Sunday, June 30, 2024

පොල් සම්බෝලයෝ සහ පූස් කතා

අපේ අම්මා දවසට දෙවරක් නොවරදවා කරන වතාවත් තමයි අසල්වාසියේ ඉන්න බලු - පූස් රොත්තට කන්න දෙන එක. අම්මා නොකෑවත් ඒක නොවරදවාම කරන්න ඕන. අම්මට බැරි දවසක වෙන කෙනෙක් කරන්නම ඕන. ඒක දන්න හින්දා කන්න දෙන වෙලාව ළං වෙද්දි හරි උන්ට බඩගිනි ආවම හරි ගේට්ටුව ඉස්සරහ පෙළට වාඩිවෙලා ඉන්නවා. ඊයේ පෙරේදා දවසක මම එද්දි සුපුරුදු අලු කලු සුදු රොත්තෙ මෙන්න පොල්සම්බෝලයෙක් ඉන්නවා! සුදුයි තැඹිලියි චූටියි. ඒ එක්කම මගෙ පරණ මතකයක් උඩ මතුවෙච්ච නිසා එතන බිම ඇණ තියාගෙන වාඩිවෙලා මම මේ පොඩ්ඩා එක්ක සුරතල් කතාවක් දැම්මා. ඔළුව අතගානකල් හිටියට ඉන්නෙ දකුණු අත බාගෙට උස්සන් සොත්ති කරන් ගහන්න බලාගෙන, පොඩිකමට නෙවෙයි ආත්මාරක්ෂක සටන් කලාව! මගෙත් ආදරෙ ඉහවහා ගිහිල්ලා රැවුල් කොටේ ඇල්ලුණා කියලා ඇඟිල්ල හැපුවනෙ මේක අර යන්තම් මතුවෙලා ඒත් ඉඳිකටු උල් වගේ තියෙන දත්වලින්. මම බැනලා නැගිටලා ආවා. 😂

ඔය වගේම එක්කෙනෙක් හිටියා මට අවුරුදු 8දි 9දි විතර. ඒ පොල්සම්බෝලයගෙ නම කිටී, අනික් එක්කෙනා අළුයි හැබැයි එයා කුලෑටියි, සමාජ ආශ්‍රයට ප්‍රිය නෑ. කිටී එහෙම නෙවෙයි මගෙ එක්කම තමයි ඉතින් යාලුකම. උදේට නැගිටින්න පරක්කු වුණාම හොයාගෙන ඇවිත් ඇඳට පැනලා වටේම ඇවිදලා මූණ දිහා බලන් ටික වෙලාවක් බලන් ඉඳලා සුදු මේස් කකුලක් උස්සලා මූණට හිමින් තට්ටු කරනවා ඇහැරවන්න. ඒක හරි නොගියොත් හා කමක් නෑ කියලා තුරුල් කරන් ඉන්න කොට්ටෙටයි මටයි හේත්තුවෙලා වක ගැහිලා එයත් නිදාගන්නවා. මං යන යන තැන වලිගෙ කොඩිය වගේ උස්සන් ඇවිදිනවා. හරිම ලස්සනයිත් එක්ක. ඒ වුණාට මහ ඇට්ටරකමුත් කරනවා. මොකද්ද මංගල්ලෙකට උඩ පැනලා උඩවල්වල දුවලා නටලා අපේ ආත්තම්මා චිරාත් කාලයක් පරිස්සම් කරපු, බලන්න ලැජ්ජා හිතෙන ජාතියේ වීනස් ප්‍රතිමාවක් වට්ටලා වීනස්ගේ ගෙල සිඳුණානෙ! 
අන්න දවස!
ලෝක විනාස ඔක්කොම එක දවසෙ. කොච්චර සත්ව කරුණාව වුණත් එදා නම් කිටියව දුටු තැන ගහන්න එලෙව්වා ආත්තම්මා. කිටියා දුවගෙන ඇවිත් මං ලඟ හැංගුණාම මම මද්දුම බණ්ඩාර වගේ කිටියා වෙනුවෙන් බෙල්ල දුන්නා. මගෙ කැත ඔලු ගෙඩියෙන් සිඳුණු වීනස් හිස රිප්ලේස් කරන්න බැරි හින්දා මාත් හොඳට අහගත්තා. (ඊයා! රිප්ලේස් කරන්න පුලුවන් වුණත් ඒ වගේ ප්‍රතිමාවකට නම් මම මළත් බෙල්ල දෙන්නෙ නෑ 😂).
කොහොමහරි ඉතින් කිටියට ගෙදර තහනම් කලාපයක් වුණා. ඉලන්දාරි වයසත් එක්ක මිනිහා ඊටපස්සෙ රස්තියාදුවට හුරුවෙලා කොහෙද මැරිලා හිටියා.💔

ඔය කිටියගෙ කාලෙ පූස් පරම්පරාවක්ම හිටියා එහෙ. හැබැයි ශෙඩී එනකල් හිටිය ඔක්කොම බව්වො එක්ක සහජීවනයෙන් හිටියා, එක පිඟානෙ කෑම කෑවා. එතකොට හිටිය කලූ කියන බව්වගෙ හැම මුරේකම පැටව් මැරුණා. ඒ දුකෙන්ම එක සැරේක කලූ තව කලු පූස් පැටියෙක්ව දරුකමට හදාගෙනත් හිටියා. ඒකට ශෙඩී! තාප්ප උඩ යන උන්වත් පැනලා ඇදලා අරන් පොළොවෙ ගහලා 13ක් ද කොහෙද මැරුවා. පුදුම භීෂණයක් තිබ්බේ.

මට මතක විදියට පූස් පරම්පරාව පටන් ගත්තෙ මමියගෙන්. මමී කියන්නේ සුදු වැඩිපුර තිබ්බ කළු දුඹුරු තැඹිලි කලවම් වයිරම් තිබ්බ බැලලියෙක්. එයාගෙ ළමයින්ව උපන් හැටියෙම පිටිපස්සේ ගෙදර උදවිය එලියට දාලා. කපුටො උන්ව කෑවා. මමියා පුලුපුලුවන් හැටියට උස තාප්ප දිගේ බැලන්ස් කරන් ඉතුරු වෙච්ච අයව බේරන් අපේ ගෙදරට ආවා උදව් ඉල්ලගෙන. අපි භාරගත්තා. එක්කෙනෙක් හිටියා සුදුම සුදුයි, වලිගෙ නෑ කපුටො කඩන් ගිහින්. එයාගෙ නම 'හාවා'. වැඩත් හාවෙක් වගේ තමයි ඉතින්. කැරට් කන්න රුසියා.

මම හිතන්නෙ මමියාගෙ ස්වාමි පුරුෂයා වුණේ 'කොටියා'. කොටියා කිව්වෙ නමේ හැටියටම ලොකුවට හැදුණු හැඩිදැඩි පූස් පුරුෂයෙක්. බොහොම තේජාන්විතයි ගමන බිමන බැල්ම. ලොකු හතරැස් මූණක් තිබ්බ අළු කහ කළු ඔක්කොම මිශ්‍ර අමුතු පාටක් තිබ්බ පූස් රජෙක්. බජාර් එකේම ඇවිදලා ඇවිත් පිටිපස්සේ බැම්මක කොටියෙක් වගේ දිගාවෙලා අව්ව තැප්ප කොටියව දවසක් මම කකුලෙන් අතගාන්න ගිහින් කෑවා. හරිම උපශාන්ත ලීලාවෙන් බඩ අතගානකල් ඉඳලා එක සැරේම මූණෙන්වත් වෙනසක් නොපෙන්නා විශාල අත්වල හංගගත්ත නිය දික් කරලා මගෙ කකුලට ගැහුවනේ මේ කොටියා! කකුලේ මහපටැඟිල්ලේ නියපොත්ත ලඟ මස් දාරෙ පිපිරුවා. සෑහෙන්න කාලයක් ගියා හොඳවෙන්න. 
ඒ දවස්වල කලවැදි කරදරේ තිබ්බා දරුණුවටම. ඒක හින්දා ගොඩක් පූසොන්ව උන් මැරුවා. කොටියා හැමදාම ජයගත්තට එක දවසක් නම් ලොකු යුද්ධයක් ගිහින් කලවැද්දවත් බදාගෙන වහලෙන් බිමට වැටුණා. කොටියා මැරුණේ ඒකෙන්ද කියලා මට මතක නෑ. ඒත් කොටියගෙ මතකේ ඒ දවස්වලින් ඉවර වෙනවා. 

ඔය එලියෙන් වටෙන් පිටෙන් ඇවිත් අපේ බස්නායක වීරසිංහ මැතිණියගේ දන්සැලෙන් කාලා ගියාට ශෙඩීගෙන් පස්සේ ගෙදර සුරතලෙක් විදියට පූසෙක් හදන්න අපිට බැරිවුණා. 

හැබැයි මම ගමේ හිටිය කාලෙ කොහෙන්දෝ පූසෙක් ඇවිත් සෙට් වුණානෙ. කව්ද ඔබ කවුරුන්දෝ කියලා මං ඇහුවට කිව්වෙම නැතුව හෙන පුරුදුකාරියෙක් වගේ වාඩිවෙලා හිටිය මගෙ ඔඩොක්කුවට පැනලා ගුලිවෙලා සැප නින්දකුත් දැම්මා. එයා ඇහැරෙයි කියලා මාත් වාඩිවෙලා ඉන්නවා දැකලා තාත්ත බනින්න ඇරපු කට වහන් 'දැන් ඔය සෙල්ලම් මාත් එක්කත් කරන්න එයිද දන්නෙ නෑ මෙතන' කිව්වට ඊටපස්සෙ ටික දවසකින් මේකා නිදාගත්තේ තාත්තාගෙ පය පාමුල නෙට් එක උඩ! 😂 මං ආවට පස්සේ දරු පරම්පරාවලුත් හදාගෙන බට්ටිටයි කලූටයි සද්දේ දාගෙන ඉන්නවලු. 

සතෙක් වුණත් ආදර කරුණාවකට නේ ඇදෙන්නෙ. සතෙක්ට හරි එහෙම ආදර කරුණාවක් පාන්න තරම් පිනක්, කරුණාවන්තකමක්, සංවේදීකමක් මගෙ පවුලෙ මිනිස්සුන්ටයි මටයි ලැබීම ගැන නම් අනේක වාරයක් මේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා. 🙏


මේ ඉන්නෙ දන්සැල් පෝලිමේ ඉන්න අයගෙන තුන්දෙනෙක් 

මේ කිටියා. මගෙ ඔඩොක්කුවට පැනලා නිදාගත්ත පළවෙනි දවස. 
සැප නින්ද
මෙව්වා මගේ! ඇයි මොකද? 
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia


3 comments:

  1. ඉස්සරලා බයෙන් බයෙන් ඇවිත් කාලා යනවා. පස්සෙ හිමීට බින්න බහිනවා.

    ReplyDelete
  2. හරිම ලස්සනට ලියලා තියනවා.ඔබ පූසන්ගෙ දඟකාර වැඩ බෲස්ලී පන්නයේ ඇටෑක් එක , ඒ වගේම ඒගොල්ලන්ගෙ ආඩම්බර කම,මහන්තත්ත කම හා අලසකමත් යස අපූරුවට විස්තර කරනවා.ඒ සේරටම වඩා මට ඒ ලිපිය ව්ඩාත්ම වටින්නෙ මගේත් ප්‍රියතම සුරතල් සතා පූසා වන නිසායි.මට හිතෙන්නෙ ලෝකෙ ඉන්න සුරතල්ම සතා පූසා කියලයි.

    ReplyDelete
  3. අපේ ගෙදරත් ඉන්නවා තමුං ක්ලියෝපැට්රා උත්තමාවිය කියලා හිතාගෙන ඉන්න බළල් රැජිණක්. පෝස්ට් එකක් ලියන්න මතක මතක් වුණා මේක කියවලා!

    ReplyDelete