මං හරිම කැමතියි කළු සුදු පින්තූරවලට. අළුපාට මිනිස්සු පාට පාටින් දකිනවට වඩා කළුවෙන් සහ සුදුවෙන් විතරක් දකිනකොට ඒකේ මොකද්ද මහ අමුතු සුන්දරත්වයක් මට දැනෙනවා. ඒවුණාට මං මෙතෙක් වැඩිපුරම අරං ඇත්තේ පාට පින්‍තූර. පින්තූරුකරණයට ආස වුණාට නිසි අධ්‍යයනයක් නැතුව ඇහේ හිතේ හුරුවට ජංගමයගෙන් ගන්න පින්තූරවුණත් මහ දෙයක් වගේ රස විඳින්න මට පුළුවන්. ඒවා අස්සට නානාප්‍රකාර ෆිල්ටර් දාලා තියෙන එව්වත් තියෙනවා, අත්දැකීම්වලින්නෙ අපි ඉගෙනගන්නේ. අනික සුන්දර සහ කලාත්මක වෙන්නෙ අමුවෙන්ම විතරයි කියලා නියමයක් නැහැනෙ. තමන්ට රිසි හැටියට සුන්දරත්වය දකින්න පුළුවන්, පෙන්නන්නත් පුළුවන්. අනුන්ට දුකක් කරදරයක් නොදී විඳින්නත් පුළුවන්.
කළු සුදුවලට කොච්චර ආස වුණත් සමහර දේවල් ඒ හැටියෙන්ම විඳගන්න පාට ඕන. අහස් නිල, මුහුදු නිල, කෝපි පාට, දේදුන්න, බහින ඉර, හැන්දෑ අහස, කෙහෙල් දළුවල කොළපාට, රොබොරෝසියාවල රෝස පාට, කඳුවල තද කොළ පාට වගේ දේවල් විඳගන්න කළු සුදුවට අමාරුයි. පියවි ඇහැට පේන දැනෙන සුන්දරකම පින්තූරවලට කොටු කරගන්න එක මහ අපූර්වයකින් අහුරක් මිටකට ගන්නවා වගේ සුළුයි තමයි. ඒත් ඒ මිට ඇතුළේ පවා මෝහනය වෙන්න පුළුවන් ලස්සනක් කැටිකරගන්න ඇහැකටනේ පින්තූරුකරණය තියෙන්නේ. කළු-සුදුවට, වර්ණවට, පරණ තාලේ වගේ දුඹුරට කියන ඔය කොයිකත් නිසි තැන නිසි හැටියට යොදාගෙන ජීවිතේ පින්තූරවලට අල්ලගන්න එකත් දක්ෂකමක්. හරියට ජීවත්වෙනවා වගේම තමයි.
සමහර වෙලාවට අපි එහෙම සුන්දර දේවල් අල්ලගන්නෙ, පින්තූරෙකට කැටිකරගන්නෙ අනුන් වෙනුවෙන්. මං හිතන්නෙ මනුස්සයෙක්ට ආදරේ දැනෙන චූටි දේවල් ඒ වගේ කියලා. තමන් සාමාන්‍යයෙන් එතරම් තැකීමක් නොකරන දෙයක් වුණත් අනිකා ආසාවෙන් රස විඳිනවා කියලා දන්නා හින්දා මොන පින්තූරුකරණ න්‍යායක්වත් නොදැන, ගන්න සමහර පින්තූර මාර රහයි ඇහැට, හිතට දෙකටම. පහළ තියෙන්නේ පින්තූරයක් ගන්නවත් නැගිටින්න උදාසීනවුණ, ඒත් ඇහෙන් හිතෙන් අහස උරාබොමින් හිටි මගේ සිතුවිලි කියවපු කෙනා මං වෙනුවෙන් ගත්ත එහෙම පින්තූරයක්. ඒ රෝස පාට වළාකුල තියෙන්නෙ දැන් මගේ හිතේ.😇💓
තාත්තත් ඒ වගේ. මං පින්තූර ගන්න ආසවෙයි කියලා හිතන සමහර දේවල් දැක්කම "අක්කී, ෆෝන් එක අරන් එන්න මෙන්න මේක ගන්න" කියලා මහ හදිස්සියක් වගේ උන්හිටිගමන් එහා කෙළවරේ ඉඳන් කෑගහන්නෙත්, මහ පාරවල් අයිනෙත් වාහනෙ නවත්තගෙන ඉවසීමෙන් ඉන්නෙත් ඒකයි කියලා මං දන්නවා.😇
ඇයි හදිස්සියෙම මෙහෙම කළු සුදු ගැන ලියන්න හිතුණේ කිව්වොත් ඒ නම් ඔය අනික් පින්තූරේ තියෙන කතාව දැකලා. කළු සුදුවලින් මිනිස්සුන්ගෙ ආත්ම අල්ලන්න පුළුවන්ද කියලා ලොකු තර්කවිතර්කවලට යන්න පුළුවන් ඇති. ඒත් මට හිතෙනවා අළු පාට මිනිස්සුන්ගේ ආත්ම කළු සුදු අස්සට ලඝු කරන්න හදන එක අපරාදේ කියලා. අපිට ඕන අළු පාට මිනිස්සුන්ට ඒ අයගේ අළු තීව්‍රතාව අපේ අළු තීව්‍රතාවලට ගලපගන්න ගමන් අපි ආස පාටින් ඒගොල්ලොන්ව දකින එක, අපිට ඒගොල්ලොන්ව පේන ලස්සන පාට එයාලටත් පෙන්නනන එක, සමහරවිට අපි එකිනෙකාට දැනෙන හැටිය පාට ගලපමින් පාට කරගන්නා එක. ආදරේ කියන්නේ ඒකට.❤️
~තනියා
Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal
මම හිතන්නෙ පින්තූරයක හෝ චිත්‍රපටයක මානුශික හැගීම් වඩාත් තීව්‍ර ලෙස ඉදිරිපත් කරන්න වර්න වලට වඩා කලු සුදු චිත්‍රපටයකට හෝ පින්තූරයකට හැකියාව තිබෙනව.සමහර විට වර්න වල චමත්කාරයෙන් අති සියුම් මානුශික හැගීම් යටපත් වන්නට හැකියාව තියන නිසා වෙන්නැති.මම හිතන්නෙ Schindler's list වගේ සිනෙමා පටයක් කලු සුදු චිත්‍රපටයක් වන්නේ මේ හේතුව නිසා වෙන්නැති.
ReplyDelete