Wednesday, September 30, 2015

හැපී මැරී නොමැරී - 1 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1 වෙනි දර්ශනය:
-------------------
පසුබිමින් ඇහෙන්නේ ට්‍රම්ෆට් වාදනයක්..කැමරාව විශාල සුදු බිත්ති තියෙන කාමරයක හෙමින් වටයක් කරකැවෙනවා...විධායක ශ්‍රේණියේ පෙනුමක් තිබෙන මේ කාමරේ එක පැත්තක මිල අධික චිත්‍රයක් එල්ලලා තියෙනවා, පාට ගැලපුණු ඉරි රටා අමුතු හැඩතල තියෙන චිත්‍රයක්..අනික් බිත්තියට වෙන්න විශාල මහෝගනී පාටැති මේසයක්..මේසය උඩ එක දූවිලි බිංදුවක්වත් නැහැ..ඇපල් ලැප්ටොප් එකක්..පිළිවෙලකට අඩුක් කල පාට පාට ප්ලාස්ටික් ලිපිගොනු කීපයක්..වීදුරු පෑන් රදවනයක් සහ වටිනා පෑන් කීපයක්..එක පෑනක් කොපුව ගලවලා දිග හැරිය ලිපි ගොනුවක් උඩ, ලොක්කෙක්ගේ වගේ පේන අමුතු ආරේ අත්සනක් ඉවර කරලා එහෙම නැවතිලා..තව හීරිමක්වත් නෑ වගේ පේන අලුත්ම පාට වීදුරු පේපර් වේට් එකක්..පුංචි කිරිගරුඬ ඕනමන්ට්ස් කීපයක්..රත්තරන් පාට දම්වැලක් තියෙන සුදු රවුම් මූණතක් තියෙන පොඩි ඔරලෝසුවක්..චිත්‍රේ තියෙන බිත්තියට විරුද්ධ පැත්තේ බිත්තිය විශාල වීදුරු ජනේලයක් ඒකෙන් කාර්යබහුල මුම්බායේ සෑහෙන්න කොටසක් පේනවා....මේසය තියෙන බිත්තියත් චිත්‍රෙ බිත්තියත් එක්වන මුල්ලේ ෆයිල් කබඩ්ස් දෙකක් ඒවත් මේසේ පාටටම ගැලපෙන තද මහෝගනී පාට..එකක් උඩ සුදුයි කලුයි කැට කැට තියෙන මඩ පැල්ලමක්වත් නැති ෆුට්බෝලයක්..තව පුංචි කාර් මොඩ්ල්ස් කීපයක්..වියලි දර කොට කෑල්ලක රැඳෙව්ව හොඳ පෙනුමක් තියෙන මල් සැරසිල්ලක්..

ඔය ඔක්කෝම බලන අතරේ ඇහෙනවා ෆෝන් එකකින් නොම්මරයක් ඩයල් කරන සද්දේ සහ මේ සංවාදය...
"හෙලෝ.."නිදිබර පිරිමි කටහඬක්..

"හෙ..හෙලෝ...රාම්..?" මේ පැත්තෙන් ඇහෙන පිරිමි කටහඬේ පොඩි නොසන්සුන් ගතියක්..

"ඉයා..?"

"රාම් මම ගුර්වින්දර්.." එහෙම කියද්දි කැමරාව මේසෙට පිටුපාලා තියෙන විශාල කළු විධායක පුටුව වටෙන් කැමරාව ගෙනියනවා...ඒ ඉන්නේ අපේ ප්‍රධාන නලුවා..ෆුල් සූට් ගහලා ලොකු හතරැස් පට්ටම් තියෙන කණ්ණඩි දෙකක් දාගත්තු ඉවාන් පවුලූෂා..

"ගුර්..හූ?" ගුර්වින්දර්ගේ මූණ ලැජ්ජාවෙන් ඇකිලෙනවා..විශාල පුටුවේ රිදී වත තදින් අල්ලගන්න ගුර්වින්දර් මේසෙට බරවෙනවා..

"ගුර්වින්දර් වර්මා..ම්ම්..අර පීප්ප ගුර්..ගුර්...අ..ම්ම්..ෆුට්බෝල් ෆීල්ඩ් එකේ වැටිලා කලිසම ඉරුණ ගුර්..."

"හහ් හහ් හා අරේ...ජංගි ගුරා....හව් ආ යූ බ්‍රෝ..සෑහෙන කලකින් නේද?"


