Monday, July 29, 2013

මගේ නොවන මගේම ආදරය...


ඉකිගසා හඬන අතීතයක..
කඳුළු එක්ක ගනුදෙනු කරනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..


සමනළ සංධ්වනියේ ගීතයක්. අමරසිරි පීරිස් මහත්මයගේ හඬ එක්ක වචනවල බර අපූරුවට ගැලපිලා අපි හැමෝටම පොදු සත්‍යයක්වෙන විරහී වේදනාව හිත පතුලටම දනවනවා."මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියද්දි උගුර හිරවෙන ගතියක් දැනෙන්නේ ඒ විරහවට හිත බැඳුන නිසා නෙවෙයි, හිත සූරා තුවාල කල විරහව ඒ වචන ටික තුළ ජීවමාන නිසා.

විරහවක් තියා ප්‍රේමයක්වත් අත්නොදැකපු කාලෙක විරහව සුන්දරයි කියලා හිතාගෙන, මවාගෙන මං කවි ලිව්වා.ඒත් ඇත්තටම විරහවෙන් අන්තෙකටම බැටකාල ඔත්පලවුණාම ඒ කවි හිත බිම වැටුණු කැඩපතක්වගේ සීසීකඩ විසිරිලා විරහව පෙරෙන මගේ ඇස්වල පිලිබිඹුව හතර අත මැව්වා.සිතනා තරම් සියළු දෙය නොවේ එතරම් මනරම් කියලා තමයි අද ඒ තුවාල පිරිමදිමින් අතීතයට එබෙද්දි හිතෙන්නේ.

Wednesday, July 17, 2013

වර්ණ



වර්ණ පුද්ගලයන් සහ මතක සමග බව බැඳෙන බව සැබෑවක් නම් සිත්තරෙකුවීමට නොහැකිවීම ගැන මම පසු නොතැවෙමි.
සියුම් සිතුවිලි සිතුවමකින් කියන්නට ඇත්නම්යැයි හැඟෙන තැනකදී නම් සිත්තරෙකුවීමට හැකිවූවානම් කියා පසුතැවෙමි.

ප්‍රේමය සුන්දර කරවන වර්ණ, විරහව පාරවන බව දුටුවිට මගේ ප්‍රේමයට වර්ණයක් නොවීම ගැන සැනසුම් සුසුමක් හෙලමි.
නමුත් වර්ණ සංකලනයවූ කල සොඳුරු ප්‍රේමය මනස්කාන්තයැයි සිතමි.


Sunday, July 14, 2013

රුවන් තාරකා

ඉරිදා පත්තර ගොඩේ පෙරළෙද්දි දැක්කා කාලයක් තිස්සේ අසන්නට හිටි ප්‍රවෘත්තියක්.ඒ බණ්ඩාර ආතාවුද මහත්මයගේ ප්‍රසංගයක් තියෙන බව මේ මාසේ 20වෙනිදා.රැල්ලට ගසාගෙන ගිහින් ඇඩ්‍රස් නැතිවෙන කලාවක ඒ මිනිස්සු හෙමින් නමුත් මතක හිටින ගමනක් ගිය නිසා අදටත් ඒ ගීත සුන්දරයි.

ඔය තනි තරුව නම ඉපදෙන කාලේ මගේ ජීවිතේ එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක්.මුල් සටහනේ කිව්වා වාගේ අරමුණක් වන-නොවන, මිහිමතට අයිති නොවෙනවා වාගේ පාවෙන ගතියකින් ගෙවුණු ඒ කාලයේ සමහරදාට මහා පාන්දරක් වෙනතුරු සිංදු අහන දවස් තිබුණා.එවැනි කාල මට පමණක් නොව බහුතර ජීවින්ට පොදු නිසා පාන්දරක ඇහෙද්දි ගීතයක තියෙන මිහිර බොහොම වැඩි බව හුඟ දෙනෙක් අත්දැකලා ඇති. අන්න ඒ වගේ මොහොතක ඇහැව්ව ඔහුගේ ගැඹුරු නමුත් ප්‍රේමණීය හඬ මට මතකයට එනවා.


ඉවුම් පිහුම්

මගේ සමකාලීන ගෑණු දරුවෝ බොහෝ දෙනෙක්ට වගේම මටත් ඉතින් කටට රසට උයතහැකි.හැබැයි ඉතින් ඉරිසියාකාරයෝ නොයෙකුත් කතන්දර කියනවා බඩ පැලෙන්න කාලා ඉවරවෙලා.

