Saturday, July 26, 2014

දිල් පීචං ක්‍යා හේ - 4වෙනි කොටස

3වෙනි කොටසට

16වෙනි රූප රාමුව:
ශිම්ලාවල දුරකථන කුටියක්..රාජ් වෙව්ලන ඇඟිලිවලින් නොම්මරයක් ඩයල් කරනවා..එයා ඉන්නේ බොහොම කලබලෙන්...කුටියට පිට පැත්තෙ පවුලූෂා හේත්තුවෙලා චුයිංගම් එකක් හප හපා කෙවිටක් වනවන වටේ පිටේ යන කෙල්ලොන්ට පැණි හලහලා ඉන්නවා...රාජ් වරද්ද වරද්ද ඩයල් කරනවා..ඇතුළෙන් කිසිම සද්දයක් නැති නිසා පවුලූෂා දුරකථන කුටියේ දොර ඇරලා ඇතුළට එබෙනවා..

"අරේ යාර් මොකද වෙන්නේ?"

"මං මේ ඩයල් කරනවා..උඹ පලයංකෝ..ආවා මෙතන එබෙන්න..චුප්.." රාජ් පවුලූෂාගේ ඇඟට කඩං පනිනවා..ඒකා නෙවෙයි වගකටවත් ගන්නේ..මොකද එයා දන්නවා අපේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා වෙන වෙලාවට වීරයා වුණාට දැන් නම් අම්බානෙක බයවෙලා ඉන්නේ කියලා...ඉතිං එයා කරුණාව ඉතිරි පැතිරී ගිය හදවතින් යුතුව ටෙලිෆෝන් එක උදුරලා ගන්නවා..

"මෙන්න මෙහෙ දියං...නොම්මරයක්වත් ඩයල් කරගන්න බෑ මෙතන.."

"අනේ මේ.." කියද්දිම පවුලූෂා ඩයල් කරපු නොම්මරේ රිං වෙන්න ගන්නවා...

"ෂ්!! රිං වෙනෝ" රාජ් ටෙලිෆෝන් එක උදුරනවා..ගන්න හම්බවෙන්නේ නෑ...

එතකොටම තිරය අකුණක් ගහලා වගේ දෙකට බෙදිලා අනික් පැත්තේ කොටසෙන් පෙන්නනවා මේසයක් උඩ තියන සිරා අයිෆෝන් ෆයිව් එකක් රිං වෙනවා..ලස්සන දිඟ ඇඟිලි තියෙන අතක් ඒක ආන්ස්වර් කරනවා...

පවුලූෂා හෙන ඇඩ් එකක් දාලා කොණ්ඩේ බම්ප් එක හද හදා ඉලන්දාරි පාර්ට් එකක් දාගෙන ඉන්නකොටම එහා පැත්තෙන් ආන්ස්වර් කරනවා...

"හ..හලෝ..ස..සප්නා ජීට කතා කරන්න පුළුවන්ද.."

රාජ්ගේ එක්සයිට්මන්ට් එක වැඩිවෙලා බඩ රිදෙන්න ගන්නවා..එයා දුරකථන කුටියේ දොරට හේත්තුවෙලා ඇඹරෙන්න ගන්නවා...

එහා පැත්තේ පේනවා සප්නා තමයි ආන්ස්වර් කලේ කියලා..එයා උත්තර දෙනවා 'ඔව් සප්නා තමයි.. කවුද මේ?"

දැන් පවුලූෂා රාජ්ට දිහා බලල ටපල ටපල කියනවා.."අක්කේ මම මේ ශිම්ලාවල පවුලූෂා කතා කරන්නේ..මතකද අර ජර්සි කඩේ රාජ්ගේ යාළුවා..අර අර..."
රාජ් පවුලූෂාගේ කරේ එල්ලිලා රිසීවරේ අනික් පැත්තට කණ තියන් අහන් ඉන්නවා..මේකා රාජ්ව තල්ලු කරලා රවනවා...

සප්නාට හිනාවක් යනවා පේනවා..ඒවුණත් දෙන්නම් දොඩං කියලා මූණ හදන් අහනවා.."කවුද පවුලූෂා? ජර්සි කඩේ රාජ්? කවුද ඒ?"

මේ පැත්තේ පවුලූෂගේ මූණ බෙරිවෙනවා...

"අ..අක්කේ ඇයි ..ඇයි අර..රාජ්..ඔයාට රතුපාට ජර්සියක් විකිණුවේ..කඩේ..රා..රාජ්..ඔයා ලිස්සලා වැටුණේ...එයා ඔයාව බේරගත්තේ..රාජ්..එයාගේ යාළුවා..මං පවුලූෂා..ම..මතක නැද්ද ඔයාට..අර නොම්මරේ දුන්නේ..." එයාගේ මේ අසරණ තාලේ විස්තර කිරීම අහල සප්නාට දුක හිතෙනවා..

එයා එහා පැත්තේ ඉඳන් කියනවා..
"හරි හරි ළමයෝ...මම දන්නවා..විහිළුවක් කලේ කියලා.."

