Friday, October 5, 2018

තනියාගේ ජංගම දුරකථන ඉතිහාසය

ඉතින් පින්වත් බ්ලොග් රසික රසිකාවියනි, තනියාගේ බයිට්වීම් ඕනෑතරම් මේ වෙද්දි ඔහේලා කියවලා ඇති. එහෙමයි කියලා නොලියා ඉන්නවා නෙවෙයි. ලියන්න ලියන්න මුවහත් වෙනවයි කියලා කතාවක් තියෙනවා නෙව. ✍

ඉතින් පින්වත් රසික රසිකාවියනි, තනියා නමේ හැටියටම තමයි ඉතින් වැඩ. ඔය විසාකාවක් සේ හෙමිහිට ඇවිදින්න, ඇසෙන නෑසෙන ගණනට කතා කරන්න,  අහිංසක ලාලිත්‍ය මවා පාන්න වගේ "වනිතා වැඩ" මේ ඇත්තිගේ බොහොම අඩුයි. ඉතින් මේ කසිලි බිසිලි ගමන එහෙම නිසාත් කිව යුතු දේ සක්කර දෙයින්නාන්සෙට උණත් කියලා දාන හින්දත් තනියට වෙන විපත්තිවලින් නම් අඩුවක් නැහැ. ඒ වගේ සමහර දේවල් විපත්වලට වඩා පෙරණයක් ලෙස ක්‍රියාත්මක වෙලා තනියාට නොදිරන (මේ කියන්නේ කසල ගැන නෙවෙයි ඒත් කසල වගේ දේවල් ගැනයි ) මිනිස්සු සහ දේවල් අයින් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙන අවස්ථාත් නැතුවා නෙවෙයි. 

ඉතින් මේ වගේ අද පාන්දරින් සිද්ධ වුණ විපැත්තියක් නිසා තනියා අද දවසම ඉතා මළ මුස්පේන්තුකමිනුත්, අනාගතය පිළිබඳ විශාල විචිකිඡ්ඡාවකිනුත් තමයි ගත කරන්න යෙදුණේ. 

උදේ පාන්දර කන්න දෙයක් හොයාන කීල්ස් බේකරියකට ගොඩ වැදුණා විතරයි පින්වතුනි තනියාගෙ ජංගමයා හතරගාතෙන් දාලා පය පාමුල පතිත වුණා. තනියාගේ ජංගමයාට ඒරාෂ්ඨකේ ලබන්නේ කොහොමත් කඩෙන් තනියාගේ දෝතට වඩිනකොටමයි පින්වතුනි. එවයේ ආයේ ඉතින් අතුරු දශා නෑ, කෙලින්ම ශුද්ධ මහ දශා තමා. දැන් ඔය ජංගමයගේ ජබර ක්ලාන්තය පුරුදු වෙලා නිසාම අද නම් ඔය පතිත වීම තනියා එච්චර ගණන් ගත්තේ නැතුවාට මොකද හිතවතුනි, අහුලගනිද්දි ඒකේ තිරය මකුළු දැලක් වාගේ වෙලා. එවෙලේ තනියාට අවංකවම ක්ලාන්ත ගතියක් වගේ දැනුණා, තාම ඒ ගතිය එහෙමමයි. ඔය අවාසනාවන්ත ජංගමයා මීට මාස 3කට විතර කලිනුත් වැටිලා තිරය කොටු කොටු නෙවෙයි ඉරි ජංජාලයක් වීම නිසා රුපියල්ම 12,500ක් දීලා තිරය දාලා ගෙනත් දුන්නා විතරයි. රාජකාරි ජංගමයක් නිසා කාර්යාලෙන් තමයි ඒ හරිය කොරලා දුන්නේ. එතකොට හිතවතුනි, නැවත මෙහෙව් විපැත්තියක් කරගත් බව ලොක්කා එහෙම දුටුවෝතින් මට පඩි නොගෙවාම ඉඳීද කියන ජීවිතය පිළිබඳ සාධාරණ අසරණත්වය නිසා තනියාට තවම අවුල්!😓

දුක කියන්නේ පින්වතුනි, ජංගමයාගේ තිරය මාරු කළායින් පස්සේ වැඩි පරිස්සමට ෆුල් කවර් එකක් දාගෙන ඉඳලත් මෙහෙම වුණ එකයි. 

