Friday, September 13, 2024

තවලම්කරුවෝ

රූකාන්තගෙ සමහර සිංදුවලට හැඩතල මොනවා දාලා කවුරු කොහොම කිව්වත් අර මුල් ගීතයෙ තියෙන හැඩෙයි හැඟීමයි ගන්න බැරි ඒවත් තියෙනවා, මේකත් එහෙමයි. විවෘත, සරල, සතුටු හඬක් විදියට මතුපිටින් පේන රූකාන්ත ඇතුළේ නැලවෙන, නලවන, දුකක් නොවන දුකක් වගේ එකකුත් පෙනී නොපෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි, සිහේලි මේකට දීලා තියෙන හැඩය සහ රහ වෙනමම තලයක්! 

මොන හේතුවක් පදනම් කරගෙන මේක ලියැවුණත්, 'තාමත් ඔබ ඇත සුව නින්දේ, ඒකයි මා නොකියා යන්නේ' කියද්දි බොල්පිණි වෑහෙන වෙලාවල්වල අපි හැමෝම කප්පරකට කරලා ඇති සමුගැනීම්, සමුදීම් සහ සමු-උදුරා-ගැනීම් නිරායාසයෙන්ම නියෝජනය වෙනවා කියලා හිතෙනවා. ව්‍යංගාර්ථ ගත්තොත් තමතමන්ට දැනෙන හැඟෙන හැටියට කියවගන්න පුලුවන් තේරුම් ගොඩක් මේ පද පේළි ඇතුළේ තියෙනවා. 

ඒ හින්දා මට හිතෙනවා, මේකෙ සාමාන්‍ය ප්‍රේමයක සමුගැනීමකින් එහා ගිය ගැඹුරු අභිනිෂ්ක්‍රමණ කතාවක් කියවෙනවා කියලා. ඒ එක්කම මුල් කොටසෙදි මගෙ ඔලුවෙ මැවෙනවා කොහෙහරි කතා පොතක හරි ඉස්කෝලෙ පොතක හරි දැක්ක සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණයට කලින් ඇවිත් යසෝධරා දේවිය අළුත උපන් රාහුල කුමාරයා තුරුලු කරන් නිදා ඉන්න කුටියෙ දුහුල් තිරය මෑත් කරලා බලා හිටි පින්තූරයක්. 

හැබැයි ඒ කතාව දෙවෙනි කොටසෙදි 'තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ' කියලා කුළුගෙඩි පාරක් දීලා බිඳලා ආයෙම තිත්ත යථාර්ථයකට අපිව වට්ටවනවා. සමහරවිට ඒ කියන්නේ නැවත ආත්මයක් ලබනවා නම් ඒ වනතුරු මතකයෙ ඉන්නවා හෝ මේ ජීවිතේ අවසානය වෙනතෙක් මතකයේ ඉන්නවා කියන එක වෙන්නත් පුළුවන්. ඒත් එහෙම අපි සමුගන්න, සුමුදුන්න, සමු-උදුරාගන්න හැම කෙනෙක්වම ජීවිතාන්තය තෙක් මතකයේ රඳවගන්නෙ, රැඳෙන්නෙ නැහැනෙ.

සංසාර සංකල්පය එක්ක ගත්තහම අපි ඔක්කොම තවලම්කාරයෝ කියන කතාව ඇත්තයි. හැබැයි හැම තවලම්කාරයෙක්ම නොකියා අභිනිෂ්ක්‍රමණ කරන්නෙ නෑ, ඇත්තම කිව්වොත් එක නිවහනක් හැර ගියාට ගිහිගෙය හැරයන්නෙ නෑනේ. 

සංසාර ගමන විශ්වාස කරන මනුස්සයෙක් හැටියට සංසාරේ තවලම්කාරයෙක් හැටියට මං මාව දැක්කට, ප්‍රේමය කියන විෂයෙදි තවලම්කාරයෙක් හැටියට කිසිම කෙනෙක්ව දකින්න කොයිතරම් අකමැතිවුණත් එහෙම දකින්න සිද්ධවෙන යථාර්ථයෙන් මිදෙන්න බැහැනෙ. හැබැයි ලෝකේ තවලම්කාරයොන්ගෙන් පිරිලා. ගැල එක්ක යන ගමන යන්න හිතා හෝ නොහිතා හෝ තවලම්කාර ජීවිත තෝරගෙන හෝ නොගෙන හෝ යන තවලම්කාරයො කොච්චර ඇතිද? 

මේ ජීවිතේ හරි සංසාරේ හරි තවලම්කාරයෙක් වෙන එක හරි ලේසියි. 
ඒත්, ඒ තවලම්කාරකමෙන් ගැලවෙන්න අමාරුයි.
සංසාරේ සෑහෙන්න දුෂ්කරයි, දුරයි, සංකීර්ණයි. ගැල බරයි.

මට ඕන නෑ තවලම්කාරයෙක් වෙන්න. ඒත් මම එක්තරා විදිහක තවලම්කාරයෙක්.

"තවලම්කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ.."❤️

~ Aash Weerasinghe

#AW #thaniya #medusa 

https://youtu.be/wYuIehqgOow?si=PyRbZCduZV9-D0i9



3 comments:

  1. අපි හැමෝම එක්තරා විධිහක තවලම් කරුවෝ තමයි . විඩහ නිවා ගන්න නතර වෙන තැන නිවසක් ගොඩ නගන

    ReplyDelete
  2. අවංකවම කීවොත් මයෙ ෆීලින් එකටනං සහෙලිගෙ එක සෙට් නෑ. ඒ දැරිවිගට ගායන හැකියාවක් නෑ කියල නම් නෙවෙයි කීවෙ.
    රසිකත්ව, රසඥතා විවිධයි නෙව 🙂

    සිංදුවනං... රෑකාන්තගෙ ගී අතරින් ඉහලින්ම දැනෙන ගීයක්!

    ReplyDelete
  3. වෙන ගායනයන් අතර අමල්ගෙ ගායනය නං නැවුම්ව දැනුන. හෙහ් හෙ. කලිං කීව වගෙ ඉතිම් කැමැත්ත එකිනෙකාට සාපේක්ෂයි නෙව

    https://youtu.be/K0FtnS5SYTg?si=03NkH01NFuFOjRRe

    ReplyDelete