකට පෙර මා සමඟ කොලඹ ප්‍රධාන පාසැලකට ගිය මගේ සහෝදරයා මත්ද්‍රව්‍ය වලට පෙලඹුණා. ඒකාලෙට වඩා විශාල ලෙස මත්ද්‍රව්‍ය බහුල ජාත්‍යන්තර පාසැලකට ගිය මගේ දරුවන් ඔවුන්ගේ ලඟම යහළුවන් ඒවා පාවිච්චි කලත් ඔවුන් යොමු වුනේ නැහැ. ඒකට හේතුව මගේ සහෝදරයාට වූ දේ දැනගෙන මම ඔවුන් සමඟ කුඩා කාලයේ සිටම ඒවා ගැන කථා කල නිසයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මේ ලෝකෙ බොහොමයක් දේ වගේ මේකත් මුලිනුපුටා දමන්න බෑ. අනිවාර්යයෙන්ම දැනුවත් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම තමයි අවධානය යොමු කරන්න ඕන පියවර මේ වෙලාවේ

      Delete
  3. Harima apooru lipiyak! Lama kalaye watapitawath ,parisarayath thulin lassanata ada dawase dakwa pela gasweema apooruyi.E samaga ada dawase pradhanama gataluwak gana sakachchawakata mula pireema harima kalochithayi.

    ReplyDelete
    Replies
    1. Bohoma sthoothii obe watina agaya kireemata. Mage liwilla rasawindi bawa aseemath sathutak😊 digatama thanitharuwe randewi kiyala hithanawa

      Delete