Monday, October 19, 2015

හැපී මැරී නොමැරී - 3 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට
2වෙනි කොටසට


6වෙනි දර්ශනය
------------------
කැමරාව තද නිල් පාට අහසේ ඉඳන් හිමීට පාත්වෙන්නේ පාට පාට සෙල්ලම් කූඩූ, ස්විමින් පූල්, ඉලෙක්ට්‍රික් කාර්, මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා ආදී එකී මෙකී නොකී දෑ ඇති තීම් පාක් එකකට..ඊටපස්සේ කැමරාව පස්සට ඇවිල්ලා තීම් පාක් එකේ දොරකඩ, අව්වේ සැරට ඇස් හීනි කරන් ඒත් ෆුල් සූට් එක ගහන් ටයි පොල්ලකුත් එල්ලන් බලන් ඉන්න ගුර්ව පෙන්නන්නේ ඔහුගේ පිටිපස්සෙ ඉඳන් බලන විදියටයි..ගුර් වහාම ස්මාට් ෆෝන් එක ඇදලා අරන් නෝට් එකක් චෙක් කරගන්නව නම හරිද කියලා..ඊටපස්සේ කඩන් බිඳන් ඇතුලට ඇවිදගෙන යනවා..කොච්චර කතුරු ඔන්චිල්ල කැරකුණත් කිසිම වගකිවයුත්තෙක් නම් නෑ වගේ නිසා කර දික් කරකර වේගෙන් ඇවිදගෙන යද්දි එක සැරේටම පොලිස් සයිරන් එකක් ඇහෙනවා..ගුර් නිකන් හොරෙන් කෂිය පෙරපු එකෙක් වගේ බලද්දි පොඩි ළමයි පදින ජාතියේ පොඩි පොලිස් බයිසිකලයකින් සයිරන් දාගෙන එන වයස පාට අස්පට් ඩයල් එකක් 'සර්-රෙන්ඩ සර්-රෙන්ඩ' කිය කියා කෑ ගහගෙන ගුර් පස්සෙන් පන්නන්න ගන්නවා..ගුර් පිටිපස්ස බල බල දුවගෙන ගිහින් ලොකු පත කුළුණක හැප්පෙනවා..නහයෙනුත් පහළට වැටිච්ච ලොකු අටපට්ටම් කණ්ණාඩි දෙක හදාගෙන උඩ බලද්දි ගුර් දකිනවා ඒ කුළුණක් නෙවෙයි නීල මහා යෝධයා වගේ සයිස් මිනිහෙක් බව..තමන්ගේ ඇඟේ මිනිහෙක් හැප්පිච්ච බවක වගක්වත් නැතුව මේ යෝධයා අර පිස්සු සයිරන් කාරයට බැණලා එලෝනවා..සයිරන් කාරයා යන දිහා බලන් ඉන්න යෝධයට ගුර් කකුලේ ඇඟිලිවලින් ඉස්සිලා කට අතින් බාගෙට මුවාකරන් හයියෙන් 'හලෝ..; කියන්නේ හරියට පුංචි කාලේ යෝගට් කෝප්ප ෆෝන් වලින් කතා කළා වගෙමයි..මිනිහා නුරුස්නාවෙන් වගේ 'මොකද්ද කෙරෙන්න ඕන' කියලා අහන්නේ මූණේ හිනා කඳුළක්වත් නැතුවයි, හරියට ලංකාවේ දෙපාර්තුමේන්තුවල පියන් මහත්තයෙක් වගේම තමයි..

"මේ..මට කරුණාකරලා කියන්න පුළුවන්ද අන්ඩ-වර්ල්ඩ් එක කොහෙද කියල" ගුර් ඒ ගමන හඬ බාල කරලා අහන්නේ වට පිටත් බලලා ලේන්සුවෙන් නළලේ දාඩිය පොකුර පිහිදගන්න ගමන්...

යෝධයා සිද්ධාලේප වෙද මහත්තයා වගේ ගුර්ගේ හිස් මුදුනේ සිට දෙපතුල යනතෙක් උඩ පහළ බලලා හ්ම්ම් කියලා අතින් සංඥාවක් කරගෙන ඉස්සරහට යනවා..



7වෙනි දර්ශනය
----------------------
දිය සෙවල බැඳිච්ච ගල් තාප්ප තියෙන අඳුරු පාලු කොරිඩෝවක ගුර් පරිස්සමින් අඩිය තිය තිය ඉස්සරහට යන්නේ අප්පිරියාවෙන් වගේ වැරදිලාවත් බිත්තියකට අතක් තියන්නෙවත් නැතුවයි..මොනාහරි විශාල නළ, වයර් රොදවල් එහෙම සෙවෙල් නැති බිත්තිය පැත්තෙන් යනවා පේනවා..ඒවා අස්සෙන් 'කීස් කීස්' ගාගෙන දුවන මීයෝ දිහා බල බලා පරිස්සමින් අඩිය තිය තිය ඉස්සරහට යද්දි ගුර්ට පේනවා 'අන්ත්‍රාවයි' කියලා ලොකු කහ පාට අකුණු සැරක රූපයක් යටින් රතු අකුරෙන් ලිව්ව දැන්වීමක් තියෙන දොරක්..දොර ලඟම බිත්තියේ තව දැන්වීමක් ගහලා තියෙනවා 'සීනුව නාද කර කැමරාවට මුහුණ පෙන්වන්න' කියලා (ලංකාවේ ජේවිපී පක්ෂ කාර්යාලයෙන් උස්සපු දැන්වීමක් වෙන්නත් පුලුවන්...)

එතකොටම දොර විවෘත වෙලා ගුර් ඇතුල් වෙන්නේ බොහොම පිළිවෙලට තියෙන ගබඩා කාමරයක් වගේ එකකට..විසාල ලී පෙට්ටි එක්ක ගබඩා කාමරයක තිබෙන්නට පුලුවන් ගජට් කෑලි ගොඩක් බිත්තියක් පැත්තක පිළිවෙලට අඩුක් කරලා, ගුර්ගේ කාර්යාල මේසෙට වඩා පොඩ්ඩක් පොඩි මේසයකුයි කැරකෙන පුටුවකුයි තියාගෙන මෙන්න මෙයා වාඩිවෙලා ඉන්නවා..



ගුර් එන වෙලාවෙදි එයා ඉන්නේ නේල් පොලිෂ් ගාන ගමන්..එහෙම වුණත් කස්ටමර් කෙනෙක් ආව කියලා වගේ වගක් නැතුව ඒ වැඩේ කරනගමන්ම යන්තම් මූණ උස්සලා කණ්ණාඩි දෙක අස්සෙන් ප්‍රින්සිපල් බැල්මක් දාලා 'ඉයස්, හව් කැන් අයි හෙල්ප් යූ?' කියලා අහන්නේ බොහෝමයක් රිසෙප්ෂනිස්ට්ස්ලා අහන තාලෙන්ම තමයි..

"මට රෝයි ශ්‍රීවාස්තව් හම්බවෙන්න පුළුවන්ද?"

"හ්ම්ම්ම්..කවුද ඔයාව එව්වේ රමෝනද?"

"නැහැ, කරා..සොරි ෂේන්.." 