මං සාමාන්‍යයෙන් බොහොම අකමැතියි, රැලි රැලි කෑමවලට ඔය ඉඳිආප්ප, නූඩ්ල්ස් වගේ.නූඩ්ල්ස් කන්න හිත හදාගන්න පුළුවන් ඒක රස පාටට, කහ මිරිස් පාටකට තියෙනවානම්.ඒත් ඉතින් මම නූඩ්ල්ස් හැදුවම ඒක කන මිනිස්සු (වෙන කවුද ඉතින් අපේ ගෙදර කට්ටිය) කියන්නේ ඒව කාලා 'කහ උණ' (Jaundice) හැදෙයි කියලා මොකද ඒ තරමට කැරට් 18 රත්තරන් වගේ කහ පාටයි.ඒත් මම සැලුනේ නෑ.හැමදාම ඒ පාටටම තමයි නූඩ්ල්ස් හැදුවෙ. :) 



Friday, July 5, 2013

360

යමෙකුට විවිධාකාරයේ පෞද්ගලික සම්බන්ධතා මාධ්‍ය සමග පැවතිය හැකිය.එහෙත් ඒ පුද්ගලයා 'පොරක්'වීමට මාධ්‍ය භාවිතාකරන්නේනම් එය පාණ්ඩිත්වය නොව මුග්ධබවක් සහ පෞර්ෂ බුන්වත්වීමක් පළකරන්නකි.

අද මාධ්‍ය පරම්පරාවේ වඩාත්ම රැඩිකල්යැයි,උගත්යැයි අධිතක්සේරුවක් දිල්කා තුළින් පළවනවිට තමාගේ ඒ හැසිරීමම සැඟවුණ මුග්ධබවක් ප්‍රකට කරවන බව තේරුම් ගැනීමට තරම් සරල සාමාන්‍ය දැනීමක් ඇය තුළ නොවන බව මාගේ අදහසයි.දේශපාලනය යනු ඝට්ටන, තර්ක විතර්ක, මඩ, වංචාදූෂණ, සොරමැරකම් ආදී එකීමෙකීනොකී සියළුදෙයින් පරිපූර්ණවූ ක්ෂේත්‍රයක් වන නිසාම ඒ තුළ කතාකරන්නටද බොහෝ දේ ඇත.ප්‍රශ්නය ඇත්තේ කතාකරනාදෙයටත් වඩා අනික් පාර්ශවය කුප්පවනසුළු ආකල්පයයි.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ විශිෂ්ඨතම දේශපාලන වැඩසටහන දිල්කාගේ 360 නොවේ.නමුත්, එවැනි ආකල්පයක් ඉරියව්වකින් හෝ පළ කෙරේනම් ඒ පුද්ගලයා, සහ 'මේ මගේ බජාර් එක'යැයි වචනයෙන් පාරම්බාන චණ්ඩියෙකු (හෝ කාඩ්බෝඩ් වීරයෙකු ) අතර වැඩිමනත් වෙනසක් නැත.වෙනසක් ඇත්නම් ඇත්තේ ඇගේ ආකල්පය මුළු රටටමත් චණ්ඩියාගේ ආකල්පය ඔහුගේ බජාර් එකටත් පමණක් පෙනීමය.


Wednesday, July 3, 2013

ඕපාදූප


අපි එක්කහු වුණාම එක එක ඕපාදූප කතාවෙනවා ඉතින්.රූප පෙට්ටිය නොබලන නිසා මා නොදත් කතන්දර අප්ඩේට් කරන්නෙත් එයාලා තමයි.තාත්තා ඉතින් ඔය කතන්දර අහන්න සෙට් වෙච්ච වෙලාවකනම් ටිකක් පරිස්සමින් තමයි කතා කරන්න ඕන.මොකද ජොලි කතා හිනාවෙවී අහන් උන්නට, තවත් මොනාහරි හිනා කතා එහෙම කිව්වට සමහර කතාවලට තරහ අරන් පුපුරන්නත් ඉඩ තියෙනවා.අනික ඉතින් තාත්තා ඕපයක් කියන එකක්යැ, මොනහරි කිව්වොත් වගන්ති දෙකයි කතාවම කියලත් ඉවරයි.බෑණා පොඩ්ඩත් ඉතින් ඒකටම ගැලපිච්චි!හැබැයි ඉතින් ඔය මාමලා බෑණල ජොලි කතාත් කියනවා වෙලාවකට හිතාගන්න බැරි.

(දැන් බ්ලොග් එක කියවන කට්ටිය හිතාවිද දන්නේ මුං මහ ඕපමලුනෙ කියලා.ඒත් ඉතින් සමහර පිරිමි ඕපාදූප කියන්න ගියාම ගෑනු අපි පරාදයි කියලත් අපි දන්නවා හොඳේ. :P )

ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති මගේ කතන්දර අහන්න.මොකද එව්වා රඟපාලත් කියන නිසා හිනාවෙතහැකිනේ.හැබැයි ඉතින් ඔය ඔෆීසියේ, මගතොට අහන දකින රස කතා මිසක් කාවවත් අපහසුතාවයට ලජ්ජාවට පත්කරන එව්ව, චරිත ඝාතන එහෙම නෙවේ මං මේ ඕපාදූප කියලා කිව්වේ.දැන් කාලේ 7ට, 8ට ,9ට, 10ටත් නිව්ස්ය කියලත් ඕප කියන රටක මේව බොහොම අහිංසක රසවින්දනයක් සඳහා කියන අපි අතර පමණක්වෙන පිස්සු කතා.:)

බ්ලොග් සංචාරේ

අද නිවාඩු දවසකුත් වෙච්චි එකේ මම ගියා බ්ලොග් සංචාරෙක.ලංකාවේ සියළු මාධ්‍යන්ට වඩා දියුණ බ්ලොග් නෙව.ඉස්සර මම බ්ලොග් කියවන්න කම්මැලි.අනික කාලවේලාවෙ ප්‍රශ්නෙකුත් තිබ්බා සෑහෙන්න.ඒක නිසා කලාතුරකින් තමයි බ්ලොග් බැලුවේ.අපේ නගානම් බ්ලොග් බලනවා.අන්න කවදහරි දවසක බ්ලොග් දියුණුවෙන් දියුණුවට පත්වෙලා මා(ර්)කටිං පාරක අවශ්‍යතාව දැනුණ දවසක අමතන්න නියමම කෙනා අපේ නගා.මොකද එයැයි කියවන, හොයාගන්න, හිකි හිකි ගගා රස විඳින සියළු බ්ලොග් අපිටත් කියවන්න බලපෑම් කරන නිසා.ඒ බ්ලොග් එක අපි කියවනතුරු ඒ ඇඩ් එක එක දිගට ධාවනය වෙනවා අර 'බුදු තාත්තේ බොන්න..බොන්න.බොන්න" කියල තාත්තා 'මට තව බොන්න බෑ යකොව්" කියපු කතන්දරේ වගේ.

ලංවිම

පහුගියදාක පත්තරේ තිබ්බ සිදුවීමක් කියවලා හරියට දුක හිතුණා.අද කාලේ ඉතින් පත්තර ප්‍රවෘත්ති දැක්කම වැඩියෙන්ම වෙන්නේ දුක හිතෙන එකම තමයි.සමහරවිට ඇත්තටම ඒ ප්‍රවෘත්තිය ගැන, සමහරවිට ඒ වගේ ප්‍රවෘත්තිවලින් බඩවියත හොයාගන්න උත්සහකරන්න තරම් පහළ තත්වෙකට අපේ මාධ්‍ය පත්වීම ගැන.



ඉතින් සිදුවීම ලයිට් බිල ගෙවන්න ගිය අවුරුදු හැටගණනක් වයස තාත්තාකෙනෙක් බිලේ විස්තර අහලා හර්දයාබාධයකින් මියගිහින්.ඇත්තටම ලයිට් බිල දැක්කම තරුණ අපටත් හර්දයාබාධ හැදෙයි කියලා හිතෙනවානෙ.අද අපේ ලයිට් බිල දැක්කමත් ගෙදර බව් නගාලා දෙන්නා ඇරුණුකොට අනෙක්සේරටම එළොව ලයිට් පේනවා.

Tuesday, July 2, 2013

සබකෝලය

බ්ලොග් අඩවියට මා බලපොරොත්තුවූවාටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන හැඩයි.බ්ලොග් සංස්කෘතියට අළුත් වුණත් අනික් බ්ලොග් යාළුවන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.ඉස්සෙල්ලාම වෙබ් අඩවියට ඇවිත් සුභ පැතුව සමනළී අනික් අයටත් ආරංචිය දුන්න නිසා තමයි වැඩියත්ම.ඒක නිසා ඒ හැමෝටම බොහොමත්ම ස්තූතියි.ඒ ඇරුණුකොට මේ ආරංචිය මූණුපොතෙන් දැකල සුභ පැතුව යාළුවෝ හැමෝටමත් බොහොම ස්තූතියි.දමිත් සහෝදරයා කියලා තිබුණා සෑහෙන කලක පටන් බලන් උන්න ආරංචියක් කියලා.අහන්නත් සන්තෝෂයි ඉතින්. :)

දැන් ඔය සේරමත් හරි, අපේ නගාගෙන් තමයි ගැලවුමක් නැත්තේ.බ්ලොග් එක පටන් ගත්තයි කීවට ඒකේ නමක් ගමක් උන්දැට කිව්වේ නෑ.හේතුව 'සබකෝලය'.මට ඔය සංවේදී අවස්ථා එහෙම බෙදාහදාගැනීමෙදි පොඩි 'බැරිබැරියාවක්' තියෙනවා.

ඔය 'සබකෝලය' නිසාම මා විඳ ඇති දුක් ගැහැට නම් අපමණයි ;)විශේෂයෙන්ම වර්ථමාන රැකියා ස්ථානයේ.(මේවා කියලා වැඩට යන්න පුළුවන් වෙයිදත් මංදා ඉතින්) ඒවුණත් ඇත්තම කියන්න එපායෑ.මොකද කවුරුවත් මගේ අසරණ සබකෝලය තේරුම් ගන්නේ නැහැනෙ.:( කට්ටිය ඉතින් ඒකට විවිධාකාර අර්ථකථන සපයනවා, මගෙ 'ඔලුව ලොකුය' වගේ කයිකතන්දර. ඒත් ඉතින් ටික කලක් ගිහින් ඔය සබකෝලය අඩුවුණාම නම් ඩිංගිත්තක් විතර, ඉවරයක් නැති වෑර්ලස් එකක් හා සමානවෙනවා. හිකිස්!