ඉතින් එතකොට පවුලූෂා සැනසුම් සුසුමක් හෙලලා නගරං හිනාවක් දාලා රාජ්ට නෝණ්ඩි බැල්මක් දාලා සප්නා එක්ක කදයක් දාගෙන ඉන්නවා...රාජ් ෆෝන් එක උදුරනව උදුරනවා මූ දෙන්නේ නෑ...හරියට උගේ කෙල්ලට කතා කරනවා වගේ කොණ්ඩේ හද හද මුකුළු පානවා දැකලා රාජ්ට මල පනිනවා...රාජ් පැනලා පවුලූෂාගේ කොණ්ඩේ අදිනවා..

"අ..අක්කේ අක්කේ..රාජ් අයියට දෙන්නම්...මට ගහනෝ...බච්චාවෝ..." කියලා කෑ ගහන ගමන්ම එය ටෙලිෆෝන් එක රාජ්ට දෙනවා...

එහා තිර කොටසේ සප්නාගේ මූණේ පෙම් හිනාවක් ඇඳෙනවා...

රාජ්.."හ..හලෝ..." කියලා ලොකු කෙළ ගුලියක් ගිලිනවා..එයාගේ බකුසු ඇස් තවත් ලොකුවෙලා උගුරු ඇටේ ඉහළ පහළ යනවා..
පවුලූෂා අවුල් කරපු තමන්ගේ කොණ්ඩේ හදාගෙන බීරාන්තවෙලා කෙළ ගිල ගිල ඉන්න රාජ්ට මැද ඇඟිල්ල පෙන්නලා ගසා බසා දාල එළියට ගිහිං බුම්මං ඉන්නවා..

"රා..ජ්..මාව මතක් වුණාද ඉතිං.."

"මතක් වෙන්න අමතක වුණේ නෑ සප්නා..."

සප්නා කොමළ හිනාවක් දාගෙන මේසෙ හූරනවා...රාජ් ටෙලිෆෝන් එක කොනිත්තනවා...ලණු දෙකක් වගේ දෙන්නම ඇඹරෙනවා...

"රා..ජ්..මාව බලන්න එන්නේ නැද්ද..."

රාජ් ආයෙමත් තඩි කෙළ ගුලියක් ගිලිනවා..."මම..ඔහේ එන්න?..කොහොමද..? "

"අයියෝ! කොහොමද කියන්නේ...ඔයා පාර දන්නේ නැද්ද...? හරි හරි ඔයාට මාව බලන්න ඕන නෑ නේ..එහෙනම් එන්න එපා.." සප්නා බොරු තරහක් මවාගන්නවා...

"රාජ් කලබල වෙනවා..පුදනකොටම කාපි යකා වගේ පළවෙනි දවසෙම කෙල්ලව තරහා කරගන්න ඕන නෑ නේ...

"නෑ ..නෑ...මම එනවා..මම එනවා..කොහොමහරි එන්නම්.."

"හරි එහෙනම් දිල්ලිවලට ඇවිත් මට කෝල් කරන්න..දැන්මම එන්න...මම බලං ඉන්නවා..."

රාජ්ගේ ඇස් දෙක කාටූන්වල වගේ එළියට පනිනවා.."දැ..දැන්මම?.."

"ඔව් දැන්මම!" සප්නා මුරණ්ඩු හඬින් කියනවා..

රාජ් බයවෙලා "හරි හරි මම එනවා" කියලා ෆෝන් එක කට් කරනවා...

දුරකථන කුටියෙන් එළියට එනකොට පවුලූෂා මූණ එල්ලං අහක බලං ඉන්නවා..

"ඒයි!" රාජ් කරට අතදාගත්තම ඌ අත ගසා දානවා...

"අරේ...මචං අපි දැන් දිල්ලි යනවා දිල්ලී.." 

අන්න එතකොට පවුලූෂාට මාර හිනාවක් යනවා..එය දැනගන්නවා වැඩේ ගොඩ කියලා..

"සච්චා? දිල්ලි..අරේ දිල්ලි!! අපි එනෝ!!" පවුලූෂා රාජ්ගේ කරේ එල්ලිලා කෑ ගහනවා..

"මේ ඕයී..හැබැයි ඒ උඹේ නෑනා හරී..නිකං මනමාල පාර්ට් දාල අහුවෙන්න එපා" කියලා රාජ් තර්ජනය කරනවා..


17වෙනි රූප රාමුව:
දැන් සිංදුවකට යනවා..

