Tuesday, July 31, 2018

කුවේණි

මෙතන ඉඳන් ඈතට දිවෙන තද නිල් පාට මුහුදයි තඹ පාට වැල්ලයි ඊටත් උඩින් විසිරුණු සැහැල්ලු ලා නිල් අහසයි කුවේණි දකින්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි..ඒත් ඒ මුහුදු නිලයි, අහස් නිලයි, තඹ පාටයි, ගස් ගොමුවේ කොළ පාටයි කවදාවත් ඈට එපා වුණේ නෑ.. කුවේණිට දැනෙන්නේ ඒ සේරම අයිති ඒත් අයිති කරගන්න බැරි, ලස්සන වුණත් වචන කරගන්න බැරි හීනයක් වගේ. ඈ සළුවක් වියන්න මෙතනම තෝරගන්න හේතුවත් ඒකමයි. ඒක තමන්ගේ තැනක්ය කියන්න හිමිකමක් නොපවරවාම කුවේණි ලියාගෙන හිටියා. සළුව වියන්නම විතරක් නෙවෙයි කුවේණි මෙතනට එන්නේ, එතනට තියෙන මිදෙන්න බැරි ලෙන්ගතුකමක් හින්දා. ඇයි කියලා නිශ්චිත හේතුවක් නැති බැඳීමක් ඈට මෙතනට තියෙනවා. තනිවෙන්න හිතුණම, හිත රිදුණම, සතුටක් ඇතිවුණාම ඒ කොයි හැඟීමත් බෙදාගන්න ඇයට මතක්වෙන්නේ මෙතන.

ජීවිතේ හිමින් ගලනකොටත් සුනාමියක් වගේ වියරු වෙනකොටත් ඈ මෙතන මෙහෙම වාඩිවෙලා සළුව වියනවා හරියට තමන්ගේ වටේ රාක්ෂයෝ කැරකෙන බවක් නොදන්නවා වගේ. 

ඇත්තටම කුවේණිට සළුවක් වියන්න ලොකු ආසාවක්වත් හීනයක්වත් තිබ්බේ නැහැ. සමවයසේ කෙල්ලෝ සළු වියන්න හීන දැක්කේ වැඩිවිය පත්වෙන්නත් කලින් ඉඳන් වුණත් කුවේණිට ඒ ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නෑ. හැබැයි හිත පිරෙන්න ආදරේ කරන්න නම් කුවේණිගේ හිතේ ලොකු හීනයක් තිබ්බා. සමහරවෙලාවට සළු වියමන යටපත් කරගෙන ඇගේ හිත අතීතයේ කිමිදෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම ආදරයක් හමුවුණාද කියන ප්‍රශ්නාර්ථයෙන් ඈ ඒ හීනවලින් මිදිලා ආයිත් සළුව වියන්න පටන් ගන්නවා.

කුවේණි දැනගෙන හිටියා මේ ලෝකේ වියපු කිසිම සළුවක් සර්වසම්පූර්ණ නැහැ කියලා. අණ්ඩ දාගෙන වියපු සළු පැත්තකින් නවලා තියන් නිරුවතින් උන්නු උන් අතරේ තමන් වියාගත්ත සළුව ඇඳන් ඇවිදින්න තරම් හයියක් කුවේණිට තිබ්බා. ඒත් ඒ ගමන තමන්ගේ ආත්ම අභිමානයට විතරක්ම වෙන ගමනක් බව කුවේණි තේරුම් අරන් හිටියා.

ඇත්ත කොයිතරම් තිත්ත වුණත්  තමන්ගේ වියමනට ලකුණු දෙන්නවත් ඒක අනෙක් වියමන් එක්ක සන්සන්දනය කරන්නවත් කුවේණි උත්සහ කරන්නේ නැහැ.. හිත කලකිරවගෙන අතෑරලා දාන්න බැරි තැනකට තමන්ව ගෙනාපු සළුවක් තියෙන ඕනම කෙනෙක් තමන් වගේ හිතනවා ඇති කියලා චරිත සහතික දෙන්න කුවේණිට බැහැ. සමහරවිට එහෙම අතෑරලා දාලා අළුත් සළු වියන්න ගත්තු මිනිස්සු ජීවිතේ සුන්දරයි කියනවත් ලෝකේ නිරුවතින් ඇවිදින අනික් උන් ඒවට හිනාවෙනවත් කුවේණි දැකලා තියෙනවා.