"එහ්..හා හා..ඔ.ඔව් මට කතා කරන්න බැරිවුණා කාලෙකින්..මචං ඇත්තටම මම කතා කළේ පොඩි ආරධනාවක් කරන්න..මම බඳිනවා..." කියන ගමන් ගුර් ප්‍රේමණීය හිනාවක් පා කරනවා මේසේ උඩ තියන් ඉන්න රත්තරන් මෝගල් කැටයමක් තියෙන රාමුවකින් වටවුණ කෙල්ලගේ පින්තූරෙට..ගුර්ගේ හැටියට හිතන්නවත් බැරි මොඩ්ල් කෙනෙක් වගේ සිරා කෙල්ලෙක්..රතු ස්කිනියක් ගහගත්ත සුදුම සුදු කෙල්ලෙක් පෙම්බර හිනාවකින් බලා ඉන්නවා...කොණ්ඩේ හනී-සිනමන් කලර් එකක් දැම්ම කඩා හැලෙන ස්ට්‍රේට් කොණ්ඩයක්..

"ඕ යේ? වට් අ නිව්ස් මචං..හොඳයි හොඳයි.කන්ග්‍රැජුලේෂන්ස්..! "

"තැන්ක්ස් යාර්..ඇත්තටම මම කතා කළේ උඹට පුළුවන් වෙයිද මගේ බෙස්ට්මන් වෙන්න කියලා බලන්නයි.."

එක සැරේම එහා පැත්ත මහ ලොකු නිශ්ශබ්දතාවෙකට පත්වෙනවා..

"හෙලෝ..රාම්..?"

"ආ..මේ..මේකයි ගුර්..මම හිතන්නේ අපි එහෙම ක්ලෝස් නෑ නේ මචං..? ඒක නම්..අමාරුයි..මොකද අපි එහෙම වැඩිය දැන අඳුනන්නෙත් නෑ නේ.."

"අයියෝ නෑ නෑ මචං..ඇයි මතක නැද්ද අර අපි කෑම්ප් ගියේ.."

"අහ් ඒ 6 වසරෙදිනේ මචං.."

ගුර් සෑහෙන්න කැළඹීමකට පත්වෙනවා.."රා..රාම් පොඩ්ඩක් මට බලල කියන්න ප්ලීස් ඔයාට එන්න පුළුවන්ද කියලා.."

එහා පැත්තෙන් ඇහෙන්නේ දුරකථනය විසන්ධිවීමේ සංඥාවක්..

ඊට පස්සේ තව ඇමතුමක්...
මිතුරා : අයියෝ මචං මම උඹට ඉන්වයිට් කලේ නෑ නේ..
ගුර්: අවුලක් නෑ අවුලක් නෑ...ඒක කිසි අවුලක් නෑ...අපිට ඕන ඔක්කෝටම ඉන්වයිට් කරන්න බෑ නේ..
මිතුරා: අහ්  නෑ ඇත්තටම අපි ඕන හැමෝටම ඉන්වයිට් කළා..ඔක්කොම 700ක් 800ක් විතර ආවා..
ගුර්වින්දර්ගේ ඇස් උඩ යනවා...

තුන්වෙනි ඇමතුම:
ගුර්: මම ඔයත් එක්ක හොස්ටල් හිටියේ.මතක නැද්ද බකපුරා? 
මිතුරා: එහ්? මට ආරංචි වුණේ උඹ මළා කියලනේ..හා හා...
ගුර්: න්නෑ මචං ඒ සුන්දර්...මං නෙවෙයි..

ඔහොම ඇමතුම් සෑහෙන්න ප්‍රමාණයක් යනවා..ඒ හැම එකක්ම ගුර්ගේ බලාපොරොත්තු කඩවීමක් එක්ක තමා අවසන් වෙන්නේ...අන්තිම අන්තිම හරිය වෙද්දි ගුර් කතා කරන්නේ පුටුවෙන් නැගිටලා ඒ මේ අත යනගමන්..ඊලඟට කෝට් එක ගලවලා...ඊලඟට වතුර බිබි..ටයි ගැටේ බුරුල් කරගෙන..ඊලඟට ෂර්ට් එකේ අත් නවාගෙන...ඊට පස්සේ මේසේ උඩ වාඩිවෙලා පුටුවට කකුල් තියන්...ඒ හැම එකක්ම අසාර්ථකයි...ගුර්ගේ මූණ හුළං බැහැපු බැලුමක් වගේ ඇකිලිලා යනවා...



