Tuesday, October 20, 2015

වසන්ත කොටුවැල්ල, විරහි ප්‍රේමය සහ ගීතය

කාලෙකින් ගොඩ වදින්නට නොහැකිවුණු තැනක් තමයි චන්දන ගුණසේකර සහෝදරයාගේ සඳුන් සෙවණ..ඒකට හේතුව කාර්යබහුලකම වුණත් අද මට අවස්ථාවක් ලැබුණා ඒ පැත්තේ ගිහින් එන්න.ඇත්තටම කියනවා නම් මාව ඒ ගමනට පෙළඹූ කාරණාව තමයි, කාලය සමඟ සැඟව ගිය, මම කුඩා කාලයේ සිට බොහොම ප්‍රිය කළ රංගධරයෙක් සම්බන්ධව ලිපියක් පළව තිබීම..ඒ වසන්ත කොටුවැල්ල මහත්මයා සම්බන්ධව..සාමාන්‍යයෙන් පිදිය යුත්තන් පුදන්නට හුරුව සිටියත්, මේ අවස්ථාවේ ඔහුව මහත්මයෙක් ලෙස හඳුන්වන ප්‍රධානතම හේතුව තමයි චන්දන සහෝදරයා විසින් සඳහන් කොට තිබෙන "සිහිනයකි රෑ" වැඩසටහන නැරඹීමෙන් පසුව ප්‍රේක්ෂකයෙකු ලෙස මා හඳුනාගත් වසන්ත කොටුවැල්ල තුළින් ප්‍රකටවන, තවත් මනුෂ්‍යයෙකු වශයෙන් මා අගය කරණ ගුණාංගයන් කිහිපය..එකක් ඔහුගේ කෙළින් කතාව..ඒ හැරුණුවිට නිහතමානීත්වය, පරිණතභාවය සහ මනුෂ්‍ය චෛතසිකයේ ස්වභාවය පිළිබඳව ඔහුට ඇති අවබෝධය..ඒ ගුණාංග මා ප්‍රිය කළ රංගධරයා යටපත් කරගෙන නැගිසිටි බව නොකියාම බැහැ..



හිස් කළ හඬ නගන, විපරීතයන්ගෙන් ගහණ කලා ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රවීණයන් සැඟව යෑම අවංකවම කණගාටුවට කරුණක්..අනික් අතට එවන්නන් සොයායෑම ගැන වැඩසටහන් නිෂ්පාදකවරයා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලයට ස්තූති කළ යුතුමයි..ඒ හා සමානවම මෙවන් වටිනා ලිපි සම්පාදනය කරන චන්දන ගුණසේකර සොයුරාටත් අපේ ප්‍රශංසාව නිබඳවම හිමිවිය යුතුයි..


ඉතින්, සිහිනයකි රෑ නරඹනවිට පුදුමයකට වාගේ කොටුවැල්ල මහත්මයා තෝරාගෙන තිබුණේ කලෙක මම බොහොම ප්‍රිය කළ, පසුකලෙක දුරස්වුණ ගීත කිහිපයක් නිසා මම ප්‍රේක්ෂකයෙකු වශයෙන් ඔහු හා සමානවම වැඩසටන වින්දා කිව්වොත් නිවැරදියි.විරහවට ප්‍රේම කරන මාත් ඔබත් තව බොහෝ දෙනෙකුත් වාගේ තවත් කෙනෙක් වෙන නමුත් කොටුවැල්ල මහත්මයා ඒ විරහී ප්‍රේමය ඉතා සාර්ථකව හසුරුවපු කෙනෙක්..නමුත් හැම විරහී ප්‍රේමයක් වගේම ඔහු තවම ඒ මතක අල්ලාගෙන සිටිනවා කියා ඒ ගීත රස විඳි හැටියෙනුත් ඒවාට ඔහු දුන් පිළිතුරු සහ පැහැදිලිකිරීම්වලිනුත් මට සිතෙනවා..ඒ හැරුණහම ඒ රස විඳීම මට සීයාගේ මතක නැවත නැවතත් ගෙන ආවා..මගේ සීයාත් (මවගේ පියා) සංගීත ලෝලියෙක්, අද කොටුවැල්ල මහත්මයා වාගේ ඔහුත් ඔවැනි වැඩසටහන් නරඹමින් හදවතින්ම ඒ රසවිඳිහැටි මතකයන් මට කඳුළු ගේන්නට සමත්වුණා..

වැඩසටහන නරඹනවිට සිතුවේ ගීත කිහිපයක් පළ කිරීම වුණත් නොසිතූ විදියට පටන් ගැන්ම දීර්ඝවෙලා..ඒත් කිහිපයක් ගැන සඳහන් කරන්නේ හදවතට බොහොම සමීප නිසා..දවස් ගණනකට පෙර මගේ සජීවි ප්‍රේමයේ අනෙක් අඩ (එහෙම කියන්නේ විවාහයේ ප්‍රේමය සම්පූර්ණ වන්නේ ද්විපාර්ශ්වික ප්‍රේමයක් නිසා කියල හිතන හන්දායි), කුෂී, මගෙන් ඇසූ ප්‍රශ්නයක් තිබුණා "ඇයි ඔයා විරහව ලියන්න එච්චර ආස?"..මම හිතන්නේ සිහිනයකි රෑ සංවාදය ඊට හොඳම පිළිතුරක් ලබා දෙනවා..විරහව සුන්දරයි, සංවේදියි, විරහව ගෙන ආ පුද්ගලයන්ටත් වඩා සමීපයි..ඉවාන් ලියූ විරහ ගීත ගැන පෝස්ටුවට මා දුන් පිළිතුරක් මෙතනත් උපුටා දක්වන්නේ ඒ විරහ ප්‍රේමය ගැන කියන්නට පුළුවන් හොඳම විදිය නිසායි..
"...විරහව කියන්නේ අපි කවුරුත් තදින් බදා වැලඳගෙන ඉන්න හැඟීමක්..කොටින්ම කිව්වොත් සදාකාලික ප්‍රේමවන්තයන්/ප්‍රේමවන්තියන් ඉන්නේ අපි ඔය තදකර අල්ලාගෙන ඉන්න විරහව තුළ විතරයි.." 

වසන්ත මහත්මයා තෝරාගෙන තිබුණේ මෙන්න මේ ගීත දය:
1.මළ ඉර බසිනා සැන්දෑ යාමේ
2.සිහිල් සුළං රැල්ලේ
3.හද විල කළඹන පෙම් ජල රේඛා
4.දුරස්වන්නට මේ ලෙසින්
5.පාලු අඳුරු නිල් අහස මමයි
6.දම් පාටින් ලා සඳ බැස යනවා
7.පායන් රන් සඳ
8.ඇසට අසුවෙන මායිමේ
9.හන්තානට පායන් සඳ
10.මා මළ පසු සොහොන් කොතේ

ඔතැනින් මම වඩාත්ම ප්‍රිය කරන ගීත දෙකක් තිබෙනවා..එකක් දුරස්වන්නට මේ ලෙසින්..අනික සිහිල් සුළං රැල්ලේ..දුරස් වන්නට මේ ලෙසින් ගීතය නැවුම් විරහවකට ඇසිඩ් වත්කරන්නට පුළුවන් ගීයක්..කොටුවැල්ල මහත්මයා කියන්නේ ප්‍රේමයේ ආතුරයෙක් කියන්නේ සුවකළ නොහැකි කෙනෙක් බවයි..විරහී ප්‍රේමයක ආතුරයෙක් කියන්නෙත් කොටුවැල්ල මහත්මයාත් ඇතුළුව සුව කළ නොහැකි කොටසක්..ඔහුත් කීවා වගේ දුරස්වන්නට සමහරවිට මරණ මංචකයේදිත් මතක් වන්නට ඉඩක් තිබෙන ගීයක්..







