Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

Saturday, January 25, 2025

අසල්වැසියා සහ අපි

අපේ අසල්වැසියා ලෝකෙ සිව්වෙනි බලවතා. හැබැයි අලුත් ලංකාණ්ඩුව තාම ඉන්නෙ අසල්වැසි මානසිකත්වයෙ නෙවෙයි, ඉන්දියානු යටත් විජිත මානසිකත්වයෙ!
ඔව් ඉතින් අර ඒ කාලේ වේදිකාවල කරපු චණ්ඩි කතා කතාම තමයි ලංකා ඡන්දදායකයා රැවටුණාට.

අසල්වැසි මානසිකත්වයෙ හිටියා නම් අනුර ප්‍රමුඛ ජාජබෙ මේ වෙද්දි බලන්න ඕන ඉන්දියාවට දෙන්නම විතරක් නෙවෙයි, එහෙන් ගන්න තියෙන්නෙ මොනවද, ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. තරුණ ව්‍යවසායකත්ව නියෝජ්‍ය ආමාත්‍යවරයා වුණත් පොල් මිරිකන වෙලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන ටිකක් අවධානය යොමු කළා නම් වටිනවා. 

2000 දශකයේදි ජාත්‍යන්තරයට යන්න ගත්ත Infosys, Tata Consultancy Services (TCA), HCL, Wipro වගේ ඉන්දියානු ආයතනවල අද ජාත්‍යන්තර ව්‍යාප්තිය බලන්න. ඉන්දියානු දළ දේශීය නිෂ්පාදනයෙන් 8-10%ක් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්. ඒක වාර්ෂිකව ඩොලර් බිලියන 250කට ආසන්න ආදායමක්, ඒ සම්පූර්ණ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමින් 18%ක් වගේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ආදායම 2022 වාර්තාවලට අනුව ඩොලර් බිලියන 1.5යි. මේ අගයෙ සැලකිය යුතු වැඩිවීමක් නම් වෙලා නැති බව සහතිකයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විතරක් ගෝලීයව ඉන්දියානු ශ්‍රම සම්පත් දායකත්වය මිලියන 5කට වැඩියි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය 175,000ක් පමණ.
ජාත්‍යන්තරව අපි ඉන්නෙ කොතනද කියලා පැහැදිලියි නේද?

Gartner පුරෝකථනවලට අනුව මේ වසරේ ගෝලීය තොරතුරු තාක්ෂණ වියදමේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා, විශේෂයෙන්ම Cyber Security, Business Intelligence සහ Data Analytics කියන අංශ මූලික කරගෙන. ට්‍රම්ප් රජයේ AI ව්‍යාපෘති ආරම්භයත් මේ එක්ක සමපාත වෙනවා. නමුත් ට්‍රම්ප්ගේ විදේශ සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්තිවලින් අනිවාර්‍යෙන්ම ඇමරිකාවේ සිටින ඉන්දියානු තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන්ට බලපෑමක් සිද්ධ වෙනවා. 'අනේ ඔයාලා කැමැත්තක් කරන්න එහෙනම්, අපේ අයව අපි ගෙන්න ගන්නම්' කියනවා වෙනුවට කටකාර ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ක්‍රියාකාරීව නැගී සිටිනවා, සාකච්ඡා කරනවා තමන්ගේ රටට ලැබුණ සහ ලැබෙන්නට තියෙන අවස්ථා, තමන්ගෙ රටේ ව්‍යාපාරිකයන් රැකගන්න. ඒ සටනට ඔවුන්ගේ ප්‍රධානම පාරිභෝගිකයා වෙන ඇමරිකාවද මේ හිච්චි ශ්‍රී ලංකා දූපතද කියන එක අදාල නෑ.

බිලියන 1.4ක ජනගහණයක් ඉන්න ඉන්දියාවෙ මොන ක්ෂේත්‍රයෙන් අවස්ථාවක් ලබාගන්නත් යම යුද්ධයක් කරන්න ඕන. ඒක නිසාම ජාතියක් හැටියට ඉන්දියානුවො හොඳින් හරි නරකින් හරි තමන්ට ඕන දේ දිනාගන්න උත්සහ කරන, බැරියර් කඩාගෙන යන වීර්‍යවන්ත කොටසක්. වර්ග කිලෝමීටර් මිලියන 3.2ක වතුරවත් නැති, ජාතික දේශපාලනයෙ වෙන දෙයක් ගැන කිසිම අදහසක් නැති අන්ත දුෂ්කර ගම්මාන තියාගෙන, අටෝරාසියක් සංකීර්ණ අභ්‍යන්තර ප්‍රශ්න තියාගෙනත් ඉන්දියාව රටක් හැටියට යන ගමනෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා; රජයටත් ජනතාවටත් දෙගොල්ලොන්ටම.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #srilanka #informationtechnology #Global #nppsrilanka

Wednesday, January 22, 2025

ලංකා හකුර

"ඈ අන්දරේ.. මේ හකුරු හෙන රහයිනෙ බොල! කොහෙද කොහොමද මේවා හදන්නෙ හැබෑටම?"

"පස්වාන් දහසකට බුදුවන්ඩ අවසර දේවයන්වහන්ස, ඔව්වා හදන්නෙ අපේ ගමේ. බොහොම පිරිසිදුවට, ආටෝපයට. පිරුවට ඇඳලා, පිරුවටෙන් වටකරල, මුඛවාඩම් පැලඳගෙන කෙල බිඳුවක් දාඩිය බිඳුවක්වත් නොවැටෙන හැටියට. කිතුල පවා පිරුවටෙන් වටකරලා පාවඩ එලලා මඟුල් බෙර වයලා ගෞරව පූර්වකව මුට්ටිය බිමට වඩවන්නෙ..."

"හැබෑටම!..එහෙම නම් ඉතින් රස වෙන එක අහන්නත් දෙයැක්‍ යෑ. අන්දරේ, මට ඔය හකුරු හදන හැටි බලන්ට ඕන.."

රජතුමා වඩිද්දි කිතුලට ගිය දාඩියෙන් පෙඟිච්ච කලු කෙසඟ හීන්දෑරි මිනිහෙක් රූටලා ගහ පල්ලෙ පලච්චි ලු!
ගොමස්කඩ සරං කෑල්ලකින් යන්තම් විලිවහගත්තු කොණ්ඩා රැවුල් හැඩපලු ගෙතිච්චි තව මිනිස්සු කීපදෙනෙක් ගිනිරස්නෙට තුම්මුණින් දාඩිය වගුරුවමින් පැණි පත්ගානවලු!

අන්දරේ කිව්ව හැටියට මේ මොකද්දෑ මේ කියලා යක්ෂාරූඨ වෙච්ච රජතුමා අන්දරේ කැඳවලා ඇහුවලු 'මොකද්ද යකෝ මේ?? කෝ තෝ කිව්ව පිරුවට, මුඛවාඩම්, මගුල් බෙර, පාවඩ..??"

අන්දරෙත් ටිකක් ඈතින් ඉඳන් අහිංසකව හිනාවෙලා කිව්වලු "අනේ පස්වාන් දහසකට අවසර මතු බුදුවන රජතුමනි, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" කියලා.

ලංකාවට වුණෙත් ඒක නෙව.
අපි නම් මෙහෙමයි කියලා පිරුවට මවලා පෙන්නුවම 'අනෙ දෙවියනේ මෙව්වයැ රහ, ලස්සන, පිරිසිදුකම' කියලා 2/3ක්ම දුන්නා නෙව. 
දැන් ඉතින් හිල් ඇඳුම් ඇඳගෙන, යකා නටාගෙන, පත් හැඳිවලින් හතර වටේ නෙලාගෙන, පැණි තාච්චුවට කෙළ ගහගෙන හදන හකුර දැක්කම විලම්භීතවන ඡන්දදායක රජ වැසියාටත් කියන්න තියෙන්නෙත් ඔච්චරයි!

"කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!"

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka

Monday, January 20, 2025

රක්ෂණ

රක්ෂණාවරණ ලංකාවේ නම් ඒ තරම් ගණන් ගැනෙන දෙයක් නෙවෙයි (බහුතර මතයට අනුව). වෛද්‍ය හෝ ජීවිත රක්ෂණ රැකියා කරන අයට නම් ඒ හරහා ලැබී තියෙනවා, සාමාන්‍යයෙන් සේවකයාගේ රක්ෂණාවරණයෙ දිගුවක් බිරිඳ/ස්වාමියා සහ දරුවන්ට ලැබෙනවා. ඒත් අවිවාහක සේවකයන්ගෙ දෙමව්පියන් ඒ දිගුවට ඇතුළත් කරන්නෙ ආයතන අතලොස්සක් විතරයි (මේක මානව සම්පත් කළමණාකරණ ප්‍රධානීන් සලකා බලන්න ඕන මානුෂීය කාරණාවක්).

ඒ ඇරුණම වාහන රක්ෂණ, දේපල රක්ෂණ හරි විදිහට අනුගමනය කරන පිරිස අඩුයි.
මාසිකව හෝ කාර්තු වශයෙන් කරන ගෙවීමට නිසි වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව රක්ෂණ සම්බන්ධයෙන් තියෙන සුලබ විචිකිච්ඡාවක්. ඒක නිසා බොහෝ දෙනෙක් තෙවැනි පාර්ශව රක්ෂණ වගේ 'ඇඟ බේරා ගන්නා' විසඳුම්වලට යනවා. ඒකට මේ රක්ෂණායතනවලින් ලැබෙන නරක අත්දැකීමුත් බලපානවා.
පරිස්සමින් බලාගන්නා තමන්ගේ සහ සමීපතමයන්ගෙ ජීවිත වගේම දේපල යාන වාහන ව්‍යාපාර නිසියාකාරව රක්ෂණය කිරීම වැදගත්. නමුත් මේ රක්ෂණ කොන්දේසිවලට හදිසි බලපෑම් කරන්න පුළුවන් හේතු ස්වාභාවිකව හරි කෘත්‍රිමව හරි ඇතිවෙන්න පුළුවන්. උදාහරණයකට 2004 දෙසැම්බර් 26 සුනාමි ආපදාව වෙද්දි වෙරළබඩ ව්‍යාපාර, දේපල සහ යාන වාහන සුනාමි තත්වයකට රක්ෂණය වෙලා තිබ්බෙ නැහැනෙ. ඒ නිසා රක්ෂණාවරණ තිබිලත් අගතියට පත්වූ පිරිසක් ඉන්නවා. 

ලොස් ඇන්ජලීස් නිතර ලැව්ගිනි හටගන්නා ප්‍රදේශයක්, ඒ අවදානම හොඳින් දන්නා කලාපයක් වෙලත් කිසිවෙක් දවස් 13ක් තිස්සෙ මේ තරම් විනාශයක් කරමින් ඇවිලෙන ගින්නක් බලාපොරොත්තු නොවූ බව පැහැදිලියි. ඇතැම් රක්ෂණ ආයතන මේ කලාපයෙන් ඉවත් වෙලා තියෙන්නෙ කාලයකට කලින්. හේතුව ඔවුන්ට මේ ප්‍රදේශයෙන් තියෙන ව්‍යාපාරික අවදානම වැඩිකම. වාර්තාවලට අනුව ඉහළම පෙලේ රක්ෂණායතන 12කින් 7ක්ම කැලිෆෝනියාවට නව රක්ෂණාවරණ නිකුත්කිරීම 2024දි නවත්තලා තියෙනවා. මේ වෙද්දි දේපල 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් පුළුස්සමින් පැතිරෙන මේ ගින්නෙ දේපල හානිය ඩොලර් බිලියන 250කට වඩා වැඩි බව දැනට ගණන් බලා තියෙනවා. වන්දි ගෙවීම් අවම වශයෙන් ඩොලර් බිලියන 30ක්වත් මෙයින් ඇතිවනු ඇති බවයි විද්වත් මතය. ලංකාවේ වගේම ඇමරිකාවෙත් රක්ෂණාවරන නොගෙවූ නමුත් මේ හදිසි විපත නිසා වන්දි ඉල්ලීමේදී ඇදෙන ප්‍රශ්න නිසා තවත් කලබගෑනියක් ඇතිවෙමින් තියෙනවා. 

අනෙක් අභියෝගය උකස් ණය (mortgage). ගින්න කොයිතරම් විශාල වුණත් ඒ ගත්තු උකස් ණය ආපහු ගෙවන්න දේපල හිමිකරුවන් බැඳිලා ඉන්නවා. සමහරවිට රජයෙ මැදිහත්වීමෙන් ඔවුන්ට අවම වසරකවත් සහන කාලයක් ලැබෙයි කියන කාරණාව සංවාදයට ලක්වෙමින් තිබ්බත් ඒ කාලයට අදාළ පොලිය සහ වාරික කවදහරිම සම්පූර්ණයෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා. 

ණය සහ බය සකල මනුෂ්‍ය සංහතියටම පොදු කාරණාවක් බව ආයෙ ආයෙත් පැහැදිලි වෙන සිද්ධි දාමයක් මේක. මිනිස්සුන්ට භෞතික දේපල අවශ්‍යයි. සමහරවිට අනවශ්‍ය තරමක දේපල නඩත්තු කරන්නට සිද්ධ වෙනවා සමාජ ප්‍රතිරූප නඩත්තුව හින්දා. ඒ මොන දෙයකින් හරි නිරන්තර සැක සංකාවෙන් බයෙන් පීඩාවෙන් ජීවත් වෙන තරමට මිනිස්සු ජීවිත සංකීර්ණ කරගෙන ඉවරයි. දැන් ඉතින් ඒ සංකීර්ණ ප්‍රශ්න ලිහාගන්න විධි හොයන එකයි තියෙන්නෙ. 

මේකෙන් ලංකාවටත් පාඩම් ඉගෙන ගන්න පාඩම් තියෙනවා. හැබැයි රක්ෂණ කියන්නෙත් ව්‍යාපාරයක් නිසා හරි දැනුවත් භාවයකින් තීරණ ගන්න එක වැදගත්. මොකද ආදරයෙන් පිලිගැන්නුවට වන්දියක් ගන්න ගියාම පටිපාටිය දීර්ඝයි. 

