Thursday, November 28, 2013

කල්‍යාණ මිතුරිය

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමට පූර්ව කුසල කර්මයක් තිබිය යුතුයැයි කියැවේ.ඒ එසේ නම් එවන් කළණ මිතුරියක ලැබීමට තරම් මම පින් කර ඇත්තෙමි.ඒ රවියාය.රවියා කියා ආදරේට කීවාට ඈ රවි අක්කාය.

මේතාක් ජීවිතයේ මට හමුවූ නානාවිධ මිනිස් සත්වයන් අතර ඈගේ සුවිශේෂී බවක් වෙයි.ඊට හේතුව, කලාතුරකින් මිනිස් ජීවියෙකු කෙරෙහි පිහිටන ගුණාංග ඈ තුළ තිබීමය.

රවි අක්කා මට පළමුව හමුවන්නේ වැඩිමල් සොයුරියක් නැතහොත් සීනියර් අක්කෙක් ලෙසින්ය.ඈ මට මිතුරියක බවට පත්වන්නේ 2008 වසරේ අග භාගයේය.එදා සිට අද දක්වා ඒ මිත්‍රත්වය නොවෙනස්ය.

මා පළමුවද සඳහන් කළ පරිද්දෙන් බොහෝ දෙනෙකු තුළ නොමැති අපූර්ව ගුණංග ඈ තුළ වෙයි.පළමු කාරණය අවංකත්වයය.රාජකාරිය දේවකාරිය ලෙස සලකන සහ ඊට අවංක කැපවීමක් දක්වන මා දන්නා කීපදෙනාගෙන් ඈ එකෙකි.ඒ තුළ ඇයට ලැබිය යුතු සමහරක් දේ අහිමිවුවත් ඒ කැපවීම නොවෙනස්ය.ටෙලිකොම් ඉතිහාසයේ මා දන්නා අතීතයක වචනයකින් හෝ වර්ජන, දේශපාලන,ගොටු කලාව,කේළම්, වංචා ආදී එකී මෙකී නොකී විවිධ අකටයුතුකම්වලට ඇගෙන් ලැබුනු කිසිදු දායකත්වයක් නැත.

ඈ තරම් අවංක වෘත්තිකයෙකු මගේ වෘත්තිමය ජීවිතයේ දැක නොමැත්තා සේම මිත්‍රත්වයකට ඈ තරම් අවංක වන්නෙකු මට මේතාක් හමුවී නැත.ගැහැණියකගේ සංවේදීත්වය, ශක්තිමත්බව සහ යහපත්කම පිළිබඳව මට ඇති උදාහරණ කීපයෙන් එකක් රවි අක්කා වන්නීය.

මේ ලියන්නේ ඒ මිතුරුකමේ අඩුව තදින් දැනෙමින් පවතින මොහොතකය.රැකියාව මාරුවූ පසුව කාර්යබහුලකම මැද සන්නිවේදන ගැටළු පැන නගී.කාලෙකට කලියෙන් ඊලිපියකින් කියැවුණා සේම යහළුකම් ඈත්වන්නේ සන්නිවේදන ගැටළු නිසාය, කාර්යබහුලකම නිසාය.නමුත් ඒ අතින් බලන කල මට ඒ කළණ මිතුරුකම අහිමිවී නැති බව මා කියන්නේ ආඩම්බරයෙනි.

රවියා මට සලකනුයේ ඇගේම සොයුරියකට වාගේය.මටද ඇය එක මව්කුස නූපන් සොයුරියක වන්නීය.ඒ ලබැඳියාව නිසාම කලාතුරකින් මිතුරියක කරනා පරිද්දෙන් ඈ මගේ සතුට දියුණුව ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන්නීය.නොයෙකුත් කාරණා සම්බන්ධව සමහරවිටෙක මත ගැටුම් ඇතිවුවත් ඈ තුළවන ඉවසීම සහ දයාර්ද්‍රබව ඒ සියල්ල ඉවත දමවාලන්නට සමත් විය.ජීවිතයේ කොතරම් දුෂ්කර අවධියක් වුවද ඒ තුළ වෙස්වළාගත් ආශිර්වාදයන් ඇත.මගේ මිතුරිය එවන්නකි.කැපිලි කෙටිලි රාශියක් මධ්‍යයේවුව නොසැලෙන්නට මා දිරිමත්කළ ඒ ආශිර්වාදය රවි අක්කාය.කීපවිටක්ම ලියැවුණා සේම නොඉවසන, රත්වන තරුණ ලෙය ඉවසීමෙන් අස්වසාලන්නට (සමහරවිටෙක බැනුම්ද අසමින්) ඈ කටයුතුකළ ආකාරයට සමහරවිටෙක එක කුස උපන්නෙකුවුව නොකරනු ඇතැයි මට සිතේ.

