Saturday, July 14, 2018

ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම!

ලංකාවේ බහුතරයක් පුරුෂයෝ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රූපය පවත්වාගෙන යාමට තියෙන අලසකම ගැන විවිධාකාරයේ චෝදනා කරනවා. භාර්යාවෝ කියනවා එහෙම නෙවේය, අතීතයේ වාගේ තමන්ගේ හැඩ බලන්න තමන්ගේ පුරුෂයාගේ කිසිම උනන්දුවක් නැතිය කියලා. කොහොමවුණත් ඔය කතන්දරවල දෙපැත්තක් තියෙනවා. භාර්යාවන්ගෙන්ම පටන් ගනිමුකෝ. දැන් ඔය අද කාලේ ඉන්න භාර්යාවෝ බහුතරයක් පුරුෂයන්ගේ ඉළ ඇටයකින්ම මැවිච්ච එකේ ආනිශංස ඉහටත් උඩින් විඳවමින් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උදේ පාන්දර උයා පිහාගෙන, දරුවන්ට බව්වන්ට පූසන්ට කන්න බොන්න දීගෙන, දරුවෝ ලකලැහැස්ති කරගෙන, මනුස්සයගේ ගෙම්බර් බලාගෙන, උන්දැටත් බත් බැඳගෙන රස්සාවට දුවලා යහපාලනෙන් කිව්ව හැටියට කාර් ගන්න බැරිවෙච්චි හින්දා බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා එහෙම කාර්යාලයට යනවා. එතනත් පැය 9ක් තිස්සේ මැරිලා (අයිස් ගහන ඇත්තියෝ ඇරුණුකොට) ආයිත් උදේ විදියටම බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා කීල්ස්, කාගිල්ස්, ආපිකෝ නැත්නම් හන්දියේ කඩෙන් බඩු මල්ලකුත් උණ්ඩි කරන් ගෙදර ගිහින් උයලා පිහලා, පොඩි උන්ගේ හෝම්වර්ක් කරවලා, මනුස්සයගේ ටීවී චැනල් මාරුව දිහා උපේක්ෂාවෙන් බලන් ඉඳලා, උන් සේරටම කවලා පොවලා නිදිකරවලා එහෙම මහ රෑ ජාමේ නින්දට යනවා. ඉතින් ඒ අස්සේ මූණූ පොත්වලයි පොෂ් අක්කිලායි, නිළි නංගිලයි එහෙම කියනවා අපි වර්ක් අවුට් කරනවාය, ඩයට් කරනවාය, දවසට පැය බාගයක් තමන්ට කියලා වෙන්කරගන්න කාන්තාවෝ හැමෝම උත්සහ කරන්න ඕනය කියලා. එතකොට අපේ භාර්යාවෝ එක්ක දත්මිටිකනවා නැත්නම් හූල්ල හූල්ල ඊලඟ දවසට ලකලෑස්ති වෙනවා.

එතකොට පුරුෂයෝ මොකද කරන්නේ..?
පුරුෂයෝ එහෙම ඉතින් උදේට නැගිටලා, කාලා බීලා, ඇඳ පැළඳගෙන, අර භාර්යාවෝ වගේම කාර් ගන්න සල්ලි නැති හින්දා තැලිලා, පොඩිවෙලා, තෙරපිලා රස්සාවට යනවා, පැය 9 වැඩ කරලා අර විදියටම ගෙදර ඇවිල්ලා ටීවී බලලා එහෙම නිදාගන්න ලකලැහැස්ති වෙනවා කියමුකෝ. මීට වඩා හාත්පසින්ම වෙනස් භාර්යාවන්/පුරුෂයන් ඉන්නවා. මම මේ කියන්නේ බහුතරය ගැන. දැන් ඔය මම කියන බහුතර පුරුෂයෝ තමන්ගේ භාර්යාවරුන්ට පොඩි හරි සහයක් නොදී වෙන වෙන නංගිලාගේ හැඩයි පෙනුමයි දිහා කෙළ හලන්න ගියහම තමයි ඉතින් අවුල පටන් ගන්නේ, නැති වැරදි පේන්නේ, යකෝ මේ ගෑනිගේ කැත කියලා සාංකාවට පත්වෙන්නේ එහෙම.අද කාලේ වැඩිහරියක් පවුල් විනාසයට හේතුවත් ඒකමයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඉතින් ආයිබොවන්ඩ.

