Wednesday, July 3, 2013

ඕපාදූප


අපි එක්කහු වුණාම එක එක ඕපාදූප කතාවෙනවා ඉතින්.රූප පෙට්ටිය නොබලන නිසා මා නොදත් කතන්දර අප්ඩේට් කරන්නෙත් එයාලා තමයි.තාත්තා ඉතින් ඔය කතන්දර අහන්න සෙට් වෙච්ච වෙලාවකනම් ටිකක් පරිස්සමින් තමයි කතා කරන්න ඕන.මොකද ජොලි කතා හිනාවෙවී අහන් උන්නට, තවත් මොනාහරි හිනා කතා එහෙම කිව්වට සමහර කතාවලට තරහ අරන් පුපුරන්නත් ඉඩ තියෙනවා.අනික ඉතින් තාත්තා ඕපයක් කියන එකක්යැ, මොනහරි කිව්වොත් වගන්ති දෙකයි කතාවම කියලත් ඉවරයි.බෑණා පොඩ්ඩත් ඉතින් ඒකටම ගැලපිච්චි!හැබැයි ඉතින් ඔය මාමලා බෑණල ජොලි කතාත් කියනවා වෙලාවකට හිතාගන්න බැරි.

(දැන් බ්ලොග් එක කියවන කට්ටිය හිතාවිද දන්නේ මුං මහ ඕපමලුනෙ කියලා.ඒත් ඉතින් සමහර පිරිමි ඕපාදූප කියන්න ගියාම ගෑනු අපි පරාදයි කියලත් අපි දන්නවා හොඳේ. :P )

ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති මගේ කතන්දර අහන්න.මොකද එව්වා රඟපාලත් කියන නිසා හිනාවෙතහැකිනේ.හැබැයි ඉතින් ඔය ඔෆීසියේ, මගතොට අහන දකින රස කතා මිසක් කාවවත් අපහසුතාවයට ලජ්ජාවට පත්කරන එව්ව, චරිත ඝාතන එහෙම නෙවේ මං මේ ඕපාදූප කියලා කිව්වේ.දැන් කාලේ 7ට, 8ට ,9ට, 10ටත් නිව්ස්ය කියලත් ඕප කියන රටක මේව බොහොම අහිංසක රසවින්දනයක් සඳහා කියන අපි අතර පමණක්වෙන පිස්සු කතා.:)


ඔය වගේ අපේ පරණ කතා කියද්දි අපේ අම්මා කියන්නේ මම පුනරුත්පත්තිය කියනවා කියලා.ඒ මම කාල වකවානු සහිතව පැරණි රසාංග කියන වෙලාවට.අනික අනික් ජොලි කතාවලට හේතුව මම පොදු ප්‍රවාහන සේවයේ නිත්‍ය සාමාජිකයෙක් වීම.ඔය මහමග බස්වල ඉවසගන්න බැරිතරම් හිනායන එව්ව වගේම ඇඟේ ලේ රත්වෙන, ඇඩ්‍රිනලීන් ස්‍රාවය ඉහළ යන සිද්දිත් ඕනතරම්නේ.

ඔන්න මේ ඒ වගෙ බස් කතාවක්.හැබැයි ඒක උනේ මට නෙවේ මගේ යාලුවෙක්ට.මේ යාලුවා ඉන්නේ නව නුවර පාරට කිට්ටුව.ඒ පාරේ බස් යනහැටි අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ නෙව.බස් එක ලඟින් ගියාට පස්සේ ඉහේ සිට පතුලට පරීක්ෂා කරලා බලන්න ඕන අතපය හතරයි ඔළුවයි තියෙනවද කියලා.ඉතින් ඔය පාරේ යන දුර බස්වලට ලඟ පාත කෑලි නග්ග ගන්නේ නෑ.පොඩි කෑලි කිව්වෙ රුපියල් විස්සේ තිහේ කෑලි ගැනත් උන්දැලැගේ එච්චරටම මනාපයක් නෑලු.ඉතින් මේ මගේ යාලුවා පොෂ් කෑල්ලක්.ඒවුණාට සමාජවාදියෙක් වගේ කොන්දට ගිහින් කියනවලු 'අනෙ අයියේ,මේ යක්කල පන්සල ලඟින් දාන්න පුළුවන්ද?" කියලා.කොන්දටත් ඉතින් මල් හිනා ඇති හුරුබුහුටි පොෂ් කෙලි පොඩ්ඩක් ඇවිත් ඔහොම කිව්වම.'හරි හරි නගින්න නගින්න' කියනවලු.

දැන් වැඩේ වෙන්නේ යක්කල කිට්ටු වුණාමලු.මොකද ඉතින් බස් එකේ කට ලඟටම සෙනඟ පිරිච්චි, එක තත්පරේක පමාවකින් නිට්ටඹුව පැත්තේ පන්සලුත් පහුවෙන්න ඉඩතිබිච්චි.දැන් අපේ යාළුවා ශේප් එකේ කිට්ටුවෙලා කොන්දට කිව්වලු 'අයියෙ යක්කල පන්සල..' උත්තරේ ආවලු 'හා හා නංගී ඩ්‍රයිවර්ට කියන්නකො ඉස්සරහට ගිහින්' කියලා.මෙයත් ඉතින් පොඩ්ඩක් සෙනඟ පීරාගෙන ඉදිරියට ගිහින් රි‍යැදුරුතැනට කිට්ටුවෙලා කිව්වලු 'අයියේ යක්කල පන්සල ලඟින් බහිනවා' කියලා.

ඩ්‍රයිවර් මහත්තය දුන්නලු ටෝක් එකක් 'යක්කල පන්සල??? පිස්සු කතා කරනවද! මේව මේ දුර බස්.මේව ගෙවල් අස්සේ ඉන්න මිනිස්සුන්වත් දාගෙන යන එව්ව නෙවෙයි..බ්ලා බ්ලා" කියලා හෙණ සද්දෙන්.කොච්චර තද බදවෙලා, අමාරුවෙන් එල්ලිලා හිටියත් ඉතින් ලංකාවේ මිනිස්සු ඕපවලට හරිම ලොල් නේ.ඒ නිසා පැස්බරු වගේ කට්ටියම බෙලි දික්කරන් අමතනු ලබන්නව හොයනවලු.මගේ යාලුවත් බෙල්ල දික් කරන් උන් දිහා බැලුවලු 'කවුද අනේ' කියලා මූණෙන් අහනගමන්.නැත්නම් ඉතින් මොන විලිලැජ්ජාවක්ද කෙල්ලට වෙන්නේ.අනික ඔය කොන්දා ලඟට සෙනඟ පීරාගෙන දිව්ව වෙලේ මෙයාගෙ උල්සපත්තුවලින් බැටකාපු මිනිස්සු කොහොම හිනාවෙයිද කියලත් හිතාගතහැකිනෙ?කොහොමහරි යන්තමට යක්කල පන්සල ලඟින් මෙයාව හලලා යන්න තරම් රියැදුරු මහත්තයගෙ කරුණවක් තිබිච්ච බව තේරුණ පහුවදා යහතින් වැඩට ආව නිසා.

ඔය බස් මගීන්ගේ ඕප පෙරේතකම කියද්දි මට මතක්වුණේ, කාලෙකට කලින් ජංජාලේ වැඩ කරද්දි අපිට රාත්‍රී සේවා මුරයක් තිබුණ.ඕක ඉවර වෙලා අපි ගෙදර එන්නේ ෂවර් එක සහ ඇඳ පෙනි පෙනි.ඒ පාන්දරට මිනිස්සු කොළඹ පැත්තට එනවා මිසක් කොළඹින් යන්නෙ නැහැනේ.ඉතින් බස්වල ක්‍රිකට් ගහන්න තරම් ඉඩ තියෙනවා.ඒකේ වාසිය ගන්නේ ඔය වගේ ඕපමළු.මොකද කොහේහරි පාරේ කොළඹට යන පැත්තේ තදබදයක් වගේ පෙනුනොත් මිනිස්සු එහා පැත්තට දුවල ජනේලවලින් ඔළුව එළියට දාලා බලන හැටි නම් ඔයාලා බලන්නම ඕන අප්පා.පියවෙන ඇස් අස්සෙන් ඒ ජෝගිය දැක්කම එන හිනාව මම කාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් (මොකද මගෙ හිනාවේ දේහලීය අගය හරි අඩුයි) ඊටප්ස්සේ ලොකු ඩැමේජ් එකක් නැත්නම් මූණු පුළුටු කරන් ඇවිත් වාඩිවෙන කට්ටිය නවත්තපු තැන ඉඳන් ආයෙත් කිරන්න පටන් ගත්තම මගේ හිනාව ඩබල්වෙනවා. 

ඕව ඉතින් ගෙදර ඇවිත් රඟපාල කියද්දි කොහොමද කියලා හිතාගතහැකිනෙ?

5 comments:

  1. යකෝ මේක ඕප මල්ලක්නෙ....

    ReplyDelete
  2. යකෝ මූත් හෙන ඕපයෙක්නේ. අනිත් එවුන්ගේ ඕප හොය හොයා යන. හැලපස්ටයිල් කතාවක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.:) මොකද්ද ඒ ස්ටයිල් එක?

      Delete
  3. //දැන් බ්ලොග් එක කියවන කට්ටිය හිතාවිද දන්නේ මුං මහ ඕපමලුනෙ කියලා//
    හෙහ්..... හිතන්නත් දෙයක්ද මේක....... :පී
    මට මැවිලා පේනවා...... :D

    ReplyDelete
    Replies
    1. හී හී..සමනළීට මොනවද මැවිලා පේන්නේ? ඕප කියන හැටිද? :P :P

      Delete