සිහිල් සුළං රැල්ලේ කියන්නේ යෞවනයක එළිපත්තේ ඉන්න කාලෙක එක් නිශ්චිත පුද්ගලයෙකුගෙන් තොර ප්‍රේමයකට හදවතක් තුළ උපදින්නට හැකිවෙනවා නම් මගේ හදවතේ උපන් ඒ ඒකපාර්ශ්වික ප්‍රේමයයි..අද ආපස්සට හැරී බලනවිට හැඟීම් සමඟ කළ සුන්දර ගනුදෙනුවලින් එකක් විදිහට මගේ මතකයේ හැමදාකම තිබෙන එක දෙයක් ඒ හැඟීම් සංගීතයෙන් විවරණ ලැබීම..වසන්ත කොටුවැල්ල මහත්මයා ක්‍රිෂාන්ත එරන්දක මහත්මයාට කියනවා වගේම

                 "ඔබ ඔය ගයන්නේ මගේ හදවත.." 


14 comments:

  1. නළුවන් සහ එළුවන් රජවූ පඹයන් ලෙස සිටින සිංහල කළා කෙතේ රංගධරයෙක් කියන නාමයෙන් කිසිදු පැකිලීමකින් තොරව හඳුන්වන්නට පුළුවන් පුද්ගලයෙක් තමයි වසන්ත කොටුවැල්ල. අවාසනාවකට වගේ ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගනය ගැන අපිට මතක කාලයේ සිහිවටන ඇත්තෙම නැති තරම්.
    බොහෝ කලකට පෙර යන්තම් මතකය අවදිකළ හැකි දිනක ගම්පෙරළියේ පියල් ලෙස (ටෙලි නාට්‍යයේ) ඔහු කල රංගනය ගැන කතා කරන්නට පුළුවන්.
    වාණිජ රැල්ලට ගසාගෙන යන්නට ඉඩ නොදී මෙගා විරිදු වල දකින්නට නොවූ නිසාවෙන් තවමත් ඔහු ගැන ඇතිවූ ගෞරවය පෙර ලෙසමයි.

    විරහව කියන සංකල්පය ගැන උඹේ අදහසට කොන්දේසියකින් තොරව මාත් එකඟයි . සංකල්පයක් හැටියට හැඳින්වුයේ ඇත්තෙන්ම අද වන විට උතුම් මානුෂික හැගීම් සියල්ලම සාංකල්පික දෙයක් පමණක් වූ නිසයි .(බොහෝ විට )

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.අපේ කලා කෙතේ යකා නටන ඈයෝ හිතන් ඉන්නේ උඹේ-හිතෙත්-සුපර්ස්ටාර් කියලනේ..ඔය හිතෙන් සුපර්ස්ටාර්ලා විසින් කෝචෝක් කරවන අල්ලපු රටේ නළු නිලියෝ කොච්චර සකරමුටයි නිර්මාණවල රැඟුවත් අඩුමගාණේ සාමාන්‍ය දැනීමවත් හොඳයි..මේ විපරීත අස්සේ ඉන්නකොට තමයි වසන්ත කොටුවැල්ලලාගේ පරම්පරාවල අගේ..
      ඔබ කිව්වත් වගේ මෙගාවලට සින්න නොවීම නිසාත් අගය වැඩියි.මට ඔහුගේ මතක හිටිනම රඟපෑම වුණේ සුර අසුර.

      මනුෂ්‍යත්වයම හුදු සංකල්පයක් පමණක්ම නොවේවා කියා ප්‍රර්ථනා කරමු.

      Delete
    2. Man kamathima charitha thunak eke iskole mahaththayage charitheta..

      Delete
    3. අනේ කමී ඔයා ඉන්නවද? :P

      Delete
  2. ඔබේ සොඳුරු රචනය, මාගේ මතකය අවූරුදු විස්සක් ඈතට ගෙනගියා. මගේ මතකයේ හැටියට ඔහුව මා සුරඅසුර ටෙලිනාට්‍යයේ සුරනිමලගේ චරිතයෙන් දුටුවා. ඔහුගේ සුන්දර මුහුණ හා තාත්වික රංගනය, ප්‍රථම වතාවට පිරිමියෙක්ගේ සුන්දරත්වය මගේ ළමා මනසට උරාගන්නට හේතුවූ අරමුණක් උනා. ඇත්තටම අද ඔහු කොහෙද?
    මේ රචනයට අනුවත්, ඔහුගේ ගීත තෝරාගැනීම් අනුවත්, ඔහු සුන්දර හදවතකටද හිමිකරුවෙක් බව මොනවට පැහැදිලියි. ලස්සන මතකයක් අවදි කල සොයුර ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. ladyj බොහොම ස්තූතියි.ඔබ කිව්වත් වගේම සුරනිමලගේ මතකය තමයි මටත් ඔහු ගැන දැනෙන මතකය.චන්දන සොයුරාගේ ලිපියේ සඳහන් වන්නේ ඔහු දැනට දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන බවයි.වැඩසටහන නැරඹුවාම මටත් දැනුණේ ඔහු තුළ ඇති පරිණතභාවය පැහැදිලියි.සුන්දර හදවතක් තිබෙන බවත් ඔහුගේ තේරීම් සහ පැහැදිලිකිරීම්වලින් පෙනුණා කියා හිතනවා..රස අතීතයකට ඔබව ගෙන යන්නට ලැබීමත් විශාල සතුටක්..:) අවංකවම ඒ ප්‍රශංසාව හිමි විය යුත්තේ මූලික ලිපිය සම්පාදනය කළ චන්දන ගුණසේකර සොයුරාටයි..

      Delete
  3. ඇත්තටම මචං මම ඔය කෙනාව නමින් කීවට දැනන් හිටියෙ නැ මං චන්දන අය්යගෙ කපෛා්ස්ට් එකේ කමෙන්ටුවකත් කීවෙ ඒකයි මං දන්නෙ පියල් කියල ඒ අපිට ඒ චරිතෙ සමීප වුන විදිය.. නෙහ්... අදටත් සමහර නළු නිළියන්ව ඇත්ත නමට වඩා හදුන්වන්නෙ මොකක් හරි රගපාපු නමකින්
    විරහව ගැන කියනව නං ඒක මහ විකාරයක්බං ඔව් ඉදගෙන
    කාලයක් මම ලීවෙම විරහව නෙ හෙහ් දැනුත් එහෙමයි ඒත් ඒව පබ්ලිෂ් කරනව අඩුි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.මෙවැන්නන් ප්‍රේක්ෂකයාගේ ඈත්කරවා ඇත්තේ මාධ්‍ය විසින් කියන එකයි මගේ අදහස..මිනිස්සු බහුතරයක් කැමති චරිතයේ නමින් පමණක් අප දැන සිටින රංගධරයන්/නළුනිළියන් ගැන දැනගැනීමට වුණත් මාධ්‍යවල උවමනාව වී ඇත්තේ පොත්ත පමණක් ඇති උන් යොදාගෙන මාකට් වීම නිසා මේ මිනිසුන් නිකන්ම වැලලිලා යනවා..ආයෙත් ඉතින් මාධ්‍යවලට ඒ මිනිස්සු මතක් වෙන්නේ කරකියාගන්න දෙයක් නැතුව, අසනීපෙන් අසරණකමෙන් මරණ මංචකේට වැටුණහම..සමහරුන්ව එහෙමත් නැහැ..ඒ අවස්ථාවෙදිත් මතක් වෙන්නේ බොහෝවිට මාකටිං ස්ට්‍රැටජියක් ලෙස යොදාගන්න පුළුවන් නම් පමණයි.

      Delete
  4. කලා ක්ශේත්‍රයේ එක එක විදියෙ මිනිස්සු ඉන්නව. මේ මහතා මෙහෙම යහපත් කෙනෙක් කියල තනියකරපු රෙක්මන් එක හින්ද අපිත් උන්දට අද ඉදන් රෙෂ්පට්.
    හැබැයි විරහව කියන්නෙ ශෝක රසය දැනෙන අත අරින්න බැරි දෙයක් වුනත් ඒක නැවත නැවත හෝද හෝද මඩේ දාන එක නම් මට අවුල්. ඇත්තටම දුක් ගීත නිතර අහන එකත් එච්චර හොඳ දෙයක් නෙමේ කියල කියනව.

    ඔහු තෝරාගෙන තියන ගී අතර මා කැමති ගීත් බොහොමයක් තියන බවත් කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මතන්ධර්ජී, මගේ රෙකමදාරුව පිළිගැනීම ගැන ඔබතුමාට මගෙත් රෙෂ්පට් එක පිළිගන්න. :) බොහොම ස්තූතියි.
      ඒක ඇත්ත.හැමදේකම වගේ විරහවේ වුණත් අන්තෙට යන්න නරකයි.හැබැයි විරහව කියන්නේ පට්ට ගහන්න පුළුවන් මාතෘකාවක්නෙ.මාත් ටිකක් විරහවට බර එව්වා ලිව්වා වැඩිද මන්දා.අනිවාර්යෙන්ම ඕනවට වඩා දුක තුළ කිමිදෙන්න හොඳ නැහැ..විරහවත් ඇතිවුණ පළියට පෘතුවි භ්‍රමණය නවතින්නෙ නැහැ නේ නැද්ද? ;)වේදනාව තියෙනවා නමුත් ජීවිතය ගලනවා..

      Delete
  5. අපිව අතිතයට එක්කන් ගියා වගේ.බොහෝ ලස්සනයි තනි තරුව.
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. අසෙනි වැසි..උඹේ නම මම බොහොම ආසා කරන නමක්..අසෙනි වැසි කියන නම..
      බොහොම ස්තූතියි..:) නොස්ටැල්ජියාවට පාර කැපීම ගැන සතුටුයි.:)

      Delete
  6. දැං ඉන්න නලු බට්ටෝ රගපාන්ඩ කන කට්ටක් , වසන්ත කොටුවැල්ලලා නිදහසේ සරලව කැමරාව ඉස්සරහ හැසිරෙනවා විතරයි , තවත් ඔය වාගේ මිස් වෙච්ච කෙනෙක් තමයි නිමල් පල්ලේවත්ත , දිනක් බ්ලොග් මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුව හමු උනා , ඒ ගතකල පැයදෙක ගෙවුනා තේරුනේවත් නැ

    ReplyDelete
    Replies
    1. අටං, වෙල්කම් කිව්වා.
      දැන් ඉන්න පුයර බබාලට වසන්තලාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..තිරයේත් තිරයෙන් එහාදිත්..ලැජ්ජාවෙන් වුණත් කියන්න වෙන්නේ නිමල් පල්ලේවත්තගේ රඟපෑම් ගැන මතකක් නෑ කියලා..හොයල බලන්න ඕන යූටියුබ් එකෙන් හරි බලන්න.ඒ වගේ මිනිස්සු වටිනවා බං අපේ මෝඩයන්ට නොතේරුණාට.දැන් ඔය දිලිසෙන තොරම්බල් කෑලි තුන්තිස් පැයේම ගෙන්නවලා උන්ගෙන් සාමාන්‍ය දැනීම ප්‍රශ්න අහලා මොළේ තරම රටට පෙන්නලා නටන නාඩගම්වලට වඩා මේ වගේ මිනිහෙක් ගෙන්නන වැඩසටහනක් කරන එක කොච්චර වටිනවද..

      Delete