Friday, July 5, 2013

360

යමෙකුට විවිධාකාරයේ පෞද්ගලික සම්බන්ධතා මාධ්‍ය සමග පැවතිය හැකිය.එහෙත් ඒ පුද්ගලයා 'පොරක්'වීමට මාධ්‍ය භාවිතාකරන්නේනම් එය පාණ්ඩිත්වය නොව මුග්ධබවක් සහ පෞර්ෂ බුන්වත්වීමක් පළකරන්නකි.

අද මාධ්‍ය පරම්පරාවේ වඩාත්ම රැඩිකල්යැයි,උගත්යැයි අධිතක්සේරුවක් දිල්කා තුළින් පළවනවිට තමාගේ ඒ හැසිරීමම සැඟවුණ මුග්ධබවක් ප්‍රකට කරවන බව තේරුම් ගැනීමට තරම් සරල සාමාන්‍ය දැනීමක් ඇය තුළ නොවන බව මාගේ අදහසයි.දේශපාලනය යනු ඝට්ටන, තර්ක විතර්ක, මඩ, වංචාදූෂණ, සොරමැරකම් ආදී එකීමෙකීනොකී සියළුදෙයින් පරිපූර්ණවූ ක්ෂේත්‍රයක් වන නිසාම ඒ තුළ කතාකරන්නටද බොහෝ දේ ඇත.ප්‍රශ්නය ඇත්තේ කතාකරනාදෙයටත් වඩා අනික් පාර්ශවය කුප්පවනසුළු ආකල්පයයි.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ විශිෂ්ඨතම දේශපාලන වැඩසටහන දිල්කාගේ 360 නොවේ.නමුත්, එවැනි ආකල්පයක් ඉරියව්වකින් හෝ පළ කෙරේනම් ඒ පුද්ගලයා, සහ 'මේ මගේ බජාර් එක'යැයි වචනයෙන් පාරම්බාන චණ්ඩියෙකු (හෝ කාඩ්බෝඩ් වීරයෙකු ) අතර වැඩිමනත් වෙනසක් නැත.වෙනසක් ඇත්නම් ඇත්තේ ඇගේ ආකල්පය මුළු රටටමත් චණ්ඩියාගේ ආකල්පය ඔහුගේ බජාර් එකටත් පමණක් පෙනීමය.



කලකට පෙර චමුදිත මෙහෙයවූ 'ජනහඬ' ඔබටත් මතක ඇතැයි සිතමි.එකල දොඩම්ගෙඩි දෙකක් උස නැතිවුවද,කියනා සියළු හරුපයන් නොතේරුණද මමත් එහි ප්‍රේක්ෂිකාවක වූ බැවින්, මේ දැන් නැගිට මේස පෙරලාගෙන අනිකාගේ බොටුව මිරිකතැයි සිතිය හැකි උද්වේගකර අවස්ථාත් වැඩසටහන මෙහෙයවන්නා හෙවත් පූරකගේ තත්වය රැකගනිමින් පාලනය කරගන්නට ඔහු සමත්වූබව මට මතකය.එහෙත් දිල්කාගේ වැනි, අප වැනි සාමාන්‍ය ජනතාවට පවා කණට ගසන්නට හිතෙනා බොරු ආටෝප පෞර්ෂත්වයක්, ආකල්පයක් ඔහු තුළින් පළ වනු මම දැක නැත්තෙමි.චමුදිත පසෙක තබා කිංස්ලි රත්නායක පිලිබඳව කතාකළද එවන් අවස්ථාවකදී එවැන්නක් පළවෙනු දැක නොමැතිබව කිව හැකිය.ඒ අතින් බලනකල දිල්කා දෙවැනිවන්නේ හඩ්සන් ලොක්කාට පමණක්ම වියයුතුය.

දේශපාලනය කතිකාවතකි.එහි ආරාධිත ලොක්කා හෝ සොක්කා කියන සියල්ලට හිස නැමිය යුතු නොවන්නාසේම, තම පියස යට පොරක්වීමට උත්සහකිරීමෙන්ද සමබරතාවය බිඳීමක් මිස සිදුවෙන වෙනත් ඉටිගෙඩියක් නැත.දිල්කාටද වැරදි ඇත්තේ අන්න එතැනය.හරස්ප්‍රශ්න වේවා, මතවාදයට තුඩුදෙන ඕනෑම කරුණක්වේවා ,මිනීමැරුමක්, වංචාවක් ආදී ඕනෑම කළු ලකුණක් වේවා, සාකච්ඡාවට ලක්කරන යම් පිළිවෙළක් ඇත.රිදෙන්නට ගසන්නට අවැසි තැන, අවඥාව අවැසි තැන එයටද යම්කිසි කලාවක්වෙයි.සිනහවකින් යුතුව, අවඥාවට වුවත් වෘත්තීය ගරුත්වයෙන් යුතුව කෙනෙකු කතාකරනකල එය ප්‍රේක්ෂකයාට පවා අප්පිරියාවකින්තොරව සහ තම අවධානය අදාළ කරුණට දෙමින් නැරඹිය හැකිවන්නේය.එසේම, කියන්නට යමක් අවශ්‍යම කල කිතුලට ගිය විලාසිතාවේ කතන්දර හෝ වචනයක් මතම එල්ලී පිහිටක් සොයන ආකාරයේ හැසිරීම මාධ්‍යතුළ ප්‍රතිරූපයක් කෙසේවෙතත් නිරුවත්වීමක්නම් වන බව නොබියව කිව හැක.එය රැඩිකල් නොව 'ටාසන් බාප්පාගේ කතාවක්'හා සමානවන විහිළුවක් වෙයි.

මෑතකදී දිල්කා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඈ කියා තිබූ පුරසාරම් කතන්දරයක් මටත් කියවන්නට ලැබිණි.එයින් කියවුණේ වැඩසටහන අතරතුර කැමරාව ඉදිරියේ මිසක ආරාධිතයා සමග ඇගේ සුළු හෝ කතාබහක් නොවන බවයි, අඩුමතරමින් මූණවත් නොබලන බවයි.එයින් ඇය කියන්නට බලාපොරොත්තුවන්නේ  තම වෘත්තීමය තත්වය නිසිලෙස රකිනාබව වුවද මගේ හැඟීම එයින් ඇය තුළවන අනවශ්‍ය මානයක් සහ මිනිස් සබඳතා පවත්වාගැනීම කෙරෙහි වන නොහැකියාවක් පසක්වන බවයි.මුහුණ බැලීමෙන් හෝ සාමාන්‍ය සුහද කතාබහෙන් ඇගේ වෘත්තිමය තත්වයට යම් හානියක්වන බවක් ඈ සිතයිනම් එයින් ගම්‍යවන්නේ එක්කෝ ඈ තම හැඟීම් පාලනයේ අසමත්බවයි, නැතිනම් වෘත්තිමය තත්වය යනු කුමක්ද සහ එය රැකගතයුතු ආකාරය ගැන හරිහැටි වැටහීමක් ඈ තුළ නොවන බවයි.එසේ හෙයින්, ප්‍රේක්ෂකයෙකුගේ භූමිකාවේ සිටිමින් මගේ සිත තුළ ඇය කෙරෙහි යම් අනුකම්පාවක්ද පහළවෙයි.

මම විරාජමානවූ මාධ්‍යවේදියෙක් නොවෙමි.එනමුත් යමක් සිදුවිය යුතු සුදුසුම ආකාරය ගැන මට යම් වැටහීමක් ඇත.බොහෝ අත්දැකීම් ඇති, ලෝක පූජිත, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා බොහෝසෙයින් නිහතමානීවන ලොවක, රැඩිකල්යැයි තමන්ම විහින් සිතා අහංකාරවීමට නම් ඇයට තිබුණේ 360 වැන්නකට අත පෙවීම නොව දෙරණේ අනුග්‍රහයෙන් හෝ 'අහංකාර ස්ත්‍රී' හී රීමේක් එකක් කරන්නටය.

දේශපාලනය නාරාවලකි.නමුත්, ගොඩසිට කෝටුවලින් පෙරළා මගක් පාදාගන්නට බැරිය.බත්ගොට්ටෙකු නොවී සිටීම ගෞරවණීයය.ඒ වාගේම අන්තර් සමාජ සම්බන්ධතා ගැන සුළුහෝ දැනුමක්, තැකීමක් නොවීම පරිපූර්ණ හෝ ගෞරවණීය මාධ්‍යවේදියෙකු බිහිකිරීමට අසමත්ය.තම පෞද්ගලික පුහුමාන්නය කරපින්නාගෙන ගමන් යන්නට නම් කොළඹ 7න් මන්දිරයක් ගෙන සුපිරියට ජීවත්වීම මිස මාධ්‍ය ඔස්සේ බහුතර සාමාන්‍ය ජනයා හා ගැටී මෙගා නාටකයක් වීම ගැලපෙන්නේ නැත.

2 comments:

  1. අනේ මංදා....
    නරාවලක් උනත් හැමෝම පොරකන්නෙ ඔය දේශපාලනේට එන්නෙනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඇයි ඉතින් අධිවේගී දියුණුවනේ :)

      Delete