බොහොම කාලයකට කලින් ලිව්ව නිසඳැස් කවි ටික නැතිවෙලා තදබල දුකකින් පෙළෙමින් ඉන්දෙද්දි තමා බ්ලොග් එකක් පටන් ගැනීමේ අදහස ආවේ.මුළු ගෙදරම පෙරළමින් හෙව්වත් හොයාගන්න බැරිවුණා තාමත් ඒ පොත් ටික. මමත් ඉතින් කපුටා හංගන්නා වාගේ මගේ අචේතනික දේපල හංඟන නිසා හොයාගන්න එකත් පුදුම ලේසි වැඩක්!
හැබැයි මම දැන් හිත හදාගන්න උත්සහ ගන්නවා හැමදෙයක්ම සිදුවෙන්නේ හේතුවක් ඇතුව කියලා.අවුරුදු ගණනාවක් ප්‍රාණ සමානව රැකගත් දෙයක් නැතිවීම නිකන් ජීවිතේ එක යුගයක් අවසන අළුත් යුගයක් පටන් ගැන්ම හා සමානයි කියල ධනාත්මකව හිතීමෙන් මම දුක නිවාගන්න උත්සහ කරනවා.ඒත් ඉතින් හැමදාම වාගේ අකීකරු හිත තාම ඒ බව පිළිගත්තේනම් නැහැ. බලමුකෝ ඉතින්.
මම ඉස්සෙල්ලාම කවියක් ලිව්වේ 8-9 වසරේදී. ඒ කාලේ සෑහෙන නාට්‍ය කලා උණක් තිබ්බත් කාලයාගේ ඇවෑමෙන් ඒ කලා උණ විභාගවලට යටවුණා. ඒත් මගේ කොහොමත් විරහවට ප්‍රේම කළ හිත ඇතුලේ ඒ උණ සදාකාලික වුණ බවට තිබ්බ ලොකුම සාක්ෂිය තමයි ඔය නැතිවුණ සහෘදයෝ ටික.
9 වසරේදි තමයි මගේ උණ අඳුනාගත්තු ගුරුතුමී හමුවුණේ. ඈ අපේ පංතිභාර සහ සිංහල විෂය උගන්වපු නන්දා අධිකාරී මහත්මිය.අවුරුදු 3ක් මගේ සිංහල සාහිත්‍ය විචාර, රචනාවලට අභියෝගයක් තිබුණේ නැහැ. එතුමියට මම ස්තූතිවන්ත වෙන්න ඕන ප්‍රධානම හේතුව මගේ කියවීමේ පෙරේතකම අම්මට පහදල දීම.මොකද මම කෑම කද්දිත් , රෑ නින්දට ගියාම එලියේ පත්තුවුණ ලයිට් එළියෙනුත් පොත් කියවීම අපේ අම්මටත් තාත්තාටත් මහ හිසරදයක් වෙලයි තිබුණේ.මගේ සමහර පොත්පත් රාජසන්තක වුණ අවස්ථාත් එමටයි. එක දෙමව්පිය රැස්වීමකදී ඔය කතාව ඇදිල ඒමෙන් අපේ විධායකයට අකමැත්තෙන්වුණත් ඊට එකඟ වෙන්න සිදුවුණා.
කියවීමේ පෙරේතකම මා තුළ වැපුරුවේ මගේ සීයා.මා බලන්න එන හැමදාකම ඔහු පොතක් සහ නවයුගය සඟරාවක් ගෙනාවා. ශේක්ස්පියර්ගේ, චාල්ස් ඩිකන්ස්ගේ සහ තවත් ඉංග්‍රීසි කතුවරුන්ගේ පොත් මා ලවා කියවමින් තේරුම් පැහැදිලි කලා. සීයා මා වෙනුවෙන් කළ දේවල් කියන්නට වෙනම ලිපියක් ඕන.ඒත් මේ මොහොතේ මතක් කළ යුතුම කෙනා මගේ සීයා.
ඉතින් මේ සියල්ල ලෝකේට ගෙනියන්න පෙරුම්පුරන තවත් කෙනෙක් ඉන්නවා.ඔහු මගේ ප්‍රාණසම මිත්‍රයා සහ ජීවිතය.බ්ලොග් එකක් පටන් ගැන්මේ අදහස මතුනොවුණ පැළයක් වගේ මගේ යටිහිතේ ගැඹුරක වැළලිලා තියෙද්දි ඊට විවරණ දුන්නේ ඔහුයි. ඒ නිසා 'කුෂී' මේ සියල්ල පසුපස නොපෙනෙන ශක්තිය.
බලමු, තව බොහෝ දුරක් යන්නට හීන තියෙනවා. හීන හෙමිහෙමින් හැබෑ කරගනිමින් යමු නේද අපේ ගමන?
බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න ශක්තිය, ධෛර්ය ලැබෙන්න කියල මං පතනවා....!!!
ReplyDeleteජය වේවා....!!!
ෆලෝ ගැජට් එකකුත් එල්ල ගත්තනම් හොදයි කියල හිතෙනවා....
අනික word verification අයින් කරන්න. කමෙන්ට් කරන්න ගියාම හරි අමාරුයි නැත්තම්....
Deleteසමනළීගේ බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො හෙමිහෙමින්. :)
Deleteඇත්තටම හොද අදහසක්.ඇතැම් මිනිසුන් පාර පෙන්නන්නේ බාර් එකකට,සමාජ ශාලාවකට,එහෙමත් නැත්නම් ගණිකා මඩමකට යන්නෙ කොහොමද කියලයි.ගැහැණු අයටත් එහෙමයි. විශේෂයක් නෑ. නමුත් මල්ලී, නංගී, මෙන්න මේ වගේ නිර්මාණ බිහිවෙන තැනක්,කියවන්න පුළුවන් ලියන්න පුළුවන් තැනක්ි තියෙනවා කියල කියන්නේ එහෙමත් මිනිස් කොට්ඨාශයක් විතරයි.මේක හොද දෙයක් වටිනා දෙයක්ය කියලා කාන්සිය මාන්සිය මකාගන්න පුළුවන් දෙයක් කියලා කියන්න ඉන්නෙ අතලොස්සයි. නුඹේ දැනුම,නිර්මාණ ශක්තිය පාඨකයාට ගෙනහැර පාන්න පැමිණි ඔබට ගොඩාක් ස්තූතියි.දිගාසිරි .
ReplyDeleteනිර්මාණය අගය කළාට බොහොම ස්තූතියි. :)ඔව් අද සමාජයේ බොහොම විරල හොඳ මගපෙන්වීම තමයි.ඉදිරියටත් වැරදි අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න. :)
Delete