Sunday, June 30, 2013

ප්‍රේමය හමුවීම

උසම උස තැනක්...ලී වේදිකාවක් උඩ මං මොනව කරනවද? පහළින් මිනිස් ගුලාවක් පේනවා..මොනවද මේ වෙන්නේ, කොතැනද ඉන්නෙ කියල හිතන්න මං උත්සහ ගත්තා. ඉන්න උසත් එක්ක බලද්දි මේ ලංකාව වෙන්න බැහැ වගේ..ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවේ අර ගිනි සිළුව වගේ කොටසෙද මංදා..ඕවා ඉතින් පැහැදිලි කරන්න මං ඔය දේශ දීපංකරවල ඇවිදලා තියෙන එකක්යැ ඉතිං..

ඔන්න එතකොටමයි මං හිටගෙන හිටි තැනම ලෑල්ලක් කඩා වැටුණේ. දැන් අඩිය තියන තියන හැමතැනම පොළොව කඩා වැටෙනවා..පහළ ඉන්න මිනිස්සු ඔල්වරසන් දෙනවා..ඇයි දෙවියනේ, මං මෙතනින් වැටෙන එකද මේ දහස් ගණනකගේ බලපොරොත්තුව? ලී කෑලි අතරින් මට පේනවා සෙනඟ පොදිකමින් බලා ඉන්නවා.. මට උඩින් එකම එක තරු තිතක්වත් නැති කලුවර අහසක්..

තව එහාට මෙහාට වෙන්න ඉඩක් නැතිවේගෙන ගිහිං අසරණව වටපිට බලද්දි එක සැරේටම මට පේනවා මගේ මිත්‍රයා..එයා මොනවද මේ කඩාවැටෙන වේදිකාවෙ කරන්නේ? මම කියන්න උත්සහ කරනවා මෙතනින් යන්න කියලා..ඒත් ඔහු අර සුපුරුදු හිනාවෙන් බලා ඉන්නවා..මුරණ්ඩුකම! අත දුන්නට වැඩක් නෑ, මම ආවොත් ඔයා ඉන්න තැනත් කඩාවැටෙනවා.ප්‍රතික්ෂේපකරන්න ඉඩක් නොලබාම මම එතැන..පුදුමෙකට වගේ ඒ ඉඩ කඩා වැටුණේ නැහැ..ඒත් මගේ හිත එළියට ඇහෙන තරම් තදින් ගැහෙනවා..


දැන් බයක් නෑ කියලා හිතෙද්දිම වගේ මට ඇහැරුණා..

එහෙම්මම අයෙත් ඇස් පියාගෙන මම හිතන්න පටන් ගත්තා මොකද්ද මේ වේදිකා හීනය කියල..මොහොතකට කලින් සාක්ෂාත්වුණ අහිමිවීමක් වේදිකාවෙන් පෙන්නුම් කෙරුණද කියල මට හිතුණා..ලෑලි වේදිකාවක් ජීවිතේ උස තැනකදි ශක්තිමත් පදනමක් වෙන්න බැහැ නේ..පියවරක් පියවරක් පාසා වේදිකාව කඩා වැටුණේ පහුගිය අවුරුදු 8ක 9ක කාලයක් තිස්සේ අත්දකින ජීවිතේ කඩාවැටීම වගේ..

එතකොට, මං එච්චර උස පදනමක් නැති තැනකට ගියේ කොහොමද..ඇයි බලා ඉන්න කාටවත් මාව බේරගන්න ඕනකමක් නොවුණේ..ඇයි වැටෙන්න යන බව පෙනි පෙනීත් මං උදව් නොඉල්ලුවේ...ඇයි ඒ මිනිස් ගුලාවේ ඝෝෂාව මට හරි ප්‍රීතිමත් එකක් විදියට ඇහුණේ..ඒ ඔක්කොමත් හරි, මේ හිතට බොහොම ලෙංගතු මිත්‍රයා කොහොමද ඒ කඩාවැටෙන වෙදිකාවේ කෙළවරකින් හරි අනපේක්ෂිත විදියට මතුවුණේ.. ඇයි මං තනිවම පියවර තියන හැම තැනක්ම කඩා වැටුණත් එතැනදි කිසිම කඩාවැටීමක් නොවුණේ..

ඔය හිතුවිලි දහස්ගණනක් අතරේ අතරමංවෙලා ඉඳලා ගිහිං මූණුපොතට එබුණේ හරි හිස්බවක් එක්ක තාමත් අර උස වේදිකාවේ ඉන්නවා වාගේ චකිතයක් හිතට දැනුන නිසා..මිත්‍රයා ඉන්නවා කොළපාටින් බැබළි බැබළි..

මගේ හීනය පිස්සුවක් කියලා හිතාවිද?..ඒත් මට විශ්වාසයි ඔහු මගේ අසාමාන්‍ය හිතුවිලි උපේක්ෂාවෙන් ඉවසනබව.. මේ වගේ මොහොතක ජීවිතේට එහෙම හිනාවක් ගේන්න පුලුවන් කෙනෙක් ඉන්න එකත් ලොකු දෙයක්..නැත්නම් කඩදාසි ගුලියක් වෙලා අවුරුදු 6ක intermittent ප්‍රේමයකින් එළියට විසිවුණ මට පැවැත්ම ගැන කවර කතාද?

මිත්‍රයා අහනවා "උඹ දකින්න හිටිය කොල්ලව පෙණුනේ නැද්ද" කියලා.."කොහේ පේන්නද,උඹ මගේ හීන invade කරලා..දැං ඉතින් මේ හීනවලින් එළියට ඇදලා දාන්න වෙන්නේ පිස්කල් බලය පාවිච්චි කරලා...මොකද උඹ අයිති මගේ කඩාවැටෙන වේදිකා හීනවලට නෙවේ, සිඩ්නි ඔපෙරා රඟහල වගේ සුන්දර හීනෙකට.."

පසුබිමින් නන්දා මාලනිය ගයනවා, "රුවල් ඉරී ගිය නෞකාවේ.."

2 comments:

  1. අලේ.... මෙයාටත් හිතෙන දේවල්... හික්... හික්...
    සිඩ්නි ඔපෙරා රගහල වගේ ඒ සුන්දර හීනේ සැබෑවක්ම වෙන්න කියල පතනවෝ...... ! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනළී :)

      Delete