Sunday, July 14, 2024

බෝතල් කටු

කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.

මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.

මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය පේන්න පටන් ගන්නවා. ඕන චණ්ඩියෙකුට, 'අනේ දෙවියනේ මං පරක්කු වැඩියිද' කියලා එතෙක් කල් පේන පැත්ත පළාතක නොතිබ්බ බයක් ලෝකේ පෙරළගෙන හිතට එනවා. මේ කියන මොහොතේ මාත් හිටියේ ඒ බය දැනිලා.

අපි හවසක කයියක් ගහගෙන කන්න තැනකට යමින් හිටියේ. සාමාන්‍යයෙන් මට වඩා (වයසින්) පරිණත මිතුරියන් කීපදෙනෙක් එක්ක. ඔහොම වාහනේ ඇතුළේ පිස්සු කරමින් හිනාවෙමින් ඉන්න වෙලාවක මගෙ මේ බොහොම බෑරෑරුම් ප්‍රශ්නෙ එළියට පැන්නා. 
"මං eggs freeze කරන්න ඕන. කවදහරි දවසක මට හිතුණොත් අපරාදේ දරුවෙක් හැදුවෙ නැත්තේ කියලා" ඌණපූරණයක් එක්කම මං මගේ ප්‍රශ්නේ වාහනේ බිමට අතෑරියා. 
"පිස්සුද උඹ වගේ තව එකෙක් මේ ලෝකෙට ගේන්න!" කියලා එක කටකින් පනින පරක්කුවට මං තිගැස්සුණා. ඒක මහ බෝතල් කටු කතාවක්. වෙන වෙලාවක නං" අනේ මේ, හිට්ලර්ලා තමයි මේ ලෝකෙට ඕන" කියලා අනිත් අතට පොළොං පැනිල්ලක් පනින්න ඉඩ තිබ්බත් ඒ වෙලාවේ මං නිශ්ශබ්දව මගේ මෝඩකම ගැන තැවෙමින් ප්‍රශ්නෙ අහුලලා මල්ලෙ ඔබාගත්තා. 

අපි ආයෙත් සාමාන්‍ය විහිළු කතාවට හැරුණා. මගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීපූ යාලුවා එක්ක මූණට මූණ බලාගෙන වාඩිවෙලා අපි කෑවා, බිව්වා, හිනාවුණා, වෙනදා වගේම පිංතූර ගත්තා. මූණේ ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්නා කොයිතරම් සාමාන්‍ය විදිහට හිටියත් ඒ මුලු වෙලාවෙම ඒ බෝතල් කට්ට මගෙ හිත කපකපා ඇමිණිලා තිබ්බා. නෑ, කොහොමත් ටිකක් කට පාලනයක් නැති හින්දා කියන්න ඇත්තේ කියලා කිසි පැකිලීමක් නැතුවම මං සැකයේ වාසිය පිතිකරුට දුන්නා. 
හැබැයි ඒ කැපිච්ච තුවාලෙ තාම තියෙනවා. එහෙමයි කියලා තරහක් වෙනස්වීමක් නෑ. සමහරවිට ඒක දැනෙන්න හේතුව සමාජ පීඩනය වෙන්නත් පුළුවන්. සමාජය හදං ඉන්න ස්ටීරියෝටයිප් අතික්‍රමණය කරලා උඩුගං යද්දි ජීව-ඔරලෝසුවල කටු කැරකෙන එක නතරවෙන්නෙ නෑනේ. උඩුගං යන යටිගං යන හැමෝටම එකම වේගෙන් ඒ කටු කැරකෙනවා. 

අනෙක් අතට කොහේ ගියත් නිරන්තරයෙන් ළමයි ආසක්තවෙන ජීවියෙක් හැටියට මේ බෝතල් කට්ට මට ටිකක් වැඩිපුර දැනෙනවා ඇති. ඕනෑම තරාතිරමක ඕනෑම දරුවෙකුට ආදරය දෙන්න පුළුවන් තරම්, සතෙක් වුණත් දරුවෙක් වගේ ආදරෙන් හදන මව්ගුණයක් එක්ක ඉපදිලා ඒකම ලොකුම අහිමිවීමක් වෙන එක තරම් පාපයක් තවත් තියෙන්න පුළුවන් ද. 

ඕවා ඉතින් කිව්වට කරන්න හොයන්න බලන්න වුණේ නෑ ඊට ටික කාලෙකට පස්සෙ තව හිතවතෙක් ඔය ගැන කියනකල්. තාමත් එහෙමයි, ඒත් කව්රු හරි ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒ ගැන බලන්න පොඩි තල්ලුවක් හැටියට ලැජ්ජාව පැත්තක තියලා මං මේ කතාව ලිව්වේ. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා තමයි. ඒත් අද කළ යුතු දේ අද කළාට කමක් නෑ. ලොකු වියදමක් නම් තමයි. ඒත් පසුතැවිල්ලකට වඩා දැන් ඒක දරා ගන්න එක හොඳ වෙන්නත් පුළුවන්. 

 සමහරවෙලාවට ගෑණුන්ට බෝතල් කටුවලින් අනින්න පුළුවන් ගෑණුන්ටමයි. එහෙම බෝතල් කටු ගෑණු නොවී හිටියොත් අඩුම ගානේ තව ගෑණියෙක්ට බයක් සැකක් තැවිල්ලක් නැතුව තමන්ගේ ගෝත්‍රයේ එකියකට විවෘත වෙන්න පුළුවන් වෙයි. ඒකම කොච්චර ලොකු සැනසීමක් ද කියලා තමන්ගෙ හිතින්ම අහලා බලන්නකො☺️ ඒ ඇති🙏

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, July 7, 2024

ලලයි ලිලයි ලයි - පසු සටහනක්

මාසෙකට විතර කලින් ලලයි ලිලයි ලයි ගැන සිනමාවේදීන් සමූහයට ලිව්වා.
https://www.facebook.com/share/p/9Yu66hWrPWFBoB4B/?mibextid=K35XfP
ඒ කතාවේ vibe එකට කැමැත්තක් ඇතිවුණ හින්දා. දැන් සීසන් 1 ඉවරවෙලා සීසන් 2ත් පටන් අරන් තියෙන වෙලාවේ එදා ලිව්වෙ නැති වෙනමම පැතිකඩක් ගැන ලියන්න හිතුණා. 

නිර්මාණයට පසුබිම් වෙන්නෙ නොනිල වශයෙන් අපි හැමෝම හිරේ විලංගුවේ වට්ටපු, එක්ටැම් ගෙවල්වලට හිර කෙරුණු කොවිඩ් වසංගත සමයනෙ. ඇත්තටම කොවිඩ් කාලෙ අපිට මොකද වුණේ? සාමාන්‍ය දින චරියාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුණානෙ අපි හැමෝගෙම. 
ගෙවල් දොරවල් හදාගෙන ඒවයෙ මකුළුදැලක් කඩන්න වෙලාවක් නෑ කිව්ව මිනිස්සුන්ට ගෙවල් දොරවල් එපා වෙන තරමට කාලයක් ගෙදර ඉන්න වුණා. හැමදාම පාන්දර රස්සාවට දුවලා නැහිල නැහිලා රෑ ජාමේ ගෙදර එනවා කියලා හූල්ලපු මිනිස්සුන්ට ගේට්ටුව ලඟට ඇරෙන්න කොහෙටවත්ම නොයා ගෙදර ඉන්න සිද්ද වුණා. දරුපවුල් එක්ක කාලය ගතකරන්න වෙලාවක් ඉසිඹුවක් නෑ කියල වැලපුණු මිනිස්සුන්ට නයි මුගටි වගේ වෙන තරමට පවුල එක්ක ජීවත් වෙන්න කාලය ලැබුණා. හැමදේකම සුපිරිම දේවල් හෙව්ව මිනිස්සුන්ටත් එළවළු, මාලු, පාන් වෑන් එනකල් බලන් ඉඳලා ලැබෙන දෙයක් කාලා තියෙන දෙයක් අරන් ජීවත් වෙන්න සිද්ද වුණා. ජේත්තුවට ඇඳපැළඳගෙන වාහනවලින් එළියට බැහැපු මිනිස්සුන්ට කලිසම් කොටෙයි ටීෂර්ට් එකයි ඇඳගෙන ජේත්තුවට ඇඳපු ඇඳුම් පැලඳුම් අල්මාරි මුල්ලකට කරගෙන නවත්තපු වාහන දවස් කීපෙකට සැරයක් ස්ටාට් කරලා නැගලා බලලා හූල්ල හූල්ල ඉන්න සිද්ද වුණා. අනන්ත වැඩ රාජකාරිවලට ඔළුව වෙහෙසලා මොළෙන් වැඩගත්ත මිනිස්සුන්ට මොළේ අධික්‍රියාකාරීත්වය මන්දගාමී වෙන එක දරාගන්න බැරිවුණා. නිදහස් කුරුල්ලො වගේ හිතුණු වෙලාවක එළියට බැහැලා යාළුවො මුණගැහිලා හිටිය සමාජ ආශ්‍රය සීමිතවීම හැමෝටම දැනෙන්න ගත්තා. විවේකයයි නිස්කලංකෙයි වහකදුරු වෙන්න ගත්තා. සම්බන්ධකම් දුරස් වුණා, ආදරේ ඈත්වුණා. සමහර ආදර කතාවලට වැරදුණා. සමහරුන්ට හරි ගියා (උදාර කුමාරයට, රවීන්ට, ජිම්ට, තනුෂ්කාට, රන්සරණිට, සුකුමාලට, රාධිකාට, මහසෙන්ට වගේම)
දවසේ කුලීවැඩක් කරලා රෝල ගහලා දිව්වොත් විතරක් හරි හම්බ කරගත්ත මිනිස්සුන්ට එක වේලකින් ඊලඟ වේලට මොකද කරන්නෙ කියලා හිතලම මහන්සි දැනුණා. දිවි නසාගන්න තැනට වැටුණා. 
තව නානාප්‍රකාර සමාජීය ගැටලු ගොඩක් ඇතිවුණා. සේරම කියන්න ගියොත් ලැයිස්තුව දිගයි.

එතකොට තිබ්බේ කායිකව විඳවන වසංගතයක් විතරක්ම නෙවෙයි. මේ හෙණ ගැහුවා වගේ වෙච්ච හිරවීම ඇතුළේ මුළු ලෝකෙම වෙලාගත්ත මානසික වසංගතයකුත් තිබ්බා. ඉච්ඡභංගත්වය, ආතතිය, විශාදය වගේ මහ සංකූලතා ගොඩක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම බොහෝදෙනෙක් තුළ ඇතිවුණා. ඒ වගේ වෙලාවක ධනුෂ්ක වගේ තරුණ මනසකට ඒ වගෙ බලපෑමක් අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන්. කතන්දරේ වැදගත්කම මෑතකාලීනව මානසික සෞඛ්‍යය කියන දේ ගැන එක එක කතිකාවත් ඇතිවුණත් මානසික ලෙඩක් හෝ ලෙඩෙක් කියන එක තාම අපේ සමාජයට අවරගණයේ කාරණාවක්, ලැජ්ජාවට හේතුවක්, හංගන්න ඕන දෙයක් මිසක් කොලෙස්ටරෝල්, හයිබ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටික් වගේ යනයන තැන පම්පෝරි ගහන්න හේතුවෙන පොෂ් ලෙඩක් නොවීම. එහෙව් කාරණාවක් ගැන නිර්මාණයක් තුළින් මෙච්චර සාර්ථකව කතා කිරීම අතින් නම් ලලයි ලිලයි ලයි දිනලා ඉවරයි. 

