Sunday, August 3, 2014

කැරපොතු සංහාරය

කැරපොත්තා ලෝකයේ පිරිසිදුම සත්වයායැයි මොකෙද්දෝ එකෙක් කියා ඇත්තේය.ෂුවර් එකටම ඌ නම් නොම්මර එකේ හපුට්ටෙක් විය යුතුය.මට ඔය කියූ එකා අසුවුණානම් අර පීතර මල්ලීගේ (Pied Piper)මීයන් වශී කරන නලාව වාගෙ මොකක් හෝ අටමගලයක් අටවා දී ලෝකයේ සිටින කැරපොත්තන් සේරෝම උගේ පස්සෙන් යන්නට සලස්වනවාය.එතකොට බලන්නට බැරුවාය රඟේ!



කැරපොත්තා කෙතරම් අප්‍රසන්න සතෙක්ද යත් මට උගේ අඬු ටික දකින විට ඔක්කාරයට එන්නේය.එසේ වුවද අවිහිංසාවාදී මම උන් පස්සෙන් පන්නා ගොස් මරන්නේ නම් නැත.ඌ උගේ පාඩුවේ ඉන්නා තුරු මට අවුලක් නැති නිසාය.එසේ වුවද කැරපොත්තා වුවත් මට ඇණයක් වන්නට ආවොතින් නම් පිරුවට යටින් ක්ලේමෝ මතුවන්නේය!

මේ ලියන්නේ එවන්වූ කැරපොතු සංහාරයකින් පසුය.

අද නම් මහා අප්සෙට් දවසක්ය.මහා පාන්දර 2ට මම කුස්සියට යනවිට කැරපොතු පාටියකි.මුනුත් රෑ ජාමේ නයිට් ක්ලබ් යන ඇමති පුතුන් වාගේය.මම නිදාගන්නට ගිය පැය 2ට උන් කුස්සියේ බජව් දමන්නට පටන්ගෙනය.මට ඉතින් මලෙත් හොඳම එක පැනගෙන ආවේය.මම පිරිසිදු දේශපාලනය පසෙකට දමා කොස්ස අතට ගත්තේ අවංකවම ඌ එළවා දමන්නටය.

කැරපොත්තෝ ජෝඩුවකි.එකෙක් නම් කුස්සියේ දොරට යටින් රිංගා එලියට පැනගත්තේය.අනිකා දුවගොස් නෑඹිලිය අස්සට රිංගා ගත්තේය.ඌ ගැනනම් මට මහා සිංහල මතක් විය.ඔය පොත්තන්ගේ මට පේන්නටම බැරි වැඩය නම් අයාලේ පියාඹන්නට පටන් ගැනීමය.ඔවැක්!

මම සෑහෙන තරම් දුරින් ඉඳ නෑඹිලියට කොසු මිටෙන් තට්ටුවක් දැමුවෙමි.
ම්ම්හු..හැලහොල්මනක් නැත.
ඌ මාරක ලිඳේ යන්නා සේ නෑඹිලිය ඇතුළේ කරණම් ගසනු දැන් නම් මට මැවී පෙනෙන්නට පටන් ගත්තේය.මල, මල් යායක් වේගෙන ආවේය.දැන් ඌ නෑඹිලිය අස්සේද මම නෑඹිලියෙක් එළියේද හිඳගෙන සටන් විරාමයක් වාගේ සීරුවෙන් ඉන්නවාය.මහ රෑ ජාමේ හට්ටි මුට්ටි පෙරළා යකා නටන්නටද බැරිය.ඒත් මූට නම් වැඩක් දෙන්නටම ඕනාය.ඉවසීම කෙළවර වූ තැන මම නෑඹිලිය ටිකක් උස්සා බැලුවෙමි.

බුදු අම්මෝ! ඌ ඉන්නවාය!!
ඒකත් මගේ ඇස් මට්ටමේ මගේ පැත්තටම හැරිලාය.අපි දෙදෙනාට දෙදෙනා මුහුණට මුහුණය.ඌත් තක්බීර්ය මාත් තක්බීර්ය.තත්පරයෙන් නෑඹිලිය ඩොග්! ගා අතෑරි මම එහාට පැනගත් අතර ඌ නෑඹිලිය අස්සෙන් එළියට පැනගත්තේය.දැන් කුස්සියේ අරහෙට මෙහෙට පොත්තායි මමයි හරීනුයි දයාසිරියි වාගේය.අවසානයේ සපාකෑම් නොකර කොස්සෙන් තඩිබා ස්වර්ගස්ථ කල පොත්තා කුස්සියේ දොර යටින් එළියට විසිවිය.කැරපොතු භීෂණය නිමා කොට පුටුවකට වැටී සැනසුම් සුසුමක් සල සලා ඉන්නට ලැබුණේ විනාඩි ගාණකි.

හිත් පොජ්ජ කිරීගස්වන අර ක්‍රීස් ක්‍රීස් හඬක් කුස්සිය පැත්තෙන් ආයෙත් ඇහෙනවාය.දැන් මට පොත්තන්ගේ අම්මා මුත්තාත් සිහිවෙනවාය.ඇයි යකෝ මේ මහ පාන්දර ජාමේ උන්ට ෆන්ය!මට ජුවල්ය!!

කලින් එකා වාගේ පාර දෙකෙන් ස්වර්ගස්ථ නොවන මූ අමුතුම දේශ්ප්‍රේමියෙකි.පහර කාගෙන මූ කුස්සියෙන් පැනගත්තේය.එළියට නොවේය.ගේ පුරා එක්ස්ප්‍රස් වේගෙන් දුවන කැරපොත්තාය.උගේ පස්සෙන් කොස්ස අමෝරාගෙන දුවන මමය.අනේ අම්මේ මෙහෙමත් ව්‍යායාම ය!ඒකත් යක්කු ගස් යන රෑ ජාමේය.

මූ දුවගෙන ගොස් නැවතුණේ සාලේ මැදය.හයියෝ!! 
දැන් ඉතින් මූ සාලෙ මලොත් මට සාලය ආයෙත් මොප් කරන්නට වෙනවාය.මූ නම් ජන්මාන්තර වයිරක්කාරයෙක්ය.කරන්නට දෙයක් නැත.කොස්සෙන් තඩි බා ඌගෙ සටනට සාධාරණයක් ඉටුකළෙමිය.දේශප්‍රේමි කැරා , කැරෙක් ලෙසම මලේය.සාලේ මැද්දේය.අසික්කිතය තුඡ්ඡය අප්‍රසන්නය!

මම ඉස්සරහා දොර ඇර ඌට සික්සර් එකක් දී දොර වැහුවා විතරය අපේ මනුස්සයා නැගිට ඇවිල්ලා කබ කඩ කඩා බලා ඉන්නවාය.

"මොකද මේ මහ රෑ දොරවල් ඇරගෙන? පිස්සුද?"

පිස්සු නැත්නම් මෙයා හරිම ෂෝක් ය.කැරාගෙ මලකඳ සාලේ මැද්දේ තියන් මොනා කරන්නට හිතුවාද දන්නේ නැතිය.මම ඉතින් මාධ්‍ය ප්‍රකාශනය දී සුපුරුදු රාජකාරියට බැස්සෙමිය.

ආයෙත් පැයකට විතර පසුව මම සාලේ පැත්තේ රවුමක් යනවිට අඬුකෑලි වගයක් පාවෙනවාය.ඒවා මහ දොරෙන් ඇතුළුව කොහේදෝ පෙරහැරක යනවාය.මගේ පෙනීමත් සුපිරි නිසාවෙන් පෙනුණේත් අඬු විතරය.කුරියර් පේන්නේ නැත.ලංවී බැලූකල &%^$*!^$$#^

කොහෙදෝ යන ගොබ්බ කූඹි රැලක් කැරාව භූමිදානයට ගෙනියනවාය.දොර ඇර බලද්දි මට දෙලෝ පොල් පෙනුණි.කැරාගේ බොඩිය ඇතුළට ගන්න උන් හෙණ ගේමක් දෙනවාය.දැන් මට කූඹි එක්කත් මලය.ඇයි යකොව් අමාරුවෙන් සංහාරයකොට එළියට දමන මළ කඳන් මුන් ආයෙත් ඇතුළට ගන්නවාය.මෙව්වා නම් ශ්‍රි ලංකා පොලෝසියවත් ඉවසන එකක් නැතිය!

සමාවෙන්න සහෝදරවරුනි!මා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නටය කියා ආයෙමත් කොස්සක් උස්සන්විත් උන් සෙරෝටම ක්‍රීඩාංගණයේ වැටෙන් එළියටම සික්සර් එකක් දීමෙන් තරඟය අවසන් විය.