හරි දැන් මම මේ ලිව්ව අටුවා ටීකාව පතරංග ජාතකයක් වුණාටත්, එයින් මොනයම්ම පාර්ශවයක හරි හිත් රිදීමක් සිදුවුණා නම්, මම සභාවෙන් සමාව භජනය කර සිටින්න කැමතියි. මොළේ පෑදීමක් ටිකක් අභව්‍යවුණත් එහෙම වුණොත් නම් සන්තෝසයි.

ඉතින් පින්වතුනි, මේ ලියන ඇත්ති බට ගහක් වගේ බවලතියක් බව හමුවූ දුටු දනට මතක ඇති. කඳ බටගහක් හේ වුණාට මේ ඇත්තිගේ මනස හරිම සංකීර්ණයි, විචිත්‍රයි, මනෝහරයි, පංකාදු පහයි. (වෙන කවුරුවත් තමන්ට ප්‍රශංසා කරනකල් බලා නොඉඳ වර්ණනා කරගන්න එක මම ආත්මවර්ණනයේ පිකාසෝලාගෙන් ඉගෙන ගෙන තියෙනවා. ඒක පට්ටයි!)

ඉතින් මේ ඇත්තිටත් හිතුණා බටගහක් වුණත් කොයිවෙලේ විරුතෙට යාද නොදන්න නිසා මූද හත්ගව්වක් තියා අමුඩ ගහන්න. එහෙම හිතලා කොහොමත් කුසීත, වැඩිය හෙලවෙන්න එහෙම අකමැති මනුස්සයාටත් කිව්වා ජිම් යන්නට ඕනෙය කියලා. දැන් මේ බටගස් යුවල මංගලෝත්ස්වයට කලිනුත් ජිම් ගිය ඇත්තෝ වෙච්චි. බවලතී නම් ගියේ බලවතාගේ තනියටයි මොරාල් සපෝට් එකටයි මොකද බලවතාගේ ජිම්ගමන නැවතීමට හේතුවක් විදියට බවලතීට ඉහළ උසාවියේ චෝදනා පත්‍රයක් රපෝර්තුවෙලා තිබ්බේ. නිකන් මක්කට වැලිකඩ යාද හනිමුන් එකට කියලා ඒ විදියට පිළිවෙලක් වේගෙන ආවට මොකද ඔය ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර තැන අමුතු ලතාවක් නිසා බවලතී ගමන හෙමිහිට නවතා දැමුවා.

ඉතින් දැන් පරණ මතක අලුත් කරන් මෙ ෆිට්නස් රැල්ලේ පාවෙමින් ඉන්නකොට බවලතීට අහුවෙනවා තව අයිඩියාවක්. ඒ තමයි zumba. ඔය පහළ තියෙන්නේ, අන්න ඒක තමයි.


ඒ එක්කම ඔය අයිඩියාවේ ඉදිරියට ඇදීගෙන ඇදීගෙන යද්දි බවලතීට දකින්න ලැබෙනවා අහළ පහළම zumba පංතියක් තිබෙන බව. හැබැයි කාන්තාවන්ට පමණයි. බලවතා සැනසුම් හිනාවෙන් යුතුව බවලතීගේ කැමැත්තට ඉඩ දෙනවා.

ඉතින් ඉරිදාවක පාන්දර නැගිටලා හෙන ස්පෝටි කිට් එකක් එහෙම ගහගෙන ෆුල් ෆිට්නස් වෙලා එහෙම බවලතී ඔන්න ගියා මේ පංතියට. කියන්න දුකයි පිංවතුනි, ඒ පංතියේ වැඩිහරියක්ම හිටියේ රම් පීප්ප වගේ බවලත්තු නිසාමද මන්දා උන් මේ බටපොත්ත දැක්කම වැරදි නොම්මරයක් ආවම ෆෝන් එක දිහා බලන බැල්මෙන් ඩිංගක් වෙලා බලාන හිටියා. නටන ඉන්ස්ට්‍රක්ටරීත් ආයේ නෑ ෂයිලොක් හිටියා නම් බේරෙන්න බැරිවෙන සයිස්. 

ඉතින් ඔය ආරම්භක දේශනයක් එහෙම තියලා ඔන්න නැටුම පටන්ගත්තා. ඔය නැටුම් පංතියේ ඉස්සරහා තියෙනවා පුංචි වේදිකාවකුයි බිත්තිය දිගට කණ්ණාඩියි හයි කරලා. ඔය වේදිකාව උඩ තමා ඉන්ස්ට්‍රක්ටරී නටන්නේ. එයාගේ පශ්චිම භාගේ දිහා බලන් අපිටත් නටන්නයි තියෙන්නේ.

අළුත් සාමාජිකාව හැටියට මේ ලියන ඇත්තී දැන් දෙවෙනි පේලියේ දෙවෙනියට හිටගෙන වෙන්නේ මක්කද කියා බලාන ඉන්නවා. යන්තම් අඩියක් දෙකක් එහෙට්ට මෙහෙට්ට කරලා මෑ කරලක් වගේ වැනෙනවා. කියන්න විලි ලැජ්ජයි පින්වතුනි ඉතින් මේ පහළ තියෙන වීඩියෝවමයි මතක් වුණේ. මොකද පුංචිම කාලේ අපේ උල්කා කඩාවැටෙන්න පෙර නැටුම් පංති ගියාට, පාටියක පොඩ්ඩක් එහෙට මෙහෙට වැනිලා ෂේප් වුණාට මොකද මේ ලියන ඇත්තිට කිසිම නැටුම් ඥානයක් එහෙම නෑ. පළවෙනි වන්නම් දෙක තුන යද්දි වැඩේ කොච්චරටම චා වෙලාද කිව්වොත් මේ ඇත්තිට හිතුණේම සපත්තු දෙක බෙල්ලේ එල්ලන් බිල්ඩිමෙන් පනින්න. ඉන්ස්ට්‍රක්ටරී ආවේශයෙන් වගේ නටන නැටිල්ලට කිට්ටු කොරගන්න තියා හිතන්නවත් බෑ. හැමෝම ඒ අවේශයෙන්ම නැටුවේ නැතත් ලොකු අවුලක් තිබ්බේ නෑ මේ බවලතීට තරම්. කවදාවත් මෙහෙම විලි ලැජ්ජාවක් නම් සිද්ද වෙලා නෑ අපේ හාමුදුරුවනේ! මොනා කරන්නෙයි ඉතින් නේ. කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා මේ ඇත්තිත් තුම්මුණින් දාඩිය වගුරෝගෙන මේ කස්තිරම අල්ලගන්න ෆුල් ගේමක් දෙනවා. කොහොමහරි ලැජ්ජාව ඉස්මුරුත්තාවට එනකල් පැය එකහමාරක් වැනිලා වැනිලා රථයට ගොඩ වුණාම තමයි තේරුම් ගත්තේ මිනිස්සුන්ගේ ආත්මානුකම්පාවේ සීය පැන්නම නිකන් ජොයින්ට් එකක් ගහලා වගේ ගතියක් එන බව. බවලතී බවලතීටම හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා ගෙදර ගොහින් රඟපාලත් පෙන්නලා (නටන්න බැරිවුණාට මේ ඇත්තිට රඟපාලා කතන්දර කියන්න පුලුවන් හරිය) කවදාහරි දවසක බැරල් එකක් වී මිසක් zumba නොකරන බවට තීරණයක් අරන් zumba අඩව්වට ආයිබොවන් කිව්වා. 



දැන් ඔතන වැදගත්ම කතන්දරේ ඒක නෙවෙයි. මේ පාඩම එක්තරා විදියක දිට්ටධම්මවේදනීය කර්මයක් හැටියටයි මේ ඇත්ති දකින්නේ. මොකද කියනවා නම් අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ, සභාවල පුටු රත්කොරලා, වේදිකා උඩට නගින බහින එක ඇරෙන්න ගාත්‍රා හතර දික්කරලා වැඩක් පලක් නොකර හොර වෙච්චි ඇඟවල් එක්ක අපේ සිරී සහ ගෝලයෝ රොත්ත (මං නම් ඒකේ ආසම රාජීගේ ඩාන්ස් එකට. එයා ශ්වීට්!) ඔය නටපු නැටිල්ල දැකලා පණ යනකල් හිනාගිය මේ ඇත්තිට එයැයිගෙයි සිරීලාගේයි ඇක්සයිස් එකේ වැඩිවෙනසක් නැති බව පෙන්වන්න විශ්වය කරපු කුමන්ත්‍රණයක් මේක. ඔබෙයි මගෙයි හොර ඇඟවල් සිරී! <3

