Thursday, December 26, 2024

විකල්ප මාධ්‍ය සහ කලාව (alternative media and art)

විකල්ප කලාව අතිශය දේශපාලනිකයි. සාම්ප්‍රදායික සහ ප්‍රධාන ධාරාවේ කලාවට වඩා ඔවුන්ගෙ නිර්මාණවල අදහස් සහ ක්‍රියාකාරකම් තීව්‍රතාව දැඩියි. පර්‍යේෂණාත්මක කලාව සහ ප්‍රකාශනය ගැන ඔවුන්ට සීමා නෑ, සමාජීය සාම්ප්‍රදායික රාමුවලට කොටු නොවී මුරණ්ඩු වෙන්න ඔවුන්ට පුළුවන්. ලෝකෙ බොහෝ තැන්වල, රටවල, ශිෂ්ටාචාරවල විකල්ප කලාව පෝෂණය වෙන්නෙ දේශපාලනයෙන්. (ඇත්තටම) පීඩිතයා තුළ පීඩකයාට එරෙහිව පුපුරා යන වෛරයක් මේ හැම විකල්ප කලා නිර්මාණෙකම දකින්න පුළුවන්. ඒක නිසා සමහරු මේක මාක්ස්වාදයට අනුගත කරනවා.

ලංකාවේ ගත්තොත් යම් කාලයක සුනිල් ආරියරත්න - නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ මේ විකල්ප ධාරාවෙ, එවකට පැවති දේශපාලනයට විරුද්ධ මතධාරී නිර්මාණ. ඊටකලින් එස් මහින්ද හිමි (ශ්‍රී ලාංකිකයෙකු නොවීත්) එකල පැවති අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව ලියූ කවි, නිදාසිටි සිංහලයා තුළ ජාතිමාමකත්වයක් ඇති කරන්න කළ නිර්මාණ. හැබැයි, විකල්ප කලාව කැපී පේන්න ප්‍රධානම හේතුවක් තමයි ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික කලාව සහ මාධ්‍ය ඇතුළේ තියෙන ඇල්මැරුණු ගතිය. විශේෂ ලක්ෂණ නෑ, නිර්මාණාත්මක බව නිල්, ඒකාකාරීයි, ප්‍රේක්ෂකයාගෙ හෝ රසිකයාගෙ ඇඟේ ලේ රත්වෙන්නෙ නෑ. නමුත් විකල්ප ධාරාව එහෙම නෑ, ඒ කලාවෙ වේදිකා උඩ, නිර්මාණ තුළ නිරුවත්වීම පවා සාධාරණීකරණය කෙරෙනවා දේශපාලනික කෝණයක් දාලා. අමුතිත්ත කුණුහරුප පවා පීඩිතයාගෙ පීඩනය පුපුරායාමක් හැටියට සාධාරණීකරණය කෙරෙනවා. ලෝකයා හරි කැමති සංසන්දනාත්මකව හිත හදාගන්න. 'අයියො අපිට මෙහෙම තියෙනවා, උන්ට නෑනෙ, අනෙ පව්, ලෝකෙ කොයිතරම් නම් අසාධාරණද' කියලා සහකම්පන අනුකම්පාසහගත හැඟීමකට නිකම්ම තල්ලුවෙනවා තමන් දිහා බලලා අනිකා ඊටවඩා අඩු තත්ත්වයක නම් ඉන්නෙ. අනිකා තමන්ට වඩා වැඩි තත්ත්වයක/ හොඳ තත්ත්වයක ඉන්නවා නම් මේ හැඟීම වෙනස්!

මේකෙ අවුල් පැත්තකුත් තියෙනවා. කාටහරිම අවශ්‍ය නම් ඔබගෙ හැඟීම් සහ දයාව අයුතුලෙස ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්න, විකල්ප මාධ්‍ය සහ කලාව හොඳ ආයුධයක්. ලංකාවේ පහුගිය කාලයක් පුරා නිර්මාණ රැල්ලක් දිහා බැලුවොත්, රණවිරුවා හෙලා දැකීම සහ අපහාසයට ලක් කිරීම ඉඳන්, ජාතිකත්වයට පහර ගැසීම, බෞද්ධයා සහ බුද්ධාගමට පහර ගැසීම, සිංහලයා සහ සම්ප්‍රදායයට පහර ගැසීම වගේ දේවල් මූලික කරගත්ත නිර්මාණ ඕනෑතරම් බිහිවෙලා තියෙනවා, ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත ඩිජිටල් මේ හැම මාධ්‍යකම මේ රටාව තිබ්බා. සංගීත, සිනමා, පුවත්පත්, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සමාජ මාධ්‍ය, මේ හැම එකකම විකල්ප ධාරාව අතිසාර්ථකයි. 