ඒක කුළුදුල් ප්‍රේමවන්තයෙක්ගේ හැඟීම් වචනවලින් කියනවා..ආදරී පෙරමග බලනවය..මම ලෝකේ එහා කෙළවර සිට ඔබ බලන්නට එනවය..ඔබේ රුව සිහිනෙන් මට පෙනෙනවය...මට කන්න බැරිය බොන්න බැරිය රෙන්න බැරිය...ඔබ ගියදා පටන් ජීවිතය හිස්ය...ඔබ දකින තුරු මට හුස්ම ගන්ට බැරිය, වීස් එක ඇදුමට පත්වෙලාය...ඔබ සිහිවෙනවිට මගේ හද ගැහෙනවය..නෙතට කඳුළු එනවය..නහය හොටු පෙරනවය..වෙන කෙනෙකුට නම් හද දෙන්නට එපාය...අම්මපා මම කෝච්චියට පනිනවය..බ්ලා බ්ලා...
(මේ ගී පද රචනා කැමති කෙනෙක් ඉන්නවානම් ඉදිරිපත් කරන්න පුළුවන් හරිය?)

ඒ රොමාන්තික ගීතය වාදනයවෙන අතරතුර පෙන්නනවා, රාජුයි පවුලූෂයි ඇඳුම් මළු 2කුත් අරන් රාජ්ගේ ගෙදරින් පිටවෙනවා..ඉතාමත්ම හැඟීම්බර විදියට පපාජි රාජ්ට සමුදෙනවා...එයාව දිරිමත් කරන සුළු තට්ටුවක් දාලා යන්න කියනවා..ඒ දෙන්නා ඇවිත් කෝච්චියකට ගොඩ වෙනවා..කෝච්චිගමනට උදේ වෙනවා රෑ වෙනවා...පවුලූෂා කෙළ පෙරන් නිදියන අතරේ රාජ් කවුළුවෙන් ඈත බලන් හීන දකිනවා..තනියම හිනාවෙනවා...සප්නා එක්ක ඇට්ටේරියා ගහක් වටේ නටන හැටිය මැවෙනවා..ඇට්ටේරිය ගහ වටේ නටද්දි හුළඟට රෝස පෙති ගහන් ඇවිත් එයාලව වහගන්නවා...ටිකකින් රතු පාට රෝස පෙති ගොඩක ඒ දෙන්න වැතිරිලා ඉන්නවා..සප්නාගේ කොණ්ඩෙන් රාජ්ගේ මූණ වැහෙනවා...කොණ්ඩේ අහකට කරල යන්තම් මූණ හොයාගෙන කුළුඳුල් හාදුව දෙන්න යද්දිම පවුලූෂා තේ වීදුරුවක් අරන් රාජ්ගේ මූණ ඉස්සරහ විරිත්තන් ඉන්නවා..රාජ් හාදු දෙන්න උල් කරගත්තු කටේ කුණුකෙළ ටික පිටි අල්ලෙන් පිහලා තේ වීදුරුව එක උගුරට බොනවා..හිස් වීදුරුව පවුලූෂාට දික්කරලා ආයෙත් හාදුව දෙන හීනේ ඉතුරු ටිකට එන්ටර් වෙනවා...

ගීතයේ අන්තිමටම ඒ දෙන්නා දිල්ලි ස්ටේෂමේන් බැහැලා එළියට එනවා..එළියේ අර පරණ ජීප් කට්ටට හේත්තුවෙලා සප්නා බලං ඉන්නවා..අර ලොල්ලා වගේ යාළුවත් ඉන්නවා..

රාජ්ව දැක්ක ගමන් සප්නා වෙඩි වැදුණු වල් ඊරියෙක් වගේ පිම්මට පැනගෙන ඇවිල්ල රාජ්ව බදාගන්නවා..ඒ පාරට බිරන්තට්ටුවෙන රාජ් ටික වෙලාවක් අසිහියෙන් වගේ බලන් ඉඳලා හිමීට සප්නාගේ බඳ වටා දෑත් යවලා ඈව තුරුල් කරගන්නවා..සප්නා කෝච්චි ගමන පුරාවටම දත් මැදලා මූණ හෝදලා ඇඟ හෝදලා නැති රාජ්ගේ දාඩිය සුවඳින් මන්මත් වෙලා එයාගේ ඔළුවයි උරිස්සයි අතරට මූණ තදකරන් ඇස් පියන් "අයි ලව් යූ රාජ්" කියලා කොඳුරනවා...රාජුත් වහගෙන හිටි ඇස් කරන්ට් එකක් වැදිලා වගේ එක සැරේම ඇරලා "අයි..අයි..ලුව් යූ ටූ සප්නා" කියලා සප්නාගේ කොණ්ඩෙට ලාවට හාදුවක් දීල එයාව තවත් තදින් තුරුල් කරගන්නවා...පවුලූෂා විසිල් එකක් ගහලා ජයග්‍රහණය සමරන අතරේ ලොල්ලා කඳුළක් පිහලා හිනාවෙනවා...




18වෙනි රූප රාමුව:
පොඩි ලස්සන පිරිසිදු පාට ෆ්ලැට් එකක්...සප්නා රාජ් පවුලූෂා අර සප්නාගේ යාළු ලොලු කොල්ලා එක්ක ඇතුල්වෙනවා..

"ඔන්න රාජ්, ඔයාල දෙන්නට මේ රොකීගේ ගෙදර ඉන්න පුළුවන් මේ ටිකේ.." කියලා එයා කියනවා...රාජුයි පවුලූෂායි මැජික් වගේ ඇස් ලොකුකරන් ඒ ගෙදර ඕපාදූප බලනවා..ඒ අතරේ රොකී රාජ්ලට එයාලගේ කාමරෙයි බාත් රූම් එකයි පෙන්නලා කියනවා චේන්ජ් එකක් දාගෙන එන්න කියලා...

සප්නා ඒ ගෙදර බැල්කනියට වෙලා පාර බලං ඉන්නවා...එයාගෙ අතේ රතුපාට මග් එකක දාපු කෝපි එකක් තියෙනවා...එහෙම ඉන්නකොට එක සැරේම හැඩිදැඩි ඒත් සුකොමළ අතකින් එයාගේ ඇස් වැහෙනවා..එයා ඒ අත අල්ලගෙනම අනික් පැත්ත හැරිලා රාජ්ව බදාගන්නවා..

"රාජ්.."

"හ්ම්ම්?"

"මාව ශිම්ලාවලට අරන් යන්න...මට බෑ මෙහෙ ඉන්න.." සප්නා බිඳුණු හඬින් කියනවා..

"ඒ ඇයි සප්නා? අපි ඔයාලගේ අම්මටයි තාත්තටයි කියලා අවසර අරගමු.."

සප්නා මේ මොන ගොන් තැම්බක්ද කියන්නා වගේ රාජ්ගෙන් ඈත් වෙලා අත්දෙක බැඳගෙන අහක බලාගන්නවා...

"ඇයි සප්නා..මොකද මේ..?"

"මුකුත් නෑ..ඔයා දන්නේ නෑ රාජ් අපේ ඩැඩා කවදාවත් මේකට කැමතිවෙන්නේ නෑ...ඒ මදිවට එයා මාව වෙන කාටද බන්ඳලා දෙන්න හදනවා..ඒ මිනිහා මේ සෙනසුරාදා මාව බලන්න එනවා...මට බෑ රාජ් වෙන කෙනෙක් බඳින්න ..මට බෑ..." කියලා එක හුස්මට කියාගෙන යන සප්නා වැලහින්නක් වගේ අඬාගෙන බිම වාඩිවෙනවා...

රාජ් අන්දොස් වෙච්ච මූණකින් සප්නා ලඟින්ම බිම වාඩිවෙනවා..

"ඒකත් එහෙමද?..ඒත් මට බෑ සප්නා හොරෙක් වගේ ඔයාව හොරෙන් පන්නගෙන යන්න..මට ඕන ඔයාව හරි විදියට කසාද බඳින්න.."

සප්නා සද්ද නැතුව ඉන්නවා..

"මම පපාජී එක්ක ඔයාලගේ ගෙදර එනවා..ඇවිත් ඔයාලගේ ඩැඩාට අපි ගැන ඇත්තම කියනවා...ඔව්..ඒක තමයි කරන්න හොඳම දේ.." කියලා රාජ් නැගිටලා ගිහිං රොකීගේ දුරකථනයෙන් ගෙදරට කෝල් එකක් ගන්නවා...

"පපාජී, මම රාජ්..දිල්ලිවල ඉඳන්.."

"හා රාජ්, කොහොමද පුතා ගමන..ඔය හොඳින් නේද? සප්නාව හම්බුණාද..?" පපා ප්‍රශ්න පත්තරයක්ම අහනවා..

"ඔව් ඔව් පපා. පපා පොඩි ප්‍රශ්නයක්.."

"ප්‍රශ්නයක්? ඇයි පුතා?" පපා කලබල වෙනවා...

"නෑ නෑ පපා පුළුවන්නම් ඊලඟ කෝච්චියේ දිල්ලි එන්න..සප්නාගේ ඩැඩා එයාව වෙන කාටද බන්ඳලා දෙන්න හදනවා..සෙනසුරාදා ඒ කොල්ලා මෙයාව බලන්න එනවලු..පපා, මට බෑ හොරෙක් වගේ සප්නා එක්ක පැනලා යන්න..මට ඕන එයාලගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ගන්න...පපා එනවා නේද?.."

පපාජීගේ පපුව තමන්ගේ පුතාගේ එඩිතරභාවය ගැන උපන් ආඩම්බරෙන් පිම්බෙනවා..දාරක ස්නේහයෙන් ඇහැට කඳුළක් උණනවා...

"මම එනවා පුතා..මම එනවා..ඔව් පුතා ඔයා හරි..අපි ගිහිං කතා කරමු.."

රාජ් ඇමතුම අවසන් කරලා සප්නා දිහා බලනවා...සප්නා හිනාවේගෙන බලා ඉන්නවා...