ඉතින් පින්වතුනි, ඔය ගැන හිතමින් තැවෙමින් විස්සෝපයෙන් දවස ගත කරද්දි තනියාගේ මතකයට නැගුණා තනියාගේ ජංගම දුරකථන ඉතිහාසය. 

අපි ඉක්කෝලේ යන කාලයේ හිතවතුනි, අද කාලේ වාගේ නර්සරියේ ළමයින්ට පවා මල් කඩන්න ජංගම තිබුණේ නැහැ. තනියා උසස් පෙළ කරද්දි පංති එන බල්ලට පූසට පවා ජංගම තිබුණත් තනියාට ඒ වගේ ප්‍රතිපාදන අනුමත වුණේම නැහැ. ඕකේ මළ පනින කතාව ඉතින් අවුරුදු 17-18ක් වෙච්චි තනියාට ජංගමය අනුමත නොකල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කිසි හාහූවක්, හරස් ප්‍රශ්නයක් නැතුවම එවකට අවුරුදු 10ක් වෙච්චි උල්කාට ජංගමයෙක් අනුමත කරලා තිබ්බ එකයි. ඉතින් හිතවතුනි, තනියාට ඒ කාලයේ මලක් කඩාගන්නවත් හැටියක් තිබ්බේ නැහැ. උපන්දිනේට අවශ්‍ය පුද්ගලයා කතා කරාවියි කියා හිතාගෙන ස්ථාවර දුරකථනය අහළ පහළ බොරුවට කැරකෙමින්, එහා පංතියටත් එහා පංතියක අම්මා නොදන්නා බව සහතික කරගත් කෙල්ලකගේ නමක් කිය කියා එයා තාම කතා කළේ නැහැනේ කියකියා නියපොතු විකමින් බලා හිටි හද්ද අසරණ කාලයක් ගත කළ කෙල්ලෙක් තමයි තනියා. උසස් පෙළ අන්තිම කාලයේදීත් ආණ්ඩුවත් විපක්ෂයත් ගෙදර නැතිවෙනකල් ඉඳලා ආත්තම්මා සහ සීයාගේ කණ්වලට වැලිගසා තමා ලාවට මල් බාගයක්, මලක් එහෙම නෙලා ගත්තේ.

තනියාගේ මුළු පාසැල් ජීවිතයටම ආණ්ඩු පක්ෂෙන් තාවකාලික ජංගමයෙක් ලබා දුන්නේ එකම එක දවසයි හිතවතුනි. ඒ තනියාගේ 'විශේෂ' උපකාරක පංතිය ඒ ගුරුතුමා (එතුමා මේ ලඟකදි අහම්බෙන් වාගේ මුණ ගැහුණා, හරි වයසයි දැන්) සපෝට් එකට වාගේ (අනිවාර්යෙන්ම දැනගෙන නම් නෙවෙයි, නොදැන) පංති හිටි ගමන් කලින් ඉවර කරන්න පටන් ගත්තු නිසා, ඒ බව ආණ්ඩු පක්ෂෙට දැන්වීමට. ඉතින් හිතවතුනි, තනියාට එදා ලැබුණා කහයි කළුයි මෝටරෝලා එකක්. ඒ වුණාට ඒ කාලයේ තනියා කොයිතරම් නම් අහිංසක ද කිව්වොත් (සිරාවටම) නොම්මරයක් ඩයල් කරලා කතා කරලා කට් කරනවා ඇරෙන්න වෙන කිසිම ඉටිගෙඩියක් දැනගෙන හිටියේ නැහැ. තනියාගේ එවකට විශේෂ පුද්ගලයා ජංගමයා දුටු පමණින් පුදුම හතෙන් එකක් දැක්කා සේ කට ඇරගත් හැටි තනියාට තවම මතකයි. ඒත් විහිළුවට වාගේවත් ආණ්ඩු පක්ෂෙට ඇර වෙන කිසි තැනකට කතා කරන්න තනියා එඩිතර වුණේ නැහැ අද මෙහෙම හිටියට. මොකද හොර වැඩ කරලා එව්වා මකාගන්න තනියා දැනගෙන හිටියේ නැහැ. අනිච්චේ දුඛ්ඛේ!😭😭

විපක්ෂය ඒ කිව්වේ අපේ මෑණියෝ ආණ්ඩු පක්ෂෙට දැඩි විරෝධයක් පළ කරලා තිබුණ නිසා ඉතින් එදා එදාම තමයි හිතවතුනි. 