විකල්ප කලාකාරයා පට්ට දේශපාලනිකයි. ඒ වගේම පට්ට කුහකයි. විකල්පයි වෙනස් කියන ලංකාවෙ කලාකාරයො ඔක්කොම ඉන්නෙ එක රැල්ලක කියන එක රහසක් නෙවෙයි. ඔවුන් දේශපාලනිකව එකඟ ජවිපෙ කඳවුර එක්ක. ඔවුන් තුල පවත්නා වෛරය සහ එක්තරා විදියක කෘත්‍රිම හීනමානය නිසා ඔවුන්ගෙ නිර්මාණ බොහොම සද්දයි. සාමාන්‍ය, සාම්ප්‍රදායික කලාවේ ඉඳන් ඔවුන් එක්ක තරඟ කරන්න පුලුවන් කලාකාරයට ඔවුන් කැමති නෑ, එහෙම උන්ට දේශපාලනය අකැපයි. මේ විකල්ප කලාව එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් කලාකාරයන්ගෙන් කැපී පෙනෙනම චරිතය වුණේ ජැක්සන් ඇන්තනි. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගෙ විශිෂ්ටයන්ට මම හිතන්නෙ එතරම් මේ විකල්ප ධාරාව එක්ක හැප්පෙන්න කාලයක් ලැබුණේ නෑ. ජැකාගෙ කියැවීම, විවිධාකාර විෂයන් ඉගෙනීමේ පිපාසය, නිර්මාණවල ප්‍රකාශන හැකියාව, ඔහුගෙ රංගනය ගත්තම ඔහු හිටියෙ සෑහෙන්න ඉදිරියෙන්. නමුත් විකල්ප ධාරාවෙ නොවීමයි ඔහුව දේශපාලනීකරණය කරලා ලේබල් කරන්න ලොකුම හේතුව. ඔක්කොම කලාකාරයො, එකමුතු සමගි සමාදාන කතා ඒ වෙලාවේ විකල්ප ධාරාවෙ 'සුපිරි' කලාකාරයන්ට තිබ්බෙ නෑ, ජැකත් අපේ එකෙක් කියලා හැඟීමක් කොහෙත්ම තිබ්බෙ නෑ. ජැකා අනතුරට පත්වූ වෙලාවෙ සහ ඔහුගෙ මරණය මොහොතෙ පවා ඔය විකල්ප මාධ්‍ය කලාකාරයන්ගෙ හැසිරීම් ලංකාවට මතක ඇති. 
සියළු දේ දේශපාලනිකයි. නමුත්, ඒක එහෙම නෑ වගෙ රඟ පාන්න ගත්තම තමුන්ට තමුන්වත් අවංක නෑ. බොරුවක ජීවත්වෙන්න ලේසියි. හැබැයි බොරු ජීවිතේක ගන්න දෙයක් නෑ.

විකල්ප කලාව නරක නෑ. හැබැයි අවභාවිතා වීමේ සම්භාවිතාව වැඩියි. ෆේස්බුක් එකෙන් ජනාධිපතිලා තැනුවා වගෙ තමයි.

සාම්ප්‍රදායික කලාව වෙනස් වෙන එකක් නෑ. හැබැයි වෙනස් වෙන්න ඕන. නමුත් නිරුවතයි කුණුහරුපයි මේකප්ලස් අමු මූණුයි බැද්දයි මැටිගෙදරයි ආප්පයයි ප්ලේන්ටියයි පෙන්නලා නෙවෙයි. කරනවා නම් කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. කාලො අයංතෙ  වෙන්නත් පුළුවන් සමහරවිට.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #art #cinema

1 comment:

  1. ඔය විකල්ප කියන වචනෙත් අපහරණයට ලක් වෙච්ච වචනයක් මට හිතෙන්නේ. නිර්මාණයක් කලා කෘතියක් වෙන්නේ ඒ මාධ්‍යයට අදාල කලාත්මක ලක්ෂණ කොයිතරම් නිර්මාණාත්මකව භාවිත කරනවද කියන එක උඩ. එතනදි අපි එකඟ නොවන තේමාවක් උනත් සාර්ථකව ඉදිරිපත්වෙලා තියෙන්න පුළුවන්. අපි බෙහෙවින් අගය කරන තේමාවක් උනත් අසාර්ථක ඉදිරිපත්කිරීමක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete