Tuesday, May 24, 2022

සිංදු ලියන රංගධරයෝ

2022 මැයි 24දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

සිංදු ලියන රංගධරයෝ

එක දේකටවත් අසමත් කව්රුත් ලෝකේ නෑ. හැමදේටම සමත් අයත් ලෝකේ කලාතුරකින් ඉන්න පුළුවන්.

 රඟපෑම කරද්දී සිංදු ලියන්න පුළුවන් අයත් ඉඳලා තියෙනවා, අපේ ලංකාවේ.

එක්කෙනෙක් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. ගීත කිහිපයක්ම රචනා කරලා තියෙනවා. එයින් එකක් තමයි විශාරද සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරපු 'නැතිවුණු ආදරයක් වෙනුවෙන්' ගීතය.

මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ පී. වික්‍රමනායකගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් 1980දී නිර්මාණය වුණු 'මයුරිගේ කතාව' චිත්‍රපටයේ. එහි ප්‍රධාන චරිත නිරූපණය කර ඇත්තේ ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි සහ ටෝනි රණසිංහ. 

නැතිවුණු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක 
අමතා කියන කතාවයි මේ.. 
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

සිතින් පලාගිය එක් ආදරයක් දිහා
කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
නෙත හදවත් දොර විවර කළා.. 
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි 
ඔබටත් මම ආදරෙයි 
ඔබට මම ආදරෙයි 

ගීතය: https://youtu.be/_qSA69hKoOk (මෙහි ගාමිණී විසින්ම කරන හැඳින්වීමක් ඇතුළත්) 
ගායනය: විශාරද සුජාතා අත්තනායක 
සංගීතය: ලයනල් අල්ගම 
පද: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 
චිත්‍රපටය: මයුරිගේ කතාව (1980)

ගාමිණී - වික්ටර් සුසංයෝගයෙන් ගීත කීපයක්ම බිහිවෙලා තියෙනවා, ඒ ගැන වැඩිය කතා නොවුණට. ඉන් එකක් මේ:

අහිමි උනත් නුඹ ළඳේ
මට අඬන්න අවසර නෑ
වෙලෙන් එහා හිඳ ඔබේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා

නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලූ දුක් සුසුම් මගේ මුව සිම්බා

නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා

කියාගන්න බැරි දුකක් නිවන්නට
නෙත හෙලු කඳුළක් මගෙ මුව සිම්බා

ගීතය: https://youtu.be/5V2bdEBA2DI
ගායනය සහ තනු නිර්මාණය: ආචාර්ය වික්ටර් රත්නායක 
 පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 

'පසුකර ආ අතීතයට' ගීතයේ වචන ටිකට උපරිම සාධාරණය වෙලා තියෙනවා හඬින් සහ සංගීතයෙන්❤️ අහලම බලන්න. මාත් අදමයි ඇහුවේ. 

පසුකර ආ අතීතයට
ආපසු යන ගමනේ
අමතක කළ නුඹේ දෙනුවන් තුළින් 
අතීතය දුටිම්

නීල නුවන් පොපියා
මා දෙනුවන් දෙස බලන්
කැඩපත්වන් මගෙ දෙනයන ඇඳි
අතීතය බලන්

සීත කඳුළු ඔය දෑසින් 
මතුවී එන ගමනේ
මුසපත් කළ ඇස අඩවන් කර
අතීතය වසන් 

ගීතය: https://youtu.be/Juhp_AOUxmM
ගායනය සහ තනු නිර්මාණය: ආචාර්ය වික්ටර් රත්නායක 
 පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා

1979දී සරුංගලේ චිත්‍රපටයට ලියැවී ඇති මේ ගීතයත් ගාමිණී ෆොන්සේකාගේ පද රචනයක්. 

බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ 
වන මල් කැකුළිය සොයා වඩින්නේ 
වන මල් කැකුළිය කුමට සොයන්නේ 
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල දේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ 
ගසක් මලක් නැති ලොව කොයිවැන්නේ
මෙත් ගුණ නැති රලු කතරක් වන්නේ

ගීතය: https://youtu.be/EK2jMgusDyc
ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව සූරීන් සහ ආචාර්ය නන්දා මාලිනිය 
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක 
පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 
චිත්‍රපටය: සරුංගලේ (1979)

මේ හැරුණු විට පහත ගීතත් ඔහුගේ රචනයන්:
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සොඳුර නුඹ මට මව් වෙයන්'
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'කල්ප ගණන්' 
අබේවර්ධන බාලසූරිය මහතා ගායනා කළ 'සැතපුම් දහසක් ඈත රටක ඔබ' 
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සත් වසරක් රස වින්ඳ ආදරේ' 
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සසර නිසරු බව දෙසු සමිඳුන්ගේ ඔබේ සරණ සොයා ආ'

ඇතැම් තැන්වල 'පරසතුමල්' චිත්‍රපටයේ එන 'පරවුණු මල්වල සුවඳ අතීතේ' ඔහුගේ නිර්මාණයක් ලෙස සඳහන් වුණත් එහි නියම නිර්මාණකරුවන් වෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගමසේකර. 

ගාමිණී ෆොන්සේකා හැරුණු විට සනත් ගුණතිලකත් ගීත රචනා කළ සිනමා රංගන ශිල්පියෙක් විදිහට සඳහන් වෙනවා. 

මිල්ටන් මල්ලවආරච්චි මහතා ගායනා කළ' මාගේ අතීත දිවියේ' ඉන් එකක්. 

මාගේ අතීත දිවියේ 
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුලාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ 
පෑයූ සුපුන් සඳක් වගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා

අපගේ පැතුම් විමානෙන්
වෙන්වීලා එක්වුණේ 
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟාවුණා ආයේ
ආදරේ නිසා

ගීතය: https://youtu.be/kzhA9q75P4I
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි 
සංගීතය:
පද රචනය: සනත් ගුණතිලක 

ඔහු ලියා ඇති අනික ඔහුගේම අධ්‍යක්ෂණයක් වූ 'සිනහව අතරින්' (A smile through sorrow) චිත්‍රපටයේ එන ගීයක්. මේක නම් ටිකක් ප්‍රසිද්ධ, නිතර ඇහෙන ගීතයක්. 

සිරවි තිබුණා හද පතුලේ 
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක 
මා සඟවා සිටි ආදරේ

ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී 
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතුයැයි කිසිම විටෙක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි
දැනගන්නට ආසයි

ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ 
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ 
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් 
මා උදුරාගන්නේ

ගීතය: https://youtu.be/Dosv1MNt0es
ගායනය: නිරෝෂා විරාජිනි 
පද රචනය: සනත් ගුණතිලක 
සංගීතය: සුරේෂ් මාලියද්ද 
චිත්‍රපටය: සිනහව අතරින් (2015)

සිනමාවට වගේම හැඟීම් ලියා තියන්නත් දක්ෂ මිනිස්සු. මේ දෙන්නෙක් විතරයි❤️

✒️ Aash Weerasinghe

2 comments:

  1. කලින් දැනගෙන නොසිටි දෙයක්. ගොඩක් ඒවා ප්‍රසිද්ධම ගීත. ස්තූතියි

    ReplyDelete