19වෙනි රූප රාමුව:
කලබලෙන් පිරුණු සප්නලාගේ ගෙදර...පොඩි පොඩි ඇච්චෝ පැච්චෝ ගෙදර හතර වටේ දුවනවා..වැඩිහිටි ආච්චිලා අම්මලා නැන්දලා උන්ට බැණල එලෝනවා..උන් දත නියෝලා රසකැවිලි එහෙම උස්සන් දුවනවා...සේවකයෝ යුහුසුළුව වැඩ කරනවා...ඒ අතරේ සප්නායි එයාගේ යාළුවොයි කාමරේට වෙලා කුටු කුටු ගගා පාර බලනවා...නැන්දා කෙනෙක් සාරි තොගයක් උස්සන් ඇවිත් කියනවා සප්නාට එයින් එකක් තෝරගන්න කියලා...මුළු හෙට්ටිවීදියම එතනට ගෙනත් වගේ ඒවා රත්තරන් පාටට දිලිසෙනවා..සප්නා මූණ ඇදකරගන්නවා...

"මට බෑ මේව අඳින්න.."

මේ නැන්දා හෙණ ගිනි බෝම්බයක්..එයාගේ මූණ දෙක වෙනවා..

"මම දන්නේ නෑ..ඔයාට මෙයින් එකක් තමයි අඳින්න වෙන්නේ..නැත්නම් මම ඩැඩාට කියන්නම් ඔය මේවා අඳින්න බෑ කිව්වා කියලා.." නැන්දා හිනාවෙවී තගක් දානවා...

සප්නාගෙ ඇස් රතුවෙනවා..

"මං ඕවා අඳින්නේ නෑ..දැන් සැරයක් කිව්වනේ.." සප්නාත් කැත්තට පොල්ල වගේ කියනවා..

"ආහ්හ්...හිතේ ඇති ජංගි කෑල්ලක් ඇඳන් ගිහින් තාත්තගෙයි පවුලෙයි නම්බුව කන්න..! ඉන්නවකෝ මම දැන්මම තාත්තට ගිහින් කියන්න.."

නැන්දා යන්න හැරෙද්දිම සප්නාගේ අම්මා කාමරේට එනවා..

"ඇයි අක්කේ..?" එයා නැන්දගේ අබ පුපුරණ මූණ දිහා බලලා පුදුමෙන් අහනවා..

"නෑ මේ ඔයාගෙ නල්ල මලේ දූට බෑලුනේ මේ සාරි අඳින්න..එයාට මොකද්ද දන්නෙ නෑ අඳින්න පුළුවන්..මම මේ මල්ලිට කියන්න හැදුවේ දූගේ තරම.."

"නෑ නෑ අක්කේ කලබල වෙන්න එපා...එයාට ඕවා කියල දැන් කලබල කරවන්න එපා ප්ලීස්...දෙන්න මම දුව එක්ක කතා කරන්නම්...අක්කේ අනේ පොඩ්ඩක් අර කැවිලි ලෑස්තිද බලන්නකෝ.."

අම්මා නෑනාව ගාණට ෂේප් කරන් ඇඳේ වාඩිවෙලා ඉන්න සප්නා ලඟට යනවා...

ඒ අතරේ..
පරණ කළු පාර ටැක්සියක් ඇවිත් සප්නාගේ ගෙදර ගේට්ටුව ඉස්සරහ නවත්තනවා...ඒකෙන් බහින්නේ රාජුයි පපාජීයි පවුලූෂායි...එයාලට ඈතටම පේනවා ගෙදර උත්සවයකට ලෑස්තිවෙන බව...සුදු පාට ලොකු ගේට්ටු කුළුණුවල රත්තරන් පාට දිළිසෙන නාම පුවරුවක් තියෙනවා "ධනරාජ්ගිර්" කියලා ගහපු...ගේ විසාලකම දැකලා රාජුයි පවුලූෂයි මූණට මූණ බලාගන්නවා..

පපාජි හායි ගාල ඇරල තියෙන ගේට්ටුවෙන් ඇතුළට යනවා..මන්ඳිරේ දොරකඩ ඉන්න සික්කා අහනවා "ඕයි කොහෙද යන්නේ ඔය" කියලා...
පපාජී බොහොම යටහත් පහත් අහිංසක ලීලාවෙන් කියනවා "මේ ධනරාජ්ගිර් මහත්තයව හම්බවෙන්න..අපි ආවේ ශිම්ලාවල ඉඳලා.." කියලා...

සොක්කා ඉදිමෙනවා..."මොකද්ද නම?"

"රාකේෂ් මල්හෝත්‍රා" 

"හ්ම්ම් ඔහොම ඉන්නවා..මම මහත්තයට කියන්නම්.." සික්කා පුප්පලා ඇතුලට යනවා...

ඒ අතරේ පපාජී රාජ් දිහා බලනවා හරියට කොහෙටද බන් උඹ මේ ඉඳලා ඉඳලා පැටළුණේ කියන්න වගේ..

එතකොටම සික්කා මේගොල්ලන්ට කතා කරනවා...

මේ තුන්දෙනා ඒ විශාල ගෙදරට ඇතුල්වෙද්දි දකිනවා සප්නාගේ තාත්තා රෞද්‍ර මූණක් තියෙන මර්සි ඩයල් එකක් සිංහාසනයක් වගේ පුටුවක වාඩිවෙලා බලං ඉන්නවා..එයා ඇඳලා ඉන්නේ ඉන්දියානුවෝ උත්සව අවස්ථාවල අඳින ජාතියේ සරුවාල් සූට් එකක්...

