Showing posts with label පොත් කතා. Show all posts
Showing posts with label පොත් කතා. Show all posts

Sunday, March 19, 2023

ටුරී ජුලියානෝ (Turi Giuliano/ Salvatore Giuliano)

ටුරී රෝමාන්තිකරණය කරන ලද මැරයෙක්! ඒත් ඒ මැරයා Mario Puzo ගෙ වචනවල දැවටෙමින් ඇවිත් මගේ හදවත නතර කළා. 

කව්ද ටුරී? ඇයි ටුරීට එහෙම වුණේ? එච්චර කඩවසම්, බුද්ධිමත් මිනිහෙක්ට එහෙම වුණේ එයත් පවත්නා ක්‍රමයේ ගොදුරක් වෙච්ච නිසා නෙවෙයි ද (නෑ මෙහෙ නෙවෙයි, සිසිලියේ).

Mario Puzo ඒ කියන්නේ සුප්‍රකට Godfather රචකයා The Sicilian එළිදක්වලා තියෙන්නෙ 1984 නොවැම්බර් මාසෙදි. ටුරී හෙවත් සැල්වටෝර් ජුලියානෝව පාදක කරගෙන ලියලා තියෙන මේ නවකතාවට Godfatherහි චරිතත් ඈඳලා තියෙනවා. ඇත්ත ටුරී 1922 නොවැම්බර් 16 ඉපදිලා 1950 ජූලි 5දා මරණයට පත්වෙලා තියෙන්නේ අවුරුදු තිහක්වත් ආයුෂ නොවිඳ! රෝමාන්තිකරණය කරන ලද කලු (මට අනුව නං අලු) චරිතයක් වුණත් ටුරී තුළ ඉන්න මොකද්දෝ ඡායාවකට මගෙ හිත ඇදෙනවා. 
(මේ වාක්‍යය ලියද්දිම මට මගෙ හොඳම මිත්‍රයෙක්ගේ සුපුරුදු වචන ටික ඒ හඬෙන්ම ඇහෙනවා වගේ.😂 අපේ බහුතර සංවාදවල ඉතාලි සහ ආසියානු මාෆියා විකසනය ගැන කතන්දර වෙනකොට ඒ මිත්‍රයා ඔලුවෙ අත ගහගෙන මගේ මේ මාෆියා ආකර්ෂණය සහ නැඹුරුව ගැන වධවෙන්න ගන්නවා. ඊටපස්සේ පොහෝදා ධර්ම දේශනයක ස්වරූපයෙන් අපි දෙන්නාටම ඇති විවිධ ඉතිහාස කතා සහ අත්දැකීම් ගෙනහැර පාමින් ඒකෙ ආදීනව කියාපෑමෙන් තමයි මේ සංවාද අහවර වෙන්නේ 😁)
(වරදවා වටහාගන්න එපා. මේ කතා කරන්නේ කාඩ්බෝඩ් වීරයන් හෝ සිඟිති පාතාලයන් ගැන නෙවෙයි. මාෆියාවක් වුණත් ප්‍රතිපත්තිගරුක, යම් විනයක් සහිතව:Omerta, ක්‍රියාත්මක වෙච්ච සංවිධානයකට නිග්‍රහ කරමින් දකින දකින හැම මජර ජරාවකට මාෆියා කියන වචනය යෙදීම අපරාධයක් කියලා මං හිතනවා!) 

ජනතාවගේ වීරයෙක් හැටියට අවුරුදු විසි අටක් වගේ කෙටි කාලයකදී සිසිලියේ මාෆියාවට මාෆියාවක් වීමෙන් නොනැවතී, ෆැසිස්ට්වාදී මුසොලීනි බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයේ ඉත්තෙක් වෙන්න සිද්ධ වෙද්දි ටුරී දැනගෙන ඉන්නවා කවදාවත් එතැනින් ගැලවීමක් නැති බව. ඒත් අවාසනාවකට ටුරී මැරුම් කන්නෙ පෙනුණු සතුරන් අතින් නෙවෙයි. වැලි කෙලියෙ ඉඳන් හැම දේකදිම කිසිම විරුද්ධත්වයක් නැතුව ළගින්ම හිටිය මිත්‍රයා, Aspanu Pisciotta ගෙ වෙඩිල්ලෙන්. නවකතාව සහ ඇත්ත කතාවේ සිදුවීම් අතර යම් යම් වෙනස්‌කම් තිබෙනවා. නවකතාවේදී ටුරී අවසානය වෙද්දී තනිවුණත් තමන්ගෙ විශ්වාසවන්තම, ප්‍රාණසම මිත්‍රයා ගැන අවිශ්වාසයක් හිතන්නේ නෑ. නමුත්, වාර්තාවලට අනුව පිසියෝටාගේ (විවිධාකාරයෙන් උච්ඡාරණය වෙනවා) පාවාදීම ගැන ටුරී දැනුවත් වෙලා ඉන්දැද්දි සැකයෙ වාසිය දිනාගන්න මිත්‍රයාමයි නින්දෙ ඉන්න ටුරීව මරා දමන්නේ! 

නොවැම්බරයෙක් හැටියට මේ නොවැම්බරයා ගැන මට මහා කණගාටුවක් දැනෙනවා. 

ඉතාලි භාෂාවෙන් කැඩී ආව වචනයක්වුණත් අරාබි භාෂාවෙන් මාෆියා යන්නෙ තේරුම බලවතාට විරුද්ධව දුබලයා වෙනුවෙන් පෙනීසිටින ආරක්ෂකයා නැත්නම් ශුද්ධවූ ස්ථානයක් වගේ එකක්. එහෙම බැලුවොත් ටුරී මාෆියාවෙන් මාෆියාවට යන්නට ඇති කියලා විශ්වාස කරන්න මං කැමතියි! 😇

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #bookreview #SicilianMafia

Sunday, July 19, 2020

Mata Hari's Last Dance by Michelle Morgan

මාතා හාරි නම් සුප්‍රසිද්ධ නළඟන ජර්මන් ඔත්තුකාරියක ලෙස ප්‍රංශ රජය විසින් 1917 ඔක්තෝබර් 15වනදා සොල්දාදුවන් 12දෙනෙකු විසින් වෙඩි තබා මරා දැමෙනවා. ඇගේ සත්‍ය කතාව කුමක්දැයි කිසිවකු හරියාකාරව දන්නේ නැහැ. නමුත් ඇගේ මරණය අසත්‍ය කරුණු පදනම් කරගෙන සිතාමතා කරන ලද සාහසික අපරාධයක් ලෙස පිළිගැනෙනවා. Michelle Morgan විසින් රචිත මේ කතාව ඉතිහාස කරුණු පදනම් කරගෙන ලියන ලද fiction ගණයට වැටෙනවා. කතාව ලියා ඇති ආකාරය රසවත් සහ තාත්විකයි. මාතා හාරි විවාදයට තුඩු දුන් චරිතයක් වූවත් ඈ ඒ තත්ත්වයට පත්වූ ආකාරය ඈ විසින්ම කියන ආකාරයට ලියා තිබීම නිසා ඇය ගැන පාඨකයා සංවේදීව හිතන්නට පෙළඹෙනවා.

කතුවරියගේ අනිත් පොත් මේ වාගේම ස්ත්‍රී චරිත මූලික කරගෙන ලියා තිබෙන්නේ. බාගත කළේ Anybooks මගින්.
Nefertiti, Rebel Queen, Cleopatra`s Daughter, The Heretic Queen, Madame Tussaud, The Second Empress එයින් කිහිපයක්.


Saturday, May 9, 2020

Turn of Mind by Alice LaPlante


අල්සයිමර් රෝගය (Alzheimer's disease) පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මොළයේ සෛල මියයාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙසයි එය සැලකන්නේ. ඩිමෙන්ෂියාවට ප්‍රධානම හේතුව විදිහට ගැනෙනවා. මෙහිදී මොළයේ සෛල මියයාම නිසා ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ මතකය අහිමිවීම සහ පාලනයෙන් තොර වීම නිසා අල්සයිමර් රෝගියෙකුට ස්වාධීනව ජීවත් වීම අපහසු වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට දීර්ඝ ආයු කාලයක් අපේක්ෂා කෙරෙන්නේ නැහැ.

මේ කතාව ලියැවී ඇත්තේ අල්සයිමර් රෝගයට ගොදුරු වන ජෙනිෆර් වයිට් නම් වෛද්‍යවරියක් සහ ඇගේ හොඳම මිතුරියගේ ඝාතනය වටායි. රෝගියෙකුගේ කෝණයෙන් කියැවෙන නිසා කතාව සමහර අවස්ථාවල ඒකාකාරී ස්වභාවයක් ගත්තත් සමහර අවස්ථා සෑහෙන සංවේදීයි. මේ නවකතාව වර්ගීකරණය කර ඇත්තේ thriller කැටගරියට අදාලව. අවසානයේ ඝාතකයා සොයාගන්නවාද ඒ කවුද යන්න කුතුහලය අවසානය තෙක් පාඨකයා තුළ රඳවා ගන්න කතුවරිය සමත් වෙලා තියෙනවා.
මේ කතාව චිත්‍රපටයකට නගන්නත් කටයුතු සිදු කෙරෙන බව තමයි කියවෙන්නේ. තවම දින වකවානු ගැන තොරතුරක් නැහැ.
පොත බාගත කලේ anybooks මගින්.



