Monday, May 30, 2022

නාඩගංකාරයෝ ගංකබරයෝ වීම

හිතවත් සද්ධාමංගලයාණෙනි,
මේ ලිපිය ලියන්නී, නාඩගංකාරයෝ ප්‍රවිශ්ඨයේදී අපමණ උද්දාමයට පත්ව, රට්ටු කියන කතාවලට විරුද්ධ වෙමින්, ඔබ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, කලක් එක කොටසක් හෝ මග නොහැර බලන්නට පුරුදු වූ hardcore ෆෑනෙකි!
ඒත් දැන් නම් සති තුනකට ආසන්න කාලයකින් ටෙලිය නරඹා නැත! මන්ද යත්, ප්‍රේක්ෂකාගාරය පිනවමින් පටන්ගත් කතාව මේ වනවිට 'බුදු තාත්තේ බොන්න බොන්න බොන්න..' තත්ත්වයට වැටී ඇති නිසාය.

නාඩගංකාරයෝ පටන්ගැන්මේ දී ඔබතුමා දුන් සම්මුඛ සාකච්ඡාවක් මට මතකය. මල්මුණි මෙන් මෙගා කරාවිදැයි නිවේදකයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබ එදා කීවේ කොටස් සියයකට වඩා ඇදගෙන යාමේ බලාපොරොත්තුවක් නැතිබවය. කොටස් සියය දෙසීයක් වූවාට නම් කමක් නැත. නමුත් දැන් එය තුන්සිය පනහ ද පැනලාය!

මෙතෙක් ප්‍රේක්ෂකයා නියපොතු විකමින් බලා උන් යුගයේ සරා-පාඨලී ප්‍රේමය ද තවම ඇරඹී නැත. ඔතරම් කල් මැරූ ප්‍රේමයක් ගමක තිබුණා නම් මේ වනවිට පාඨලී දෙතුන් වතාවක් දීග ගොස් තියෙන්නට ඕනෑය. මාස්ටර්ගේ කලායතනයද අහිකුණ්ඨික සාපයකට ලක්වූවාක් මෙන් එතැනින් මෙතැනට මෙතැනින් එතැනට යනවා මිසක ස්ථිර වාසස්ථානයක් නැතිගාණට වැටිලාය. ඒකත් එහෙම නොවුණානම් කතාව ඇදගෙන යන්නට ප්‍රස්තුතද නැතිවන එක සාධාරණ හේතුවක්ය. මාලන් තාමත් කව්දැයි නොදන්නා පිටසක්වලයෙකි. රසිකා ද තවමත් හීන පොදිය දොරකඩ තියාගෙන මාලන්ගේ වෙනස්වීමේ ප්‍රාතිහාර්ය වනතුරු බලා ඉන්නවා ඇතිය. කුකුළු බබාගේ උච්ච ස්වරය දැන්නම් කණට දරාගන්න බැරි කරච්චලයක් බවට හැරිලාය. සිරිසේනගේ කසිප්පු බීම ටිකක් නැවතී ඇතිවාට සද්ධාමංගලයාණන්ට කියන්නට උවමනා දේශපාලන බණ කියලාම දැන් උන්දැ නිකංම ස්කිප් වෙනවාය. මුදලාලි, මුදලාලි කෙනෙකුට නොගැලපෙන තරමටම ටියුබ්ලයිට්ය. පරමාදර්ශී ලොකු හාමුදුරුවන්ද බොහෝ අවස්ථාවල නිකංම ස්කිප් වෙනවාය. ලේකමා සහ ග්‍රාමසේවක කොහොමත් ස්කිප් වූ අයය. බිංදුසිරිගේ අධිතාත්වික රංගනය ආ දා සිට වැඩි කාලයක් ස්කිප් වූ අවස්ථා අතර ප්‍රධානය. සාමාන්‍ය ජනතාවට අමතකව ගිය කලා ඉතිහාසයක් මතක් කළ කලායතනය ද දැන් දැන් ස්කිප් වේගෙන යනවාය. මේ ස්කිප් වන වේගයට ඇත්තටම දැන් නම් බලන්නට ඇත්තේ මුදල් ගෙවා ප්‍රචාරය කරනවායි කියන දැන්වීම් ටික විතරමය. 

නාහෙට නාහන සරාගේ ගති මුලදී ආකර්ෂණීය වූවත් දැන් නං ඇතිය. කුකුළා මුදලාලි ආපසු ආ බවක් යන්තම් ඇස් කොණින් දුටුවත් හිත හදාගෙන බලන්නට ඉඳගන්නට නොහිතෙන තරමට කතාව එක තැන පල්වෙන ගතිය දැන්නම් උපරිමය. තව ලියන්නට දේවල් තියෙන නමුත් කලක් ආශා කළ දෙයක් එවැනි තත්ත්වයකට පත් කරන්නට කැමැත්තක් නැත. එක්කෝ මේ ඒකාකාරීත්වය බිඳිය යුතුය. නැත්නම් ඉවර කළ යුතුය.
නැත්නම් ඔබගේ නිර්මාණය පමණක්ම නොව ඒ නිර්මාණය කර තියාගෙන නැටූ අප වැනි ප්‍රේක්ෂකයන්ද පව්ය!

✒️ Aash Weerasinghe

Tuesday, May 24, 2022

සිංදු ලියන රංගධරයෝ

2022 මැයි 24දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

සිංදු ලියන රංගධරයෝ

එක දේකටවත් අසමත් කව්රුත් ලෝකේ නෑ. හැමදේටම සමත් අයත් ලෝකේ කලාතුරකින් ඉන්න පුළුවන්.

 රඟපෑම කරද්දී සිංදු ලියන්න පුළුවන් අයත් ඉඳලා තියෙනවා, අපේ ලංකාවේ.

එක්කෙනෙක් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. ගීත කිහිපයක්ම රචනා කරලා තියෙනවා. එයින් එකක් තමයි විශාරද සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරපු 'නැතිවුණු ආදරයක් වෙනුවෙන්' ගීතය.

මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ පී. වික්‍රමනායකගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් 1980දී නිර්මාණය වුණු 'මයුරිගේ කතාව' චිත්‍රපටයේ. එහි ප්‍රධාන චරිත නිරූපණය කර ඇත්තේ ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි සහ ටෝනි රණසිංහ. 

නැතිවුණු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක 
අමතා කියන කතාවයි මේ.. 
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

සිතින් පලාගිය එක් ආදරයක් දිහා
කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
නෙත හදවත් දොර විවර කළා.. 
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.. 

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි 
ඔබටත් මම ආදරෙයි 
ඔබට මම ආදරෙයි 

ගීතය: https://youtu.be/_qSA69hKoOk (මෙහි ගාමිණී විසින්ම කරන හැඳින්වීමක් ඇතුළත්) 
ගායනය: විශාරද සුජාතා අත්තනායක 
සංගීතය: ලයනල් අල්ගම 
පද: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 
චිත්‍රපටය: මයුරිගේ කතාව (1980)

ගාමිණී - වික්ටර් සුසංයෝගයෙන් ගීත කීපයක්ම බිහිවෙලා තියෙනවා, ඒ ගැන වැඩිය කතා නොවුණට. ඉන් එකක් මේ:

අහිමි උනත් නුඹ ළඳේ
මට අඬන්න අවසර නෑ
වෙලෙන් එහා හිඳ ඔබේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා

නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලූ දුක් සුසුම් මගේ මුව සිම්බා

නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා

කියාගන්න බැරි දුකක් නිවන්නට
නෙත හෙලු කඳුළක් මගෙ මුව සිම්බා

ගීතය: https://youtu.be/5V2bdEBA2DI
ගායනය සහ තනු නිර්මාණය: ආචාර්ය වික්ටර් රත්නායක 
 පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 

'පසුකර ආ අතීතයට' ගීතයේ වචන ටිකට උපරිම සාධාරණය වෙලා තියෙනවා හඬින් සහ සංගීතයෙන්❤️ අහලම බලන්න. මාත් අදමයි ඇහුවේ. 

පසුකර ආ අතීතයට
ආපසු යන ගමනේ
අමතක කළ නුඹේ දෙනුවන් තුළින් 
අතීතය දුටිම්

නීල නුවන් පොපියා
මා දෙනුවන් දෙස බලන්
කැඩපත්වන් මගෙ දෙනයන ඇඳි
අතීතය බලන්

සීත කඳුළු ඔය දෑසින් 
මතුවී එන ගමනේ
මුසපත් කළ ඇස අඩවන් කර
අතීතය වසන් 

ගීතය: https://youtu.be/Juhp_AOUxmM
ගායනය සහ තනු නිර්මාණය: ආචාර්ය වික්ටර් රත්නායක 
 පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා

1979දී සරුංගලේ චිත්‍රපටයට ලියැවී ඇති මේ ගීතයත් ගාමිණී ෆොන්සේකාගේ පද රචනයක්. 

බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ 
වන මල් කැකුළිය සොයා වඩින්නේ 
වන මල් කැකුළිය කුමට සොයන්නේ 
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල දේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ 
ගසක් මලක් නැති ලොව කොයිවැන්නේ
මෙත් ගුණ නැති රලු කතරක් වන්නේ

ගීතය: https://youtu.be/EK2jMgusDyc
ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව සූරීන් සහ ආචාර්ය නන්දා මාලිනිය 
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක 
පද රචනය: ආචාර්ය ගාමිණී ෆොන්සේකා 
චිත්‍රපටය: සරුංගලේ (1979)

මේ හැරුණු විට පහත ගීතත් ඔහුගේ රචනයන්:
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සොඳුර නුඹ මට මව් වෙයන්'
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'කල්ප ගණන්' 
අබේවර්ධන බාලසූරිය මහතා ගායනා කළ 'සැතපුම් දහසක් ඈත රටක ඔබ' 
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සත් වසරක් රස වින්ඳ ආදරේ' 
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන 'සසර නිසරු බව දෙසු සමිඳුන්ගේ ඔබේ සරණ සොයා ආ'

ඇතැම් තැන්වල 'පරසතුමල්' චිත්‍රපටයේ එන 'පරවුණු මල්වල සුවඳ අතීතේ' ඔහුගේ නිර්මාණයක් ලෙස සඳහන් වුණත් එහි නියම නිර්මාණකරුවන් වෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගමසේකර. 

ගාමිණී ෆොන්සේකා හැරුණු විට සනත් ගුණතිලකත් ගීත රචනා කළ සිනමා රංගන ශිල්පියෙක් විදිහට සඳහන් වෙනවා. 

මිල්ටන් මල්ලවආරච්චි මහතා ගායනා කළ' මාගේ අතීත දිවියේ' ඉන් එකක්. 

මාගේ අතීත දිවියේ 
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුලාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ 
පෑයූ සුපුන් සඳක් වගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා

අපගේ පැතුම් විමානෙන්
වෙන්වීලා එක්වුණේ 
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟාවුණා ආයේ
ආදරේ නිසා

ගීතය: https://youtu.be/kzhA9q75P4I
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි 
සංගීතය:
පද රචනය: සනත් ගුණතිලක 

ඔහු ලියා ඇති අනික ඔහුගේම අධ්‍යක්ෂණයක් වූ 'සිනහව අතරින්' (A smile through sorrow) චිත්‍රපටයේ එන ගීයක්. මේක නම් ටිකක් ප්‍රසිද්ධ, නිතර ඇහෙන ගීතයක්. 

සිරවි තිබුණා හද පතුලේ 
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක 
මා සඟවා සිටි ආදරේ

ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී 
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතුයැයි කිසිම විටෙක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි
දැනගන්නට ආසයි

ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ 
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ 
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් 
මා උදුරාගන්නේ

ගීතය: https://youtu.be/Dosv1MNt0es
ගායනය: නිරෝෂා විරාජිනි 
පද රචනය: සනත් ගුණතිලක 
සංගීතය: සුරේෂ් මාලියද්ද 
චිත්‍රපටය: සිනහව අතරින් (2015)

සිනමාවට වගේම හැඟීම් ලියා තියන්නත් දක්ෂ මිනිස්සු. මේ දෙන්නෙක් විතරයි❤️

✒️ Aash Weerasinghe

Saturday, May 21, 2022

සුචරිත!

මං මෙහෙම කතාව පටන් ගන්නම්. කියවනවා නම් ඉවසීමෙන් සහ මධ්‍යස්ථව ඉඳන් කියවලා බලන්න🙏

අද මොක කළත් වුණත් මහින්ද රාජපක්‍ෂ කියන්නේ ලංකාවේ ජේ ආර් ජයවර්ධනට පසු ඇතිවෙච්ච වෙනමම තලයක දේශපාලන පෞර්ෂයයක්. ඒක මම පෞද්ගලිකව ඉතාමත් කැමති සහ අගය කරන, ආදරය කරන මනුෂ්‍ය පෞර්ෂයයක්. ඒක මගේ පුද්ගලික හැඟීම.🖐️ 

විරුද්ධවාදීන්ගේ දෝෂාරෝපණ කොයිතරම් තිබුණත් ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ඔහුගේ පෞර්ෂත්වය තුළින් පෙන්නුම් කෙරුණ Charisma එක, (මේකට සිංහල වචනය දෙන්නේ චමත්කාරය වුණාට ඒක මේ අදහසට ගැලපෙනවා අඩු නිසා මම ඉංග්‍රීසි වචනයම භාවිතා කරනවා) සම කළහැකි නායකයෙක් ලංකාව දැකලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒකට අභියෝග කළහැකි මට්ටමේ charisma එකක් සහිත දේශපාලන පෞර්ෂයයක් ආයෙමත් බිහිවෙන හැඩකුත් තවම මට නං පේන්න නෑ. ඒක නිසාම ඔහු වෙත ආකර්ෂණය වුණු පිරිසක් වගේම ඔහු වෙනත් පක්ෂයක සිටියත්, සහේතුකව හෝ අහේතුකව හෝ ඔහුට වෛර කරන පිරිසකුත් ඇතිවෙලා තියෙනවා. ඒ Charisma එකේ පාදම ලෙස ක්‍රියා කරන්නේ ඔහු තුළ තියෙන මුරණ්ඩුගතිය. ජේ ආර් තුළින් පළවුණ ඉහළ පැලැන්තිමය පැවැත්ම, දැඩි හික්මීම, බර කොට ඉංග්‍රීසි ඌරුවට කතා කරන වාග් විලාශය, පුද්ගලයෙක් ලෙස පිටතින් ඔහුගේ සංවේදනා කියවාගැනීමට අපහසුබව (stoicism) සහ ඔහුගේ ක්‍රියාකලාපය වෙනමම class එකක්. මම හිතන්නේ ලංකාවට ඒක එතරම් හුරු නැහැ. ඒත් එහෙමයි කියලා ජේ.ආර් වෙනස්වෙන්න උත්සාහ කරලත් නැහැ. ඔහු තමාගේ සැබෑ ස්වරූපය සමග එකඟව ජීවත්වෙලා තියෙනවා ලෝකයා මොනවා කීවත්, කළත්. එතකොට මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔහුගෙන් පළවුණේ ලංකාවේ අපිට බොහොම හුරු පුරුදු යකාටවත් බය නැතිකමක්, ආත්මවිශ්වාසයක් සහ කාර්යශීලිබවක් සහිත ඔහුට උපතින්ම උරුම වෙලා තියෙන ගැමිකමක් එක්ක මුහුවෙච්ච නායකත්වයක්. ඒ වෙද්දි චන්ද්‍රිකා පමණක් නොවෙයි බහුතර පාරම්පරික ශ්‍රීලනිප සාමාජිකයන් අතර පවා ඔහුට මෙය කළ හැකිද යන්න ගැන යම් මතිමතාන්තර, ඝට්ටන සහ විරෝධතා තිබුණා. නමුත්, මහින්ද ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. නොදෙන්න අර ඇද්ද නාමයෝජනාව පවා දිනාගත්තා. මං හිතන්නේ අර ප්‍රසිද්ධ 'මේක මොළෙන් ගහන්න ඕන ගේම් එකක්' කියන tagline එකේ ජීවමාන සාක්ෂි දෙක ජේ ආර් සහ මහින්ද.

ඔබට මතක ඇති නම් 2005 ජනාධිපතිවරණ රැළිවල වේදිකාවට ඔහු ගොඩ වූ ආකාරයටම ඔහු වෙත ආකර්ෂණය වූ පිරිස් හිටියා. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් හෝ ජාතික තලයේ නායකයෙක් තුළින් අපි දකින්න පුරුදු වෙලා හිටිය මවාගත් ගාම්භීර, බැරෑරුම්, තැන්පත් ගතිය යටකරගෙන ඔහු බොහොම නිදහස් නමුත් ක්‍රියාශීලි (එවකටත් තරුණයෙක් නොවුණත්) තරුණ vibe එකක් සමග පරිණතකම සමබර කරලා ජනතාවට පෙන්නුවා. සරලව කියනවා නම් අර මලානික අතිසාම්ප්‍රදායික ජනාධිපතිවරණයට වෙනමම ජීවයක් දීලා අවස්ථාවේ සහ තනතුරේ වැදගත්කම රකින අතරම අවස්ථාව rock කරලා ගත්තා වගේ හැඟීමක් ඒක. ඒකෙන් ඔහුගේ ප්‍රතිමල්ලවයා වුණ රනිල්ට වඩා මහින්ද නිරායාසයෙන්ම කැපී පෙනුණා. කෙටියෙන් කිව්වොත් මහින්ද තමන්ටම SWOT Analysis එකක් සාර්ථකව කරගෙන ඒකෙන් තිතටම ගේම ගැහුවා. 🎯

දැන් මෙන්න මේ කාරණයත් කියන්න ඕන. ලංකාවේ මේ තාක් පත්වුණු අපි දුටු-නුදුටු ජාතික නායකයන් හැමකෙනෙකුටම අනන්‍ය වූ ඇවතුම් පැවතුම්, ගති ලක්ෂණ, ආකර්ෂණීය දේවල් සහ විශේෂයෙන්ම හැමෝටම පොදු නමුත් තීව්‍රතාව වෙනස් මුරණ්ඩුකම තියෙනවා. ඒවා නැත්නම් ජාතික නායකයන් ලෙස ගොඩ නැගෙන්න බැහැනේ මේක චූටි දූපතක් වුණත්. උදාහරණයකට කියනවා නම් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ හිනාවට සහ කතා විලාසයට ආකර්ෂණය වූ ජනතාවක් හිටියා. ඒ එක්කම චන්ද්‍රිකා තුළ රදළ මාන්නයත් එක්කම ගොඩ නැගුණු වෙනමම ආකාරයක මුරණ්ඩුකමක් තිබුණා. අර විරුද්ධ මතයක් ඇහුවම කට කොණ ඇද කරලා නගන මනස්කාන්ත හිනාවෙන් පෙනුණේ ඒකෙ අංශුමාත්‍රයක් විතරයි. ප්‍රේමදාස ගත්තොත් ඒක ඔහු විශ්වාස කළ ආකාරයට පංති භේදයෙන්, කුල භේදයෙන් පීඩාවට පත්වූ පොඩි මිනිහාගේ නැගීම කියන ආඩම්බර හැඟීම කලවම්වුණ වෙනමම අරගලකාරී, සමාජයේ මුදුන් පෙතට නගින්න සමත්වීම එක්ක මිශ්‍රවෙච්ච මුරණ්ඩුකමක්. අවාසනාවකට ඔහුගේ පුත්‍රයාට ඒ මුරණ්ඩුකම වෙනුවට උරුම වෙලා තියෙන්නේ පුහුමානයක්, මගේ අදහස අනුව ඔහුට ජාතික නායකයෙක් විදිහට ගොඩ නැගුණත් විශ්වාසය සහ පිළිගැනීම විචල්‍යවෙන්න ප්‍රධානතම හේතුව ඒකයි. 

