Wednesday, May 21, 2014

සැලෝන් කතා - 2

සැලෝන් කතා ගොඩාක් මල්ලේ තිබුණට මොකෝ කියන්න වෙලාවක් ලැබුණේ නෑ නොවැ.. මම මේ කියන්න යන්නේ සැලෝන්වලත් ඉන්නේ නානාප්‍රකාර උදවිය කියලා හිතමිනුයි.

මගේ අද කතා නායිකාව, ප්‍රසිද්ධ සැලෝනයක හිටි ගෝලියක්.මෙයා හිටි තැන ලොක්කටත් පොඩ්ඩක් ගිනිපුක්ගාය තිබ්බ නිසා මෙයා වලියක් දාගෙන වගේ එතැනින් අහක්වෙලා තනියම සැලෝන් එකක් දාගත්තා.ලොක්කගේ තැන ඉන්ද්දෙදිත් මෙයාගේ වැඩ හොඳ නිසා ඔන්න දැන් මාත් ගියා මෙයාගේ අළුත් සැලෝන් එකට ඉතින්.

පළවෙනි දවසේ වැඩ ගොඩායි, කතා ගොඩායි, දුක ගොඩායි, සල්ලි එහෙම්මමයි.පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් ගතවුණේ ලොක්කගේ පතුරු අරින්න.දන්නේ නැද්ද ඉතින් ගෑණු උදවිය බහුතරයක් කතා කියන්න ගියාම හරි රසවත්නේ, නැද්ද මං අහන්නෙ? (බැඳපු උදවියට නම් ගෙදර ගෑණිගේ ඇර ඕන කෙනෙකුගේ කතා රසවත් ඇති මම හිතන්නේ)

ඉතින් දැන් මෙයා සාතිශය සංවේගජනක මෙයාගෙයි ලොක්කගෙයි වලිය ගැන කියනවා.ලොක්කා ලඟ ඉන්නකොට සද්ද වහලා හිටියට මේ ගෑණිගේ කතා පෙට්ටියට අහුවෙලා මටත් නිකන් හොල්මන් වගේ.පෙනුමෙන් මිනිස්සු මනින්න හොඳ නෑ කියන්නේ ඔන්න ඕකයි ඇත්තටම කියල මම එවෙලෙ හිතාගත්තා.

ඔහොම ඉතින් දුක්බර අතීත කතාවක් තොරණ පසුබිමින් වාදනය වුණත් තොරණ හරියට වැඩ කලා.අහෝ පින්වතුනි, වෙසක් ගෙවී පොසොන් ආවත් තොරණේ යටගිය දවස අහවල් නුවර කථාන්දරේ නම් නිමාවට පත්වුණේ නෑ.කොටින්ම යන හැමදාකම පැයකින් කළ හැකි වැඩේ ජයග්‍රාහී ලෙස පැය දෙකකින් නිමා කරගත්තේ එයාගේ කමර්ෂල් බ්‍රේක් ඒතරම් වැඩි හින්දා.

ඔහොම ටික කාලයක් ගෙවුණා.ඊටපස්සේ දවසක ඔන්න මම සැලෝන් ගියා අපේ මනුස්සයා (එතකොට වෙන්ට මෑන් : බඳින්න කලින් නේ) එක්ක ගමනක් යන ගමන්.දැන් මේ වෙන්ට මෑන් එළියේ වාඩිවෙලා ඉන්නවා.මාව දැන් ඇතුළට අරගෙන ඇඳක බාවලා මූණ කපරාරු කරන්නයි ලෑස්තිය.


දැන් ඔය අපේ වෙන්ට මෑන් හැඩයි ඈ ඉතින් (අනේ මන්දා මෙයා දැන් උඩ ගිහින් මට හොයාගන්න ඇහැක් වෙයිද කණක් වෙයිද කියලවත් :O) දැන් අපේ කතා නායිකාවට පොඩි කුච් කුච් හොතා හේ ගතියක් ඇතිවෙලා තිබ්බේ මේ මෑන්ව දැක්ක ගමන්.ගෑණුන්ට ඉව තියෙනවා කියන්නේ බොරු නෙවෙයි ඇත්තටම.ඒත් ඉතින් මගේ මූණ හරහට වැරදි බදාමයක්වත් ගහයිද කියන සැකේට මම කට පියාගෙන දැන් ඇඳේ දොයි.

