Wednesday, February 1, 2023

ප්‍රාර්ථනා

 පහන් පත්තු කරන අතර සමහරු ප්‍රාර්ථනා මුමුණනවා, සමහරු හිතෙන් හිතනවා, සමහරු මහ හඬින් කියනවා. පෞද්ගලිකව මම කැමතියි කෙනෙක් තව කෙනෙකුට අවහිරයක්, බාධාවක් නොවෙන විදිහට ආගමික වතාවත් කරනවට. 

පහන්වැට එහා පැත්තෙ සුදුම ඇඳගත්ත, උස ගෑණු කෙනෙක් හයියෙන් හයියෙන් කතා කරනවා. මං මුලින්ම හිතුවේ ප්‍රාර්ථනාවක් කියලා. ඊටපස්සේ හිතුවේ handsfree එකක් ගහගෙන දුරකථන ඇමතුමක වෙන්නැති කියලා. අංකයක් කියනවා, වෙල්ලප්පුලි කියලා නමක් කියනවා. කාටද වැඩට කෙනෙක් හොයන විස්තරයක් කියනවා,ඒ කෙනාට යට ඇඳුම් හෝදන්න වෙන කතාවක් කියලා අසාමාන්‍ය විදිහට හිනාවෙනවා. හරිම කලබලෙන් පහන් වැටෙන් පහන් වැටට මාරුවෙනවා. මං හිටි පහන් වැට එහා පැත්තෙ හිටගෙන මට මුහුණ ලාගෙනත් අර ඒක පුද්ගල සංවාදය දිගටම කරන නිසා පහන්වැට අතරෙන් මාත් විමසුම් බැල්මක් පා කළා. දැඩි මූණක තියෙන ලාවට සුද මතුවේගෙන ආ ඇස්වලින් දැක්කත් නොදැක්කා සේ හිටගෙන හරිම වේගයෙන් පහන් පිළිවෙල වෙනස් කරනවා. එතකොට තමයි මං දැක්කේ ඈ පහන් දල්වලා නෑ, හැබැයි වේගයෙන් එහාමෙහා ඇවිදිමින් පහන් එහෙන් මෙහාට ගේනවා, මෙහෙන් එහාට ගෙනියනවා.

සමහරු ඈත ඉඳන් බලං ඉන්නවා. සමහරු නොදැක්කා සේ මග හරිනවා.
අත් කකුල් කපා දැම්මට මිනීනොමරා ඉඳීද කියලා ආයෙත් මගේ ඉස්සරහින් හිටගෙන ඈ හිනාවෙනවා. එහා පහන් වැටට දුවමින් ඇත්තටම ආදරේ කළේ කියලත් කියනවා. කාවද මරන්න ඕනේ කියලත් අහනවා.

ටික වෙලාවකට පස්සෙ අත් දෙකෙන් පැන් කළ දෙකක් එල්ලගෙන බෝධීන් වහන්සේ ඉදිරිපිට හිටගෙනත් ඒ සංවාදයම කරගෙන යනවා මං දැක්කා.

ජීවිත දිහා ඈත ඉඳන් බැලුවම හරි පුදුමයි නේද? නොමැරෙන මිනිස්සු හැටියට ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවද?

මිනිස්සු ඇත්තටම හරි දුර්වලයි. ඒත් ඒවා එක එක ජාතියේ යකඩ ආවරණ දාලා වහගන්න හදනවා. යකඩ හිල්වෙච්ච, දිරාගිය දවසක අන්ත අසරණ වෙනවා. 

වෙන මොනව කියන්නද තේරෙන්නේ නෑ. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #mentalhealthmatters

4 comments:

  1. Replies
    1. ඔව් ඇත්තටම. ඒත් අපි බහුතරයක් ජීවත්වෙන්නේ ඒ යථාර්ථය අවබෝධ කර නොගෙන

      Delete
    2. හැබැයි සමහර අයට එහෙම ප්‍රශ්න නෑති වෙන්නෙ බැරි ද 🤔

      ඕනි තරම් අය ඉන්නෙ ආතල් එකේ...

      Delete
    3. ඔව් එහෙම ඉන්නව. සමහරවිට නොදැන. සමහරවිට ප්‍රශ්න ගණන් නොගෙන. සමහරවිට ප්‍රශ්න හංගගෙන වෙන්නත් පුළුවන්

      Delete