8වන දර්ශනය
--------------------
විවිධාකාරයේ මංගල ඡායාරූප ගොඩක් තියෙනවා..හැබැයි හැම එකේම ඉන්නේ එකම ජෝඩුව නෙවෙයි..එක එක ජෝඩු..ඒත් ඒ හැම ජෝඩුවකගෙම පින්තූරවලට පොදු සාධකයක් වෙච්ච මූණක් තියෙනවා..එකක ඒ මූණ මෝඩ පාටයි..එකක පණ්ඩිත පාටයි..එකක ගොඩේ පාටයි..තව එකක පොෂ් පාටයි..තව එකක තට්ටෙ ගාල..තව එකක කොණ්ඩෙ කොටට පිළිවෙලට කපලා මූණ මුඩු ගාල..තව එකක තට්ටෙ ගාල රැවුල ඇලඩින්ගේ පුදුම පහනෙන් ආව භූතයගේ වගේ අග කැරකිලා ගිහින්..තව එකක් කොණ්ඩෙ ටිකක් වවලා මැදින් බෙදලා පස්සෙන් පහළට කරලා රබර් පටියක් දාලා..ඔන්න ඔය වගේ විච්චූරණ පාට පින්තූර තොගේම තියෙන්නේ මෙන්න මේ මූණ තමයි...



පින්තූර බල බල ඉන්න ගුර් හිමීට හැරිලා කාමරේ වටේට කැමරාව දාල බලනවා..ගුර්ගේ එක්සෙකටිව් ලුකින් කාමරේටත් වැඩිය සිරා කාමරයක් තමයි පේන්නේ..කැටයම් සහිත රජාසන වගේ පුටුවක් එක්ක තියෙන විශාල ඇන්ටික් පාට මේසයක් උඩ ලෝක ගෝලෙකුත් පේන්න තියෙනවා..ගොඩක්ම තියෙන්නේ ඇන්ටික් අයිටම්ස්..මිනිහා නිකන් පැරණි රසාංග ප්‍රිය ඩයල් එකක් වගේ..පින්තූර බිත්තියට මුහුණ පාලා කාමරේ අනික් පැත්තේ විශාල දේව ප්‍රතිමාවක් පේනවා..ඒ ඇරුණම, වාඩිවුණාම තමන්ගේ බරේ හැටියට සැපට ගිලෙන ලෙදර් පුටු සෙට් එකක් තියෙනවා...නම අන්ඩර්වර්ල්ඩ් වුණාට ප්‍රභාකරන්ගේ බංකර් එකකටත් වඩා සුපිරියට හැදුව තැනක් තමයි මේ රෝයි ශ්‍රීවාස්තව්ට තියෙන්නේ...මූ මොන වගේ ඩයල් එකක් වෙන්න පුළුවන්ද වගේ බැල්මකින් ගුර් වටේට ඇහැ දදා ඉන්නකොට එක පාර දොරක් ඇරෙනවා..

ඒ දොරෙන් ඇතුලට එන්නේ සුදු සරුවාලයක් ඇඳගෙන තව ඒ වගේම තුනී සුදු කපු සාළුවක් කර වටේ දාගත්තු රෝයි ශ්‍රීවාස්තව්..හැබැයි මිනිහා ගුර්ව දකින්නේ නැහැ, මොකද මිනිහා එන්නේ දුම් වලාවක් මැද්දෙන්..ඔව්, එයා අතේ තියෙනවා දෙවියෝ පුදන පහනකුයි, සුවඳ ධූප මංජුසාවකුයි, මල් අරව මේවා තිබ්බ  රිදී බන්දේසියක්..මස් පිඬු ඉලුප්පුණු බාහු සහිත ශක්තිමත් අත් දෙකකින් ඒක බොහොම භක්තියෙන් යුක්තව දෝතින්ම අල්ලගෙන ස්තෝත්‍ර කියමින් එන රෝයි කෙලින්ම යන්නේ දේව ප්‍රතිමාව ලඟට...ඉන්පස්සේ අර බන්දෙසිය ප්‍රතිමාව ඉස්සරහා කරකවලා, මල් ටිකක් ප්‍රතිමාවට ඉහලා, ඊලඟට ඒකත් අරන් හැරෙනවා..දුම් වලල්ල අතරින් පේන්නේ බාගෙට කටත් ඇරගත්තු මාඤ්ඤමිකත්වයකට පත්වෙච්ච ගුර්...රෝයි තවමත් ස්තෝත්‍ර කියනගමන්ම කිසිම කතාවක් නැතුව ගුර්ගේ නළලේ තිලකේ තියලා හැරුණම තමයි ගුර්ට මතක් වෙන්නේ වඳින්න...පුදුමයක් නෑ නේ, මඟුල් සිහියෙන් ඉන්න මිනිහා වෙච්චි...