ඔන්න එතකොට දැන් මේක මේ අළුතෙන් පටන් ගත්තු සැලෝන් එකක් නේ, එකේ ලයිට් බිල් ගැන එයා බොහොම සැලකිලිමත්.සැලෝන් එකේ හිටියෙත් සැලෝන් නගායි, ඇඳේ හිටි මමයි, පුටුවක් උඩ නිදිකිර කිර උන්නු වෙන්ට මෑනුයි විතරයි.සැලෝන් නගාට ඕන වුනා ඒසී එක ඕෆ් කරලා කපරාරු කාමරේ ෆෑන් එකෙන් ජීවත් වෙන්න.දැන් මේ ප්ලෑන ගැහුවේ වෙන්ට මෑන්ව කපරාරු කාමරේට ගන්න! ඔන්න බලමු මේ ගෑණුන්ගේ හෝමෝන අසමතුලිතතාවයක හැටි හැබෑට!දැන් වෙන්ට මෑන්ට කියපි "අනේ මම ඒසී එක ඕෆ් කරා, ඔයාට පුලුවන් මම මෙයාගේ ෆේෂල් එක කරනකන් ඇතුළේ ෆෑන් එක යට ඉන්න" 

අපේ වෙන්ට මෑන්ට ප්‍රායෝගික දැනුමක් ඇත්තෙම නෑලු ඉතින්.මෙන්න පොර නිදිමතේ වැනිවැනි ඇවිත් කපරාරු කාමරේ ෆෑන් එක යට වාඩිවෙලා මා එක්ක හිනාවෙනවා.මට ඇතිවූ ලැජ්ජාව ඇත්තටම මහ මගක වස්තරේ කඩා වැටුණු මනුස්සයෙක්ටවත් ඇතිවෙලා නැතුව ඇති ඇත්තටම!ඇඳට ටිකක් ඈත වුණත් ඉතින් මගේ බදාම ගහපු හොල්මන් මූණ පේනව මේකට!විලි ලැජ්ජාව හිතල බලමුකො, හොඳට හිනා පපා මලක් වගේ (කෙහෙල් නෙවෙයි හරි?) ආව මම මූණේ පොටි ගහගෙන ඇඳේ වැටිල හිටියම කොයි මනුස්සයගෙ වුණත් ඉතින් අර ආදර හැඟීම පොඩ්ඩක් විතර අප්සෙට් යනවනේ මං අහන්නේ!මොන!

දැන් ඉතින් සැලෝන් නගා හෙණ කික් එකේ වැඩ කරනවා වෙන්ට මෑන් දිහා බලාගෙන.ඒ මදිවට අතිශය ස්ත්‍රීන්ට පමණයි වගේ කතන්දරත් කියනව අපේ මනුස්සයට ඇහෙන්න.හැබැයි වෙන්ට මෑන්ගේ හොඳකම කියන්නේ නිදිකිරන වෙලාවට නම් උන්දැට කසාදයක් කරවන්න කතාකලත් ඇහෙන්නේ නෑ, ඒ තරමට සිස්ටම් එක රත්තරන්.ඒ වුණත් යමංකෝ මෙහෙන් එළියට කියලා තමයි ඉතින් මම හිටියේ.අනේ මංදා ඉතින් ගහපු බදාම හරියට ඇල්ලුවද කියලාවත්.


කොහොම හරි අර ඇහිබැම් දැලිරැවුල් පීරි ගාන එක තමයි අප්සෙට්ම සීන් එක.ඇයි ඉතින් ඇහිබැම් නම් කමක් නැහැ, දැලිරැවුල් පීරි ගාද්දි කට හදන් ඉන්න එපැයි හනුමගේ නගා වගේ.මතක් වෙද්දිත් වත විළියෙන් රත් පැහැ ගැන්වෙනව පින්වතුනි! එවෙලේ නම් මම සැලෝන් නගාට නොපෙන්නෙන්න දත් කාල වෙන්ට මෑන්ව එළියට යවාගත්තා නැත්නම් ඉතින් දැලිරැවුල් කෑලි ඉතුරු කරන් තමයි ගෙදර එන්ට වෙන්නේ එදා.

හරි දැන් ආයේ නම් එක්කන් එන්න නරකයි මේ හතර මායිමේ කියලා හිත හදන් ගෙදර යන්න නැගිට්ට කියමුකෝ.අම්මපල්ල මේ ගෑණුන්ට බැඳලා කියලාවත් නෑ නෙව කිසිම මෙව්වා එකක්!

"තාම සැලෝන් එක හදනවා අනේ.මම හිතන් ඉන්නේ පිටිපස්සේ පොඩි ඇඳක් දාන්න.එතකොට මෙයා ආව දවසට නිදාගන්න බැරියැ ටිකක්"

!^&*$%&^@)_!@(

පින්වතුනි, මට හිතුණ කටින් පැනපු වදන් බලධාරියා විසින් කපා හරින ලදී!




15 comments:

  1. බෝම කාලෙකින් නේද???

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. දැන් ඉතින් කාර්යබහුල කාන්තා රත්නයක් නෙව.වැඩ බොහොමයි කාලය අඩුයි.:D

      Delete
  2. යකෝ ඔය සැලෝන් වලට තනියම කෙල්ලෝ යන්නම නාකයි. මොකද ඕව අස්සේ තමා වෙන තරමක් විකෘති දේවල් වෙන්නේ. නැඹුල් කෙල්ලො වැරදි දේට පොළඹවන්නේ.... මං කියන දේ හොදට හිතල බලපන්.

    ReplyDelete
    Replies
    1. දැන්කා ලේ තියෙන සැලෝන් ගැන අවධියෙන් ඉන්න එක හොඳයි.

      Delete
    2. සහතික ඇත්ත නලීන් අයියේ.සමහර මිනිස්සු කොච්චර මානසික ලෙඩ්ඩුද කියලා හිතෙනවා ඕවාට ගියාම අහන්න දකින්න ලැබෙන දේවල්වලින්.නොගිහිනුත් බැහැ නෙව ඉතින්.:D

      Delete
  3. බ්ලොග් එක අපේ දර්ශකයටත් දාන්න. මේ ලින්ක් එකෙන් එන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  4. කාලෙකින් තනිතරුව පායලා තියෙන්නෙ. අපේ වෙන්ට මෑන් සැලුන් ලස්සනට මනාපයක් නැති හන්දා මමනම් යන එක නවත්තලා ලු ඕවට.

    ReplyDelete
    Replies
    1. සිරාවටම නගේ? :O අනේ ඉතින් ඉන්න ටිකේ විතරනේ කියලා මම නම් යනවා තාම..හී හී..

      Delete
  5. සැලෝන් වල ඉතින් ඔය වගේ දේවල් යන්තමට හරි නොවුනොත් තමා පුදුමේ එක අතකට..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් දිනේෂ්. කොහේගියත් ප්‍රවේශම් වීම තමා නුවණට හුරු. ඇයි ඉතින් මගේ ඉස්සරහ අපේ මනුස්සයට ඔහොම කිව්වානම් විහිළුවට වගේ වැරදිලාවත් තනියම ගියා නම් මොනවා කරයිද දන්නෙ නෑ :/

      Delete
  6. සැලුන් එකේ ඇඳේ නිදාගන්න් තිබ්බා දත් මිටි කාලා එලියට යැව්වේ නැත්තම් .... හක් හක් ...
    දැන් ඕවට නොයා ඉන්නම බැරිද මන් අහන්නේ ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඉවාන්.
      නොයා කොහොමද ඉතින්.ජීවත්වෙලා ඉන්න ටිකේ පොඩ්ඩක් ප්‍රියමනාපව ඉන්න එපැයි.:)
      මං කිව්වේ 365 දවසෙම සැලෝන් යන්න නෙවෙයි ඉතින්.වානරයෝ වාගේ ජීවත් වෙන්නත් බැහැ නෙව.:D

      Delete
  7. ගෑණුන් ගේ මායම් ගැන දන්නේ තවත් ගෑණු පරාණයක් ම නේ!

    ReplyDelete
    Replies
    1. කකා ජී, නමස්තේ..!
      නැතුව නැතුව..අපිට වඩා ඔව්වා අඳුනගන්න ඇහැකි කාටද? ;)

      Delete