පපාජී නමස්තේ කියලා ආචාර කරනවා..

ධනරාජ්ගිර් නැගිටින්නෙවත් නැතුව පුටුවේ ඉඳගෙනම යන්තම් අත් එකතුකරල සමාචාර කරලා මේගොල්ලන්ට වාඩිවෙන්න සන් කරනවා..

කට්ටිය වාඩිවුණාම මහා ගාම්භීර කටහඬකින් අහනවා..

"මොකද්ද උවමනාව?"

"මහත්මයා, අපි ශිම්ලාවලින්..මම රාකේෂ් මල්හෝත්‍රා...මේ මගේ පුතා රාජ්..මේ ආවේ සප්නා දුවගැන කාරණාවක් කතා කරන්න.."

ධනරාජ්ගිර්ගේ මූණ තරහෙන් ඇකිලෙනවා..එහෙනම් මේකයි සප්නා ට්‍රිප් එකෙන් පස්සේ අමුතුවෙන්න හේතුව...හ්ම්ම්...

"මොනවද කතා කරන්න තියෙන්නේ...?"

"සප්නා දුවයි මගේ පුතයි අතරේ සම්බන්ධයක් තියෙනවා.."

"මොකක්..??? කියාගෙන ඝර්ජනා කරගෙන ධනරාජ්ගිර් පුටුවෙන් නැගිටිනවා...

"සප්නා....!!!" කියලා ඊලඟට මුළු මන්දිරයම දෙවනත් වෙන්න කෑ ගහනවා...ඒ සද්දෙට ඉහළ මාලයේ කාමරේ හිටිය සප්නායි අම්මායි කෙල්ලෝ රොත්තයි එළියට විසික් වෙනවා...කුස්සියේ වැඩ නවතිනවා..හැමෝම ගල් ගැහෙනවා..

සප්නා පඩිපෙළ දිගේ බහිනවා..අම්මා එයා පස්සෙන් එනවා...සප්නා එයාගේ වල්සාරි ෂෝල් එකෙන් උරහිස් කවර් කරගෙන බිම බලන් ධනරාජ්ගිර් ලඟින් හිටගෙන ඉන්නවා.."ඩැඩා.." 
අම්මා සාරි පොටින් ඔළුව වහන් සාලෙට ඇවිදන් එනවා..එයා විමසිල්ලෙන් බලනවා ඇවිත් ඉන්න අමුත්තෝ දිහා.."රාකේෂ්." කියලා එය මුමුණනවා...පපාජී සාවිත්‍රිව දැකලා පුදුම වෙලා පුටුවෙන් නැගිටිනවා..."සාවිත්‍රී ඔයා මෙහේ?"

ධනරාජ්ගිර් මැද්දට කඩා පනිනවා..

"තමුසේ කොහොමද මූව දන්නේ?"

සාවිත්‍රි ගොත ගහනවා.."මහත්තයා, නෑ... මේ රාකේෂ් අපේ ගමේ.."

"ගම..ගමට හෙණ ගහපුදෙන් යකෝ..ගම!! දන්නවද තොපි මුන් ඇවිත් ඉන්නේ මොකටද කියලා..මුන් කියන්වා සප්නා මේ කොල්ලා එක්ක යාළුයි කියලා...සප්නා මේ ඇත්තද කියන්නේ...කතා කරපං මගෙන් මැරුම් නොකා.."

සප්නා තටමනවා...

"ඩැඩා..ඔ..ඔව්.."

"ඔව්...ඔව්ව්.??"

චටාස්!!!!

ධනරාජ්ගිර් අත දිග ඇරලා සප්නාට කම්මුලට ගහනවා...සප්නා කම්මුල අල්ලං අඬනවා...ඒ කම්මුල්පාරේ සද්දේ ගේ ඇතුළේ දෝංකාර දෙනවා...රාජ් පුටුවෙන් නැගිටිනවා...

"සර්, සප්නාට ගහන්න එපා..මගෙයි වැරැද්ද..මමයි සප්නා එක්ක යාළු උණේ.." 

චටාස්!!!! 

රාජ්ගේ රෝමියෝ ස්පීච් එක නවතිනවා...

"උඹ දැනගනින් හිඟන්නා! උඹට බෑ මේ ආනන්ද් ධනරාජ්ගිර්ගේ බෑණා වෙන්න...තේරුණාද?? උඹ ආයෙත් මේ පැත්ත පළාතක ආවොත් උඹේ මිනිය තමයි ශිම්ලාවලට යවන්නේ..අන්න ඒක දැනගනිං!!"

"අනේ ඩැඩා..." සප්නා අඬාගෙන ඩැඩාගේ අතේ එල්ලෙනවා...