මනුෂ්‍ය තීරණ ආයෙ ආයෙ හිතා බලන්න තල්ලු කරවන න්‍යාය පත්‍රයක් ස්වභාව ධර්මයා ක්‍රියාත්මක කරනවා වගේ.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #trendingnow

Sunday, January 19, 2025

වික්ටර් සහ වික්ටර්

රාවය කතෘ, ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් 75වෙනි අවුරුද්දෙදි අද ලෝකයෙන් සමුගත්තා. ජවිපෙ ඉහළම ක්‍රියාකාරීත්වයක (පොඩි අතුල) ඉඳලා 1971 අප්‍රේල් කැරැල්ල නඩුවෙ 7වෙනි චූදිතයා විදියට අවුරුදු 5කට හිරේ ගිහින් ආව වික්ටර් පහුකලෙක ඒ විප්ලවය මෝඩ තීරණයක් හැටියට දැකලා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය දේශපාලන ප්‍රවාහයට එකතුවෙනවා. හැබැයි ඔහු තුළ හිටිය දේශපාලන විප්ලවවාදියා වෙනස් වුණා කියලා හිතන්න අමාරු තරම් සාක්ෂි අවුරුදු 75ක ඒ ජීවිත කාලය තුළ ඔහු එකතු කරලා ගියා. ඔහුව අදහපු, වීරයෙක් හැටියට දැක්ක කොටසක් වගේම ඔහුට අකැමැති, වෛර කළ කොටසකුත් ඇතිවුණා. වික්ටර් කොයි දේශපාලන පක්ෂය බලයට ආවත් 'සදාතනික විපක්ෂය' හැටියට ඉන්න හිතලා තිබ්බද දන්නෙ නෑ.
විප්ලවකාරී වික්ටර් මාධ්‍යවේදී වික්ටර් බවට පත්වෙන්නෙ 1986දි. මාධ්‍යකරණයේදිත් දේශපාලනයේදී පෙන්නන්නට ඇති හිතුවක්කාර මිනිහම පෙන්නපු වික්ටර්ට ඇලවිච්ච දේශපාලන ලේබලය නිසාම සමහර ඔහුගේ ඇගයීම් ලැබිය යුතු පර්‍යේෂණාත්මක ජනමාධ්‍ය කටයුතුත් යටපත් වුණා කියලා මට හිතෙනවා. ඔහුගෙ කෘතිවලින් ලංකාවම දැනගත්තෙ 'චෞර රැජිණ' විතරක් වුණාට ඔහු පළවෙනිම පොත් දෙක ලියන්නෙ හිරේ ඉන්න අතර (1972-77) කාලයෙදි. සමාජීය ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න බවට විකසනය වෙන හැටි ගැන ඔහුගෙ අත්දැකීමුත් මේ ලිවිලිවලදි විශාල කාර්‍යයක් ඉෂ්ට කරන්නට ඇති. 

අනෙකා වික්ටර් රත්නායක.
කලෙක ලංකාවටම උන්මාදයක් වුණ, 'ස' ප්‍රසංගයෙන් රටක් නලවපු ගාන්ධර්ව වික්ටර්. අදටත් තමන්ගෙ හඬින් සිංහල ගීත අසන්නන් නලවන වික්ටර්.
හිරු ප්‍රවෘත්තිවල දැක්කා වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක සහ ලතා වල්පොල කියන ප්‍රවීණයන්ට ගෞරව බුහුමාන දැක්වීමක්. සාපේක්ෂව තරුණ දෙවැනි පෙළ තමන්ගෙ ගීත ගායනා කරනවා බලාගෙන කඳුලු පුරවගත්ත ඇස්වලින් හැඟීම්බර වෙලා ඉන්න වයසට ගිය වික්ටර්. මතක ඇති කාලෙකත් ශක්තිමත්ව පෙනී හිටි වික්ටර්. ලෝ දහමට අපි හැමදෙනාම යට බව පෙනුණු විනාඩි කීපෙන් පස්සෙ ප්‍රවෘත්ති බලන අස්සෙත් හුඟක් දේවල් හිතුණා.

වික්ටර්ලා දෙන්නෙක්. එකම දවසෙ තැන් දෙකක, එක්කෙනෙක් නොකියම ගිහින්. 
අනිකා තමන්ගේ ජීවිත කාලය පුරා කළ දේවල්වල ස්මරණ රස විඳිමින් ගෞරවයට පාත්‍රවෙනවා. 

වික්ටර් අයිවන් මගේ ප්‍රිය ලැයිස්තුවේ තැනක් ලද කෙනෙක් නොවෙයි. ඒත් ඒ වික්ටර්ට මීට වඩා යම් ගෞරවයක් ලැබෙන්නෙ තිබුණේ නැද්ද අඩුම තරමින් ඔහු නියෝජනය කළ දේශපාලන කඳවුරුවලින්වත්. විශේෂයෙන්ම ඔහුගෙ මුල් දේශපාලන කඳවුර බලයට පත්වෙච්ච කාලයක. 

කලාවයි දේශපාලනයයි වෙනස් නෑ. දෙකේම ඉන්නෙ එකම මිනිස්සු. ඒ ක්ෂේත්‍රවල ඒ ඒ ආකාර බෙදීම් ගැටුම් කල්ලි කඳවුරු තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම යම්කිසි දවසක කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වයට යටත්වෙන්න ඕන. 
එහෙම දවසක වික්ටර්ලා දෙන්නෙක් ලෝකේ දෙයාකාරයක සැලකුම් ලබන එකක් නැතිවේවි.
පහර දියයුතු හෙලා දැකිය යුතු දේ වගේම අගය කළ යුතු වටිනාකම දියයුතු තැනදි ඒ නිර්භයත්වයම පළ කරන්න තරම් සමාජ ආකල්ප වෙනස්වේවි.

වික්ටර් අයිවන්ට සුභ ගමන්.
වික්ටර් රත්නායකට චිරං ජයතු.
දෙන්නම වටින මිනිස්සු.💐

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

අග්නි

ලොස් ඇන්ජලීස් ලැව්ගින්න 12වෙනි දවසටත් ඇවිලෙනවා.

අග්නි හෙවත් ගින්න ලෝකයේ විනාශකාරීම දේවලින් එකක් නිසාම වෙන්නට ඕන පුරාණ හින්දු ඇදහීම්වල සිටම අග්නි දේවත්වයෙන් සලකන්නෙ. පැරණි වේද ශාස්ත්‍රයට අනුව අග්නි (දේව) සන්නිවේදනය, පාරිශුද්ධත්වය සහ පරිවර්තනය සංකේතවත් කරනවා. සියළු දේව ඇදහිලි ගින්න මුල්කරගන්නේ ඒ නිසා වෙන්නට ඕන. 

අග්නියෙ පැවැත්මෙන් තොරව ලෝකයට පවතින්න බෑ. ඇතුවත් බැරි නැතුවත් බැරි ගින්නෙන් කඨෝර සීතලකට උණුහුම ගෙනදීම, ඉවුම්පිහුම්, ලෝකයේ පැවැත්ම සමබර කිරීම වගේ යහපත ඇරුණම ලොස් ඇන්ජලීස් අත්දකින බිහිසුණු ස්වාභාවික විනාශ වගේම 1983, 1987-89, 2022දි ලංකාව අත්දැකපු කෘත්‍රිම විනාශත් සිද්ධවෙනවා.

අග්නියෙන් පටන් ගැනෙන අයහපතක් යහපතක් බවට හැරෙන්න අමාරුයි. මේ හැම ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ අග්නි-මූලික විනාශයකදිම නැතිවෙන කිසිවක් ආපහු ඒ ආකාරයෙන්ම ඇතිවෙන්නෙ නැහැ, මිනිස් සහ සත්ව ජීවිත, ස්වභාවික සම්පත්, ගේදොර යාන වාහන ඇතුළු භෞතික සම්පත් හිමිකරුවන්ට, රටකට අහිමිවුණායින් පස්සේ අළුවලින් නැවත පණදෙන්න බෑ. 
අවුරුදු ගාණක මිනිස් ජීවිතවල මතක සටහන්, හරිහම්බුකිරීම් එක මොහොතකින් අළුවෙලා යද්දි දැනෙන මිනිස් හැඟීම ඇමරිකාවටත්, ජපානයටත්, ඊශ්‍රායලයටත්, පලස්තීනයටත්, යුක්‍රේනයටත්, රුසියාවටත්, බංග්ලාදේශයටත්, ලංකාවටත් එකයි. 
කිසිදාක හැරවිය නොහැකි විනාශයක් බව දැනදැන ගින්න පාවිච්චි කරද්දි අමානුෂික නොවී ඉන්න තරම් මිනිස් චෛතසිකයන් දියුණුවෙන දවසක් එනවා නම් කොයිතරම් හොඳද.
ස්වාභාවික විපත් සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න, මග හරින්න බැරිවුණත් මිනිස්සුන්ගෙ පයිරොමේනියාව සුව වෙන දවසක ලෝකෙ සාමකාමී වේවි. 

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Thursday, December 26, 2024

Do Patti (Two Cards) - 2024

(2024 දෙසැම්බර් 26 දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) 

අපිට පේන, ඇහෙන, දැනෙන හැමදේම ඇත්ත නෙවෙයි. ලෝකයට විනිශ්චය කරන්න බැරි සංකීර්ණ කතා ගොඩක් සමහර එළියට පේන එක සිද්ධියක් ඇතුළෙ හැංගිලා තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් මායාවල් මවන්න, මායාවල් කරන්න, ඒ වගේම මායාවල් මවාගෙන ජීවත්වෙන්න, හොඳට හෝ නරකට.

'දෝ පත්ති' නිවුන් සහෝදරියො දෙන්නෙක්ගෙ කතාවක්. ඉන්දියාව කියන්නෙ විශාල වෛවර්ණ සංස්කෘතියක්. ඒක අස්සේ මනුස්ස ප්‍රශ්න හැටපන් කෝටියක් විතර තියෙනවා. ස්ත්‍රීමූලික සමාජීය ප්‍රශ්න ඒකෙන් එකක් හෝ කීපයක්. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ අගතියට පත් කාන්තාව කියන්නෙ අරාබි නිසොල්ලාසය වගේ කතා එකතුවක්. 

සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලිනි ගැයුවට 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය' නැති බව මිනිස්සුන්ට තේරෙන්න කාලයක් යන්න පුලුවන්. සමහර මිනිස්සුන්ට වැදගත් ආදරෙ, සමහර මිනිස්සුන්ට වැදගත් රාගය වෙන්න පුළුවන්. එකම හැඩේ නිවුන්නු දෙන්නෙක් අතරෙ වුණත් එහෙම බරපතල හැඟීම් වෙනසක් තියෙන්න පුළුවන්. ඔය දෙක අතර දෝලනය වෙලා ව්‍යාකූලත්වයක ඉන්න පුරුෂයෙක්ට හෝ ගැහැණියකට බැඳෙනවා කියන එකම මහා විශාල රතු කොඩියක්. සමහරවිට ඒක මානසික, වාචික හිංසනයක ඉඳලා ප්‍රචණ්ඩත්වයකින් ඉවරවෙන කතාවක් වෙන්න පුළුවන්. 
සෞම්‍ය සෞම්‍යයාට වෙන්නේ ඒකයි.
සෞම්‍ය වුණත් මුරණ්ඩු වෙන්න පුළුවන් ගෑණුන්ට, ආදරේදි. 
ආදරේ වරදවා කියවගෙන ඒක මත්තෙම නැහීගෙන එල්ලීගෙන සෞම්‍යා කාට මොකක් ඔප්පු කරන්න හදනවද කියලා ප්‍රේක්ෂකයාට හිතෙනවා. 
තමන්ට අනවශ්‍ය තැනක තරඟකාරියෙක් වෙලා ශෛලී මොන බම්බුවක් කරනවද කියලා හිතෙන්නත් පුළුවන්.
ජීවිතේ විඳලා විඳලා නටන්න තියෙන හැම මගුලම නැටුවට විවාහයේදී අධි-සංවර, ඔලුව පාත් කරගත්ත, බයපක්ෂපාතී, සුවච කීකරු දාස භාර්‍යාවක් සෙවීමේ ආසියාතික (මූලිකවම ඉන්දියානු) පුරුෂ මානසිකත්වය දෲව්ගෙන් දකින්න ලැබෙනවා. කමක් නෑ, එහෙම භාර්‍යාවක් එක්ක හරි ආදරෙන් සමගියෙන් ඉන්න පුළුවන් නම් පෙර වැරදි අමතක කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දාස භාර්‍යාවට සිද්ධ වෙනවා නම් stress ball එකක් හරි punching bag එකක් හරි වෙන්න? කතා කරන්නවත් නිදහසක් නැතුව, තමන්ගේ ආසාවල් හීන හැඟීම් ඔක්කොම පෙට්ටගමක දාලා වහලා ඒ පෙට්ටගම උඩ වාඩිවෙලා දුපට්ටාවෙන් හිස් වහන් දුපට්ටා කොණක් විකමින් කඳුළු හල හල විඳවන්න? මෙතනින් එහා සංකීර්ණ මනුස්ස ගනුදෙනු ගැන කතා කරන්නවත් දෙයක් නෑනෙ. 