දෙවෙනි අවස්ථාව තමයි අර ආත්මානුකම්පාවේ සීය පැන්නම එන ජොයින්ට් එකක් ගහලා වගේ ෆීලින් එක දැනුණ පළවෙනියා මේ ඇත්ති නෙවෙයි කියන එක. අපේ සිරීත් මේ අවස්ථාවේ ඉන්න ඇත්තේ අන්න ඒ වගේ ෆීලින් එකක කියලා මට ටොක්කක් ඇනලා විශ්වය උගන්නලා තියෙනවා. 


අන්න එහෙම හිතලා පින්වතුනි මම මේ සිදුවීම දිහා උපේක්ෂාවෙන් බලලා බැරිවැඩ නොකරන් අබරෝ කියලා දැන් මේ දවස්වල ඇරෝබික්ස් කොරන්න හිතනවා. 
!
!!
!!!
!!!!
!!!!!
!!!!!!
හැදෙන්නේ නෑ ඉතින්!!!!!!

19 comments:

  1. යන්ඩ නගෝ ජොගිං. අළුතෙං වාං පතුල් දෙහෙකුත් අරං, බල්ලො එළවන්ඩ පොඩි පොලු කෑල්ලකුත් අරං, කොල්ලො නළවන්න හිරට කිට් එකක් ගහං ගියානං හරි ජොගිං. උදේම දුවලා වොශ් එකක් දාලා ඇඩ්‍රිනලීන් උතුරද්දි ජොබට යනකොට කාටද ආඩම්බර ඈ?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි අයියා, එහෙමත් ඇහැක් නේන්නම්!!
      ඒත් ඉතින් උදේට මොන ජොගින්ද අප්පා. උදේට නැගිටලා අටෝරාසියක් වැඩ තියෙනවා නෙව. දුවන්නත් තියාගත්තොත් එහෙම මං හිතන්නේ මට ගෙදර නැවතිලා හඳුන්කූරු, බෝල සබන් බිස්නොස් එකක් කොරන්ට වේවි.
      ඒත් ඉතින් කාටද ආඩම්බර නේ..? වාං පතුල් ඇතුළු කළමණා දූවිලි වැදි වැදි වේලෙන එකේ බලන්ට ඕනේ හවහටවත් ටිකක් දුවාගන්න.

      Delete
  2. මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනවා. ජොගින් ගියාම මිනිස්සු කරන වැරදි පේනවා. සමහරු හෙන පොරවල් වගේ ටී ෂර්ට් බොටම් ගහලා, නයිකි පෙයාර් දාලා, හෙඩ් ෆෝන් අරක මේක ගහලා, වැරදි එක්සයිස් කරනකොට සේරම නවත්වලා ඒවා බලන් ඉන්න හිතෙනවා. සමහරු එක්සයිස් වලට අහවල් වැඩේ කරනවා වගේ එවුවත් කරනවා මෙයා. ඉතිං නිකං ආතල් දෙනකොට බලා ඉඳන් ආතල් එක ගන්නවා ඇර වෙන මොනවා කරන්නද? මම තෝරා ගත්ත බඩ අඩු කරගන්න වෙන ක්‍රමයක්. මම කලින් බඩ අඩු කිරීම ගැන පොස්ට් දෙකක් ලිවුවා. ඒවාට බොහොම ප්‍රතිචාරත් තිබුණා. නමුත් ඊට වැඩ වෙනස් ක්‍රමයකින් මුළු ශරීරයම අඩු කරගන්න මට පුළුවන් වුණා. ඒ ගැන ලියන්නම්. මතක් කලාට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් දකිනවා ඉතින් එහෙම ඈයෝ. එකම දේ උන්ගේ වැරැද්දක් කියන්නවත් ඇහැක් මට්ටමක නෙවෙයි මං ඉන්නේ.
      //සමහරු එක්සයිස් වලට අහවල් වැඩේ කරනවා වගේ එවුවත් කරනවා මෙයා.// :D :D :D :D :D