එතකොට මේ නායකයන් සාමාන්‍ය මිනිස්සු, සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ සියුස්ගේ ශුක්‍රාණුවකින් ඉපිදවූ සුවිශේෂී කොටසක් නොවෙයි. එකම වෙනස ඔවුන්ගේ අරමුණු වෙනත් තලයක තිබුණා, ඔවුන් ඒ අරමුණු ජයග්‍රහණය කළා. ඔවුන් සාමාන්‍ය මිනිසුන් වීම නිසාම පරිපූර්ණ නැහැ. අඩුලුහුඬුකම් එමටයි. ඔබත් මමත් කැමතියි අපි පරිපූර්ණයි අතිවිශිෂ්ටයි කියලා විශ්වාස කරන්න, නමුත් ඇත්ත ඒක නොවන බව අපි අපිම දන්නවා. අපි කැමතියි අපි ආදරය කරන අය පරිපූර්ණයි, ඒ තමයි ලෝකයේ හොඳම තේරීම කියලා විශ්වාස කරන්න. නමුත්, ප්‍රායෝගිකව ඒක එහෙමම වෙන්නේ නැහැ හැමවෙලාවෙම, හැමදේකම. ඊට වඩා හොඳ වෙන්න පුළුවන් අය ඇති නමුත් අපේ තෝරාගැනීම්වලට හේතුවන දේ ඒවා තුළ නැතිවෙන්න පුළුවන්. ඕක තමයි නායකත්වයටත් පොදු සරල සත්‍යය. 
වැරදි තීරණ, වැරදි ක්‍රියා මාර්ග ඔවුන්ටත් පොදුයි, නමුත් ඒවයේ ඵලවිපාක ප්‍රබලයි සහ රටකටම පොදුයි. 

උදාහරණ කිව්වොත් සිරිමාවෝ මැතිණිය සිරිලක ස්වයංපෝෂිත කරවන්න උත්සහ කළා. ඒක සමහරවිට ක්‍රියාත්මක කළ වේගය වැඩි ඇති, මිනිස්සු පෝලිම්වල ඉන්න බැහැ,සලාක ක්‍රමයට කන්න බැහැ,  හාල් පොලු මිරිස් පොලු එක්ක බැහැ කියන අරගලයට යෑම නිසා ඒක වැරදි තීරණයක් විදිහට ඉතිහාසයේ හංවඩු ගැහුණා. ඇතැම් විට අද මැතිණියගේ ක්‍රමය හරි, අපරාදේ ඒක නොකළේ කියලා කියන අයම ඒ කාලයේදී ඊට විරුද්ධව නැගී සිටින්නට ඇති. මැතිණියට එරෙහිව වාසිය ලබාගන්න ජේ.ආර්ට ඒ නිසා ලේසිවෙන්න ඇති ඒ මොහොතේ competitive advantage එක ප්‍රබලව ඔහුට තිබුණ නිසා. ඊළගට ජේ ආර් විවෘත ආර්ථිකය සහ විධායකය හඳුන්වා දුන්නම ඒකෙත් හිතකර වගේම තවම අපි විඳින අහිතකර සහ ඇතැම් භයානක ප්‍රතිඵල තියෙනවා. ඒ ඇරෙන්න සිවිල් යුද්ධයක් ත්‍රස්තවාදයක් දක්වා පැතිරීම වළක්වා නොගැනීම සහ ත්‍රස්තවාදයක් පෝෂණය කිරීම කියන චෝදනාවලට ජේ ආර්, ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කියන ජනාධිපති තුන්කට්ටුවම ලක්වෙනවා. ලැබූ අවස්ථාවලින් නිසි ප්‍රයෝජන නොගැනීම, තත්ත්වය සුලුකොට තැකීම, නිසි තීරණ නොගැනීම වගේ හේතු ගොඩකුත් ඒ චෝදනා පිටුපස තියෙනවා. 

ඊළගට රතු විප්ලව.
ඉතාමත්ම සද්භාවයෙන් පටන්ගන්නට ඇති නමුත් අතරමගදී අරමුණු වෙනස්වුණු, විනාශකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණු රත්තන්ගේ කැරැළි දෙකකට ලංකාව මුහුණ දීලා තියෙනවා. මං පෞද්ගලිකවම එක කැරැල්ලක් අත්විඳිලා නෑ, අනික අත්විඳිලා තියෙනවා. එතකොට න්‍යායාත්මක සමාජවාදයක් මුල්කරගෙන බිහිවූ මේ විප්ලව දෙකේම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තිබූ බව පේනවා. ඒකට ප්‍රධානම හේතුව විදිහට මම විශ්වාස කරන්නේ එක පොදු න්‍යායාත්මක රාමුවක් වුණත් ඊට බුද්ධි සහ ශ්‍රම දායකත්වය සපයනු ලැබූ සාමාන්‍ය මනුෂ්‍ය එකතුවක තියෙන ආකල්ප, හැසිරීම්, ඇවතුම් පැවතුම් සහ පසුබිම් වෙනස්‌කම්. එකම අරමුණකට වුණත් යායුතුයි කියලා එකිනෙකා හිතන මාර්ග වෙනස්වෙනවා. මම කොළඹ යන පාරේම නෙවෙයි තව කෙනෙක් කොළඹ යනවා ඇත්තේ. එකම තැනකින් පිටත්වූ ගමනක් වුණත් ගමනාන්තයට මාර්ග ගොඩක් තියෙන්න පුළුවන්. 

ආයිත් අපි ලංකාවේ වර්තමානයට හැරුණොත් පසුගිය මාසයක කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ සහ විවිධ නායකත්ව නොනවතින කඹ ඇදීමක නිරතව ඉන්නවා. ආර්ථික අර්බුදයක ඉන්දැද්දි ඒක නිරායාසයෙන්ම සමාජ අර්බුදයක් බවට හැරෙනවා. එතනදී සමාජය තුළින් පවත්නා පාලනයට එරෙහිව යම් නැගිටීමක් සිදුවෙන එක වළක්වන්න බැහැ. කළහැකි එකම දෙය හැකි ඉක්මණින් හැකි උපරිමයෙන් තත්ත්වයට පිළියම් යෙදීම සහ පාලනය කිරීම. අවාසනාවකට ලංකාවේ මේක අවශ්‍ය වෙලාවේදී සිද්ධවුණේ නැහැ. තීරණ ගැනීම සහ ක්‍රියාත්මක වීම සිද්ධ වුණත් වුණේ ඉබිගමනින්. උදාහරණයකට ගත්තොත් ගෑස් ප්‍රශ්නය. ලිට්‍රෝ සභාපතිවරයා මාධ්‍ය කැඳවලා අතීත කතන්දර ගැන කතා කරලා ඔහුගේ පාලනාධිකාරිය යටතේ ඊනියා ගිවිසුම් ක්‍රියාත්මක වන්නට ඉඩනොදෙන බව ප්‍රකාශ කරලා ගෑස් කතාව මුලින්ම වෙන මානයකට ගෙනිච්චා. ගැලරියට අවශ්‍ය මාධ්‍ය සංදර්ශනය ලබා දුන්නා. නමුත්, එතනින් පසු දිගින් දිගටම පාරිභෝගිකයා ගෑස් හිඟයකට, මිල වැඩිවීමකට පමණක් නෙවෙයි ජීවිත සහ දේපළ අනතුරුවලට පවා මුහුණ දුන්නා. එතනදී සභාපතිවරයා ඇතුළු සමාගමටම වගවීමක් පැහැදිලිවම තිබෙනවා. නමුත්, ඒ කිසිත් නැතිව ඔහුව නැවත සේවයේ පිහිටුවීමම මම හිතන්නේ අගතියට පත් පාරිභෝගිකයා සමච්චලයට ලක් කිරීමක්. අද වනවිට ඔහු තම තනතුරින් ඉල්ලා අස්වෙලා, රැල්ලට රාජපක්‍ෂ කඳවුර මත තම පව් කද තබලා, ශුද්ධෝත්තමයෙක් ලෙස පව් සමා කරගෙන අපි එක්ක හිටගෙන ඉන්නවා. 

නිලධාරීවාදයක් පැහැදිලිව ඕනෑම ආයතනයක, ඕනෑම රජයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. අවාසනාවකට රාජපක්ෂ රෙජීමය 2015න් පැහැදිලි පාඩමක් ඉගෙන ගත්තේ නැතිබවට ඔවුන් 2019 නොවැම්බරයේ බලයට පැමිණීමෙන් පසු සිදුකළ ඇතැම් පත්වීම් සහ ගනු ලැබූ තීරණ සාක්ෂියි. එයින් සිද්ධවුණේ හැටනම ලක්ෂයක ප්‍රාර්ථනා බිඳ දැමීම විතරක්ම නෙමෙයි, ඒක හැටනම ලක්ෂය තුළට අනායාසයෙන් ආ පාවුණු ඡන්දවල විශ්වාසය අභියෝගයට ලක් කිරීමත් සිද්ධ වුණා. ඒ ඇරෙන්න භයානකම තත්ත්වය තමයි ඒ වැරදි තීරණ දේශීය හා විදේශීය රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වලට සපයන ලද උත්තේජනය!  

ඒක කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව වගේම දේශීය හා විදේශීය විපක්ෂ කණ්ඩායම්වලට නියමම උත්ප්‍රේරකයක් වුණා. නිලධාරීන් වේවා, ජනපති වේවා, මන්ත්‍රී මැතිඇමතිවරු වේවා ගන්නා සෑම පියවරක්ම ඒ වගේ තත්ත්වයක් යටතේ තීරණාත්මකයි. ඒ එක්කම තවත් වරද්දවන්න යෙදෙන උපක්‍රමත් ඒ හා සමානුපාතිකව වැඩිවෙනවා. නමුත්, අන්න එතනදී බොහොම සාධාරණ ප්‍රශ්නයක් පැන නඟිනවා. ඒ ජාත්‍යන්තර බලවේග පරාජය කරමින් දේශීය දේශපාලනය සමබර කරමින් බහුතරය තමා වෙත පවත්වාගනිමින් කිසිදාක අවසන් කළ නොහැකි බව පුනපුනා ප්‍රකාශ කෙරුණ තිස් අවුරුදු යුද්ධයක් වසර තුනක් ඇතුළත ඉවර කළ පිරිසක් ඒ තරම්ම අඳබාල විය හැකිද කියන එක. ඒකට පිළිතුර මට හැඟෙන විදිහට අසීමාන්තික විශ්වාසය.

කොහොම නමුත් දැන් විශාල වරදක් සිදුවී අවසන්.
මහින්ද රාජපක්‍ෂ ගැන කතාව පටන් ගත් කොටස කොහොමද මෙතනට අදාළ වෙන්නේ කියලා කියන්නම්. 
ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වීමට විතරක් නොවෙයි මහින්ද වටා මේ තාක් කලක් හිටි සහ තවම සිටින, විශේෂයෙන්ම ජාතික තලයේ දේශපාලනඥයන් බහුතරය මහින්ද  රාජපක්ෂගේ දේශපාලන පෞර්ෂයය මත යැපුණු සහ යැපෙන පරපෝෂිතයෝ. මිනිස්සු පාඩමක් ඉගැන්වීමේ අටියෙන් 2015 ඡන්ද බලය ක්‍රියාත්මක කළත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නත් කලින්ම ඒ ඡන්ද බලය ගැන පසුතැවෙන්න පටන් ගත්තේ බහුතරයක් ඒ වෙද්දීත් මහින්ද රාජපක්‍ෂට ආදරය කළ නිසා. විරුද්ධවාදීන් කොයිතරම් කතන්දර කීවත් පසුදා ඉඳන් යාහැකි හැමදෙනාම මැදමුලනට ඇදුණේ, ඔහු ජනේලයකට නැග කතා කරන්නට තරම් සෙනගක් පැරදුණු ඔහු වටාත් රැඳුණේ ඔහුට මිනිසුන් තුළවූ ආදරය සහ ගෞරවය නිසා. අප්පච්චි කතාව විරුද්ධවාදීන්ගේ කොයිතරම් උපහාසයට අපහාසයට ලක්වුණත් අදටත් ඔහු තුළින් පළවෙන පිය පෞර්ෂයට මිනිස්සු ආදරය, ගෞරවය කරනවා. ඔය කොයිතරම් කතන්දර කීවත්, මහාමාන්‍ය ඩී එස් සේනානායකන්ට වඩා එජාප ගැති, රෝහණ විජේවීරට වඩා ජවිපෙට ගැති, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකට වඩා ශ්‍රීලනිප ගැති, උදේ හවා රාජපක්ෂ විරෝධී ලෙස හැසිරෙන වුන් පවා ඒ පෞර්ෂයය ඉදිරියේ මෙලෙක්වන අවස්ථා මා සියැසින් දැක බලාගෙන තියෙනවා. මට වඩා ඒ බව අත්දැකි පිරිසක් ඇති. මහින්ද සුළඟින් උත්ථානය වුණේ මහින්ද රාජපක්ෂ විතරක්ම නෙවෙයි, ඔහු වටා සිටි පිරිස වගේම වාසි අත, සුළං අත බලලා හෙමින් හෙමින් මහින්ද සුළඟට එකතුවුණු සියලු දෙනා තම කරමත තබාගෙනයි 2015 මහින්ද රාජපක්‍ෂ උත්ථානය වුණේ. 

ඔබ වඩාත් ප්‍රවේශම් වියයුත්තේ සමීපතමයාගෙන් සහ අතිශය පක්ෂපාතීත්වය පෙන්වන්නාගෙන් බව අමතක කිරීම තමයි ඔහුට වැරදුණු බරපතලම තැන! එවන් සමහරකුගේ වෙස්මුහුණු ගැලවෙමින් ගලවමින් ඇතිවූ අරගලය එක්තරා විදියක වෙස්වළාගත් ආශිර්වාදයක්. නමුත්, ඒ ආශිර්වාදයම නැවත බූමරංගයක් කොට ජන ප්‍රසාදය අප්‍රසාදයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයන් ව්‍යර්ථ කරන්න නොහැකි වීම අවාසනාවක්. මැයි 9වෙනිදා වෙන්නේ ඒක. 

සමහරවිට මේක සැලසුම් කළා වෙන්න පුළුවන්, නොකළා වෙන්නත් පුළුවන්. හරියටම ඇත්ත දන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් පමණයි. එතනදී අර වලහා හාවා බවට කරන පාපෝච්චාරණය ගැන මගේ එතරම් ලොකු විශ්වාසයක් නැහැ. මරණ බයට පුළුවන් යක්ෂයෙක් දෙවියෙක් කරන්නත් දෙවියෙක් යක්ෂයෙක් කරන්නත් වචන විතරක්ම පාවිච්චි කරලා. 

අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසට පහරදීම වැරදියි. ඒ කියූ පළියට ඒ විරෝධතාවයට මගේ එකඟවීමක් නැහැ. එතැන ක්‍රියාත්මක වූ සැබෑ බලවේග සම්බන්ධයෙන් කිසිදු පැහැදීමකුත් නැහැ. අනික් අතට ඒ පහරදීම සිද්ධ කරන්නේ අර මම මෙතෙක් කිව් මහින්ද රාජපක්ෂ පෞර්ෂයට ආදරය කරන පිරිසකගේ ආවේගශීලී තීරණයක් මත. නමුත් ඒ ඉන්නේ සම්පූර්ණයෙන්ම කායිකව ශක්තිමත්ම පිරිසකුත් නොවන බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලියි. එහෙනම් ඒ ආවේගශීලී වුණත් ආක්‍රමණය කෙරෙන්නේ මොරාල් එකට වැඩිබරක් දීලා. බේරේ ගිල්වන පිරිස අතරත් අපි දකිනවා අපේ මව්වරුන්ගේ වයස්වල කාන්තාවන්, පියවරුන්ගේ වයස්වල පිරිමින්. එතකොට මෙහෙම පිරිසක් ආපිට එන බව දැනදැනම ගෝල්ෆේස් කරා යන ගමන හැකියාවට වඩා ආවේගයට යන ගමනක් කියන එකයි මේ සිදුවීම දිහා බලාගෙන ඉන්න කොට මට දැනෙන දේ. බොහොම සුලු වේලාවක් ඇතුළත ප්‍රතිප්‍රහාර ලැබෙනවා. විශේෂත්වය තමයි ප්‍රහාරය අසංවිධානාත්මක වීමත් ප්‍රතිප්‍රහාරය ඊට වඩා සංවිධානාත්මකවීමත්. සූර පප්පා උදාහරණය සම්බන්ධයෙන් 100%ක් එකඟයි. පප්පලා එක්ක හැප්පෙන්න බැරිබව දැන දැනත්, තමන්ගේ සීමා ගැන පැහැදිලිව දැනදැනත් තමයි රෝමන්වරු යුද්ධෙට යන්නේ. පප්පලා පොල් අඩිවලින් ඉවර කරන්නේ රෝමන්වරු තනිකරම කන බව දැනදැනම යන ගේම් එකක්. 

එතකොට ඒකට ආපිට ආව ගේම් එක ඔය කට්ටිය ඔප්පු කරන්න උත්සාහ කරන වර්ගයේ අසාධාරණයකට එරෙහිව නැගී සිටීමක් නං නෙවෙයි. ඒවා මේ උදේ හවා සිප්පි බබාලා වීරයෝ කරමින් නටන මගෝඩි මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ ගොංපාට්, (සමාජ මාධ්‍ය ජාලා ඇතුලුව) 

අවස්ථාව එළැඹුණ හැටියේ මිනිසුන්ගේ සැඟවුණු ම්ලේච්ඡත්වය අමුඅමුවේ එළියට ආව එකයි ඔතන වුණේ. 
අමරකීර්ති අතුකෝරළ ඝාතනය ඒකේ උපරිමම අවස්ථාව. නිරායුධ තනි මිනිහෙකුට පිරිසක් වටකරලා පහර දීම සහ අමානුෂික ලෙස නිරුවත  කර පහරදී මරා දැමීම තවමත් සාධාරණීකරණය කරන ම්ලේච්ඡයෝ ඉන්නවා. හැබැයි මේ බහුතරය හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආරයේ පරමාදර්ශී චරිත ලෙස රඟන අය! සිලාකොට් ප්‍රියන්තගේ ඝාතනය හෙලා දැක්ක, ඒවෙලේ කිඹුල් කඳුළු හෙලූ අය, සැමට ජීවත්වීමට සුදුසු ලෝකයක් නිර්මාණය කිරීම ගැන වැදි බණ වදාරන අය, ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යවල දරුවෙකුගේ හෝ සතෙකුගේ හෝ මනුස්සයෙකුගේ දුකක් කඳුළක් දැක්කොත් ඒ වෙනුවෙන් කවි ගී ලියා වැලලෙන අය! 
හැබැයි කාට හරි මරපං, ගහපං, ගිනි තියපං කියන්න සිරුරේ සියලු දොරටු විවර කළා ඉතාමත්ම අප්‍රසන්න විදිහට! මොනවවුණත් ගොඩක් පිරුවට යට ඉන්න ගෝත්‍රිකයෝ සේරගේම වස්ත්‍ර ගියා අරගල හුළගේ උඩුගම! උන්ගේ වස්ත්‍රවල පය පැටලිලා තව උං ගියා වැලිගම! දේපල ගියා ගිනිගම! 

ඔව්, ඔය කොල්ලකෑව, ගිනි තිබ්බ දේපලවල අසාධාරණ ඉපැයීම් තියෙන්නත් ඇති, දුක් මහන්සියෙන් කළ සාධාරණ ඉපැයීම් තියෙන්නත් ඇති. ඒ මොක වුණත් 'කිසිම' මිනිහෙකුට අයිතියක් නෑ තව මිනිහෙකුගේ ජීවිතයක් අර තරම් අමානුෂික විදිහට උදුරගන්න, විශේෂයෙන්ම නිරායුධ තනි මිනිහෙකුගේ. 'කිසිම' මිනිහෙකුට අයිතියක් නෑ වෙනකෙකුට අයත් දේ පැහැර ගන්න, මංකොල්ලකන්න, ගිනි තියන්න හෝ විනාශ කරන්න! 
ඒවා තනිකරම ඇරියස්! කපන්න බැරිකමට මෙතෙක් කල් ඉම්බ අත්! විශේෂයෙන්ම ගම්වල ඔය සිදුවූ දේවල්. 
මොනවා වුණත් ඒ මිනිස්සු කාලයක් තිස්සේ ජීවත් වුණ, අපි හැමෝම වගේම ජීවිතවල විවිධ මතක එකතු කළ ගෙවල්! ඒ ගෙවල් ඇතුළෙත් තියෙන්න ඇති ඉස්සෙල්ලම ආදරේ කළ මතක, ඉස්සෙල්ලම තුරුල්වුණ සිපගත්ත මතක, කෝඩුකාර පවුල්වල මතක, මංගලෝත්සවවල මතක, පවුල්වලට දරුවන් එකතු වන්නට යන බවට ලැබුණු සුබාරංචිවල මතක, කිරිදරුවන්ගේ හිනාවල මුල් දණගෑම්වල ඉඳුල් කටගෑම් අකුරු කියවීම්වල මතක, ආදරණීයයන්ගේ සමුගැනීම්වල මතක. ඔබට මට ඇති ජීවිතවල අතිශය හැඟීම්බර මතක දරාගත්ත තැන් වෙන්න ඕන කුහක රොත්තක් විසින් විනාශ කෙරෙන්නේ. ප්‍රසිද්ධියේ පිළිගන්න අවශ්‍ය නෑ. හැබැයි තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න මං දුක්මහන්සියෙන් හදාගත් ගෙදරට විනාශයක් වුණා නම් මට මොනව දැනෙයිද කියලා. එහෙම නැතුව ඒ අපරාධ සාධාරණීකරණය කරන්න අම්බ තර්ක කඳු පිටින් ගෙනාවට වැඩක් නෑ, එතකොට උඹලා උංට වඩා සත්තු වෙලා ඉවරයි. 

රාම රාවණා යුද්ධෙදි රාවණගෙ හී අවසන්වුණාම රාම කිව්වලු නිරායුධ සතුරෙක්ව මං කවදාවත් මරන්නේ නෑ, ගිහින් විවේක අරං හෙට එන්න සටන් කරමු කියලා. අවුරුදු හතළිස් හතරක රාජ්‍යත්වයක් අවසන් කරලා එළාර මරා දැම්මට දුටුගැමුණු එළාර සොහොන ළගින් ගරුබුහුමන් දක්වා යන්න නියම කරාලු. අද ඔක්කොම කතා කරන්නේ ඉතිහාසයේ වූ වැරදි නිවැරැදි කරන හැටි. එළාර මැරුව එක වැරදියි, දෙන්නට සහයෝගෙන් රාජ්‍යය විචාරන්න තිබ්බා වගේ බොළඳ තර්ක ගේන උගත්, ශිෂ්ට, සදාචාර සම්පන්න, ධාර්මික, අධිමානුෂික, අධිසංවේදී  බොරු සුචරිතවාදියොන්ගෙ ගෝත්‍රික ම්ලේච්ඡ මුහුණු දැන් නිරාවරණය වෙලා ඉවරයි. 

සමහර වෙලාවට කලු වලාවල රිදී ඉරි පේනවා. මේකත් ඒ වගේ. මොකද මේ ගැලවිච්ච වෙස් මූණූ මරණ මංචකය වෙනකල් තද කරකර බැන්ඳත් ඇත්ත මූණේ කැත ලෝකේ දැකලා මතකේ රැඳිලා ඉවරයි! 

ඉතින් ආයුබෝවන් සුචරිතනි බොරූ!

~ Aash Weerasinghe  

#AW #hypocrisy #humanitychallenge #srilankanpolitics #SriLanka #betterworld

Wednesday, May 18, 2022

මාමණ්ඩිලා සහ බෑණලා

මේ youtube short ad එක දැක්කම සෑහෙන්න පරණ කතාවක් මතක් වුණා.

අපේ තාත්තා හරිම සැරයි. ඒකෙත් පවුලේ වැඩිමලා විදිහට ඉපදිලා සුහුඹුල් තරුණ යුවලක් දෙමව්පියන් විදිහට පදවිප්‍රාප්ත කරපු හින්දා අම්මයි තාත්තයි දෙමව්පියන් වීම හදාරන්න, අවබෝධ කරගන්න අත්පොත් තිබ්බේ මගෙන් නේ! ඒ නිසා මම එක්තරා විදියක ලැබ් රැට් කෙනෙක්!😂
(හැබැයි ඉතින් මං අවුලක් නොකළ හින්දා තමයි ඔය අනිකට සෑහෙන්න නිදහසක් ලැබුණේ! හරි නම් හිටියොත් හොඳට හැදී කියලා මල් තියලා වඳින්න ඕන මට😜) 

පාසැල් ප්‍රේමයකින් විවාහ වෙච්ච දෙන්නෙක් හින්දා අවුරුදු 14-15 ඉඳන් මාව රැකපු රැකිල්ල ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ!🙄 නිධන් රකින බහිරවයොවත් එහෙම රැකිල්ලක් කරලා නැතුව ඇති අපෙ හාමුදුරුවනේ😂 ඔය ගැන ඉස්සර යාලුවෝ එහෙම හොඳටම දන්නවා. වෙන ගෑණු ළමයින්ට සහෝදර පාසැලේ පවා මිත්‍රයෝ හිටියට මට එහෙම ඉඳලත් නෑ හිතවතුනි! ප්‍රේමවන්තයෝ ගැන ඉතින් කුමන කතාද!

ඕලෙවල් කාලේ එච්චරටම ලොකු අවුලක් තිබ්බේ නෑ ආණ්ඩු පක්ෂෙන්. විපක්ෂෙ (අම්මා) තමයි ඉතින් ඒ කාලේ අවුල්. 🙄
ඕලෙවල් කාලේ පොඩි පහේ crush එකක් තිබිච්ච පිරිමි ළමයෙක් මොකද්ද මන්දා බයිසිකලේකින් ව්‍යායාම බයිසිකලයක් හදලද මොකද්ද එකක් සඟරාවක දැකලා මං ඉතිං හරි උද්යෝගයෙන් තාත්තට ඕක කිව්වා. තාත්තාට එහෙම ඉතින් සැකක් තිබුණේ නෑ ඒ වුණාට "ආ ඔහොම එකට මං දහයක් හදන්නංකෝ' කියලා හිනාවුණා විතරයි❤️ ඒකත් එහෙම බරපතල ක්‍රෂ් එකක් වුණේ නෑ. මට මතකයි අම්මගේ බලවත් විරෝධතාව මැදත් අමතර පංතියෙන් සිංහරාජෙට ගිය වන්ඩේ ට්‍රිප් එකකටත් තාත්තා මට අවසර දුන්නා. මොකද ලොක්කා දන්නවා එතකොට ඒ පංතියේ සර්ලා මොනහරි අසාමාන්‍ය තත්ත්වයක් දැක්කොත් මූලස්ථානයට වාර්තා කරන බව. බුද්ධි අංශ සීරුවෙන් හින්දා තමයි ඒ ඉතින්🤭😬

ආණ්ඩුව මර්ධනශීලි ප්‍රතිපත්ති, හදිසි නීති සහ හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න ගත්තේ නං ලොකු දුව උසස් පෙළ කරන්න ගත්තම තමයි. ඒකත් එහෙමම වෙන්නෙ නෑ ඉතින් මේ නිකං ඉන්න බැරි කොලු රංචුවක් තාත්තාගේ හැටි නොදැන තාත්තා ඉස්සරහදී දූගේ ගමන් බිමන් දිහා ඇහැ ගහගෙන ඉන්න නොගත්තා නං! ඒ මදිවට ලොක්කා රවද්දී චණ්ඩිකමට ලොක්කට  අනිමිස ලෝචනය පුදන්නත් ගිහින්!🤦‍♀️වෙන යාලුවෙක්ට ට්‍රයි කියලා දුව හිතුවට ලොක්කා ගාණට අඳුනගෙන තියෙනවා ගොනා හැරෙන්නේ තමන් ඇස්දෙක වගේ රකින පොල්පැලේට වග! ඒ දවස්වල ඉතින් තාත්තා පංතිය ළගින් බහින්න කලින් මටත් පොඩි පොඩි අනතුරු ඇඟවීම් කරනවා. තාලේට නලව නලව ගියාට වැඩක් නෑ ඉගෙන ගන්නවා හරිද මෙතන කියලා උදේ පාන්දර ජාතිය ඇමතීම් එහෙමත් ඒ දවස්වල නිරන්තරයෙන් සිද්ධ වුණා😂 අහිංසක මං ඉතිං තාත්තා බැන්නම හෙන දුක් සෝකයෙන් තමයි එදා දවස ගෙව්වේ!💔

උසස් පෙළ කියලා මට කිසිම නිදහසක් නම් අනුමත වුණේම නෑ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකමතිකව හිටියේ නිදහස අනවශ්‍යයි කියන මතයේ. ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ🙄 පංති ඇරලවන්න ආපහු එක්කං එන්න විධිවිධාන යොදලා තිබ්බ නිසා අන්තිම අවුරුද්දේ පටන්ගත්ත සම්බන්ධේ සීමාවුණෙත් බැල්මට, හිනාවට ඉඳහිට කරන වචන කීපයක කතාවකට විතරයි. එකම එක දවසක් පංති කලින් ඉවරවෙලා ඉස්සරහ පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් බොන්න ගත්ත අයිස් කෝපි උගුර ගිලින්නත් කලින් තාත්තා ආවා විදුලි වේගෙන්! බයවෙච්ච පාර බංකු පුටු පෙරළං දුවලා ගිහින් වාහනේට නැග්ගම කෙළින්ම ගිහින් තිබ්බේ හතරවැනි තට්ටුවට. මොකද මම එද්දි තාත්තා බලං හිටියේ පංතිය පැත්ත, මං දුවගෙන ඇවිත් නැග්ගේ පාර පැත්තෙන්! එදා මගෙන් ප්‍රශ්න කරන අතර තාත්තා තරම් මංවත් හැරිහැරී බැලුවේ නෑ ඒ පෙරේරා ඇන්ඩ් සන්ස් එක දිහා එච්චරම😂😂 හොඳ වෙලාවට සැකකාරයා එළියට එන්න ඇත්තෙ අපි ගෙදරත් ගියාට පස්සේ වෙන්න ඕන😂😂

ඉතින් මෙහෙම අවුරුදු ගාණකට පස්සේ ඒ පුද්ගලයා නිල වශයෙන් මුණ ගැහුණා තාත්තාව. පිරිවර එක්ක සතුටු සාමීචියේ හිටපු තාත්තා ළගට ගිහින් ඔන්න ඔහොම නැවිලා වැඳලා කට වහං ඉන්නේ නැතුව 'තාත්තට මාව මතකයිනෙ?' කියලත් ඇහුවා කිසිම ලැජ්ජාවක් නැතිව😂😂 තාත්තත් මහ හයියෙන් හිනා වෙලා පිටට පාරක් ගහලා 'ඔව් ඔව් මොකද නැතුව' කියලා භීතියට පත්වුණ මගේ ස්නායු යථා තත්ත්වයට පත් කළා❤️

මොනවා වුණත් අම්මලා ලේලිලා ගැන හිතනවා වගේ මාමණ්ඩිලාගෙත් බෑණලා ගැන තියෙන ආකල්ප තියෙනවා. ඒකෙත් වැදගත්ම එක මේ යකා මගේ දුවට දුකක් වේදනාවක් නොදී බලාගනීද නැද්ද කියන දෙගිඩියාව. ඒකට එක එක විදියේ පරීක්ෂණ තියලා තියලා තමයි ඉතින් අනුමැතිය දෙනවා නං දෙන්නේ. හැබැයි බෑණා හිතට හරි නම්, අනුමැතිය දෙන්නේ පෙරහැරේ ඇවිත්!❤️

https://youtu.be/Xnbs4B5GSJU

#AW
#nostalgicmemories


විජයග්‍රහණයේ දවස - මැයි 18 ( Victory Day - 18th May)

අවුරුදු තිහක් ඇදුණු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ඉවර කරලා අදට අවුරුදු දහතුනක්!
කාලය කොයිතරම් නම් වේගයෙන් ගතවෙනවද? ඒ කාලය සමහර දරුණු අත්දැකීම් සහ මතක කොයිතරම් දුරට නම් මොට කරලා මකලා දාලාද කියලා පහුගිය අවුරුදු දහතුන දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒ අවුරුදු දහතුනක් තිස්සේ ශ්‍රී ලංකාවාසී හැමෝම 'යුද්ධය' කියන දරුණු අත්දැකීමෙන් මිදිලා විඳපු සහ විඳින මානසික සහනය අද වෙද්දි කොයිතරම් නම් ලඝු වෙලාද?

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දහස් ගණනක් අපේම උං අපි වෙනුවෙන්, අපේ ආරක්ෂාව සහනය සුවය ජීවිතය වෙනුවෙන් උංගේ ජීවිත බිල්ලට දුන්නා. ඒ වෙනුවට උංට ලැබුණේ වැඩිපුරම ගැරහුම්, අදටත්! අටපාස් උං, කුලී හේවායෝ, මිනීමරුවෝ, දඩ බල්ලෝ යනාදී නොයෙක් අපහාස උපහාස වින්ඳේ/විඳින්නේ යුද්ධයකට යන්න තියා යුද්ධයක් අහළකවත් නොහිටපු තුට්ටු දෙකේ බයගුල්ලන්ගෙන්,'කාඩ්බෝඩ්' වීරයන්ගෙන්!

අදත් උං අපහාස විඳිනවා, නින්දා විඳිනවා, අමතක වෙලා යනවා. පහුගිය සතියේ ඇතිවෙච්ච සිද්ධිවලින්ම උං කව්ද කියලා අපිට පක්ෂ පාට ජාති කුලමල භේදවලින් තොරව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වෙඩි තියන්න බලය දුන්නත් අපිට වෙඩි තියන්න ත්‍රිවිධ හමුදා අවි ඉස්සුණේ නෑ. ඇඳිරි නීතිය අස්සේ අරගලයට ගිය මිනිස්සු පවා ආපහු හරවා නොයවපු අවස්ථා බහුලයි. එහෙම උංට තාම ගරහන කාලකණ්ණි කුහකයෝ ඉන්නවා!

මව්කිරි වෙනුවට කොටිකිරි බීපු උං රොත්තට වැලලෙන්න හදනවා විජයග්‍රහණයේ දවසට විරුද්ධව. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් අවසන් කිරීම විජයග්‍රහණයක් නැතුව අහවල් ඉටිගෙඩියක් කියලද කියන්නේ???

කොටින්ගෙත් මැරුණේ ශ්‍රී ලාංකික ද්‍රවිඩයෝ තමයි. තවත් අම්මලාගේ දරුවෝ තමයි. හැබැයි ඒ දරුවොයි සහෝදරයොයි මළේ ශ්‍රී ලංකාව දෙකඩ කරවලා රජවෙන්න හැදුව එක මිනිහෙක්ගේ හීනෙකට පාර කපන්න ගිහින්. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ උං මළේ මේ හිච්චං දූපත කෑලි කරලා, මිනිස් ජීවිත දාස්ගණං විනාශ කරලා, දේපල දාස් ගණනක් විනාශ කරලා දැම්ම 'ත්‍රස්තවාදය'ක් අවසන් කරන්න!!
ඒ මරණ දෙක අතර විශාල පැහැදිලි වෙනසක් තියෙනවා, කාලකණ්ණින්ට කුහකයන්ට ගොට්ටන්ට නොතේරෙන!

යුද්ධයට කෙළින්ම මූණ දුන්න මායිම් ගම්මානවල මිනිස්සු හැමදාම ජීවත් වුණේ බයෙන් සැකෙන්. මැරුණා නං මැරුණේ අන්තිම අමානුෂික, තුච්ඡ විදිහට. කොළඹ සහ තදාසන්න පළාත් කියලාත් තිබුණේ පොඩි වෙනසක්, මතක නං මිනිසුන්ට!
කොළඹ මැද්දෙ වැඩ කරපු මම ළංළංව විඳගත්ත අවස්ථා තියෙනවා ඕනතරං. වාසනාවකට අනතුරක් කරදරයක් නොවී ජීවිතේ බේරගත්ත. බළලෙක්ට වගේ පණ හතක්ද නවයක් ද තියෙනවා නං මගෙ කෝටාවෙන් බාගෙකට වඩා ඉවරවෙන්න ඕන ඒ අවුරුදු කීපය ඇතුළත. ඊට වඩා දේවල්වලට මූණ දීලා ජීවිත නැති උණ, අත පය ඇස් ඉස් මස් නැතිවුණු සිවිල් මිනිස්සු ඉන්නවා දාස් ගාණක්, තවම මේ කොළඹ විතරක්!

හැමදේම සතියක් මතක උංගෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. ඒත් ඉතින් මතක උංට යුතුකමක් තියෙනවා අමතක කරන, අමතක වෙන ඒවා තේරෙන භාෂාවෙන් මතක් කරලා දෙන්න!

දැන් කව්රු බයිලා ගැහුවත් යුද්ධයට ජීවිත දුන්න රණවිරුවෝ වගේම දේශපාලන නායකත්වය මතක් කරන්න ඕන. සමහර දේශපාලන නායකයෝ වැඩේ ඇවිලෙනකල් බලං හිටිය, ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වුව, ඉවර කරන්න පුළුවන් අවස්ථාවලදී ඉවර නොකළ, ජාත්‍යන්තරට බයේ මුලු ගැන්නිච්ච ඉතිහාසෙක එක කණ්ඩායමක් එකතු වෙලා අවුරුදු තුනකදී අවුරුදු තිහක වැඩක් ඉවර කළා කියන එකත් මතක තියාගන්න! ඒකේදී දේශපාලන සහ යුධ නායකත්වය කියන අංශ දෙකම සාමූහිකව වැඩ නොකළා නං අපි තාම හතළිස් වසරක යුද්ධේ කියකියා පොළොවෙ පස් කනවා! ඒ ආව හැම අභියෝගයක්ම දරාගෙන, මණ්ඩලේ කචලුත් කළමනාකරණය කරගෙන, දේශපාලකයෝ ටිකත් හේ කරගෙන, ජාත්‍යන්තරේ බලපෑම්වලටත් මූණ දීගෙන මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා මූලිකව ඒ ගැහුව ගේම් එක නොවෙයි නං අද සමරන්නේ විජයග්‍රහණයේ දවස නොවෙයි තමයි! එහෙනං අද රෑත් ප්‍රවෘත්තිවල මූසල හඬ එක්ක ඇහෙන්නේ මරණ ගැනයි බෝම්බ පිපිරීම් ගැනයි!

සමහර දේවල්වලට එකඟවුණත් නැතත් කෘතගුණ සලකන්න ඕන තැනදී කුහක නොවී ඒ ගෞරවය දෙන්න. විශේෂයෙන්ම රණවිරුවන්ට! 🇱🇰💐❤️

#VictoryDay2022
#awaragainstterrorism
#SriLanka
#SriLankaTriforces
#SriLankaPolice


The Great (TV series)

The Great (TV series) - IMDb 8.2/10

2022 මැයි 18දා සිනමාවේදීන් සමූහයට

කැතරින් රුසියාවට පැමිණෙන්නේ තුන්වැනි පීටර් අධිරාජ්‍යයාගේ අග බිසව වෙන්න.  රෝමාන්තික හීන ගොඩක් පොදි බැඳගෙන එන ඇයට දකින්න විඳින්න සිද්ධවෙන්නේ බලාපොරොත්තුවුණාට වඩා හාත්පසින්ම වෙනස් ස්වාමි පුරුෂයෙක් සහ ඔහුගේ කල්ක්‍රියාවන්! ඔක්කොටම හපන් ප්‍රාථමික සමාජයක්! ඔව්, රජ මාළිගාව ඇතුලේ පවා!

බලාපොරොත්තු බිඳුණම කොට්ටෙ පුලුන් කකා කඳුළු සාගරේ ගිලිලා යනවා වෙනුවට කැතරින් තීරණය කරනවා නියම ගේම් එකක් ගහන්න. ඒ ගේම් එක අතර සිද්ධ වෙන දේවල් තමයි මේ කතා මාලාවේ තියෙන්නේ.

Hulu නිෂ්පාදනයක් වෙන The Great, seasons දෙකකින් සමන්විතයි. මේක අයිති වෙන්නේ ප්‍රහසන (comedy) ශානරයට.

කතාව ඉතිහාසයට සම්බන්ධ වුණාට මේකේ එන ඔක්කෝම ඇත්ත නෙවෙයි. ප්‍රබන්ධ කරලා තියෙන්නේ ප්‍රහසන රසය තියාගන්න. ඒ නිසාම series එකේ tagline එකම කියනවා An occasionally true story කියලා. 

කෙටියෙන් මේකෙ ඓතිහාසික පසුබිම ගැන කියනවා නම් තුන්වැනි පීටර් අධිරාජ්‍යයා සහ කැතරින් අතර විවාහය ඇත්තක්. ඔහුට මාස හයකින් රාජ්‍යත්වය අහිමි කරලා අධිරාජිණිය ලෙස කැතරින් පත්වෙන එකත් ඇත්ත. ඉතිහාසයට අනුව ඔහුව මරා දැමෙනවා 1762දී. කුඩා කාලයේදී දෙමව්පියන් අහිමිව භාරකරුවන් යටතේ හැදෙන වැඩෙන පීටර් රුසියාවට ගෙන එන්නේ රාජ්‍යත්වයට පත් ඔහුගේ නැන්දණිය එළිසබෙත් විසින් අවුරුදු 14 පිරුණු පසුලු. 

කතා මාලාවේ හැටියට පීටර් චරිතය දුෂ්ට, මෝඩ, ආත්මාර්ථකාමී සහ දුරාචාරයට නැඹුරු බවට පෙන්නුම් කෙරෙන්නේ. ඉතිහාස මූලාශ්‍රවල හැටියට නම් කියැවෙන්නේ කැතරින් හොඳ මොළකාරියෙක් ඒත් පීටර් පොඩි ළමයෙක් වගේ නොමේරූ පුද්ගලයෙක් කියලා. නමුත් දෙන්නාගේම විවිධ ප්‍රේම සම්බන්ධතා තිබූ බව ඇත්තලු. 
 ඒ වගේම කැතරින් තම ස්වාමියා බලයෙන් පහ කරලා ඝාතනය කරවලා සිහසුන ලබාගන්නේ කතා මාලාවේ හැටියට රුසියාව ගැන උපන් සද්භාවයෙන්ම නෙවෙයි, පීටර් ඈව දික්කසාද කරාවි කියන සැකය මත තම පෙම්වතා එක්ක කුමන්ත්‍රණය කිරීම නිසා කියලයි මූලාශ්‍ර කියන්නේ. ඒ ටිකත් ලියන්න හිතුවේ සමහර වෙලාවට අපි විකෘතියක් ප්‍රකෘතියක් විදිහට පිළිගන්න නැඹුරුවිය හැකි හින්දා 🙏
නමුත් කතාව වගේම දෙදෙනාගේ දරුවා පෝල් බව ඉතිහාසයේ සඳහන්. 
මූලාශ්‍ර: https://www.biography.com/political-figure/peter-iii

සාමාන්‍යයෙන් නම් මේ කතා මාලාව වඩා ගැලපෙන්නේ වැඩිහිටියන්ට (18+).

කතාවේ ප්‍රධාන චරිත වන කැතරින්ගේ චරිතය රඟපෑ Elle Fanning සහ පීටර්ගේ චරිතය රඟපෑ Nicholas Hoult ඒ චරිතවලට උපරිම සාධාරණය ඉටුකර තියෙන නිසා කතාවේ ආකර්ෂණය පවත්වාගෙන යන්න ඔවුන් දෙදෙනාගෙ chemistry එකත් හේතුවෙලා තියෙනවා. 

කොටස් 10කින් යුතු The Greatහි තුන්වන season එක නිෂ්පාදනය වන බව Hulu මේ වෙද්දී නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. 

ඉත්තෝ!!

2025 අප්‍රේල් 1දා

මේ තත්ත්වයට රටේ පාලනාධිකාරිය වග කියන්න ඕනද? ඔව් 100%
ප්‍රධාන විපක්ෂය ඇතුළු සෙසු පක්ෂ සියල්ලම වගකියන්න ඕනද? ඔව් 100%
මාත් ඔබත් ඇතුලු මේ රටේ මහජනතාව වගකියන්න ඕනද? ඔව් 100%
මෙතන කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. කවුරු කවුරුත් අඩුවැඩි වශයෙන් සියඹලා ගෙනල්ලත් තියෙනවා.

හැම මිනිහෙක්ටම ආවේණික වූ මතිමතාන්තර, ආකල්ප, චර්යාවන් තියෙනවා. හැබැයි සාමුහිකව වගවිය යුතු ඔය කලින් කිව්ව සමූහයන් තුනේදීම කාටවත් තමන්ගේ විදියටම ජීවත් වෙන්න බෑ. ඒ සමූහයේ හැමෝටම ඇදේට යන එකා කෙලින් කරවන්න වගකීමක් තියෙනවා. මේක තමයි න්‍යායාත්මකව විය යුත්තේ. ඒත් ප්‍රායෝගික තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕන.
සමූහයක බහුතරය ඇදට ගමන් කරනවා නම් කොහොමද දැනගන්නේ කෙළින් ගමන් කරනවා කියන්නේ මොකද්ද කියලා? කොහොමද හරි වැරැද්ද අඳුනගන්නේ? 

මිනිස්සු දිගින් දිගටම පීඩාවට පත්වේගෙන එනකොට රජය, ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු පක්‍ෂ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී මොනවද කළේ? සුපුරුදු ලෙස ආඳාමය ප්‍රකාශ, විකාරරූපී හැසිරීම්, ගැලරියට ආතල් සැපයීම් සහ බොරදියේ මාලුබෑම්! එතකොට පීඩනය කොයි මොහොතක හෝ පුපුරා යන බව නොදන්නවාද? නෑ. 
ඇයි එහෙනම් පියවරක් නොගත්තේ? අධිමාන්නය, අධිතක්සේරුව, උද්ධච්ඡකම, මුග්ධකම, ආත්මාර්ථකාමීත්වය, බලතණ්හාව, ඩීල් ඇතුළු අපි කවුරුවත් පැහැදිලිව නොදකින තවත් හේතු. 
ඒක පක්ෂ විපක්ෂ සේරටම පොදුයි! 
උඩයන්න එපා, ඔය කොයි පක්ෂෙත් එහෙමයි! 

ඔබෙත් මගෙත් නියෝජනය තියෙන තුන්වැනි සමූහය කොහොමද? 
ගෑස් නෑ, කරන්ට් නෑ, පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, භූමිතෙල් නෑ, කිරිපිටි නෑ, එළවළු නෑ, හාල් නෑ! තිබ්බත් ගන්න සල්ලි නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එකඟයි.

එක අඩියක් ආපස්සට අරන් සමූහය දිහා බලමුද? 
පෝලිම්වල දුක් වින්ඳ, කට්ට කෑව, මැරිලා වැටුණ ඇත්තටම තමන්ගෙ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න ඕන මිනිස්සු ඉන්නවා. බහුතරයක් එහෙමයි. හැබැයි ඕක අස්සෙ හිටියෙ නැද්ද සල්ලිවලට පෝලිමේ හිටිය උං?
සංවිධානාත්මකව ඇවිල්ලා සිලින්ඩර් තුන හතර ලයින් කරගෙන ගිහින් ගිනිගාණට පිට විකුණපු උං? 
බූලි තුනහතර පුරවං ගිහින් ගිනිගාණට විකුණලා අහිංසකයන්ව, ගෙවල්වලට කොටුවෙච්ච තනිවෙච්ච වයසක මිනිස්සුන්ව විශ්‍රාමිකයන්ව රෝගීන්ව හූරං කාපු උං? 
කලුකඩකාරයන්ගෙ චක් ගෝලයෝ වෙච්චි උං? 
කලුදුම දැම්මට දුං පරීක්ෂණ සමත්වෙන, ලාභ ලබන්න භූමිතෙල්වලින් දුවන බස්කාරයන්ට භූමිතෙල් ඇදපු උං හිටියේ නැද්ද? 
ටෝලර්කාරයන්ගේ තෙල් සංචිත තරකරන්න හිටිය උං නැද්ද? 
හිටියා! දැනුත් ඉන්නවා! 
ඒත් අපි ඒක පිළිගන්න කැමති නෑ. 
අපි තමයි සුර. අරුන් විතරයි අසුර! 

ඊළගට සල්ලි නෑ, කන්න බොන්න නෑ කියකියාත් මහරගම, නුගේගොඩ, කිරිබත්ගොඩ ඇතුලු ප්‍රධාන නගරවල පොරකකා ෂොපිං කළේ නැද්ද අපි? පෙට්‍රල් ඩීසල් නැතිවුණාට වාහන කාර්පාක්වල ඉඩ නැතිවෙන්න පුරවගෙන, මහපාරේ රණ්ඩුවෙවී පවුල් පිටිං අවුරුදු ෂොපින් ගියේ නැද්ද, යන්නෙ නැද්ද? 
සුපර්මාර්කට්වල රාක්ක සේරම හූරං මට, මගේ පවුලට විතරක් දේවල් තිබ්බම ඇති කියලා ෂොපිං කරපු උං හිටියෙම නැද්ද? 

ඔය උඩම කිව්ව මුල් සමූහ දෙකේ බඩගෝස්තරවාදියෝ වැඩියි. එකෙකුට එකෙක් ඇඟිල්ල දික් කරන්න බෑ හතරක් ආපහු හැරෙන හින්දා. හැබැයි ඒ ගේම් එකේදි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සමූහය එකතුයි! පොඩ්ඩක් කෙනිත්තුවට තුවාල කරන්නේ නෑ.
ඇයි? තුන්වැනි සමූහය ඉන්නව අවශ්‍යවුණාම පාවිච්චි කරන්න. ඉත්තො නං ඉත්තො, ගවයො නං ගවයො, මැට්ටො නං මැට්ටො, බට්ටො නං බට්ටො! හැබැයි දැන් ලෝකේ දියුණු හින්දා තුන්වැනි සමූහයේ අපි හිතං ඉන්නවා අපි ගැන මෙහෙම: අපි කිසිදු දේශපාලන පක්ෂයක හෙංචයියලා නෙවෙයි, අපි ස්වාධීන මතධාරීන්, දේශපාලන ගැතිභාවය අපේ කලින් පරම්පරාවලින් ඉවරවුණා, අපි තමයි රටේ බලවත්ම කොටස. 
රෙද්ද තමයි!!

අපි තමයි අවස්ථාවාදීන්ගේ ලොකුම ආයුධය! අපි තමයි උංගෙ හොඳම ඉත්තෝ සෙට් එක! උංට පුළුවන් නොපෙනෙන නායකත්ව බලවේග යටතේත් අපිව හසුරුවන්න උංට ඕන විදියට. ඉතිහාසයේ ඉඳන්ම ඕක තමයි වුණේ. යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බෙ කොහොමද? කලුජූලිය පටන් ගත්තෙ කොහොමද? යුද්ධෙ දශක තුනක් ඇදුණේ කොහොමද? 
හොඳම මොළකාරයෝ වෙන්න පුළුවන් කියලා හිතපු උං මැරුණේ කොහොමද? 
විප්ලව කියලා පටන් ගත්තුවයෙ ඇත්තටම වුණේ විප්ලවද? 
දැංවුණත් වෙනසක් නෑ, එකම දේ දැං ඉත්තො ඉස්සර ඉත්තන්ට වඩා පොෂ්, හැබැයි හෙන ගොං! දැං ගේම් එක දියුණුයි, සංවිධාන ශක්තිය වැඩියි. අපි කතාකරන්නේ ලොකු බර වචන, කියන්නේ ගෝලීය දේශපාලනමය කතා, හැබැයි අර සමූහ දෙක යටතෙ තාම දුවන ඉත්තො!

ඉත්තො ගේම් එක ගැහුවට උංට බෝඩ් එක අයිති වෙන්නේ නෑ, දිනපු එකාව අයිති වෙන්නෙත් නෑ. බෝඩ් එක යට යන ගේම ඉත්තෝ දන්නෙත් නෑ! 
ඉත්තො ලව්වා ඉත්තන්ටම ගස්සන උං හරි ලස්සනට දිනපු පැරදුණු ඉත්තො සෙට් දෙකම එක බෝතලේට දාලා බෝඩ් එක බිත්තියට හේත්තු කරලා යනවා. අවසානෙ හැම ගේම් එකකදිම වෙන්නේ ඒකයි!


Monday, May 16, 2022

(වෙස්) මුහුණු

පහළ පිංතූරේ ඉන්නේ මං, මගේ වෙස් මූණ එක්ක.

සමහර මුහුණු වෙස් මුහුණු ද සැබෑ මුහුණු ද කියන්න බැරි තරම් හැමෝ ළඟම වෙස් මුහුණු තියෙනවා. සමහරු වෙස් මුහුණු දාන්නේ ආත්මාරක්ෂාවට, සමහරු දාන්නේ දේශපාලනික හෝ ව්‍යාපාරික අවශ්‍යතාවලට, සමහරු ප්‍රයෝගයක් විදිහට, තවත් සමහරු තමන්ගේම වාසියට.

වෙස් මුහුණු දැකලා දැකලාම දැන් වෙස් මුහුණු මොනවාද සැබෑ මුහුණු මොනවාද කියලා හිතාගන්න අමාරුයි නේද? මං හිතන්නේ සැබෑ මුහුණක් දැක්කත් අපිට හිතාගන්න අමාරුයි ඒ සැබෑ මුහුණක් කියලා. ඒ තරමටම අපි ඒකට හුරු වෙලා ඉන්නේ.

හැබැයි අපි එකිනෙකාගේ ජීවිත කාලවලට සාපේක්ෂව කීප අවස්ථාවක් හරි තිබිලා තියෙන්න ඕන තදට බැඳං හිටි වෙස්මුහුණු අපේ ඉස්සරහම ගැලවිලා වැටිලා සලාං! ගාලා බිඳිලා ගිය. සමහර එහෙම ඒවා අවුරුදු ගණන් පරණ ඒවා. බිම වැටිලා ඉන්නකොට ළග දණගහගෙන 'කව්රු නැතත් ඔයාට මම ඉන්නවා' කියපු අය අපි හැමෝටම ඉඳලා ඇති. ඒත් ඒ වෙස්මූණ කුඩු වුණාම තමයි අපි දැනගන්නේ සෑහෙන්න කාලයක් තිස්සේ ඒ ඇඳං ඉඳලා තියෙන්නේ වෙස්මූණක් කියලා.

කාලයක් තිස්සේ ඔහොම වෙස් බැන්ඳුම් එක්ක ඔට්ටු වුණාට පස්සේ අපේ සැබෑ මුහුණ පෙන්නන්නත් හිත හදාගන්න අපිට බැරිකමක් දැනෙනවා. ඕනම කෙනෙක් තමන්ගේ සැබෑ මුහුණ පෙන්නලා ඇත්තේ සීමිත පිරිසකට වෙන්න ඕන. සැබෑ මුහුණ පෙන්වීමම අතිශය දුෂ්කර, අතිශය පෞද්ගලික සහ අතිසංවේදී ක්‍රියාවක්. ඒ වගේ මුල්ම අවස්ථාවකදී සැබෑ මුහුණට ගැරහීමක් වුණොත් ආයිත් ජීවිතේට සැබෑ මුහුණ කෙනෙකුට පෙන්නන්න හිතන්නවත් නිරායාසයෙන්ම පසුබට වෙනවා. සමහරවිට ඒ අපි සැබෑ මුහුණ පෙන්විය යුතුම, අපේ සැබෑ මුහුණ කොයිතරම් අසුන්දරවුණත් විරූපීවුණත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එක කටුක අත්දැකීමකට පුළුවන් මනුස්සයෙක්ගේ සැබෑ මුහුණ සඳහටම වහලා දාලා වෙස් මුහුණක් තියලා පාස්සගන්න තත්ත්වයකට පත්කරන්න. එහෙම පාස්සපු වෙස්මුහුණක් සමහරවිට ජීවිත කාලේටම වෙන්නත් පුළුවන්.

🖐️කතාව ඕනෑවට වඩා විශ්ලේෂණය කරන්න යන්න, හාරාවුස්සන්න කාලේ නාස්ති කරන්න එපා.. නිකං ලිව්වේ.

#AW


Saturday, May 14, 2022

පට්පට් සහ චකබ්ලාස්

ඉස්සර කතාවක් ගියා රූපවාහිනීයේ. හර්බට් රංජිත් පීරිස් මහත්මයගේ 'හිරුට මුවාවෙන්' නැත්නම් අපි සාමාන්‍යයෙන් කිව්වේ ඉඳිආප්ප ගෙදර කතාව. ශ්‍රියන්ත සහ කමල් typical තරුණ චරිත දෙකක් රඟපෑව මේ නාට්‍යයෙන් පුරුදු වුණ වචන දෙකක් තමයි 'පට්පට්' සහ 'චකබ්ලාස්'.

ඒ වචන දෙක තරම් ලංකාවට සාධාරණ වචන දෙකක් තවත් නෑ.
අපිට ඕන 'පට්පට්' විසඳුම්/උත්තර. ඒත් අන්තිමේදී සේරම 'චකබ්ලාස්!'

ලංකාවේ අපි හරි නොඉවසිලිමත් ජාතියක්. අපි වැඩක් කරන්න ගියහම ඕනෑතරම් කල්මැරුවට වෙන කෙනෙක් ලව්වා කරවන වැඩකදී අපි කෙවිටයි දුම්මලවරමයි අත්දෙකට අරගත්ත ගමන්මයි!

ඡන්ද එනවා. අපිම ගිහින් පක්ෂ, පාට, මතිමතාන්තර සහ පුද්ගලයො බෙදාගෙන ඡන්දෙ දෙනවා. ඒ ඡන්දෙට සැරසෙනතාක්කල් ගෙදර ඉන්න බල්ලා පූසා එක්ක පවා දේශපාලනිකව ගැටෙනවා, හිතවත්කම් යාලුමිත්‍රකම් නැති කරවගන්නවා, මිනීමරාගන්නවා. ඡන්දෙ දවසට රෑ එළිවෙනකල් නිදිමරාගෙන ප්‍රතිඵල බලනවා. ඒ අනුව පහුවදාට හිනාවෙනවද අඬනවද බුම්මනවද කියලා තීරණය කරනවා. ඊටපස්සෙත් විරුද්ධ මත එක්ක ගැටි ගැටි ජනතා නියෝජනය වැඩ කරන හැටිය බලං ඉන්නවා. පත්වූ පාලනයට මනාපය දුන් අය බලං ඉන්නවා වැඩේ ගොඩ දාන කල්, තමන්ගේ ඡන්දේ ආත්මගරුත්වය රැක ගන්න. විරුද්ධ මතධාරීන් බලං ඉන්නවා වරදිනකල්, ඒ වරදට හිනාවෙන්න සහ ඒ මතින් ආයෙමත් තමන්ගේ කඳවුරට බලය ගන්න.

ඔක්කොම පට්පට් ගාලා වෙන්න ඕන!
දවසෙන් දෙකෙන් උපරිම, ලංකාව ගොඩ දාන්න බෑ නම් ඒ සෙට් එක 'චකබ්ලාස්!'
ඒ වෙලේ ඉඳන් හොයනවා අවුරුදු පහකින් ඊළගට ගේන්න දියසේනලා, දුටුගැමුණුලා, කාලිංගමාඝලා, අබු බකර්ලා, සුපර්මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා, තෝ(ර්)ලා (ස් නෙවෙයි!)
ඊටපස්සේ බලං ඉන්නවා ඒ පට්පට් විසඳුම බලයට ගෙනල්ලා වෙච්ච චකබ්ලාස් undo කරන්න. ආයිත් පට්පට් විසඳුම් නැත්නම් චක්‍රය ආපහු පටන් ගන්නවා.

රටක් විදිහට අපිට පව් කියන්න බෑ. මෝඩයි කියලා තමයි කියන්න පුළුවන්.

දැන් ආයිත් පරණ චක්‍රය කැරකෙනවා.
අලුත් අගමැති කෙනෙක් ආවා. දැන් ආයෙත් සහය නොදෙන්න හේතු හොයනවා. සහය දෙන්නද නොදෙන්නද කඹ අදිනවා.

පොඩ්ඩක් ඉවසමුද?
පට්පට් ගාලා කරන්න ආවේ සක්කරයා නෙවෙයිනේ 🙏
චකබ්ලාස් වෙන්න නොපතා පුළුවන් විදියට සහය වෙමු.
රට ගොඩගන්න මිසක් පුද්ගලයෝ උස්සලා තියන්නවත් වලලන්නවත් නෙවෙයි මේ වෙලාවේ ඕන! 🇱🇰

#srilankatoday
#SriLanka
#visitsrilanka

‼️ නිවැරදි කිරීම:
පට්පට් වචනේ ආවේ පළිඟු මැණිකේ නාට්‍යයේ. මට මතක තිබුණේ දෙකම තිබ්බේ එකම නාට්‍යයේ කියලා. නිවැරදි කිරීම මතක් කළ කමියාට ස්තූතියි Sumith Kalanasiri 🙏

Friday, May 13, 2022

ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown)

2022 මැයි 13දා සිනමාවේදීන් සමූහයට 

ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown)

ලංකාවේ දේශපාලන ප්‍රහසනය කියන එක අතීතයේ පටන් කවිකොළවල ඉඳන්  නොයෙකුත් මාධ්‍ය යොදාගෙන නිර්මාණය වෙන්න ඇති. හැබැයි, සම්පූර්ණයෙන්ම දේශපාලන ප්‍රහසන ශානරය (political satire) යටතේ නිර්මාණය වුණු පළවෙනි රූපවාහිනී වැඩසටහන වෙන්න ඕන TNL නාලිකාවේ විකාශය වුණු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' (Always Breakdown) වැඩසටහන. 

ජාතික නාලිකා දෙක ප්‍රතාපවත් ගාම්භීර සාම්ප්‍රදායික මාධ්‍ය විදිහට පවතින කාලයේ ඉස්සෙල්ලම මට මතක හැටියට වෙනස් ආකාරයක මාධ්‍ය සම්ප්‍රදායක් හඳුන්වලා දුන්නේ TNL එක.

90 දශකයේ අගට කිට්ටුව වගේ ආරම්භ වුණු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' එවකට පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජය සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂය පාදක කරගෙන වෙනත් අන්වර්ථ නාම සහිතව නිර්මාණය කෙරුණක්. ඔවුන්ගේ සැබෑ ස්වරූපයට සමානව නිර්මාණය කර තිබූ මේ රූකඩවල  (muppets) නිර්මාපකයා ධම්මික කල්‍යාණප්‍රිය. තිර රචකයෙක් ලෙස දැන් ජනප්‍රිය සද්ධාමංගල සූරියබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම මෙහි තිර රචකයා වී ඇත්තේ හරිත් ගුණවර්ධන බව කියැවෙන නමුත් යම් නීතිමය ගැටලුවකින් පසු සද්ධාමංගල විසින්ම තිර රචනයත් සිදුකළ බව තමයි කියැවෙන්නේ. 

 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චරිතය පාදක කරගත් ඇනිබල් අක්කා,රනිල් වික්‍රමසිංහ චරිතයේ පාදක කරගත් ඇම්ඩන් ප්‍රධානව සයනයිඩ් (වේලුපිල්ලේ ප්‍රභාකරන්), ඔනරබල් ගොන්සන් (අලවාහීනි මාධ්‍යවේදී), ජිම් පප්පා (ජී එල් පීරිස්), බිංකොමාන්ඩෝ (අනුරුද්ධ රත්වත්තේ), කිරි බර්ටි (අනුර බණ්ඩාරනායක), ඇල්පේනියෝ, මුදලාලි, ගොබ්ස් යන චරිතත් අන්වර්ථ නාම මට හරියටම කියන්න මතක නැති තොණ්ඩමන්, මර්වින් සිල්වා, අෂ්රෆ්, මහින්ද රාජපක්‍ෂ යන දේශපාලන චරිතත් මීට ඇතුළත්. වර්තමාන පරම්පරා නරඹා නැතිවෙන්න පුළුවන් වුණත් ඒ කාලයේදී අතිශය ජනප්‍රිය වැඩසටහනක් වුණේ නිරායාසයෙන්ම. ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ පැවති දේශපාලන සහ සමාජීය තත්ත්ව, කැරළි, මර්ධන, හීෂණ යුගයකට පස්සේ දේශපාලන ප්‍රහසනයක් නිර්මාණයෙන් ගැනුණු නිර්භීත පියවර වෙන්න පුළුවන්. ඒ වගේම එහි තිබූ නැවුම් නිර්මාණශීලීත්වය, මධ්‍යස්ථ දේශපාලන යෙදීම ජනප්‍රියත්වය වැඩි කළා මිසක් අඩු කළේ නැහැ. මට මතක හැටියට එවකට සිටි ජනාධිපතිනිය චන්ද්‍රිකා පවා වැඩසටහන නැරඹන  බව කියා තිබුණා. සහෝදරයාගේ මාධ්‍ය නාලිකාව වුණත් ඇම්ඩන් චරිතය තුළින් රනිල් වික්‍රමසිංහ උපහාසයට පත් කිරීම සම්බන්ධයෙන් අනුකම්පාවක් නම් ලබලා තිබුණේ නෑ. 

තව විශේෂත්වයක් තමයි ජනප්‍රිය වැඩසටහන් හෝ සිදුවීම් නිසා කාලෙන් කාලෙට අපේ ව්‍යවහාරට එකතුවෙන විවිධ වචන, වගන්ති අතරට ඕල්වේස් බ්‍රේක්ඩවුන් නිසා එකතු වූ දේ තවමත් විටින් විට මතුවෙමින් නැතිවෙමින් පවතින එක. ඒ අතර ඇනිබල්ගේ 'හායි මෙයාලා' සහ ඇම්ඩන්ගේ 'කැචයි හොඳේ' ප්‍රධානයි. ඒ වගේම ප්‍රසිද්ධ සිංදු වෙනත් වචන යොදලා නිර්මාණයට දායක කරගෙන තිබීම. ඒ වගේ සිංදු අතර 'ඇනී නමැති වන බඹරා', 'මගෙ කණ කෑවෝ, මගෙ කණ කෑවෝ ඇනියා කණ කෑවෝ' වගේ ඒවා තවමත් මතකයේ රැඳුණු ඒවා. 

මේ වැඩසටහනේ ශ්‍රම සහ නිර්මාණ දායකත්වය:
හඬ ගැන්වීම:
රවීන්ද්‍ර යසස් 
නාමල් බණ්ඩාර 
සරත් චන්ද්‍රසිරි 
සරත් කුලාංග
හිලේරියන් පෙරේරා 
සාලිය කුමාරසිරි 
ධම්මික කළ්‍යාණප්‍රිය
මාලතී කල්දේරා

රූකඩ මෙහෙයවීම:
රූපසිංහ කංකානම්ගේ
වී නිශාන්ත 
නන්දන දීප්ති කුමාර 
ජී දිසානායක 
නාමල් බණ්ඩාර 
ධම්මික කළ්‍යාණප්‍රිය
ලක්ෂ්මන් ප්‍රදීප් 

ඇඳුම් නිර්මාණය: අයිරාංගනී කුරේ

රූකඩ නිර්මාණය/ සහය අධ්‍යක්ෂණය: ධම්මික කළ්‍යාණප්‍රිය

ශබ්ද පරිපාලනය: ජයලත් ප්‍රනාන්දු 

කලා අධ්‍යක්ෂණය: 
ආරියදාස සිල්වා 
සෝමසිරි වලල්ලාවිට

සහය ආලෝකකරණය:
චාමින්ද ශ්‍රීලාල්
නිහාල් පෙරේරා 

නිෂ්පාදන කළමනාකරණය: සමන් වික්‍රමරත්න

සංගීතය: සරත් කුලාංග 

පටිගත කිරීම: භාරත ගුණතිලක 

කැමරාකරණය: 
චන්ද්‍රපාල අල්විස් 
දිනේෂ් ධර්මවර්ධන 

සංස්කරණය/දෘශ්‍ය සංකලනය:
නාලක දයානාත්

තිර රචනය: 
හරිත් ගුණවර්ධන (මුල් කාලය) 
සද්ධාමංගල සූරියබණ්ඩාර (පසුකාලීනව) 

විධායක නිෂ්පාදනය: ඉෂිණි වික්‍රමසිංහ 

අධ්‍යක්ෂණය: සද්ධාමංගල සූරියබණ්ඩාර 

ඕල්වේස් බ්‍රේක්ඩවුන් සම්බන්ධයෙන් කතා කරද්දී එහි තේමා ගීතය ගැන කතා නොකර කොහොමද. 
 
ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඕල්වේස්//
ඕල්වේස් බ්‍රේක්ඩවුන් අපේ ගම තමයි
හැමදාමත් සාටර් වී ඉන්නේ අපි සැමා

අනේ නෝනා කරුණාකර මේ අහන්ඩකෝ
මටත් ටිකක් වාඩිවෙන්න පුටුව දෙන්ඩකෝ
බණ ටෝකිං මෙන්න මෙයා රට ඉල්ලනවා
වට් නොන්සන් ඒක අපට කන්න තියනවා

දාහත් වසරක් කාලා අපේ දුන්නට
දෙන්නෙම නෑ විස්සක් යනකං රට තොපට
ඇදවුණු රට අපි ඉඳගෙන කෙලින් කරනවා
ඊටපස්සේ කෑලි කපලා සුද්දට දෙනවා

ආ එයා මෙයා කොයා වුණත් රජා මං තමා
ඒ කන්දෙත් මේ කන්දෙත් මගේ අණ තමා
අනංමනං ටෝක් බෝක් දාන්නේ කව්ද
මල්ලි ඉතුරු වෙච්ච පරණ ටයර් ඕන කාටද

ඔක්කොමල්ලා මෙතන ඇවිත් බයිලා ගහනවා 
අම්මාපල්ලා මං බෝම්බෙ පත්තු කරනවා

ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඕල්වේස්//
ඕල්වේස් බ්‍රේක්ඩවුන් අපේ ගම තමයි
හැමදාමත් සාටර් වී ඉන්නේ අපි සැමා

අහලම බලන්න:

අවුරුදු ගානක් ගිහිල්ලත් සිංදුවේ වචන තාම අපිට වලංගුයි. 🙄

ඕල්වේස් බ්‍රේක්ඩවුන් කොටස් කීපයක් youtube නාලිකාවේ තිබෙනවා. 
බලන්න කැමති කෙනෙකුට: https://youtu.be/xgchEqGnXLY

සම්පූර්ණ පිටපතක් තියෙනවද දන්නේ නෑ, නමුත් ටොරානා ළගත් ඇති කියලා හිතනවා. TNL නාලිකාවට වෙනත් බාධාවක් නැත්නම් නැවත විකාශයක් කරන්න පුළුවන් නම් වටිනවා. 

අවුරුදු විස්සකට කිට්ටු වෙලා, යූටියුබ් මාධ්‍යකරණය ප්‍රචලිත වෙලා, හාස්‍යය ප්‍රහසනය සාමාන්‍ය ජීවිතයේ විශාල කොටසක් වෙලා, ඇනිමේෂන් වැනි දෘෂ්‍ය මාධ්‍ය ප්‍රගතීන් සිදුවෙලා, විවිධාකාර මට්ටමින් ප්‍රහසනයන් නිර්මාණය වෙන යුගයකට ඇවිල්ලත් තාම අදට සාපේක්ෂව අඩු සම්පත් ප්‍රමාණයක් සහ තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය වුණු ඕල්වේස් බ්‍රේක්ඩවුන් වැන්නකට තරඟයක් දිය හැකි මට්ටමේ නිර්මාණයක් බිහිනොවීම අපි ආපහු හිතන්න ඕන කාරණාවක්.

පිබිදෙන (ගායක) පරපුර

2022 මැයි 12දා

ගෝඨාභය-රනිල් සුසංයෝගයට සහය විය යුතු කැබිනෙට්ටුවක සිටිය යුතු නිස්සන් සුදුස්සන් කව්ද?
(රනිල් ඔහුගේ සුපුරුදු ඒකාධිකාරයෙන් මිදිලා මේ වතාවේ නිසි තරුණ පෙළකට ඉඩ දෙයි කියන බලාපොරොත්තුවෙන්🙏)

දැනට සිටින තරුණ පෙළ අතර ඇත්තටම විභවයක් පෙන්නුම් කරන නැගී එන තරුණ නායකයන් සිටීම (පක්ෂ පාට භේදයකින් තොරව) සතුටට කාරණයක්.

හරීන් ප්‍රනාන්දු. හොඳ විභවයක් පෙන්වූ කෙනෙක්. ඔහුට ඇති ලොකුම අභියෝගය ඔහු තුළ තිබෙන කුකුල් කේන්තිය. ඒක වයසත් එක්ක තරමක පාලනයකට නතුකරගන්න කාලය දැන් හරි. හිතලා බලලා කටයුතු කරනවා නම් ගොඩ. සහ ඔහුටත් වැඩක් කිරීමේ කැක්කුමක් තියෙන බව පෙනෙන කෙනෙක්. හරියටම කල්පනාවෙන් ගේම ගැහුවොත් ගොඩ. නොඉවසිල්ල සහ ආවේගය නම් තව ටිකක් හැදෙන්න වෙනවා. 

කංචන හොඳ අනාගතයක ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔහුගේ පැහැදිලි කථිකත්වය ප්‍රතිවිරුද්ධ කඳවුරකට වුණත් අවංකව අගය නොකර ඉන්න බැහැ. පහුගිය කාලය තුළ දවස් කිහිපයක කැබිනට් ඇමතිධූරයක වුණත් රඹුක්කන සිදුවීමේ උණුසුම අතර, තෙල් හිඟය, තෙල් මිලදී ගැනීමට මුදල් නැතිවීම සහ ධූරය බාරගත් විගස ක්‍රියාත්මක වූ බවුසර්හිමියන්ගේ වර්ජනය කියන අභියෝග ටික කළමනාකරණය කිරීම පැසසිය යුතුයි. තවම තරුණයි. ලණු නොකා සම්මා සතියෙන් ගියොත් ගමන පැහැදිලියි.

ඩී වී චානක. ඇත්තටම පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරන තරුණයෙක්. හොඳ කථිකයෙක්. පෙර පරම්පරාවේ ඇතැම් අඩුලුහුඬුකම් හඳුනාගෙන ඒවාට පිළියම් යොදන බව පේනවා,විශේෂයෙන්ම ආවේගශීලී බව අඩුයි. කංචනට කිව්වා වගේම වගේම සම්මා සතියෙන් ගමන ගියොත් හොඳ අනාගතයක් තියෙයි.

නාමල් රාජපක්ෂ. මේ අවස්ථාවේ සිහිපත් කිරීම පවා දෝෂ දර්ශනයට ලක්වෙන්න පුළුවන් වුණත් ඔහු මේ ලැයිස්තුවේ අනිවාර්යයෙන්ම සිටිය යුතු කෙනෙක්. මේ කැබිනෙට්ටුවට ඇතුළත් නොවන ඇති නමුත් ඔහුගේ දේශපාලන ප්‍රගතිය ගැන ලියන්න වටිනවා. 2005-2015 වනතුරු අපි දැක්කේ නාමල් 'බේබි' කෙනෙක් නැත්නම් spoiled brat කෙනෙක් හැටියට. 2015 යම් ආකාරයක ඇස් ඇරවීමක් කර ඇති බව ඉන්පසු ඔහුගේ ගමනේ වෙනසින් දැනෙනවා. අර බාල බොළඳ තරුණයාගේ සිට තිස්පස් අවුරුදු පරිණත තරුණයා දක්වා ඔහුගේ විකසනය නියමයි. ඔහුගේ දැන් කතාවක් සහ 2015ට පෙර කතාවක් ඇහුවම බරපතළ වෙනසක් දැනෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ ඔහු කළ වැඩ කොටස පක්ෂ පාට භේදයකින් තොරව අගය කෙරෙන්නම ඕන. 

රමේෂ් පතිරණ. තව බලාපොරොත්තු තැබිය හැකි නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙක්. තරමක් නිහඬ වගේ පේන නමුත් සිහිනුවණින් ගමන යන හැටියක් පෙන්නුම් කරන නිසා බලාපොරොත්තු තැබිය හැකියි කියලා විශ්වාසයක් තියෙනවා. 

කාවින්ද ජයවර්ධන. අනිවාර්යයෙන්ම තව දියුණු විය යුතු නමුත් පෙර පරම්පරාවේ වැරදුණු තැන් හඳුනාගෙන කල්පනාවෙන් ගමන යනවා නම් මොකක් හරි කරගන්න බැරිවෙන එකක් නැති චරිතයක්. විශේෂයෙන්ම අඹ යාලුවා හිරුණිකාගේ මට්ටමට නොවැටී ඉන්න පුළුවන් වුණොත්.

 මගේ දැක්මට අනුව දැනට ප්‍රමුඛ වෙලා පේන මේ තරුණ පෙළ අතර බහුතරයකගේ විශේෂත්වය තමයි සාම්ප්‍රදායික බයිලා දේශපාලනයෙන් තරමක් අපගමනය වෙලා කරුණු මත පදනම් වූ සංවාදයක් ගොඩ නැගීමට ඇති හැකියාව, අවශ්‍ය කරුණු මත පිහිටා (to the point) කතා කිරීමේ හැකියාව, වසර කීපයක් තුළ පෙන්වන ආකල්පමය සහ පැවැත්මේ ප්‍රගතිය. ඔය හැමෝටම යන මග පැහැදිලිව පේන්න ගන්නකොට ලණු දෙන්න, බොරු වලවල් කපන්න ගොඩක් අය ඉඳී. ඒවා නුවණින් හඳුනා ගෙන ගියොත් රටක් හැටියට අනාගත මහත්මා දේශපාලනයක් ගැන පුංචි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. 

ඒ වගේම තවත් කියන්න තියෙන්නේ, තමන්ගේ ගමන හදං යනවා වගේම දේශපාලනයට ආවේණික සාම්ප්‍රදායික කුහකකමට ගොදුරු නොවී ඒ ආදර්ශ නියම තැනදී නියම අකාරයට නියම වෙලාවෙදී ලබාදීලා කරුණාකරලා විභවයක් සහිත ශක්තිමත් දෙවැනි පෙළක් හදන්න. ඕගොල්ලන්ගේ කලින් පරම්පරාවල කළ වරද ආයෙමත් කරන්න එපා🙏


ගල ඉස්සීම

2022 මැයි 12දා

අනුර ගල කරේ තියාගන්නම් කිව්වම සමහරු කන්න බොන්න දීලා ජවය බලය ශක්තිය දුන්නා. අනුර ජවශීලීව අමුඩ ලේන්සුව කරේ එලාගෙන 'හරි දැං කට්ටිය ගල උස්සලා මගෙ කරෙන් තියන්න' කියලා තාම බලං ඉන්නවා.