චිත්‍රපටය බොහොම සරලයි වගේ පෙනුණට අන්තිමට කියන කාරණා ටික වැදගත්. ලෝකෙම අවුරුදු 15ත් 49ත් අතර ගැහැණුන්ගෙන් තුනෙන් එකක් ආදර හෝ විවාහ සම්බන්ධතාවලදි ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වන බව (මානසික හිංසනය මීට වඩා සෑහෙන්න වැඩි ඇති) සහ බහුතර ගෘහස්ථ හිංසනයන් නීතිය හමුවට නොයන බව. ඒ වගේ හිංසාමය සම්බන්ධතාවල ඉඳලා එළියට එන්න තරම් නිර්භීත වෙන්නෙ අතලොස්සයි. දරුවන්, ආර්ථික ගැටළු, සමාජීය ගැටළු, ආරක්ෂාව, ලෝක ලැජ්ජාව වගේ කාරණා ගොඩක් එහෙම ගෑණුන්ව ඒ තැන්වලම හිර කරලා තියන්න හේතුවෙනවා. දික්කසාද ගැහැණු දිහා වපරැහින් බලන්නත් කාම ඇහෙන් බලන්නත් ලෝකයා දක්ෂයි. ඒ වගේම ගිනිපෙනෙලිවලින් බැට කෑමෙන් පස්සෙ කණාමැදිරියොන්ට බයවෙන එක ස්වභාවික බව දන්න ලෝකයාට පුළුවන් මායාවල් මවන්න. හැබැයි කොයිතරම් කාලෙකටද කියලා කියන්න අමාරුයි. සමහරවිට ලෝකය ආයෙමත් ඒ චක්‍රයේම යන්න පුලුවන්. මෙහෙම තැන්වලින්, පරපීඩක සම්බන්ධතා සහ විවාහයන්ගෙන් ගෑණු මුදවන්න දඟලනවට වඩා මනුෂ්‍ය සම්බන්ධතා වඩා විශ්වාසනීය, ආදරණීය සහ සුවපත් කරවන්න පියවර ගන්න එක හොඳයි. මොකද ලෝකෙ සංකීර්ණවෙලා තියෙන තරමට ගලවාගැනීමේ හමුදාවලුත් හති වැටෙන්න පුළුවන්.

චිත්‍රපටය ගැන කතා කලොත්, ඉන්ස්පෙක්ටර් විද්‍යා ජෝති වර්මාගෙ ප්‍රවිශ්ඨයේ ඉඳන්ම අධිරංගන ගතියක් දැනෙනවා. ක්‍රිටිගේ ද්විත්ව රංගනය හොඳටම හොඳයි. කතා සංකල්පය බොහොම හොඳයි. කතාව ගලායාම නම් තරමක් ඕලාරිකයි. දෲව්ගේ චරිතයට තව යමක් කළ හැකිව තිබ්බා කියාත් හිතෙනවා. 
අර කලින් කිව්වා වගේ ඉන්දියානු සමාජයේ අගතියට පත් ස්ත්‍රීය කියන සංකල්පය ඇතිපදම් පට්ට ගහන නිසාමදෝ මන්දා iMDb Score එක 6.5/10. Twist එකක් තියෙන නිසා මේ විෂය ගැන උනන්දු කෙනෙක්ට බැලුවට පාඩුවක් වෙන එකකුත් නෑ. 

ලෝකේ ආදරේ කියන්නෙ සීඝ්‍රයෙන් ක්ෂයවෙමින් යන හැඟීමක්. ඒ හැඟීම ඇතිවෙන තැනක් වෙලාවක් ගැන අනාවැකි කියන්න බෑ. ඉබේ ඇතිවෙලා ඉබේ ලැබෙන දෙයක් නම් බොහොම වාසනාවන්තයි. මුතු හදවනවා වගේ බලෙන් පැලකරලා හදාගන්න බැරි නිසා අගේ වැඩියි. හැබැයි, ඒක වරදවා කියවගෙන ජීවිතේම අපායක් කරගන්න අවශ්‍ය නෑ, ඒක පාර්ශ්වික ආදර වගේම ඒක පාර්ශ්වික විවාහත් වෙනුවෙන් කැපවුණා කියලා ලෝකයා කවදාවත් කාටවත් සම්මාන දෙන්නෙ නෑ, ඕනනම් අවස්ථාවක් බලලා ප්‍රයෝජන ගන්න උත්සහ කළොත් මිසක්. කවදහරි වටිනාකමක් ලැබෙයි කියලා හිතාගෙන එහෙම තැන්වල රැඳිලා විඳවන්න එපා. නිර්මාණය කොහොමවෙතත් ගන්න තියෙන පණිවිඩේ ඒකයි.

~ Aash Weerasinghe

විකල්ප මාධ්‍ය සහ කලාව (alternative media and art)

විකල්ප කලාව අතිශය දේශපාලනිකයි. සාම්ප්‍රදායික සහ ප්‍රධාන ධාරාවේ කලාවට වඩා ඔවුන්ගෙ නිර්මාණවල අදහස් සහ ක්‍රියාකාරකම් තීව්‍රතාව දැඩියි. පර්‍යේෂණාත්මක කලාව සහ ප්‍රකාශනය ගැන ඔවුන්ට සීමා නෑ, සමාජීය සාම්ප්‍රදායික රාමුවලට කොටු නොවී මුරණ්ඩු වෙන්න ඔවුන්ට පුළුවන්. ලෝකෙ බොහෝ තැන්වල, රටවල, ශිෂ්ටාචාරවල විකල්ප කලාව පෝෂණය වෙන්නෙ දේශපාලනයෙන්. (ඇත්තටම) පීඩිතයා තුළ පීඩකයාට එරෙහිව පුපුරා යන වෛරයක් මේ හැම විකල්ප කලා නිර්මාණෙකම දකින්න පුළුවන්. ඒක නිසා සමහරු මේක මාක්ස්වාදයට අනුගත කරනවා.

ලංකාවේ ගත්තොත් යම් කාලයක සුනිල් ආරියරත්න - නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ මේ විකල්ප ධාරාවෙ, එවකට පැවති දේශපාලනයට විරුද්ධ මතධාරී නිර්මාණ. ඊටකලින් එස් මහින්ද හිමි (ශ්‍රී ලාංකිකයෙකු නොවීත්) එකල පැවති අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව ලියූ කවි, නිදාසිටි සිංහලයා තුළ ජාතිමාමකත්වයක් ඇති කරන්න කළ නිර්මාණ. හැබැයි, විකල්ප කලාව කැපී පේන්න ප්‍රධානම හේතුවක් තමයි ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික කලාව සහ මාධ්‍ය ඇතුළේ තියෙන ඇල්මැරුණු ගතිය. විශේෂ ලක්ෂණ නෑ, නිර්මාණාත්මක බව නිල්, ඒකාකාරීයි, ප්‍රේක්ෂකයාගෙ හෝ රසිකයාගෙ ඇඟේ ලේ රත්වෙන්නෙ නෑ. නමුත් විකල්ප ධාරාව එහෙම නෑ, ඒ කලාවෙ වේදිකා උඩ, නිර්මාණ තුළ නිරුවත්වීම පවා සාධාරණීකරණය කෙරෙනවා දේශපාලනික කෝණයක් දාලා. අමුතිත්ත කුණුහරුප පවා පීඩිතයාගෙ පීඩනය පුපුරායාමක් හැටියට සාධාරණීකරණය කෙරෙනවා. ලෝකයා හරි කැමති සංසන්දනාත්මකව හිත හදාගන්න. 'අයියො අපිට මෙහෙම තියෙනවා, උන්ට නෑනෙ, අනෙ පව්, ලෝකෙ කොයිතරම් නම් අසාධාරණද' කියලා සහකම්පන අනුකම්පාසහගත හැඟීමකට නිකම්ම තල්ලුවෙනවා තමන් දිහා බලලා අනිකා ඊටවඩා අඩු තත්ත්වයක නම් ඉන්නෙ. අනිකා තමන්ට වඩා වැඩි තත්ත්වයක/ හොඳ තත්ත්වයක ඉන්නවා නම් මේ හැඟීම වෙනස්!

මේකෙ අවුල් පැත්තකුත් තියෙනවා. කාටහරිම අවශ්‍ය නම් ඔබගෙ හැඟීම් සහ දයාව අයුතුලෙස ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්න, විකල්ප මාධ්‍ය සහ කලාව හොඳ ආයුධයක්. ලංකාවේ පහුගිය කාලයක් පුරා නිර්මාණ රැල්ලක් දිහා බැලුවොත්, රණවිරුවා හෙලා දැකීම සහ අපහාසයට ලක් කිරීම ඉඳන්, ජාතිකත්වයට පහර ගැසීම, බෞද්ධයා සහ බුද්ධාගමට පහර ගැසීම, සිංහලයා සහ සම්ප්‍රදායයට පහර ගැසීම වගේ දේවල් මූලික කරගත්ත නිර්මාණ ඕනෑතරම් බිහිවෙලා තියෙනවා, ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත ඩිජිටල් මේ හැම මාධ්‍යකම මේ රටාව තිබ්බා. සංගීත, සිනමා, පුවත්පත්, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සමාජ මාධ්‍ය, මේ හැම එකකම විකල්ප ධාරාව අතිසාර්ථකයි. 

විකල්ප කලාකාරයා පට්ට දේශපාලනිකයි. ඒ වගේම පට්ට කුහකයි. විකල්පයි වෙනස් කියන ලංකාවෙ කලාකාරයො ඔක්කොම ඉන්නෙ එක රැල්ලක කියන එක රහසක් නෙවෙයි. ඔවුන් දේශපාලනිකව එකඟ ජවිපෙ කඳවුර එක්ක. ඔවුන් තුල පවත්නා වෛරය සහ එක්තරා විදියක කෘත්‍රිම හීනමානය නිසා ඔවුන්ගෙ නිර්මාණ බොහොම සද්දයි. සාමාන්‍ය, සාම්ප්‍රදායික කලාවේ ඉඳන් ඔවුන් එක්ක තරඟ කරන්න පුලුවන් කලාකාරයට ඔවුන් කැමති නෑ, එහෙම උන්ට දේශපාලනය අකැපයි. මේ විකල්ප කලාව එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් කලාකාරයන්ගෙන් කැපී පෙනෙනම චරිතය වුණේ ජැක්සන් ඇන්තනි. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගෙ විශිෂ්ටයන්ට මම හිතන්නෙ එතරම් මේ විකල්ප ධාරාව එක්ක හැප්පෙන්න කාලයක් ලැබුණේ නෑ. ජැකාගෙ කියැවීම, විවිධාකාර විෂයන් ඉගෙනීමේ පිපාසය, නිර්මාණවල ප්‍රකාශන හැකියාව, ඔහුගෙ රංගනය ගත්තම ඔහු හිටියෙ සෑහෙන්න ඉදිරියෙන්. නමුත් විකල්ප ධාරාවෙ නොවීමයි ඔහුව දේශපාලනීකරණය කරලා ලේබල් කරන්න ලොකුම හේතුව. ඔක්කොම කලාකාරයො, එකමුතු සමගි සමාදාන කතා ඒ වෙලාවේ විකල්ප ධාරාවෙ 'සුපිරි' කලාකාරයන්ට තිබ්බෙ නෑ, ජැකත් අපේ එකෙක් කියලා හැඟීමක් කොහෙත්ම තිබ්බෙ නෑ. ජැකා අනතුරට පත්වූ වෙලාවෙ සහ ඔහුගෙ මරණය මොහොතෙ පවා ඔය විකල්ප මාධ්‍ය කලාකාරයන්ගෙ හැසිරීම් ලංකාවට මතක ඇති. 
සියළු දේ දේශපාලනිකයි. නමුත්, ඒක එහෙම නෑ වගෙ රඟ පාන්න ගත්තම තමුන්ට තමුන්වත් අවංක නෑ. බොරුවක ජීවත්වෙන්න ලේසියි. හැබැයි බොරු ජීවිතේක ගන්න දෙයක් නෑ.

විකල්ප කලාව නරක නෑ. හැබැයි අවභාවිතා වීමේ සම්භාවිතාව වැඩියි. ෆේස්බුක් එකෙන් ජනාධිපතිලා තැනුවා වගෙ තමයි.

සාම්ප්‍රදායික කලාව වෙනස් වෙන එකක් නෑ. හැබැයි වෙනස් වෙන්න ඕන. නමුත් නිරුවතයි කුණුහරුපයි මේකප්ලස් අමු මූණුයි බැද්දයි මැටිගෙදරයි ආප්පයයි ප්ලේන්ටියයි පෙන්නලා නෙවෙයි. කරනවා නම් කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. කාලො අයංතෙ  වෙන්නත් පුළුවන් සමහරවිට.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #art #cinema

Tuesday, December 17, 2024

මාන්න ලංකා

මහින්ද රාජපක්ෂ ගැමියෙක්, ගොයියෙක්, ගමේ මිනිහෙක්. මහින්දට චන්ද්‍රිකාගේ රදළවාදී/ කොළඹ ඉහළ ගෝත්‍රික කුලකය සහ සහායක ඩැනීලා පක්ෂය ඇතුළෙන්මත් කැපිලි දැම්මේ එහෙම. මහින්ද ලස්සනට ඉංග්‍රීසි කතා කරපු කලු සුද්දෙක් නෙවෙයි අගමැති සටන ජයගන්නකොටත්. හැබැයි මහින්දගේ පෞර්ෂයයට අභියෝග කරන්න මේ ඉහළ පොෂ් පෙලැන්තියේ සුකොමල පිරිමින්ට බෑ. 2005 පළවෙනි ජනපතිවරණයට ඉදිරිපත්වෙද්දි ප්‍රශ්න ආවේ විපක්ෂයටත් වඩා ඔහුගෙම පක්ෂෙන්! ඇතැම් පාරම්පරික ශ්‍රීලනිප පාක්ෂිකයන් පවා ඔහුගේ විභවය ගැන විචිකිච්ඡාවකින් හිටියා. හැබැයි මහින්ද රටට අමුතු අලුත් බලාපොරොත්තුවක් දුන්නෙ ඔහුගේ පෞර්ෂත්වයෙ උපරිම ප්‍රයෝජනය අරගනිමින්. ඒකට කට උල් කරලා රෝල් කරලා පච විදින්න අවශ්‍ය වුණේ නෑ. හැබැයි මහින්දගේ wit එක නැත්නම් වාග්පාටවය සහ බුහුටිකම අර පෞර්ෂයය තව උස්සලා තිබ්බා. අනෙක ආසියාතික/ලාංකික මිම්මෙන් මහින්ද පිරුණු පුරුෂ දේහධාරියෙක් නිසා නිතැතින්ම නායක ලක්ෂණ ලැබිලා තිබ්බා. 

2005 ඉඳන් 2015 වෙනකල් අවුරුදු 10ක්ම 'ජනාධිපති' කියද්දි රට හුරුවුණේ (කැමැති අකමැති හැමෝම) ඒ පෞර්ෂයයට. 2005දි රනිල් පැරදුණේ ඒකට. 2015 රැල්ලට සිරිසේනට ඡන්දෙ දුන්නට පළවෙනි දවසෙ ඉඳන්ම සිරිසේන ට්‍රොල් වුණේ ඒ පෞර්ෂයය එක සැරේ බිමට අතෑරියා වගේ දැනිච්ච සංසන්දනයට. 

දැන් අනුර තඹුත්තේගම ගොයියෙක් ද ගොයි පුතෙක් ද ගැමියෙක් ද කියලා මම පෞද්ගලිකවම දන්නෙ නෑ. හැබැයි ඔහු ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික පළාතක් වෙන අනුරාධපුරය දේශපාලනිකව සහ සමාජීයව නියෝජනය කරනවා. 
ඒ කාලේ මහින්දට ගොයියා, බයියා, ගැමියා, ගමේ මිනිහා කියලා අපහාස කරපු මිනිස්සු අනුරට එහෙම කියන්නෙ නෑ. මොකද ජාතික ඇඳුමට කුරහන් සාටකේ පළඳින මහින්දගේ ගැමිකම ඩබල්-පොකට් ෂර්ට් අඳින අනුරගෙන් පේන්නෙ නෑ, කාලයක්ම එහෙම ගොඩනැගෙන බ්‍රෑන්ඩ් එක රැයින් වෙනස් කරන්න අමාරුයි. අනික ඒක ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. 
හැබැයි අනුර හරි අනුරගෙ ජවිපෙ/ජජබ කඳවුර හරි කන්න ඕන නිසා කබරගොයා තලගොයා කරගන්න උත්සහ කරනවා නම් මම හිතන්නෙ තවත් ජල්බරි මාකටිං ෆේලියර් එකක් කියලා. පළවෙනිම දේ අනුර ගැමි කතා මොක කිව්වත් බ්‍රෑන්ඩ් එක ගැමියා නෙවෙයි. සාම්ප්‍රදායික ජවිපෙ සමාජික look and feel එකට අමතරව මට පේන තව දේවල් තියෙනවා, ඒත් දායක සභාව කැලඹෙන්න ඉඩ තියෙන නිසා අපි එතනින් නවතිමු.😁

අනුරගෙ ඉන්දීය සංචාරයෙ 'bloopers' වලට අපිට හිනාවෙන්න ඕන නෑ. මොකද කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් දැන් එයා නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකාව! හැබැයි අපේ උගත් බුද්ධිමත් අගමැති තරුණියගෙ චීන - තායිවාන් හුටපටේ වගේ විදේශ සම්බන්ධතා එක්ක අවසිහියෙන්, අනවබෝධයෙන් අනාගන්න ගියෝතින් ලංකාවම ජාත්‍යන්තරව 'කිච' වෙනවා. එතකොට හැමදාම අපි තාම බබ්බු අනේ කියලා හොටු ලේන්සුව කොලර් එකේ එල්ලන් හොටු පෙරාගෙන රාජ්‍ය විචාරන්න බෑ. එව්වා කොහෙද අපේ කලාව වෙනම කලාවක්, අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරනවා, අපි වෙනස් දේශපාලන සංස්කෘතියක්... හා හා ඇති අනේ ප්ලීස්! ✋
ඔය වැල් බයිලා අදාළ ඡන්දේ කාලේ ලංකා ගැලරිය චූන් කරන්න විතරයි. ඔව්වා රටක ඉහළම නියෝජනය හැටියට ජාත්‍යන්තරේට අදාළ නෑ. ඒක නිසා කරුණාකරලා ඉක්මන්ට හැදෙනවලා! 
මහින්දගේ ප්‍රගති වාර්තාව සමාන කරන්න නම් බැරිවෙයි, හැබැයි හතුරගෙනුත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් මාන්නෙ පැත්තක තියලා ඉගෙන ගන්නවලා! අවුරුදු 50ක විතර දේශපාලන පරිචයක් තියෙන රනිල්ට දේශපාලනෙ උගන්නන්න යන මහන්තත්තකම පැත්තක තියලා අගමැති තරුණියත් ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න පුලුවන් දේ (සෑහෙන්න තියෙනවා) ඉගෙන ගන්නවලා! ඔක්කොම සර්ව සම්පූර්ණ වුණායින් පස්සෙ බැරියැ ආයේ ගොන් මාන්නෙ ඔලුවට ගන්න.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #lka #trending #NPP #AKD

Sunday, December 15, 2024

හුටපට ලංකා

නව රජය තවම බබෙක් ය. බබා ඉපදී, සොරි, පත්වී තවම හරිහැටි 'හොවෑ' කියන්නටවත් ඉස්පාසුවක් ලැබුණේ නැතිය. හතර වටේට චොර වෙනවාය. දැන් බබා ගෙනා අම්මෙක්ද නැත, තාත්තෙක්ද නැත. 

ඉස්සෝරම රටේ ණය කන්ද ගෙවන්නටයි කියා නමෝ විත්තියෙන් නිධන් කර තිබූ කළු ගලක් සොයාගත්තාය. ඒක නම් මම හිතන්නේ යක්ෂාරූඩ වූ බහිරව අයියණ්ඩි හම්බන්තොට වරායේ තිබූ තඩි කලු ගල ඔතනට ගෙනැවිත් දමා කළ නරක ඇරියස් පියවිල්ලක්‍ ය.

ඊටත් පසු මහවිරු නාටක සතියය. (දැන්) උත්තරීතර පාර්ලිමේන්තුවේද ප්‍රසිද්ධ මාධ්‍යයද ඊළම් රාජ්‍යයක් ගැන කියමින් දෙවනත් කරවන අර්චුනාට 'හ්ම්ම්' කියන්නටත් 'ශ්!' කියන්නටත් අකුදිගේ දබරැඟිල්ල එසවුණේ නැත. තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දේවත්වයෙන් සලකන ප්‍රසිද්ධ ප්‍රකාශ, ඊළාම් පාර්ලිමේන්තු කතා සහ ප්‍රසිද්ධ ජාතිවාදීත්වය ඉදිරියේ අඳ ගොලු බිහිරි ජාතකය රඟන පාලනය මේ කොහෙවත් යන අවශේෂ තුන් හතර දෙනෙකුගේ සමාජ මාධ්‍ය පෝස්ටුවලට අත් අඩංගුවට ගත් එකම රට විහිළුවක් ය. පිනට කෑවොත් කොඳු නැවිය යුතුය!.
භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස උඩ දමදමා උන් පක්ෂයක් බලයට පැමිණි පසු එවැනි දෙබිඩි ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම විසාල පුදුමයක්‍ ය.

ඊටත් පසු සොභා දහම ලංකාවට සුළිකුණාටු සහ ගංවතුරකින් දමා ගැසුවාය. ඒ කාලයේ නම් ස්වාභාවික විපත්ද ක්‍රිකට් පරාජයන්ද සිද්ධ වූයේ පාලකයාගේ අධර්මිෂ්ඨකම හින්දාය. මෙතරම් දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන් කල්හීද විපත් ගෙන ඒම නම් සොභාගෙ කුරිරු සරදමක් ය.

ඊටපසු හාල් නාටකයය. පිටපත හරියාකාරවම රඟපෑව ද ජූරියේ සම්මානයකටවත් නිර්දේශවන්නට පාලක නළුවාට නොහැකි විය. 'ආච්චිට හාල් ගරන්නට' පාස කියමින් ඡන්දදායකයන් හාල් සොයා රට පීරනු ද පෙනෙන්නට පටන් ගත්තේය. නැවත, පිනට කෑවොත් කට සහ පශ්චාත්භාග වසාගන්නට වෙනවාය.

ඉන්පසු පොල් රිලා සහ පොල් බූරු නැටුමය. පාරවල්වලත් පොල් ගැසූ රටක මාස දෙක තුනකට නොතිබි රිලා ප්‍රශ්නයක් හිටිහැටියේ උග්‍ර විය. කලින් පාලනය කාලයේ රිලවුන් පොල් නොකා අල තම්බන් කෑවාද දන්නේ නැත. පොල් අස්වැන්න රිලවුන් විනාස කරන බව ඇත්තක් ය. ගොවියන්ට, වගා කරුවන්ට රිලවුන් දෑහැට පේන්නට බැරිබව ද ඇත්තය. ලාල්කාන්ත සුපුරුදු ලෙස පිටියට අවතීර්ණ වන්නේ බැට් එක දෑතින් ඔසවාගෙනය. වත්තට එන ඕනෑම සතෙක්ට වෙඩි තැබිය හැකියැයි කියා තව ජල්බරි සතියක් ආරම්භ කළ ඔහුගේ මාපියන්ට පරිසර සහ සත්වවේදීන් ගොවීන් ද අප්‍රමාණව පින් දුන්නා නිසැකය. 

දැන් පට්ටම් - අටපට්ටම් නාටකයය. අවුරුදු ගණනාවක් තිස්සේ ජවිපෙ සහ ජජබ මහජන මොළ සෝදන්නට ගත්තේ පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් 225ක් අවශ්‍ය බව කියමින් ය. පීනන්නට දන්නෙ නැතත් රැල්ලේ ජබුක් ගසන අපේ ජෙබයියෝද උගත් බුද්ධිමත් වෙනුවෙන් ශ්‍රමදාන පවා කරන්නට ගත්තෝය. වරදවා වටහාගන්නට එපාය. උගත් බුද්ධිමත් කුලකයට මගේ කිසිදු විරුද්ධතාවයක්, එරෙහිවීමක් නැත. නමුත්, උගත් බුද්ධිමතුන් ද උගත් මෝඩයන් ද උගත් සටකපටීන් ද උගත් දුෂ්ටයන් ද අතර නූගත් බුද්ධිමතුන් ද නූගත් මානුශීයවාදීන් ද නූගත් ප්‍රායෝගික වැඩකරුවන්ද නූගත් සුන්දර අවංක උන්ද සිටින මේ ලංකා මිනිස් කුලකයේ මෙවැනි ඒකාකාරී ඔද්දල් තියරි මත රටක් කළ නොහැකිය. ටයි පොලු දමාගෙන කෝට්බෝට් ඇඳගෙන උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයන්ට කාස්ටක අව්වේ අල්ලි දෙකක් දුර අඩිය තියන්නට බැරිය, අව්කණ්ණාඩි දෙක ගලවා ජනතාවගේ දෑස් දෙස කෙලින් බලන්නට බැරිය, තම ආසනයේ අසවලාගේ නිවස කොහිදැයි පාක්ෂිකයන්ගේ නිවසක් තියෙන ඉසව්වක් දන්නෙ නැතිය, ප්‍රායෝගික ක්‍රමවේද සහ වෙනස්කම් කළ හැකි ප්‍රායෝගික විධි දන්නේ නැත, තමා හමුවන්නට එන ජනතාවට සලකන්නට තේරෙන්නෙ නැත, උගත් බුද්ධිමත්කම නඩත්තු කළ යුත්තේ කෙසේදැයි නොනවතින ඊගෝවක සිරව සිටිනා නඩත්තුවාදීන්ට මහ ගංවතුරකට බැස තෙවරප්පෙරුම වැනි සැබෑ ජනතා නියෝජිතයන් කළ හරිය කරන්නට හිතන්නටවත් බැරිය, ගංවතුර පසෙක තියා උගත් බුද්ධිමතෙක්ට පෙර සැබෑ මනුෂ්‍යයයෙක් වන්නට තේරෙන්නෙ නැත!.

නැවත අටපට්ටම් නාටකය දෙසට හැරෙමු. 
සමාජ ගත කළ ලොජික් රැකගැනීමට බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වා පාර්ලිමේන්තු ගිය ජජබ ජල්බරිකාරයන්ගේ වස්ත්‍ර ඉල්ලේවෙමින් පවතී. මේවා පුහු මාන්නයන්‍ සහ හීනමානයන් ය. තමන්ට නැතිනම් නැතිය, ඉංග්‍රීසි බැරිනම් බැරිය. නැති මගුල් මවා පාන්නට ගොස් කෙලවාගන්නා සමාජ හරස්කඩක්‍ ය එකාතකට මේ පාර්ලිමේන්තුවෙන් මතුවන්නේ. මුලාව, මෝහය, ක්‍රෝධය විනාශයේ මුලය. ලොකු ටෝක්ස් දෙමින් ශ්‍රමදාන පවත්වමින් සුද්දබුද්ද කළ අලුතෙන් උත්තරීතර කළ පාර්ලිමේන්තුවක් මෙවැනි නාඩගමක් වීමම දෛවයේ කුරිරු සරදමක් නොවේද? 

බබා තාම අලුත්‍ ය. කක්කි දාගත්තාට කමක් නැතිය. ඇම්ඩන් වාගේ පැම්පරය හිසට උඩින් කරකවා විසිකරන්නට ගොසින් රට වටේටම ගාන, ගාගන්නා එක නම් අවුල් ය. 

~ Aash Weerasinghe 

#AW #thaniya #medusa #lka #trendingnews

Saturday, November 16, 2024

ලංකා තුලන

මම 'මැයි මාර ප්‍රසංගය' කියවලා නැහැ. හැබැයි ඒකෙ තියෙනවලු හරිනම් විශ්වය කියන වචනෙට ටැක්ස් ගහන්න ඕන කතාවක් කියලා තැනක දැක්කා. ඔව්, එක අතකට විශ්වය කියන වචනෙ එච්චරට පාවිච්චි වෙනවා තමයි. 