"උඹ පලයං යන්න..උඹ කාමරෙන් එළියට බැස්සොත් ඒ විශ්වන්ත් එන දවසටයි මඟුල් දවසටයි විතරයි..එතකං උඹට එළියට බහින්න තහනම්..සාවිත්‍රී ගෙනියපං මේකිව කාමරේට..මේකි එළියට ආවොත් තොපි ඔක්කෝම මරල දානවා..!!" ධනරාජ්ගිර් ආවේශ වෙලා කෑ ගහන්න ගන්නවා...
සාවිත්‍රී බයවෙලා සප්නාව ඇදගෙන උඩට යනවා...
සික්කෝ ඇවිල්ලා රාජ්වයි පපාවයි පවුලූෂාවයි එළියට ඇදලා දානවා...

සප්නා අඬ අඬා බැල්කනියෙන් බලං ඉන්නවා...රාජ් පාරේ ඉඳන් බැල්කනිය දිහා බලං අඬනවා..සප්නා අනේ මාව ගෙනියන්න කියන්න වගේ අත දික් කරනවා..රාජ් ඒ අත අල්ලගන්න අත දික්කරනවා..දුර වැඩි නිසා ඒ අත අල්ලගන්නවා කියලා සපථ කරලා තමන්ගේ මිට මොළවපු අත පපුවට තියලා පෙන්නලා රාජ් එතනින් එහාට ඇවිදන් යනවා...

26 comments:

  1. දෙක, තුන, හතර ඔක්කොම එක පාර කියෙව්වා. දැන් නම් හෝල් එකේ ඉන්ටවල් දීලා බියර් එකක් ගගහා බෙල් එක ගහනකම් ඉන්නවා වගේ. නියමයි ලොක්කා...මේක අපේ ඩිරැක්ටර් කෙනෙකුට හම්බවුනොත් අපේ දිල් පීචංවෙලාම යයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අරූ..මේක ලියලම මගේ හදවතත් දැන් බාගෙට මඥ්ඥං වෙලා තියෙන්නේ...කොටි වලිගෙ අල්ලගත්තා වගේ..ලොල්..

      Delete
    2. /බාගෙට මඥ්ඥං වෙලා තියෙන්නේ/
      බාගෙට ?????? වෙන්න බෑ

      Delete
    3. බාගෙට බාගෙට...ෆුල්ම මඤ්ඤං වුණොත් කෙලින්ම බොලිවුඩ් වලින්ම තමයි නවතින්න වෙන්නේ..හැක් හැක්..

      Delete
  2. ඊලග කොටස අන්තිම වෙයිද? හයියෝ.... එහෙම වුණොත් අපි තව එකක් ලියමු තරු.... ^_^ 

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බලාපොරොත්තුව නම්..ඒවුණාට මේක දැන් බඩවැල වගේ බන්...කවදා ඉවරකරන්නද මන්දා..කට්ටියට කියවලම එපා වෙලාද දන්නේ නෑ..:D

      Delete
    2. තෝ මේක දැන්ම ඉවර කොලොත් බලාගෙනයි..... හරිය......

      Delete
    3. බුදු කෙන්ජි අයියේ, තව ලියන්නද? :O මිනිස්සුන්ට ඔක්කාරෙට එයිද දන්නේ නෑ මේක කියෝලා..ඒකයි මට තියෙන බය...:(

      Delete
    4. ඔන්න ඔහේ ලියපන් බං. අපි එනවා කියවන්න. මට නම් මෙක කියවලා හරි ජොලි !

      Delete
    5. හී හී...ඔබේ සතුට මගේ සතුටයි කිව්වලු! මේක දැන් ඉවර කරල පස්සේ ආයෙම වෙන එකක් ලියන්නම් එහෙම හොඳයිනේ? නැත්නම් මචෝ මට ගුටි කාලා මැරෙන්න වෙනවා..

      Delete
  3. චඃ පජාත කරලම දාලා සපෝටර් කොලුවව, දෙන්න හිතෙනවා හොම්බට දෙකක් ඩිරෙක්ටරියගේ, පට්ටයි බං මං ජීවිතේටම බලලා තියෙන්නේ එකම එක හින්දි ෆිල්ම එකයි ,හැබැයි ඒක ටිකක් සීරියස් ෆිල්ම් එකක් "GUZAARISH" කියන film එක. හැබැයි අපේ එවුන් කතාවෙන විදිහට මම හිතුවා හින්දි ෆිල්ම කියන්නේ කොමිටල් විජිතයක් කියලා , , උඹ මාරු උපමා තමයි දාගන්නේ "මුළු හෙට්ටිවීදියම එතනට ගෙනත් වගේ ඒවා රත්තරන් පාටට දිලිසෙනවා.." පට්ටයි, මචං මේක තව කොටස් දෙකක් ඇතුලත වගේ ඉවර කලොත් හොන්දයිකිය්ලා මටනම් හිතෙනවා , දිග වැඩි කරන්න එපා, මේ රසය අඩුවෙන්වට මං කැමති නෑ... (උඹ තරහ වෙයිද දන්නේ නෑ..මට හිතෙන අදහසයි මම කිව්වේ තරුවෝ ")