Wednesday, April 22, 2020

The perils of being moderately famous by Soha Ali Khan


මේක නම් මම ටික කාලෙකට කලින් කියවපු පොතක්. නමුත් ඒ ගැන සමූහයට ලියන්න වෙලාවක් ලැබුණෙ නැති බව මතක් වුණා.

හින්දි සිනමාව ගැන උනන්දුවක් දක්වන අයත් රසිකයොත් සොහා අලී ඛාන් කාගේ කවුද කියලා දන්නවනේ.ඇය එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුණු නිළියක් වන ශර්මිලා තාගෝර් සහ දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක/හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මන්සූර් අලී ඛාන් පතාඋඩිගේ දියණියක්. සයිෆ් අලී ඛාන් ඇගේ සහෝදරයා.
මේ පොත ලිවීමට පාර හැදුණු හැටි ඇයගේ හැඳින්වීමේ ලියා තිබෙන ආකාරයම හරිම හාස්‍යජනකයි.

Sunday, April 19, 2020

The God of small things - Arundhati Roy

රසවත් පොතක් හම්බවුණාම එක හුස්මට කියවනවද නැත්නම් හිමින් හිමින් හැම වචනයක්ම රස විඳ විඳ කියවනවද?

මේක හැම වචනයක්ම රස විඳ විඳ කියවන්න පුළුවන් පොතක්. ඒ ලියවිල්ල හරියට චිත්‍රපටයක් බලනවා වගේ, මවාගන්න කලින් රූප මැවෙන.

The God of small things, අරුන්දතී රෝයිගේ ප්‍රථම නවකතාව. පොත ලියන්න පටන් අරන් තියෙන්නේ 1992, අවුරුදු 4ක් ගත කරලා (පොතටම කාලය ගෙව්වා ද දන්නේ නෑ හැබැයි) 1996 පොත සම්පූර්ණ කළා කියලායි කියවෙන්නේ. ඇයව ජාත්‍යන්තර කීර්තියට පත් කරන්න මේ නවකතාව සමත් වෙලා තියෙනවා. 1997දී Booker Prize එකත් දිනාගෙන The New York Timesවල වැඩිම අවධානය දිනාගත් පොත් ලැයිස්තුවට ඇතුළත් වෙන්නත් මේ පොත සමත් වෙලා තියෙනවා. ඒ වගේම The New York Times Bestsellers ලැයිස්තුවේ 4වන තැනටත් පත්වෙලා තියෙනවා. 

Sunday, March 29, 2020

Mafia Queens of Mumbai by S. Hussain Zaidi with Jane Borges


අපේ අසල්වැසි ඉන්දියාව, පාතාලය ආකර්ෂණීය තැනක් කරපු රටවල් අතරින් එකක්. බොලිවුඩ් නිර්මාණ බොහොමයක් තියෙන්නේ ඉන්දියානු පාතාලයේ විකසනය ගැන. අපි අහලා තියෙනවා හුගාක් පාතාල නායකයන් ගැන. ඒත් දන්නවද පාතාල නායිකාවන් ගැන?
මේ පොත මං කියෙව්වේ දැනට ටික කාලෙකට කලින්. නමුත් සමූහය එක්ක අදහසක් බෙදාගන්න බැරිවුණ නිසා නිරෝධායන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවා.
ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියෙක් වෙන Zaidi මේ පොත පළ කරලා තියෙන්නේ ඉන්දියානු පාතාලය සම්බන්ධයෙන් ඔහු කාලයක් තිස්සේ කළ පර්යේෂණ පදනම් කරගෙන. මෙහි පෙරවදන ලියා ඇත්තේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයකු වන Vishal Bhardwaj. 

ඔහු පෙරවදන පටන් අරන් තියෙන්නේ මෙහෙම "
Crime is juicier than spirituality. Guns are more attractive than roses. And thus—at least to me—the stories about the lives of gangsters are much more fascinating to share than that of saints."
ඒකෙන් පැහැදිලි වෙන්නේ high-context cultures හැටියට ගැනෙන අපේ කලාපයේ රසික ඉල්ලුමට අනුව සැපයුම ලැබෙන බව.😁

මේ පොත පටන් ගන්නේ ඉන්දීය පාතාලයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් හැටියට සැලකෙන නැත්නම් Godmother විදිහට හැඳින්වෙන Jenabai Daruwaliගේ කතාවෙන්. එවකට පාතාල නායකයෙක් වූ Haji Mastan සමග සමීපව කටයුතු කළ අයෙක් තමයි Jenabai. ඒ වගේම හිතුවක්කාරයෙක් වන Ibrahim Dawood කීකරු වූයේ Jenabaiට පමණක්ම බවයි කියවෙන්නේ. Dawood ගැන වෙනමම කතා කරන්න පුළුවන් නිසා මෙතන ඒ ගැන වැඩි විස්තර ලියන්නේ නැහැ (තව පොතක් තියෙනවා ඔහු ගැන වෙනමම)

Saturday, March 28, 2020

Pablo Escobar - My father by Juan Pablo Escobar



1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.

Thursday, March 26, 2020

Confessions of an Economic Hit Man by John Perkins


ආර්ථික විද්‍යා විශේෂඥයෙක්ගේ ස්වරූපය දරමින් එක්සත් ජනපදයේ ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැංවීමට කටයුතු කළ ආකාරය පිළිබඳ ස්වයං පාපොච්චාරණයක් හැටියටයි ඔහු මේ පොත ලියා තිබෙන්නේ. ඉන්දුනීසියාව, වියට්නාමය, ඉක්වදෝරය, පැනමාව, පේරු, චිලී, සවුදි අරාබිය, ඉරානය, ඉරාකය ආදී වශයෙන් රටවල් ගණනාවක රහසිගතව ක්‍රියාත්මක වූ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන ලද මෙහෙයුම්වලදී ඔහු ලද අත්දැකීම් අදාල තහවුරු කිරීම් සහිතව ලේඛකයා විසින් ලියා තිබෙනවා. 

කාලයක් තිස්සේ ලෝක බලවතා වශයෙන් තම බලය තහවුරු කරගැනීමට එක්සත් ජනපදය විසින් corporatocracy යන ආකෘතිය (සංකල්පයකට එහා ගිය) අනුව යමින් කරන ඉතා විචක්ෂණශීලී සහ බැරෑරුම් මෙහෙයුම් ගණනාවක් මෙහි විස්තරාත්මකව දැක්වෙනවා. විශේෂයෙන්ම අද අපව පුදුමයට පත් කරමින් වැජඹෙන සවුදි අරාබිය මුදල් යහමින් තිබූ නමුත් එය නිසිලෙස කළමනාකරණ ට දැක්මක් නොතිබූ බව හා ඔවුන්ගේ ස්වභාවික උද්ධච්ච ගතිපැවතුම් නිසා විදේශ වහල් සේවය අරඹමින් වක්‍ර ආදායම් මාර්ග ද දියුණු නගර සංකල්පය හඳුන්වා දී සෘජු ආදායම් මාර්ග ද පෙට්‍රෝවිනිමය නැවත එක්සත් ජනපදය වෙතම ඇද ගැනීමට කල සැලසුම්, රජ පවුල තම ආධිපත්‍යයට නතු කර ගත් ආකාරය සඳහන් වෙනවා. ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ ඉක්වදෝරයේ හිටපු ජනාධිපති Jaime Roldós සහ පැනමාවේ Omar Torrijos ඝාතන පිළිබඳව ද පසුබිම් කතාවන් අන්තර්ගත වෙනවා. ඉරාකයේ සදාම් හුසේන්ට විරුද්ධ සටනේ සැබෑ තත්ත්වය සහ ඔසාමා බින් ලාඩන් සෝවියට් දේශයට එරෙහිව ඇෆ්ගන් සටන කරනා තාක් ඔහුට මුදල් සහ ආයුධ සැපයූ ආකාරයත් ඔහුගේ සමීපතයන් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ආරක්ෂාකාරීව රටින් පිට කළ ආකාරයත් සඳහන් වෙනවා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපට 'විදේශ කුමන්ත්‍රණ, ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය අධිරාජ්‍යවාදී බලවේග' යනාදිය විහිළුවක් ලෙස දැනුණාට මේ පොත කියැවූ පසු හිනාවෙන්නට කලින් දෙපාරක් හිතාවි කියා හිතෙනවා. උනන්දුවක් ඇති නම් කියවා බලන්න. 

Wednesday, March 25, 2020

කොටි දියණියකගේ පාපෝච්චාරණය (Tamil Tigress by Niromi de Soyza) - පරිවර්තනය සුනිලා විජේසිංහ

සටහන
නිරෝධායන කාලයේ උපරිම ප්‍රයෝජන ගනිමින් පොත් කිහිපයක්ම කියවා ඉවර කරන්න අවස්ථාව ලැබුණා. පොත් කියවන අය සමූහයේ පළ කල සටහන් කීපයක් බ්ලොග් එකේත් පළ කරන්න හිතුවා.මේ අදහස ලබාදුන් මනෝරම වීරසිංහට ස්තූතියි😊



--------




කොටි දියණියකගේ පාපෝච්චාරණය 
(Tamil Tigress by Niromi de Soyza) - 
පරිවර්තනය සුනිලා විජේසිංහ


පහුගිය දවස් කිහිපයක් එක දිගට ඊ-පොත් කියවීම නිසා විඩාපත් වුණ ඇස්වලට සහ ඔලුවට විවේකයක් දීමේ උවමනාව නිසා කාලෙකින් මුද්‍රිත පොතක් අතට ගත්තා.

සමස්තයක් හැටියට ගත්තොත් මේ පොත සම්බන්ධව මගේ මතය මෙය සමබර ලිවීමක් නොවන බවයි. කොටි සංවිධානය හැරගියා යැයි කියන නිරෝමි ද සොයිසා (සැබෑ නම නොවේ) බොහෝ තැන්වල කොටි සංවිධානය වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරන අතර සංවිධානයේ බොහෝ ක්‍රියාවන් සුළු කොට තකමින් රජයේ හමුදාවන්වල ක්‍රියාවන් උලුප්පා දක්වන ගතියක් මුලු පොත පුරාම දැකිය හැකියි.

නමුත් සමස්තයක් වශයෙන් පරිවර්තනය ප්‍රශස්ත මට්ටමක තියෙනවා. 

Sunday, March 22, 2020

Amunhotep සහ කොරෝනා

ක්‍රිස්තු පූර්ව 13වන සියවසේදී ඊජිප්තුවේ රාජ්‍යත්වයට පත්වන Amunhotep (Amunhotep IV), Amunhotep the Magnificent (Amunhotep III) සහ ඔහුගේ අග මෙහෙසිය වූ Tiyeගේ  පුත්‍රයෙක්. පිය රජතුමා මහත් වෑයමක් දරා අසල්වැසි රාජ්‍යයන්ද ඊජිප්තුවට ඈඳා ගත්තාට මේ Amunhotep කුමාරයා සේනා සංවිධානයේවත් යුධ ශිල්පයේවත් උනන්දුවක් නැති, අවුරුදු 2000ක් ඊජිප්තු වැසියන් ඇදහූ Amun නම් ප්‍රධාන දෙවියා ප්‍රමුඛ දේව මණ්ඩලයම වළලා දමා Aten හෙවත් සූර්යයා නැමදීමේ නව ආගමක් ප්‍රචලිත කිරීමේ උවමනාවකින් පෙලුණු, Amunhotep the Builder ලෙස ඉතිහාසගතවීමේ තණ්හාවකින් පෙලුණෙක්. උද්ධච්ච, මුරණ්ඩු කලබලකාරයෙක් ලෙස සැලකෙන ඔහු පාලනය කරගැනීමට මව් බිසව Tiye තම සහෝදරයාගේ දියණියක වූ Nefertiti එවිටත් විවාහකව සිටි Amunhotep කුමාරයාට සරණ පාවා දෙනවා. නමුත් සිදුවන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දෙය නෙවෙයි. අතිශය රූමත් නමුත් Amunhotepහට නොදෙවැනි අහංකාරකමකින් සහ කපටිකමින් පිරුණු Nefertiti තම බලය තහවුරු කරගන්නේ Amunhotepගේ සෑම මුග්ධ ක්‍රියාවකටම අනුබල දීමෙන්. ඔවුන් දෙදෙනාගේ අනුග්‍රහයෙන් Aten දෙවියන්ට වෙන්වූ Amran නම් නගරය නිර්මාණය වෙන අතර Amun නම් පැරණි දේවියාට වෙන්වූ දේවාල කඩාබිඳ දමා එහි වස්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එනවා. තම රටවැසියා නම්මාගන්න ඔවුන් කරන්නේ Nefertitiගේ පෞර්ෂත්වය නිසා ඇය දෙවියන් හා සමාන බවට ඒත්තු ගැන්වීම සහ මුදල් සහ නොමිලේ ආහාරපාන බෙදා දීම. ෆාරාවෝවරුන් දෙවියන්ගේ මෙලොව නියෝජිතයින් ලෙස සැලකුණ නිසා එය එතරම් අපහසු කටයුත්තක් වන්නේ නැහැ.