හැබැයි අද වගේ පරම්පරාවක ධනුෂ්ක දඹගොල්ල වගේ කියවීමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද කියන එක නම් සැක සහිතයි. ඒකයි මම කලින් ලිපියේ කිව්වේ අද පරම්පරාවෙ එකෙක් වුණාට උදාර කුමරුවගේ කටින් එන්නෙ අපේ පරම්පරාවක එකෙක්ගෙ කතා කියලා. ඒක රචකයගේ දක්ෂකම! අනෙක් අතට මේ චරිතය හින්දා අනේ එහෙම උන් බිහිවෙනවා නම් කියලා ෆැන්ටසිමය බලාපොරොත්තුවක් අපි තුළ ඇතිවෙනවා. අඩුමගානේ මේ චරිතෙට ආසාවක් ඇතිවෙලා හරි ටික්ටොක්වල ලෝකෙට විහිළු සපයන්නෙ නැතුව, කියවන්න (පොත්පත්, සාහිත්‍යය), තමන්ගෙ නිර්මාණශීලිත්වයන් අඳුනගන්න, නිර්මාණශීලිත්වයන් වැඩිදියුණු කරගන්න කාටහරිම හිතුණොත් නිර්මාණය ආයෙත් වතාවක් දිනුම්. අපිට එහෙම උන් දැකීමේ දොළදුකක් තියෙනවා, මේ නිර්මාණයේ රචකයට සහ අධ්‍යක්ෂකටත් එහෙම වෙන්න ඇති සමහරවිට. 

මිනිස්සු මානසික ලෙඩවලට බයයි. ඒක නිසා හැංගෙනවා. අතාරිනවා. හැබැයි රදළ පරම්පරා දෙකක අන්තිම පුරුක වෙච්ච උදාර කුමාරයගේ පවුල සහ යාළු මිත්‍රයො එයාව අතාරින්නෙ නෑ. සාමාන්‍යයෙන් හිත්පිත් නෑ කියන රදළයන්ටත් සංවේදී තැන් තියෙනවා කියලා උදාර කුමාරයම එක තැනක කියනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු එහෙමද? මිලා පිස්සෙක් හින්දා තමන්ට අනුකම්පා කරනවා කියලා පහුගිය කොටසක ධනුෂ්ක කියනවා. අනුකම්පාවයි ආදරෙයි වෙනස් තේරුම් ගන්න තරම් මොළයක් තියෙන ධනුෂ්ක පිස්සෙක් කියලා හංවඩු ගැහුවා නම්, එච්චර නිර්මාණශීලිව හිතන්න පුළුවන් තලයක ඉන්න ඒ වගෙ මිනිස්සු කීදෙනෙක් අපි පිස්සො කියලා හංවඩු ගහලා ඇතිද? ඇනිකට් එක උඩ මිලාගෙයි ධනුෂ්කගෙයි අන්තිමට විකාශය වෙච්ච සංවාදය අපිට හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරනවා. ධනුෂ්කට තමන්ගේ තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය යොමුකරන්න focal point එකක් හොයාගන්න බැරුව ඉන්නෙ. මිලා ඒක අඳුනගන්නවා. ධනුෂ්කට ඒක ආදරෙන් බැඳෙන්න කාරණාවක්, තමන්ව තේරුම්ගන්න පුළුවන් වෙච්ච එකම මිලාව දේවදූතියක් කරගන්න හේතුවක්. ආදරේ කොයිවෙලේ කොහොම ඇතිවෙනවද කියලා නොදන්න ත්‍රස්තවාදයක්. උදාර කුමාරයත් ඒකෙ ගොදුරක්. මානසික ලෙඩෙක් කිව්වත් ධනුෂ්කට තමුන් ගැන කියවීමක්, අවබෝධයක් (self awareness) තියෙනවා. ඒත් නිරෝගි කියන මිලාට එයාගෙ සිතුවිලි, හැඟීම් ගැන නිශ්චිත අවබෝධයක් නෑ කියලා හිතෙනවා. එතකොට අර වගේ මනුස්සයෙක් තවත් ආගාධයට වැටෙනවා ඒ පැටළුම ලිහන්න උත්සහා කරමින්. මනුස්ස සම්බන්ධතා හරිම සංකීර්ණයි, ලස්සනයි, දුකයි, සැනසීමයි. හරියට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසක. 

කතන්දරේ කොහොමවෙයිද කියලා බලන් ඉන්නවා. නිර්මාණයට දායක වුණ/ වෙන හැමෝටම සුභ පැතුම්.
ගුණේ නැති අඩුව නම් ප්‍රේක්ෂක අපටත් දැනෙනවා. යහපත් මනුෂ්‍ය ආත්මයක් ලබා ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට ලැබේවා කියලා ගුණේට ප්‍රාර්ථනා කරනවා.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Friday, July 5, 2024

සංකා මරණ

අපි හිටියෙ 101වෙනි තට්ටුවෙ.
අපි කිව්වට එයා. මං ආවා ගියා.

ඉස්සෙල්ලම 101වෙනි තට්ටුවට ගියේ බොහොම ප්‍රේමණීය රමණීය, අදහගන්න බැරි ආදර රෝලර්කෝස්ටරේක නැගිලා හඳ එළියක නෑවි නෑවි අතිනත් පටලාගෙන, දෙන්නම ආදරෙන් මතින් මත්වෙලා හිටිය මොහොතක. බරපතල ආකර්ෂණේක ගිනිපුළිඟු වේගෙන් එයාගෙන් මට මගෙන් එයාට පනිමින් හිටිය මොහොතක.
ඊටපස්සෙ දිගටම මල්වැල් ලියවැල් එතිච්ච ප්‍රේම ඔංචිල්ලාවක තුරුල්වෙලා වෙලිලා පැටලිලා (ගැරඬි වගේ) 101 තට්ටුව දිව්‍ය විමානයක් කරගෙන අපි හිටියෙ.
කොණක තිබ්බ පුංචි වැලි ඔරලෝසුවේ වැලි හැලුණේ ඇහිපිය හෙලන්නත් කලින්! 

එහෙම හිටිය දිව්‍ය විමානෙ මල් ඔංචිල්ලාවෙන් බැල්කනි තාප්පෙට මාරුවුණේ කවදද කියලා මම දන්නෙ නෑ. 
හැබැයි වටපිටාව නිශ්ශබ්ද වෙමින් තිබ්බා.
හෘද වස්තු ලබ්බෙ ලබ් ඩබ් එක මටම වධයක් වෙන්න ඇහෙන්න ගත්තා.
වැලි ඔරලෝසුවේ වැලි අංශුව ගානෙ මන්දගාමීව හැලෙන්න ගත්තම මට ඒ සද්දෙයි වේගෙයි දරාගන්න බෑ කිව්වම එයා යක්සාවේශයකින් මාව තල්ලු කළා "පිස්සු ගෑණියෙක් ඕයි තමුසෙ!". 
"හහ්?" මම වචන ලොප්වෙලා බලන් හිටියා. මොකද්ද ඒ කිව්වෙ කියලා තේරුම් ගන්න බැරුව සිංහල චක්‍රවර්තී, සංවේදී කවිකාර, අතිරමණීය ප්‍රේමවන්ති අස්සේ හිටිය මාන්නක්කාර උගත් බුද්ධිමත් රූමත් අතිපණ්ඩිත කාලි ඉස්සර එයා ආදරෙන් ඉම්බ කට ඇරන් බලන් හිටියා. 
මගෙ රවුම් සිංහල කවි අස්සෙත් එයාට තියෙන ආදරෙ හෙව්ව ප්‍රේමවන්තයා, ජේත්තුකාර රැවුලා, පොඩි ළමයෙක් වගේ මගේ අතීත කතාවලට ඉරිසියාව වැපිරුව මකරා, ලොකු අයියෙක් වගේ මාව ගුලිකරන් තුරුල් කරන් ආදරෙ දුන්න මනුස්සයා මල යක්සයෙක් වගේ මාව තල්ලු කළා. 
මං ටක් ගාලා තූෂ්ණිම්භූත වෙච්ච කාලිව වහගත්තා. ආදරේදි රබර් වගේ ඇදෙන මගේ ඉවසීම එක මොහොතෙන් සුන්නද්දූලි කරලා, ආයෙ අනෙක් අතට මතක හිටින්න රිද්දලා, ආයේ ඇවිත් පාමුල වැටිලා ඇඬුවත් කිසිමදාක නාඳුනන මිනිහෙක් වගේ ඉන්න පුළුවන් තරම් රෞද්‍ර ඒ කාලිට මාත් බයයි. ඒ කාලිව මේ අවස්ථාවට ගෙන්නලා මොන මලයස්සයෙක් වුණත් මට ආදරේ කළා කියලා මං හිතුව, මං තාම ආදරේ කරන මිනිහට රිද්දන්න මං ඊට වඩා බයවුණා. කාලි වැඩියොත් ඒ ඔක්කොම ආයෙ කිසිදාක හදන්න බැරි තැනකට යන බව දන්න නිසා එහෙම අවධානමක් අරන් මේ ආදරේ අතාරින්න බෑ කියන හැඟීම දරුණුවට දැනෙන්න ගත්තා. ආදරේ කියන්නෙ ඒක වෙන්න ඇතිනෙ. 

මං හිතුවෙම කොයි වෙලාවක හරි පියවි මනුස්ස ස්වභාවයට ඇවිල්ලා ඉස්සර වගේම තුරුල් කරන් ආදරෙන් නාවලා  මාව බැල්කනි තාප්පෙන් වඩාගෙන බිමට ගනීවි කියලා. තට්ටු 101ක් උඩ අහසේ වේගවත් හුළං පාරවල්වලට මෑකරලක් වගේ වැනෙද්දිත් ඒ මොහොත උදාවෙනකල් මම බලන් හිටියා. 
වේදනා කැක්කුම් නිවලා, එහෙම ඉන්න වැටවල් උඩින් වඩලා බිමට ගන්න වෙන මිනිස්සු නැත්තේ නෑ. ඒත් ඒ කැක්කුම් සේරම නස්නාලේපවලින් තාවකාලික සුව හොයන්න යන ජාතියේ නොවන අහංකාරකම හින්දා හිටිපියෙන්ම ඉඳපු මටනෙ මෙහෙම කළේ කියන ගින්න හුළං පාරට තවතවත් සැරෙන් ඇවිලෙන්න ගත්තා.
එක්කෝ මෙහෙම ඉන්නවට වඩා හොඳ නැද්ද වැටෙන එක?
තට්ටු 101ක් පහුකරන් වැටෙද්දි මොන වගේ දැනෙයිද?
ඒ වැටිල්ල නවත්තන්න පුළුවන් ජගතෙක් නම් මෙලොව නැතුවැති වගේ දේවල් හිතෙන්න පටන් අරන් තිබුණේ.

අන්තිම වතාවේ තමයි ඒක වුණේ.
මම බැල්කනියෙන් වැටුණා.
පුපුරු ගහන නියපොතු අගින් එල්ලිලා ඉන්න මම අන්තිම වාරුවත් ගනිමින් ඉන්නකොට සෙනසුරාදා පාන්දරක එයා තීරණය කරලා තිබ්බා මගෙ ඇඟිලි උඩ හිටගන්න. 
දැන් කොයිවෙලේක හරි සපත්තු අඩිවලට පෑගිලා හිරිවැටෙන ඇඟිලි වාරුව ලිහෙයි. වමත දිගේ හිරියක් ගිහින් ඒක පපුව රිද්දගෙනද හිරකරගෙනද පුච්චගෙනද කියන්න නොතේරෙන මොකද්දෝ එකක් වෙනවා කියද්දිත් ඒක කියලා වැඩක් නැති තැනක එයා හිටියෙ.