ඊටපස්සේ ග්‍රැහැම්බෙල්ට පින් දෙමින් ජීවිතේ ගැටගහගත් තනියා රක්සාවකට යන්නට පටන් ගත්තා පින්වතුනි. අන්න එතකොට තමයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකඟතාවයකට ආවේ තනියාට ජංගමයෙක් අරන් දිය යුතු බවට. ඒ අනුව, තනියාට නිල්පාට ලයිට් පත්තුවෙන චූටිත්තන් මෝටරෝලා C115 එකක් ලැබුණා. හැබැයි, දැන් කාලේ වාගේ එක එක වෛවාරණ සිම් පාවිච්චි කරන්න ලැබුණේ නැහැ. මොකද අපේ අප්පොච්චිට බිලක් එන උන්දැගේ නමට තිබුණු 072 නොම්මරයක් තමා ලැබුණේ. එතකොට තනියාට සැකසහිත නොම්මරයකට දවසට විසිතිස්වතාවක් කෝල්, SMS ගහතැහැකිද පින්වතුනි? 🙈



කොහොමින් කොහොමහරි ඒ දුක්ඛිත ඉරණම වෙනස් කරන්න දායක වුණෙත් එවකට වැඩ කළ සන්නිවේදනයේ පෙරගමන්කරු තමා. සහෝදර සමාගමෙන් ස්ටාෆ් පැකේජ් දුන්නු හින්දාත් තනියාම බිල දුක් මහන්සියෙන් ගෙවාගත් නිසාත් පහුකලෙක යාන්තම් මලක් නෙලාගෙන හිටියා.

ඒ කාලයේ පින්වතුනි අද තරම් වෛවාරණ මෝස්තර ටච් ෆෝන් තිබුණේ නැතුවාට මොකද රස්සාවකට ඇවිත් මාසයක් යද්දි බඩට නොකා ඇඟට නොඇඳ හරි අළුත් ජංගමයෙක් ගන්න තමා කට්ටියට ඕනෑකම තිබුණේ. තනියා රස්සාවට ගියාට C115 අවුරුදු 2ක් විතර යනකම් වෙනස්කලේ නැති නිසා මේ හද්ද පානම් පත්තුවේ ඉඳන් කොළඹ ඇවිත් වලිග කපාගත් කොලුකෙල්ලන් තනියාට පුදුම වධයක් දුන්නත් තනියා නොසැලී හිටියා. රටට ලෝකයට ඕනෑ විදියට ජීවත් වෙන්න අවශ්‍ය නැති බව තනියා ඒ කාලේදීම පෙන්නුම් කළ හැටිය අද ආපහු හැරිලා බලද්දී තනියා කල්පනා කරන්නේ ආඩම්බරෙන්!

ඉතින් ඔය C115ට ගොක්කොළ පෙනීගෙන එද්දි තනියා ඒ බව ගෙදරදි නිකන් කියා හිටියා තමන් ජංගමයක් ගත යුතු බව. ඒ අවස්ථාවේදීත් ඉතින් සුපුරුදු ලෙස ආණ්ඩු පක්ෂය ඉදිරිපත් වෙලා තනියාට මෝටරෝලා  ROKR E1 එකක් ලබා දුන්නා.



ඉතින් ඔහොම කාලයක් ගතවුණාට පස්සේ ඒ ජංගමයට ගොක්කොළ පෙනීගෙන ආව නිසා තනියා ගත්තා නොකියා 6301 එකක්. එවකට 25,000ක් විතර වෙච්චි ඒ ජංගමයත් උඩ බිම දදා සෑහෙන්න කාලයක් පාවිච්චි කළා. ඒක තමා තනියා තමන්ගේම සල්ලිවලින් ගත්තු පළවෙනි ජංගමයා. ඒ කාලයේ හැටියට ඒක සිරා.



ඊටත් පහුකාලෙක, තනියා නොකියාවලින් සෝනි එරික්සන්වලට මාරුවෙලා ගත්තා J108i Cedar එකක්. ඒකත් 25,000ක් හෝ 30,000ක් මතකයේ හැටියට. කොහොම නමුත් තනියාට J108i Cedar එක නම් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වූ බව මතකයි. 

