Saturday, November 30, 2013

බඩගෝස්තරවාදය

කාලයක් තිස්සේ ලියන්නට හිත හිතා උන් දේශපාලන කතාවක් ලියන්නට නිමිත්තක් ඇස ගැටුණේ ඉරිදා පත්තර කියවද්දීය.

"රනිල්, චන්ද්‍රිකා, ෆොන්සේකා, සම්බන්ධන් එක පෙරමුණකට එති"යි තිබූ හෙඩිම දැකීමෙන් මම උඩ ගොස් බිම වැටුණෙමි.එකවණම සිතට නැගුණේ කාරණා දෙකකි; එකක් බල තණ්හාවය, අනික දේශපාලන බංකොලොත්භාවයය.



රනිල් වික්‍රමසිංහ බුද්ධියක් තිබූ උගත් දේශපාලකයෙකි.අද ජෝකර් කෙනෙක් බවට පත්වී රටම හිනැස්සුවාට කෙලින් කටින් හිටි යුගයක් ඔහුට තිබුණි.බටලන්ද වධකාගාරය ක්‍රියාත්මකවන කාලයේ තරුණ කොල්ලන් සහ කෙල්ලන්ට අමානුෂික ලෙස වධ දී මරා දැමූ බව අපි අසා ඇත්තෙමු (එවකට මේ ලියන මම කුඩාවෙක් වුවද ඒ භීෂණයේ අඳුරු මතක මට ඇත).බටලන්ද වධකාගාරය ගැන නැවත ඇවිස්සුනු කාලයකදි කියැවුණේ දස වධ විඳි කොල්ලන්ගේ ඔළුවලට අඟල් 6 පරාල ඇණ ගසනු එවකට රජයේ ප්‍රබලයෙකු වූ රනිල් වික්‍රමසිංහ නැරඹූ බවයි.මා ඇසින් දුටු සාක්ෂියක් නැතිවුව, ඒ සත්‍යයක් විය හැකි සිතෙන්නේ, එවන් බුද්ධියකින් හෙබි පුද්ගලයෙකු අද වැටී ඇති තත්වය දෙස බලද්දීය.එය කර්මය පටිසන්දීමකි සිතිය හැකිය.එසේවුව ඔහුගේ බල තණ්හාවේ නිමක් නොවන බව අද එක්සත් ජාතික පක්ෂය තුළවන ඝට්ටනයෙන් පෙන්නුම් කෙරේ.මේ කියන්නේ සජිත්ට නායකත්ව සුදුසුකමක් ඇතැයි කියා නොවේ.ලංකාවේ ප්‍රබල විපක්ෂයක් වූ, ආණ්ඩු පක්ෂය ලෙස වසර 17ක් වැජඹුණු එක්සත් ජාතික පක්ෂය අද හක්ක පටස් එකකට බිලිවූ හස්ති රාජයෙක් හා සමාන වන්නේය.දුක වන්නේ ඒ තත්වය විහින් ඇතිකරගත් තත්වයක් වන නිසාය.

ඒ කර්මයද විය හැකි ලෙස, රනිල්ට දැනට අවුරුදු 13-14කට පෙර සිටම නැගී එන තරුණ නායකයන් පෙන්නන්නට බැරිවිය.එහෙම එකෙකු දුටුවිට 'රැඩිකල්'යැයි පට්ට පතුරු ගසා දැමීම ඔහුගේ පිළිවෙත බවට මට අත්දැකීමක් ඇත.එසේ හෙයින්, පළවූ හෙඩිම ගැන මට කියන්නට ඇත්තේ තමන්ගේ ගෙතුළ ගින්දර ඇවිලෙද්දි නීරෝ වෙන්නට එපා කියාය.අද තත්වය බලනකල එජාපය රට වටා යන විගඩමක් වී ඇත්තේ රනිල්ගේ අවිදුර දෘෂ්ටිකත්වය නිසාය.එසේ හෙයින් දැන් රනිල්ට එල්ලෙන්නට නම් මොකක් හෝ නැට්ටක් අවශ්‍යය.එය කොටි වලිගයක් හෝ ඇමරිකන් ටේල් කෝට් එකක කොණක් විය හැකිය.



චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මේ රටේ හිටි ජනාධිපතිනියකි.අද ම.රා.ට සේම මොන දේ කළද ඈට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබිණි.කොයි දේත් පහු පහුවනවිට කොහු කොහුවන්නසේම ඝට්ටන රැසක් සහ ව්‍යවස්ථාව හරස්වීමෙන් ඈට ධූර කාලය අවසන යන එනමං නැතිවිය.බලය තිබූවෙකුට බලය නැතිවීම නපුරු සිහිනයකි.ඈට එය කොයිතරම් බර සිහිනයක් වූවාදැයි තැන තැන ගොස් කල විකාරරූපී ප්‍රකශයන් දුටු මෙරටේ මධ්‍යස්ථ ජනතාවට පෙනෙන්නට ඇත.

තම පක්ෂයම තැන තැන විවේචනය කිරීම සදාචාරාත්මක නොවන බව මගේ හැඟීමය.හේතුව, ඈ ගොඩ නැඟුනේ එතැනින් බැවිනි.එදා ඈට ඡන්දය දුන් එව්වන්ගේ මුහුණට කෙළ ගැසුවානම් ඊට වඩා නම්බුයැයි මට සිතේ.
(කොහොම කීවද ඔය කියූ සදාචාරාත්මක බව නැත්තේ චන්ද්‍රිකාට පමණක් නොවේය)

ඈට අවැසි වී ඇත්තේද ගිලෙන නැවකින් හොඳ නැවකට පැනගන්නටය.ඉතින් ඒ කොටි වලිගයක් වූවත් වගක් නැතුවා ඇත්තේ කොටියෙකුගෙන් හෝ බලය ලබාගැනීමේ සිහිනයක පැටලී හිඳින නිසා විය යුතුය.



ඊලඟ චරිතය සරත් ෆොන්සේකා ය. ඔහුම පරාජය කරන්නට දායක වූ කොටියාගේ වලිගය අල්ලාගන්නට තරම් පහත් තත්වයකට වැටීම පෙන්වන නොමේරු දේශපාලකයාට අනුකම්පා කළයුතුද සිනහ සිය යුතුදැයි මට තේරුම් ගත නොහැකිය.

රණවිරුවෙකු ලෙස ෆොන්සේකා අතිසාර්ථකය.ඒ ගැන විවාදයක් නැත.ඔහුගේ ඒ කාගෙන ඉදිරියට යන ගතියෙන් කළ යුධ ජයග්‍රහණයෙන් කොටසක් ඔහුට හිමිවිය යුතුය.නමුත් අවාසනාවකට (ඔහුගේ හෝ ජනතාවගේ), බල තණ්හාවද ඔහුගේ සිත පුරා කාගෙන විහිද තිබුණා විය යුතුය.නැතිනම් එවන් පුද්ගලයෙකු තුට්ටු දෙකේ ලණු කන්නේ නැත.ඒ සම්බන්ධව සාමාන්‍ය ඡන්දදායකයෙකු ලෙස මගේ අදහස් දෙකකි: එක්කෝ ඔහුට දේශපාලනයේ බරක් පතලක් නොතේරුණා විය යුතුය, එක්කෝ ඔහු තුළ වූ අධික බල ලෝභයෙන් ඔහු වියරු වැටුණා විය යුතුය.

එක අතකට ඔහු, චන්ද්‍රිකා සහ රනිල් අතර වෙනසක් නැත.මෙවර මැතිවරණයේ තුන්වැනි තැනට ආවාය කියා ෆොන්සේකා දුන් සම්මුඛ පරීක්ෂණ කියැවූ 'මට' ලැජ්ජා හිතිණි.'අපි දැන් මේ රටේ තුන්වැනි බලවේගය, ඊටප්ස්සේ ප්‍රධාන විපක්ෂය, ඊටපස්සේ බලයට පත්වෙන රජයයැයි" රෝහණ විජේවීරවත් නොකියන්නට ඇතැයි කියා සිතෙනා ජාතියේ කථාවක් ඔහු කියා තිබිණි.ඒ කතාවේ හැටියට නම් ජවිපෙ සෝමවංශ ඔහුගේ බැචෙක්දෝයි සැකකුත් ඇතිවිණි.