ඔය ඔක්කොම පූජාව ඉවරකරලා අර කර වටේ දාගත්තු සළුවෙන් අත පිහින ගමන් රෝයි අර ඇන්ටික් මේසේ වටෙන් ගිහින් සිංහාසනාරූඪ වෙනවා...ඊටපස්සේ "නමශ්කාර් නමශ්කාර් ගුර්වින්දර් ජී" කියලා ගුර්ට ආචාර කරන ගමන් වාඩිවෙන්න පුටුව පානවා..

ගුර් රෝයි දිහා විමසිල්ලෙන් බලාගෙන වාඩිවෙලා ඉන්නවා..

"ඔයේ, මනමාල මහත්තයා මොකද වෙන්න ඕන.." රෝයි රැවුලේ කොණක් කරකෝනගමන් ගුර්ගෙන් අහනවා..කර වටේ වැටෙන් සළුව මැද්දෙන් පේන ෆුල් වැක්ස් එකක් කෙරුව ශක්තිමත් පපුව මැද්දේ නැවතිච්ච පුදුම වෙච්ච තරමට බකුසු වෙච්ච ගුර්ගේ ඇස් දෙක රබර් බෝලයක් වගේ ගැස්සිලා උඩ යනවා..

"මට දැනගන්න දෙයක් තියෙනවා.." ගුර් උගුර එහෙම පාදලා පුටුවේ කෙලින් වෙන ගමන් කතාව පටන් ගන්නවා..

රෝයි හිනාවක් දාලා එකක් කකුලක් එයාගේ සිංහාසනේ වතක් උඩ දාගෙන පොඩි කැටයම් පෙට්ටගමක් වගේ එකක් ඇරලා බරණස් බුලත් විටක් අරන් කටේ ඔබා ගන්න ගමන් "හා හා පුචානා.." කියනවා..(පුචානා කිව්වේ ලෝකල් බොරු පූචානම් නෙවෙයි හින්දියෙන් අහන්න කියන එකයි)

"ඔයා මොනවද ඇත්තටම කරන්නේ..?"

රෝයි හහ් ගාල හිනාවක් දාල කිසි කලබලයක් නැතුව මේසේ යටින් පොඩි පිත්තල පඩික්කමක් අරන් රතු පාට බුලත් කෙළ පාරක් එහෙම ගහලා කතාව පටන් ගන්නේ.."මම, මිස්ටර් ගුර්, මඟුල් බිස්නස් එකක් තමයි කරන්නේ.. උපමාලකයන් බිහි කරන්නෝ සහ සපයන්නෝ කිව්වොත් හරි කතාව.."

"ඒත්..ඒත් ඇයි එහෙම බිස්නස් එකක් කරන්නේ?" ගුර් ඉතින් ඔන්න ගිය වැඩේ කරන් එන්නෙ නැතුව වත්තේ හතර මායිම් හොයන්න පටන් ගන්නවා..

රෝයි මේසේ ඉස්සරහට නැවිලා ගුර්ගේ මූණට එබෙනවා.."ගුර්ජී,මම කරන්නේ සමාජ සත්කාරයක්..මෙහෙම උපමාලකලා සැපයෙව්වෙ නැත්නම් ඔබතුමා වගේ (ගුර්ගෙ ඉහේ සිට පහළට අතින් පෙන්වමින් ) මහත්වරුන්ට මේ කපේදී කසාදයක් නම් බඳින්න බැරිවෙනවා..සම්ජේ?" 

මිනිහා ආයෙත් පුටුවෙ පස්සට වෙලා හරිබරි ගැහිලා වාඩිවෙලා කතාව දිගටම කරන් යනවා..