    ReplyDelete
    Replies
    1. "බණින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා.." බලන්නකෝ සපෝටර් නිකං එළ කොල්ලෙක් වගේ ඉන්නවා ලියලා තියෙන්නේ මං..
      ඇත්ත ඇත්ත ඉවාන්..මේක ලියලම දැන් මටත් ඇතිවේගෙන එන්නේ..ඒ නිසා ඊලඟ කොටසෙන් වගෙ නවත්තන්න තමයි ට්‍රයි එක..
      ඇයි බන් ඉන්දියාවේ ගෑණු මාර පෙරේතයිනේ රත්තරංවලට...උන්ගේ මඟුල් ගෙවල් තනිකරම රත්තරං කඩ..ආං ඒකකට හොරෙක් පැන්නානම් 'කල්ල මරේ' ආයේ නෑ කිසි ගින්නක් නැතුව පරම්පරා 7-8ක් ජීවත් කරවතැහැකි..හැක් හැක්...
      ඒක මාත් බැලුවා..ඒක ටිකක් වෙනස් අමුතු ෆිල්ම් එකක් තමයි...අනික්වා ඉතිං කොමිටෙල් විජිත තමයි වැඩිමනක්..හැක් හැක්..හොඳ එව්වත් තියෙනවා ඉතිං "මේ වගේ" ලොල්...

      Delete
  4. පට්ට මරු .උපමා ටික තමයි මරුම.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දමිත්...:D

      Delete
  5. හපොයි.. දිල් පීචංම තමයි...
    අර ඉවාන් ගොයියා කිව්වා වගේ රස නොමරා නතර කරමු...

    මොනව උනත් ෆිල්ම් එකක කොටස් 100ක් විතර තියෙනවනේ.. ජ ය වේ වා්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි විදානේ..බොලිවුඩ් ෆිල්ම් මාර දිගයිනේ අෆ්ෆා..බඩවැලක් වගේ..ඉවර කරමු ඉවර කරමු..ඊලඟ කොටස අවසාන එක..:D

      Delete
  6. හික්ස් මරේ මරු ..ඉක්මනට ඉතිරි ටිකත් දාන්ඩෝ ...

    ReplyDelete
    Replies
    1. හෙට බලමු අවසාන කොටස දාන්න..:D

      Delete
  7. මේක මරු බන්. මගෙ ස්ට්‍රෙස් බිංදුවට බහිනවා මේ කතාව නිසාම..... පට්ටයි ඈ...

    හැබැයි කොටස් දෙකක් තුනක් ඇතුලත ඉවර කලොත් අගේ වැඩිවෙයි කියල මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ බස්සියෝ, ස්ට්‍රෙස් ෆ්‍රී ලයිෆ් එකක් උදෙසා ඔබත් අදම බොලිවුඩ් වෙත පිවිසෙන්න..ලොල්...
      ඔව් ඊලඟ එක අන්තිම හොඳේ..:D

      Delete
  8. අඩේ සිංහලෙන් හිංදි කතාවක් ලිවුවා වුනත් සුපුරුදු සාම්පලේ කතාවක්ම කරන්න එපා බං මේක.. අන්තිමේ පොඩි ත්‍රිල් එකක් ඇඩ් කරපං.. එතකොට ගති..

    ReplyDelete
    Replies
    1. ත්‍රිල් එකක් නේ?..ඒක උභතෝකෝටිකයි බන්...බලමුකෝ තාම හිතනවා...:D

      Delete
  9. යකෝ කොහෙන්ද මේක මැද්දට පව්ලූෂා කෙනෙක් පැන්නෙ....
    මං දුෂ්ටය වෙලා ඇවිත් ටොපි ඩෙම්නටම වෙඩි තීනව ඩැනගන්යව්...
    යකෝ ...
    සප්‍ුනා මගේ අරී.... වෙන එකෙස්ටවත් ඩෙන්නෑ...

    සැක් ගහපු බාගෙ කොහෙන් ගියාද දන්නෑ...

    පට්ට අඩේ...
    ඉතුරු ටිකත් දා

    ReplyDelete
    Replies
    1. හෑ යකොව් ඔයා රාජ් ද? :O මම දන්නේත් නෑ නේ..! :P
      ඔව් නේ පවුලූෂා නිතරඟයෙන් සපෝටර්බවට පත් වුණා..:D
      හරි හරි අයියා බොන්න එපා...සප්නා ඔයාගේ..සප්නා කැමතිනම්..සමනළුන්ට වෙඩි තියන්න එපා අයියා! :D
      හැබැයි දේව්දාස්ලට එයා කැමති නෑ මං හිතන්නේ....ලොල්...

      Delete
  10. කෝ යකෝ පහ?? මම අද උදේ ඉඳන් සැරෙන් සැරේ ඇවිත් බලනව.

    ReplyDelete
    Replies
    1. හිටු යකොව් පහ තාම ලිව්වේ නෑ...:P බලමු බලමු මම ෆුල් ට්‍රයි එක දානවා ඉක්මණට ඒක දාන්න හරිය?

      Delete