එතකොට..රමණීය මතක තට්ටුවක් මරණීය වෙයිද.
"පරම රමණී අපේ ආලේ...." රුක්මණීදේවි ග්‍රැමෆෝන් එකක් අස්සෙන් ඇහෙන්න ගත්තා.
මං වැටුණා. එයා හැරුණා.

"සදා කල් දුකට වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යනුද නොමතේරේ.." 
රුක්මණී නැවතුණා.

~ Aash Weerasinghe

Sunday, June 30, 2024

පොල් සම්බෝලයෝ සහ පූස් කතා

අපේ අම්මා දවසට දෙවරක් නොවරදවා කරන වතාවත් තමයි අසල්වාසියේ ඉන්න බලු - පූස් රොත්තට කන්න දෙන එක. අම්මා නොකෑවත් ඒක නොවරදවාම කරන්න ඕන. අම්මට බැරි දවසක වෙන කෙනෙක් කරන්නම ඕන. ඒක දන්න හින්දා කන්න දෙන වෙලාව ළං වෙද්දි හරි උන්ට බඩගිනි ආවම හරි ගේට්ටුව ඉස්සරහ පෙළට වාඩිවෙලා ඉන්නවා. ඊයේ පෙරේදා දවසක මම එද්දි සුපුරුදු අලු කලු සුදු රොත්තෙ මෙන්න පොල්සම්බෝලයෙක් ඉන්නවා! සුදුයි තැඹිලියි චූටියි. ඒ එක්කම මගෙ පරණ මතකයක් උඩ මතුවෙච්ච නිසා එතන බිම ඇණ තියාගෙන වාඩිවෙලා මම මේ පොඩ්ඩා එක්ක සුරතල් කතාවක් දැම්මා. ඔළුව අතගානකල් හිටියට ඉන්නෙ දකුණු අත බාගෙට උස්සන් සොත්ති කරන් ගහන්න බලාගෙන, පොඩිකමට නෙවෙයි ආත්මාරක්ෂක සටන් කලාව! මගෙත් ආදරෙ ඉහවහා ගිහිල්ලා රැවුල් කොටේ ඇල්ලුණා කියලා ඇඟිල්ල හැපුවනෙ මේක අර යන්තම් මතුවෙලා ඒත් ඉඳිකටු උල් වගේ තියෙන දත්වලින්. මම බැනලා නැගිටලා ආවා. 😂

ඔය වගේම එක්කෙනෙක් හිටියා මට අවුරුදු 8දි 9දි විතර. ඒ පොල්සම්බෝලයගෙ නම කිටී, අනික් එක්කෙනා අළුයි හැබැයි එයා කුලෑටියි, සමාජ ආශ්‍රයට ප්‍රිය නෑ. කිටී එහෙම නෙවෙයි මගෙ එක්කම තමයි ඉතින් යාලුකම. උදේට නැගිටින්න පරක්කු වුණාම හොයාගෙන ඇවිත් ඇඳට පැනලා වටේම ඇවිදලා මූණ දිහා බලන් ටික වෙලාවක් බලන් ඉඳලා සුදු මේස් කකුලක් උස්සලා මූණට හිමින් තට්ටු කරනවා ඇහැරවන්න. ඒක හරි නොගියොත් හා කමක් නෑ කියලා තුරුල් කරන් ඉන්න කොට්ටෙටයි මටයි හේත්තුවෙලා වක ගැහිලා එයත් නිදාගන්නවා. මං යන යන තැන වලිගෙ කොඩිය වගේ උස්සන් ඇවිදිනවා. හරිම ලස්සනයිත් එක්ක. ඒ වුණාට මහ ඇට්ටරකමුත් කරනවා. මොකද්ද මංගල්ලෙකට උඩ පැනලා උඩවල්වල දුවලා නටලා අපේ ආත්තම්මා චිරාත් කාලයක් පරිස්සම් කරපු, බලන්න ලැජ්ජා හිතෙන ජාතියේ වීනස් ප්‍රතිමාවක් වට්ටලා වීනස්ගේ ගෙල සිඳුණානෙ! 
අන්න දවස!
ලෝක විනාස ඔක්කොම එක දවසෙ. කොච්චර සත්ව කරුණාව වුණත් එදා නම් කිටියව දුටු තැන ගහන්න එලෙව්වා ආත්තම්මා. කිටියා දුවගෙන ඇවිත් මං ලඟ හැංගුණාම මම මද්දුම බණ්ඩාර වගේ කිටියා වෙනුවෙන් බෙල්ල දුන්නා. මගෙ කැත ඔලු ගෙඩියෙන් සිඳුණු වීනස් හිස රිප්ලේස් කරන්න බැරි හින්දා මාත් හොඳට අහගත්තා. (ඊයා! රිප්ලේස් කරන්න පුලුවන් වුණත් ඒ වගේ ප්‍රතිමාවකට නම් මම මළත් බෙල්ල දෙන්නෙ නෑ 😂).
කොහොමහරි ඉතින් කිටියට ගෙදර තහනම් කලාපයක් වුණා. ඉලන්දාරි වයසත් එක්ක මිනිහා ඊටපස්සෙ රස්තියාදුවට හුරුවෙලා කොහෙද මැරිලා හිටියා.💔

ඔය කිටියගෙ කාලෙ පූස් පරම්පරාවක්ම හිටියා එහෙ. හැබැයි ශෙඩී එනකල් හිටිය ඔක්කොම බව්වො එක්ක සහජීවනයෙන් හිටියා, එක පිඟානෙ කෑම කෑවා. එතකොට හිටිය කලූ කියන බව්වගෙ හැම මුරේකම පැටව් මැරුණා. ඒ දුකෙන්ම එක සැරේක කලූ තව කලු පූස් පැටියෙක්ව දරුකමට හදාගෙනත් හිටියා. ඒකට ශෙඩී! තාප්ප උඩ යන උන්වත් පැනලා ඇදලා අරන් පොළොවෙ ගහලා 13ක් ද කොහෙද මැරුවා. පුදුම භීෂණයක් තිබ්බේ.

මට මතක විදියට පූස් පරම්පරාව පටන් ගත්තෙ මමියගෙන්. මමී කියන්නේ සුදු වැඩිපුර තිබ්බ කළු දුඹුරු තැඹිලි කලවම් වයිරම් තිබ්බ බැලලියෙක්. එයාගෙ ළමයින්ව උපන් හැටියෙම පිටිපස්සේ ගෙදර උදවිය එලියට දාලා. කපුටො උන්ව කෑවා. මමියා පුලුපුලුවන් හැටියට උස තාප්ප දිගේ බැලන්ස් කරන් ඉතුරු වෙච්ච අයව බේරන් අපේ ගෙදරට ආවා උදව් ඉල්ලගෙන. අපි භාරගත්තා. එක්කෙනෙක් හිටියා සුදුම සුදුයි, වලිගෙ නෑ කපුටො කඩන් ගිහින්. එයාගෙ නම 'හාවා'. වැඩත් හාවෙක් වගේ තමයි ඉතින්. කැරට් කන්න රුසියා.

මම හිතන්නෙ මමියාගෙ ස්වාමි පුරුෂයා වුණේ 'කොටියා'. කොටියා කිව්වෙ නමේ හැටියටම ලොකුවට හැදුණු හැඩිදැඩි පූස් පුරුෂයෙක්. බොහොම තේජාන්විතයි ගමන බිමන බැල්ම. ලොකු හතරැස් මූණක් තිබ්බ අළු කහ කළු ඔක්කොම මිශ්‍ර අමුතු පාටක් තිබ්බ පූස් රජෙක්. බජාර් එකේම ඇවිදලා ඇවිත් පිටිපස්සේ බැම්මක කොටියෙක් වගේ දිගාවෙලා අව්ව තැප්ප කොටියව දවසක් මම කකුලෙන් අතගාන්න ගිහින් කෑවා. හරිම උපශාන්ත ලීලාවෙන් බඩ අතගානකල් ඉඳලා එක සැරේම මූණෙන්වත් වෙනසක් නොපෙන්නා විශාල අත්වල හංගගත්ත නිය දික් කරලා මගෙ කකුලට ගැහුවනේ මේ කොටියා! කකුලේ මහපටැඟිල්ලේ නියපොත්ත ලඟ මස් දාරෙ පිපිරුවා. සෑහෙන්න කාලයක් ගියා හොඳවෙන්න. 
ඒ දවස්වල කලවැදි කරදරේ තිබ්බා දරුණුවටම. ඒක හින්දා ගොඩක් පූසොන්ව උන් මැරුවා. කොටියා හැමදාම ජයගත්තට එක දවසක් නම් ලොකු යුද්ධයක් ගිහින් කලවැද්දවත් බදාගෙන වහලෙන් බිමට වැටුණා. කොටියා මැරුණේ ඒකෙන්ද කියලා මට මතක නෑ. ඒත් කොටියගෙ මතකේ ඒ දවස්වලින් ඉවර වෙනවා. 

ඔය එලියෙන් වටෙන් පිටෙන් ඇවිත් අපේ බස්නායක වීරසිංහ මැතිණියගේ දන්සැලෙන් කාලා ගියාට ශෙඩීගෙන් පස්සේ ගෙදර සුරතලෙක් විදියට පූසෙක් හදන්න අපිට බැරිවුණා. 

හැබැයි මම ගමේ හිටිය කාලෙ කොහෙන්දෝ පූසෙක් ඇවිත් සෙට් වුණානෙ. කව්ද ඔබ කවුරුන්දෝ කියලා මං ඇහුවට කිව්වෙම නැතුව හෙන පුරුදුකාරියෙක් වගේ වාඩිවෙලා හිටිය මගෙ ඔඩොක්කුවට පැනලා ගුලිවෙලා සැප නින්දකුත් දැම්මා. එයා ඇහැරෙයි කියලා මාත් වාඩිවෙලා ඉන්නවා දැකලා තාත්ත බනින්න ඇරපු කට වහන් 'දැන් ඔය සෙල්ලම් මාත් එක්කත් කරන්න එයිද දන්නෙ නෑ මෙතන' කිව්වට ඊටපස්සෙ ටික දවසකින් මේකා නිදාගත්තේ තාත්තාගෙ පය පාමුල නෙට් එක උඩ! 😂 මං ආවට පස්සේ දරු පරම්පරාවලුත් හදාගෙන බට්ටිටයි කලූටයි සද්දේ දාගෙන ඉන්නවලු. 

සතෙක් වුණත් ආදර කරුණාවකට නේ ඇදෙන්නෙ. සතෙක්ට හරි එහෙම ආදර කරුණාවක් පාන්න තරම් පිනක්, කරුණාවන්තකමක්, සංවේදීකමක් මගෙ පවුලෙ මිනිස්සුන්ටයි මටයි ලැබීම ගැන නම් අනේක වාරයක් මේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා. 🙏


මේ ඉන්නෙ දන්සැල් පෝලිමේ ඉන්න අයගෙන තුන්දෙනෙක් 

මේ කිටියා. මගෙ ඔඩොක්කුවට පැනලා නිදාගත්ත පළවෙනි දවස. 
සැප නින්ද
මෙව්වා මගේ! ඇයි මොකද? 
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia


පිස්සු

"පිස්සු විකාර"
"පිස්සු නැත්නම් ශෝක්"
"පිස්සුවක්නෙ"
"තමුසෙට පිස්සුද ඕයි?"
"පිස්සු ගෑණියෙක්/ පිස්සු මිනිහෙක්/ පිස්සු යකෙක්/ පිස්සු %#$&@"

'පිස්සු' කියන වචනෙ තරම් ඇහෙන වචනයක් තව තියෙනවද?
'පිස්සු' කියන වචනෙ නැති මොකක් හරිම සංවාදයක් නැති දවසක් කාටහරිම මතක් කරගන්න පුළුවන්ද?
ඇත්තටම ඔය කියන තරම්ම පිස්සු ලෝකයක්ද මේක?