***********************************

එදා විජය ගොඩ බහිද්දිත් කුවේණි හිටියේ සළුව විය විය. 

විජයගේ දිග නහයට උඩින් තියෙන උකුසු බැල්ම තමන්ට එල්ලවෙච්ච බව නොදැන කුවේණි තමන්ගේ කල්පනා ලෝකේ ගිලිලයි හිටියේ. මුහුදු හුළඟෙන් කෙහෙරැල් නලව නලව වියමනේම ඇස් අලවගෙන හිටිය කුවේණි තිගැස්සුණේ විජය තඹ පැහැවෙච්ච තමන්ගේ අල්ල පෙන්නලා "තම්බපණ්ණි" කිව්වමයි. ඒකට හේතුවත් විජයගේ තිබ්බ විශේෂත්වයක්ම නෙවෙයි. පිරිමි හඬකින් පාටක් ගැන ඇහුව පුදුමය විසින් කුවේණිගේ ඇස් විජය දිහාට පා කරලා තිබ්බා. විජයත් අළුත් නැති කොළත් නැති අමුතුම පාට ඇස් කුවේණිගේ කළු පාට ඇස් මත්තේ තියන් බලන් හිටියා. 


*******************
කුවේණි සුපුරුදු විදියටම දිගටම පුරුදු තැන ඉඳන් සළුව වියුවා. පිටදේසක්කාරයෙක් ආවා කියලා තමන් උන්නු තැන අතෑරලා දුවන්න තරම් කාරණාවක් තිබුණේ නැහැනේ.

විජය..?
විජයත් ඒ අහළ පහළම රැඳුණා. අර අළුත් නැති කොළත් නැති ඇසුත් අයිතිකාරයා තරම්ම මුරණ්ඩු නිසා කුවේණිගේ කළු ඇස් පස්සෙන් පන්නන එක නැවැත්තුවෙම නෑ. කුවේණිත් ඒ ගැන කලබලයක් පෙන්නුවෙත් නැහැ. ඒ ඇස්වලට තියෙන ඕනකම අයිතිකාරයාටත් ඇතිවෙන කල් කිසිදෙයක් නොහැඟුණා සේ ඉන්න ඇගේ ගෑණුකම පරිණත වෙලා තිබ්බා.

ඒත්, ඇත්තටම හිත යටින් කුවේණි බලන් හිටියේ ඒ බැල්ම තමන්ගේ ඇස්වලට එබෙනකල්.  මෙතෙක් කාලෙකට නොවුණු විදියට මේ තම්බපණ්ණි හාදයා කුවේණිව සසල කරලා තිබ්බා.

සමහර දවසට කුවේණිගේ කළු ඇස් දිලිසෙනවා අර අළුත් නැති කොළත් නැති ඇස්වලට පේනවා. ඒ ඇස්වල ඇතිවෙන නැතිවෙන කතාවක් තියෙන බවත් පේනවා. ඒ ගැන අහන්න ඕනකමක් ඇතිවුණත් විජයට සිද්ධ වෙනවා නොදැක්කා වගේ ඉන්න, කුවේණිට විශේෂත්වයක් නැති විදියට ඉන්න. අනෙක් අතට විජය දැක්ක පළවෙනිම ගැහැණිය කුවේණි නෙවෙයි. කුවේණි දැක්ක පළවෙනිම පුරුෂයාත් විජය නෙවෙයි. ඒත් ඒ පළවෙනිම නොවන දැක්මවල් අතරේ මොකක්දෝ විශේෂත්වයක් ඇතිවෙමින් තිබුණා.. 