දවසම මාර ෆිට්ය!

සිරාවටම ඔය කැරෝ නම් මොකට උපන්නාද දන්නේ නැත.කාට මෛත්‍රී කලත් අනේ මට කැරාට නම් මෛත්‍රී කරන්නට බැරිය.ඔක්කෝටම වඩා කේන්තිය ඌ මෙහෙට එන්නට තරම් නිර්භීතවීම ගැනය.

කොස්සෙන් තලා මැරීමත් ඉතින් පව ය.මෝර්ටීන් ගැහුවත් පව ය.වැඩේ තියෙන්නේ සදාම් හුසේන්ගෙ ගෑස් ආක්‍රමණ ගැන කියවීමෙන් පසුව මෝර්ටීන් ගහන්නට මගේ හිතේ ඇතිවූ බය ය.මොකද කියතොත් ඔය කැරාට මෝර්ටීන් ගැහුවා වාගේ ඒ පව පලදී මටත් එවැනි අවාසනාවන්ත රටක ඉපදී ගෑස් හෝ රසායනික අවියකට බිලිවෙන්නටවුණොත්..අනේ මට නම් එව්වා දරන්නට බැරිය.:(

ඒ වුණත් එක දවසක් නම් මම කැරෙක්ට සුවඳවත් මරණයක් ලඟා කර දුන්නෙමිය.කරන්නටම දෙයක් නොවූ තැනය. :/

ඔය වගේ මහ රැයක සිස්ටන් එක වැඩදැයි බලන්නට ගිය මට කැරෙක් බලහත්කාරකම් කරන්නට ලෑස්ති වුයේය.යාන්ත්‍රික දෝෂයක් හෝ මොකක් හෝ මගුලක් නිසා හෙණ ඇඩ් එකක් දාගෙන ආවාට ඌට වැඩිය පියාඹගන්නත් බැරිය.තනි තට්ටෙන්ද දෙතට්ටෙන්ද මන්දා ඒත් ඌ මගේ වටේ පියාඹන්නට ගත් විට මට ගිය රාජකාරිය කොරගන්නත් බැරි විය.බාත් රූම් බ්‍රෂ් එකෙන් ගහන්නත් බැරිය.ඒක දරුණු වැඩිය.අනික උගේ අඬු පඬු බ්‍රෂ් එකේ ඇමිණුනොත් ඒකත් සුද්ද කරන්නට වෙන්නේත් මටමය.අපරාධයේ ලේ මගේ අත්වල නොගෑවෙන්නට නම් මම වහා ක්‍රියාත්මක විය යුතුවිය.

කැරා සමඟ දහ අට පාලිය නටනටා ඉන්නාවිට මගේ ඇස ගැටුණේ එයාර් ෆ්‍රෙෂ්නර් ස්ප්‍රේයර් එකය.ආයේ මැරුණත් සුවඳට මැරෙන්නට ඕනාය.මැරුණාට පසු කුණුවෙන එකේ මැරෙද්දි සුවඳ ගහමින් මැරුණාට මක්කවත් වෙන්නේ නැතිය.ඌට සුවඳ උහුලාගන්න බැරිකමටමද කොහෙදෝ වැටී මලේය!.

දැන් ඔය පුරුෂ පක්ෂය මට කෝචෝක් දමන්නට ලෑස්තිවන්නට එපාය.මන්ද යත් මම කැරාට බය නැත.මට උන් අපුලය!.කොටින්ම කිවහොත් මට කෘමි වංශය අප්සට්ය.ඔය Skittersලා දකිනවිටත් මට මහ අප්‍රසන්නය.Falling Skies බලන උදවිය උන් ගැන දන්නවා ඇත.




අනික් අප්සට්ම සතා මකුළුවාය! 

ඇත්තටම කිව්වොත් මකුළුවා මට නිදි නැති රැයවල් ගෙනෙන චාටර් සත්වයෙකි.කැරාටත් වඩා මට උගේ අඬු සහ පෙනුම ෆුල්ම අප්සට්ය.

මකුළුවාට අකමැති අනිකා අපේ ඩැඩාය.හදිස්සියේවත් මකුළුවෙක් ගෙයි හතර මායිමක ඉන්නවා නම් ඌ ස්වර්ගස්ථ ගතවනතුරු ඩැඩාත් මමත් නිදිවර්ජිතව සටන් කරන්නෙමුය.අපි කිව්වට ෆ්‍රන්ට් එකේ ඉන්නේ ඩැඩාය. මම විලාප දීමෙන් මොරාල් සපෝට් එකක් දෙන සිවිල් වැසියෙක්මිය.
අපේ ආත්තම්මා කියන්නේ මගේ මකුළු භීතිකාවේ මූලිකයා ඩැඩා කියාය.ඒ අකමැත්ත නම් මටත් තේරුන් ගන්නට බැරිය.මොකද කියතොත් අපේ ඩැඩා යකා නොව යකාගේ පප්පා-මාරයාටවත් බය නැති සිරා ඩයල් එකක්ය.ඒ වුණත් ඩැඩා අඬු වැඩි උන්ට කැමති නැත.ඒ නිසාම අනික් උන් කෙළ හලහලා කන කකුළුවොන්ද අපි නොකමු.

ඔය භීතිකාව උපරිම කරන්නට මාධ්‍ය සහය ලබාදුන්නේ අම්මාත් ආත්තම්මාත්ය.ඒ මකුළුවාගේත් ගෝඩ් ෆාදර් - දිවි මකුළුවා ගැන කීමෙන්ය.බුදු අම්මෝ! මම නම් සිරාවටම ඌට බය ය.ලොම් වැඩි අඬු ඇති එකෙක් දුටුවොත් ඌ මට දිවි මකුළුවෙක්ය.සරීර කූඩුව සීතල වී යන්නේය.

අපේ අම්මාගේ තාත්තා රාජකාරිය නිසා රට වටේම සේවය කොට ඇත්තේය.අම්මා පවුලේ බාලයා නිසා ඒ යන යන තැන ඈත් ගොසින් ඇත්තේය.ඉතින් අම්මාට සත්තු ගැන කියන්නට කතන්දර සෑහෙන්න ඇත.

අම්මා කුඩා කාලයේ සීයා ගල්ගමුවේ රාජකාරි කොට ඇත.ඒ කාලයේ එහි ලයිටුත් නැතිලුය.ගේ පුරා ලොකු ලාම්පු පත්තුකොට සිටිනවාලුය.ඒ කාලයේ අම්මාගේ පොඩි අයියාද දිවි මකුළු භීතිකාවෙන් පෙලුනාලුය.පාසැල් නිවාඩුවටත් සති අන්තයටත් ගෙදර ගිය විට හවස 6වනවිට පුටුවකට නැග කකුල් අත් පය වකුටුකරවාන බිත්ති දෙස බලමින් ගැහි ගැහි සිටීම ඔහුගේ රාජකාරිය වුණේලු.ඒතරමට බයවෙන්නට හේතුව දිවි මකුළුවන් පියාඹනවායැයි කියන නිසාලුය.ඌ බොහෝ වේගයෙන් එක් තැනක සිට තව තැනකට පනිනවායැයි කියැවෙන්නේය.ඌව මරන්නට හැක්කේ ඉලපතකින් ගැසුවොතින්ලුය.කෑවොත් ඌ මරා බඩවැල් ඒ තුවාලයට තබා බැඳිය යුතුයැයි කියැවේලු.එසේම ප්‍රතිකාර නොකලොත් ඒ තුවාලකාරයාත් මකුළුවා සේම අඬු අකුළාගෙන ගුලිවී මැරෙනවාලු.

දැනුත් මගේ ඇඟ සීතල වන්නේය! බචාවෝය!

කාලයක් අපේ සීයාත් ආත්තම්මාත් පුත්තලමේ සිටියෝය.ඒ සීයා පුත්තලම් සිමෙන්තියේ වැඩ කළ හන්දාය.එහෙත් උන් සිටිනවාය කියා කවුදෝ නොසණ්ඩාලයෙක් කියා තිබූ නිසා මම නිවාඩුවට එහෙ ගියේ මර බියෙනි.ඒ පුත්තලමේ කතා වෙනමම දවසක ලියන්නට හිතා ඉන්නවාය.ඒ ගැන කැරාලගේ පෝස්ටුව අස්සේ ලියුවොත් මේක මාගලක් වන්නේය.

තව අපේ ගමෙන් ආ පිස්සු පොරක් උන් කෙසෙල් පඳුරුවල ඉන්නවායැයි කීවේය.ඉන්පස්සේ ගේ වටේට තිබූ කෙහෙල් පඳුරුවගයක් උගුල්ලාදමන තෙක් මට නින්ද නොගියේය.