අපිට තේරුම් ගන්න බැරි යථාර්ථයක් තව කෙනෙක් දැක්කම අපි ඒකට පිස්සු කියන අවස්ථා නැද්ද?
අපි එකඟ නොවෙන දෙයක් හින්දා ඒක පිස්සුවක් කියලා හිතෙන අවස්ථා නැද්ද?

හැමෝටම පිස්සුවක් තියෙන්න බැරිද?
ක්ලේශවලින්ම උම්මත්තකභාවයට පත්වෙන මිනිස්සු ඉන්න පුළුවන්නෙ.
මහන්තත්වයෙන්, තණ්හාවෙන්, වෛරයෙන්, කාමයෙන්, රාගයෙන්, මෝහයෙන්, මුලාවෙන්, ආදරෙන් පිස්සු වැටෙන පෘථග්ජනයො නැද්ද?

ඒක එහෙම නම් ඒ පිස්සුවෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕන?
මේ 'පිස්සු' ලෝකෙන් මිදෙන්න උත්සහ කරන එක.
මේ 'පිස්සු' ලෝකේ තවත් එක පිස්සුවක් නොවී ඈත් වෙන එක. (මොකද පිස්සුවක් නොවී මේකෙ රැඳෙන්න අමාරු තැනක් වෙලා නිසා)
නිහඬ නිශ්චල තැනකට අතුරුදහන් වෙන එක?
සමහරවිට..

~තනියා 
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, June 22, 2024

බයිසිකල් කතා

මොනවා හිතාගෙනද මන්දා අපේ අම්මයි තාත්තයි තීරණය කරලා තිබ්බා මගේ හත්වෙනි උපන්දිනේට බයිසිකලයක් අරන් දෙන්න, ඔය පහළ පින්තූරෙ තියෙනවා වගේ චොපර් එකක් හැබැයි රතුයි සුදුයි. (ඔව්වා තමා ඉතින් අපට තිබ්බ චොපර්, ඇත්ත එව්වා ගන්ට තරම් ධනවත්තු නෙවෙයි නෙව). ඒකේ ඇත්ත පින්තූරයක් නැති එක ගැන නම් දැන් පොඩි දුකක් දැනුණා. 

පුංචි කාලේ තිබ්බා ට්‍රයිසිකල් හෙවත් රෝද තුනේ සයිකල්. හැමෝටම වගේ තියෙන්න ඇති ජාතියේ සුදු-කහ-රතු, පස්ස තියාගන්නවත් බැරිතරම් පොඩි සීට් එකක් තිබ්බ චූටි යකඩ ට්‍රයිසිකලයක් ඇරුණම මට තිබ්බා තෑගි ලැබිච්ච ලා නිල් පාට ප්ලාස්ටික් බංගසාල ට්‍රයිසිකලයක්. ඒක ට්‍රයිසිකලයක් කිව්වට බිම්මට්ටමට විතර පාත, විසාල රෝද තිබ්බ, රයිඩර්ට අමතරව තව පොඩි එකෙක් දෙකෙක්ට හිටගෙන හරි වාඩිවෙලා හරි යන්න පුළුවන් තරම් ඉඩ තියෙන, තද නිල් පාට පැඩ්ල්ස් දෙකක් ඉස්සරහ රෝදෙට හයි කරපු හරියට 'පියාජියෝ අපේ'😂 (ඒප් - Ape) එකක් වගේ 'බර බර දක බක' ගාලා සද්දෙට යන එකක්. මගේ දෙමව්පියො සහ සෙසු වැඩිහිටියො ඒ සද්දෙ කොහොම දරාගත්තද කියලා මම මේ කල්පනා කරන්නෙ මොකද මං වුණා නම් පදින එකා එක්කම ඒ වාහනේ ගහනවා කැලේ! 😂
ආ තව තිබ්බා කහ-කලු-දුඹුරු මිශ්‍ර පාට, ලස්සන වලිගෙකුයි කේශ කලාපෙකුයි තිබ්බ, කකුල් වෙනුවට රෝද හතරක් තිබ්බ ප්ලාස්ටික් අශ්වයෙකුත්. ඒකේ හැන්ඩ්ල් එකට තිබ්බේ අශ්වයගේ කණ් හරහා ගිය රතු පාට දණ්ඩක්! 

ඉතින් කකුල් බිම ගෑවෙනකල්, මකුළුවෙක් වගේ අඬුපඬු අකුලන් ඔය ට්‍රයිසිකල් කෙරුවාවයි අශ්ව කෙරුවාවයි කරන දරුවා දැක්ක දුකටද මන්දා අප්පා, මාව රෝද තුනෙන් දෙකට upgrade කරන්න කැබිනට් තීරණයක් අරගන්න ඇති. මේක ලියන්න පටන් ගනිද්දි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇහුවා 'ඇයි මට චොපර් එකක් අරන් දුන්නේ?' කියලා 😂 මගේ ඔහොම random උඩක්බිමක් නැති අහසින් පාත්වෙන ප්‍රශ්න පුරුදු හින්දද කොහෙද දෙන්නම හිනාවුණා, තාත්තා ටිකක් කල්පනා කරල බලලා බොහොම බරපතල කාරණාවක් වගේ කිව්වා මතක නෑනෙ කියලා. අම්මා නම් බයවුණා මම දැන් ඔය චොපර් එකේ නටඹුන් හොයන්න පටන් ගනී කියලා ඒක කෝ ඒකට මොකද කළේ අහපුවම!😂 
අම්මා: (හෙන කල්පනාවෙන් අසරණ හිනාවක් එක්ක) 'ආ ඇයි අපි ඊටපස්සේ ඒක ළමයෙක්ට දුන්නනෙ'
මම: 'කොයි ළමයද' 
අම්මා: ' අර xxගෙ ළමයෙක්ටද කොහෙද මටත් මතක නෑනෙ'

චොපර් එක දකින්න ආසාවක් ආවට කාටවත් දුන්න එක ගැන දුකක් කණගාටුවක් නෑ මිත්‍රවරුනි.

ඉතින්, දැන් මේ රෝද දෙකේ චොපර් එක පදින එක තමා වැඩේ වුණේ! මොකද තනියා ඒ කාලේ ඉඳන්ම රෝද දෙකට කැමති නෑ. බැලන්ස් කරගන්න බෑ 🫣🤭 ඔය චොපර් එකේ පිටිපස්ස රෝදෙට තව පොඩි රෝද දෙකක් තියෙනවා සපෝට් එකට හයි කරන්න පුළුවන්. ඒවා දාගෙන මුල් කාලෙ ගියේ ඒත් දෙන්නෙක් දෙපැත්තෙන් යනවා වැටුණොත් අල්ලගන්න 😂 (පම්පෝරියක් නෙවෙයි මේක විලිලැජ්ජාවක්! 😂) අනෙක මම ඇටිකිත්තෙක් වගේ එතකොට, චොපර් එක ලොකුයි උසයි.
සීට් එක පවා adjust කරලා තිබ්බේ😏 

මේ මොන විකාරයක්ද කියලා තාත්තා උපදෙස් දුන්නා සපෝට් වීල්ස් අයින් කරන්න. මම ඉතින් වැටි වැටි දත කාගෙන සහයට ඩැනීලගෙ අධීක්ෂණය යටතේ දඟල දඟලා ඉඳලා පස්සේ ගෙවල් ලඟ යාලුවො කීපදෙනෙක් එක්කත් සෙට් වෙලා බයිසිකල් කෙරුවාව කළා 9 වසරට විතර වෙනකල්, ඒත් රෝද දෙක මට යාදුන්නේ නෑ පිංවතුනි.😂
එක සැරයක් ලේන් එකේ ඉඳන් හරස් පාරට 'බග්' ගාලා පැනලා ඩෙලිකාවකට දිවිපුදන්න ගියා. තව සැරයක් බෙන්ස් එකක් ඉස්සරහට ඇවිත් කාණුවක් පල්ලේ ලැග්ගා. ඊටපස්සේ යාලුවෙක්ගේ වත්තේ කොස්ගහක් පල්ලේ බව්බෙට්ස් ගොඩක් උඩ වැටෙන්න ගිහින් අනූනමයෙන් බේරිලා එහෙම රෝද දෙකේ චොපර් ජවනිකාව එහෙමම අවසාන වුණා.

ඉතින් කොහොමින් කොහොමහරි, මේ තාක් උපන්දින තෑගි අතර මගේ හොඳම මතකයක් ඔය චොපර් එක.❤️ ඒ කාලේ හැටියට ඕක ඇත්තම චොපර් එකකට වඩා වටිනවා (තාම) ළදරු හිතට 🤭❤️
(දැන් නම් අඩුමගාණේ 50,000-60,000ක්වත් වෙනවා ඇති බයිසිකල්).
ඇතිහැකි පමණින් එවන්වූ සැප සම්පත් ලබාදුන් දෙමව්පියන්ට නිවන් දකිනා ජාති දක්වා නිදුක් නිරෝගි සැප සම්පතින් කිසිදු අඩුවක් නොවේවා!😇

~Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia #Nostalgic90s

Laapataa Ladies (2024)

(2024 ජූනි 16දා සිනමාවේදීන් සමූහයට) 

"This is the way of the world, Deepak. Lies are accepted but no one likes the simple truth".
(මේක තමයි මේ ලෝකේ හැටිය, දීපක්. බොරු පිළිගන්නවා හැබැයි සරල ඇත්තකට කවුරුවත් කැමති නැහැ.)

එකම දවසේ එකම විදිහට වේල්වලින් මූණු වහගත්තු මනමාලියො දෙන්නෙක් මාරුවුණහම? බිලියන එකහමාරකට කිට්ටු ජනගහණයක් ඉන්න ඉන්දියාවේ, එකම නමින් ගම්මාන හැට හුටාමාරක් තියෙන ඉන්දියාවේ. ගංගා ගඟ ගලන්න හිතලවත් නැති පැතිවලත් ගංගාපූර් කියලා ගම් තියෙන, වර්ග කිලෝමීටර මිලියන 3.287ක් විශාල ඉන්දියාවේ. එක මනමාලියෙක් ගෙදර දොර වැඩ ඇර තමන් උපන්දා ඉඳන් හිටි ගමේ නමවත් නොදන්නකොට අනිකා දැනගෙනත් තමන්ගේ හීනෙකට යන්න තියෙන ආසාව ඉෂ්ඨ කරගන්න රඟපෑමක් කරද්දි. මුලු චිත්‍රපටය පුරාවටම තාමත් නොදියුණු සමාජයන් ඉන්දියාවේ අහුමුල්වල තියෙන බව හරි ලස්සනට පෙන්නනවා. සමහර සමාජයන්ගේ මුල්බැසගත්ත ආකල්ප සහ සිරිත්විරිත් නිසාම ඒවා අභියෝග වෙන හැටිත් වැරදි කෙනෙක්ට නම් වාසිසහගත වෙන හැටිත් පෙන්වන හැටි නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි.