**************************
ඔව්, කුවේණි විජයට ආදරේ කරන්න ගත්තා. ඒ හැඟීමට ඈ කොච්චර බයවුණත් ඒ හැඟීමෙන් මිදෙන්න බැරුව ඈ වැළපුණා. විජයත් ඇයට ආදරේ කරන්නට ඇති. ඒත් කුවේණිට ඒ ගැන හරියටම කියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ.

කුවේණිට සිද්ධවුණා ලෝක අවමානෙන් බේරෙන්න වියමින් උන්නු සළුව දිගටම වියන්න. ඒත් ඒක නාමමාත්‍රික සළුවක් මිසක් උතුරටවත් දකුණටවත් යන සළුවක් නොවී ඔහේ තිබුණා. ලෝකයා යෝජනා කළා සළුව පාට කළ යුතුයි කියලා. සුදුයි කළුයි විතරක්ම පාට හැටියට තියෙන ලෝකෙක කොහොම සළුවක් පාට කරන්නද කියලා කුවේණි ඒවට හිතෙන් හිනා වුණා. සමහරු මල් ගෙත්තම් කරන්න කතා කළා. මල් ගොතන්න තරම් ආදරයක් තමන්ගේ හිතේ ඉතිරිවෙලා නැති බව කුවේණි දැනගෙන හිටියා.

විජයව ලබාගන්න උවමනාවක් කුවේණිට තිබ්බේ නෑ. ඒත් ඒ ආදරේට පෙරලා ආදරයක් විජයගෙන් ලබන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ. ආදරේ විතරයි කියලා හිත හදාගන්න බැරි තරම් මුරණ්ඩු විදියට කුවේණිගේ හිත කුවේණි එක්ක යුද්ධ කළා. 

කුවේණිගේ හිත ඉල්ලුවේ තම්බපණ්ණියේ හෙවණක් යට හිස තියන් වැළපෙන්න තරම් සුවැති උරහිසක්, හිතේ ඇදුම් කන තුවාලවලට කෝමාරිකා තවරන ප්‍රේමයක්, උණු කම්මුල් උඩින් තියන්න පුළුවන් සීතල හාදුවක්, දිගු කොණ්ඩය පීරන සනීප අතක පහසක්, හිත උස්සලා පා කරවන්න පුළුවන් විදියේ ආදරයක්, හුස්ම නවත්තන්න පුළුවන් නළලට දෙන හාදුවක්, ඒ ඔක්කොමත් එක්ක විජයගේ ආදරේ..ඒක ඇත්තම නම්..එච්චරයි ඇයට ඕනේ..

**************************
ඒ වුණත් ගෝත්‍රයේ උන්ගෙන් කුවේණිට අහන්න ලැබුණේ විජයගේ හොඳ නම් නෙවෙයි. විජය පල් හොරෙක්, ආත්මාර්ථකාමියෙක් කියන කතාව නම් මන්තරයක් වගේ හැමකෙනාගෙන්ම කියැවුණා. 

කුවේණි බයවුණා තමයි. ඒ තමන්ගේ ආදරේ පිළිගන්න ඇතිවෙච්ච බයක්. ඒක හැමදාම වුණා වගේ තම්බපණ්ණි මුහුදට විසිවෙයි කියලා ඇති වෙච්ච බයක්. තවත් බිඳෙන්න දෙයක් නැති තරම් වෙන තමන්ගේ හදවතයි කියලා රැකගෙන ඉන්න හැඟීම් මිට ඉහිරිලා යාවි කියලා ඇතිවෙච්ච බයක්.

අන්තිමටම කුවේණි තීරණයක් ගත්තා විජයගෙන් ඈත් වෙන්න. ඔහු නොදකින දුරකට යන්න.

**************************
කුවේණිට විජය සිහි නොවුණා නෙවෙයි. විජයටත් කුවේණි සිහිවෙන්නට ඇතිද කියලා කුවේණිගේ හිතේ බොළඳ බලාපොරොත්තුවක් ඇතිවෙච්ච වෙලාවල් තිබ්බා.