"ගුර් ජී, ඔයා දන්නවද ඉන්දියාවේ ජනගහණය කීයද කියලා?"

"නෑ.." 

"බිලියන් 1.3කට කිට්ටුයි..ඔයා දන්නවද එතනින් පිරිමි කීදෙනෙක් අවුරුද්දකට බඳිනවද කියලා..?"

"නෑ.."

"අඩුමගාණේ 4.5%ක පිරිමි වලගත වෙනවා...එතකොට එතනින් වැඩිමනත් දෙනෙක් තරුණ කාලයම වැඩ වැඩ වැඩ ආයෙත් වැඩ වැඩ වැඩ..එයාලට යාළුවෝ ආශ්‍රය කරන්න වෙලාවක් නෑ, එන්ජෝයි කරන්න වෙලාවක් නෑ..වැලක් හරියට බලාගන්න වෙලාවක් නෑ...ඉතින් එහෙම උදවිය ඊටපස්සේ හදිස්සියේම කසාද බඳින්න යනවා..අන්න එතකොට වෙන්නේ මොකද්ද..? රෝයි ශ්‍රීවාස්තව්ව උවමනා වෙනවා..හරි..දැන් මට කියන්න ඔබතුමාගේ තත්වේ..?" 

එතකොටම රෝයිගේ අම්මා හැඟර් එකක දැම්ම සූට් එකකුත් අරන් කාමරේට කඩා පනිනවා...
"රෝයි වෙලාව හරි..දැන් ලෑස්ති වෙන්න.."

"අද කාගෙද? රාහුල් ගාන්ධි නේ?" 

"රාහුල් ගණපති" අම්මා රවලා බලලා දොර වහගෙන යනවා..

"අහ්..හරි ගුර් ජී, කියන්න ඔයාගේ තත්වේ.." කියනගමන් රෝයි අර සූට් එකත් අරන් මුල්ලක තිබ්බ ඉස්කිරීමක් අස්සට වදිනවා..

"අ..අම්.." ගුර්ට ඒ ඇහුව තත්වේ විස්තර කරගන්න තේරෙන්නේ නැති නිසා රෝයි තීරණය කරනවා ප්‍රශ්න අහන්න..එයා ඉස්කිරීමේ පිටිපස්සේ ඉඳන් අහන ප්‍රශ්නවලට ගුර් පුටුවේ වාඩිවෙලාම වුණත් උත්තර දෙන්නේ ඉස්කිරීම පැත්තවත් නොබලා..මිනිහා ඒ තරමට ලැජ්ජා කාරයා..

"දැන් ඔයා මනමාලිට මොනවද කිව්වේ? යාළුවොන්ගේ නම් කිව්වද?"

"ඔව්.."

"ඔයාගේ දෙමව්පියෝ ඔයාගේ තත්වේ දන්නවද?" 

"නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ.."

"ඇයි එයාල වෙඩිමට එන්න අදහසක් නැද්ද?"

"අහ්..නෑ එහෙම දෙයක් නෙවෙයි..එයාල නැතිවෙලා හුඟක් කල්.."

"නියමායි.." කලිසම අඳින ගමන් උඩ පැන පැන රෝයි කෑ ගැහුවම ගුර් නිකං ටොයිං බැල්මක් ඉස්කිරීමෙට හෙලනවා..

"හරි මේක කොහොම වෙඩිමක්ද? ලොකු පොඩි සැමට සෙලින්කෝ ද? නැත්නම් පවුලේ අය විතරද?"

"සෙලින්කෝ මම හිතන්නේ.."

"කොහෙද තියෙන්නේ.." රෝයි අහන්නේ කණ්ණාඩියට එබිලා කොණ්ඩේ ජෙල් ගාන ගමන්..

"දිල්ලි.."

"ගූඩ්!! ගුර්ජී ඔය මගේ මේසේ උඩ තියෙනවා රත්තරන් පාට කවර් එකක් දැම්ම ෆයිල් එකක්..ඒකේ තියෙන පැකේජස් ටික බලන්න..බලලා හරියන එක තෝරන්න..බේසික් පැකේජස් ටික මම කියන්නම්..ඔයාට ඕන එක උපමාලකයෙක් නම් මම දවසම ඉන්නවා..24 අවර්ස් සර්විස්..ඔයාට ඕන ඔය තියෙන සේරම උත්සවවලට ඉන්න නම් ගාණ ටිකක් වැඩියි..හැබැයි වැඩේ ෂුවර්..ඔයාට තව උපමාලකලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඕන නම් ඇඩිෂනල් චාර්ජ් කරනවා..ඕන නම් බැච්ලර්ස් පාටියක් වුණත් දෙන්න බැරිකමක් නෑ..හැබැයි ඒක දෙන්නේ ඔයාගෙම සල්ලිවලින් ඔයාටම..කියන්න උපමාලකලා කීයද?" මූණ පුරා ෂේවිං ක්‍රීම් අතුල්ලගෙන රැවුල කපන ගමන් තමයි එෆ් එම් ගිරවෙක් වගේ රෝයි ඔය මාකටිං පාර දෙන්නේ..

"හතක්" 

ටොයිං!!!!

"මොකක්?" බාගෙට ෂේවිං ක්‍රීම් උලපු මූණකින් රෝයි ඉස්කිරිම අස්සෙන් එබිලා බලන්නේ නින්දෙන් බයවෙච්ච වගේ මූණකින්..

ගුර් නැගිටලා උරිස් අකුලලා ඔලුව වනනවා..

"යාර්, ඇත්තටම උඹට පිස්සුද? උපමාලකලා 7ක්!! 7ක්?? 7ක් මොනවා කරන්නද???" 


9වන දර්ශනය
------------------
රෝයි අම්බානක තදවෙච්ච මූණක් දාගෙන ගසාබසා දාලා එළියට ඇවිදන් එනවා..ගුර් අන්ත අසරණ මූණක් දාගෙන පිටිපස්සෙන් දුවන් එනවා..

"රෝයි..මිස්ටර් ශ්‍රීවාස්තව්, මට මේ උදව්ව කරන්න..නැත්නම් මගෙ කසාදෙත් ලත් තැනම ලොප් වෙයි.."

"ගුර් ජී ගුර් ජී!! කරුණාකරලා මාව ආතතියට පත්කරන්න එපා හිටං..උපමාලකලා 7 මම හීනෙකින්වත් දකින්නෙ නෑ යාර්..මට බෑ මට බෑ..මම දන්නෙ නෑ ඔය වැඩේ කරන්න මට රිස්ක් එකක් ගන්න බෑ...ප්ලීස්.."

"මේ අහන්න රෝයි..මම ඔයා ඉල්ලන ඕන ගාණක් ගෙවන්න ලෑස්තියි.."

රෝයි හැරෙන්නේ ප්‍රින්සිපල් බැල්මක් දාගෙන...අන්න එතකොට නම් හිතෙනවා අර නේල් පොලිෂ් ගාණ අම්මගෙම පුතා තමයි කියලා..කණ්ණාඩි දෙකක් විතරයි අඩුවකට තියෙන්නෙ..

"ගුර්ජී, ගෑණු චපලයි..ඔයා හිතනවද ඔයා ඔය කන්න හදන කට්ට තරම් ඔය ගෑණු ළමයා වටිනවයි කියලා?"

"ඔව්..මං වගේ මිනිහෙක්ට ලේසියෙන් නොලැබෙන ජාතියේ කෙල්ලෙක් ඒ..ඒ කෙල්ල ලබාගන්න ඕනම දෙයක් කරන්න මම ලෑස්තියි..ඇත්තටම කියනව නම් මම එයාට ගැලපෙන්න ඕන හින්ද තමයි කිව්වේ මට යාළුවෝ ගොඩක් ඉන්නවා, මම හෙන කූල් අවුට්ගොයින් කැරැක්ටර් එකක් කියලා පෙන්නන්න ඕන හින්දා..නැත්නම් එයාට මට ලංවෙන්නවත් බෑ.."