අවංක අහිංසක ආදරයකින් තමන් විවාහ කරගත් ප්‍රේමවන්තියට පූජනීයව සලකන දීපක් වගේම බිරිඳකගේ අවශ්‍යතාව ශරීරයට සහ මූල්‍යමය වටිනාකමට ලඝු කරන සාම්ප්‍රදායික ක්‍රෑර පුරුෂවාදී ප්‍රදීප් එකම කාසියක දෙපැත්තක් වගේ ඉන්දීය කාන්‍තාව පෙළන එක්තරා පැතිකඩක් පෙන්වනවා. පුරුෂයා රැකියාවකට නගරයට ගියායින් පසු හුදෙකලා වෙන බිරින්ඳෑවරුන්ගේ සිනා නොනැගෙන මුහුණු, ගොලුව යන වචන, අමතක කරවන හැකියාවන් තවත් දුක් පැතිකඩක් පෙන්වනවා. ස්වාමියට නරකක් නපුරක් වෙනවාට බයෙන් තමන්ගේ කටින් ඔහුගේ නමවත් නොකියන ගැහැණු, ඔහුගේ ආරක්ෂාවට චූටි දෙහි කහ සහ හාල් පොට්ටනි සාරි පොටේ කොණ්වල ගැටගහගෙන තමන් කැමති දේ පවා අමතක කරලා පවුල, ස්වාමියා සහ දරුවන් වෙනුවෙන් කැපවෙන ගැහැණු තමන්ගේ වටේ ඉන්න ගැහැණුන්ගෙන් මිත්‍රකම, ආදරය, කරුණාව හොයන හැටි සංවේදියි. මාරුවෙච්ච මනමාලියො දෙන්නා දැනුවත්කම අතින් දෙවිදියක් වුණාම මාරුවීම වෙස්වලාගත්ත ආශිර්වාදක් නොවෙනවාමත්ම නෙවෙයි. සමහර වෙලාවට සමහර දේ වුණහම නොහිතන හොඳකුත් ඒකෙන් සිද්ධ වෙන්නට පුළුවන්.

මං කැමතිම මේ චිත්‍රපටියේ තියෙන 'අමු' ගතියට. මේකප් පවා අඩුවෙන් භාවිතා කරමින් යථාර්ථයට කිට්ටු නළුනිලියෝ යොදාගෙන කළ නිර්මාණයක් හින්දදෝ මන්දා. විශේෂයෙන්ම තමන්ගේ ආදරේ නැතිවීමෙන් පස්සේ දීපක්ගේ චරිතයට සෑහෙන්න සාධාරණයක් කරන්න ස්පර්ශ් ශ්‍රීවාස්තව සමත් වෙලා තියෙනවා. විවාහ වුණ හැටියේ අතිශය සාම්ප්‍රදායික ගමක මනමාලියක් එක්ක ආදරේ කියාගන්න බැරුව අතින්වත් නොඅල්ලා ආදරේ කරද්දී ඒ හැඟීම් ප්‍රකාශනය ඉස්තරම්! ඉංග්‍රීසි බැරිවුණත් දන්නා වචන කීපය කතා කරමින් තමන්ගේ හැකියාව තමන්ගේ පෙම්වතියට පෙන්වන ගමන් වටපිට බලලා බොහොම බයෙන් චකිතයෙන් නොඉවසිල්ලෙන් I love you කිව්ව හැටි සහ එතනදී කිසිත් නොදන්න පූල්ගෙ අහිංසක සිනා ප්‍රතිචාරය තමයි මට හොඳටම දැනුණ අවස්ථාව. ඒ භාව ප්‍රකාශන නම් 👌. 

O sweet love
How do I pass these days and nights?
I long to talk to you.
Can't stop thinking about you.
How do I reach you.

Dark clouds gather
Bringing with them rains of yearning
This flood of feeling in my heart
Tell me how to hold it back
What is life without you

(සුපෙම්වත් ප්‍රේමිය
මං කොහොම මේ දිවා රෑ ගෙවාගන්නද ඔබ නැතිව
ඔබට කතා කරන්නට බලා සිටිනවා
ඔබ ගැන නොනවත්වා සිතමින් සිටිනවා
මං කොහොම කොතැනින් ඔබ හොයාගන්නද

අඳුරු වලා කැටි ගැසෙමින්
බලාපොරොත්තුවේ වැහි අරන් එනවා
මගේ මේ හදවතේ වාන් දමන
හැඟීම් මා නවතාගන්නේ කොහොමද
ඔබ නැතිව ජීවත්වන්නේ කොහොමද)

තමන් එක්ක ගෙදර ආවේ තමන්ගෙ බිරිඳ නෙවෙයි කියලා දැනගන්න මොහොතෙ වගේම sajni ගීතය පුරාවට තමන්ගේ ප්‍රේමය හොයාගන්න බැරිව විඳවන හැටිය සහ කිසිත් කරකියා ගන්න බැරි අසරණකම ස්පර්ශ් හරිම තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා. 

කිරන් රාඕගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය ස්ත්‍රීවාදියි. නමුත් ඒ ස්ත්‍රීවාදය අතරට පුරුෂවාදය අඩුවැඩිවෙමින් යන හැටිය, දීපක් වාගෙ අහිංසක පුරුෂයන් අතර ප්‍රදීප් වාගේ කෲර පුරුෂයන්, පොලිස් ඉන්ස්පෙක්ටර් වාගේ සාමාන්‍ය පුරුෂයන් වාගෙ විවිධ චරිත පෙන්වන්න උත්සහ කරලා තියෙනවා. ස්ත්‍රීවාදිනියක් නොවුණත් මන්ජූ මායිගේ මේ කතාවේ ඉන්දියාවට (විතරක් නෙවෙයි) හිතන්න හුඟක් තැන් ඉතිරිවෙනවා. 
"A respectable girl can't return to her parents without her husband".
"know the meaning of 'fraud'? Cheating or making a fool of someone is called a 'fraud' in English. For centuries, women in this country have been duped. This con is also known as 'a respectable girl'. 

"ගෞරවණීය/වැදගත් කෙල්ලෙක්ට බෑ තමන්ගේ ස්වාමියා නැතුව තනියම ආපහු දෙමව්පියන් ලඟට යන්න"

"'වංචාව' කියන එකේ තේරුම් දන්නවද? කාවහරි රවට්ටන එක මෝඩ කරන එක තමයි ඉංග්‍රීසියෙන් fraud කියන්නේ. ශතවර්ෂ ගාණක් තිස්සේ මේ රටේ ගෑණුන්ව මෝඩ කරලා රවට්ටලා තියෙන්නෙ. ඒකට කියන තවත් නමක් තමයි ඕක! 'ගෞරවණීය/වැදගත් කෙල්ල' කියන එක!"

කතාවේ ස්ත්‍රීවාදය වගේම සාමාන්‍ය සමාජීය ප්‍රශ්නත් මතුකරලා තියෙනවා. විශේෂයෙන්ම ගොවියාගේ ගැටළු, දේශපාලනය, අයුක්තිය සහ අල්ලස වගේ දේවල්. මට හිතෙන්නේ නම් අඩුත් නෑ වැඩිත් නෑ, පත අට නිසි ලෙස හිඳවලා නිර්මාණය කෙරිලා තියෙනවා කියලා. වැඩිය අරුමෝසම් නැති හින්දා සමහරු එච්චර කැමති නොවෙන්නත් පුළුවන්. හැබැයි නිකංම බලලා ගොඩ වැඩිකරගන්නවට වඩා පොඩ්ඩක් නිස්කලංකව බැලුවා නම් හොඳයි කියලයි මගෙ නම් රෙකමදාරුව. 
ප්‍රධාන නලු නිලියන් කීපදෙනා තවම ලාබාල උදවිය. හැබැයි යම් ගමනක් යාවි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන් හැඩයි. පසුතල ගැන සෑහෙන්නම තෘප්තිමත් වෙන්න පුළුවන්. හොඳ උවමනාවකින් බලන කෙනෙකුට නම් හරිම ග්‍රාමීය දුෂ්කර ඉන්දීය ගමකට ගමනක් ගියා වගේ දැනේවි.

එහෙනම්, මනමාලියො මාරුවෙන්නත් එපා, මාරු කරගන්නත් එපා. ලංකාව කොයිතරම් නම් වාසනාවන්තද කියලා හිතුණා.🇱🇰❤️

~ Aash Weerasinghe

Saturday, June 8, 2024

යාල්පානම් සහ තල්කිරි

කෝච්චියේ යාල්පානම් යන්න ලොකු උවමනාවකින් පෙලෙමින් ඉන්නකොට කෝච්චිගමන තාවකාලිකව අනුරාධපුරයට විතරක් සීමා කරලා කියලා දැක්කා. කමක් නෑ, කෝච්චියකට බෑ හිතුවක්කාර තනියෙක්ව නවත්තන්න! කටින් ට්‍රිප් යන සංගමය සහ ලාහෙට ගෙම්බො සංසිද්ධිය ඇති වුණ කොයියම්ම මොහොතක හරි බැක්පැක් එකක් දාගෙන යාල්පානම් කෝච්චියට තනියම ගොඩ නොවුණොත් මගේ නම 'තනියා' නෙවෙයි!😉

වැඩ සහ නොයෙකුත් වැඩ හින්දා යටපත් වෙලා තිබ්බ යාල්පානම් පිස්සුව ආයෙ මතුවුණේ පහුගිය දවසක මැරීන් ඩ්‍රයිව් එකේ තල් ගෙඩි ගොඩක් ගොඩ ගහගෙන විකුණනවා දැකලා. ඒක දැක්ක ගමන් නොස්ටැල්ජියාව ඉස්මුරුත්තාවට ඇවිල්ලා, කරවෙන තල්පැණි සුවඳකුයි සීතල තල්කිරි රහකුයි ගැන මතක ඇවිස්සිලා, තනියාගේ බකපණ්ඩිත යාල්පානම් solo travel මේනියාව වැඩිවුණා. 

90 දශකයේදී අපේ අම්මගේ අම්මයි තාත්තයි, ඒ කියන්නේ ආත්තම්මයි සීයයි කාලයක් පුත්තලමේ ජීවත් වුණා. සීයා දුම්‍ රිය දෙපාර්තුමේන්තුවෙන් පස්සෙ සිමෙන්ති සංස්ථාවේ (Puttalam cement➡️ දැන් INSEE) වැඩ කළ නිසා දුෂ්කර ඒත් සුන්දර කාලයක් ගෙවන්න දෙන්නා දෙමහල්ලො කොළඹ ජීවිතේ අතෑරලා ගිහින් එහේ නිල නිවාසෙක පදිංචි වුණා. රජයේ සේවකයෙක් හැටියට ස්ථාන මාරු, දුෂ්කර පළාත් අම්මලගෙ පවුලේ සමාජිකයන්ට හුරු නිසා වෙන්න ඇති අත්තම්මාත් සීයත් ඉක්මණින් පුත්තලමේ සිමෙන්ති ජීවිතේට හැඩගැහුණා. ඒ නිල නිවාස කලාප A, B, C, D කියලා දූවිලි පාරවල් එක්ක කාස්ටක කැලේ මැදක අක්කර කාල කාල වගේ වතු මැද තිබ්බ තනි තට්ටුවේ විසාල ගෙවල්. පිහිටි බිමට වඩා ටිකක් උස් කරලා හදාපු. (මේ මෑතකදි අම්මලා ගිහින් තිබුණා බලන්න, දැන් කැලේ වැවිලා ඒ දෙන්නට මතකත් නෑලු. පුනරුත්පත්තිය කියන තනියා ඒ ගමනට නාව අඩුව තදට දැනිලා තිබ්බා ඒ වෙලාවේ. හරි ආඩම්බරයි මට 😋) 
ඒ බොහොමයක් තැන්වල ගෙවල් කීපයක තමා මිනිස්සු හිටියේ.
අනෙක්වා පාලුවට ගිහින්. D කලාපෙට හැරෙන තැන වල් බිහිවෙච්ච මොන්ටිසෝරියක් තිබ්බා. අපි යන්නේ නිවාඩු කාලේ නිසා ඒක කවදාවත් වැඩ කරපු මොන්ටිසෝරියක්ද කියලා නම් දන්නෙ නෑ. හැබැයි හැමදාම අපි ඔංචිලි, සීසෝ පදින්න ගියේ නම් දණක් උස කැලේ පීරාගෙන. 
 