ඒත් ඈ හිතුවා ඒ හීන දැන් වේලිලා ඉවරයි කියලා. එහෙම ධෛර්යයක් ඇතිවෙච්ච දවසක, හිත රිදිලාම ගල්ගැහුණු දවසක ඈට ඕනවුණා තම්බපණ්ණිය දකින්න. පරණ මතක අස්සේ ඇවිදලා ඇවිදලා ගිහින් පුරුදු ගස් හෙවණේ වාඩිවෙලා ඇස්වල මුහුදු නිල පුරවගන්න. කාටවත් නොපෙනී ඉකිගගහා අඬන්න. මූදු හුළඟෙන් කඳුළුවල තෙත වේලගන්න. 

ඒත් කුවේණි යද්දි පරක්කු වැඩියි. ඇගේ සුපුරුදු තැන වෙන කෙනෙක් අයිති කරගෙන හිටියා. 
විජය..
ඔව්, විජය කුවේණිගේ අසුන අයිති කරන් තම්බපණ්ණි මුහුද තරම් විශාල කල්පනාවක ගිලිලා හිටියා. 

"ඒ සුවඳ මොකද්ද?" විජය ඇහුවේ හැරෙන්නෙවත් නැතුව. කුවේණිට සිද්ධ වුණා අශ්ව කුර දහස් ගාණකින් තැලෙන තමන්ගේ හිත සළුවෙන් වහගන්න.

"ඇයි මෙතන?" 

"ඔයාව මතක් වුණ හින්දා" කුවේණිගේ හිත පළවෙනි පාරට තරම්ම තිගැස්සවපු අළුත් නැති කොළත් නැති බැල්ම කුවේණි මත්තෙම නතර වෙලා උත්තරයක් බලන් හිටියා. "ඇයි මට නොකියා ගියේ?"

"කියන්න තරම් දෙයක් නොතිබ්බ හින්දා"

විජයගේ ඇස් කුවේණිගේ සුදු කළු සළුවේ වැදිලා ආපහු මුහුද පැත්තට හැරුණා.

"මට තිබුණා"

"මො..මොනවද"

"මෙතනදි අපි මුලින්ම මුණගැහුණු දවසේ ඉඳන්. මට ඕනවුණා ඔයාට කතා කරන්න. ඒත් මං දැනගෙන හිටියේ නෑ කොහොමද කියලා. මට ඕනවුණා ඔයාව දැනගන්න. ඒත් ඒකට විදියක් තිබ්බේ නැහැ. මං ඔයාට හුඟක් කැමත්තෙන් හිටියා. ඒක මෙහෙම ආදරයක් වෙයි කියලා මං බලාපොරොත්තු වුණේ නෑ"

තම්බපණ්ණි මුහුදයි හුළඟයි මොහොතකට නිශ්චල වුණා. ඒත් කුවේණිගේ හිතේ දුවපු අශ්ව කුර නැවතුණේ නෑ. ඒ අශ්ව කුරවලින් නැගිච්ච දූවිලි වලාව අස්සේ වචන අතරමං වෙලා තිබ්බා. 

"මට ආදරේ කරන්න බෑ." 

ඒත් තම්බපණ්ණි හාදයා ඒ වචනවලට කීකරුවෙන පාටක් පෙනුනේ නෑ. පළවෙනි වතාවට ගෝත්‍රයේ උන් විජය ගැන කියන්නේ ඇත්තද කියලා බයක් කුවේණිට දැනුණා. 

කුවේණිට ආයිමත් සුපුරුදු තැන ඉඳන් සළුව වියමන් කරන්න පටන් ගන්න සිද්ධ වුණා.