පුහු ආටෝපයෙන් පිරුණු ලෝකයක රවියා මහ පොළොව මත පය ගසා සිටින, ඇත්ත ඇති සැටියෙන් දකින, කිසිවෙකුට වාල් නොවූ සෘජු අදහස් ප්‍රකාශකිරීමේ හැකියාවක් සහිත දුලබ මිනිස් ජීවියෙකි.රවි යනු හිරුය.ඈත් එක්තරා ආකාරයකින් සූර්යයෙකි.අපගේ මිත්‍රත්වයට හේතුවන්නට ඇත්තේද අපගේ අදහස්වල බොහෝ දුරට සමානාත්මතාවයක් තිබීම විය යුතුය.එසේ වුවත් ඈ  තුළවන දුර්ලභ ගුණාංගයන්ගේ මට්ටමට මට වුව ලඟ විය නොහැකිය.

රවි අක්කාගේ යහපත් ඇවතුම් පැවතුම් සේම ආකල්පයන් සමහරවිටෙක සෙස්සන් තුළ නුරුස්නා බවක් ඇතිකළේය.හේතුව ඒ තුළවන නිරායාසයෙන් ප්‍රකාශිත අවංකත්වය සහ කැපවීම විය යුතුයැයි මම සිතමි.එවන් විටෙක මගේ ලෙය රත්වන නමුත් ඈ පුදුමාකාර ඉවසීමකින් සහ උපේක්ෂාවකින් ඒවාට මුහුණ දුන් හැටි අදටත් මගේ සිතේ පුදුමයක් සහ භක්ත්‍යාදරයක් ඇතිකරවයි.

අවසාන කාලයේ විවිධාකාර 'අහේතුක' ඝට්ටන මැද, රාජ උදහසට නොබියව මා අත්නොහැර සිටියේ තිදෙනෙකි.ඒ රවි අක්කා, හංසි සහ සතී ය.මා පාගාදමන්නට ඕනෑවූ කල ඔවුහුද නිරායාසයෙන් පෑගීමට බඳුන් වූහ.නමුත් ඔවුහූ වෙනස් නුවූහ.ඒ වෙනුවෙන් මම ඔවුන්ට හිත් පත්ලෙන්ම කෘතඥ වෙමි.

අක්කායැයි කීවද විශාල වයස් පරතරයක් නැති අප අතර ඒ මිත්‍රත්වය සුන්දරය.අලුත් රැකියාවට ගිය මුල් දිනවල ඒ මිතුරුකමේ අඩුව සෑහෙන්නට දැනිණි.ඇයටත් එසේම දැනෙන්නට ඇත.

 එකල මට දවාලට බත් ගෙන ආවේ රවියාය.බත් 2ක් ගෙන ඒමේ තේරුමක් නැතිබවට තීරණයවූයේ මගේ බත්පතෙන් බාගයක් හැමදාකම කුණුබාල්දියට හැලෙන නිසාය.පැණිරස කන්නට උපන් හපන් රවියාට මම සීනි රහිත තේ සහ ග්‍රීන් ටී බීමේ රෝගය බෝ කළෙමි.නමුත් ඒ තේක බොන්නට ඈට සිය සැරයක් පමණ මතක් කළ යුතුය.ඈ ග්‍රීන් ටී බොන්නේ අරිෂ්ට බොන්නා වාගේය.එපාම වූ දවසට අදට විතරයි කියා පහළ කැන්ටීමේ රස කිරි තේක බොන්නටැයි යෝජනා කරන්නේය.සැබැවින්ම රසවත් ඒ මතක මේ මොහොතේත් මගේ මුවඟට සිනහවක් ගෙන එන්නේය.

රවි අක්කේ, පටු පරමාර්ථ මුල් කරගනිමින් බහුතරයක් මිත්‍රත්වයන් ඇතිකරගන්න ලොවක නුඹේ වැනි මිත්‍රත්වයක වටිනාකමකට මිනුම් නැත.මගේ ප්‍රාර්ථනය මේ දුර්ලභ යහපත් ජීවිතයට හැමදා සතුට සැප සහ සාර්ථකත්වය ලැබෙන්නටය කියාය.
නුඹ වැනි මිනිසුන් මෙලොව දුලබය.සදා ජය!

---
පසු සටහන :

මේ පෝස්ටුව ලියූ පසු පළකිරීමට මත්තෙන් මම රවි අක්කාට ඊයක් යැව්වෙමි.එවන් සටහනක් සාමාන්‍යයෙන් කෙනෙකු වෙනුවෙන් තැබෙනුයේ ඒ පුද්ගලයාගේ මරණින් පසුව බව සඳහන්කොට තිබූ පිළිතුරු ලිපිය සැබැවින්ම සංවේදී විය.:( කෙසේවුව නුඹ ගැන කිවයුතු සියල්ල මෙහි නැත.නමුත් සුළු හෝ සාධාරණයක් කරන්නට මේ සමත්වෙතැයි සිතමි.:)

8 comments:

  1. ඔබ හරි තනි තරැවේ! මේ විශම ලෝකෙයේ රවි අක්කා වැනි උත්තම ගණයේ මිනිසුන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමාණයකි. එයිනුත් වැඩි හරියක් වැඩිකල් අප අතර සිටින්නේ නැත. දිවෙන් දිව ගාගෙන සිටියත් මිනිසා කියන සතා හඳුනාගත නොහැක. බොහෝ විට අපේ සුරතල් සුනඛයා ලඟ මිනිසුන්ට නැති බොහෝ ගුණ ඇත්තේය. ඒ කෙසේ වෙතත් රවි අක්කාට මගෙත් ආදර සුභ පැතුම් එක් කරමි!!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මිනිස් සත්වයා තරම් සංකීර්ණ සත්වයෙක් ලොව නැත.ඒ අතින් බලන කල සුරතල් සුනඛයින් තුළ බොහෝ සුන්දර ගුණාංගයන් වෙයි.:)බොහොම ස්තූතියි ඔබේ සුභ පැතුමට!:)

      Delete
  2. රවි අක්කා වැනි අය ආශ්‍රය කිරීමට ලැබීම ඔයාගේ වාසනාවක් වෙන්න ඇති...ඔය තරම් සොඳුරු මිනිසුන් මට නම් හමු වන්නේම නැති තරම්..ඇයිද මංදා... :D

    ඇයගේ අනාගතයට මගෙනුත් සුභ පැතුම්...........!

    ReplyDelete
    Replies
    1. ඇත්ත රෙහානි..මටත් එහෙම මිනිස්සු මුණගැහිලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්..ඇත්තටම ඒ වගේ මිනිස්සු හමුවීම වාසනාවක් තමයි. :) සුභ පැතුමට බොහොම ස්තූතියි..! :)

      Delete
  3. අපි ද එලෙස ම පතමු. මක් නිසා ද යත්, එවැනි පුද්ගලයන් මේ සමාජයේ බෙහෙවින් දුලබ බැවිනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි..සත්තකින්ම ඔවුන් වඳවී යන ජීවි විශේෂයක් වාගේ :)

      Delete
  4. රවි අක්කා තාම බැඳල නැද්ද ? සාමාන්‍යයෙන් බැන්ඳට පස්සෙ මිතුරුකම් දුරස් වෙනවා. එහෙම නොවෙන්නෙ නම් අන්න කල්‍යාන මිත්‍රයො :)

    ReplyDelete
    Replies
    1. බැඳලා, අවුරුදු 7ක විතර දුවෙකුත් ඉන්නවා :) ඔව් යසිත් කියනවා වගේ එහෙම වෙනස් වෙච්චි යාළුවොත් මට ඉඳලා තියෙනවා.බැන්ඳම නෙවෙයි යාළුවුණාමත් එච්චර කල් හිටි යාළුවෝ අමතක කරපු අය ඕනිතරම්.:/ මක් කොරන්ටද නේද? එහෙම තමයි ලෝකේ හැටි.

      Delete