රෝයි ඇස් ලොකු කරන් කටත් ඇරන් බලන් ඉන්නවා..ගුර් එයාගේ අඳෝනාව දිගටම කියන් යනවා..

"මේ අහන්න මේ වගේ කෙල්ලෙක් ආයෙ මං දිහා හැරිලවත් බලන්නෙ නෑ..ඉතින් එහෙම කෙනෙක්ව මම බඳිනවා කියන්නේ නිකන් හීනයක් වගේ නේ..මම මේ කෙල්ලට පණ වගේ ආදරෙයි..කරුණාකරල මට උදව් කරන්න.." ගුර් අන්තිම ටික කියන්නෙ අත් එකතු කරලා කඳුලු පටලෙකුත් ඇස්වල තියන්...

රෝයි කර කියාගන්න දෙයක් නැතුව ලොකු හුස්මක් හෙලනවා..

"හරි..හරි..යනගමන් කතා කරමු.."

"මේකේ?" 

"ඔව් මේකේ තමයි..යන ගමන් කතා කරන්න වෙන විදියක් තියෙනවද?"

"හරි හරි.." කියලා ගුර් දුවලා ගිහින් කාර් එකේ අනික් පැත්තෙන් ඇතුලට පැනගන්නවා...


18 comments:

  1. අප්පට හුඩු උඹ මොකක්ද අර අහිංසක ගුර්වින්දර්ට කරන්න හදන්නේ ?

    උඹට කොහෙද බොල මේවා එන්නේ . පට්ටේ හොඳ එක. උඹ කොහොමත් ඇත්තටමත් ෆිල්ම් එකක් කරපං

    ReplyDelete
    Replies
    1. හී හී...උඹ බය නැතුව හිටිං..ගුර්වින්දර්ව රොක් කරලා ගන්නයි හදන්නේ..:P :D
      නිදි මරගාතෙන් තමයි ඉතින් ඔළුවට එන්නේ..නිදිමත වැඩිවෙද්දි පිස්සුව වැඩිවෙනවා..ඔව් පිචෑර් එකක් කරමු..උඹ සප් එකක් දෙනවනේ? ;)

      Delete
    2. අනිවා අපි ෆුල් සප්ය . යූ නෝ හූ මීයා නෙ

      Delete
    3. කවුදෑ බං ඒ අමුතු සතා? :O

      Delete
  2. අඩේ... මූ මේ කොහාටද යන්න හදන්නෙ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ගස් උඹට යන දිහාක යනගමන් කියවන්න කියලා තොග සහ සිල්ලරට ලිව්වා..:P

      Delete
  3. අම්මප මට නං ඕ වගේ හෝ හපුටු කෙල්ලො ඕනම නෑ හැක්
    අර ගෝත ගුරුවින්දරය...
    රෝයි ඔන්න ඕකිව උස්ස පැනපං.. නෑ නෑ ඒම එපා.. උඹත් පව්... අපි මේම කරමු.. මගුල මැද්දෑවට බාල්දියක් දාල මංගල්ලෙ නසරාණි කරමු..
    ඕයේ කෝමද ටිකිරි මොළේ...
    දාමු නේ ඇලේ

    ReplyDelete
    Replies
    1. උඹ මොනාවුණත් උපේක්ෂාට හෝ හපුටු කෙල්ල කිව්ව එක මම හෙලා දකිනවා..:P :P
      පිස්සු කෙලින්න එපා මචෝ..රෝයි උපේක්ෂව ඉස්සුවොත් එහෙම මායි පාදුක්කේ දීපිකයි තව කී දෙනෙක් හාර්ට් ඇටෑක් හදාගනීද? :'(
      ඉවසා හිටු කොල්ලෝ..උඹත් ඊලඟට තිරයට පතිතවෙයි ඩෝං ගාලා..කොලර්ස් අප් ආ..;)