      //මම තෝරා ගත්ත බඩ අඩු කරගන්න වෙන ක්‍රමයක්. මම කලින් බඩ අඩු කිරීම ගැන පොස්ට් දෙකක් ලිවුවා. ඒවාට බොහොම ප්‍රතිචාරත් තිබුණා. නමුත් ඊට වැඩ වෙනස් ක්‍රමයකින් මුළු ශරීරයම අඩු කරගන්න මට පුළුවන් වුණා// ඒක නම් සෑහෙන්න වටිනවා දිල්රුක්. මොකද බඩෙන් තමයි ඔක්කොම විපරීතවීම පටන් ගන්නේ.

      Delete
    2. පෝස්ටුවට බොහොම ස්තූතියි. වටිනවා. මාත් ඒ ටික කරන්න පටන් ගන්න ඕන.

      Delete
  3. Lankawe sakkili Horunta mona Jogging da? horakam karapiyaw thawa

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. උන්ට ජොගින් කෙරෙයි මහජනයා පස්සෙන් එලෝ එලෝ ගහනවා නම්. කොහෙද ඉතින් අපේ ඈයෝන්ට!

      Delete
  4. හස් බන්ඩ්ට කියන්න මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්‍යායාම ඕන බව. ඒ දෙකටම ව්‍යයාම කරන්න හොඳ තැන තමයි ජිම් එක.

    දේශපාලනය ගැන ලියන තියෙන එකට නම් එකඟයි. සතපහක් හොරකම් නොකර, පවුල් පිටින් හොරා කන්නෙ නැතුව තිබ්බ arseචර්‍යය පාලනේ නැතිකරල බොරු එක්සසයිස් කරමින් හොරාකන කට්ටිය කරන දේට.

    ReplyDelete
    Replies
    1. //"මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්‍යායාම ඕන බව. ඒ දෙකටම ව්‍යයාම කරන්න හොඳ තැන තමයි ජිම් එක."// ඒකට හොඳම තැන දියත උයන , එහෙ ගියාම ඇඟට කෙසේ වෙතත් ඇහැට නං ව්‍යායාම හම්බ වෙනවා ඇහේ පොට යන්නම

      Delete
    2. ඇයි මිනිහෙක්ට විතරක්, ගෑණියෙක්ට වුණත් ඇහැට ව්‍යායාමයක් තියෙන එක හොඳ නැද්ද? :D

      දැන් ඒ තිබ්බ හොරා කෑම නවත්තන්න කියලානෙ මෙයාලව ගෙනාවේ. කොච්චර දියුණුද අපි දැන් කිව්වොත්, බිස්නස් කොට උඩ, රස්සාවල් ඉවරයි, මේ ලියන අපිටත් මාස දෙකකින් පඩි නැහැ! මිනිස්සු අත්‍යාවශ්‍යම දේකට වියදම් කරන්නෙත් ඇඟෙන් ඇටයක් යන ගාණට. කාර් ගාන්න නෙවෙයි තියෙන හුචක්කුත් විකුණන ගාණට ගිහින් තියෙන්නේ!

      Delete
    3. ඉවාන්: අනේ නිකන් හිටින් ගෙම්බෝ. උඹ දියතට යනවා ඇති බඩජාරියා වගේ කාලා එන්න. :P :P

      Delete
  5. ඔය විච්චූරණ නැතිව අපි වගේ බණක් බාවනාවක් කරගෙන හිටියනං ඉවරයි නෙව

    ReplyDelete
    Replies
    1. ආ! අපි දැක්කා උඹ දියතේ ඇන්ටිලා ගොඩක් දිහා බලන් බණ භාවනා කොරනවා :P :P

      Delete
  6. මොනම වියායමයක් වත් නොක‍ර බලපල්ලකො මම නිකං සලමන් ඛාන් වගේ ඉන්නේ.. ඔය ජොගින් බොගින් ඔක්කොම බොරු ජෝකින්.. :)))))))

    ReplyDelete
    Replies
    1. සලමන් කාං කිව්වා?..උඹද එහෙනම් අර අළුත්ම කෙල්ලන්ගේ සිහින කුමාරයා? :P :D

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි සිරිලක :)

      Delete