2වන දර්ශනය:
------------------

එතනින් කෙලින්ම පටන් ගන්නේ සිංදුවක්.මේක එක එක ආකාරයේ ඉන්දියානු විවාහ මංගල්‍යයන්ගේ අවස්ථාවන්වල ෂොට්ස් ටිකක් එක්ක මිශ්‍ර වෙච්ච විවාහයකට ලක ලෑස්තිවීම ගැන කියවෙන එකක්..
විවාහ අවස්ථා එක්ක ෆාස්ට් මූවින් ෂොට්ස් ටිකක් එන්න ඕන, මිනිස්සු වෙඩිං සාරී තෝරන හැටි, ඉන්දියන් ගෑණු රත්තරන් කඩවල පොදිකන හැටි, අතිශය සාමාන්‍ය වෙන්ට මනමාල-මනමාලියෝ කරමාල තෝරන හැටි, ගෑණු තෝරන පට්ට ගණන් කඹ වගේ මාලවලට පිරිමි දාඩිය පිහ පිහ නළල රැලිකරගෙන සාක්කුවලින් ඇදගත්ත හම්පඩ වොලට්ස්වලින් ගන්න ගාන්ධිතුමාගේ මූණ සහිත ඉන්දියන් නෝට්ටු ගෙවන හැටි, සාරි කඩවල්වල මිටි බංකු තියාගෙන බිම වාඩිවේගෙන වෙඩිමට එන හත්මුතු පරම්පරාවටම දිලිසෙන තොරම්බල් සාරි තෝරන හැටි, වළලුකාරයෝ ගෑණුන්ගේ සුකොමල අත් පෙරේතකමින් අල්ල අල්ල අතගගා වළලු ට්‍රයිකරවන හැටි, ඉන්දියන් මගුල් මණ්ඩප්ප තනවන හැටි, දහස් ගණන් නානාප්‍රකාර මල් ගෙතුම්වලින් හතර වටේම සැරසෙන හැටි, රෝස පාට තලප්පා බැඳගත්තු සුදු ඇඳපු වෙඩිං බෑන්ඩ්කාරයෝ වැරදි වැරදි තාල ප්‍රක්ටිස් කරන හැටි, මනමාලිගේ අකුරු කියවන දවසෙන් පස්සේ නොදැක්ක වැඩිහිටි නෑයෝ පිරිවර එක්ක ගෙට ගොඩවෙන හැටි, රත්තරන් පාට ඇඳුම් ඇඳලා රතු-රත්තරන් මිශ්‍ර තලප්පාවක් බැඳගෙන පිච්ච මල්වැල්වලින් මූණ වහගත්තු මනමාලයා අශ්වයා පිටේ නගින්න ට්‍රයි කරන හැටි,පුංචි රෙදි කඩක් අන්දවලා කහ වතුරක බැස්සුව මනමාලිට කහ චාරිත්‍රේ කරන හැටි, පැඟිරි කෙල්ලො විතරක් නෙවෙයි ඇන්ටිලා ආච්චිලා පවා සිංදු කියමින් නටලා තමන්ගේ වරිගේ එකියෙක් අමාරුවේ වැටෙන්නට යාම සමරන හැටි, ඇගේ අතේ ඇඳ මෙහෙන්දි රටාවල්වල සමීප රූප, පයේ බැඳ රත්තරන් පාදජාලාවල කණේ එල්ලෙන කූඩූ කඩුක්කන්වල ලංකාවෙදි නම් කැතයි කියලා හිතෙන තරම් විශාල ගොරහැඬි පාට පාට ගල් ඔබ්බපු කරමාලවල සමීප ඡයාරූප එක්ක මිශ්‍ර වෙවී ගීතය පුරාම යන්න ඕන..

මේක කියවෙන්නේ 'කලබලෙන් විවාහවන්නා නිස්කාංසුවේ පසුතැවේ' වගේ කතාවක්.ඒක නිසා අතරින් පතරට ලස්සනට සැරසුව මංගල යහනක ෂොට්ස් එක්ක ඉන්ටසෙක්ට් වෙවී යන්න ඕන රිදී බන්දේසියක තිබ්බ කිරි වීදුරුවක්, වට හත යන්න ගැට ගැහුව සාළු දෙකේ ක්ලෝසප් එකක්, අග්නි දෙවියා සාක්ෂි කොටගත් බන්ධනය පෙන්වන ගිනි මැලේ බොඳ වෙච්ච ෂොට්ස් කීපයක්, මංගල සූත්‍රය බඳිනකොට මනමාලිගේ ඇස්වලින් පාවෙන කොමළ යටැස් බැල්මක්, මහපටැඟිල්ලෙන් රතු තිලකේ ඇඳලා අයිතිය තහවුරු කරගත්ත මනමාලයගේ දෙන්නම් දොඩං බැල්මක්, යාතිකා කරලා සරණ බන්ධනය සක්ෂාත්කරවන සාමිගේ අඩවන් ඇස් එක්ක වේගයෙන් මැතිරෙන ගන කලු තොල් දෙකක් එක්ක වටේට විසිරුණු සුදු රැවුල් කොට කීපයක්, මණ්ඩප්පේ ඉන්න ජෝඩුව දිහා බල බලා ඊර්ෂ්‍යා හී විදිමින් රහස් කොඳුරන ගෑණු ටිකක්, රහසෙන් කඳුලක් පිහන මනමාලිගේ තාත්තා, මූනිච්චාවට හිනා පාන මනමාලයගේ අම්මා, ඊට එහායින් වෙව්ල වෙව්ල වාඩිවෙලා ඉන්න මනමාලයගේ ආච්චම්මා..



ඔය කොටස් ටික එක්ක අවසානය වෙන්න ඕන විවාහයෙන් පස්සේ ජීවිතේ ෂොට්ස් ටිකක් එක්කයි..
එතකොට මනමාලි මෙහෙන්දි මැකෙන කල් සැමන් ටින් පියනකින් හූර හූර පොල් කොස්සකින් මැද මැද විසාල වළං හෝදා හැටි, මැද මිදුලේ වැල් ඇඳක පත බෑවිලා ලෝඩ් වගේ වැඩ ඉන්න ස්වාමි පුරුෂයට බය පක්ෂපාතකමින් යුතුව කෑම බීම පිළිගන්වන හැටි, ඒවා රහ නැහැ කියලා කෙළ ගගහා බණින ස්වාමියට බයේ දුවද්දි රූරා වැටෙන සාරි පොට එහාමෙහා වෙලා පේන කහ චාරිත්‍රෙන් පදම් වෙච්ච සුකොමල පිටේ තියෙන රතු පාට හීරුම්පාරවල්, හාන්සි පුටුවේ විරාජමාන වෙලා ද හින්දු කියවන මාමණ්ඩිගේ කකුල් මිරිකන හැටි, දිග බංකුවකට වෙලා බිම වාඩිවෙච්ච ගෑණු ටිකක් පිරිවරාගෙන බුලත් කොටමින් හපමින් පච හලමින් ඉන්න නැන්දම්මාගේ අණට කීකරුවෙන හැටි, පාට පාට සාරි වැල් ගණන් හෝදමින් වහලේ වනන හැටි වගේ ෂොට්ස් ටිකක් එක්ක ඊට හාත්පසින්වෙනස් ෂොට්ස් ටිකකුත් එක්වෙන්න ඕන..ඒ දෙවෙනි පෙලේදි බිරිඳ විධායක ශ්‍රේණියේ රස්සාවක් හරි සල්ලිකාරයෙක් හරි පේන විදියට ඇඳලා ටකස් ටකස් ගාමින් උල් සපත්තු පොළොවේ අනිමින් යන අතර ස්වාමියට වැඩ පවරන හැටි, ගෙදර ඉන්න කාලේ කෝප්පයක්වත් හේදුවෙ නැති ස්වාමියා අත පිච්චි පිච්චි උණු කිරි වෑංජන ලිපෙන් බාන හැටි, දරුවන්ට හෝම්වර්ක් කරවන හැටි, කඩේ පොළේ යන හැටි, ඔය වැඩ ඉවරකරලා පරක්කුවෙලා ඔෆිස් දුවල ලොක්කාගෙන් බැණුම් අහන හැටි වගේ අවස්ථාවනුත් එකතුවෙන්න ඕන..

සිංදුවේ අවසානයත් වෙන්න ඕන නිකන් අනේ බං ඕකටනේ ඉතින් අපි උඹලා මෙච්චර කට්ට කන්නේ වගේ අදහසකින්..


3වෙනි දර්ශනය
------------------
කණක කරාබුවක් දාගත්තු ඇහිබැම V හැඩේට කපපු එකෙක් අත් විහිදාගෙන කැමරාවට එබෙනවා.ඒක ස්නැප් ෂොට් එකක් වෙලා පැත්තකට පාවෙලා ගිහින් පිටුපසෙන් තියෙන බිත්තියක ඇලවෙනවා.ඊලඟට වෙහෙසකර පෙනුමක් පලකරන අයියෝ මූණක් දාගත්තු ගුර්ගේ මනමාලි ආශිමා බෙල්ල පැත්තකට නවන් ඇස් උඩ තියාගෙන ඉන්න ෂොට් එකක් කැමරාවට එල්ලවෙලා ස්නැප් ෂොට් එකක් හැටියට පාවෙලා ගිහින් අර කරාබු කොල්ලගේ මෙහා පැත්තෙන් බිත්තියේ ඇලවෙනවා.ඊලඟට මොඩ් පාට, කොණ්ඩේ උරිස්සට තියෙන වැදගත්, ආඩම්බර පෙනුමක් තියෙන සුදු ඇන්ටි කෙනෙක් නොසැලෙන බැල්මෙන් නිකට දික්කරන් ඉන්නවා කැමරාවට එල්ලවෙලා ආයෙත් අර විදියටම ස්නැප් ෂොට් එකක් විදියට ගිහින් ආශිමාගෙයි කරාබුවාගෙයි පින්තූරවලට උඩින් බිත්තියේ ඇලවෙනවා..අන්තිමට ස්ක්‍රීන් එකට එන්නේ හරි කෙලින් හිටගත්ත හිට්ලර් වගේ තද පෙනුමක් තියෙන උස මහත ආශිමාගේ තාත්තා..එයා ස්නැප් ෂොට් එකක් වෙලා ගිහින් බිත්තියේ ඇලවෙන්න යනවත් එක්කම 'ඩෝං' හඬක් එක්ක පින්තූර බිත්තිය සුණු විසුණුවෙලා යනවා..

ඒ විසිවෙන සුන්බුන් අස්සෙන් අපිට පේන්න ගන්නවා ගුර්වින්දර්ගේ ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ පේන මූණ..මිනිහා අන්ත අසරණ පෙනුමකින් සුදු පාට විසාල කුෂන් පුටුවක ගිලා බැහැලා බලාගත්තු අතේ බලන් ඉන්නවා..

ඊලඟට පෙන්නේ ඉතාම සියුම් රිදී නූලකින් සහ මුතු පබළුවලින් කළ ගෙත්තමක්...අන්තිම කෙළවරේ ඉඳන් උඩහට යනකල් පෙන්වන කොට ප්‍රේක්ෂකයා තේරුම් ගන්නව ඒක මඟුල් ගවුමක් කියලා ඩමි එකකට අන්දවාපු..ඩිටේල් එක්ක ගිහින් ඔවරෝල් පික්චර් එක දෙනකොට ලස්සන මෙලඩියක් එන්න ඕන පසුබිමට..ඒ එක්කම අපට පේන්න ඕන ආශිමාගේ මූණ පුදුමයෙන් විකසිත වෙන හැටි, ඇස් දිලිසෙන්න ගන්න හැටි..ආශිමාගේ අම්මාගේ නොසෙල්වෙන නොසැලෙන මුහුණේ ආඩම්බර ගතියක ඡායාවක් පෙනී නොපෙනී යන්න ඕන..හිට්ලර් වගේ ඉන්න ආශිමාගේ තාත්තා පවා මේ ඇඳුමේ සුන්දරත්වයෙන් වික්ෂිප්තභාවට පත්වෙද්දි ගුර්වින්දර් විතරක් හිස් බැල්මෙන් ඒ දිහා බලා ඉන්න ඕන..
අන්න එතකොටම, ඔව් අන්න එතකොටම අර කරාබුවා "ගු...ර්...හව් ඉස් යෝ බ්‍රයිඩ්ස් චොයිස්?" කියලා ලොලු හඬකින් ඇදලා පැදලා අහමින් ගුර් මතට කඩා පනින්න ඕන..එතකොට තමයි ගුර් එයාගේ හීනෙන් මිදෙන්නේ..තමන්ගේ වෙන්ට-බෑණා වෙච්ච එකාව පැනලා තුරුල් කරගත්ත කරාබුවාගේ මළ විකාර දිහා අප්පිරියාවෙන් බලන හිට්ලර් ස්වයං ආරක්ෂාව තකා "ඔන්න ඔය මගුල ඉවර කරලා එනවලා" කියලා එතනින් එළියට යනවා..කරාබුවා ඒ දිහා බලලා උරිස් අකුලලා හොර හිනාවක් දාලා "ආශිමා, යෝ ඩැඩි බොයි ඉස් අ නෝටියා අනේ.." කියලා ආශිමාට ඉඟිකරනවා...