ඒ කතාව කියා පැය 24ක් යන්නට මත්තෙන් ඔහුගේම පක්ෂයේ එකෙක් ප්‍රෝඩාවක් කළැයි පක්ෂයට විරුද්ධව නීතිමය පියවර ගත්තේය.නායකයා හමුවන්නට ඉල්ලද්දි "ඔයිට වඩා ලොකු මිනිස්සු නායකතුමා හමුවන්නට බලා ඉන්නවා"යැයි කියූ වටපඩයෙක් ඔහු එළවා දැමූ බව ඔහු රටටම හැඬු කඳුළින් කීවේය.

මේ ලියන මට ෆොන්සේකා ගැන අමුතුවෙන් කිවයුතුවන්නේ නැත.ඔහු සහ ඔහු වටා සිටින මෝහයෙන් මුළාවූවන්ගේ ආකල්පයන් මම හොඳින් දනිමි.කොටි හා යුද්ධ කොට ජයග්‍රහණයෙන් පසු දේශපාලනයට පැමිණීමෙන් සහ සිරගතවීමෙන් ම.රාගේ අම්මා මුත්තා සමඟත් වයිර බැඳි ඔහුගේ ප්‍රබලතම සගයෙක්ගේ භාර්යා තොමෝ මා සමගම කීවේ නැවත කොටි ඇති විය යුතු බවය.ඒ කතාවේ තිබූ පාදඩ ප්‍රාර්ථනය ඇසූ මගේ ලේ නටන්නට ගත් නමුත් ඉවසා සිටින්නට සිදුවූයේ ඈ මගේ ඥාතිවරියක වන නිසාය.ඇගේ එක් පුත්‍රයෙකු ඇමරිකාවෙ යන්නට උත්සහ කර දෙතුන්වතාවක් වැඩේ අල වූ විට එක මොහොතින් ඒ කර දුන්නේ ෆොන්සේකාය.ඉතින් උන්දෑට නම් ඇමරිකාව හෝ තිබුණද නැවත රටේ තැන තැන බෝම්බ පුපුරා යන්නට පටන් ගතහොත් එයින් බල්ලන් බළලුන් සේ මියෙන්නේ මේ ලියන මාත් ඔබත් වැනි සාමාන්‍ය ජනතාවය.



අනිකා සම්බන්ධන්ය.පුල්ලි වැහෙන්නට රෙද්දක් ඇඳ ඉන්නා ඔහුගේ කෙරුවාව ගැන අමුතුවෙන් යමක් කියන්නට නැති බව ඔබ දන්නේය.ලඟදී ජයලලිතාත් අමුතුම ගරු රඟපෑමක් කර ඇති බව සැලය.ඒ දකුණු ඉන්දියාවේ කොටින් සම්බන්ධ කටයුතු සියල්ල නවතාලන්නට වෑයමකි.ඈ රහත් වෙන්නට යනවාදැයි මම නොදනිමි.නමුත් ඔය වෙස් පෙරළීම නම් කිසිලෙසකටත් හොඳකට නම් විය නොහැකිය.කොටි අම්මාට ඇති දරු කැක්කුමේ නිමක් නැති බව අපි හොඳාකාරවම දනිමු.

2008 වසරේ අග භාගයේ යුද්ධය දිගින් දිගටම කෙරෙන කාලයක චෙන්නායි නුවර සංචාරයකට ගිය අපට ඔවුන්ගේ පුල්ලි හොඳින් පෙනිණි.අප නැවතී උන් තැන වේටර්වරුන් සියල්ලන්ටම කැඩුණු ඉංග්‍රීසියෙන් අහන්නට තිබුණේ එකම ප්‍රශ්නයකි, "ලංකාවෙ යුද්ධයට මොකද වෙන්නේ?" ඒ තුළ වූ නොසන්සුන්කම පෙනි පෙනීත් මම සාමයට අත දිගු කරමින් කියා සිටියේ ලංකාව වැනි හින්නිකිත්තර රටකට රාජ්‍ය දෙකක් කියා මරාගෙන පලක් නැති බවය.එවිට උන්ගේ ඇස් තුළින් එළියට ආ බැල්ම මෙහෙසුරු වාගේය.මොකක් හෝ පිනක් තිබී ඒ කිව් කටද රැකගෙන ලංකාවට එන්නට මට වාසනාවක් තිබුණි.

ඒ මා කීවේ තමිල්නාඩු දමිළයන්ගේ ආකල්පයේ හැටිය.ඉතින් උන් එහි සිට අඹරන ලණු මෙහේ අපේ මෝඩ බයියෝ තලුමරමින් ගිලිති.යුද්ධයෙන් පරාජයවූ උන්ට දැන් දේශපාලන මුහුණුවරකින් යුතු ඊලමක් බිහි කරගන්නට අවශ්‍යය.'ඉඟුරු දී මිරිස් ගත්' අපේ වරිගේ චන්ද්‍රිකාලා, රනිල්ලා, ෆොන්සේකාලා මිරිස් වෙනුවට අශූචි වළක්ම ගන්නට සූදානම් වීම සිරාම විහිළුවකි.ඒ වාගේම ඒ පිටුපස නිර්වස්ත්‍රවී පෙනෙන උන්ගේ නිහීන බඩගෝස්තරවාදීකම මහත් අපුලක් දනවයි.

 රටේ සාමාන්‍ය ජනතාවේ එකෙකු ලෙස මට කියන්නට ඇත්තේ මේ ටිකය.
රනිල්ට රකින්නට දරු මල්ලෙක් නැත.
චන්ද්‍රිකාගේ දුව සුද්දෙකු හා සරණ ගොස් එංගලන්තයේය, පුතාද මෙහි පදිංචියක් නැත.
ෆොන්සේකාගේ දුවලා දෙදෙනා ඉන්නේ ඇමරිකාවේය.අවැසිවුවොත් ඔහුත් ඔහුගේ දකුණු වම් අත් සමග ඇමරිකාවට පැනගන්නට හැකිය.
සම්බන්ධන්ට තමිල්නාඩු රැකවරණය ඇත.
මේ ලියන මට සහ කියවන ඔබට???

අපිට රැකවරණ දෙන්නට මොකෙක්වත්ම නැත.අපි රැකෙන්නේ මේ පුංචි රට තිබුණොත්ය.වටේ ඇති මහ මුහුදට බැස ජීවත්වන්නට මඟක් අපට නැත.

පහුගිය 30 වසරක් පුරා බෝම්බවලින් මියැදුණේ ඔබේත් මගේත් අහිංසක දෙමව්පියන්ය, දරුවන්ය, සමීපතයින්ය.එවකට කොළඹ අවට බෝම්බයක් පිපිරුණුකළ අපේ එකෙකුගේ ආරංචියක් ගන්නට මෝචරි අස්සේ රිංගා මිනී කෑලි පෙරල පෙරලා අඬ අඬා හොයන්නට සිදුවූයේ අපටය.උදයේ ගෙදරින් මරණ වරෙන්තුව අත තබාගෙන ගොස් ගෙට ගොඩවූ පසු සැනසුම් සුසුමක් හෙලුවේ අපය, අපේ පවුලේ උන්ය.

කොයිවෙලාවේ බෝම්බයකට බිලිවේදැයි වටපිට ඇහැලමින් දෙගිඩියාවෙන් ගමන් ගිය මගීන් අප ය.කාර්යාල කොටි ඉලක්ක බව දැන දැනත් එදා වේල හම්බකරගෙන කන්නට අවැසි නිසා මරණ බිය කුසගින්නට යටකළේ අප ය.මායිම් ගම්මානවල මහා මිනිස් සංහාර හැමදාකම ප්‍රවෘත්තිවලින් නරඹා කරකියාගන්නට දෙයක් නැතිව අසරණව බලා උන්නේ අප ය.අනුරපුර ජයශ්‍රී මහා බෝධිය අසල අපෙ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා අමුඅමුවේ ඝාතනයකරනු කොටි නිකුත් කල වීඩියෝ පටය දැක කඳුළු සැලුවේ අප ය,අරංතලාවේ මහ භික්ෂු ඝාතනය දැක හද කම්පා වූයේ අපගේ ය, නුවර දළදා මාළිගය අසල බෝම්බ පුපුරද්දි හැඬුවේ අපේ හිත් ය.


 
අද අපි මරණ බියෙන් තොරව ගමන් කරමු.බෝම්බයකට හසුව කෑලි කෑලි ගොස් නොදත් මහ මගක මියෙනු නැති බව සාක්ෂාත් කරගත් දවසක් අද අපට ඇත.ගෙදරින් එළියට බසින්නට පෙර දකින අම්මාගේ මුහුණ බලන්නට හවසටත් එතහැකි බව දැන අපි අද රැකියාවට යන්නෙමු.

