Saturday, November 9, 2024

හිත නිවන කතා

මිනිස්සු කියන්නෙ අටෝරාසියක් හැඟීම් දැනීම් සිතුවිලි මනෝභාවයන්ගෙන් පිරිච්ච මහ සංකීර්ණ ජීවීන් කොටසක්නෙ. සමහර වෙලාවට මේ සංකීර්ණතා අමතක කරලා අපි, අපි ආදරේ කරන හරි අදහන හරි විශ්වාස කරන හරි නැත්නම් මොනහරිම හේතුවලින් සමීප වෙලා ඉන්න හරි මිනිස්සුන්ව කියවගන්න උත්සහ කරලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඈතින් හරි පිටතින් හරි බොහොම මටසිලිටිව පේන ගොඩක් පිළිමවල පොටි ගහලා වහගත්ත පිපිරුම් දෙදරුම් සිය දහස් ගාණක් තියෙන්න පුළුවන් කියන යථාර්තය අමතක කරලා පිටට පේන ප්‍රතිරූප විශ්වාස කරන්න දඟලලා හිත් අමාරු හදාගන්නවා. නරකම දේ ඒක නෙවෙයි. අනුන්ගෙ පිළිමවල පිපිරීම් තියෙන්න පුළුවන් වගේම තමන්ගේ පිළිමවලත් පිපිරීම් තියෙන බව අපි අමතක කරන එකයි. මම පරිපූර්ණ නැත්නම් මට ලෝකේ හැමෝම පරිපූර්ණවෙන්න ඕන කියලා අන්තවාදෙක ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. තමන්ට සීයට සීයක් ගැලපෙන හැටියට හිතන පතන ජීවත්වෙන මිනිස්සුන්ව බලාපොරොත්තුවෙන එක ප්‍රායෝගික නෑ. හැබැයි තමන් අකමැති දෙයක් හෝ විරුද්ධ දෙයක් ඉවසා දරාගෙන ඉන්න අවශ්‍යත් නෑ. ආදරයද යුතුකමද වගකීමද කියන මොනාකාරයකින්වත් කිසිමකෙනෙක් අවභාවිතා වියයුතු නැහැ.

මොන විදියක වුණත් මිනිස් සම්බන්ධතා හරිම සංකීර්ණයි. අපි බලාපොරොත්තුවෙන විදියටම හැම සම්බන්ධතාවක්ම පවතින්නෙ නෑ. එහෙම දෙයක් තමන්ට අමාරුම නම් එතන බලෙන් රැඳෙන්න ඕනත් නෑ. 

කිසිම මනුස්සයෙක් පරිපූර්ණ නෑ. ජීවිතෙ වැරදුණු, හිතා හෝ නොහිතා හෝ වැරදි කළ මිනිස්සුන්ව ඒවා මත පිහිටලම විනිශ්චය කරන්න තරම් දේවසභා මනුස්ස ලෝකේ තියෙන්නත් බැහැ. 
වැරදුණු තැන්වලින් ඉගෙනගෙන නැත්නම් ඒ මිනිස්සු කවුද කියන එක අඳුනගන්න සාධකයක් කරගෙන එතනින් ඈත්වෙනවා මිසක් හෝද හෝද මඩේ දාන්න කාගෙවත්ම කාලයක් ශ්‍රමයක් මානසික ඉඩක් වෙන්කරන්න අවශ්‍ය නෑ. ආදරේද නෑදෑහිතමිත්‍රකමද පාක්ෂිකත්වයද සහයෝගීතාවද අරකද මේකද කියන පිදුරුගස්වල එල්ලීගෙන අමාරුවෙන් සම්බන්ධතා නඩත්තු කරන්න ඕනත් නෑ. 

වැදගත්ම දේ තමන් කෙනෙකුට අකමැති වෙච්ච පමණින් ඔවුන්ට වෛර කරන්න හේතු හොයන්න මහන්සි වෙන්නෙ නැතුව අතෑරියම ඉවරයි, නිදහස්. විශ්වය ක්‍රියාත්මකවෙන හැටි අපි කාටවත්ම නිර්ණය කරන්න අමාරුයි. සමහරවිට, නරක කර්මයක් කියලා අපි හිතන සමහර මිනිස්සු, සිදුවීම් ඒ මොහොත තරණය කරන්න තිබ්බ විසඳුම්වලින් හොඳම එක කියලා විශ්වය තීරණය කරන්න ඇති. තියෙන නරක කර්මයත් ගෙවලා එතනින් එහා කතන්දරෙත් බැලන්ස් කරලා දෙන්න තිබ්බ හොඳම විදිහ ඒක වෙන්න ඇති. නැතිවුණ දේවල් වගේම ඒවා ඒ විදියටම සිද්ධවීමෙන් ලැබුණු දේවලුත් ඇති.

සමහරවිට, මේ ඔක්කොම කතා අපිම හදාගන්න හිත නිවන කතා වෙන්නත් ඇති. 

පහුගිය අවුරුදු කීපය ගත්තොත්, මම පුද්ගලයෙක් හැටියට මගේ හිතට එකඟ නැති, ගලපගන්න බැරි ගොඩක් දේවල්, සම්බන්ධතා, මිනිස්සු, සිදුවීම්, ස්ථාන සම්පූර්ණයෙන්ම අතෑරිය මනුස්සයෙක්. දැනටත් අතෑරමින් ඉන්න මනුස්සයෙක්. ඒක දුකක් කණගාටුවක් නැතුව කරන්න පුළුවන්මයි කියලා කියනවට වඩා ගොඩක් ඒවයෙ කළකිරීම් බරට ප්‍රත්‍යස්ථතා මාපාංක පනිනකල් වැඩිවෙන්න මංම ඉඩ දුන්නා කිව්වොත් හරි. ඒ අවස්ථාවල තීරණ ගත්තේ මංම නිසා ආයෙ දවසක හැරිලා බැලුවත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව උපේක්ෂාවෙන්, මගේ හැකි උපරිමයටත් එහා ශක්තියක් මං ඒ වෙනුවෙන් කැපකළා, වැයකළා කියන හෘද සාක්ෂිය මට ඉතුරුයි. ඒකට නිසි වටිනාකමක් ලැබුණද නැද්ද කියන එකත් නරක කර්ම ගෙවීමක් විදිහට අරන් ඒ සංසාර ණය ගනුදෙනු එතනින් ඉවරකිරීම හිතට නිදහස්. ඒ ඇතිනෙ.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

1 comment:

  1. හුඟක් වෙලාවට හරි . මම්ඩ් එවරක් හිතන්නේ නැතිවම අත්හල බ්ලොග් මිතුරන් හෙම ඉන්නවා . මගේ හිතට කරදරයක් දිදී ඉන්නේ මොකටඅද කියල . මේ ලිවිල්ලත් එපා වෙච්චි දවසට නවත්වනවා .

    ReplyDelete