විශ්ව බලය මොකද්ද කියලා විස්තර කරන්න මම දන්නෙ නෑ. හැබැයි හැම ආගමකම වගේ ඒකට විවිධාකාර නම් දීලා තියෙනවා කියලා මම හිතනවා, දේවත්වයන් තුළින් අපි දකින්නේ ඒකම කියලා හිතනවා. මේ විශ්ව ශක්තිය හරි බලය හරි ගැන සෑහෙන්න අධ්‍යයනය කරපු මගේ හොඳම මිතුරියක් එක්ක කරපු සංවාද ගණනාවකින් පස්සෙ ඒ හා සමාන මගේ අත්දැකීම් ගැන ස්වයං විශ්ලේෂණයක් කරමින් ඉන්න කාලයක් මේක. ඒ ගැන ලියන්න නෙවෙයි හදන්නේ.

අපි සමහර වෙලාවට යන පාරවල් සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ, අපිට ගැලපෙන්නෙත් නෑ. එහෙම යද්දි ඒක වැරදියි කියලා අඟවමින්, යන්න ඉඩ දීලා අපිටම අපේ වැරදීම් තේරුම් ගන්න කාලයක් දීලා ඒත් අපි වෙනස් නොවෙනවා නම් කණට ගහලා වෙන පාරකට ඇදලා දාන්න පුලුවන් මොකද්දෝ එකක් මේ ලෝකෙ තියෙනවා. ඒක සර්වබලධාරී දෙවියන් වහන්සේ ද, වෙනත් දේවාත්ම ද, අදෘශ්‍යමාන බලවේග ද, ස්වභාව ධර්මයා ද, ඉරණම ද, දෛවය ද, කර්මය ද, මොකද්ද කියලා මම දන්නෙ නෑ. 
සමහර වෙලාවට අපිට ජීවිතේ දෙවෙනි අවස්ථා ලැබෙනවා. ඒකත් කෙල කරගත්තම 'තොට කියලා වැඩක් නෑ, මම කරලම පෙන්නන්නම්' කියලා වැඩේ සම්පූර්ණ බලතල තමන් අතට ගන්නවා. මේක විශ්වාස නොකරනවා නම් තමන්ගේ ජීවිතවල වැරදුණු හරිගිය තැන් එක්ක ආව ගමන දිහා ආවර්ජනය කරලා බලන්න පුළුවන්.

ලංකා දේශපාලනයටත් වෙන්න පුළුවන් ඒකම තමයි. 
දේශපාලන පාරවල් ගොඩක් එකතුවුණාම තමුන් තමුන්ට කැමති පාරවල්වල යන්න තීරණය කරනවා. ඒක වඩාත්ම ගැලපෙන පාර කියලා තීරණය කරන්නෙ තමුන්. ඒ පාරේ යන අතරේ කොහොමද යන්නෙ, කොහොමද හැසිරෙන්නෙ, මොනවද කරන්නෙ, කාත් එක්කද යන්නෙ කියන තීරණ ගොඩක් ගන්න වෙනවා. සමහරවිට මේ පාරවල්වල මගදිගට සළකුණු සහ පණිවිඩ සෑහෙන්න තියෙන්න ඇති මේ අයට මග ඇරුණු. එතකොට හාන්සි පුටුවකට වෙලා, කකුල් දෙක පුටු වතේ තියාගෙන, පයිප්පයක් බිබී මේ නාටකේ දිහා බලන් ඉන්න විශ්ව ශක්තිය කියන අදෘශ්‍යමාන බලයට එක වෙලාවකදි හිතෙන්න පුළුවන් 'දැන් තොට තව කියලා වැඩක් නෑ, දැන් මම මේක කරලා පෙන්නන්න වෙලාව හරි' කියලා. එතනින් එහාට අර පාරවල්වල මොන දහ අට පාලිය නැටුවත්, කොච්චර කරණම් ගැහුවත් අපේ ඊලඟ කතා සංධිස්ථානය තීරණය වෙලා ඉවරයි. 

දැන් මේක පුද්ගලිකව අරන් පැසවන්න යන්න එපා. 

මේක සාමාන්‍ය මනුෂ්‍ය අවබෝධතා වපසරියෙන් එහා ගිය බල සහ ශක්ති තුලනයක් කියලා මම විශ්වාස කරනවා. මේ තුලනය ඇතුලේ ජයග්‍රාහකයෝ, පරාජිතයෝ, වින්දිතයෝ, නින්දිතයෝ වගේ යෝයෝලා ගොඩක් ඉන්නවා. සංසාර චක්‍රයේ කොටස්කාරයෝ වෙනතාක්කල් අපි නිතැතින්ම මේ බල තුලනයේ කොටස්කාරයෝ වෙනවා. 

සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අටලෝ දහමට ප්‍රතික්‍රියා කරන එක. දුක, අයස, නින්දා, අලාභ ඉදිරියේ මහා කම්පාවකට ලක්වෙලා සැප, යස, ප්‍රශංසා, ලාභ ඉදිරියේ මහා සන්තෝෂයකට පත්වෙනවා. පරාජිතයෙක් ඉන්නවා නම් එතන ජයග්‍රාහකයෙක් ඉන්නවා. හැබැයි පරාජිතයා කම්පාවෙන තරමටම ජයග්‍රාහකයා සන්තෝෂ වෙනවා. ඒකනෙ පෘථග්ජන මිනිස්සුන්ගේ හැටිය. එතනදි අමතක වෙන ලොකුම දේ තමන්ගේ භූමිකා මාරුවෙන්නත් වැඩි කාලයක් නැති බව. යන්නේ හරි පාරේද, සලකුණු තේරුම් ගන්න තරම් සවිඥානික මනසක් තියෙනවද, කවුරු කා හට කුමන අවස්ථාවේද යන අවස්ථා සම්බන්ධතා නිරවුල් කරගන්න කොයිතරම් දුරට පුළුවන් ද වගේ කෙළකෝටියක් මනුෂ්‍ය තීරණ ඒ දෙන්නටම තියෙනවා. තනි තීරණ සාමූහික සංසිද්ධිවලට බලපානවා. සාමූහික සංසිද්ධි වර්තමානය තීරණය කරනවා. අතීතයයි වර්තමානයයි අනාගතය තීරණය කරනවා. තනි තීරණයකට පුළුවන් කාල රේඛාවක් නොහිතන විදිහට වෙනස් කරන්න. හොඳට හෝ නරකට ඒක ආපහු හරවන්න බැරි දෙයක්. 

ලංකාව ලොකු ගමනක් ආව රටක්. ඒක අස්සේ දුක් කම්කටොලු, අභියෝග, යුද්ධ, සමාජීය ආර්ථික ප්‍රශ්න කෙළකෝටියක් තිබුණා. දැන් රටේ මිනිස්සු කාල රේඛාවක වෙනසක් කරලා තියෙනවා. විශ්වය සමහර මැදිහත්වීම් කරන්න ඇති. හැබැයි දැන් යන පාර දිහාත් බලන් ඉන්නවත් ඇති. කාල රේඛා වෙනස් කල මාන්නයෙන් පිම්බිච්ච මිනිස්සුන්ට පිම්බෙන්න ගොඩක් ඉඩ දෙයි, දෙහි කට්ටක් අතේ තියන් ඉන්න ගමන් හැබැයි. ඒ ඇත්ත දැනගෙන ගමන යන්න. තිත්ත බෙහෙත් දුන්නම දොස්තරට පාස කියන්න එපා. 
මේ ආව කාල රේඛාවල නොවුණු දේවල්, නොදින්න දේවල් තියෙනවා. වින්දිතයොයි පරාජිතයොයි ඉන්නවා. හැබැයි ඒක එහෙම වෙන්නත් ඇත්තේ යම්කිසි හේතුවකට. ඒ හේතු වෙනස් කරගෙන බලය අයුතු විදියට පාවිච්චි කරන්න කාටවත් බෑ. එහෙම වුණොත් මොන වගේ සිද්ධි දාමයකට මුලපුරයිද කියලා අපි කිසිම කෙනෙක් දන්නෙත් නෑ. 

නිශ්චලව බල තුලනයට මූණ දෙන්න ඕන, උපේක්ෂාවෙන් හැබැයි සම්මා සතියෙන්, සම්මා දිට්ඨියෙන්.
එච්චරයි.

🖌️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, September 28, 2024

ප්‍රශස්ති වන්නම

චාටුව සහ ප්‍රශංසාව එකම කාසියක දෙපැත්තකි. ශ්‍රී ලාංකිකයා ඔවුන්ගේ පසුබිම සහ ඇති හැකි බව අතින් කොයි තලයක සිටියද ප්‍රශංසාවට ප්‍රියය, චාටුවට ගිජුය. 

ධනය සහ බලය එක්වූ තැන චාටුව සහ ප්‍රශංසාව අතරවන සියුම් බෙදුම් රේඛාව බොඳවෙයි, එය හඳුනාගැනීමේ විචාර බුද්ධිය සැඟවෙයි.
ඔබට ධනයද බලයද ඇත්නම් වාසි ලාභ ප්‍රයෝජන තකා ඔබ වටකරගන්නට බලාසිටින චාටුකාරයො බොහෝය. 'අපිව අන්දන්නත් බෑ, තම්බන්නත් බෑ' කියනා උගත් බුද්ධිමතුන්ද පණ්ඩිතයන් ද හැඩට අන්දවන්නට චාටුකාරයන්ට හැකිය. උන් තමන්ට කර ඇති බව දැනගන්න හැකිවන්නෙ බොහෝ ප්‍රමාද වූ පසු වෙන්නටත් පුළුවන් ය.

ලංකා ඉතිහාසයේ සිටම ප්‍රශස්ති ගායනා කිරීම ජයටම කෙරුණු වැඩක්ය. වන්දිභට්ටයො පරපුරෙන් පරපුරට තම හැකියාව වැඩිදියුණු කරගන්නවා මිස අනික්වා මෙන් මොට කරගෙන නැති බව ඔබ වටා සිටින්නන් දෙස වඩා විමසිල්ලෙන් බැලූ විට පෙනෙනු ඇත. ඔබට ධනයද කිසියම්මාකාර වූ බලයක් හෝ තාන්නමාන්නයක් හෝ ඇත්නම් ඔබ හැලි වඳුරෙකු වුවද ඔබට 'අනෙ ශ්වීට් ගර්ල්, යු ආ සෝ හොට්, හායි හැන්සම්, අනේ අපේ සර්/ අපේ මැඩම්, අයියෝ සර් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉන්නවා, මැඩම් වෙනුවෙන් ඕන දෙයක් කරනවා' යනාදිය අසන්නට ලැබෙනවාය. ඔබගෙ පා දෝවනයට ද, වෙනත් ඕනෑම අවශ්‍යතාවක් පිරිමැසීමටද සට්ටෑඹියන් බොහෝ බව ඔබට පෙනෙනු ඇති නමුත් බොහෝවිට ඔවුන්ගේ ප්‍රශස්ති ගායනාවන්ගෙන් ඔද තෙද වැඩී, පපුව පිම්බී, පොර මානසිකත්වයෙ පරතෙරට ගොස් සිටින මොහොතක නම් මේවා තේරුම් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇතිය.

අනේකවිධ චාටු, වර්ණනා, ප්‍රශංසාවෙන් පිරි ලංකාවේ රජවරු සහ පසුකාලීනව දේශපාලකයන් ප්‍රශස්ති වන්නමේ ප්‍රබලතම ගොදුරුය. අවසාන සිංහල රජු වූ මහනුවර රාජධානියේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 - 1739) රජුට ගැයුණු මේ ගීය ප්‍රසිද්ධ ඒවායෙන් එකක් ය.

වරමාති සුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිංහ නෘපතේ

භෝජරාජ සම තේජභිරාමා
ත්‍යාජකාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්නභිරාමා
නරේන්ද්‍රසිහ නරනායක භූමා

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා
සජ්ජන සත්ත සුරක්ෂ මනාපා
වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා
අජ්ජුන භූභුජ ශ්‍රීධර චාපා..

(අකුරු අඩුපාඩු තිබිය හැකිය)

එතැනින් නොනැවතී ප්‍රශස්ති ගී අද වනතුරුද ගැයෙයි. ඒ කාලේය මේ කාලෙය කියා වෙනසක් නැත. 

මෑත කාලීනව ප්‍රශස්ති ගායනා නිසා අවලාදයට, නින්දාවට, ගැරහුමට ලක්වූ ප්‍රබලයෙකි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. 
එදා ඒ හෙලා දැකි අවශේෂ ජනයාද දැන් ඒ මගම යන්නේ දෛවයේ සරදමක් ලෙස වාගේය.
රාජාවලියද ඉතිහාසයද අවඥාවෙන් බැහැර කරනවුන්ට පවා වන්දිභට්ටයන්ගෙන් ගැලවීමක් නැත. 
සැක නම් නව පාලනයේ පෙරගමන්කාර මාධ්‍යකරුවන්ද අනුගාමිකයන්ද දෙස බලන්න.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka #politics

Thursday, September 26, 2024

ටුකුවක ධර්ම සංවාද

අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් එහෙම අත්දැකීම් තියෙනවා.

ඊයේ ලඟ ගමනකට ටුකුවකට ගොඩ වැදුනෙ සුපුරුදු ඌබර් කාඩ් ද කෑෂ් ද ප්‍රශ්නෙ අනුව එකක් ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ඊළඟ රියැදුරු මහත්මයා ඒ ගැන ප්‍රශ්න නොකළත් මගෙ යුතුකමට ටුකුවට ගොඩ වෙද්දිම මම කිව්වා කාඩ් කියලා. 'ආ කමක් නෑ මිස්' කියලා හිනාවෙන් පිළිඅරන් මට පැහැදිලි කිරීමකුත් කළා කාඩ් සහ කෑෂ් අතර වෙනසක් නැතිකමත් රියැදුරන්ගෙ තියෙන අනවබෝධය සහ අනෙක් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්. ඒක නෙවෙයි වැදගත් කතාව.