ආශිමා ඒ අවසරෙන් පැනගෙන ගිහින් ඇඳුම ඇස්වලින් ගිලිනවා..අනේ පණේ හරිම ලස්සනයි අනේ කියලා එයා මැරෙන්න හදනවා..ආශිමාගේ අම්මා පුංචි ජපන් අවානකින් ලතාවකට පවන් ගහමින් ඩමිය වටේ ඇවිදලා ඉන්ස්පෙක්ෂන් පටන් ගන්නවා, හරියට අර පිටකොටුවේ ෂර්ට් වල පිට නැතිවීමේ සම්භාවිතාවය වගේ ඇඳුමේ 'ෆ්‍රන්ට් රියල් රෙයා කචල්' ද කියලා බලන්න වගේ..කරාබුවා ලතාවට පැද්දෙමින් සෙලවෙමින් පාවෙමින් ඇඳුමේ අලගිය මුලගිය විස්තර කියන්න ගන්නවා..ඒ බහුරූ කෝලමෙන් වෙහෙසට පත්වෙන ආශිමාගේ අම්මා කෝ අනික් වැඩ ටික හරිද කියලා බොහොම ගරු ගාම්භීරෙට අහන්නේ තමන්ගේ කන් දෙකටත් පවන් ටිකක් ගහගනිමිනුයි..ඔන්න එතකොට කරාබුවා ඇතුල් කාමරේකට දුවලා වයිට් බෝඩ් එකක් තල්ලු කරන් එනවා..ඒකේ මංගල්ලෙ වැඩසටහන, ඕන කරන ජාති අරව මේවා සටහන් ගොඩක් එල්ලලා තියෙනවා...කොටින්ම මංගල මේසේ තියෙන්න ඕන අත් පිස්නාවේ පාට පවා ඔය සටහන්වල තියෙනවා..ඕවා චෙක් කරගෙන යන අතරේ අන්තිමට එන්නේ මනාල පිරිවරට..ඒකේ හැටියට ආශිමාට උපමාලිලා 7ක් ඉන්නවා...ඉන්දියාවේ බොහොමයක් දේවල්වලට 7 එක්ක ලොකු සම්බන්ධයක් තියෙන නිසාය තමන් 7 දෙනෙක් ගන්න යෝජනා කළේ කියලා කරාබුවා බොහොම උජාරුවෙන් කියනවා..මනමාලයාගේ සටහන මැද ගුර්ගේ මූණ විතරක් එල්ලිලා ඔහේ තියෙනවා...කරාබුවයි, ආශිමයි, ආශිමාගේ අම්මයි තුන්දෙනාම කතා වෙලා වගේ ප්‍රශ්නාර්ථයක් තියන් වාඩිවෙලා බිරන්තට්ටුවෙලා ඉන්න ගුර් දිහා බලනවා.."කෝ????" තුන්දෙනාම අහන්නේ එකටමයි..

"අහ්..මේ..මේ...ම්ම්ම්.." ගුර් වචන හොයන අතරේ කරාබුවා පැනලා අහනවා "කෝ මතීෂ්?" කියලා...ආශිමා ඒකට ඌණපූරණයක් කරනවා "අඩුමගාණේ" කියලා...ගුර් පැටලි පැටලි කියනවා මතීෂ් කොන්ෆරන්ස් එකකට ඇමරිකාවේ ගිහින් කියලා...

"එතකොට එයා එන්නේ නැද්ද අ අ අ අ??" කරාබුවා ස්ත්‍රී ස්වරයකටත් වඩා උච්ච ස්වරයෙන් ඇදලා අහන හැටියට ගුර්ට ඉබේම පුටුවෙන් නැගිට්ටෙනවා..

"න්..නෑ..එයා එ..එයි.." කියද්දි මිනිහට හීනෙන් වගේ ඇහෙනවා ආශිමාගේ හඬ..
"තව සති දෙකයි තියෙන්නේ ගුර්!!"

ඒ එක්කම ගුර්ගේ ඇස් වපර වෙලා පියැවිලා යනවා...
"දඩස්!"

31 comments:

  1. හා තිර පිටපතක් නේහ්? නියමයි ලියන්න බලන්න දෙවනි කොටසත්.

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන්. දෙවෙනි කොටසත් හැකි ඉක්මණින් පෝස්ට් කරන්නම්කෝ

      Delete
  2. හැක්...
    කොහෙන්ද යකෝ මේක මැද්දට අර කැත තඩි මහත මිටි ඉවානය කඩං පාත්වුණේ..
    හය්යෝ පිලුම විනාසයි

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් කියල තියෙන කැත

      Delete
    2. මහියා: පව් බං //කැත තඩි මහත මිටි ඉවානය// ඔහොමත් කියන්න හොඳද අපේ ප්‍රධාන නළු බට්ටට? අනික උඹට සහය චරිතයක් රඟපාන්න තියෙනත් එකේ ඉවානය එක්ක ෂේප් එකේ ඉඳහං..;) මොකද සෙට් එකේදි අතවරයක්වත් වුණොත් ඔන්න මට බැහැ නේ මේ කරන සේරම වැඩ අස්සේ සටන් අධ්‍යක්ෂණයත් කරන්න..:P :P

      Delete
  3. ඉවානයාට මෙතරම් කාඩ් ගැසීම ගැන මගේ බලවත් මෙව්වා එක... ජංගි ගුරා.. බක පුරා.. හැක හැක හැක.. (මෙව්වා එක කියුවේ ප්‍රණාමය හොඳේ..)
    කතාව පට්ටය.. චිත්‍රපටයක් බැලුවා වගේ සිද්දිදාම විස්තර කර ඇති අපුරුව අගනේය.. විශේෂයෙන්ම අර මගුල් අවස්ථාව කෙලින්ම හින්දි චිත්‍රපටියක් බැලුවා වගෙය.. නමුත් කතාවේ අන්තර්ගතය ගැන හොඳ නරක කියන්න තවම ලපටි වැඩිය.. ඔහොම යමුය.. ජය ශ්‍රීය!

    ReplyDelete
    Replies
    1. කමියෝ:
      හා හා මේ සියළු චරිතයන් මනඃකල්පිත වන අතර සැබෑ ජීවිතයේ කිසිදු පුද්ගලයෙක් හෝ සිදුවීමක් ඉන් ප්‍රකාශ නොවන බව කරුණාවෙන් සලකන්න.
      (රහසින්) උඹ හදන්නේ මගේ ෆිලුම ලත් තැනම ලොප් කරන්නද බොල?ප්‍රධාන නළුවා ගෙදර ගියාම කවුද ඉතුරු ටිකේ බකපුරා වෙන්නේ? :O
      තැන්කූ තැන්කූ මචෝ..ඔව් අපි තාම සුහුඹුල් ළපටි නිර්මාණකරුවෝ..හැක් හැක්..ඉතුරු ටිකත් බලමුකෝ..හැබැයි මේක නම් ගිය සැරේ ෆිලුමට වඩා දිග වෙයි..එපා වුණොත් ඉන්ටවල් එකේ නැගිටලා පලයං..:P :P

      Delete

  4. පිලුම පිලුම කියල පෝස්ට් දැම්මට ඇත්තටම ලියයි කියලනම් හිතුවෙත් නෑ.තිර රචනයක් ලියනව කියන්නෙ හෙනම බාරදූර වැඩක් හින්ද

    ඇත්තට බන් හෙන සීරියස් වැඩකටනෙ අතගහල තියෙන්නෙ. හොඳයි කියවනකොට ෆිල්ම් එකක වගෙම දැනෙනවා.චිත්ත රූප මැවෙනවා.
    දිගටම ලියහන්

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ:
      ඔව් මචං..මේක ලියනවා ලියනවා කිව්වට ලේසි වැඩක් නෙවෙයි ඉතින්..සාමාන්‍ය තිර පිටපතක්ම තරමට කිට්ටුකරලා නැතුව ඇති..ජොලියට කරන වැඩ නේ..:D
      ෆිලුම අල්ලලා ගියා නම් සතුටුයි..ඊලඟ කොටස් ටිකත් කියවලා හොඳ නරක කියමුකෝ එහෙනම්..:)
      කලින් ෆිලුමත් බලන්න ඇති නේද?

      Delete
    2. මොකෝ ගුර්වින්දර් ලියලිය මකන්නේ? :P

      Delete
  5. අඩෝ ... ප්‍රධාන නළුවාට ගත්ත නිසා මුකුත් කියන්නත් බෑ. හීන් සැරේ මඩ ගහන්න උඹ තරම් එකෙක් අම්මප. අහුවෙයන්කෝ දත් ගලවලා පොල් හිටවනවා කටේ . අම්මප

    මචං තනියා ..උඹ මීට කලින් අර දිල් පීචං ක්යාහේ එක ලියපු වෙලාවෙත් මට හිතුනේ ඇත්තටම ඇයි උඹ කෙටි චිත්‍රපටියක් හරි කරන්නේ නැත්තේ කියලා . උඹට ඇත්තටම හැකියාවක් තියෙන ක්ෂේත්‍රයක් තමා ඒක. (නෑ නෑ උඹට ලියන්නත් පුළුවන් ) {හා බැහැපංකෝ බිමට අත පය කඩාගන්නේ නැතුව }.