කසාදෙට කලින් මම වෙන්ට මෑන්ට කිව්වේ මෙච්චරය.කොටින්ම මගේ විවාහ කොන්දේසිය වූයේ මකුළුවෙක් ආවොත් ඌ මරා දැමීම අනිවාර්ය බවය.ඊට එකඟවූ නිසා බැඳගත්තෙමිය.(හික් හික් නැත නැත..එපමණක්ම නොවේය හේතුව :D)

එහෙනම් දැන් මේ ජරා සත්තු ගැන කතා ඇතිය..මන්දයත් තව ටිකකින් සුවසේ නිදන්නටත් ඕනා නිසාය.හැබයි මේ පෝස්ටුව කියවූ කවුරුහෝ නසරානියෙක් මට මකුළුවන් පෙන්නන්න ලෑස්තිවුවොත් නම් දවස් 2-3කට මාරි කත හැකි වනු ඇත්තේය.එපමණකි!!

23 comments:

  1. අඩෝ මේක පට්ටයි තරුවෝ.... මට මැරෙන්ඩ හිනා. මාරි කන්න වෙයි වගේ.... :D

    ReplyDelete
    Replies
    1. කෝ යකූ ෆිලුමේ පස්වෙනි කොටස??

      Delete
    2. බොට නම් හිනා! මගේ නම් පණ ගියා! D
      පිස්සු හැදෙනවා..මුළු කුස්සියම ආයිත් කොණක ඉඳන් අස් කරලා හෝදලා මැදලා කීලීනෝපයින් දාලා ජරමරයක් කොලා කියහන්කෝ..:D

      Delete
    3. අඩේ 5 තාම එඩිටින්..මම උන් දෙන්නගේ අවසානය කල්පනා කොරනවා තාම..:D

      Delete
    4. දවසක් අපේ නංගි බයේ කෑගහලා ඒ සද්දෙට මීයෙක් මලා බන්. මට මතක් උනේ ඒක. මාත් ලියන්න ඕනෙ ඒ කතාව.

      Delete
    5. හෑ?? :O නගා Bianca Castafiore ද? පව් දෙයියනේ අසරණ මීයා ඌට heart attack හැදෙන්න ඇති ෂුවර් එකටම බන්..:D :D

      Delete
  2. කපුරු බෝල දැම්මහම රෙදි පෙරදි වලටනම් කැරපොත්තො එන්නෙ නැහැ. අේප බෝඩිමෙත් කැරපාත්තො ඉන්නවා. ස්ප්‍රේ ගහන්න යනකොට සද්දෙ එනකොටම ඉක්මනින් උන් හැංගෙනවා ස්ප්‍රේ එක ඇගට වදින වෙලාවට උෟ නැහැ පේන්නවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල.රෙදිවලට නම් කැරාලා එන්නේ නෑ කපුරු දැම්මම.හොඳම ක්‍රමය කපුරු කුඩු කරලා තියන එකලු.වැඩේ තියෙන්නේ කෑම බීම අස්සේ කපුරු තියන්න බැරි එකනේ.:(
      ඒ වුණත් කුස්සියේ මොකක් හරිම ජිල්මාට් එකක් දාලා කපුරු කුඩු තියන්න වෙනවා දැන් නම්..මොකද උන් එක තැනකට එන්න පුරුදුවුණොත් මල වදේ! :@

      Delete
  3. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසිය හැකියි.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කූ අජිත්..ලින්කුව එවන්නම්..

      Delete
  4. ජිනීවා හෙනියන්න වෙන කේස් එකක්නේ! සමූල ඝාතනයක්!!!

    ReplyDelete
    Replies
    1. හා හා..මෙව්වා රට තුළම විසඳා ගත යුතු ප්‍රශ්න! මම තරයේ විරුද්ධයි ජීනිවා යනවට..ඕනනම් යන කෙනෙක් අතේ ලංකාවේ ඉන්න ඉතුරු කැරාලා ටික පාර්සල් කරලා යවන්න මම යෝජනා කරනවා..අනික ඉතින් ජීනිවාකරයෝ එච්චරටම බංකොලොත්ද වෙන රටවල කැරාල රොතු පිටින් මරන්නේ!හහ්! :D

      Delete
  5. පට්ට පට පට තරුවෝ...
    උදේ පාන්දරම හිනා කෝටියයි...
    හික්ස්....

    ReplyDelete
    Replies
    1. හී හී...දැන් නම් මටත් හිනා බන්..ඒත් එවෙලේ නම් ජුවල් ඩබල්! :D

      Delete
  6. මේ වෙලාවේ ඔෆිස් එකේ එව්වෝ මං පිස්සෙක්ද කියල බලන් ඉන්නවා. මට තනියම හිනා. මේක නම් මරු !
    ජය වේවා තනි තරුව !

    ප ලි : ඉස්සර අපේ ඔපීසියේ කෙනෙක් කිව්වා මට මතකයි, කැරපොත්තෝ ඇවිත් ඉන්දියන් කාරයෝ වගේය කියල.

    ReplyDelete
    Replies
    1. හා හා! මටත් ඔහොම වෙන අනන්තවත් වෙනවා, බ්ලොග් කියෝ කියෝ තනියම හිනාවෙනවා..ලොල්..තැන්කූ කුසුම්..:)
      අපොයි කිව්ව එකාගේ කටේ මසුරන් දාන්නට එපැයි..මසුරන් මේ කාලේ නැති නිසා අඩුමගාණේ කෝටි 3-4ක්වත් දාන්න වෙනවා..:D

      Delete
  7. එලවා දැමීම අවසානයේ දෙපිරිස අතර පැවැතුනු ගැටුම්කාරී තත්ත්වය මත කරපොතු සේනාව මැරුම් කෑහ ද ???

    ReplyDelete
    Replies
    1. අනිවා...!
      ෂඃ! ළමයා සෑහෙන්න රට තොට ගැන අවධියෙන් ඉන්න කෙනෙක් වගේ..:D

      Delete
  8. හික්ස්, මතක තියාගනින් ලෝකේ මොන විදිහෙන් විනාස වෙලා මොකා මැරුනත් කැරපොත්තෝ විනාශ වෙලා යන්නේ නෑ කියලා කතාවක් තියෙනවා හරිද..

    අනික කොමත් උශ්ණත්වට වැඩි කාල වලට මුං වැඩියෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සිරාවටම? :O ඒ කියන්නේ ලෝකේ විනාසවුණත් උන්ගෙන් ගැලවුමක් නෑ??හෆොයි (අ)නොදකින් [ (a)nother+kin(g) ] කිව්වලු! :@

      කියලා වැඩක් නෑ බන් අදත් උදේ එකෙක්ව මැරුවා නේ..දැන් මම කැරපොත්තන්ගේ මාරයා - බේගෝන් වීරයා වෙලා ඉන්නේ..හිකිස්! :D

      Delete
  9. උත්කෘස්ට ලියමනක්.. මට දැන් තියන පස්නේ තනි තරුව ඉන්නේ සත්තු වත්තේ කෘමි ඒරියා එකේද?
    කැරපොත්තො කියන්නේ මගේ සහෝදරවරු වගේ එක පතේ කන්නේ.. අපි අතර ඔය කියන විදියේ අවුලක් තිබ්බේ නෑ.. දුකයි කියන්න.. බිරිඳක් කැන්දන් ආවට පස්සේ.. ඈෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ කියන්න ඩුකයි තනි... මට මගේ සහෝදරයෝ වගේ හිටිය සහෝදරයෝ ටික නැතිඋනා..... එයානං කොහුමිටි අරං පැන්නුවේ නෑ.. මං එපා කියද්දි.. බෑඟිරි තලද්දි මොනවදෝ කුඩක් ගෙනල්ල දැම්මා.. (ඔනනං ඔයත් ටිකක් කන්න කිව්වා) ... සතියයි ගියේ සහෝදරයන්ගේ අන්ඩක්වත් නෑ.....


    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ විදානේ? කැරා සහෝදරවරු වාගේ කිව්වා?එක පතේ කෑවා?හපොයි දෙයියනේ!! :O
      සත්තු වත්තක් කොරගන්න නේන්නම් මුන් මේ දඟලන්නේ..කොහෙන් ආවද මන්දා අෆ්ෆා! :@
      අනේ විදානේ අයියේ, නෝනාගෙන් අහලා ඔය කුඩ මොකද්ද කියන්න බැරිද?සිරාවටමයි අහන්නේ..
      ඔය සහෝදරවරු ගැන වැඩිය හිතන්න එපා අනේ..ඔය කැත අඬු ටික නම් පේන්න නැති තරමටම හොඳයි..:D

      Delete