ඒ පුදුමාකාර මානසික නිදහස සහ සැනසීම දැනෙනුයේ ඒ දුක විඳි ඔබටත් මටත්ය.ඒ නිසාවෙන් මෙවන් අධම සිදුවීම් වැලකීම ලංකාවාසී අප හැමදෙනාගේම යුතුමකද වගකීමද වන්නේය.ඊට පක්ෂ පාට ජාති ආගම් භේදයක් නැත.

6 comments:

  1. ඔබගේ වටිනා ලිපිය කියවූවෙමි. මට සිතෙන්නේ ඔය බලු තත්වයට වැටී ඇති නායකයන් මිය යාමටත් ප්‍රථම මේ භවයේදීම දිට්ඨ දම්ම වේදණීය කර්මය විඳිමින් ඉන්නා බවය.
    මට කිසිම පක්ෂයක් නැත. මම හැම විටම රටට වැඩක් වන පක්ෂයේයි. බඩ ගින්නට වඩා මරන බිය ප්‍රබල බව අනුරාධපුරයේ වාසය කල අයෙකු වශයෙන් මම දනිමි. ඒ නිසා මොන දේ උවත් අපේ රට තවත් ඉරාකයක් නොවී දැන් තිබෙන තත්වය ගැන මම සතුටු වෙමි. ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔවුන් ඒ විඳවන්නේ දිට්ටධම්මවේදනීය කර්මයයි.මේ කිහිපදෙනා හැරුණුකොට ඒ ලෙස කර්ම විපාක ගෙවන්නෝ තවත් මේ දේශපාලන ක්ෂේත්‍රයේ සිටිති.තමන් පය ගසා සිටින මව්බිම සහ තමා වැදූ දෙමව්පියන් විකුණාගෙන හෝ බඩ රැක ගැනීම දරුණු පවක්යැයි මම තරයේ විශ්වාස කරමි.
      අනුරපුර ජීවත්වූ ඔබට මටද වඩා අත්දැකීම් ඇති බව නිසැකය.ඔබ කියන්නට එකඟ වෙමි.මේ කිසිවෙකුට කඩේ යාමට දැරූ උත්සහයක් නොවන්නේය.නමුත් මේ වැනි ආත්මාර්ථකාමි ක්‍රියා දුටු කළ ඇවිලෙන්නේ අපේ හිත්ය.අපේ මේ කුඩා රට 30 වසක යුද්ධයකින් අවසන තවත් ඉරාකයක් නොවීම ගැන ආඩම්බරවීමට ලක්වැසි අප හැමටම හැකි විය යුතුය, ඊට පක්ෂ පාට වැඩක් නැත.එසේම රටක ස්වෛරීභාවය රැකගැනීමට රජයකට ජනතා සහය තිබිය යුතුය.

      Delete
  2. ඔයාගෙ ලිපියෙ තියෙන්නෙ සහතික ඇත්ත තනිතරුවෙ. බලයට පෙරේතකමේ දුවන දේශපාලුවො හින්ද හැමදාම දුක් විදින්නෙ රටේ සාමාන්‍ය ජනතාවම තමයි. යුද්ධයක් හරි මොනම ප්‍රශ්නයකදි හරි උන් අපේ සල්ලිවලින් රට ගිහින් සැපට පවුල් පිටින්ම රැකේවි. මෙහෙ මැරෙන්නෙ අපිනෙ..
    ලංකාවනෙ, පුදුම වෙන්න දේකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒකනේ..ඒකත් ඕන දෙයක් කරගනිල්ලා අපිට සැනසීමේ වැටිලා ඉන්න රටක්වත් ඉතුරුකරලා! නැද්ද මං අහන්නේ?අපේ දේශපාලකයන්ට කොහොමටත් සහකම්පනයක්, බුද්ධියක් එක්කෝ උපතින්ම නෑ, එක්කෝ ඒවා බල තණ්හාවෙන් වැහිලා.

      Delete
  3. මේ මොකද්ද තරුවො මේ? ඔබේ අදහස ඇත්ත බව අපටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දේශපාලන කතාවක් දිලිනියෝ.:D

      Delete