දන්නෙම නැතුව ගල්කොරි කාරයෙක් ටෙන්ඩරෙත් දිනලා බෝරෙත් දාලා!
අනුරගේ කරේ ගල්කුඩක්වත් නෑ කියන්නකෝ ඉතින් 🙄🤦‍♀️

කව්රු කළත් හරි පව් වැඩ ඔව්වා!
පස්සේ ඉතිං ටෙන්ඩර් දිනපු මනුස්සයගේ මනුස්සකමට සබ් කන්ට්‍රැක්ට් එකක් දෙන්නත් ඉඩ තියෙනවා😇

ලේන්සුව ගන්නකො. අපි බලමු සහෝදරයා ❤️

රනිල් වික්‍රමසිංහ

2022 මැයි 12දා

ගොඩක් අය RW කියවාගෙන තියෙන්නේ වැරදියට. ඔහුගේ ඇතැම් ක්‍රියාපිළිවෙත් ඔතෑනි සහ මෝඩ ගතියක් පල කළාට RW කියන්නේ උගත් කපටියෙක්.

ඒකට හොඳම උදාහරණය තමයි මේ අවස්ථාව. සජබ, ජවිපෙ, පාඨලී ඇතුලු තනි පුද්ගලයන් ජනපති, අගමැති තනතුරු සහ බල පොරයක ඉන්න වෙලාවේ රනිල් තමයි හොඳටම ලකුණු රැස් කළේ. ඒකේ හොඳම අවස්ථාව තමයි උද්ඝෝෂණ ව්‍යාපාර, අරගල අතර පාර්ලිමේන්තුව රැස්වූ හැම වතාවකම ඔහු විපක්ෂ නායකවරයාගේ ක්‍රියා පිළිවෙතට යන අතට යන්න දෙමින් වෙන්නේ මෙහෙමයි නමුත් විය යුත්ත මේකයි කියන පැහැදිලි පණිවිඩය රටට ලබාදීම. දශක ගණනක දේශපාලනයෙන් තෙම්පරාදු වුණු රනිල් ලස්සනට ඌරාගේ මාලු ඌරගේ ඇඟේ තියලම කපලා පෙන්නුවා. සජිත් රනිල් ඝට්ටනය සහ රනිල් සහ අනෙකුත් අය අතර ඒ පෙනුණු පරතරය රනිල් වික්‍රමසිංහට අන්තිමටම අකමැති මිනිහෙක්ට පවා හිතන්න සිද්ධ කළා මේ වෙලාවේ රනිල් තමයි alternative එක කියලා! වැඩිය දඟලන්නේ උඩ පනින්නේ නැතුව විපක්ෂයේ එක ආසනයක් තියෙන රනිල් තමයි එහෙම බලද්දී මේ වෙලාවේ හොඳම ගේම් එක ගහලා තියෙන්නේ. 

ඒ එක්කම හිනාවෙවී ඉඳලා නියම වෙලාවෙදී සජබ බිත්තියට හේත්තු කරලා තියෙන්නේ කීව පූචානම් ඔවුන්ටම ගිලගන්න සිද්ධ කරලා. 

හැබැයි පමාවෙලා හරි ගෝඨාභය රාජපක්ෂ දීර්ඝ සිසිර නිද්‍රාවෙන් අවදිවෙලා වගේ පේනවා. බලමු.

#srilankatoday
#RW
#lkaPremiership

හඳුනා ගැනීම

2022 මැයි 10දා

විශේෂයෙන්ම මේ වගේ වෙලාවක මිනිස්සු දිහා නිහඬව බලං ඉන්න ඕන. සමාජයේ සහ පෞද්ගලික ජීවිතවල රඟපාන බහුතරයකගේ සැබෑ ස්වරූප හරියටම නිරාවරණය වෙන්නේ මෙන්න මේ වගේ තීරණාත්මක අවස්ථාවල. ඒවා නිකමට වගේ මතක තියාගන්න. හදිසියේවත් ආයිත් රඟපාන්න ගත්තොත් ටොක්කක් ඇනලා තමතමන්ටම මතක් කරගන්න අවස්ථා ඕනෑතරම් ඉදිරියට එයි. 🤍

පරසතුමල්

2022 මැයි 6දා - සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට

ඇත්තම කිව්වොත් මං සිංහල සිනමා ලෝලියෙක් වුණේ 90 දශකයේ පුංචි එකෙක් හැටියට එවකට තිබුණු සීමිත රසවින්දන මාධ්‍ය කීපයෙන් ප්‍රධානම එකක් වුණ සිනමාවට ඇලුම් කරපු දෙමව්පියෝ හින්දා, එන එන චිත්‍රපටිය නරඹන්න මට තේරුණත් නැතත් මාවත් අරං ගිය හින්දා. ඒ ඇරෙන්න මාත් ගියේ වෙන මොකවත් නොතේරුණත් ඒ කාලේ සිනමාශාලාවල විතරක්ම තිබුණු අයිස්චොක් අල්ලසක් අනිවාර්යයෙන්ම ලැබෙන හින්දා. එකට දහයක් හරි ඒ වගේ අවස්ථාවක ඉල්ලුවානං ලැබෙනවා, කරදරකාරයෙක් නොවුණත්.

90 දශකය වෙද්දී මම හිතන්නේ ගාමිණී ෆොන්සේකා සුපුරුදු ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ටිකක් ඈත්වෙමින් ඉන්න ඇත්තේ. හැබැයි ඒ වෙද්දිත් තිරයේ මැවුණ ප්‍රතාපවත් පෞර්ෂයයක් කියලා මතකයක් තියෙනවා. ඒ ඇරුණම ඔහු මගේ තාත්තාගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. තාත්තාට පොඩි විහිළුවක් වගේ කරන්න හිතුණම පස්සේ කාලෙක මම ගාමිණී ෆොන්සේකාගේ නැටුම් විලාශය එහෙම අනුකරණය කරලා පෙන්නනවා. ඒ කතාව කිව්වෙ ඔහුට කිසිම අපහාසයක් උපහාසයක් හැටියට නොවෙයි🙏 ගාමිණී ෆොන්සේකා කියන්නේ වෙනමම විදියක අපූර්ව පුරුෂ පෞර්ෂයයක්. ඒ පෞර්ෂත්වයට වීරයෙක්, පරිණත ප්‍රේමවන්තයෙක්, දැඩි මතධාරියෙක්, චණ්ඩියෙක්, දැඩි විනයවාදියෙක් මිසක් මල්ගස් වටේ සහ නිළිය වටේ නටන බොළඳ ප්‍රේමවන්තයෙක්ගේ භූමිකාව එහෙමටම ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ පුද්ගලික මතය. ඔහු එහෙම චරිත රඟපාලා තියෙනවා, නමුත් ඒ ප්‍රේමවන්තයාගේ චරිතවලිනුත් ගාමිණී ෆොන්සේකා මතුවීම වළක්වන්න බෑ වගේ ගතියක් දැනෙනවා. ඒක ධනාත්මක සිතුවිල්ලක්. ඇත්තටම තරු ගුණය සහිත රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ආවේණික වූ ඉරියව් (signature moves) ගත්තහම ගාමිණී ෆොන්සේකාගේ හැසිරීම්, ඉරියව් කැපී පෙනෙන විශේෂයක් දක්වනවා කියලා හිතෙනවා. 

කොහොම වෙතත් ඒ වෙද්දි වර්ණ චිත්‍රපට යුගයට ඇවිත් තිබුණත් කලුසුදු චිත්‍රපටත් තිරගත වුණා, මට මතක හැටියට. ඒක නිසාම පරණ කලුසුදු චිත්‍රපටවලටත් මගේ ලොකු ආදරයක් තියෙනවා. 

එහෙම මං ඉපදෙන්න හිතන්නත් සෑහෙන්න කාලයකට කලින් තිරගත වුණු, ඒත් මං කැමතිම චිත්‍රපට අතර මුලින්ම තියෙන එකක් 'පරසතුමල්'. ගාමිණී ෆොන්සේකාගේම අධ්‍යක්ෂණයක් වුණ පරසතුමල් තිරගත වෙලා තියෙන්නේ 1966  වසරේ සැප්තැම්බර් 26වෙනිදා. සිංහල සිනමාවේ 140වන චිත්‍රපටය වන පරසතුමල් 1967 සරසවි සම්මාන උළෙලේත් 1968 වසරේ ස්වර්ණ සංඛ සම්මාන උළෙලේත් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම 1967 වසරේ සරසවි සම්මාන උළෙලේදී හොඳම නලුවා (ගාමිණී ෆොන්සේකා),  හොඳම තිර රචනය (පී ඩී කේ සෙනෙවිරත්න), හොඳම කලා අධ්‍යක්ෂණය (ධර්මසේන හේමපාල), හොඳම ගායිකාව (සුජාතා අත්තනායක) යන සම්මානත් 1968 United Lanka Fans Society Awards Ceremonyහිදී හොඳම නිළිය (අනුලා කරුණාතිලක), හොඳම සහය නළුවා (ඩී ආර් නානායක්කාර), හොඳම සහය නිළිය (ශාන්ති ලේඛා), හොඳම නිෂ්පාදනය (චිත්‍රා බාලසූරිය), හොඳම තිර රචනය (පී ඩී කේ සෙනෙවිරත්න), හොඳම සිනමා කැමරාකරණය (සුමිත්ත අමරසිංහ) යන සම්මානත් දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. 

ධනවත් සෙල්ලක්කාර බොනී මහත්තයගේ චරිතයට ගාමිණී තරම් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් රංගන ශිල්පියෙක් හිටියෙත් නෑ, ඉන්නෙත් නෑ කියන්න සිද්ධ වෙන තරමටම ගාමිණී සහ බොනී වෙන් කරන්න බැරි තරම් ඒ රංගනය ප්‍රබලයි. මනුෂ්‍යයෙක්ගේ වයස එක්ක සිද්ධ වෙන මානසික, කායික, අධ්‍යාත්මික වෙනස්කම් එක්කම ඔහු වටා සමාජයේ සිදුවන වෙනස අපූරුවට ගලපලා ඉදිරිපත් කරන තිර පිටපත අතිශය සාර්ථකයි. ඒකට උපරිම සහයෝගය කැමරාවෙන් ලැබෙන හින්දා පරසතුමල් අදටත් සිංහල සිනමාවේ අමරණීය සංධිස්ථානයක්.❤️

කැමරාව ගැන කිව්වොත් මං ආසම අවස්ථාව පහළ පින්තූරවල තියෙනවා, බොනී මහත්තයා පඩිපෙළේ උඩ හිටගෙන ඉන්න අවස්ථාව, ඔහුගේ යෝධ හෙවණැල්ල පිටුපස බිත්තිය මත පතිත වෙනවා. මං හිතන්නේ ඒ එක shot එකෙන්ම බොනී ගැන කියන්න තියෙන ගොඩක් දේවල් කතා කරලා ඉවරයි කියලා. අමුතු අපූරු පෞර්ෂයයක් තියෙන, මනුස්සකමයි යක්ෂකමයි එක වගේම පිහිටපු, ආදරේ නොකරන කරපු ආදරේ නොදිනපු සෙල්ලක්කාරයාගේ යෝධ ප්‍රතිරූපය ඒ එක අවස්ථාවෙන් පෙන්නනවා, ඇස්වලට කඳුළු එන්න තරම් ප්‍රබලව! 

ඒ ඇරෙන්න ඊළගට මට හුඟක් සංවේදීවම දැනෙන තැන තමයි ජීවිත කාලය පුරාම හෙට ඉර පායනවා කියන සුභවාදී දැක්මෙන් විනෝදයෙන් ජීවිතේ ගෙව්ව සුන්දර මිනිහා අවසන් මොහොතේ අහන 'හෙට ඉර පායයිද මැගී?' කියන ප්‍රශ්නය. තමන්ගේ කාලය අවසන් බවත්, හෙටක් ගැන ඇති බලාපොරොත්තුවක අවසානයත්, අවිනිශ්චිතබවත්, එක්තරා විදියක පශ්චාත්තාපයකුත් ඇතුළු හැඟීම් ගොන්නක් වචන හතරකට ලඝු කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි, ඒ වචන හතරට ප්‍රේක්ෂකයා සංවේදී කරවන්න තරම් පණපිහිටුවන එක කොහොමටත් ලේහි පහසු වැඩක් නොවෙයි. 

පරසතුමල් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි එහි එන ගීත. 'පරවුණු මල්වල සුවඳ අතීතේ - පරසතු මල් ළඟ විසිර ගියාවේ ' කියන වචන පේළියට ආදරේ කරන්න ගනිද්දි ඒ චිත්‍රපට ගීතයක් ද කියලවත් ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ, ඒ වගේ දෙයක් තේරෙන ලොකු වයසකදිත් නෙවෙයි ඒ පදපෙළට ආදරෙන් බැඳුණේ. ❤️

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා

ගායනය: විශාරද සුජාතා අත්තනායක 
ගී පද: මහගම සේකර සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ 
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය: ලයනල් අල්ගම 


අනෙක් එතරම් කතා බහට ලක්නොවෙන ඒත් කලින් ගීතය තරම්ම රසවත් අනික 'සඳකත් පිණිදිය දියවී ගලනා' ගීතය.

සඳකත් පිණිදිය දියවී ගලනා
සීතල කඳු අතරේ
හද ගොලුවී ඉකිබිඳ 
ඔබ හඬනා හඬ
මා සවනේ පෑරේ

නිසංසලේ රෑ අහසේ
නිසංසලේ රෑ ඝන බොල් අහසේ 
මිලාන වූ තරු එළියේ 
ඔබේ නුවන් මිණි පහන් නැගී
ඇවිලේ මා දෑසේ.. //

සුසුම් හෙලන තුරුලතා ලපල්ලේ
සිහිල් සුළඟ හා වෙලී
මගේ කවුලු දොර තුළින් එබී
ඔබ සොයා ඇදේ

ගායනය: ඩබ්ලිව් ඩී අමරදේවයන් 
ගී පද: මහගමසේකර 
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය: ලයනල් අල්ගම 

ඒ වචන❤️ ඒවා වචන නෙවෙයි. විරහවේ හැඟීම් හූරන කිණිසිතුඩු❤️ 

මට හරියටම කියන්න අමාරුයි පරසතුමල්වල සම්පූර්ණ සංරක්ෂිත පිටපත් තියෙනවාද කියන එක නම්. මීට අවුරුදු කීපයකට කලින් ටොරානා ළග තිබිලා ගත්ත පිටපතක් තමයි මාත් බැලුවේ. රසිකයෙක් ළග හරි තියෙනවා නම් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ වගකිවයුතු තැනකට දීලා ඒ පිටපත් ආරක්ෂා කරන්න, එයින් පිටපත් ගන්න පියවරක් ගන්න කියලා. මුලින්ම මේ චිත්‍රපටය බැලුව ප්‍රේක්ෂකයන් තමයි දන්නේ දැනට තියෙන පිටපත් සම්පූර්ණ ද නැද්ද කියන එක. 

අවසානයට කියන්න තියෙන්නේ බලලා නැත්නම් මේ චිත්‍රපටය සොයාගෙන බලන්න. ඒ පැය දෙක කොච්චර වටිනවද කියලා දැනෙයි. ❤️😇

රැවටෙනවද රවටනවද

2022 මැයි 5දා

225ම එපා කියලා කියන අරගලේ පාර්ලිමේන්තු මන්ත්‍රී/ඇමතිලට යන්න බැරි කෝලාහල මැද්දෙන් අනුර ෂෝක් එකට යනවා, බැහැලා කතාත් පවත්වනවා, කෝලාහලකාරයෝ එයාට අප්පුඩි ගහලා චියර් කරනවා! ඇයි දන්නේ නෑ?? 🤔

අත්අඩංගුවට ගත්ත කෝලාහලකාරයෝ ගත්ත ගමන් මනූෂ ඇතුලු සජබ හදවත් උණුවෙලා වැගිරෙන්න පටන් ගන්නවා. ඇයි දන්නේ නෑ?? 🤔

අත්අඩංගුවට ගත්ත කෝලාහලකාරයෝ සෙට් එක නිදහස් කරගන්න, ඇප ලබාගන්න පාඨලී එසැණින් මහරගම පොලිසියට එනවා. ඇයි දන්නේ නෑ?? 🤔

එන්න අපි ඇඳගමු. ෂා! හරිම ලස්සනයි👌😎

#රැවටෙනරවටනඅරගල
#නිර්දේශපාලනිකයිලුඉතින්
#කොහෙදෝයන්නේකව්දෝදන්නේ

පාස්පෝට් කන්තෝරුවේ සිස්ටම් ඩවුන් වීම

2022 මැයි 5දා

පහුගිය නොවැම්බරයේ මගේ අත්දැකීමත් ලියන්න හිතුනා. කෝවිඩ් නිසා අවුරුදු දෙකක් විතර කල් ඉකුත් වුණ ගමන් බලපත්‍රය තියං ඉඳලා බැරිම තැන පහුගිය නොවැම්බර් මාසේ මුල මාත් ගිහින් අලුත් අයදුම් පත්‍රය භාරදුන්නා එක් දින සේවාව සඳහා. ඒ වෙද්දිත් ලංකාවම රට යන තරමට එතන සෙනඟ!

මේ ගියේ සති ගණනකට කලින් වෙලාවක් වෙන්කරවගෙන,1919න් අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා පැහැදිලිව දැනගෙන. 

ප්‍රධාන දොරටුවෙදී ඇහුවා එක්‌දින සේවාවට කොහෙටද යන්න ඕන කියලා. කතාවක් නැතුව ඇඟිලි විහිදලා පෙන්නුවා තුන්වෙනි තට්ටුවට කියලා. ඔය කන්තෝරුවේ ගිය අය දන්නවා මහගිරිදඹේ වගේ. තට්ටු තුන නැග්ගා. කවුන්ටරේට ගියා. බුම්මගත්ත නෝනා කෙනෙක් වාඩිවෙලා ඉන්නවා. මං කිව්වා එක්දින සේවාවට අයදුම් පත්‍රය දෙන්න කියලා. 'ආ ඒක ගන්න ඕන පල්ලෙහායින්නේ' කියලා උච්ච ස්වරයෙන් ඇහුණා. ආයෙත් මහගිරිදඹේ බැහැලා පහළට ආවා. පහළින් අයදුම්පත්‍රයක් ඉල්ලගත්තා, පිරෙව්වා, මහගිරිදඹේ නැගං ගිහින් අර බුම්මන මහත්මියට නැතුව එහා පැත්තෙ ඉන්න මහත්මයගෙන් ටෝකන් එකක් අරං පෝලිමට එකතු වුණා.
ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕන වෙලා ආයෙමත් මහගිරිදඹේ බැහැගෙන පහළට ආවා. ආයෙමත් උඩට ගිහින් පෝලිමේ හිටියා. 

 එක කවුන්ටරේකින් කලින් ගමන් බලපත්‍රය, උප්පැන්න සහතික, ඇතුළු සේරම පරීක්ෂා කරලා නැවත දුන්නා. ඊටපස්සේ ටෝකන් අංකය කතා කරනකං වාඩිවෙලා ඉඳලා ඇතුලේ කවුන්ටරේකට ගිහින් ලිපිලේඛන භාරදුන්නා. එතනදීත් සේරම නැවත පරීක්ෂා කරලා භාරගත්තා. ඊටපස්සේ ඇඟිලි සළකුණු ගන්න යැව්වා. ඒකත් දුන්නා. අන්තිමට ගෙවීම් කවුන්ටරේකට ගිහින් ගෙවීමත් කළා.

කොච්චර වෙලාවක් යාවිද ඇහුවම හවස් වෙනවා කිව්වා. එතන කට්ට කන්න අමාරුකමට ගෙදර ගියා. පැයකට දෙකකට පස්සේ කෝල් එකක් එනවා ඔරිජිනල් උප්පැන්න සහතිකය අරං එන්නලු! මං කිව්වා ඔරිජිනල් එක දුන්නා කියලා. නෑ ඔරිජිනල් එක ගේන්නකෝ කියලා ආයෙත් දැනුම් දීලා ඇමතුම විසන්ධි කළා.

ආයෙත් ලෑස්තිවෙලා තියෙන උප්පැන්න සහතික පිටපත් සේරම අරං ගිහින් මහගිරිදඹේ නැග්ගා.
'මොකද්ද ප්‍රශ්නෙ?'
'මිස් මේ පරණ උප්පැන්න සහතිකයක්. මේකට පාස්පෝට් එක දෙන්න බෑ, අලුත් උප්පැන්න සහතිකයක් ඕන'
(මැරිලා ආයෙත් උපදින්නද කියන්නේ කියලා හිතෙන් අහන ගමන්) 'අලුත් උප්පැන්නයක් කියන්නේ මොකද්ද?'
'මේ උප්පැන්න සහතිකවල දැන් දෙන්නේ වෙන ෆෝමැට් එකක්. ඒක නැති නිසා මේ පාස්පෝට් එක ප්‍රොසෙස් කරන්න බෑ'
(පුදුම කතාවක්නේ! ෆෝමැට් එක වෙනස් වුණා කියලා මම දන්නේ කොහොමද! කොයි ෆෝමැට් එකට ගැහුවත් ඔය නංගං ටිකම තමයි ඉතින් තියෙන්නේ)
'ඉතින් දැන් මට කලින් පාස්පෝට් එකක් තිබිලා තියෙනවානේ. ඒක හින්දා උප්පැන්න සහතික ෆෝමැට් එක වෙනස්වීම ලොකු ගැටලුවක් වෙන්න බැහැනේ. අනික කවුන්ටර් දෙකකින්ම පරීක්ෂා කරලනේ භාරගත්තේ'
පුලුවන් තරම් මධ්‍ය සප්තකයෙම රැඳෙන්න උත්සහ කරමින් මං කිව්වා.
'හරි, පොඩ්ඩක් එළියෙන් ඉන්නකො බලන්න'

තව පැය බාගයක් විතර වීදුරු කාමරෙන් එළියේ හිටගෙන හිටියා. මේ මොන රස්තියාදුවක්ද! තව කීප දෙනෙක් එතන ඒ විදියටම රැඳිලා ඉන්නවා. බැරිම තැන දොර ඇරගෙන ඇතුළට ගිහින් ඇහුවා මොකද්ද දැන් වෙන්නේ කියලා.
පොඩ්ඩක් ඉන්න, ලොක්කගෙන් අහලා එන්නං කියලා මගේ ෆයිල් එක අරං එළියට පැන්න මනුස්සයෙක් නොපෙනී යනකල් මං බලං හිටියා.
ටික වෙලාවකින් ඔන්න ඒ නිලධාරියා ආවා.
'මේක හදිස්සිද'
'අපොයි ඔව්' (නැත්තං රැපියල් 15,000ක් ගෙවලා එක්‌දින දානවැයි!) මං දැං මේ ෆ්ලයිට් එකට යන හදිස්සියෙන් කිව්වා.
'හරි, පොඩ්ඩක් ඉන්නකො'
වෙලාව ගෙවුණා.
මං ආයෙමත් වීදුරු දොරෙන් එබුණා 'හරිද මොකද වෙන්නේ?'
'හරි හරි, බොස් කිව්වා කලින් පාස්පෝට් තියෙන නිසත් හදිස්සි නිසත් දෙන්න කියලා'
'කීය වෙයිද?' (එතකොටත් හවස 4.30) 
'රෑ වෙයි' 
'නෑනෙ, ඕගොල්ලෝ දැන් වැඩ ඉවරනෙ' 
'අපෝ නෑ මිස්, මේ ඉන්න ඔක්කොගෙම පාස්පෝට් ටික අද දීලා තමයි යවන්නේ' 

මං හරි සන්තෝසෙන් එළියට බැහැලා සොබා සිරි අසිරිය විඳිමින් ඉන්නකොට රෑ අටට විතර එස්එම්එස් එකක් ආවා ඇවිත් පාස්පෝට් එක ගන්න කියලා.
මං යද්දිත් එතන සෙනග පිරිලා. පොලිස් නිලධාරියෙක් බොහොම කාරුණිකව මගෙන් ටෝකන් අංකය අහං කවුන්ටරේකින් ඇහුවම පොඩ්ඩක් ඉන්න කියලා කිව්වට ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්න කලින් පාස්පෝට් එක ලැබුණා!

එකම ආයතනයක එක එක අවස්ථාවල හම්බවෙන නිලධාරීන්ගේ විදියට අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ!

ගමන් බලපත්‍ර, හැඳුනුම්පත්, උප්පැන්න සහතික වගේ පුද්ගලික ලියකියවිලි නිකුත් කිරීම සෙල්ලමක් නෙවෙයි. ඒක හරි.
විශේෂයෙන්ම, ව්‍යාජ ලේඛන හදන රටක.
එතකොට ඒ අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා ඇති. ප්‍රශ්නය තියෙන්නේ ඒ සංකීර්ණ ක්‍රියාවලිය සරල කරගන්න විදියක් ඇත්තේම නැද්ද කියන එකයි.

ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණය කළානම් මේ කටයුත්ත මීට වඩා පහසු කරගන්න තිබුණා (e-passport, e-NIC) . අනවශ්‍ය කාල නාස්තිය, සම්පත් නාස්තිය අවම කරගන්න තිබ්බා.
හැබැයි ඒක සිද්ද වෙන්නත් ගියා කීපවතාවක්ම. අවාසනාවකට නිලධාරීවාදයට යටත්වීම නිසා අතරමගින් ලොප් වෙනවා. දන්න අය ඒ ගැන දන්නවා. නොදන්න අයට ඒ ගැන හොයලා බලන්න පුළුවන් (හැබැයි බයිලා චක්‍රවර්තී සියල්ල දන්නා ලෙස රඟපාන නලු නිලියන්ගෙන් නෙවෙයි, ඇත්තටම ඒ ගැන දැනුවත් වෘත්තීයවේදීන්ගෙන්). සදාචාරාත්මක නොවන නිසා ඒ ගැන මීට වඩා ලියන්න බලාපොරොත්තුවක් නැහැ. 

දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන කණගාටුයි. කලින් දවසේ එන්න එපා කියලා කලින්ම දැනුවත් කළා. අද සිස්ටම් ඩවුන් කියලා නිව්ස් ඇලර්ට් ඇවිත් තියෙනවා උදේ 6:57ට. මේ එන ඇලර්ට් තොගයෙ හැටියට හැමෝම ඕක ආවත් බලන්නේ නැතුව ඇති. සමහරුන්ට එහෙම දැනගන්න විදිහක් ඇත්තෙත් නැතුව ඇති. සමහරවිට දැනගද්දි එන්න පිටත් වෙලත් ඉවර ඇති. ඒත් නැත්නම් කීයට හරි හරියයි කියලා සුභවාදීව බාරගන්නත් ඇති. නැත්නම් යන්න හදිස්සිම අයත් ඇති. 

එහෙම බැලුවම හැමෝම පීඩීතයො, හිතා හරි නොහිතා හරි තව කොටසක් පීඩකයෝ. 

හැබැයි ඉතින් පාස්පෝට් ගහන්නේ ගෝඨාභය හින්දා එයා ගියා නං නොඉල්ලපු අයටත් පට්පට් ගාලා පාස්පෝට් ලැබෙන්න තිබ්බා! 😂

#srilankatoday
#immigrationdepartment

තර්ජන

2022 මැයි 4දා

Fort magistrate issues a court order for the removal of protestors & all their structures etc. near Temple Trees, Kollupitiya as they cause obstructions to pavements & inconvenience the public- adaderana.lk

UPDATE: The court order by the Fort magistrate does not object to protests which are peaceful & do not inconvenience or obstruct movements of the public- adaderana.lk

එක රටක් එක නීතියක් ඉල්ලන, සර්ව සාධාරණ සමාජයක් වෙනුවෙන් 'නිර්පාක්ෂිකව' පෙනී ඉන්නවයි කියන 'පීඩිත පංතියේ ජනතාව' කියාගන්න සෙට් එක ඒ ගමන උසාවි නියෝග පිළිගන්න ලස්සන බලන්න! මේවා සාමකාමී ද හිටං?

අන්න ආයෙත් කියනවා ඒ ගමන එතන ගිනි තියාගන්නවලු! තියාගන්න බ්‍රෝ තියාගන්න. අවුරුදු ගාණක් ගිනි තියලා පුරුදු කට්ටියනේ ඉතින් ඕගොල්ලෝ 😂 කමක් නෑ, අනික් මිනිස්සුන්ටයි මහජන සහ පෞද්ගලික දේපලවලටයි නැතුව ඔයාලම ඔයාලට තියාගන්න! 💐

භාෂණයේ නිදහසලු! යකුනේ, භාෂණයේ නිදහස කියන්නේ තැන්තැන්වල ගිහින් අහිකුණ්ඨිකයෝ වගේ කූඩාරම් අටෝගෙන පදිංචි වෙන එක නෙමෙයි! ඒ වගේම මං මැරෙනවා, මං ගිනි තියාගන්නවා, මං කල්ලෙත් ලෑ බොල්ලෙත් ලෑ බෙයියං එපා කියලා අඩි පොළොවෙ ගගහා නරිනාටක කරන එකත් නෙවෙයි.
ලංකාවේ හිටිය අඩු ආදායම් ලාභී පැල්පත්වාසීනුත් මේ යක්කුන්ට වඩා නම්බුකාරයි හිටං! ලස්සනට ගෙවල් දොරවල් තියං නම්බු පිටිං ජීවත්වෙනවා. ඒකට මේගොල්ලො, කොහෙන්ද පීපල්ස් ඕගොල්ලෝ ආවේ? කරුණාකරලා ඔරිජිනල් පීඩීත ජනතාවට අපහාස නොකර ඔය කූඩාරමුයි තොවිලෙයි අරං චුතවෙන්ඩ!

#ලබ්බෙතොවිලෙ
#රැවටෙනරවටනඅරගල
#සාමකාමීඅරගල
#නිර්දේශපාලනිකයිලුඉතින්
#narcissisticprotestors
#peacefulprotestersmyfoot
#srilankatoday


විල්සන් කරූ

2022 මැයි 4දා - සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට 

විල්සන් කරූට තිබ්බේ දුෂ්ට මූණක්, දුෂ්ට කටහඬක්, දුෂ්ට හිනාවක්. ඕනම 90 දශකයේ සිංහල චිත්‍රපටයක ඒ මූණ මතුවෙද්දි මං හිටියේ ඇස් වහගන්න ලෑස්ති වෙලා! ඔව්, ඒ මූණ එනවා කියන්නෙම ඊටපස්සේ වෙන්නේ මරාගැනීමක් කියලා දන්න හින්දා. පහුකාලයක අප්පෝ මොනාද මේ සිංහල ෆිල්ම්වල ෆයිට්ස් අනේ, බුහා බුහා බුහා කියලා සද්ද එන්න ගහන්නේ කියලා හිනාවුණාට කලුවර ෆිල්ම් හෝල් එකක දැවැන්ත තිරයේ මිනිස්සු මරාගන්නකොට සද්දවලට හිනාවෙන්න තරම් ලොකු කයිවාරු හැකියාවක් නෑ 90 දශකයේ දී පුංචි එකෙක්ට! ෆයිට්ස්වල ඇක්ෂන් කොහොමත් විශ්ලේෂණය කරන්න විදියකුත් නෑ ඒ පොඩි එකා ඒවෙලෙට ඉන්නේ පුටුවට ඇලිලා, ඇකිලිලා, ගුලිවෙලා, ඇස් වහගෙන හින්දා! 😁

හැබැයි පස්සේ කාලෙක විල්සන් කරූව දැක්කම මට හිතුණා ඇත්තටම ඔහුට තියෙනවා මොකද්දෝ කඩවසම් පෞර්ෂයයක් කියලා. අවාසනාවකට බහුතරයක් සිනමාලෝලියො කැමති සුන්දර, පිවිතුරු, සුකුමාර, වීර ප්‍රේමවන්තයන්ට නිසා වෙන්න ඕන විල්සන් කරූට සදාකාලික දුෂ්ඨයෙක් වෙන්න වුණේ. සමහර දවසට කිරුළපන පහුකරද්දී මං ඔහුව දැකලත් තියෙනවා කිසි කලබලයක් නැතිව පාරේ ඇවිදගෙන යන හැටි. ඒ හැම වෙලාවකම අර දුෂ්ට හිනාවෙ පුංචි සලකුණු ඒ මූණේ තියෙනවත් දැකලා තියෙනවා.

චිත්‍රපට 250කට ආසන්න ගණනකටත් ටෙලිනාට්‍ය 15කට පමණත් දායකත්වය සපයලත් ඔහු ලද ඇගයීම් හැටියට විකිපීඩියාවේ සටහන් වෙන්නෙ 'සසර චේතනා' චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය වෙනුවෙන් ලද කුසලතා සම්මානයක් ගැන විතරයි. 1974 'හදවත නැත්තෝ' ගෙන් පටන් ගෙන 2019 දක්වා රංගනයේ නියුතු වෙලත් නිසි ඇගයීමක් නොලද තවත් රංගන ශිල්පිනියෙක් විදිහට විල්සන් කරූත් ලැයිස්තුගත වෙන එක කණගාටුවක්.

පුංචි කාලේ මාව භීතියට පත් කරපු චරිතයක් වුණත් ඔහුගේ නික්මයාම ගැන හරිම කණගාටුවක් දැනෙනවා. ගිය තැනක, යන තැනක හොඳින් ඉඳිවී. සුබ ගමන් කරූ අංකල්💐

නිර්දේශපාලනික අරගලය

2022 මැයි 4දා

අර නිර්දේශපාලනික අරගලයේ කොටස්කාරයන්ගේ රෙදි ටික ටික ගැලවෙමින් තියෙන මොහොතක මිරිහාන සිද්ධියේ ඉඳන් දවස් 25ක් තිස්සෙ කට්ටිය උත්සාහ කරනවා අපිට ගැහුවෝ, අපිව මැරුවෝ, මෙන්න අපිව ඉස්සුවෝ, අන්න අතුරුදන් කළෝ, ඔන්න සුදුවෑන් එනෝ කියලා ජාත්‍යන්තරය ජයගන්න! ගාල්ලේ හට් ගලවද්දී මෙන්න පොලීසිය මිනීමරනෝ කියලා කෑ ගගහ වීඩියෝ කරන්නෙත් ඒකයි. අරලියගහ මන්දිරේ ඉස්සරහ අනේ අම්මෝ මගේ බෙල්ල කැඩුවෝ කියලා අතිවිශිෂ්ට රංගනයක යෙදෙන්නෙත් ඒකයි. 

අරගලයේ නියෝජනයට සාකච්ඡා සඳහා ආරාධනා කළාම ඒකට එකඟ නොවී බයිලා ව්‍යාපාරයක් පටන් ගත්තා. මහින්දව පට්ට ගගහා බයිලා ගහපු සෙට් එක හැබැයි දැන් දැන් යෝජනා උස්සගෙන මල්වතු අස්ගිරි වන්දනාවේ යෙදෙනවා! අමතක කරන්න එපා ඒ මෙච්චර කල් මල්වතු අස්ගිරි කියලා පොල්වතු දෙකක් වවාගත්තා නං මීට හොඳයි ආදී නානාප්‍රකාර කයි කතන්දර කියකිය සිංහල බෞද්ධයා සහ බෞද්ධ සංස්කෘතිය පට්ට ගහපු කට්ටියකගෙම නියෝජනයක් තමයි කියලා. එතකොට ඒකෙ සැඟවුණු අරමුණ මොකද්ද?

වලිග විකාගෙන නිර්දේශපාලනිකයි කිව්වට මුලදී හැංගිලා වෙස් බැන්ඳ කට්ටිය දැන් එළිපිට නටනවා. එතකොට අර නිර්දේශපාලනික ලණුව දුන්න ගමන් ගිලගෙන ගිලගෙන ගිය ඇන්ඳුණු සෙට් එක ඇටිකෙහෙල් කෑව රිලව් ගාණට වැටිලා ඉවරයි, ලැජ්ජාවට කතා කරන්න අමාරුයි.

දවස් 25ක් සිදුවීමක් නැතුව ඉන්න දැන් නං අමාරුයි නේද?
හරි, අරගල කරනවා නං කරන්න ඉතින් සාකච්ඡා කරන්නත් බැරිනං මොකද කරන්නේ කියලා අහලා මහින්ද එයාගේ පාඩුවේ ඉන්න කොට අවුල්. කොහෙන් හරි කාවහරි කොනිත්තලා ගේම ඇදගන්න ඕන. එතකොටනෙ අරගලේ මර්ධනය කළා කියලා දහ අට සන්නිය පටන්ගන්න පුළුවන්. අරලියගහ මන්දිරේ ඉස්සරහා ගිහින් කූඩාරම් අටෝගත්තෙත් නිර්දේශපාලනික ජනතාව නෙවෙයි. ඒ කට්ටියගේ හැසිරීම්, ආකල්පය, කරන දේවල් දිහා බැලුවම ඕන ළදරුවෙකුට තේරුම් යනවා ඇවිත් ඉන්නේ සද්භාවයෙන් නෙවෙයි, පොලීසිය එක්ක ගැටුමක් ඇති කරගෙන ඒකෙන් වාසියක් ලබාගන්න කියලා. ඒකනේ අර උපවාස අප්පුහාමි මළාම පොලීසියට වගකීම් ගන්න කියන්නේ, සැරින් සැරේට වාද කරගෙන අතපය උරුක් කරගෙන ගිහින් පොලීසිය කුපිත කරවන්න හදන්නේ. ඒ ඉන්නේ අනිවාර්යයෙන්ම කුලීකාරයො සෙට් එකක් බව පැහැදිලියි.

ඊළගට ඊයේ අන්තරේ චීවරධාරීන්ගේ නාඩගම. චීවරධාරීන් කියන්නේ ඒ බෞද්ධ භික්ෂූන් නෙවෙයි, කොණ්ඩ රැවුල් වවාගෙන චීවරය දරාගෙන ශාසනේ පිහිටෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගෙන ගොඩගියාට පස්සේ හීරලුවෝ වෙන්න ඉන්න, දේශපාලන ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහය දෙන තරුණ කණ්ඩායමක්. පිටස්තරයන් ඒ බව දන්නෙ නෑ, නමුත් ප්‍රසිද්ධියේ පිළිගත්තත් නැතත් හැම ශ්‍රී ලාංකිකකයෙක්ම ඒක දන්නවා. ඔවුන්ගේ හැසිරීම අපි දැක්කා. ඒ වෙලාවේ ගැටුමක් ඇති කරගන්න උපරිම උත්සාහ කළා. ඇයි? ගැටුමක් ඇතිවුණා නං, ඒක හීරුමක් හරි මේ දේශපාලනික චීවරධාරීන්ට වුණා නම් ඒක ප්‍රචාරණයට හොඳ තුරුම්පුවක් මෙන්න ශ්‍රී ලංකා ජනරජය බෞද්ධ භික්ෂුව මර්ධනය කරනවා කියලා! 

දැන් 12ක් අත්අඩංගුවට අරං. එතකොට එතන හැසිරීමත් අපිට පේනවා. අර නිර්දේශපාලනික බැනරය වගේමයි මේකේ සාමකාමී කියන බැනරයත්. සාමකාමී නෑ, ඒ මුවාවෙන් ඉඳන් ප්‍රචණ්ඩකාරී ප්‍රකෝපකාරී හැසිරීම් තමයි ගේන්නෙ. අසාමාන්‍ය විදිහට ශ්‍රී ලංකා පොලීසිය ඉවසීමෙන් කටයුතු කරනවා.💐 එතකොට මෙච්චර වෙලා මෙන්න පොලීසිය අපිට ගහනෝ, මිනී මරනෝ කියලා නටන උන්දැලා ගිහින් එක පොලිස් නිලධාරියෙක්ව අඬවනවා 'අන්න අර අයියා අඬනවා, අනේ මේ තාත්තාගේ ඇස්වල කඳුළු, ඇඬෙනවා නේද ඔයාට, අනේ උම්මා මැණික එන්න ඔයා අඬන්න එපා' කියලා බොරුවට බදාගෙන වීඩියෝ කරලා එතනත් වාසියක් ගන්න හදනවා එයාලා ඉන්නෙත් අපිත් එක්ක කියලා. පුදුම ආසාවක් තියෙන්නේ මිනිස්සු අඬවන්නයි, නලවන්නයි! 😂 හැරෙන හැරෙන පැත්තට ප්‍රචාරණ උප්පරවැට්ටි දානවා😅

ආ.. රඹුක්කන ගැනද අහන්නේ? ඒකට පරීක්ෂණයක් යනවා. හැබැයි වීඩීයෝ දර්ශනවල හැමෝගෙම හුණු කිල්ලෝට ඇරිලා පේනවා. ගල් ගැහුව කතන්දරෙත් බොරු නෙවෙයි බව පේනවා. බවුසරේ ළග හැසිරීමත් පේනවා. දැන් මැරිච්ච මනුස්සයව මතක නෑ නේද? ආ අන්න ඒක තමයි ඔය උඩ දාන ගොඩක් වීරයන්ට වෙන්නේ. අත්තේ වාඩි කරන්නේ වීරයෙක් කරලා වුණාට ඇත්තටම මෝඩකම හින්දා ඉත්තෙක් වෙච්ච මනුස්සයෙක්. 

දැන් දොළහක් අත්අඩංගුවට අරං. පාර්ලිමේන්තුවේ මනූෂ කිඹුල් කඳුළු හලනවා අන්න 12ක් අරෙස්ට් කරලා, අනේ එයාලට එහෙම කරන්න එපා කියලා. එයාලා සූටි සුරතල්කමට කරන දඟවැඩ කියනවා. දඟවැඩවලට එයාලගේ සහයත් තියෙන බව නොකියා කියනවා. දියවන්නාවේ කිඹුල්ලු පිරිලා! 🐊

බලං ඉමු මොකද වෙන්නේ කියලා. 
ඔය තාම ගිලපු ලණු වමාරගන්න බැරුව ඉන්න හිතවතුනුයි ආසාවෙන් ගිලින හිතවතුනුයි මෙන්න මේක විතරක් මතක තියාගන්න. තරුණ ආවේග තමයි හැමදාම දේශපාලන ගේම්වල ප්‍රධාන වේදිකාව. ඒ වේදිකාවේ නග්ගවලා පස්සට පැට්‍රල් ගැහුවම හරක් වගේ වලිග කරකවලා උඩ තියං ඕගොල්ලෝ වට දුවද්දී බලං ඉන්න අයට ආතල්. පෙට්‍රල් ගැහුව උංට ඊටවඩා ආතල්. හැබැයි පස්සේ දැවිල්ල ගන්නේ තමන්ටමයි. එහෙම වලිග උස්සං දුවලා මැරිලා වැටුණම තමන්ගේ පවුලේ මිනිස්සුන්ට මිසක් පෙට්‍රල් ගහන උංට කැක්කුමක් එන්නේ නෑ, ඇතිවෙන හිතේ අමාරුවකුත් නෑ. 

අනික අරගලවලට දිවි පුදලා වීරයො වෙලා දේවත්වයට පත්වුණ කිසිකෙනෙකුත් නෑ, බොරු නං අහන්න අනුරගෙන්! 😅

#රැවටෙනරවටනඅරගල
#සාමකාමීඅරගල
#නිර්දේශපාලනිකයිලුඉතින්
#කොහෙදෝයන්නේකව්දෝදන්නේ
#narcissisticprotestors
#peacefulprotestersmyfoot


අනුර සහ ෆයිල්

2022 මැයි 4දා

තව දශක දෙක තුනක් පස්සට ෆයිල් ගෙනාවා නං වටිනවා!
එයාලත් චන්ද්‍රිකා නෝනා එක්ක මැති ඇමතිකම් කළානේ. ඒවයේ ෆයිලුත් ගේන්නකෝ😁
භීෂණයකුත් කළානේ. ඒකෙ ජීවිත සහ මහජන දේපල හානියත් ෆයිල් කරලා ඇතිනෙ ඔහෙලා? තමන්ගේ එකෙක් නැති නොවුණ උං එන්න එපා මෙතන 88-89 කියලා හිනාවෙන්න, වැලලෙන්න! ඒ දාර ජෙපි ගතිය😂 දැං ඉතිං හිනාවෙනවා ඇරෙන්න කොරන්න දෙයක් නෑනෙ අපරාධ මකාගන්න! 
ෆයිල් ඇයි දන්නේ නෑ මෙච්චර කල් පෙට්ටගමේ ගහං හිටියේ! 2015ත් එළියට නොදා ඇයි දැං?
මේක තමයි හේතුව. ජෙප්පො ෆෝම් වෙලා නිර්දේශපාලනික අරගලය එයාලා බලයට ගේන්න කරන අරගලයක් කියලා හරවගෙන හින්දා. කට්ටිය මේ සැරේත් ඇන්ඳා. හරිම ලස්සනයි 👌

#රැවටෙනරවටනඅරගල 
#akdgotpiles😂
#පයිල්අනුර

මං මැරෙනවා!

2022 මැයි 2දා

ඒ මනුස්සයට මැරෙන්න ඕන නං මැරෙන්න දෙනවලා හලෝ!

මෙන්න එයාගේ වචන:
"මං ඉන්සියුලින් ගන්න රෝගියෙක්. එහෙම තියෙද්දී තමයි මං මේ උපවාසය කරන්නෙ!" - ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ස්වාධීන තීරණයක්!

"මම මේ මොහොතේ ඉඳන් කිසිම විදියක බෙහෙතක් ඇඟට දාගන්නෙ නෑ, සියලුම වෛද්‍යාධාර ප්‍රතික්ෂේප කරනවා." - හරි, ඒකත් ඒ පුද්ගලයගේ කැමැත්ත සහ තීරණය

"මං මෙතන මැරුණොත් ඒ වගකීම ලංකාවේ පොලීසිය සතුයි. ඒ වගකීම පොලීසිය ගන්න ඕන. මගේ මරණයේ වගකීම මං ගන්නෙ නෑ!"

හලෝ මේ, තමුන්නැහෙ ලෙඩෙක් නං, ලෙඩට බෙහෙතුත් එපා නං, ලෙඩ තියං උපවාසත් කරනවා නං ඒ ඔක්කොම වගකීම ඔහේගේ!
මැරෙන්න දඟලලා ඒ වගකීම පොලීසි පිට ගහන්න දඟලන්න තරං නපුංසක වෙන්න ලෑස්තිවෙන්න එපා!
මේ වගේ බොරු චණ්ඩින්ගෙයි ආත්මාර්ථකාමීන්ගෙයි පාට්වලින් නං අරගල කරන්නේ දෙයියන්ගෙම පිහිටයි ලංකාවට!

හැප්පෙන්නේ වැරදි පරම්පරා කිව්වට මේ ගොල්ලෝ තාම ඉන්නෙ පුතා කෙල්ලෙක් එක්ක යාලු වුණාම සම්බන්ධෙ නවත්තනකල් නොකා නොබී මාරාන්තික උපවාස කරන ඉන්දියාවේ අම්මලාගේ මානසිකත්වයේ! විලි ලැජ්ජයි ඉතින්.😂😂

ඒ යකාට මැරෙන්න දෙනවලා. උන්දෑ හිටියත් තමන්ගේ දරුපවුලටත් ඇණයක් වෙලා නවතින ජාතියේ කාලකණ්ණි මානසිකත්වයක් තියෙන එකෙක්. ඕවට පුච්චන්න ලංකාවේ පෙට්‍රල් නෑ!
සුබ ගමන් ඈ! 👌

#රැවටෙනරවටනඅරගල
#සාමකාමීඅරගල
#සලුසලතමයි
#ආතල්ලංකා
#අපේලොජික්

තවත් මැයි දිනයක්

2022 මැයි 02දා.

2022 මැයි 01 නිවැරදිව කියවපු කාටූන් එකක්!

මැයි දිනයේ නියම අරමුණ වැඩ කරන ජනතාවගේ සහ කම්කරුවාගේ ජයග්‍රහණ සහ ශ්‍රම දායකත්වය සැමරීම! ඒ ඇරුණම මැයි පළමුවෙනිදා වෙන්වෙලා තියෙන්නේ කම්කරු අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න.

නමුත්, ලංකාවේ වෙන්නේ ඒක නෙවෙයි. ව්‍යුහමය වෙනසක් හෙවත්  සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන්න කියලා පටන් ගත්ත අරගලයක් කියලා එකක් ක්‍රියාත්මක වෙන ලංකාවේ මේ වතාවේත් වුණේ ඇත්තම කම්කරු දිනයක් සැමරීමක් නෙවෙයි!

සජබ සහ ජවිපෙ ප්‍රධානව ශ්‍රීලනිපය පවා පාරට බැහැලා ඉල්ලුවේ දේශපාලනිකව ඒගොල්ලන්ගේ කඳවුරු ශක්තිමත් කරවන්න, එයාලගේ දෑත් ශක්තිමත් කරවන්න! රාජපක්‍ෂලාට එරෙහි හටන තමන් බලයට ගෙන ඒමේ අරගලයක් කරගන්න සජබ සජිත් සහ ජවිපෙ අකුදි ගැටෙන හැටි බලා ඉන්න ලස්සනයි👌 ඒ සේරම කම්කරුවා වෙනුවෙන්නේ කියලා හිතෙද්දි මටත් හිතෙනවා ඔන්නොහෙ අරගලේට සහය දෙන්න! 😂

හැබැයි එයාලගෙ දෑත් ශක්තිමත් කරවන්න නෙවෙයි, මගේ දෑත් ශක්තිමත්ද කියලා ටෙස්ට් රන් එකක් දෙන්න😂😂

#රැවටෙනරවටනඅරගල
#ආතල්ලංකා
#සලුසලතමයි

ලංකාවේ මාරාන්තික උපවාස

2022 මැයි 01දා

හැමදාම කියනවා වගේ ජීවත් වීමේ හෝ මියයාමේ අයිතිය තියෙන්නේ තමන්ටමයි, තමන් ගැන. 

එතකොට ලංකාව වගේ රටක මාරාන්තික උපවාස කියන්නේ තනිකරම emotional manipulation එකක්. මොකද ලංකාවේ අපිට ඕන අනිත් මිනිස්සුන්ගේ ඒ අයිතියට හොට දාන්න. ඉන්නකල් අනිත් මිනිස්සුන්ට ජීවිතේ තිත්ත කරන මිනිස්සු පවා ඒ අයිතියට බලපෑම් කරන්න දෙසැරයක් හිතන්නේ නෑ. ඒක දන්න නිසා ලංකාවේ මාරාන්තික උපවාසයක් කවදාවත් මාරාන්තික වෙන්නේ නෑ!

මාරාන්තික උපවාසයක් කරන්න යම්කෙනෙක් තෝරාගන්නවා නම් ඒක ඔහුගේ/ඇයගේ පෞද්ගලික තීරණයක්. යම් කාලයක් දුක් විඳලා මැරෙනවද ක්ෂණිකව මැරෙනවද කියන එකත් ඒ තීරණයේම ප්‍රධාන කොටසක්. එතකොට ඒ අයිතියට ගරු කරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව වතුර පොවන්න, ලෙමන්පෆ් කවන්න, ජීවනී පොවන්න, සේලයින් දෙන්න, ග්ලූකෝස් දෙන්න යන්නෙ අපි ඉබේම ඒ emotional manipulation එකේ ගොදුරු බවට පත්වෙන හින්දා. ඒ වගේම ඒකට තීරණය ගත්ත කෙනා ඉඩදෙනවා කියන්නෙත් එතන අවංක චේතනාවක් හෝ කැපකිරීමක් නෑ. මං මැරෙන්න යනවා මාව බේරගනිල්ලා  සහ මං මැරුණොත් ඒ උඹලා හින්දා කියන කාරණා දෙකයි එතන මූලික අවිය. අනිත් මිනිස්සු බයයි ඒ චෝදනාවට. ඒ චෝදනාවට ලක්වීමේ අවධානම සහ එතනදී ඇතිවෙන වරදකාරී හැඟීම හින්දා ඒ සිද්ධියට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අන්න එහෙම අනිත් අයගේ හැඟීම් දඩමීමා කරගෙන තමන්ට අවශ්‍ය (බොහෝවිට) අන්තිම අසාධාරණ හෝ ප්‍රායෝගික නොවන දේ දිනාගැනීමක් තමයි මාරාන්තික උපවාසයක සරල සිද්ධිය. 

හැබැයි කව්රු හරි මරණාසන්න මොහොතක හරි ජීවත්වෙන්න තීරණය කරනවා නං, ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අනිත් අයගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා නං ඒ සහයෝගය ලබාදෙන්නත් අපිට මානුෂීය වගකීමක් යුතුකමක් තියෙනවා. ඒකේම අනිත් පැත්ත විදිහට කෙනෙක් ආසාවෙන් ජීවත් වෙන්න හදනවා නං, ඒකට උදලු නොදා ඉන්නත් අපි හැමෝටම මානුෂීය වගකීමක් සහ යුතුකමක් තියෙනවා. 
ඒත් දෙවැනි කාරණය එහෙම වෙන්නේ නෑ! 
මැරෙන්න යද්දි බේරගන්න කතා කළාට ජීවත් වෙන්න හදද්දි මඩ ගහලා, ඕපාදූප පතුරලා, cyber bullying කරලා දහ අට පාලිය නටන මිනිස්සු මැරෙද්දි හෝ මැරුණට පස්සේ පොළවේ පස් කනවා. 

මේ කතන්දරේ තේරුම් ගන්න පුළුවන් වෙනතාක් කල්, අපි හැමෝම කාගෙ කාගෙ හරි psychological game එක්ක ඔට්ටු වේවි. සංසාර චක්‍රය වගේ, හැමදාම!

අරගලය හයිජැක් ද?

2022 අප්‍රේල් 30දා

අරගලය දැං ජනතාවගේ නෙවෙයි! ඒක හයිජැක් කරලා ඉවරයි. ඒක නිසා ඔය ළමයි දැං ගෙදර යන්න 😂😂😂

තාම අවිශ්වාස නං අරලියගහ මන්දිරේ ඉස්සරහ උඩපනින උන්දැලා ටික දිහා විමසිල්ලෙන් බලන්න. ඒ ඉන්නේ ඇත්තම පීඩිත ජනතාව නෙවෙයි අනිවාර්යයෙන්ම කාගේම හරි කුලීකාරයො සෙට් එකක්. උත්සහ කරන්නෙම පොලීසිය එක්ක අනවශ්‍ය ගැටුමක් ඇතිකරගන්න. ඒ කතාව සහ හැසිරීම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි මධ්‍යස්ථව බැලුවොත්. මැරෙන්න පණ අදින උපවාස ලංකාවේ ඕනතරං වෙලා තියෙනවා. ඇත්තටම ප්‍රශ්න තියෙන මිනිස්සුත් ලංකාව දැකලා තියෙනවා. ඇත්තටම ගුටි කෑව උන්වත් ලංකාව දැකලා තියෙනවා. ඒක හින්දා නලුවෝ නිලියෝ අඳුනගන්න බැරි තරම් මෝඩ වෙන්න බෑ මං හිතන්නේ.

#සාමකාමීඅරගල
#රැවටෙනරවටනඅරගල
#සලුසලතමයි
#ආතල්ලංකා

බැංකු අනවශ්‍යයි!

2022 අප්‍රේල් 29දා

මේ රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක, 
ඒ ආර්ථික අර්බුදයෙන් පීඩනයට පත්වෙච්ච මිනිස්සුන්ගේ පීඩනය උඩ එක එක පුද්ගලයන්ගේ ජනපති, අගමැති සිහින එළිවෙන්න පොර කන වෙලාවක,
අරගලයේ වෙස්මුහුණු දෙබෑ කරගෙන සැබෑ මුහුණ දොරට වඩින වෙලාවක,
ගැලවිච්ච සලුව යන්තම් සුළැඟිල්ලෙ පටලවගෙන විලිවහගන්න පුරඟනෝ ඒ ගමන..... 
ඊයේ වර්ජනය නොකරපු බැංකුවල තියෙන ගිණුම් වහන්නලු! සම්සාරේ! 😅😅
මෙව්වා මොළ හත්දාහවල්! ❤️

අපි එහෙම කරමු. 🤝
සංසාර කාලයක් දුක්මහන්සියෙන් හම්බ කරපුවා ගෙනල්ලා ලිප්බොක්කේ වලලමු. 
මේ වෙලාවේ එන්න එන්නම වැඩිවෙන හොරු මංකොල්ලකාරයො ටිකට ව්‍යාපාරික අවස්ථාවන් සලසමු. 
ලිප් බොක්කවල් සේරම ගොඩදාලා අඳුනගන්නවට බයේ යන්න කලින් මරලා දානකොට මද්දුම බණ්ඩාරලා වගේ දිවි පුදමු. 
ආර්ථිකය ගොඩ දාගන්න පත්කරපු මිනිස්සුන්ට ඒ වැඩටික හරියට කරගන්න නොදී උදලු ව්‍යාපාරය පටන් ගමු. 

පය බරවායට පිටිකර බෙහෙත් බඳිමු, හා ද?❤️😂😂😂

ප.ලි.
ඔය කියන බැංකු සහ මූල්‍ය ආයතන ගැන මටත් ඇති විශේෂ සත්වකරුණාවක් නෑ! මොකද ඔය කොයි එකෙත් මට පාරිභෝගිකයෙක් විදිහට වැදගත් වෙන්නේ තත්ත්වයෙන් උසස්, ගුණාත්මක සේවාවක් සපයනවද විශ්වාසනීයත්වය රකිනවද කියන කාරණා දෙකයි. අඩුවැඩි වශයෙන් හැමෝම බැංකු සහ මූල්‍ය ආයතනවලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකයි ආයෝජන ප්‍රතිලාභය කොහොමද කියන කාරණාවයිනෙ. 
අරගලයට සහය දුන්නා කියලා උඩ නග්ගල තියෙන සමහර ආයතනවල සේවාව කොයිතරම් හොඳද කියලත් අත්දුටු මිනිස්සු නැතැයි ඉතින් (මං ඇරෙන්න) 😂

#අපේලොජික්
#ආතල්ලංකා
#රැවටෙනරවටනඅරගල

නාහේ කපමු!

2022 අප්‍රේල් 20දා

පෙරුම් පුරලා අඬලා වැලපිලා ණය වෙලා ගෙන්න ගත්ත තෙල් ටික බෙදාගන්න එකට අකුල් හෙලුවොත් ඒකෙන් විඳවන්නෙත් අපිම තමයි!

ආණ්ඩුව එක්ක තරහට බවුසර් ගිනි තිබ්බොත් ඒ පුච්චන්නෙත් අපේම සල්ලි තමයි!

රේල්පාරවල් හරස් කරලා කොට දාලා දහ අට පාලිය නැටුවම විනාශ වෙන්නෙ අපේ පොදු දේපලම තමයි! ඒවා පිළිසකර කරන්න වියදම් කරන්න වෙන්නෙත් අපිටම තමයි!

පාරවල් වහලා කාටවත් ප්‍රවාහනයට බාධා කළොත් ගෙවල්වලට, හදිසියකට, ලෙඩදුකකට යාගන්න බැරිවෙන්නේත් අපිටම තමයි!

මිනිස්සු ලීස් දාලා ණය වෙලා ආසාවෙන් ගන්න ලස්සන වාහන, හම්බකරන් කන ලොරි බවුසර් ගහලා, ගිනි තියලා, විනාශ කරලා දැම්මම බඩේ පාර වදින්නෙත් අපිටම තමයි!

මෙච්චර පරිසර දූෂණයක් වෙලා තියෙද්දි ගමේම තියෙන ටයර් ගෙනත් පුච්චලා වැඩි කරන වායු දූෂණයට විඳවන්න වෙන්නෙත් අපිටම තමයි!

මූණ එක්ක තරහට නාහෙ කපාගන්න එපා ඉතින්🙏

#සාමකාමීඅරගල
#PeacefulProtesters
#srilankatoday