      Delete
    2. හුටා උපේස්ස ගැනය මේ... යකඩෝ අර කළු කොට මිටි කැත බතලිට ගිය කලක් හැක්
      (දුවන්න වෙයිද මංද)
      මාත් ඉන්නවය කීව...
      හොදට හරි බරි ගැහිල මේ වාඩි වෙලා බලං ඉන්නං හිටාංකො

      Delete
    3. ඒකි එහෙමද? :O එහෙනම් මේක විදේශ කුමන්ත්‍රණයක්..ඔඩිෂන් ආවේ සිරා කෑල්ලක් නේ!
      ඔව් ඔව් උඹ නැතුව ෆිලුම් කරනවයැ අපි..:P

      Delete
  4. සෙලින්කෝ !!!! කොහෙන්ද බන් උඹට මේ සිරා කතා ඔලුවට එන්නේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..මනස වාචාලයි රොටියෝ..ඒක වෙන්ටැති..:D

      Delete
  5. තරු පෙනෙයිද මෙහෙම ගියොත්....

    ReplyDelete
    Replies
    1. තරු තරු තරු පොකුරු පොකුරු..
      ඔව් පේන්ට පුළුවනි..බලන් ඉන්ටකෝ අයියා..;)

      Delete
  6. මොනවද බන් මේ ගුරුවට වෙන්න යන්නෙ. ඒක නෙමේ උඹ හින්දි ෆිල්ම් කාල වතුර බීල වගෙ ඉන්නෙ .නැත්නම් මෙහෙම ලියන්න බෑ. ඉන්දියාවෙ එවුන් උඩබිම බලයි මේක දැක්කනම්.
    ගිය පාර වෙන එකක් තිබ්බ නිසා මං හිතුව වැඩේ අත ඇරල දාලවත්ද කියල.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..බොහොත් ශුක්‍රියාර් මතන්ධර්..(ඒ ඔබතුමාගේ ඉන්ඩියන් නම )
      හින්දිත් බලනවා..ඉංග්‍රීසිත් බලනවා..සිංහලත් බලනවා..දෙමළත් බලනවා..තාම කොරියන් විතරයි බලන්න නොගත්තේ (ඒක පටන් ගන්න කලින් එපා කරවලා නේ තියෙන්නේ)
      ප්‍රහසන මට්ටම ගත්තොත් ආසියානු චිත්‍රපටි තමයි මරු ඈ..ඉංග්‍රීසි ප්‍රහසනවලටත් වඩා එව්වට හිනා වෙතහැකි..හැබැයි ඒ වගේම ආසියාවේ අපිව අඬවන්න පුළුවන් චිත්‍රපටි හැදෙන්නෙත් ආසියාවේ කියලයි මට හිතෙන්නේ..

      මම හිතුවේ චිත්‍රපටි කොටස් දෙකක් අතරට වෙන මොනාහරි මාතෘකාවක් දාලා සැන්ඩ්විච් කරන්න, චිත්‍රපටියට අකමැති ප්‍රේක්ෂකයෝ ඉන්නවා නම් එයාලට අසාධාරණයක් නොවෙන්න...:) අතාරින්නේ නෑ මචෝ..දිගටම තනියා හා රැඳෙන්න..:)

      Delete
  7. /'සර්-රෙන්ඩ සර්-රෙන්ඩ/ උඹ කියපු මෙන්න මේ කථාව අර ඉවාන් කියන එකාට කට්ටිය කියනවා කියලා මාත් අහලා තියනවා.. මං හිතේ ලගපාත ඉන්න බැරි හින්ද වෙන්න ඇති....

    රයිට් සුදෝ මගේ සුදෝ සුදු කොමෙන්ට් එක The End දවසට..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හැබෑටම? ඌට එහෙමත් කියනවයි? :P
      උඹ නිකන් සිනමා විචාරකයෙක් වගේ නේ බන්..හා කෝ එහෙනම්..
      ජය වේවා!

      Delete