විජයගේ බැල්මෙන් සිදුරුවෙන හිත විතරක් කිසිම මැහුමක් නැතිව ඔහේ තිබුණා. ඒත් එහෙම මොහොතක පවා සුන්දරත්වයක් තිබ්බා. කුවේණිට අමතක වෙලා ගිය සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. ඒත් වියමනේ බර දැනුනු වෙලාවල් නොතිබ්බාම නෙවෙයි. ඒත් ඒ හැමදෙයක්ම යටපත් කරන් ජීවත්වෙන්න ආසාවක් ඇතිවෙමින් තිබ්බා. මුහුදු නිල වෙනදාට වඩා සුන්දරවෙමින් තිබ්බා. අහස අමුතු වර්ණ මවමින් හිනාවෙන්න පටන් ගත්තා. තම්බපණ්ණි වෙරළ ඉර එක්ක මුකුළු කරමින් කුවේණිට රහස් කිව්වා.

************************
දවසක උදේ මුළු තම්බපණ්ණියම අළු පාට වෙලා තිබ්බා. අහස මුහුද වෙරළ කියලා වෙන්කරන්න බැරිවිදියට අළු පාට අඩු වැඩිවේවි ලෝකෙම ගිලගෙන තිබ්බා. 

කුවේණිගේ වර්ගයා විජයට එරෙහිව අවි අමෝරාගෙන නැගිටලා තිබ්බේ කුවේණි ගැනම හිතලා නෙවෙයි තමයි. ඒත් කුවේණිගේ ප්‍රේමයට නැව් නගිනවා හැර වෙන විකල්පයක් නොවෙන විදියට ගෝත්‍රික විරෝධය සුනාමි රැල්ලක් වගේ නැගිලා තම්බපණ්ණිය හෝදා පාළු කරමින් තිබ්බා. කුවේණිගේ හිතේ හීනි බලාපොරොත්තුවක් තිබ්බා විජයගේ ආරාධානාවක් තියේවි කියලා වියමන හැර යන්න බැරිවුණත් අඩුම තරමේ තමන්ගේ හිත හදාගන්නවත්. 

ඒත් කුවේණි තම්බණ්ණියට යද්දිත් විජයගේ රුවල් නැවේ රතු පාට බඳ නොපෙනී යමින් තිබ්බා. ඈට හීනෙකින් වගේ ඇහුණා "ඇයි මට නොකියා ගියේ?"






3 comments:

  1. විජය කුවේණි වගේ ආදර කතාවෙ අතරමගදි හැරිල ගිය, ජීවිතේ ආදර මාවතේ අතරමං වුණ බොහෝ දෙනාට ආයෙ පාර හොයාගන්න බැරිවුණා. ආපහු ජීවිතේට ගොඩවෙන්න තියෙන දොරවල් සේරම වැහුණට පස්සෙ මෙහෙමයි කියන්නවත් පණක් ඉතුරු වෙලා නොතියෙන්න ඇති. මේ උඹම ලියපු එකක්ද බොල. පට්ටයි නෙව.

    ReplyDelete
    Replies
    1. //විජය කුවේණි වගේ ආදර කතාවෙ අතරමගදි හැරිල ගිය, ජීවිතේ ආදර මාවතේ අතරමං වුණ බොහෝ දෙනාට ආයෙ පාර හොයාගන්න බැරිවුණා. ආපහු ජීවිතේට ගොඩවෙන්න තියෙන දොරවල් සේරම වැහුණට පස්සෙ මෙහෙමයි කියන්නවත් පණක් ඉතුරු වෙලා නොතියෙන්න ඇති. // හ්ම්ම්ම්. ඒකත් ඇත්ත තමා.

      //මේ උඹම ලියපු එකක්ද බොල. පට්ටයි නෙව.//
      නෑ බං. මේක මේ අපේ ආච්චිගේ පුංචම්මා පොඩි කාලේ ලිව්ව එකක්! ඈ යකෝ මගෙන් අහන්නේ මංද ලිව්වේ කියලා! බොට ෂුවර් නැද්ද? :@

      Delete
  2. විසිරුනිද හදවතක ආලය
    රැඳවුනිද මතකයක කාලය
    මතූඋනිද කතාවක මූලය
    රුවැත්තිය ඔබමද කුවේණිය

    ReplyDelete