කොහොමින් කොහොම හරි තනියා අවුරුදු 2ක් විතරම සෝනි එක පාවිච්චි කළායින් පස්සේ වෙන්ට-හබී විසින් තනියාට ලබා දුන්නා සැම්සන්ග් ජංගමයක්. ඒත් සෝනිට ගොක්කොළ පේන්න ගත්තයින් පස්සේ. ඒක නම් වැඩිකලක් පාවිච්චි කළේ නැහැ මොකද ඒ සැරේ උපන්දිනේට තනියාට තෑගි ලැබුණා හුවාවි එකක්.

ඉතින් සුපින්වතුනි, හුවාවි එක නම් එච්චර කාලයක් පාවිච්චි කොරන්න වුණේ නැහැ මොකද ඒකටත් ඒරාෂ්ඨකය ලැබුවා. ස්ක්‍රීන් එක අලුතෙන් දාලා යාන්තම් අවුරුද්දක් විතර දුවාගත්තත් පස්සේ ඉබ්බෙක් බවට පත්වීමෙන් අස්ස කුලප්පුව තියෙන අයිතිකාරයාගේ වේගයට වැඩ කරන්න අපොහොසත්වීම නිසා හුවාවි විසික් වෙලා ගියා. ඊටපස්සේ දුක්පත් භාවයට පත්වීම නිසා තනියාට ගන්න සිද්ධ වුණේ වින්ඩෝස් ජංගමයෙක්. ඒකත් ඉතින් අවුරුද්දක් විතර පාවිච්චි කරමින් ඉන්නකොට තමයි ඔය උදේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑව සැම්සන් ජංගමයා අළුත් ආයතනයෙන් ලබා දුන්නේ.

එහෙමත් වෙලා තියෙද්දි තව විලි ලැජ්ජාවක් නැතුව අයිෆෝන් එකකට කෙළ හලන් හිටිය තනියා පොඩි පහේ පින්තූරු පිස්සුවකුත් තියෙන හින්දා Huawei P20 Pro එකකට ආකර්ෂණය වෙලා මේ දවස්වල ඉන්නේ. ඒකේ පින්තූරු කොලිටිය පට්ටයි කියලා දහ අතේ වැලපෙන තනියා අතේ සතේ නැතත් ඉතින් කෝටිපති සිහින මවමින් සතියකට වතාවක් ඔපීසිය ලඟ තියෙන Huawei කඩේට ගොහින් P20 Pro එක අතගාලා බලලා එනවා. තව ටික දවසක් ගියොත් මං හිතන්නේ උන් ඒක පිනක් කියලා හිතාන නිකන් දීලා දාවි. 
!
!!
!!!
!!!
!!!!
අන්න "එදා දවස උදාවේවිදෝ!!!" 

------------
පසු සටහන:
ඔය සටහන ලියලා මාසයකටත් ටිකක් වැඩියෙන්ම සුනීත සෝපාක වගේ Huawei P20 Pro එක ගැන අඬා වැටෙමින් හිටිය තනියා අන්තිමේදී තීරණය කළා ඕන මංගල්ලයක් කියලා ඕක ගන්න. මොකද නින්ද නේන රාත්‍රී බරගාණකුත් මනුස්සයාට කණක් ඇහෙන්න නැතිකිරීමේ වාර ගණන සීඝ්‍ර ත්වරණයකට ලක්කිරීමේත් ප්‍රතිඵලයක් හැටියට දැන් තනියා P20 Pro එකක සාඩම්බර හිමිකාරියෙක් වෙලයි ඉන්නේ. ඇත්තම කියනවා නම් පින්තූරු කොලිටිය පට්ටයි හොඳේ!



6 comments:

  1. දැන් කෙනෙකුගේ ජංගම දුරකථන ඉතිහාසයත් අතීතයේ හිටපු කෙල්ලන්/ කොල්ලන් ගැන හිතනවා වගේ සංවේදී එකක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඊටත් වඩා සංවේදීද මන්දා වෙලාවකට :D

      Delete
  2. ජංගම ඉතිහාස කතාත් මාර ඉන්ටෙරෙස්ටින්ග් නේද බන්...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ඉතිහාසෙත් සෙරෝම කියන්න ලියන්න ඇහැක් නම් ඉතින් නෙහ් :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete