Saturday, June 22, 2024

බයිසිකල් කතා

මොනවා හිතාගෙනද මන්දා අපේ අම්මයි තාත්තයි තීරණය කරලා තිබ්බා මගේ හත්වෙනි උපන්දිනේට බයිසිකලයක් අරන් දෙන්න, ඔය පහළ පින්තූරෙ තියෙනවා වගේ චොපර් එකක් හැබැයි රතුයි සුදුයි. (ඔව්වා තමා ඉතින් අපට තිබ්බ චොපර්, ඇත්ත එව්වා ගන්ට තරම් ධනවත්තු නෙවෙයි නෙව). ඒකේ ඇත්ත පින්තූරයක් නැති එක ගැන නම් දැන් පොඩි දුකක් දැනුණා. 

පුංචි කාලේ තිබ්බා ට්‍රයිසිකල් හෙවත් රෝද තුනේ සයිකල්. හැමෝටම වගේ තියෙන්න ඇති ජාතියේ සුදු-කහ-රතු, පස්ස තියාගන්නවත් බැරිතරම් පොඩි සීට් එකක් තිබ්බ චූටි යකඩ ට්‍රයිසිකලයක් ඇරුණම මට තිබ්බා තෑගි ලැබිච්ච ලා නිල් පාට ප්ලාස්ටික් බංගසාල ට්‍රයිසිකලයක්. ඒක ට්‍රයිසිකලයක් කිව්වට බිම්මට්ටමට විතර පාත, විසාල රෝද තිබ්බ, රයිඩර්ට අමතරව තව පොඩි එකෙක් දෙකෙක්ට හිටගෙන හරි වාඩිවෙලා හරි යන්න පුළුවන් තරම් ඉඩ තියෙන, තද නිල් පාට පැඩ්ල්ස් දෙකක් ඉස්සරහ රෝදෙට හයි කරපු හරියට 'පියාජියෝ අපේ'😂 (ඒප් - Ape) එකක් වගේ 'බර බර දක බක' ගාලා සද්දෙට යන එකක්. මගේ දෙමව්පියො සහ සෙසු වැඩිහිටියො ඒ සද්දෙ කොහොම දරාගත්තද කියලා මම මේ කල්පනා කරන්නෙ මොකද මං වුණා නම් පදින එකා එක්කම ඒ වාහනේ ගහනවා කැලේ! 😂
ආ තව තිබ්බා කහ-කලු-දුඹුරු මිශ්‍ර පාට, ලස්සන වලිගෙකුයි කේශ කලාපෙකුයි තිබ්බ, කකුල් වෙනුවට රෝද හතරක් තිබ්බ ප්ලාස්ටික් අශ්වයෙකුත්. ඒකේ හැන්ඩ්ල් එකට තිබ්බේ අශ්වයගේ කණ් හරහා ගිය රතු පාට දණ්ඩක්! 

ඉතින් කකුල් බිම ගෑවෙනකල්, මකුළුවෙක් වගේ අඬුපඬු අකුලන් ඔය ට්‍රයිසිකල් කෙරුවාවයි අශ්ව කෙරුවාවයි කරන දරුවා දැක්ක දුකටද මන්දා අප්පා, මාව රෝද තුනෙන් දෙකට upgrade කරන්න කැබිනට් තීරණයක් අරගන්න ඇති. මේක ලියන්න පටන් ගනිද්දි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇහුවා 'ඇයි මට චොපර් එකක් අරන් දුන්නේ?' කියලා 😂 මගේ ඔහොම random උඩක්බිමක් නැති අහසින් පාත්වෙන ප්‍රශ්න පුරුදු හින්දද කොහෙද දෙන්නම හිනාවුණා, තාත්තා ටිකක් කල්පනා කරල බලලා බොහොම බරපතල කාරණාවක් වගේ කිව්වා මතක නෑනෙ කියලා. අම්මා නම් බයවුණා මම දැන් ඔය චොපර් එකේ නටඹුන් හොයන්න පටන් ගනී කියලා ඒක කෝ ඒකට මොකද කළේ අහපුවම!😂 
අම්මා: (හෙන කල්පනාවෙන් අසරණ හිනාවක් එක්ක) 'ආ ඇයි අපි ඊටපස්සේ ඒක ළමයෙක්ට දුන්නනෙ'
මම: 'කොයි ළමයද' 
අම්මා: ' අර xxගෙ ළමයෙක්ටද කොහෙද මටත් මතක නෑනෙ'

චොපර් එක දකින්න ආසාවක් ආවට කාටවත් දුන්න එක ගැන දුකක් කණගාටුවක් නෑ මිත්‍රවරුනි.

ඉතින්, දැන් මේ රෝද දෙකේ චොපර් එක පදින එක තමා වැඩේ වුණේ! මොකද තනියා ඒ කාලේ ඉඳන්ම රෝද දෙකට කැමති නෑ. බැලන්ස් කරගන්න බෑ 🫣🤭 ඔය චොපර් එකේ පිටිපස්ස රෝදෙට තව පොඩි රෝද දෙකක් තියෙනවා සපෝට් එකට හයි කරන්න පුළුවන්. ඒවා දාගෙන මුල් කාලෙ ගියේ ඒත් දෙන්නෙක් දෙපැත්තෙන් යනවා වැටුණොත් අල්ලගන්න 😂 (පම්පෝරියක් නෙවෙයි මේක විලිලැජ්ජාවක්! 😂) අනෙක මම ඇටිකිත්තෙක් වගේ එතකොට, චොපර් එක ලොකුයි උසයි.
සීට් එක පවා adjust කරලා තිබ්බේ😏 

මේ මොන විකාරයක්ද කියලා තාත්තා උපදෙස් දුන්නා සපෝට් වීල්ස් අයින් කරන්න. මම ඉතින් වැටි වැටි දත කාගෙන සහයට ඩැනීලගෙ අධීක්ෂණය යටතේ දඟල දඟලා ඉඳලා පස්සේ ගෙවල් ලඟ යාලුවො කීපදෙනෙක් එක්කත් සෙට් වෙලා බයිසිකල් කෙරුවාව කළා 9 වසරට විතර වෙනකල්, ඒත් රෝද දෙක මට යාදුන්නේ නෑ පිංවතුනි.😂
එක සැරයක් ලේන් එකේ ඉඳන් හරස් පාරට 'බග්' ගාලා පැනලා ඩෙලිකාවකට දිවිපුදන්න ගියා. තව සැරයක් බෙන්ස් එකක් ඉස්සරහට ඇවිත් කාණුවක් පල්ලේ ලැග්ගා. ඊටපස්සේ යාලුවෙක්ගේ වත්තේ කොස්ගහක් පල්ලේ බව්බෙට්ස් ගොඩක් උඩ වැටෙන්න ගිහින් අනූනමයෙන් බේරිලා එහෙම රෝද දෙකේ චොපර් ජවනිකාව එහෙමම අවසාන වුණා.

ඉතින් කොහොමින් කොහොමහරි, මේ තාක් උපන්දින තෑගි අතර මගේ හොඳම මතකයක් ඔය චොපර් එක.❤️ ඒ කාලේ හැටියට ඕක ඇත්තම චොපර් එකකට වඩා වටිනවා (තාම) ළදරු හිතට 🤭❤️
(දැන් නම් අඩුමගාණේ 50,000-60,000ක්වත් වෙනවා ඇති බයිසිකල්).
ඇතිහැකි පමණින් එවන්වූ සැප සම්පත් ලබාදුන් දෙමව්පියන්ට නිවන් දකිනා ජාති දක්වා නිදුක් නිරෝගි සැප සම්පතින් කිසිදු අඩුවක් නොවේවා!😇

~Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia #Nostalgic90s

4 comments:

  1. පුළුවන් තරමින් හොඳම දේ තමයි දෙමව්පියෝ දරුවන්ට කරන්නේ.

    ReplyDelete
  2. හරිම රසවත් කතාව!ඒ වගේම දෙමව්පියන් ඔබ වෙනුවෙන් වෙච්ච මහන්සිය හා කැප කිරීම අගයන්න තරම් කෲතගුන සලකන ඔබ බොහොම යහපත් පුතෙක් බව පේනවා.ඔබ වැනි පුතෙක් ලබන්න ඔවුනුත් බොහෝ වාසනාවන්ත විය යුතු බව මට හිතෙනවා.

    ReplyDelete
  3. ඔය චොපරෙ තමා ඒ දාස්සොල අපේ හීන කුරුල්ල. චොපර් තියනඋං වංසවත් ඒ දිහ බලං ඉන්න අපි අඩු කුලෙ පර හැත්ත වගේ සීන් එකක් තිබ්බෙ. ඔව්ව තිබ්බ එකෙක් වත් ආසාවට අපිට ඔ්කක් අල්ලන්න දුන්නෑ

    මමත් බයිසිකලයක් පැද්ද. ඒක පරණ එකක්. හදල කරල ගත්තෙ.
    ඒ සයිකලේ පදින්න ඉගෙන ගත්ත විදිහ නං ලියන්නම වටිනව. ඒ දවස් වල සයිකලෙන් පතබෑවිල දෙරි ගැහිල තුවාල නොවිච්ච තැනක් නැතිව ඇති 😂😂😂

    සොමිබර වලිබර මතක ඉතිං 😁😁😁

    ReplyDelete
  4. මතක ඇවිස්සෙන විදිහට ලස්සනට ලියලා!
    මට තියෙන්නේ චොපර් ගැන දුක් බර සටහනක්. ඔයා ලියලා තියෙනවා වගේ ඒ කාලේ චොපර් එකක් හිමි කර ගැනීම අපේ අල්ටිමේට් හීනය වෙලා තිබුණා තමයි. මටත් අවුරුදු දහයක් විතර වයසේදී ඒ හීනේ තිබුණා. ඒ වාරේ වාර විබාගයෙන් පන්තියේ මුල් තුන් දෙනා අතරට ආවොත් චොපර් එකක් අරන් දෙන බව අම්මලා පොරොන්දු වුණා. මම සෑහෙන්න මහන්සි වෙලා ඒ වාරේ පන්තියේ තුන්වෙනියා වුණා. ඒත් ඊටපස්සේ ඕක ගත්තාට කොහෙද පදින්නේ (අපි හිටියේ නගරබද ව) වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න මතුවෙලා ඒ වැඩේ කෙරුණේ නැහැ. ඒ තර්කය හරි වුණාට එදා දැනුණු disappointment එක මට තාම පැහැදිලි ව මතකයි. ඉතින් ඒකෙන් මේකෙන් අදටත් මට බයිසිකල් පදින්න බැහැ.
    ඒත් මම මගේ පුතාට අවුරුදු හතක් විතර කාලේ බයිසිකල් පදින්න පුරුදු කළා. මුලදී පිටිපස්සෙන් අල්ලාගෙන දුවලා පස්සේ හෙමින් සැරේ අත ඇරලා ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න සෑහෙන්න කල් ගියා. තමන්ට නැති දෙයක් දරුවන්ට දෙන්න පුළුවන් බව මම ඒකෙන් ඉගෙන ගත්තා.

    ReplyDelete