    බලමුකෝ ඉදිරියටත්.. උඹ මාව කෑවොත් අම්මප හතර හන්දි ගලවලා එල්ලනවා තුන්මං හංදියක

    ReplyDelete
    Replies
    1. දැක්කනේ උඹට ගියසැරේ පොරොන්දු වුණානේ මේ පාර ප්‍රධාන චරිතේ දෙනවා කියලා..අපි එහෙමයි ඉතින් පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගේ..:P
      හා හා ඕවා පෞද්ගලිකව ගන්න එපා මචං..චරිතෙට අදාල දේවල් මිසක් බොට මඩ ගහනවද එහෙම මේ බොග් ලෝකේ කවුරුවත්? ;)

      ඔව් බං උණක් නම් තියෙනවා ලාවට ඔය කෙටි චිත්‍රපටි ගැන සහ ඔය ප්‍රොසෙස් එක ගැන..බලමු ඉතින් නේ? ෆුල් ආයු කෝටා එකම යූස් කරන්න ඇහැකි වුණොත් මැරෙන්න කලින් එහෙමත් එකක් කරන්න..
      //උඹට ඇත්තටම හැකියාවක් තියෙන ක්ෂේත්‍රයක් තමා ඒක.// ඇයි හීන් සැරේ මඩ ගහන්න? :P :D
      මේ නොදන්න කමටයි අහන්නේ, හතර හන්දි කඩලා තුන්මන් හන්දියක එල්ලුවම ටිකක් අප්සෙට් නේ? සාධාරණව කොටස් බෙදෙන්නෙ නෑ නේද? (දුවපියෝ)

      Delete
  6. Replies
    1. තැන්කූ නලීන් අයියා..බියර් එකකුත් අරන් වාඩිවුණා නම් VIP seat එකක..;)

      Delete
  7. තෝ මට චරිතයක් දීලා නෑනෙ නරිච්චියේ. >_<

    ReplyDelete
    Replies
    1. හිටු බොල නරිච්චියේ..බොට දීලා තියෙන්නේ ආශිමාගේ නංගිගේ චරිතේ..ඊලඟ කොටසකින් තිරයට පතිත වෙන්නයි තියෙන්නේ..:P

      Delete
  8. පට්ට... අර මැද කෑල්ලනං චිත්‍රපටියක් බැලුවා වාගේම තමා.........

    ReplyDelete
    Replies
    1. අවංක ආර්යන්: වෙල්කම් ටු තනි තරුව!
      එහෙනම් එළ..කොහොමත් මුල ටික ටිකක් බෝරිං වෙන්න පුළුවන් ෆිලුමක..බලමුකෝ නේ ඉතුරු ටිකත්?

      Delete
  9. බොහොම අගෙයි... බලමු කතාව මොකෝ වෙන්නෙ කියලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්: තැන්කූ මචං..උඹත් ගුර්ගේ තත්වෙට පත්වෙලා ද දැන්? :P

      Delete
  10. ඇති යන්තම් ලියලා.. කෝ යකූ අපි?

    ReplyDelete
    Replies
    1. හිටු බං..බොලා ඊලඟ කොටස්වලින් තිරයට පතිත වෙයි...:P :P

      Delete
  11. මැරී නොමැරී කිව්වට මූ මැරිලා ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. මොකද බොල මැරෙනකල් බලා ඉන්නේ?

      Delete
  12. මාටත් බ්ලොග් එකක් ලියන්න හිතෙනවා අප්පා!!

    ReplyDelete
    Replies
    1. ෂාආආ...කොච්චර හොඳද අනේ...ලිව්වම අපිටත් කියන්ට ඕනි හොඳේ..:P :P

      Delete
  13. දැනුයි බැලුවේ . අමුතු කෙස් එකක්. කියවල් නැහැ මේ විධිහේ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් මම කලිනුත් ලිව්ව...දිල් පීචං ක්‍යාහේ කියලා..ඊ-චිත්‍රපටියක්..මේක නම් තව ලියමින් පවතින්නේ..තුන්වැනි කොටස ලියන ගමන් මේ..

      Delete