Tuesday, July 31, 2018

කුවේණි

මෙතන ඉඳන් ඈතට දිවෙන තද නිල් පාට මුහුදයි තඹ පාට වැල්ලයි ඊටත් උඩින් විසිරුණු සැහැල්ලු ලා නිල් අහසයි කුවේණි දකින්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි..ඒත් ඒ මුහුදු නිලයි, අහස් නිලයි, තඹ පාටයි, ගස් ගොමුවේ කොළ පාටයි කවදාවත් ඈට එපා වුණේ නෑ.. කුවේණිට දැනෙන්නේ ඒ සේරම අයිති ඒත් අයිති කරගන්න බැරි, ලස්සන වුණත් වචන කරගන්න බැරි හීනයක් වගේ. ඈ සළුවක් වියන්න මෙතනම තෝරගන්න හේතුවත් ඒකමයි. ඒක තමන්ගේ තැනක්ය කියන්න හිමිකමක් නොපවරවාම කුවේණි ලියාගෙන හිටියා. සළුව වියන්නම විතරක් නෙවෙයි කුවේණි මෙතනට එන්නේ, එතනට තියෙන මිදෙන්න බැරි ලෙන්ගතුකමක් හින්දා. ඇයි කියලා නිශ්චිත හේතුවක් නැති බැඳීමක් ඈට මෙතනට තියෙනවා. තනිවෙන්න හිතුණම, හිත රිදුණම, සතුටක් ඇතිවුණාම ඒ කොයි හැඟීමත් බෙදාගන්න ඇයට මතක්වෙන්නේ මෙතන.

ජීවිතේ හිමින් ගලනකොටත් සුනාමියක් වගේ වියරු වෙනකොටත් ඈ මෙතන මෙහෙම වාඩිවෙලා සළුව වියනවා හරියට තමන්ගේ වටේ රාක්ෂයෝ කැරකෙන බවක් නොදන්නවා වගේ. 

ඇත්තටම කුවේණිට සළුවක් වියන්න ලොකු ආසාවක්වත් හීනයක්වත් තිබ්බේ නැහැ. සමවයසේ කෙල්ලෝ සළු වියන්න හීන දැක්කේ වැඩිවිය පත්වෙන්නත් කලින් ඉඳන් වුණත් කුවේණිට ඒ ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නෑ. හැබැයි හිත පිරෙන්න ආදරේ කරන්න නම් කුවේණිගේ හිතේ ලොකු හීනයක් තිබ්බා. සමහරවෙලාවට සළු වියමන යටපත් කරගෙන ඇගේ හිත අතීතයේ කිමිදෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම ආදරයක් හමුවුණාද කියන ප්‍රශ්නාර්ථයෙන් ඈ ඒ හීනවලින් මිදිලා ආයිත් සළුව වියන්න පටන් ගන්නවා.

කුවේණි දැනගෙන හිටියා මේ ලෝකේ වියපු කිසිම සළුවක් සර්වසම්පූර්ණ නැහැ කියලා. අණ්ඩ දාගෙන වියපු සළු පැත්තකින් නවලා තියන් නිරුවතින් උන්නු උන් අතරේ තමන් වියාගත්ත සළුව ඇඳන් ඇවිදින්න තරම් හයියක් කුවේණිට තිබ්බා. ඒත් ඒ ගමන තමන්ගේ ආත්ම අභිමානයට විතරක්ම වෙන ගමනක් බව කුවේණි තේරුම් අරන් හිටියා.

ඇත්ත කොයිතරම් තිත්ත වුණත්  තමන්ගේ වියමනට ලකුණු දෙන්නවත් ඒක අනෙක් වියමන් එක්ක සන්සන්දනය කරන්නවත් කුවේණි උත්සහ කරන්නේ නැහැ.. හිත කලකිරවගෙන අතෑරලා දාන්න බැරි තැනකට තමන්ව ගෙනාපු සළුවක් තියෙන ඕනම කෙනෙක් තමන් වගේ හිතනවා ඇති කියලා චරිත සහතික දෙන්න කුවේණිට බැහැ. සමහරවිට එහෙම අතෑරලා දාලා අළුත් සළු වියන්න ගත්තු මිනිස්සු ජීවිතේ සුන්දරයි කියනවත් ලෝකේ නිරුවතින් ඇවිදින අනික් උන් ඒවට හිනාවෙනවත් කුවේණි දැකලා තියෙනවා.

Saturday, July 14, 2018

ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම!

ලංකාවේ බහුතරයක් පුරුෂයෝ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රූපය පවත්වාගෙන යාමට තියෙන අලසකම ගැන විවිධාකාරයේ චෝදනා කරනවා. භාර්යාවෝ කියනවා එහෙම නෙවේය, අතීතයේ වාගේ තමන්ගේ හැඩ බලන්න තමන්ගේ පුරුෂයාගේ කිසිම උනන්දුවක් නැතිය කියලා. කොහොමවුණත් ඔය කතන්දරවල දෙපැත්තක් තියෙනවා. භාර්යාවන්ගෙන්ම පටන් ගනිමුකෝ. දැන් ඔය අද කාලේ ඉන්න භාර්යාවෝ බහුතරයක් පුරුෂයන්ගේ ඉළ ඇටයකින්ම මැවිච්ච එකේ ආනිශංස ඉහටත් උඩින් විඳවමින් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උදේ පාන්දර උයා පිහාගෙන, දරුවන්ට බව්වන්ට පූසන්ට කන්න බොන්න දීගෙන, දරුවෝ ලකලැහැස්ති කරගෙන, මනුස්සයගේ ගෙම්බර් බලාගෙන, උන්දැටත් බත් බැඳගෙන රස්සාවට දුවලා යහපාලනෙන් කිව්ව හැටියට කාර් ගන්න බැරිවෙච්චි හින්දා බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා එහෙම කාර්යාලයට යනවා. එතනත් පැය 9ක් තිස්සේ මැරිලා (අයිස් ගහන ඇත්තියෝ ඇරුණුකොට) ආයිත් උදේ විදියටම බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා කීල්ස්, කාගිල්ස්, ආපිකෝ නැත්නම් හන්දියේ කඩෙන් බඩු මල්ලකුත් උණ්ඩි කරන් ගෙදර ගිහින් උයලා පිහලා, පොඩි උන්ගේ හෝම්වර්ක් කරවලා, මනුස්සයගේ ටීවී චැනල් මාරුව දිහා උපේක්ෂාවෙන් බලන් ඉඳලා, උන් සේරටම කවලා පොවලා නිදිකරවලා එහෙම මහ රෑ ජාමේ නින්දට යනවා. ඉතින් ඒ අස්සේ මූණූ පොත්වලයි පොෂ් අක්කිලායි, නිළි නංගිලයි එහෙම කියනවා අපි වර්ක් අවුට් කරනවාය, ඩයට් කරනවාය, දවසට පැය බාගයක් තමන්ට කියලා වෙන්කරගන්න කාන්තාවෝ හැමෝම උත්සහ කරන්න ඕනය කියලා. එතකොට අපේ භාර්යාවෝ එක්ක දත්මිටිකනවා නැත්නම් හූල්ල හූල්ල ඊලඟ දවසට ලකලෑස්ති වෙනවා.

එතකොට පුරුෂයෝ මොකද කරන්නේ..?