සාරාංශ කළාම මේ මනුස්සයගෙ කතාවෙ අන්තිම ටිකයි වැදගත්. 
"අපි ජීවත්වෙන කාලය සීමිතයිනෙ මිස්, ඒ ටිකෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන. ඕනෑම දෙයක් ලොකුවට හිතෙන් අල්ලගත්තමනෙ දුක වැඩි. උදහරණෙකට ආදරේ වැඩිවුණාම දුක වැඩිවෙනවා. මොකද ආදරේ හින්දනෙ ඒ කෙනා කරන කියන දේකින් හිත රිදෙන්නෙ. තමන්ට පුලුවන් දේ ඒ සීමාවෙ ඉඳන් තමයි කරන්න ඕන. කෙනෙකුට හානියක් හිත්  රිදීමක් නොකරන තරමට තමන්ගෙ හිත සැහැල්ලුයි. ගෙයක් හැදුවත් මට පුලුවන් පර්චස් 6ක ගෙයක් හදන්න නම් මම පර්චස් 10-12කට අමාරුවෙන් උත්සහ කරල ස්ට්‍රෙස් වෙන එක තේරුමක් නෑ. බුදුහාමුදුරුවො කිව්ව පන්සිල් පහ රැක්කා නම් ඇති ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්න. අපි මැරෙනවා කියන එක දවස ගානෙ මෙනෙහි කරන්න ඕනත් නෑ, එතකොට කලකිරෙනවා මිසක් ජීවත් වෙන්න බැරිවෙනවා. මැරෙන බව දැනගෙන ජීවත් වුණාම හරි. අපි මැරිලා ගිහින් වෙන කොහෙ ඉපදෙයිද අපි දන්නෙ නෑනෙ මිස්. හැබැයි අපි ආදරෙ කළ අයට පසුතැවීමක් නැතිවෙන විදියට ජීවත් වුණාම ඉවරයි. උදාහරණෙකට මිස්, මගෙ නෝනා එක්ක මම තරහ වෙලා නින්දට ගිහින් නින්දෙදි මම මැරුණොත්, එයාට කොයිතරම් නම් පසුතැවීමක් ඇතිවෙයිද ජීවිත කාලෙම එයා මට අන්තිමට කිව්ව දේ හරි කරපු දේ හරි ගැන. ඒ වෙලාවෙදි එයාට හිතෙන්නෙ එයා කළ කී දේ වැරදියි කියලා මිසක් මම කළ කී දෙයක් ගැන නෙවෙයි, මනුස්ස ස්වභාවය ඒකයි. මම මැරිලා යන දිහාක යයි, ආයිත් සංසාරෙ එයාව හම්බවෙයිද හම්බුණත් අපි අඳුනගනීද කියලා කියන්න බෑනෙ. ඒක නිසා මිස්, ජීවත් වෙන කාලෙ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරෙන් ජීවත් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නෙ".

මගෙ සුපුරුදු අසන්නාගෙ භූමිකාවෙ ඉඳන් හූමිටි තියමින් ඉඳලා අන්තිමටම මම ඇහුවා වයස කීයද කියලා, මොකද අවුරුදු 35-40ක්වත් කියන්න බැරිතරම් හින්දා. ඔහොම සංවාදයක් මම බලාපොත්තු වුණේවත් නැති හින්දා. අවුරුදු 50යිලු. 🫡 

මේ එදිනෙදා අහම්බෙන් වෙන සංවාදවල හම්බවෙන මිනිස්සු ජීවිතෙ විවිධාකාර අත්දැකීම්වලින් පදම්
වෙච්ච මිනිස්සු. ඇත්තටම එහෙමද නැද්ද කියලා සහතික කරන්න තරම් බරපතලව හිතන්න හේතු නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම අහම්බෙන් වෙන සංවාදවලට මට පුදුම නොවී ඉන්නත් අමාරුයි. එහෙම අන්දවන්න ලෑස්තිවෙන මිනිස්සු නෑ කියලා කියන්න බෑ තමයි ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කතා කළා කියලා කිසිම වාසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ. දවසකට දෙකකට කලින් හිතවතෙක් කිව්වා 'මාව කියවගන්න බෑ, විවෘත වෙන්නෙ නෑ' කියලා. එහෙම කියවගන්න බැරිද නැද්ද මම දන්නෙ නෑ. ඒක එහෙම නම් ඇයි මිනිස්සු හරිම ලේසියෙන් තමන් ගැන විවෘත වෙන්නෙ කියලා මම දන්නෙත් නෑ😁 උපදේශන සේවා කරන්නෙත් නැහැනෙ 😄

මට හිතෙනවා සමහරවිට අපි යම් මොහොතක අහන්න ඕන පණිවිඩයක් අහඹු කතාවල තියෙනවද කියලා. එහෙම හිතලා මම පොදු සමාවක් දුන්නා මෙතෙක් සමාව නොලැබූ හැමෝටම.😋 ගැල බර කරගෙන සංසාරෙ දඟලනවට වඩා ඒක හොඳයිනෙ.😇

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

පරම රමණීය ලංකා

2024 සැප්තැම්බර් 22

අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.
පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.
ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.

දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටේ මාධ්‍ය සහ සමාජය වෙලාගෙන තියෙන ලොකුම දුක් අඳෝනා විලාප වෙන "76 වසරක ශාපය" එක්ක පට්ට ගැහෙන අපිට කරන්න දෙන්නෙ නෑ කියන පැමිණිල්ල අදින් සදහටම අවසන් වෙන එක. ඊලඟට අරූ නිසාය මූ නිසාය යන දෝෂදර්ශන ව්‍යාපාරය අදින් අවසන් වෙන එක. 
ඒක කොච්චර ලොකු සැනසීමක්ද කියනවා නම් අද හවස ඉඳන් සමාජය සහ මාධ්‍යය ධනාත්මක ආකල්පයෙන් සහ සංඛ්‍යාතයෙන් පිරෙනවා දකින්න මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, පැමිණිල්ලෙන්, අඳෝනාවෙන්, නාහෙන් ඇඬිල්ලෙන්, අඬෝපැලියාවෙන් මිදුණු පරම රමණීය ශ්‍රී ලංකාවකට උණුසුම් සුභ පැතුම්!

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #prezpoll2024

Saturday, September 14, 2024

නොම්මර 17 සහ කොළඹ

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් හැටියට නොම්මර 17 තිරගත වෙලා තියෙන්නෙ 1989දි. Youtube එකේ මේ වීඩියො එක දැක්කම මගේ default නොස්ටැල්ජියාව හෙවත් අතීතකාමය ඇහැරුණා.

විජයත් ෆ්‍රෙඩිත් දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නා නටන රඟපාන පසුබිම් කොළඹත් දැන් එක්තරා විදියකින් මැරිලා ඉපදිච්ච නගරයක්. ඔය වීඩියෝව බැලුවොත් ඒ කාලෙ කොළඹ (සාපේක්ෂව) කොයිතරම් නම් අහිංසකද සරලද කියලා පෙනෙයි. ටොරිංටන් චතුරශ්‍රය, ගංගාරාමය සහ ගෝල්ෆේස් එක දැක්කම මොකද්ද මහා හිස්, පාළු හැඟීමක් දැනෙනවා. ඒ වටපිටාවෙම උස ගොඩනැගිලි කීයද තියෙන්නෙ? දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල, පිට්ටු බම්බුව (ලංකා බැංකුව), ටාජ් සමුද්‍රා, හිල්ටන්, මහ බැංකුව වගේ අතලොස්සක් බිල්ඩින් තියෙන එල්ෆ් වෑන්, ඩෙලිකා, පරණ ටොයොටා කාර් යන සුඛෝපභෝගී අටපට්ටම් වාහනවලින් පිරිලා නැති, මිනිස්සු අඩු, ඒ අහිංසක කොළඹට මං හරි ආදරෙයි. සමහරවිට ඒ කාලෙ හැටියට සංකීර්ණතා තියෙන්න ඇති. 1989 තිරගත කරන්න නම් මේක පටිගත කරන්න ඇත්තේ 86-88 කාලෙදී, ඒ කියන්නෙ භීෂණ කාලෙදි වෙන්න ඕන. තිරගත වෙද්දි විජය ඝාතනය වෙලා (1988 පෙබරවාරි 16). 

දැන් නාගර්‍ර්කරණයේ උපරිමයට ගිහින්, හැමදෙයක්ම සංකීර්ණවෙලා, මිනිස්සුන්ට පොළොවෙ පයගහල ඇවිදින්න බැරි තරම් ඔද්දල් වෙච්ච කොළඹ තිබ්බ සරල විදියට තිබ්බා නම් හොඳයි කියන එක සමහරවිට මහ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති. ඒත් මං කැමතියි "අසුරු සැණින් එක මොහොතකදි, කාලය නැවතී යළි ඇරඹී, විශ්වය අළුතින් බිහිවෙලා" ඒ අතීත කොළඹ සංචාරෙක යන්න. සෙනඟ අඩු ගෝල්ෆේස් එකේ සාපේක්ෂව නැවුම් මුහුදු හුළඟක් විඳින ගමන් පැත්තක නවත්තපු බරබර ගාන පරණ තාලේ අයිස්ක්‍රීම් ලොරියකින් රිදීපාට කොළේ ඔතපු රහම රහ අයිස්චොක් එකක් කන්න. හුළං පුරෝපු හාවොයි බෝලයි විකුණන වෙළෙන්ඳෝ කීපදෙනාගෙන් වැඩකට නැතුවත් බෝලයක් ගන්න. මට වඩා ලොකුවට පේන හින්දා ඒ තිබ්බ බිල්ඩින් ටිකේ ලොකුකම දිහා පුදුමෙන් බලන්න. සෙනඟ නොපිරුණු ගෝල්ෆේස් එකේ නිදහසේ හුස්මක් ගන්න. ඒ දවස්වල බලෙන් වගේ ඇවිද්දවපු හින්දත් නොතේරෙන වයස හින්දත් අහගන්න බැරිවුණ කොළඹ කතා ඇවිදිනගමන් තාත්තා අම්මගෙන් අහගන්න. අවුරුදු ගාණක් ඇතුළත විපරීත වෙයි කියලා දැන් දන්න හින්දා ඒ අහිංසක සරල කොළඹ ඇස්වලින් උරාගෙන හිතේ කොටාගන්න, උපරිමයෙන් විඳගන්න. 

මට තිබ්බා නම් කාල ත්වරණ යන්ත්‍රයක් සමහරවිට...

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #colombo #sinhalacinema 

https://youtu.be/zUE9Y4mPYKY?si=K98Xkfald6wCCFy2

Friday, September 13, 2024

තවලම්කරුවෝ

රූකාන්තගෙ සමහර සිංදුවලට හැඩතල මොනවා දාලා කවුරු කොහොම කිව්වත් අර මුල් ගීතයෙ තියෙන හැඩෙයි හැඟීමයි ගන්න බැරි ඒවත් තියෙනවා, මේකත් එහෙමයි. විවෘත, සරල, සතුටු හඬක් විදියට මතුපිටින් පේන රූකාන්ත ඇතුළේ නැලවෙන, නලවන, දුකක් නොවන දුකක් වගේ එකකුත් පෙනී නොපෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි, සිහේලි මේකට දීලා තියෙන හැඩය සහ රහ වෙනමම තලයක්! 

මොන හේතුවක් පදනම් කරගෙන මේක ලියැවුණත්, 'තාමත් ඔබ ඇත සුව නින්දේ, ඒකයි මා නොකියා යන්නේ' කියද්දි බොල්පිණි වෑහෙන වෙලාවල්වල අපි හැමෝම කප්පරකට කරලා ඇති සමුගැනීම්, සමුදීම් සහ සමු-උදුරා-ගැනීම් නිරායාසයෙන්ම නියෝජනය වෙනවා කියලා හිතෙනවා. ව්‍යංගාර්ථ ගත්තොත් තමතමන්ට දැනෙන හැඟෙන හැටියට කියවගන්න පුලුවන් තේරුම් ගොඩක් මේ පද පේළි ඇතුළේ තියෙනවා. 

ඒ හින්දා මට හිතෙනවා, මේකෙ සාමාන්‍ය ප්‍රේමයක සමුගැනීමකින් එහා ගිය ගැඹුරු අභිනිෂ්ක්‍රමණ කතාවක් කියවෙනවා කියලා. ඒ එක්කම මුල් කොටසෙදි මගෙ ඔලුවෙ මැවෙනවා කොහෙහරි කතා පොතක හරි ඉස්කෝලෙ පොතක හරි දැක්ක සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණයට කලින් ඇවිත් යසෝධරා දේවිය අළුත උපන් රාහුල කුමාරයා තුරුලු කරන් නිදා ඉන්න කුටියෙ දුහුල් තිරය මෑත් කරලා බලා හිටි පින්තූරයක්. 

හැබැයි ඒ කතාව දෙවෙනි කොටසෙදි 'තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ' කියලා කුළුගෙඩි පාරක් දීලා බිඳලා ආයෙම තිත්ත යථාර්ථයකට අපිව වට්ටවනවා. සමහරවිට ඒ කියන්නේ නැවත ආත්මයක් ලබනවා නම් ඒ වනතුරු මතකයෙ ඉන්නවා හෝ මේ ජීවිතේ අවසානය වෙනතෙක් මතකයේ ඉන්නවා කියන එක වෙන්නත් පුළුවන්. ඒත් එහෙම අපි සමුගන්න, සුමුදුන්න, සමු-උදුරාගන්න හැම කෙනෙක්වම ජීවිතාන්තය තෙක් මතකයේ රඳවගන්නෙ, රැඳෙන්නෙ නැහැනෙ.

සංසාර සංකල්පය එක්ක ගත්තහම අපි ඔක්කොම තවලම්කාරයෝ කියන කතාව ඇත්තයි. හැබැයි හැම තවලම්කාරයෙක්ම නොකියා අභිනිෂ්ක්‍රමණ කරන්නෙ නෑ, ඇත්තම කිව්වොත් එක නිවහනක් හැර ගියාට ගිහිගෙය හැරයන්නෙ නෑනේ. 

සංසාර ගමන විශ්වාස කරන මනුස්සයෙක් හැටියට සංසාරේ තවලම්කාරයෙක් හැටියට මං මාව දැක්කට, ප්‍රේමය කියන විෂයෙදි තවලම්කාරයෙක් හැටියට කිසිම කෙනෙක්ව දකින්න කොයිතරම් අකමැතිවුණත් එහෙම දකින්න සිද්ධවෙන යථාර්ථයෙන් මිදෙන්න බැහැනෙ. හැබැයි ලෝකේ තවලම්කාරයොන්ගෙන් පිරිලා. ගැල එක්ක යන ගමන යන්න හිතා හෝ නොහිතා හෝ තවලම්කාර ජීවිත තෝරගෙන හෝ නොගෙන හෝ යන තවලම්කාරයො කොච්චර ඇතිද? 

මේ ජීවිතේ හරි සංසාරේ හරි තවලම්කාරයෙක් වෙන එක හරි ලේසියි. 
ඒත්, ඒ තවලම්කාරකමෙන් ගැලවෙන්න අමාරුයි.
සංසාරේ සෑහෙන්න දුෂ්කරයි, දුරයි, සංකීර්ණයි. ගැල බරයි.

මට ඕන නෑ තවලම්කාරයෙක් වෙන්න. ඒත් මම එක්තරා විදිහක තවලම්කාරයෙක්.

"තවලම්කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ.."❤️

~ Aash Weerasinghe

#AW #thaniya #medusa 

https://youtu.be/wYuIehqgOow?si=PyRbZCduZV9-D0i9



Thursday, September 5, 2024

මෝටිවේසනල් ලංකා

ලියන්න හිතුවෙවත් නැති වෙලාවක Facebook එක පෙන්නන්න ගත්ත මෝඩ පෝස්ට් වගයක් හින්දා (මොන algorithm බලලද මන්දා) මේක ලියන්න හිතුවා.

දිගට හරහට ආදරේ ගැන, ආදරේ කරන්න ඕන කොහොමද කියන එක ගැන එහෙම පකීර් ටෝක්ස් දෙන මෝටිවේසනල් අප්පොච්චිලා දැන් වැහිවැහැලා නේද? හරි, මෝටිවේසනල් මෑණිවරුත් ඉන්නවා. ටිකක් උවමනාවෙන් බැලුවොත්, කාටහරි ඕන නම් සිරි ලංකන් ස්ටයිල් analysis එකක් කළත් තේරුම් ගන්න පුළුවන් මේ පකීර්ලා බහුතරයක් player මානසිකත්වය උඩ දාන්නෙ, ඒක තමයි පොෂ්වීම, ඒකනෙ ට්‍රෙන්ඩ් එක, ඒකනෙ ඉන්න ටිකේ සුදියේ ඉන්න ඕනනෙ, ටික කාලෙනේ ගෑණු මිනිස්සු වෙනස් වෙනවනේ, සම්බන්ධතා වෙනස් වෙනවනේ, හැඟීම් දැනීම් වෙනස් වෙනවනේ කියලා ටෝක්ස් දෙන්නේ ඇයි කියන එක. පළවෙනිම කාරණේ තමයි, නෑ, එහෙම හැරෙන හැරෙන පැත්තෙ ගෑණු මිනිස්සු එක්ක යහන්ගත වෙන එක ආදරේ නෙවෙයි, ඒක සල්ලාලකම, සමහරවිට මානසික ලෙඩක් වෙන්නත් පුළුවන්. Social media හරි යනෙන, ගැවසෙන, රස්සා කරන තැන්වල හරි දකින දකින ගෑණුන්ට මිනිස්සුන්ට 'ටෝක්' කරන්න හිතෙන එක මොකක් හරි ලෙඩක්, කරුණාකරලා ඔයාලටත් එහෙම දැනෙනවා නම් අප්‍රමාදව මනෝ චිකිත්සාවට යොමුවෙන්න, විශේෂයෙන්ම තව මිනිස්සුන්ගෙ ජීවිත විනාස නොකර! මොකද මෝටිවේසනල්ලට ඕවා සුළු දේවල් වුණාට එහෙම නොවන ගෑණු මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා! උන් මේ වගේ කාලකණ්ණින්ට අහුවුණාම ජීවිත කාලෙම විඳවලා, විශාදයට පත්වෙලා, ආයිත් මනුස්සයෙක්ව විශ්වාස කරන්න බැරි තැනට වැටිලා නාස්තිවෙලා යනවා. එතකොට ඔය පකීර් ටෝක්ස් දෙන මෝටිවේසනල්ලා උඩ දාන stereotypes අනියම් මිනීමරුවො! 😏

දැන් ටිකකට කලින් දැක්කා අධි තක්සේරුවෙන් ඉන්න හැබැයි දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති නළු බට්ටෙක්ව උස්සලා තියෙන youtube සංවාදයක්. Thumb stopper එකකින් අංශුමාත්‍රයක්වත් දෙන්න මම පුද්ගලිකව අකමැති වුණත් මේකේ සිරස්තලය 'මට s*x කරන්න ඕන තරම් අය ඉන්නවා, හැබැයි ආදරේ කරන්න ඉන්නේ එක්කෙනයි'! ශාබාෂ් යාර්!! මෙහෙම පුස්වෙඩික්කාරයො උඩ දාලා තමන්ට හරි තමන්ගෙ දරුවෙක්ට හරි එහෙම එකෙක් හම්බෙච්ච දවසට පොළොවෙ පස් කන්නෙ කෙසේද කියලත් වීඩියෝ කරන්න, රචනා ලියන්න අර මෝටිවේස ඩයල්වල්ට පුළුවන් නම් හරි වටිනවා🤣

දෙවෙනි කාරණේ, පොඩි දරුවොන්ට බල්ලෝ ආදරෙයි. බල්ලා කියන්නෙ තමන්ගේ ස්වාමියට, ස්වාමියගෙ පවුලට හරිම ආදරේ, කීකරු, පක්ෂපාතී සතෙක්. හැබැයි උන් උන්ගේ සහකාරයට හෝ සහකාරියට එහෙම බැඳීමක් නෑ. ඒ නිසා දරුවො බල්ලෝ එක්ක හදන්න හැබැයි බල්ලෝ වගේ අයාලෙ යන්න දෙන්න එපා, මොකද ඒ පුරුදු යවන්න බැරිවෙනවා ගලේ ගහලා අපුල්ලලාවත්!

එපමණයි ස්වාමීනී! 😂

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, July 14, 2024

බෝතල් කටු

කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.

මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.

මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය පේන්න පටන් ගන්නවා. ඕන චණ්ඩියෙකුට, 'අනේ දෙවියනේ මං පරක්කු වැඩියිද' කියලා එතෙක් කල් පේන පැත්ත පළාතක නොතිබ්බ බයක් ලෝකේ පෙරළගෙන හිතට එනවා. මේ කියන මොහොතේ මාත් හිටියේ ඒ බය දැනිලා.

අපි හවසක කයියක් ගහගෙන කන්න තැනකට යමින් හිටියේ. සාමාන්‍යයෙන් මට වඩා (වයසින්) පරිණත මිතුරියන් කීපදෙනෙක් එක්ක. ඔහොම වාහනේ ඇතුළේ පිස්සු කරමින් හිනාවෙමින් ඉන්න වෙලාවක මගෙ මේ බොහොම බෑරෑරුම් ප්‍රශ්නෙ එළියට පැන්නා. 
"මං eggs freeze කරන්න ඕන. කවදහරි දවසක මට හිතුණොත් අපරාදේ දරුවෙක් හැදුවෙ නැත්තේ කියලා" ඌණපූරණයක් එක්කම මං මගේ ප්‍රශ්නේ වාහනේ බිමට අතෑරියා. 
"පිස්සුද උඹ වගේ තව එකෙක් මේ ලෝකෙට ගේන්න!" කියලා එක කටකින් පනින පරක්කුවට මං තිගැස්සුණා. ඒක මහ බෝතල් කටු කතාවක්. වෙන වෙලාවක නං" අනේ මේ, හිට්ලර්ලා තමයි මේ ලෝකෙට ඕන" කියලා අනිත් අතට පොළොං පැනිල්ලක් පනින්න ඉඩ තිබ්බත් ඒ වෙලාවේ මං නිශ්ශබ්දව මගේ මෝඩකම ගැන තැවෙමින් ප්‍රශ්නෙ අහුලලා මල්ලෙ ඔබාගත්තා. 

අපි ආයෙත් සාමාන්‍ය විහිළු කතාවට හැරුණා. මගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීපූ යාලුවා එක්ක මූණට මූණ බලාගෙන වාඩිවෙලා අපි කෑවා, බිව්වා, හිනාවුණා, වෙනදා වගේම පිංතූර ගත්තා. මූණේ ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්නා කොයිතරම් සාමාන්‍ය විදිහට හිටියත් ඒ මුලු වෙලාවෙම ඒ බෝතල් කට්ට මගෙ හිත කපකපා ඇමිණිලා තිබ්බා. නෑ, කොහොමත් ටිකක් කට පාලනයක් නැති හින්දා කියන්න ඇත්තේ කියලා කිසි පැකිලීමක් නැතුවම මං සැකයේ වාසිය පිතිකරුට දුන්නා. 
හැබැයි ඒ කැපිච්ච තුවාලෙ තාම තියෙනවා. එහෙමයි කියලා තරහක් වෙනස්වීමක් නෑ. සමහරවිට ඒක දැනෙන්න හේතුව සමාජ පීඩනය වෙන්නත් පුළුවන්. සමාජය හදං ඉන්න ස්ටීරියෝටයිප් අතික්‍රමණය කරලා උඩුගං යද්දි ජීව-ඔරලෝසුවල කටු කැරකෙන එක නතරවෙන්නෙ නෑනේ. උඩුගං යන යටිගං යන හැමෝටම එකම වේගෙන් ඒ කටු කැරකෙනවා. 

අනෙක් අතට කොහේ ගියත් නිරන්තරයෙන් ළමයි ආසක්තවෙන ජීවියෙක් හැටියට මේ බෝතල් කට්ට මට ටිකක් වැඩිපුර දැනෙනවා ඇති. ඕනෑම තරාතිරමක ඕනෑම දරුවෙකුට ආදරය දෙන්න පුළුවන් තරම්, සතෙක් වුණත් දරුවෙක් වගේ ආදරෙන් හදන මව්ගුණයක් එක්ක ඉපදිලා ඒකම ලොකුම අහිමිවීමක් වෙන එක තරම් පාපයක් තවත් තියෙන්න පුළුවන් ද. 

ඕවා ඉතින් කිව්වට කරන්න හොයන්න බලන්න වුණේ නෑ ඊට ටික කාලෙකට පස්සෙ තව හිතවතෙක් ඔය ගැන කියනකල්. තාමත් එහෙමයි, ඒත් කව්රු හරි ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒ ගැන බලන්න පොඩි තල්ලුවක් හැටියට ලැජ්ජාව පැත්තක තියලා මං මේ කතාව ලිව්වේ. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා තමයි. ඒත් අද කළ යුතු දේ අද කළාට කමක් නෑ. ලොකු වියදමක් නම් තමයි. ඒත් පසුතැවිල්ලකට වඩා දැන් ඒක දරා ගන්න එක හොඳ වෙන්නත් පුළුවන්. 

 සමහරවෙලාවට ගෑණුන්ට බෝතල් කටුවලින් අනින්න පුළුවන් ගෑණුන්ටමයි. එහෙම බෝතල් කටු ගෑණු නොවී හිටියොත් අඩුම ගානේ තව ගෑණියෙක්ට බයක් සැකක් තැවිල්ලක් නැතුව තමන්ගේ ගෝත්‍රයේ එකියකට විවෘත වෙන්න පුළුවන් වෙයි. ඒකම කොච්චර ලොකු සැනසීමක් ද කියලා තමන්ගෙ හිතින්ම අහලා බලන්නකො☺️ ඒ ඇති🙏

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, July 7, 2024

ලලයි ලිලයි ලයි - පසු සටහනක්

මාසෙකට විතර කලින් ලලයි ලිලයි ලයි ගැන සිනමාවේදීන් සමූහයට ලිව්වා.
https://www.facebook.com/share/p/9Yu66hWrPWFBoB4B/?mibextid=K35XfP
ඒ කතාවේ vibe එකට කැමැත්තක් ඇතිවුණ හින්දා. දැන් සීසන් 1 ඉවරවෙලා සීසන් 2ත් පටන් අරන් තියෙන වෙලාවේ එදා ලිව්වෙ නැති වෙනමම පැතිකඩක් ගැන ලියන්න හිතුණා. 

නිර්මාණයට පසුබිම් වෙන්නෙ නොනිල වශයෙන් අපි හැමෝම හිරේ විලංගුවේ වට්ටපු, එක්ටැම් ගෙවල්වලට හිර කෙරුණු කොවිඩ් වසංගත සමයනෙ. ඇත්තටම කොවිඩ් කාලෙ අපිට මොකද වුණේ? සාමාන්‍ය දින චරියාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුණානෙ අපි හැමෝගෙම. 
ගෙවල් දොරවල් හදාගෙන ඒවයෙ මකුළුදැලක් කඩන්න වෙලාවක් නෑ කිව්ව මිනිස්සුන්ට ගෙවල් දොරවල් එපා වෙන තරමට කාලයක් ගෙදර ඉන්න වුණා. හැමදාම පාන්දර රස්සාවට දුවලා නැහිල නැහිලා රෑ ජාමේ ගෙදර එනවා කියලා හූල්ලපු මිනිස්සුන්ට ගේට්ටුව ලඟට ඇරෙන්න කොහෙටවත්ම නොයා ගෙදර ඉන්න සිද්ද වුණා. දරුපවුල් එක්ක කාලය ගතකරන්න වෙලාවක් ඉසිඹුවක් නෑ කියල වැලපුණු මිනිස්සුන්ට නයි මුගටි වගේ වෙන තරමට පවුල එක්ක ජීවත් වෙන්න කාලය ලැබුණා. හැමදේකම සුපිරිම දේවල් හෙව්ව මිනිස්සුන්ටත් එළවළු, මාලු, පාන් වෑන් එනකල් බලන් ඉඳලා ලැබෙන දෙයක් කාලා තියෙන දෙයක් අරන් ජීවත් වෙන්න සිද්ද වුණා. ජේත්තුවට ඇඳපැළඳගෙන වාහනවලින් එළියට බැහැපු මිනිස්සුන්ට කලිසම් කොටෙයි ටීෂර්ට් එකයි ඇඳගෙන ජේත්තුවට ඇඳපු ඇඳුම් පැලඳුම් අල්මාරි මුල්ලකට කරගෙන නවත්තපු වාහන දවස් කීපෙකට සැරයක් ස්ටාට් කරලා නැගලා බලලා හූල්ල හූල්ල ඉන්න සිද්ද වුණා. අනන්ත වැඩ රාජකාරිවලට ඔළුව වෙහෙසලා මොළෙන් වැඩගත්ත මිනිස්සුන්ට මොළේ අධික්‍රියාකාරීත්වය මන්දගාමී වෙන එක දරාගන්න බැරිවුණා. නිදහස් කුරුල්ලො වගේ හිතුණු වෙලාවක එළියට බැහැලා යාළුවො මුණගැහිලා හිටිය සමාජ ආශ්‍රය සීමිතවීම හැමෝටම දැනෙන්න ගත්තා. විවේකයයි නිස්කලංකෙයි වහකදුරු වෙන්න ගත්තා. සම්බන්ධකම් දුරස් වුණා, ආදරේ ඈත්වුණා. සමහර ආදර කතාවලට වැරදුණා. සමහරුන්ට හරි ගියා (උදාර කුමාරයට, රවීන්ට, ජිම්ට, තනුෂ්කාට, රන්සරණිට, සුකුමාලට, රාධිකාට, මහසෙන්ට වගේම)
දවසේ කුලීවැඩක් කරලා රෝල ගහලා දිව්වොත් විතරක් හරි හම්බ කරගත්ත මිනිස්සුන්ට එක වේලකින් ඊලඟ වේලට මොකද කරන්නෙ කියලා හිතලම මහන්සි දැනුණා. දිවි නසාගන්න තැනට වැටුණා. 
තව නානාප්‍රකාර සමාජීය ගැටලු ගොඩක් ඇතිවුණා. සේරම කියන්න ගියොත් ලැයිස්තුව දිගයි.

එතකොට තිබ්බේ කායිකව විඳවන වසංගතයක් විතරක්ම නෙවෙයි. මේ හෙණ ගැහුවා වගේ වෙච්ච හිරවීම ඇතුළේ මුළු ලෝකෙම වෙලාගත්ත මානසික වසංගතයකුත් තිබ්බා. ඉච්ඡභංගත්වය, ආතතිය, විශාදය වගේ මහ සංකූලතා ගොඩක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම බොහෝදෙනෙක් තුළ ඇතිවුණා. ඒ වගේ වෙලාවක ධනුෂ්ක වගේ තරුණ මනසකට ඒ වගෙ බලපෑමක් අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන්. කතන්දරේ වැදගත්කම මෑතකාලීනව මානසික සෞඛ්‍යය කියන දේ ගැන එක එක කතිකාවත් ඇතිවුණත් මානසික ලෙඩක් හෝ ලෙඩෙක් කියන එක තාම අපේ සමාජයට අවරගණයේ කාරණාවක්, ලැජ්ජාවට හේතුවක්, හංගන්න ඕන දෙයක් මිසක් කොලෙස්ටරෝල්, හයිබ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටික් වගේ යනයන තැන පම්පෝරි ගහන්න හේතුවෙන පොෂ් ලෙඩක් නොවීම. එහෙව් කාරණාවක් ගැන නිර්මාණයක් තුළින් මෙච්චර සාර්ථකව කතා කිරීම අතින් නම් ලලයි ලිලයි ලයි දිනලා ඉවරයි. 

හැබැයි අද වගේ පරම්පරාවක ධනුෂ්ක දඹගොල්ල වගේ කියවීමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද කියන එක නම් සැක සහිතයි. ඒකයි මම කලින් ලිපියේ කිව්වේ අද පරම්පරාවෙ එකෙක් වුණාට උදාර කුමරුවගේ කටින් එන්නෙ අපේ පරම්පරාවක එකෙක්ගෙ කතා කියලා. ඒක රචකයගේ දක්ෂකම! අනෙක් අතට මේ චරිතය හින්දා අනේ එහෙම උන් බිහිවෙනවා නම් කියලා ෆැන්ටසිමය බලාපොරොත්තුවක් අපි තුළ ඇතිවෙනවා. අඩුමගානේ මේ චරිතෙට ආසාවක් ඇතිවෙලා හරි ටික්ටොක්වල ලෝකෙට විහිළු සපයන්නෙ නැතුව, කියවන්න (පොත්පත්, සාහිත්‍යය), තමන්ගෙ නිර්මාණශීලිත්වයන් අඳුනගන්න, නිර්මාණශීලිත්වයන් වැඩිදියුණු කරගන්න කාටහරිම හිතුණොත් නිර්මාණය ආයෙත් වතාවක් දිනුම්. අපිට එහෙම උන් දැකීමේ දොළදුකක් තියෙනවා, මේ නිර්මාණයේ රචකයට සහ අධ්‍යක්ෂකටත් එහෙම වෙන්න ඇති සමහරවිට. 

මිනිස්සු මානසික ලෙඩවලට බයයි. ඒක නිසා හැංගෙනවා. අතාරිනවා. හැබැයි රදළ පරම්පරා දෙකක අන්තිම පුරුක වෙච්ච උදාර කුමාරයගේ පවුල සහ යාළු මිත්‍රයො එයාව අතාරින්නෙ නෑ. සාමාන්‍යයෙන් හිත්පිත් නෑ කියන රදළයන්ටත් සංවේදී තැන් තියෙනවා කියලා උදාර කුමාරයම එක තැනක කියනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු එහෙමද? මිලා පිස්සෙක් හින්දා තමන්ට අනුකම්පා කරනවා කියලා පහුගිය කොටසක ධනුෂ්ක කියනවා. අනුකම්පාවයි ආදරෙයි වෙනස් තේරුම් ගන්න තරම් මොළයක් තියෙන ධනුෂ්ක පිස්සෙක් කියලා හංවඩු ගැහුවා නම්, එච්චර නිර්මාණශීලිව හිතන්න පුළුවන් තලයක ඉන්න ඒ වගෙ මිනිස්සු කීදෙනෙක් අපි පිස්සො කියලා හංවඩු ගහලා ඇතිද? ඇනිකට් එක උඩ මිලාගෙයි ධනුෂ්කගෙයි අන්තිමට විකාශය වෙච්ච සංවාදය අපිට හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරනවා. ධනුෂ්කට තමන්ගේ තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය යොමුකරන්න focal point එකක් හොයාගන්න බැරුව ඉන්නෙ. මිලා ඒක අඳුනගන්නවා. ධනුෂ්කට ඒක ආදරෙන් බැඳෙන්න කාරණාවක්, තමන්ව තේරුම්ගන්න පුළුවන් වෙච්ච එකම මිලාව දේවදූතියක් කරගන්න හේතුවක්. ආදරේ කොයිවෙලේ කොහොම ඇතිවෙනවද කියලා නොදන්න ත්‍රස්තවාදයක්. උදාර කුමාරයත් ඒකෙ ගොදුරක්. මානසික ලෙඩෙක් කිව්වත් ධනුෂ්කට තමුන් ගැන කියවීමක්, අවබෝධයක් (self awareness) තියෙනවා. ඒත් නිරෝගි කියන මිලාට එයාගෙ සිතුවිලි, හැඟීම් ගැන නිශ්චිත අවබෝධයක් නෑ කියලා හිතෙනවා. එතකොට අර වගේ මනුස්සයෙක් තවත් ආගාධයට වැටෙනවා ඒ පැටළුම ලිහන්න උත්සහා කරමින්. මනුස්ස සම්බන්ධතා හරිම සංකීර්ණයි, ලස්සනයි, දුකයි, සැනසීමයි. හරියට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසක. 

කතන්දරේ කොහොමවෙයිද කියලා බලන් ඉන්නවා. නිර්මාණයට දායක වුණ/ වෙන හැමෝටම සුභ පැතුම්.
ගුණේ නැති අඩුව නම් ප්‍රේක්ෂක අපටත් දැනෙනවා. යහපත් මනුෂ්‍ය ආත්මයක් ලබා ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට ලැබේවා කියලා ගුණේට ප්‍රාර්ථනා කරනවා.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Sunday, June 30, 2024

පිස්සු

"පිස්සු විකාර"
"පිස්සු නැත්නම් ශෝක්"
"පිස්සුවක්නෙ"
"තමුසෙට පිස්සුද ඕයි?"
"පිස්සු ගෑණියෙක්/ පිස්සු මිනිහෙක්/ පිස්සු යකෙක්/ පිස්සු %#$&@"

'පිස්සු' කියන වචනෙ තරම් ඇහෙන වචනයක් තව තියෙනවද?
'පිස්සු' කියන වචනෙ නැති මොකක් හරිම සංවාදයක් නැති දවසක් කාටහරිම මතක් කරගන්න පුළුවන්ද?
ඇත්තටම ඔය කියන තරම්ම පිස්සු ලෝකයක්ද මේක?

අපිට තේරුම් ගන්න බැරි යථාර්ථයක් තව කෙනෙක් දැක්කම අපි ඒකට පිස්සු කියන අවස්ථා නැද්ද?
අපි එකඟ නොවෙන දෙයක් හින්දා ඒක පිස්සුවක් කියලා හිතෙන අවස්ථා නැද්ද?

හැමෝටම පිස්සුවක් තියෙන්න බැරිද?
ක්ලේශවලින්ම උම්මත්තකභාවයට පත්වෙන මිනිස්සු ඉන්න පුළුවන්නෙ.
මහන්තත්වයෙන්, තණ්හාවෙන්, වෛරයෙන්, කාමයෙන්, රාගයෙන්, මෝහයෙන්, මුලාවෙන්, ආදරෙන් පිස්සු වැටෙන පෘථග්ජනයො නැද්ද?

ඒක එහෙම නම් ඒ පිස්සුවෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕන?
මේ 'පිස්සු' ලෝකෙන් මිදෙන්න උත්සහ කරන එක.
මේ 'පිස්සු' ලෝකේ තවත් එක පිස්සුවක් නොවී ඈත් වෙන එක. (මොකද පිස්සුවක් නොවී මේකෙ රැඳෙන්න අමාරු තැනක් වෙලා නිසා)
නිහඬ නිශ්චල තැනකට අතුරුදහන් වෙන එක?
සමහරවිට..

~තනියා 
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Wednesday, February 14, 2024

ගෑණු අන්දවමු!

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කියලා අලුත් නාටකයක් දිග හැරෙනවනෙ මිත්‍රවරුනි.
පටන් ගන්නෙම හද්දා තුම්පනෙ වන්නියෙන් මොකො එහෙ උන් ගෑණුන්ට කොරන දේවල් දන්නෙ උනුයි දෙවියොයි විතරනෙ! එහෙ 'ප්‍රගතිශීලී' කියාගන්න ගෑණුත් කොයිතරම් නම් ප්‍රගතිශීලීද කියලා බලාගන්න නම් ආශ්‍රය කරලම ඉන්න ඕන!😂

ගැලරියට කතා කරන්න පුලුවන් කටවල් ටිකක් දාලා එකම කොත්තු රොටියට මසාලා පේස්ට් එක දාලා 'ඩක බක' ගාලා කොත්තු ගහනවා හරි ගස්සෝනවා හරි දැක්කම හිනා යන්නෙ නැද්ද 😂

සුරංගනා කතා, නින්දෙන් ඇහැරෙන් හාදු, බොළද කතාවලට ඇන්දෙන්න තරම් ලාංකික වනිතාව මෝඩද කියලා මම දන්නෙ නෑ! මේ රටේ ගෑණු ආදරේට රැවටෙන එක හරි හැබැයි ඒ එකෙක්වත් මේ ඇත්තිලා කියන තරම් හෙන ගොබ්බයි කියලා නම් මට හිතන්න අමාරුයි. 
හැබැයි කැටයම් කතා කියලා කැටයම් ලතා මවලා විතරක්ම ලාංකීය වනිතාව උස්සලා තියන්න පුළුවන් නම් මේ වෙද්දි එයාලා ඉන්න ඕන සෑහෙන්න උඩ!

ඔය කියන ප්‍රගතිශීලී වනිතාවෝ දේශපාලනයට එන්න හදන්නෙ තවත් එක පුරුෂ මූලික පක්ෂෙකින් නම්, සහෝදර දේශපාලක කාන්තාවන්ට පාර්ලිමේන්තුවේ වාචික හෝ කායික අවැඩක් සිද්ද වෙද්දි පක්ෂ නායකත්වයට අනුගතව නෑසුකන්ව නොදැක්කා සේ සිටිනවා නම්, සමාජයෙ ඕනෑම තරාතිරමක කාන්‍තාවන් හිංසනයට පෙරමුණ ගන්නවා නම් එතනම වැඩේ මදේ ලොප් නේද සහෝදරියනි? 😂

ඇයි කතා කරන්නෙ ඇන්දෙන ගෑණු ගැන විතරක්? කෝ ඔහෙලයි පක්ෂෙ මිනීමරුවන් නිසා ස්වාමියා අහිමිවුණ බිරින්දෑවරු ගැන, තාත්තලා අහිමිවුණ දියණිවරු ගැන, සහෝදරයන් අහිමිවුණ සහෝදරියන් ගැන, පුත්‍රයන් අහිමිවුණු මව්වරු ගැන කතා? 
අනේ නිකන්.... !

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #genderequality #WomenInPolitics