සමහරවිට තරුණ පවුල් ඒ දුෂ්කර ජීවිතේට බයවෙන්නත් ඇති. අනෙක ඒ කාලෙ කොටි එනවා ඒ මායිමටම, වල් අලිත් එමට, ඇයි සර්පයෝ!. වතුර ලැබෙන්නේ දවසට පැය කීපයයි. ඇතුළේ නානකාමර පාවිච්චිවෙනවත් අඩුයි. ගෙදරටම සම්බන්ධ කරලා පිටිපස්සෙ තිබ්බ නානකාමරේ සිමෙන්තියෙන් බැන්ඳ ලොකු වතුර ටැංකියක් තිබ්බා. සීමිතයි වගේම වතුර මාර කිවුල්. සබන් ගාලා වතුර යන්තම් ගෑවුණත් සබන් ටික කොහෙන් ගියාද නෑ! 😂 වැඩේ තියෙන්නේ ඔය එලියේ නානකාමර තිබ්බේ කුස්සිය සහ ගබඩා කාමර පහුකරලා දොරකින් එළියට විවෘත කොරිඩෝවකින් ගිහින් යන්න. ඒ හරියට රෑට අලිත් එනවලු! මායිම කැලේ! කොයිතරම්
දරුණු ජලජ ජීවියෙක්වුණත් මරණාසන්නෙකටවත් රෑ අටෙන් විතර පස්සේ මම ඒ පැත්තට යන්නෙ නෑ!
 ඉතින් නිවාඩුවට එහෙ ගියාම චූටි මම ඉන්නෙ කොයි වෙලාවේ අලියෙක්, ගෑස් මූණු දාගෙන හතර වටේ වෙඩි තියාගෙන කකුල් දෙකේ කොටි රංචුවක්(එහෙම පින්තූර දැකලා තිබ්බා පත්තරෙන්), පියාඹන දිවි මකුලුවෙක් එහෙම කඩාපාත් වෙලා මගෙ සරල සුන්දර දුෂ්කර ජිවිතේ විනාස කරයිද කියලා බයෙන්. රෑ වෙද්දී ගෙදර මායිම් කැලේ නරි හූ කියනවා, බල්ලෝ බුරාහැලෙද්දී වල් අලි වැට මායිම් ලඟ හක්කලං කරනවා. උදේ පටන් රෑ වෙනකල් ඒ කාලේ තරුණ කොල්ලන්ගේ විලාසිතා කොපි කරපු රිලව් මැදින් බෙදපු කොණ්ඩ අත් දෙකෙන් පීර පීරා දුන්නොත් අපිව උනත් උස්සන් යන ගාණට රිලා භීෂණයක් පතුරනවා, අහුවෙච්ච දේ උස්සන් දුවනවා. දඬුලේන්නු (ආත්තම්මට පේන්න බෑ) තැඹිලි ගෙඩියේ ඉඳන් හිල් කරලා බාගෙට කාලා බීලා දුවනවා, අපිටත් නෑ උන්ටත් නෑ. නයි පොළොංගු පිඹුරො..අපෝ හොඳ වෙලාවට මම දැක්කේ නෑ.🫣

ඉතින් ඔය කාලේ අපේ ආත්තම්මා ඇතිකරගෙන තිබූ නානාප්‍රකාර මිත්‍ර සබඳතා සහ දුෂ්කර සේවයේ අත්දැකීම් එක්ක තුන්වෙනි පරම්පරාවේ අපට නානාප්‍රකාර කෑම ජාති හම්බෙන්න පටන් ගත්තා, පලු, මොර, හිඹුටු.. ඒ ඔක්කොම අස්සේ තල්!!
දම් පාට වටකුරු තල්ගෙඩි ගෙනල්ලා ආත්තම්මා හදනවා තල්කිරි! 
කොහොමත් දිවුල්කිරිවලට එහෙම පෙරේත මම ආත්තම්මා දුන්නා නන් වහ වුණත් බොන හරිම හොඳ ආදර මිණිපිරියක්, අම්මලාගේ පැත්තේ අපේ පරම්පරාවෙ පළවෙනි කෙල්ල හැටියට. 
ඉතින් ඔය වටකුරු තල්ගෙඩිය හෝදලා ගෑස් ලිප උඩ තියලා රත් කරනකොට ඒ ගනකම් පොත්ත ටික ටික පුපුරනවා, එතකොට ඒ පිටපොත්ත මුදුනෙ ඉඳන් තීරු තීරු ගලවන්න පුළුවන්. එහෙම ගැලෙව්වම තමයි අර දිලිසෙන රන්වන් කහ පාට, කෙඳි සහිත මදය මතුවෙන්නේ. පිටපොත්ත රත්වෙලා පුපුරන වෙලාව වෙද්දි කර පැණි සුවඳක් එනවා, අම්මේහ්!🤤🤤🤤 මේ දැනුත් දැනෙනවා වගේ. ඊටපස්සේ අර කහපාට මදය පොල්කිරිවල මිරිකලා දිවුල්කිරි හදන විදියටමයි තල්කිරි හදන්නේ. (මීට වඩා වෙනස් ක්‍රම ඇති, ආත්තම්මා හැදුවේ මෙහෙම). උකු කහපාට තල්කිරි කූල් කරලා බිව්වම ආයිත් ඉතින් රහ!! 👌🤤❤️

ඉන්පස්සේ අවුරුදු ගාණක්ම මතක් කරලා කෙළ ගිල්ලට තල්කිරි බොන්න ලැබිලා නෑ. හැබැයි මට ඕන කවුරුහරි හදා දීපු මගේ කියලා නොදැනෙන කෘත්‍රිම හැඟීමකින් තල්කිරි බොන්න නෙවෙයි. අර සුවඳ රස ඔක්කොම එක්ක නොස්ටැල්ජිමය තල්කිරි එකක් බොන්න. 
දැන් මට ඔය බකපණ්ඩිතකම් දෙක කරනකල් නින්ද යන්නෙ නෑ ඉතින්! 🫢

~ Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka #nostalgia

උදාරෙන්ම ලලයි ලිලයි ලයි!

(2024 මැයි 24දා සිනමාවේදීන් සමූහයට) 

පානම් බොක්කේ රටේ රාළගෙ උදාර මී මුණුපුරු කුමාරයා නිසා මාසයක් තිස්සේ හිනාවෙලා ඉන්නවා.😉

Youtube short එකකින් බලන්න පටන් ගත්තු මේ කතාවේ තාම 49වෙනි කොටසේ තමයි ඉන්නෙ. ඒක නිසා දැන් කතාව කොහොමද කියන තැන ඉඳන් නෙවෙයි මේ ලියන්නෙ.

රදළ පරම්පරාවේ අනාගතයක් භාරගන්න ඉන්න එකම කුමාරයත් උදාරෙන්ම පිස්සු කෙලින්න ගත්තම කොහොමද කියලා රන්දිකට වඩා සාධාරණ විදියට පෙන්නන්න පුළුවන් රංගන ශිල්පියෙක්ව මට හිතාගන්න අමාරුයි. කොඩිගහයට දැක්කට වඩා වෙනස්ම, මෙච්චර සැහැල්ලුවෙන් චරිතයක් කරන එකම ඒ දක්ෂකමට උදාහරණයක්. තව ගොඩක් දුර යන්න බලාපොරොත්තු තියන්න පුළුවන් දක්ෂකමක්. 
රදළයෝ එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවාද මන්දා වගේ වුණත් මේකෙ උදාර කුමාරයාගෙ දෙබස් ටික නම් පංකාදු පහට ලියලා තියෙනවා! 👌 කොටින්ම නූතන පරම්පරාවක පුරුකක් හැටියට ලියවුණාට උදාර කුමාරයගෙ කටින් එන්නේ අපේ පරම්පරාවේ එකෙක්ගේ කතා.❤️ සිංහල වගෙ සුන්දර භාෂාවක් කියවගන්නවත් ලියාගන්නවත් කතාකරගන්නවත් බැරි පරම්පරාවක, ඒක පොශ් කියලා විශ්වාස කරන සමාජෙක ඒ පරම්පරාවේ කොල්ලෙක් (චරිතෙකට හරි), වක්කඩ කැඩුවා වගේ සිංහලෙන් කියන රජ කතා, නාට්‍යමය කතා, සාහිත්‍ය කතා, ප්‍රේම කතා සහ කුප්ප කතා වෙනමම ලල් එකක්!❤️ ෂර්ලොක් හෝම්ස්ගෙ ඉඳන් සුභාෂිතයට එනකල් ඔහොම රහට අනලා කැවීමක් බලාපොරොත්තු වුණේ නෑ.👌 එච්චර කියැවීමක් තියෙන හින්දා කෛරාටිකකමත් ලස්සනට ඔබ්බවලා චරිතෙ ලියපු එකට 🫡 

අනික් කෙනා උමා අසේනි. උමාගේ රඟපෑමක් මම දකින්නෙ පළවෙනි වතාවට වුණාට මේකට රඟපෑමක් කියන්න බැරිතරම් ස්වාභාවිකයි.❤️ විශේෂයෙන්ම අක්කගෙයි මල්ලිගෙයි රණ්ඩු සහ සංවාද නම් පුදුම යථාර්ථවාදීයි, අමුයි, නියමයි 😂 

නිරෝෂන්ට කවුද ලියලා තිබ්බා කොච්චර දක්ෂවුණත් තාම සම්මාන නොලැබුන එක ගැන. මගේ කියැවීමත් අසාධාරණ අඩුතක්සේරුවකට ලක්වෙච්ච, නිසි ඇගයීමක් නොලැබුණු රංගන ශිල්පියෙක් කියන එකයි. ඒක ඉක්මණින් වෙනස්වෙලා නිසි ඇගයීමක් ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.

ෆර්නි, දීපානි සහ ලාල් කුලරත්නගේ චරිතවල ලොකු දෙයක් කරන්න ඉඩක් ලැබිලා නැතත් සාමාන්‍ය පවුලක හැඩවැඩ ටික ඒ විදියටම දෙන්න කරන කැපවීම අගය කරන්න ඕන. විශේෂයෙන්ම ගුණේ. ඒත් දැන් ගුණේව වැඩිය පේන්න නැත්තෙ ඇයි දන්නෙ නෑ.🤔

කතාවේ හාස්‍යය එක්ක ත්‍රාසය මුහුකරන්න උත්සහ කිරීමත් හොඳයි. ඒත් ලංසි පවුල ලංසිම හැටියට එච්චර දැනෙන්නෙ නෑ. හැබැයි අනෙක් චරිත් සමස්තයක් හැටියට හොඳයි. සංජය මුරමුදලිගෙ චරිතය ගොඩ නගලා තියෙන විදියටත් මම කැමතියි. 

කතාව මොන විදියට වෙයිද කියලා බලන් යන ගමන්. 
උදාර කුමාරයගෙ නාටකවලට හිනාවෙලා ඉන්න සතුටට ලියලා යනවා.
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow 

Thursday, April 18, 2024

පාලිත තෙවරප්පෙරුම

පාලිත තෙවරප්පෙරුම නැතිවෙලා කියලා පණිවිඩය එද්දි නිව්ස් ඇලර්ට්ස් ඇවිල්ලත් නෑ, ඒක නිසා මම ඒක විශ්වාස කළේම නෑ. මොකද ඒ තව ඉන්න ඕන මිනිහෙක් මිසක් මෙහෙම හදිස්සියෙ යන්න ඕන මිනිහෙක් විදියට මගෙ ඔළුවේ රෙජිස්ටර් වෙලා නොතිබ්බ හින්දා. 
පාලිත තෙවරප්පෙරුම කියන්නෙ අමු මිනිහෙක්! අයිසිං කරපු ගොම ගොඩවල් වගේ මිනිස්සු උස්සලා තියෙන ලෝකෙක තෙවරප්පෙරුම වගේ බ්‍රේක් නැති ඔරිජිනල් මිනිස්සු දරාගන්න එක අමාරු ඇති. හැබැයි ඒ වගේ මිනිස්සු නැති අඩුව දැනෙන්නෙ රඟන උන්ගෙ අයිසිං දියවෙලා ගොම පේන්න ගත්තම, උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා දැක්කම.

තෙවරප්පෙරුම ගැන විවේචන කළ අවස්ථා ඕනතරම් තියෙනවා. හැබැයි ඒ අමුතු මිනිහෙක්, අමුවෙන්ම තමන් කවුද කියලා පෙන්නන්න පුළුවන් වෙච්ච මිනිහෙක්, මට පෙනුන දැනුන හැටියට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙච්ච (දුලබ) මිනිහෙක්, චණ්ඩිකම අස්සෙ මනුස්සකම තිබ්බ (දුලබ) මිනිහෙක්,භාරදුන්න වැඩ තමන්ගෙ ඇති හැකි උපරිමෙන් කළ මිනිහෙක්, බිම්මට්ටමේ කිඳා බැහැලා බිම්මට්ටම මැනේජ් කරපු මිනිහෙක්, රට පණ්ඩිතකම් අටෝරාසියක් අස්සේ මනුස්සයෙක් කියලා විරුද්ධවාදීන්ට වුණත් කියන්න පුළුවන් වෙච්ච මිනිහෙක්, මෙහෙම ඉක්මන් ගමන් නොයා තව වැඩ ගොඩක් තව කාලයක් කරන්න හිටිය මිනිහෙක්. 

මේ රට කරවන්න ඕන මහ මොළයි පුයර බබ්බුයි ටික්ටොක් තරුයි විතරක් නෙවෙයි. මේ රටේ කටින් වැඩ කරවන උන් විතරක් ඉඳලා වැඩක් නෑ,ස්ටේජ් උඩ රඟලා ටෝක්ස් දෙන බයිලා චක්‍රවර්තිලා විතරක් ඉඳලා වැඩක් නෑ, බැහැලා වැඩක් කරන්න පුළුවන් මහ පොළවේ පය ගහලා ඉන්න තෙවරප්පෙරුමලා වගෙ මිනිස්සු ඕන. උගත් බුද්ධිමතුන් රට කරවන්න ඕන තමයි හැබැයි සමහර දේවල්වලදි සාමාන්‍ය මිනිහෙක්ට තියෙන ප්‍රායෝගික දැනීම හරි ප්‍රායෝගිකත්වය හරි ඒ න්‍යායාචාරවරුන්ට නැති අවස්ථා වැඩියි. මේ ලෝකෙ කිසිම දෙයක් අන්තවාදී වෙලා විසඳන්න බෑ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සමාජීය දේශපාලනික වෙනස. මැද මාවතේ යමින් හරි සමබරතාව කළමනාකරණය කරගැනීමක් කරන්න ඕන, ඒ සමබරතාවෙදි ඇත්තටම කැක්කුමකින් වැඩක් කරන, බිම්මට්ටමේ මිනිහව තේරුම්ගන්න පුළුවන් සහ බිම්මට්ටමේ මිනිහට දැනෙන විදියට වැඩේ කරවන්න පුළුවන් තෙවරප්පෙරුමලා වගේ ප්‍රාදේශීය නායකත්වයන් එතනින් ජාතික තලයට එන්න ඕන. එහෙම මනුස්සයෙක් අකාලේ නැතිවීම මහ අපරාධයක්.

තෙවරප්පෙරුමත් අපි වගේම සාමාන්‍ය පෘථග්ජන මිනිහෙක් නිසා පරිපූර්ණ නෑ. හැබැයි අවුරුදු 64ක් කියන්න බැරි ජවයක් ඔහොම අකාල ගමනක් නොගියා නම් හොඳයි. තෙවරප්පෙරුම කෙනෙක් ඉඳලා ගිය අඩුව පුරවන්න බැරිවෙයි ඒ අහල ගම් හතටම.
ඉතින් තෙවරප්පෙරුම අන්කල්, ඔබේ සංසාරය කෙටි වේවා! මේ ආත්මයේ කළ යහපත එතෙක් ඔබට රැකවරණයක් වේවා! අමා මහ නිවනින්ම සැනසේවා! 

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Monday, April 15, 2024

කළු සුදු

මං හරිම කැමතියි කළු සුදු පින්තූරවලට. අළුපාට මිනිස්සු පාට පාටින් දකිනවට වඩා කළුවෙන් සහ සුදුවෙන් විතරක් දකිනකොට ඒකේ මොකද්ද මහ අමුතු සුන්දරත්වයක් මට දැනෙනවා. ඒවුණාට මං මෙතෙක් වැඩිපුරම අරං ඇත්තේ පාට පින්‍තූර. පින්තූරුකරණයට ආස වුණාට නිසි අධ්‍යයනයක් නැතුව ඇහේ හිතේ හුරුවට ජංගමයගෙන් ගන්න පින්තූරවුණත් මහ දෙයක් වගේ රස විඳින්න මට පුළුවන්. ඒවා අස්සට නානාප්‍රකාර ෆිල්ටර් දාලා තියෙන එව්වත් තියෙනවා, අත්දැකීම්වලින්නෙ අපි ඉගෙනගන්නේ. අනික සුන්දර සහ කලාත්මක වෙන්නෙ අමුවෙන්ම විතරයි කියලා නියමයක් නැහැනෙ. තමන්ට රිසි හැටියට සුන්දරත්වය දකින්න පුළුවන්, පෙන්නන්නත් පුළුවන්. අනුන්ට දුකක් කරදරයක් නොදී විඳින්නත් පුළුවන්. 

කළු සුදුවලට කොච්චර ආස වුණත් සමහර දේවල් ඒ හැටියෙන්ම විඳගන්න පාට ඕන. අහස් නිල, මුහුදු නිල, කෝපි පාට, දේදුන්න, බහින ඉර, හැන්දෑ අහස, කෙහෙල් දළුවල කොළපාට, රොබොරෝසියාවල රෝස පාට, කඳුවල තද කොළ පාට වගේ දේවල් විඳගන්න කළු සුදුවට අමාරුයි. පියවි ඇහැට පේන දැනෙන සුන්දරකම පින්තූරවලට කොටු කරගන්න එක මහ අපූර්වයකින් අහුරක් මිටකට ගන්නවා වගේ සුළුයි තමයි. ඒත් ඒ මිට ඇතුළේ පවා මෝහනය වෙන්න පුළුවන් ලස්සනක් කැටිකරගන්න ඇහැකටනේ පින්තූරුකරණය තියෙන්නේ. කළු-සුදුවට, වර්ණවට, පරණ තාලේ වගේ දුඹුරට කියන ඔය කොයිකත් නිසි තැන නිසි හැටියට යොදාගෙන ජීවිතේ පින්තූරවලට අල්ලගන්න එකත් දක්ෂකමක්. හරියට ජීවත්වෙනවා වගේම තමයි.

සමහර වෙලාවට අපි එහෙම සුන්දර දේවල් අල්ලගන්නෙ, පින්තූරෙකට කැටිකරගන්නෙ අනුන් වෙනුවෙන්. මං හිතන්නෙ මනුස්සයෙක්ට ආදරේ දැනෙන චූටි දේවල් ඒ වගේ කියලා. තමන් සාමාන්‍යයෙන් එතරම් තැකීමක් නොකරන දෙයක් වුණත් අනිකා ආසාවෙන් රස විඳිනවා කියලා දන්නා හින්දා මොන පින්තූරුකරණ න්‍යායක්වත් නොදැන, ගන්න සමහර පින්තූර මාර රහයි ඇහැට, හිතට දෙකටම. පහළ තියෙන්නේ පින්තූරයක් ගන්නවත් නැගිටින්න උදාසීනවුණ, ඒත් ඇහෙන් හිතෙන් අහස උරාබොමින් හිටි මගේ සිතුවිලි කියවපු කෙනා මං වෙනුවෙන් ගත්ත එහෙම පින්තූරයක්. ඒ රෝස පාට වළාකුල තියෙන්නෙ දැන් මගේ හිතේ.😇💓

තාත්තත් ඒ වගේ. මං පින්තූර ගන්න ආසවෙයි කියලා හිතන සමහර දේවල් දැක්කම "අක්කී, ෆෝන් එක අරන් එන්න මෙන්න මේක ගන්න" කියලා මහ හදිස්සියක් වගේ උන්හිටිගමන් එහා කෙළවරේ ඉඳන් කෑගහන්නෙත්, මහ පාරවල් අයිනෙත් වාහනෙ නවත්තගෙන ඉවසීමෙන් ඉන්නෙත් ඒකයි කියලා මං දන්නවා.😇

ඇයි හදිස්සියෙම මෙහෙම කළු සුදු ගැන ලියන්න හිතුණේ කිව්වොත් ඒ නම් ඔය අනික් පින්තූරේ තියෙන කතාව දැකලා. කළු සුදුවලින් මිනිස්සුන්ගෙ ආත්ම අල්ලන්න පුළුවන්ද කියලා ලොකු තර්කවිතර්කවලට යන්න පුළුවන් ඇති. ඒත් මට හිතෙනවා අළු පාට මිනිස්සුන්ගේ ආත්ම කළු සුදු අස්සට ලඝු කරන්න හදන එක අපරාදේ කියලා. අපිට ඕන අළු පාට මිනිස්සුන්ට ඒ අයගේ අළු තීව්‍රතාව අපේ අළු තීව්‍රතාවලට ගලපගන්න ගමන් අපි ආස පාටින් ඒගොල්ලොන්ව දකින එක, අපිට ඒගොල්ලොන්ව පේන ලස්සන පාට එයාලටත් පෙන්නනන එක, සමහරවිට අපි එකිනෙකාට දැනෙන හැටිය පාට ගලපමින් පාට කරගන්නා එක. ආදරේ කියන්නේ ඒකට.❤️

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Wednesday, February 14, 2024

ගෑණු අන්දවමු!

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කියලා අලුත් නාටකයක් දිග හැරෙනවනෙ මිත්‍රවරුනි.
පටන් ගන්නෙම හද්දා තුම්පනෙ වන්නියෙන් මොකො එහෙ උන් ගෑණුන්ට කොරන දේවල් දන්නෙ උනුයි දෙවියොයි විතරනෙ! එහෙ 'ප්‍රගතිශීලී' කියාගන්න ගෑණුත් කොයිතරම් නම් ප්‍රගතිශීලීද කියලා බලාගන්න නම් ආශ්‍රය කරලම ඉන්න ඕන!😂

ගැලරියට කතා කරන්න පුලුවන් කටවල් ටිකක් දාලා එකම කොත්තු රොටියට මසාලා පේස්ට් එක දාලා 'ඩක බක' ගාලා කොත්තු ගහනවා හරි ගස්සෝනවා හරි දැක්කම හිනා යන්නෙ නැද්ද 😂

සුරංගනා කතා, නින්දෙන් ඇහැරෙන් හාදු, බොළද කතාවලට ඇන්දෙන්න තරම් ලාංකික වනිතාව මෝඩද කියලා මම දන්නෙ නෑ! මේ රටේ ගෑණු ආදරේට රැවටෙන එක හරි හැබැයි ඒ එකෙක්වත් මේ ඇත්තිලා කියන තරම් හෙන ගොබ්බයි කියලා නම් මට හිතන්න අමාරුයි. 
හැබැයි කැටයම් කතා කියලා කැටයම් ලතා මවලා විතරක්ම ලාංකීය වනිතාව උස්සලා තියන්න පුළුවන් නම් මේ වෙද්දි එයාලා ඉන්න ඕන සෑහෙන්න උඩ!

ඔය කියන ප්‍රගතිශීලී වනිතාවෝ දේශපාලනයට එන්න හදන්නෙ තවත් එක පුරුෂ මූලික පක්ෂෙකින් නම්, සහෝදර දේශපාලක කාන්තාවන්ට පාර්ලිමේන්තුවේ වාචික හෝ කායික අවැඩක් සිද්ද වෙද්දි පක්ෂ නායකත්වයට අනුගතව නෑසුකන්ව නොදැක්කා සේ සිටිනවා නම්, සමාජයෙ ඕනෑම තරාතිරමක කාන්‍තාවන් හිංසනයට පෙරමුණ ගන්නවා නම් එතනම වැඩේ මදේ ලොප් නේද සහෝදරියනි? 😂

ඇයි කතා කරන්නෙ ඇන්දෙන ගෑණු ගැන විතරක්? කෝ ඔහෙලයි පක්ෂෙ මිනීමරුවන් නිසා ස්වාමියා අහිමිවුණ බිරින්දෑවරු ගැන, තාත්තලා අහිමිවුණ දියණිවරු ගැන, සහෝදරයන් අහිමිවුණ සහෝදරියන් ගැන, පුත්‍රයන් අහිමිවුණු මව්වරු ගැන කතා? 
අනේ නිකන්.... !

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #genderequality #WomenInPolitics

Thursday, January 25, 2024

අමරණීය සුදන දන

මොකෙක් වුණත් මිනිහෙක් මැරුණම සතුටුවීම සාධාරණීකරණය කෙරෙන දවසක් ආයෙත් ඇවිල්ලා. 
ඒ ලොජික්වලට අනුව ප්‍රභාකරන් මැරුණම සතුටුවෙච්ච එකත් කමක් නැතිවෙන්න ඕන, හැබැයි ඒක එහෙම වුණේ නෑ! ම්ලේච්ඡ ඝාතකයෙක් වෙච්ච ප්‍රභාකරන් මැරුණම ඒකට සතුටුවීම නිසා ඌයියා කරගත්ත උන් තාම ඉන්නවා.
ජැකා මැරිච්චම සතුටු වෙච්ච උන් අරගලේ කවුද කෙල්ලක් මැරිච්චහම සතුටුවෙච්ච උන්ට විරුද්ධ වුණා.
ලොජික් නන් ලොජික්! කන්න ඕන වුණාම කබරගොයි තලගොයි කරගන්න බෑ. විශේෂයෙන්ම අපි ඉන්න සුන්දර සමාජෙ.

ඔය ඔක්කොම ලොජික් බයිලා හලෝ!
මෙහෙ ඔක්කොම උන් තව කාටහරිම කෙලවෙනකල් බලන් ඉන්නෙ සතුටුවෙන්න. මරණයක් එක විදියක් විතරයි. මොකවත්ම නැත්නම් ඇදගෙන වැටුණත් හිනාවෙන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නෙ. හැබැයි කයිවාරු අප්පුලා, මනුස්සකම් පෙරන! 

මං මැරිච්චදාකටත් සතුටු වෙන උන් ඉදී. කිසිම වරදක් නොකලත් තරහෙන් හිටිය උන් ඇති. හැබැයි අවුල මරණෙකට සතුටු වෙන උන්, උන්ගෙ මරණෙන් මතු මක් කරන්න ඉන්නවද කියන එකයි. ආ සමහරවිට උන් අමරණීය ඇතිනෙ? 
සදාකාලිකවම අනුන්ගෙ කෙළවීම් ගැන සතුටු වෙමින් ඉන්න සැප ජීවිත අප්පා. අන්න පතනවා නන් ජීවිත! 👌

~ Aash Weerasinghe

#AW #Thaniya #medusa

Sunday, January 14, 2024

ත්‍රස්තවාදයෙන් මුදානොගත් ප්‍රදේශ!

"මේක කැළණිය!" - ඇයි මල්ලී කැළණිය ලොකුද?

"හාල් කන්න නෑ" - මල්ලිලා බත් කන පාටක් පේන්නේ නෑනේ.

"මේ මාස්කොම් එකේ හරක්" - ඕවා අහගෙන ඉන්න ආචාර්යවරුන්ට හරක් කියන්න එපා මල්ලි, වෙන මොනවහරි කියන්න.

මුන්දැලගේ ලොජික්වලට අනුව ලංකාවේ නෙවෙයි ලෝකෙන්ම කිසිම ව්‍යවසායකයෙක්ට ඇවිත් මුන්දැලට දේශන පවත්වන්ට බෑ, මොකද උන් ඔක්කොම එක වගේ.

මුන්දැලගේ දේශපාලන න්‍යායාචාර්යවරුන්ගේ අසවල් ඉගැන්වීම් අනුව බලද්දි සමාජවාදයෙන්ම විතරක් මේ රට ගොඩගන්න පුළුවන් නිසානේ උන් රස්සා නොකර, සේරම අතටපයට ඉල්ල ඉල්ල, මුලු රටේම වැඩකරන පැය ගාණ කකා, ගෑවිච්ච ගෑවිච්ච තැන වර්ජන කරකර, වැඩ අඩාල කරගෙන, කූඩාරං ගහං වැලලිලා ඒවයේ පවුල් කාලා මේ රට නන්නත්තාර කරන්නේ! එකෙක් ඉන්නවද ඔතන වැඩ පිළිවෙළක් තියෙන, එකෙක් ඉන්නවද රස්සාවක් නැත්නම් වගාවක් කරන? ඔක්කෝම ලොකු ටෝක්ස් තමයි, වැඩ ඉල්ලෙයි.

ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට එරෙහි ඔය පෙන්නන සමාජ අසාධාරණය නිසා නෙවෙයි, දේශපාලන පක්ෂවලින් පොවලා තියෙන හීනමානය හින්දා! ඒ මහ නයි තමයි ඒ කාලේ කඩේ ලෑල්ලක් ඇරලා වෙළදාම් කළ මිනිහව පවා දරුපවුල ඉස්සරහ මරලා දැම්මේ! එක කඩයක් අරින්න බැරිවෙන්න, ලාම්පුවක් පත්තු කරන්න, ගෙදරකින් එළියට බහින්න බැරිවෙන්න ලියුම් ලියන්න, දැන්වීම් ගහන්න පටන්ගත්තේ. හැබැයි මොනා වුණත් මාර ප්‍රතිපත්ති ගරුකයි ඈ! උන් කරපුවාම තමයි තාම උඹලත් කරන්නේ.
පුදුමාකාර ප්‍රීතියක් දැනෙන්නේ උඹලා වගේ උගත් බුද්ධිමත් උන් කොරවන රටේ හෙට දවස ගැන!
විශ්ව විද්‍යාලවල ව්‍යවසායක්වය වගේ ගොබ්බ විෂයන් උගන්වන එක නතර කරන්න ප්ලීස්! ත්‍රස්තවාදය වගේ වැදගත් විෂයන් උගන්නන්න, මොකද ඒක සහජ කුසලතාවක්!

https://fb.watch/pzLOUOzleD/?mibextid=Nif5oz

~ Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka #terrorism

Saturday, January 13, 2024

මාගේ මේ ව්‍යායාමය!

අවුරුදු දෙකකට විතර පස්සේ මං ආයෙමත් මගේ ව්‍යායාම කෙරුවාව පටන් ගත්තා අද. මේක කලින් සැරේ පටන්ගත්තේ නං කොරෝනා කාලේ, එක හේතුවක් මහත්වීම. අනෙක කරන්න වෙන වැඩ නැතිවීම.

ඇඟ කොච්චර නම් හොරගෙඩියෙක් වෙලාද කියලා අවබෝධ කරගනිමින් අන්තිම butterfly stretch එකෙන්ම මැට් එක උඩ වැටිලා ඉන්න ගමන් කාලෙ කන්න ආසාවට මේක ලියන්නේ. ඇප් එකක මංම හදාගත්ත ප්ලෑන් දෙකකට workout කරමින් හිටි මම ඇයි අද මේ හදිස්සියේම මේක පටන්ගත්තේ කියලා ඇහුවොත්.. මාස ගාණක් තිස්සෙ බාලගිරි වෙමින් තිබ්බ තීරණයක් මේක. වෙලාවට කරගන්න දෙයක් නැතිවුණ කොරෝනා කාලේ ඉඳලා වෙලාව මදිවෙන සාමාන්‍ය ජීවිතේට ඇවිත් ඒක අස්සට අනවශ්‍ය වැඩත් ඔබාගෙන සංකීර්ණ කරගෙනනේ ඉන්නේ. 😁
ඔහොම හිත හිත ඉන්නකොට ඊයේ පෙරේදා දවසක හීනයක් දැක්කනේ මහ විකාර. කාර්යාලේ මොකක්ද මහ රැස්වීමක් මැද්දේ plank එකක් කරන්න වෙලා මගේ කම්මැලි ශරීරේ අඬ අඬා අමාරුවෙන් දත්මිටි කාගෙන plank එකේ ඉන්නවා! 😂
ඔය හීනේ අරුත් පසිඳලීම පැත්තක තියලා මං බැලුවා අද පුළුවන් ද කියලා.
මොන!
තප්පර 30ක් ඉන්න බෑ මිත්‍රවරුනි! 😔 දණ නැමෙනවා!😑

ලොකුකමට ව්‍යායාම ජාති 40ක ප්ලෑන් එක කරන්න ගියේ. පළවෙනි දෙක කරද්දී අඟුරු කෝච්චිය වගේ හති! සමහර ඒවා බාගෙට, skip කරපු දෙක තුනකුත් නැතුවාම නෙවෙයි.
සරීර හොරෙක් වීමේ දුක දරාගෙන ඒ දුකට හිනාවෙන්න මේක ලිව්වේ. අවුරුදු දෙකක් කියන්නේ ස්වල්ප කාලයක්ද. 
කමක් නෑ, බිංදුවෙන් පටන් ගන්නවා, බිංදුවෙන්! 💪

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka